හැම රටකටම ෆෙඩරල් ගැලපෙන්නේ නැහැ – මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි

(01.11.2017 – divaina.com)

ෆෙඩරල් රාජ්‍ය සංකල්පය නරක එකක්‌ නෙවෙයි. ඒත් ෆෙඩරල් ක්‍රමය ගැලපෙන්නේ ඒ ඒ රටවල් හැටියට. ඇමරිකා එක්‌සත් ජනපදය එකතුවෙලා කරන රටක්‌. ඒ ක්‍රමයට ඒ අය දියුණුවෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉන්දියාවත්, ඒ රටවල් එහෙම දියුණු වුණා කියල ෆෙඩරල් ක්‍රමය අපි හැමෝම බාරගත යුතුය කියල දෙයක්‌ නැහැ. ඒ වගේම හැම රටකටම ෆෙඩරල් ක්‍රමය ගැලපෙන්නෙත් නැහැ. අපේ රටටත් එහෙමයි. අපේ රටේ ස්‌වාභාවික සම්පත්, භූ විෂමතා වගේම රටේ ඉතිහාසය ගැන සලකන විට ලංකාවට ෆෙඩරල් රාජ්‍යයක්‌ සුදුසු නැහැ යෑයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවසූහ.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ රත්මලාන ප්‍රදේශයේ විහාරස්‌ථාන වල භික්‍ෂූන් වහන්සේලා දැනුවත් කිරීම සඳහා රත්මලාන ධම්මිකාරාම විහාරස්‌ථානයේ ඉකුත්දා පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් විමලරතන හිමියෝ එසේ පැවසූහ.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ෆෙඩරල් ක්‍රමය අපේ රටට සුදුසු නැහැ කියන එක අපේ රටට නිදහස ලැබුණ දා සිට එන කතන්දරයක්‌. මේගොල්ල ඒක නොදැන නෙවෙයි මේ රටේ භික්‍ෂුන් වහන්සේලා බුද්ධිමතුන් රවට්‌ටල මේ කරන්න යන්නේ කොලේ වහල ගැහිල්ලක්‌. බණ්‌ඩාරනායක මහත්තය 1956 දී බලයට පත් වුණ වෙලාවෙත් මේක ආවා. එතුමා ඒකට එකඟවෙලා හිටියත් මහා සංඝයා වහන්සේලා එතුමා හමුවෙලා කරුණු ඉදිරිපත් කළාම ඒක ඉවත් කරගත්තා ඒ වෙලාවෙම ඉරල දැම්මා.

එදා උතුරේ තිබුණ පොන්නම්බලම්ගේ නායකත්වයෙන් තිබුණ ද්‍රවිඩ පෙරමුණ පසුව ඒකෙන් කැඩුන චෙල්වනායගම් මහත්තය ෆෙඩරල් පක්‍ෂය කියල එකක්‌ ආරම්භ කළා. ඒ අය හැම පාර්ලිමේන්තුවකම ෆෙඩරල් ක්‍රමය ගැන කතා කළත් ඒක කරගන්න බැරි වුණා.

1994 චන්ද්‍රිකා මැතිනිය බලයට ආවා එතුමිය ආවේ විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක්‌ දෙනවා, රටේ තිබුණ වැරදි නිවැරැදි කරනවා කියලයි. එතුමිය ගෙනාව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට යෝජනා මාලාවක්‌. ඒකට කිව්වේ පැකේඡ් එකක්‌ කියලා ඒකෙ නිර්මාතෘ තමයි ජී. එල්. පීරිස්‌ මහත්තයා. එතුමාව ගෙනැවිත් අපිට දේශනයක්‌ දෙන්න කිව්ව. කොහොම හරි ඒකත් අපි ඉවත් කරගන්න කටයුතු කළා.

මීට පෙර 1972, 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මහජන අදහස්‌ විමසල හදපු ඒව නෙවෙයි. එදා මේ තරම් වාද විවාද කෙරුණේ නැහැ. ඒ ව්‍යවස්‌ථා ගෙනා ආණ්‌ඩුවල 2/3 බලයක්‌ තිබුණ. 78 එකට ඡේ. ආර්. මහත්තයට 5/6 බලයක්‌ තිබුණා. ඒක සම්මත කළේ මන්ත්‍රීවරුන් ආරක්‍ෂා කරගෙන. ඡේ. ආර්. මහත්තය ගෙනාපු එකේ දහවතාවකට වඩා සංශෝධන කළා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගේන්නේ සංශෝධන කරන්න නෙමෙයිනේ.

රත්මලාන – පින්සිරි ආරියරත්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *