සජිත් නිසැකවම පරදිනවා – ගම්මන්පිල

(09.09.2019 – 18:13 +0530 – sinhala.adaderana.lk)

තීරණාත්මක රනිල් – සජිත් හමුවක් හෙට (10) දිනයේ දී පැවැත්වෙන බවට රාවයක් පැතිරෙන බවත් තම තමන්ගේ න්‍යාය පත්‍රය සාර්ථක කර ගැනීමට නම් මේ දෙන්නා එකිනෙකාට කිව යුත්තේ කුමක්ද යන්න ප්‍රශ්න කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් දැක්වීය.

එහිදි ඔහු පැවසුවේ අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට පැවසිය යුත්තේ “සජිත් ඔබ ජනාධිපතිවරණයට තරග කරන්න” යන්න බවයි.

එහිද ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසුවේ කොන්දේසි මත මෙය සිදු කරනු ඇති බවයි.

අද (09) කොළඹ පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරට අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අනිවාරයෙන්ම පරදින බවයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ජනපතිකම කෙසේ වෙතත් පක්ෂ නායකත්වය රැක ගැනීමට හැකියාවක් පවතින බවත් පර්ලිමේන්තුවේ විපක්ෂ නායක වීමට හැකි බවද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් රනිල් කරු සජිත් යන තිදෙනාම එක් අයෙකු වී මැතිවරණයට තරඟ කළද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආසන්නයටවත් එමට හැකියාවක් නැති බවද මන්ත්‍රීවරයා පවසයි.

එයට හෙතු වන්නේ එක්සත් ජාතික පක්ෂය පසුගිය වසර පහේ මෙරටට කළ විනාශයට ඔවුන් තිදෙනාම වගකිව යුතු බවත් මෙ තිදෙදෙනාම ආණ්ඩුවෙ ඉතාම ඉහළ බලගතු තනතුරු දරද්දිම එසේ රට විනාශයට පත්වු නිසා බවත්ය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

“ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් ගෝඨාභය මැතිතුමාට සහය ලබා දීමට නම් එතුමා පොහොට්ටුව වෙනුවට වෙනත් ලකුණකින් තරග කළ යුතු බවට කොන්දේසියක් ගෙනා බව මා මිත්‍ර දයාසිරි ජයසේකර මැතිතුමා පවසනවා.

ඇත්තෙන්ම රට මෙතරම් දරුණු අරබූදයක හිර වී සිටින විට දයාසිරි මන්ත්‍රිතුමා ලකුණක එල්ලී සිටීම ගැන අපි කම්පා වෙනවා. දේශප්‍රේමි පුළුල්තම සංධානය ගොඩ නැගීමේ වෑයම ලකුණක සිර කරන්න එපා කියලා අපි ශ්‍රිලනිපයෙන් ඉල්ලා සිටිනවා.

අපේ රටේ අද ජාතික ආරක්ෂාව බිංදුවට වැටිලා. ආරථිකය කඩා වැටිලා. මැතිවරණ පවත්වන්නේ නෑ. මහ බැංකුවේ සිට සෑම රාජ්‍ය ආයතනයක්ම දේශපාලකයෝ සහ ඔවුන් පත්කරගත් නිලධාරින් එකතු වෙලා මංකොල්ල කනවා.

ජාතික සම්පත් කුණු කොල්ලයට නොරටුන්ට විකුණනවා. මේ මහ විනාශයෙන් රට බේරා ගන්න කියලා ජනතාව හඩා වැටෙනවා. මේ අතරේ දයාසිරි මන්ත්‍රිතුමා ලකුණක් ගැන කතා කරනවා. අද අපි කතා කළ යුත්තේ ලකුණක් ගැන ද එහෙම නැතිනම් රට බේරා ගන්න කළ යුතු දේ ගැන ද?

දයාසිරි මන්ත්‍රිතුමා පොහොට්ටුව ලකුණට එරෙහිව ඉදිරිපත් කරන තර්ක ඇත්තෙන්ම විහිළු සහගතයි. මුස්ලිම් විරෝධි නායකයෙක් විදිහට හැදින්වෙන නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාගේ ඡන්ද ලකුණ පොහොට්ටුවට සමීප නිසා මුස්ලිම් ඡන්ද පොහොට්ටුවට ගන්න බැරිලු. එතකොට 2015 දී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෝදි කබාය ඇඳගෙන මුස්ලිම් ඡන්ද බුරුතු පිටින් ගත්තේ කොහොමද කියන එක දයාසිරි මන්ත්‍රිතුමා අපට පැහැදිලි කළ යුතුයි.

පොහොට්ටුව ලකුණ දරණ පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කර තිබෙනවා. අනෙකුත් පක්ෂ වලට තිබෙන්නේ ඒ අපේක්ෂකයාට සහය දෙනවා ද නැද්ද කියා තීරණය කිරීමටයි. එක්කෝ වෙනත් පක්ෂවලට සහය දෙන්න පුළුවන්.

නැති නම් තමන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත්කරන්න පුලුවන්. එහෙම හැරුණුකොට ඔබේ ලකුණ වෙනස්කරන්න, මුහුණ වෙනස් කරන්න, අදින ඇදුම වෙනස් කරන්න කියමින් කොන්දේසි දැමීමේ අයිතියක් නෑ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙවර මැතිවරණයට ඉදිරිපත් කළ හැකි හොඳම අපේක්ෂකයා ලෙස අපි දකින බැවින් අපි එතුමාට සහය දක්වන්න තීරණය කළා. ශ්‍රිලනිපයත් ඒ තීරණය ගන්නේ නැතුව නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සොයමින් සිටියොත් ඉතිහාසයේ කුණු බක්කියට ඇදගෙන වැටෙනවා.

ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂය ජයග්‍රහණයෙන් පසු කිසිම වැදගත්කමක් නෑ. දැන් ජනාධිපති සිරිසේන මැතිතුමා මැතිවරණයට ඉදිරිපත් වුණේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ හංසයා ලකුණෙන්. ඒකයි කියලා ඒ පක්ෂයට දැන් ජනාධිපති පාලනය කරන්න පුළුවන් ද? බෑ.

ඒ නිසා ජනාධිපතිවරනයකදී පක්ෂයවත් ලකුණවත් කිසිසේත්ම වැදගත් නැ. වැදගත් වන්නේ පුද්ගලයා, පුද්ගලයා, හා පුද්ගලයාම පමණයි. ඒ වගේම ප්‍රතිපත්තිත් වැදගත් වෙනවා.

අනෙකුත් මැතිවරණ වල දී නම් තරග කරන පක්ෂය හරිම වැදගත්. ඒ නිසා ඉදිරි මැතිවරණ වලට තරග කරන්න ඕනෑ සංධානයක් හරහා පොදු ලකුණකින් කියන ස්ථාවරයේ අපිත් ඉන්නවා. ඒ නිසා ජනාධිපතිවරණයේ දී ජාතික අපේක්ෂක ගෝඨාභය මැතිතුමාට සහය දීලා ඉදිරි මැතිවරණ සංධානයකින් තරග කරමු කියලා අපි යෝජනා කරනවා.”

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *