හේමසිරිට සහ පූජිත්ට අධි චෝදනා ගොනුකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මහාධිකරණයට දැනුම් දෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හේමසිරිට සහ පූජිත්ට අධි චෝදනා ගොනුකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මහාධිකරණයට දැනුම් දෙයි

• සේවා දිගුවක් නිසා මහජන බැංකුවට සිදුවූ රුපියල් මිලියන 16 ක අලාභය

• රුපියල් කෝටි 37,727 ක මුදලක් මහජන බැංකුවට ගෙවීම පැහැර හරියි

• විමල් වීරවංශ අමරිකානු තානාපති කාර්යාලයෙන් පිළිතුරු ඉල්ලයි

• අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමේ ලේඛණවලට ජනපති අත්සන් තබයි

• සාකච්ඡා අසාර්ථක වීමට හේතුවක් නැහැ – විපක්ෂ නායක

• ශ්‍රි ලංකා ක්‍රිකට් ලොක්කන් කෝටි ගනනක් වංචා කර හොර ගිණුම් වලට මුදල් යවලා.. මුල්‍ය ප්‍රධානියාගේ වැඩ තහනම්.. කෝප් කමිටුවේදී හෙලි වේ..

• පොතුවිල් මුහුදු මහා විහාරයට අත්ව ඇති ඉරණමට නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය වගකිවයුතු බවට චෝදනා

• පොලිස් නිලධාරින්ට වෙඩි තබා පලාගිය සැකකරුවන් සොයා පරීක්ෂණ

• ලබන අඟහරුවාදා ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

• නඩුවකට ගිය පුද්ගලයෙකුට ඇල්පිටියේදී, බස් රථය තුළදීම වෙඩි – කොස්ගොඩ සුජීගේ වැඩක් දැයි සැක

• ජනපති අපේක්ෂක ගෝඨා ශ්‍රීලනිපයේ නියෝජිතයින් හමුවෙයි

• ගෝඨාභයගේ නම කිවුවොත් නිදහස් කරන බව අත්අඩංගුවට ගත් අයට FCID කියලා..

+++++++++++++++++++++++++++++++++++

හේමසිරිට සහ පූජිත්ට අධි චෝදනා ගොනුකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මහාධිකරණයට දැනුම් දෙයි

(06.09.2019 – 19:46 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් හා සම ඝණයෙහිලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට ඉදිරියේදී අධි චෝදනා ගොනුකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද මහාධිකරණයට දැනුම් දුන්නා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ඇප ලබාදීමට එරෙහිව ගොනුකර ඇති ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගත් අවස්ථාවේදීයි.

අදාළ ප්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණය විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේ අද යළිත් සලකා බැලුණා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් එම අයදුම්පත වෙනුවෙන් පැමිණිල්ලේ කරුණු ඉදිරිපත් කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුතුවලදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ක්‍රියා කළ ආකාරය විශ්මජනක බව ප්‍රකාශ කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මාසයකුත් දින 5 ක් තුළ සමූල ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා තීරණයක් ලබාදීම විවේචනය කර සිටියා.

සහරාන් හෂීම් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබද රාජ්‍ය බුද්ධි සේවය විසින් මෑත කාලීනව වාර්තාව 347 ක් අදාළ අංශ දැනුවත් කර ඇති බවත්, ඉන් 131 ක් පොලිස්පතිවරයා වෙතට ද 97 ක් හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙතට යොමුකර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

නිෂ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදී අප්‍රේල් 9 වනදා පැවති බුද්ධි ප්‍රධානීන්ගේ හමුවේදී එම තොරතුරු සාකච්ඡා කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා ක්‍රියා කර නොතිබීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැඩි ලෙස විවේචනය කළා.

එම බුද්ධි තොරතුරුවල ඇතුළත් නම් 6 කින් 4 දෙනෙකුම පසුව පාස්කු ඉරිදා බෝම්බ පුපුරුවාගෙන ඇති බව ද අධිකරණයේදී ඔහු අනාවරණය කළා.

අත්අඩංගුවට ගන්නා බව දැන ගත් විට හදිසියේ හෘදයාබාධයක් ඇති වී හිටපු ආරක්ෂක ලේකම්වරයා ජාතික රෝහලට ඇතුළත් කළ බවත් ඉන් පසුදින උදෑසන පොලිස්පතිවරයාට ද එම රෝගයම ඇති වූ රෝහල් ගත කිරීම පුදුමු සහගත බවත් ඔහු කියා සිටියා.

අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නීතිඥ අනූජ ප්‍රේමරත්න සඳහන් කළේ ආරක්ෂක ලේකම්වරයා ලෙස තම සේවාදායකයාට කිසිදු විශේෂ බලතලයක් නොතිබූ බවයි.

+++++++++++++++++++++

***************************************

සේවා දිගුවක් නිසා මහජන බැංකුවට සිදුවූ රුපියල් මිලියන 16 ක අලාභය

(06.09.2019 – 20:12 +0530 – hirunews.lk/sinhala)

මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හේමසිරි ප්‍රනාන්දු මහතා කටයුතු කිරීම හේතුවෙන් බැංකුවට රුපියල් මිලියන 16 කට ආසන්න අලාභයක් සිදුව ඇති බව ඊයේ අනාවරණ වුණා.

ඒ, පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවට මහජන බැංකුවේ නිලධාරීන් ඊයේ කැඳවූ අවස්ථාවේදී.

ඒ අනුව එම මුදල අදාළ නිලධාරින්ගෙන් නැවත අය කර ගන්නා ලෙසද කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා උපදෙස් ලබාදුන්නා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

රුපියල් කෝටි 37,727 ක මුදලක් මහජන බැංකුවට ගෙවීම පැහැර හරියි

(06.09.2019 – 16:33 +0530 – sinhala.adaderana.lk)

මහජන බැංකුවෙන් ණය ලබාගත් ව්‍යාපාරික ආයතන 10 ක් රුපියල් මිලියන 37,727 කට ආසන්න මුදලක්, ආපසු ගෙවිම පැහැර හැර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය වුණි.

ඒ මහජන බැංකුවේ නිලධාරින් ඊයේ (05) කෝප් කමිටුව ඉදිරියේ පෙනි සිටි අවස්ථාවේදී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසීය :

“පසුගිය මාස 31 තුළ අක්‍රීය ණය මිලියන 20428 කින් වැඩිදී ඇති අතර එය 2016 හා වසර හා සසදන විට මුළු අක්‍රීය ණය, ණය ලබාදීම්වලින් සියයට සියකට වඩා වැඩිවීමන් හැටියට තමයි විගණකාධිපතිතුමා ඉදිරිපත් කරන්නේ.

අක්‍රීය ණය ගණුදෙනුකරුවන්ගේ ඉහළම දහ දෙනාගේ එකතුව මිලියන 37,727ක්. සමහර අයට ණය පහසුකම් රීස්ට්‍රක්චරින් කරලා තියනවා. විශාල වශයෙන් 219 වතාවක්.

ප්‍රශනය තියෙන්නේ මේ ඉහළම ඉන්න 10 දෙනා එකම පිරිසක් මේ ඉන්නේ. කෝප් කමිටුවේ සාමාජිකයෙක් වෙලා ඉද්දි දැකපු ලැයිස්තුව මේ. ඔබතුමා කිව්වා අයකරගන්න දේපල. තිබුනේ නෑ කියලා. එතකොට ආරාක්ෂාවක් නැතුවද මේ ණය දීලා තියෙන්නේ.

CML MTD කන්ස්ට්‍රක්ෂන් කියන ආයතනයේ අධක්ෂකවරයෙක්. මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉදලා තියෙනවා. එයා මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්කොටම. වෝකස් CML සමුහයේ උප සභාපති ලෙස කටයුතු කරලා තියෙනවා.

එහෙම කටයුතු කරන කොට. අපසු ගේවීම් පැහැර හැරීම හේතුවෙන් වෝකස් CML සමුහයට ලබා දුන් ණය පහසුකම අක්‍රිය කණ්ඩයට මාරුකරන ලද අතර 2019 යේ අගොස්තු 27 වනදා වන විට හිඟ මුදල මිලියන 3946 ක්. එම හිඟ ණය මුදලින් මිලියන 3339 ක් එනම් සියයට 85. ශක්තිමත් ඇපකරයකින් ලබා ගැනීමකින් තොරව ලබාදී තිබිණි”

***************************************

විමල් වීරවංශ අමරිකානු තානාපති කාර්යාලයෙන් පිළිතුරු ඉල්ලයි

(06.09.2019 – 20:02 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණ සිටින අමෙරිකානු ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් පසුගියදා කළ විශේෂ හෙළිදරව්ව සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය පිළිතුරු සැපයිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

+++++++++++++++++++++++++++++++++++

05-09-2019

***************************************

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමේ ලේඛණවලට ජනපති අත්සන් තබයි

(06.09.2019 – 15:54 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමුකළ යුතු ලිපි ලේඛන වලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අත්සන් තබා තිබෙනවා.

අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000 කින් පමණ යුතු ලිපි ලේඛණ සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ යුතුව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

හිටපු මහබැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍යයැයි දන්වා ඇති එම සියලු ලිපිලේඛන අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ පරීක්ෂාවට ලක්වූ අතර, අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා එම ලිපි ලේඛන සහතික කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එම ලේඛණ සිංගප්පූරු රජයේ බලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කෙරෙනු ඇති.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම පිළිබඳ, ඊට අදාළ තොරතුරු සහ ලියකියවිලි ලැබුණු පසු සලකා බලන බව සිංගප්පූරු රජය ප්‍රකාශ කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ද ස්ට්‍රේට් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

***************************************

සාකච්ඡා අසාර්ථක වීමට හේතුවක් නැහැ – විපක්ෂ නායක

(06.09.2019 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා අසාර්ථක වීමට හේතුවක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

බත්තරමුල්ල – අපේගම පරිශ්‍රයේ පැවති ‘‘දේශපාලන පලිගැනීමට ලක්වූවන්ගේ යුක්තියට හඩක්’’ සංවිධානයේ පළමු සම්මේලනයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවත් සිරිකොතේ සෙවණැල්ල ඔහුට නොවැටෙන බවත් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

+++++++++++++++++++++++++++++++++++

***************************************

ශ්‍රි ලංකා ක්‍රිකට් ලොක්කන් කෝටි ගනනක් වංචා කර හොර ගිණුම් වලට මුදල් යවලා.. මුල්‍ය ප්‍රධානියාගේ වැඩ තහනම්.. කෝප් කමිටුවේදී හෙලි වේ..

(06.09.2019 – 16:40 +0530 – lankacnews.com)

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති අති විශාල මුදල් වංචා ගැන පාර්ලිමේන්තුවේදි පැවති කෝප් කමිටු රැස්වීමේදී රජය විගනකාධි පතිවරයාගේ නිරීක්ෂණයක්ට අනුව හෙලි කරන ලදි.

එහිදි වර්තමාන ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය විධායක විසින් තම ඊමේලය පාවිච්චි කරමින් රටට ලැබිය යුතු රුපියල් මිලියන 850 ක (ඩොලර් මිලියන 5 ක) මුදලක් වංචනික ගිනුමකට මාරු කොට ඇතැයි හෙලි විය.

එමෙන්ම මෙම කරුණු වසන් කිරිමට එහි උසස් නිලධාරින් උත්සහ ගන්නා අයුරු සජීවී විකාශනය තුලින් මහ ජනතාවට දැක ගැනිමට අවස්ථාවක් ලැබුණි.

+++++++++++++++++++++

දෙවැනි කොටස :

https://www.youtube.com/watch?v=vSDWJHZtRks

***************************************

පොතුවිල් මුහුදු මහා විහාරයට අත්ව ඇති ඉරණමට නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය වගකිවයුතු බවට චෝදනා

(06.09.2019 – 20:35 +0530 – hirunews.lk/sinhala)

‍පොතුවිල් – මුහුදුමහා විහාරයට මේවනවිට අත්ව ඇති ඉරණමට නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය වගකිවයුතු බව ශ්‍රී ලංකා අමරපුර නිකායේ ශ්‍රී කල්‍යාණවංශික පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේ චෝදනා කරනවා.

එම විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

පොතුවිල් මුහුදුමහා විහාරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම, විහාරස්ථානය ආසන්නයේ නීතිවිරෝධී ලෙස සිදුවන වැලි ජාවාරම මෙන්ම පුරාවස්තු විනාශ කිරීම් ආදිය පිළිබඳව හිරු සී.අයි.ඒ. අවස්ථා ගණනාවකදී අනාවරණ කළා.

එවන් පසුබිමක ශ්‍රී ලංකා අමරපුර නිකායේ ශ්‍රී කල්‍යාණවංශ පාර්ශවයේ පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන් ඇතුළු ස්වාමින්වහන්සේ පිරිසක් පොතුවිල් මුහුදු මහා විහාරයට වැඩම කර සිටියේ සිදුව ඇති විනාශය නිරීක්ෂණය කිරීමටයි.

නීරීක්ෂණයෙන් අනතුරුව භික්ෂුන් වහන්සේ මාධ්‍ය වෙත අදහස් පළකළා.

මේ අතර, කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය සඳහන් කළේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මන්නාරම් දූපත් සහිත ඉඩම් නීතිවිරෝධීව අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති බවයි.

***************************************

පොලිස් නිලධාරින්ට වෙඩි තබා පලාගිය සැකකරුවන් සොයා පරීක්ෂණ

(06.09.2019 – 19:26 +0530 – hirunews.lk/sinhala)

අකුරැස්ස – තිබ්බටුවාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට වෙඩි තබා පලාගිය සැකකරුවන් තුන්දෙනා සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් බවට පොලීසිය සැක පළ කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එම පුද්ගලයින් පොලිස් නිලධාරින්ගෙන් මිදී පලා යාම සඳහා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

අද අලුයම එම ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටියදී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක් ලුහුබැඳ යන අවස්ථාවේදීයි අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකුයි මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූයේ.

මේ අතර, ඇල්පිටිය – අලුත්ගම මාර්ගයේ අටකොහොට – 8 කණුව ප්‍රදේශයේදී බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය, පාතාල නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ ක්‍රියාවක් බවට පොලීසිය සැක කරනවා.

නඩු කටයුත්තක් සඳහා අධිකරණයට යමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක් වුණේ ඇල්පිටිය – වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් ජයවර්ධන නැමැති 41 හැවිරිදි දෙදරු පියෙක් ෴

***************************************

ලබන අඟහරුවාදා ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

(06.09.2019 – 17:25 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන අඟහරුවාදා පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය නිවේදනය කළේ අදාළ කාලය තුළ වත්තල – මාබෝල, ජා-ඇල සහ කටුනායක හා සීදුව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

එසේම, වත්තල, මහර සහ ජා-ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද මෙලෙස ලබන අඟහරුවාදා පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

***************************************

නඩුවකට ගිය පුද්ගලයෙකුට ඇල්පිටියේදී, බස් රථය තුළදීම වෙඩි – කොස්ගොඩ සුජීගේ වැඩක් දැයි සැක

(06.09.2019 – 12:36 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය – අලුත්ගම මාර්ගයේ අටකොහොට – 8 කණුව ප්‍රදේශයේදී බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය, පාතාල නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ ක්‍රියාවක් බවට පොලීසිය සැක කරනවා.

අලුත්ගම – ඌරගස්මං හන්දිය හරහා ඇල්පිටිය දක්වා අද උදෑසන ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක යමින් සිටියදී යතුරුපැදියක පැමිණි පුද්ගලයෙකු සිදුකළ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ ඇල්පිටිය – වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් ජයවර්ධන නැමැති 41 හැවිරිදි දෙදරු පියෙක්.

වෘත්තියෙන් කුරුඳුතලන්නෙකු වන මොහු ඇල්පිටිය දිසා අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට පෙනී සිටීම සඳහා සිය මව සහ නැගණිය සමඟ යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

බස් රථයේ රියදුරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු බස් රථයේ පිටුපස දොරටුවෙන් නැග මෙම වෙඩි තැබීම සිදුකර යළි යතුරුපැදියේ නැගී පළා ගිය බවයි.

එම අවස්ථාවේ මිය ගිය පුද්ගලයා පිටුපස දොරටුවට වම් පසින් ඉදිරියේ ඇති අසුනේ රැඳී සිට තිබෙනවා.

වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් උපයෝගී කරගෙන ඇති අතර, එම උණ්ඩ කොපු 5ක් අදාළ ස්ථානයේ තිබී සොයා ගැනුණා.

සිද්ධිය වන අවස්ථාවේ බස් රථයේ මගීන් විශාල පිරිසක් ද සිට ඇති අතර, වෙඩි තැබීම සිදුවනවාත් සමඟම ඔවුන් හිස්ලූ ලූ අත දිව ගිය බවයි බස් රථයේ රියදුරු කියා සිටියේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ රංජිත් ජයවර්ධන නැමැත්තා 2018 වසරේ සැප්තැම්බර් මස 30 වන දා ඌරගස්මංහන්දිය – ඉහළමාලවල – රන්තොටුවිල ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී ඇති බවට විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියා.

එම සිද්ධියෙන් චමිල දීපාල් රණසිංහ සහ සමන් සුරේෂ් නැමැති දෙදෙනෙකු මිය ගිය අතර ඔවුන් දැනට විදේශගතව සිටින පාතාල නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ සමීපතමයින් දෙදෙනෙකු ද වනවා.

මෙම වෙඩි තැබීම ඊට පළි ගැනීමක් ලෙස සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මේ වන විට මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

මේ අතර, අකුරැස්ස – තිබ්බටුවාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා පලාගිය සැකකරුවන් සොයා මේ වන විටත් මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

මාතර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් ඒ සඳහා යොදවා ඇති බව සඳහන්.

අද අලූයම එම ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටියදී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක් ලුහුබැඳ යන අවස්ථාවේදීයි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්වූයේ.

අදාළ යතුරුපැදිය අංක තහඩු නොමැතිව ධාවනය වූ අතර එහි පුද්ගලයින් 3 දෙනෙකු ගමන් කර තිබුණා.

පසුව එය ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට පළා ගිය යතුරුපැදියේ මැද ගමන් කළ පුද්ගලයා විසින් වෙඩි තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා මේ වන විට මාතර මහරෝහලේ 5 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

ඔවුන්ගේ දකුණු පාදවල දණහිසට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

https://www.youtube.com/watch?v=9uLEMTj5NwQ#t=6

***************************************

ජනපති අපේක්ෂක ගෝඨා ශ්‍රීලනිපයේ නියෝජිතයින් හමුවෙයි

(06.09.2019 – 19:36 +0530 – sinhala.adaderana.lk)

නව සන්ධානයක් පිහිටුවීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර 08 වන සාකච්ඡා වටය අද (06) පැවැත්වුණි.

විපක්ෂ නායක කාර්යාලයේ දී අද පස්වරු 03 ට ආරම්භ වූ සාකච්ඡාව සඳහා දෙපාර්ශවය නියෝජනය කරමින් මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

පැයක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි සතිය තුළ තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට තීරණය වී ඇති බව සඳහන්ය.

ඉන් අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේ දීම නිදහස් පක්ෂ නියෝජිතයින් පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ද සාකච්ඡාවක් පවත්වා තිබේ.

***************************************

ගෝඨාභයගේ නම කිවුවොත් නිදහස් කරන බව අත්අඩංගුවට ගත් අයට FCID කියලා..

(07.09.2019 – 13:20 +0530 – lankacnews.com)

ආණ්ඩුව FCID යට ගෙනියපු අපේ අයට ගෝඨාභයගේ නම කියන්න කියල කියනවලු. ඇයි සර්ල මෙච්චර දුක් විදින්නේ ගෝඨාභයයි කිව්වේ කියල කිව්වා නම් ගෙදර යන්න පුළුවන්නේ කියල කියනවලු. ආණ්ඩුවේ FCID ය කටයුතු කළේ එහෙම යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හා විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ, බත්තරමුල්ලේදී ප්‍රකාශ කළේය.

අපේ ආණ්ඩුව පරදින විට වැඩ බිමක්ව තිබුණ රට යහපාලන ආණ්ඩුව දඩ බිමක් කළ බවත් අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙලගැසී සාධාරණය, යුක්තිය ඉටුකරවා ගැනීම සදහා හඩ නැගිය යුතු බවත් අවධාරණය කල මහින්ද රාජපක්ෂ මහතා, පලිගැනීම් කරන්න කාලය වැය කලොත් වැඩකරන්න වෙලාවක් නැති වෙන බවද පෙන්වා දුන්නේය.

යහපාලන රජය යටතේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් එකතු වී ගොඩනගාගෙන තිබෙන යුක්තියට හඩක් සංවිධානයේ පළමු නියෝජිත සම්මේලනය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙම නියෝජිත සම්මේලනය බත්තරමුල්ල අපේගම පරිශ්‍ර‍යේදී පැවැත්විණි.

මෙහිදි දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් විසින් දකුණු අතේ කලුපටි බැද රජයට විරෝධය දක්වමින් යුක්තියේ හඩ ප්‍රතිඥාව ලබාදුන් අතර යුක්තිය ඉටුකරවා ගැනීම සදහා ඉදිරි රජයට ඉදිරිපත් කිරීම සදහා පෙත්සමකටද අත්සන් තැබීය. මෙම පෙත්සමට මහින්ද රාජපක්ෂ මහතා පළමුවෙන් අත්සන් තැබූ අතර සෙසු අය ඊට පසුව අත්සන් තැබීය. එයින් පසුව යුක්තියේ හඬ ගීතය ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන ලදී.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය :

“2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් දිනල, 09 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් ආණ්ඩුව පිහිටෙව්වා. ඒත් එක්කම දේශපාලන පලිගැනීම් ද ආරම්භ කළා. මුලින්ම මගේ පවුලේ නෑදෑයන්ගෙන් පලිගත්තා. ඊලගට යාළු මිත්‍රයන්ගෙන් පලිගත්තා. ඊට පස්සේ ඡන්දයට උදව්කරපු ව්‍යාපාරිකයින්ගෙන් පලිගත්තා. සමහර ව්‍යාපාරිකයෝ පසුගිය අවුරුදු 05 ටම ආයේ අපිට උදව් කරන්න ආවේ නැහැ. හමුවුණ වෙලාවට ඇහුවම ඔවුන් කියන්නේ සර්ට උදව් කරාම FCID යන්න වෙනවා කියල. ඒ තත්ත්වයටම මේ ආණ්ඩුව වැටුණා.

අපේ ආණ්ඩුව රටේ පරදින විට හැම තැනම මොනවා හරි වැඩක් කරමිනුයි තිබුණේ. වැඩ බිමක්ව තිබුණ රට යහපාලන ආණ්ඩුව දඩ බිමක් කළා. FCID යට ආණ්ඩුව කියල තිබුණේ අවශ්‍ය අය එක දිනකට හරි රිමාන්ඩ් කරන්න කියලයි. මොවුන් දාපු නඩුවලින් ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කළා. ගාමිණී සෙනරත් නිදොස් කොට නිදහස් කළා. බොහෝ නඩුවලදී උසාවිය ඇහුවේ චෝදනාවක් නැතුව නඩුපවරන්නේ ඇයි කියල. දේශපාලන වශයෙන් පලිගැනීමට රිමාන්ඩ් භාරයට පත්කරන්නේ ඇයි කියල අධිකරණය විමසලා තිබුණා.

ලලිත් වීරතුංග මහත්තයට අනුෂ පැල්පිට මහත්තයට නඩු දැම්මේ රිමාන්ඩ් කළේ සිල්රෙදි බෙදුවා කියල. එහෙම නැතුව මේ අය සිල්රෙදි ගත්තේ නැහැ. පන්සල්වල හාමුදුරුවරුයි සිල්රෙදි බෙදුවේ. ඒ වෙලාවේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ පොලොන්නරුවෙත් සිල්රෙදි දුන්නා. අනාගතයේ රාජ්‍ය සේවයේ ඉන්න අයට රිදෙන්නයි, ලලිත් වීරතුංග මහත්තයට දඩුවම් කළේ. මීට පෙර කතා කරපු ජේෂ්ඨ මාධ්‍යෙව්දී සි ඒ ප්‍රේමචන්ද්‍ර මහත්තයා කිව්වා, FCID එක හදපු විදිය. ඒකට නිලධාරීන් ගත්ත විදිය. FCID යට ගෙනියපු අයට ඔවුන් කියන්නේ ගෝඨාභයගේ නම කියන්න කියල. ඇයි සර්ල මෙච්චර දුක විදින්නේ ගෝඨාභයයි කිව්වේ කියල කිව්වා නම් ගෙදර යන්න පුළුවන්නේ කියල කියනවලු. මේ විදියට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්තයා අවුරුද්දක් හිරේ හිටියා. උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ, රණවිරුවෝ කොච්චර කල් රිමාන්ඩ් එකේ හිටියද?

යුක්තියට හඩක් සංවිධානය හොදින් සංවිධානය කර ගන්න. අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙල ගැසෙන්න, මෙවැනි සංවිධාන අවශ්‍යයි. අපේ ආණ්ඩුවක් පිහිටවපු දවසට තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීම සදහා හඩ නගන්න. මම, සංවිධානය වෙන්න කියන්නේ කාගෙන්වත් පලිගන්න නොවෙයි. පලිගැනීම් කරන්න කාලය වැය කලොත් වැඩකරන්න වෙලාවක් නැති වෙනවා.

අපේ ආණ්ඩුව හම්බන්තොට වරාය හැදුවා. මත්තල ගුවන්තොටුපල හැදුවා. මෑත කාලයේ ලෝකය, ශ්‍රී ලංකාව පිළිබදව කතාකළේ මේ වරායයි, ගුවන්තොටුපලයි නිසයි. වරාය චීනයට වික්කා. ගුවන්තොටුපල, ත්‍රිකුණාමලය, ඉන්දියාවට දෙන්න පිඹුරුපත් සකසනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සිංගප්පූරුවටයි තවත් රටකටයි වික්කා. මේ ආණ්ඩුව කරන්නේ රටේ දේපල විකිණීමයි. මේ විකිණීම නතර කල යුතුයි. සම්පත් විකිණීම, අපේ ආණ්ඩුවක් යටතේ කරන්නේ නැහැ. විකුණල තිබුණ ශ්‍රී ලංකා එයාර් ලයින් ආයතනය අපි ආපසු ගත්තා. මේ වන විට රටේ පරිපාලනය සම්පූර්ණයෙන්ම පිරිහිලා.

මගේ වත්කම ඩොලර් බිලියන 18 ක් කියලයි, කිව්වේ. එහෙම සල්ලි මට තිබෙනවානම් ලෝකයේ ඉන්න ලොකුම පොහොසතා මමයි. මම ආණ්ඩුවට කිව්වා, බිලියන 18 හොයල දෙන්න, ඒ සල්ලි සියල්ලම ආණ්ඩුවට දෙන්නම් කියල. මොවුන් බොරු කිය කියා හිටියා මිසක් රටට වැඩක් කළේ නැහැ. දැන් තමයි, බෝක්කුවක් හරි හදන්න මතක් වුණේ. මොකක්ද පෙරලියක් කියල, ඔය කරන්නේ. මම විනිසුරුවරුන්ට කතාකරල බලපෑම් කරාලු. මම කවදාවත් විනිසුරු රස්සාව කරන විනිසුරන්ට කතාකරල නැහැ. සමහර විනිසුරන් විශ්‍රාම අරන් අල්ලස් කොමිෂම වගේ විවිධ ආයතන වල ඉන්නවා. ඒ අයට නම් කතා කරල තිබෙනවා. එයිට එහා කතා කිරීමක් මම කරල නැහැ.

අද එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලි වලට කැඩිල. සමහරු කියනවා දෙකට කැඩිල කියල. තවත් අය කියනවා තුනට කැඩිල කියල. පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා වුණාට දැන් ඔවුන්ගේ පාක්ෂිකයා නායකයට සලකන්නේ නැහැ. පක්ෂය කැඩිච්ච කුමන කොටසකින් ජනාධිපතිවරණයට කව්රු දැම්මත් අපේ අපේක්ෂක ගෝඨභය රාජපක්ෂ ජයග්‍රහණය කරනවා.

– ජයකාන්ත ලියනගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *