පරිපාලන නිලධාරීන් – සරසවි සේවකයින් අදත් (11) වර්ජනයේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පරිපාලන නිලධාරීන් – සරසවි සේවකයින් අදත් (11) වර්ජනයේ

• කසල කිලෝ 18,000 ක් STF මෙහෙයුමකින් වත්තල දී අල්ලයි

• ‘පුලතිසි’ අද (11) සිට ගමන අරඹයි

• සාමනේර හිමිවරුන්ට පහර දෙන මේ ‘ශුක්‍ර සුනඛයා’ කවුද?

• අණ නොතැකු ධීවර යාත්‍රාවට වෙඩි තැබීම ගැන නාවික හමුදාවෙන් කරුණු දැක්වීමක්

• වයස 60 ට වැඩි කලාකරුවන්ට දීමනාවක්

• සබීතාපායට සියළු කටයුතු අගමැතිගෙන් – පා.ම. දුමින්ද කොමිසමට කියයි

• කල් මරන්න එපා – ඒකාබද්ධ විපක්ෂයෙන් නිදහස් පක්ෂයට අවවාදයක්

+++++++++++++++++++++++++++++++++++

පරිපාලන නිලධාරීන් – සරසවි සේවකයින් අදත් (11) වර්ජනයේ

(11.09.2019 – 07:07 +0530 – sinhala.adaderana.lk)

තම ගැටළු සදහා සතියක කාලයක් තුළ විසඳුම් ලබාදීමට බලධාරින් අපොහොසත් වුවහොත් අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවිමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

එහි ලේකම් රෝහණ ද සිල්වා මහතා මහතා සදහන් කළේ ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීමට මේ වන තෙක් කිසිදු බලධාරියෙකු මැදිහත් නොවිම සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බවයි.

ඒ අනුව ඊයේ ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දිනයෙත් ක්‍රියාත්මක වන බව රෝහණ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද දෙවන දිටත් ක්‍රියාත්මක වෙයි.

විශ්ව විද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ මාධ්‍ය ලේකම් කේ.එල්.ඩි.ජේ.රිච්මන්ඩ් මහතා කියා සිටියේ මේ වන විට කිසිදු බලධාරියෙකු තම ගැටුළු සඳහා සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදී නොමැති බවයි.

***************************************

කසල කිලෝ 18,000 ක් STF මෙහෙයුමකින් වත්තල දී අල්ලයි

(11.09.2019 – 09:39 +0530 – sinhala.adaderana.lk)

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 18,000 ක් සමඟ සැකකරුවෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් සිදුකළ වැටලීමකදියී.

ඊයේ (10) පස්වරු 04:30 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් විසින් වත්තල ශ්‍රී වික්‍රම මාවත ප්‍රදේශයේ පිහිටි පුද්ගලික සමාගමකට අයත් ගබඩාවක් වටලනු ලැබීය.

එහිදි මිනිස් මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 18,000ක් සහ තරාදි 2 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ගබඩාව භාර සැකකරු 50 හැවිරිදි වියේ පසුවන වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු වතත්ල පොලිසියට භාර දී ඇති අතර ඔහුට ඇප බැඳුම්කරයක් මත අධිකරණයේ පෙනී සිටින දන්වා මුදා හැර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අද (11) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණට කරුණු වාර්තා කිරීසට නියමිතයි.

වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

***************************************

‘පුලතිසි’ අද (11) සිට ගමන අරඹයි

(11.09.2019 – 06:50 +0530 – sinhala.adaderana.lk)

එස් 14 වර්ගයේ අති සුඛෝපබෝගී දුම්රියක් අද (11) දිනයේ සිට දිනපතා පොලොන්නරුව බලා ධාවනය කෙරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන අතර එහි මංගල ගමන්‍ වාරය සඳහා ජනාධිපතිවරයා එක්වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

‘පුලතිසි’ ලෙස නම් කර ඇති එම දුම්රිය අද (11) පස්වරු 03:05 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොලොන්නරුව බලා ධාවනය කිරිමට සැලසුම් කර තිබේ.

එම දුම්රිය අද රාත්‍රී 07:47ට පොලොන්නරුව දුම්රිය ස්ථානයට ලඟාවිමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පොලොන්නරුව බලා ධාවනය වන පුලතිසි දුම්රිය හෙට පස්වරු 03:45 ට යලි පොලොන්නරුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරන අතර එය රාත්‍රී 09:06 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවෙනු ඇත.

මෙම නව සීඝ්‍රගාමී දුම්රිය පොල්ගහවෙල, කුරුණැගල, මහව, කැකිරාව, හබරණ, සහ හිගුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නවත්වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

Latest S14 train makes its maiden run to Aluthgama

(03.09.2019 – sundaytimes.lk)

The new power locomotive train S14 imported from China undertook its maiden run from Ratmalana to Aluthgama today (Sept 03).

This train valued at Rs. 1,845 million and reportedly fitted with some of the latest technological facilities is the most modern train to join the country’s railway transport, Sri Lanka Railways General Manager Dilantha Fernando said.

The General Manager said that nine such trains are scheduled to be imported to Sri Lanka an added that the S14 would be added to the fleet of up-country trains.

He also added that the S14 train was purchased from a loan obtained from two private banks in Sri Lanka.

Mr. Fernando further stated that they expect to provide Sri Lankan commuters with the facilities enjoyed by rail commuters elsewhere in the world and added that new facilities would be added to the existing fleet of trains as well.

The train is fitted with automatic seats, a computerized system with details of the journey, toilet facilities for disabled commuters, CCTV cameras recording the journey from the front of the engine, air-conditioned compartments, special places for wheelchairs of the disabled and updated TV screens.

While stating that there are special doors for the disabled to board the trains while seated on their wheelchairs.

A team of Chinese technicians, chief engineer of the Dematagoda power locomotive sub-department K.G.S. Bandara, Deputy Chief Engineer Nishantha Perera from the Ratmalana sub-department of the chief technical engineer and a group of railway employees were on board the train on its maiden journey.

Mr. Fernando further stated that they expect to provide Sri Lankan commuters with the facilities enjoyed by rail commuters elsewhere in the world and added that new facilities would be added to the existing fleet of trains as well.

The train is fitted with automatic seats, a computerized system with details of the journey, toilet facilities for disabled commuters, CCTV cameras recording the journey from the front of the engine, air-conditioned compartments, special places for wheelchairs of the disabled and updated TV screens.

While stating that there are special doors for the disabled to board the trains while seated on their wheelchairs.

A team of Chinese technicians, chief engineer of the Dematagoda power locomotive sub-department K.G.S. Bandara, Deputy Chief Engineer Nishantha Perera from the Ratmalana sub-department of the chief technical engineer and a group of railway employees were on board the train on its maiden journey.

+++++++++++++++++++++

***************************************

සාමනේර හිමිවරුන්ට පහර දෙන මේ ‘ශුක්‍ර සුනඛයා’ කවුද?

(10.09.2019 – 19:34 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙක් පහර දෙන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට පැතිර යමින් තිබේ.

කෙසේ වෙතත් මෙම පහරදීම සිදුකරන ස්ථානය හෝ පුද්ගලයා පිළිබදව තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

එහිදී ඇතිවෙන්නේ මෙවැනි සංවාදයකි.

“කවුද ගන්න කිව්වේ?

මෙයා කිව්වේ….

මම කිව්වනේ දහය අයින් කරන්න කියලා.

කවුද හොරකම් කරන්න කිව්වේ?

හොරකම් කරන්න කිව්වේ නෑ …

ඉනේ ගහගන්න කිව්වේ?

මම ඉනේ ගහගත්තේ නෑනේ.

කවුද ගත්තේ? කවුද ගත්තේ?

මම ගත්තා කියලා මම පිළිගන්නවා.

මෙයානේ කිව්වේ ගන්න කියලා.

බොරු කිව්වේ ඇයි? කවුද ගත්තේ?

කවුද ගත්තේ? මෙයාද කිව්වේ?

මෙයානේ කිව්වේ.

එයා තමයි ගෙවන්නම් කිව්වේ.

ගෙවන්නම් කියපු හින්දයි ගත්තේ.

හොර වැඩ කරන්න එපා. හොර වැඩ …

හොර වැඩ … හොර වැඩ …

මං මොනවත් කළේ නෑනේ.

අනේ..

හොර වැඩ කරන්න එපා හරිද?

හා…

එහෙම ගහන්න එපා.

ඇති ඇති”

+++++++++++++++++++++

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දුන් ‘ශුක්‍ර සුනඛයා’ අත්අඩංගුවට

(10.09.2019 – 21:28 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.

මෙලෙස සාමණේර හිමියන් දෙනමට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් අයෙක් බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ හොරොව්පතාන පොලිසිය විසින් සැකකරුව හඳුනා ගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ ෴

+++++++++++++++++++++

සාමණේර හිමිවරුන්ට පහර දුන් සැකකරු රිමාන්ඩ්

(11.09.2019 – 13:35 +0530 – hirunews.lk/sinhala)

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

අදාළ සකකරු අද (11) පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව සැප්තැම්බර් 24 දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කල බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙලෙස සාමණේර හිමියන් දෙනමට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් අයෙක් බව පොලීසිය සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ හොරොව්පතාන පොලිසිය විසින් සැකකරුව හඳුනා ගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

සාමනේර හිමියන් දෙදෙනා මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පවසයි ෴

+++++++++++++++++++++

සාමනේර දෙනම අමානුෂික පහර දීමකට ලක් වු ඇත්ත හේතුව හෙළිවෙයි

(11.09.2019 – 17:28 +0530 – sinhala.adaderana.lk)

සාමනේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

අදාළ සකකරු අද (11) පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව සැප්තැම්බර් 24 දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර බව කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කර තිබේ.

හොරෙව්පොතාන ශ‍්‍රි ස්වර්ණතිලකාරාම මහ පිරිවෙන්වාසි වයස අවුරුදු 10 සහ 14 වියෙහි පසුවන සාමනේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදී මහජන කැලඹීමක් ඇති වන ආකාරයට අසංවර ලෙස ක‍්‍රියා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලීසිය කුඩා වෙළෙදසැල් හිමියෙකු වන මෙම සැකකරු ඊයේ(10) අත්අඩංගුවට ගත්තේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණ මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතාට නියෝග කල මහේස්ත‍්‍රාත්වරයා පහර කෑමට ලක්ව සිටින සාමනේර දෙනම අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් දකර ඊට අදාල වෛද්‍ය වාර්තාද අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද තවුදරටත් නියෝග කරනු ලැබීය.

හොරොව්පොතනා මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමති මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක කීර්ති ජයන්ත මහතා සඳහන් කළේය.

සැකකරුට අයත් කුඩා වෙළෙදසැලක් හොරොව්පොතාන මැදගම ප‍්‍රදේශයේ පිහිටා ඇති අතර, එම වෙළෙද සැලෙන් දියර කිරි පැකට් මිලදී ගැනීමට මෙම සාමනේර හිමිවරුන් දෙපල ඉකුත් 10 වන දින පැමිණ තිබේ.

එම අවස්ථාවේ සැකකරු මෙම පරදීම සිදු කර ඇති බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය.

රුපියල් 10 ක් වටිනා චොක්ලට් දෙකක් මුදල් නොගෙවා හොරෙන් ලබා ගත් බවට චෝදනා කරමින් සැකකරු සාමනේර දෙනමට මෙලෙස අමානුෂික ලෙස පහරදී ඇති බව දැනට සිදු කර ඇති මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වූ බව අධිකරණයට සැලකල ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එහෙත් සාමනේරු දෙනම මුදල් නොගෙවා හොරෙන් සැකකරුට අයත් වෙළෙද සැලෙන් චොක්ලට් ලබා ගෙන නැති බව පොලිස් විමර්ශනවලදි තවදුරටත් හෙළිවි ඇතැයි ද අවධාරණය කළේය.

සැකකරු සාමනේර හිමිවරුන්ගේ කම්බුල්වලට මෙන්ම ශරීරයේ වෙනත් ස්ථානවලට අමානුෂික ලෙස පහර දෙන අයුරු සිද්ධිය වූ ස්ථානයට අඩි 8 ක් දුරින් පිහිටා තිබූ සීසීටීවී දර්ශන තුළ පැහැදිලිව සටහන්ව ඇති බවද අධිකරණයට කියා සිටි ප‍්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත මහතා සැකකරුට ඇප ලබා දුනහොත් මහජන කැලඹීමක් ඇති වීමේ දැඩි අවධානමක් පවතින බවද පැවසීය.

සැකකරුගේ පහරකෑමට ලක් වූ වයස අවුරුදු 10 සහ 14 වියෙහි පසු වන සාමනේර දෙනම හොරොව්පොතාන මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා තවදුරටත් අධිකරණයට දැන්වීය.

ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන රංග සුජීව / අජිත් දිසානායක / තුෂාරි විජේනායක සහ දිලීෂියා දිසානායක යන මහත්ම මහත්මීන් සහ කැබිතිගොල්ලෑව නීතිඥ සංගමයේ සියලුම නීතිඥයින් සාමනේර දෙනමගේ අයතිවාසිකම් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව පෙනී සිටීමත් සැකකරු වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥයෙකු හෝ නීතිඥවරියක ඉදිරිපත් නොවීමත් විශේෂත්වයකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝෂාන් සංජීව මහතාගේ නියෝග මත ක‍්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් මගිනි.

සැකකරු සම්බන්ධයෙන් මූලික නීතිමය කටයුතු සිදු කර ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ කැබිතිගොල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා විසිනි.

සහකාර පොලිස් අධිකාරි කොඩිසිංහ මහතා ලබා ලබා දුන් විශේෂ නියෝගයකට අනුව එය සිදු කර ඇත ෴

***************************************

අණ නොතැකු ධීවර යාත්‍රාවට වෙඩි තැබීම ගැන නාවික හමුදාවෙන් කරුණු දැක්වීමක්

(11.09.2019 – 13:28 +0530 – sinhala.adaderana.lk)

පසුගිය අගෝස්තු 29 වන දින පුල්මුඩේ ප්‍රදේශයේ සිදු කරන ලද නාවික මෙහෙයුමක් අතර තුර දී පළා යෑමට උත්සහ කළ ධීවර යාත්‍රාවක් නැවත්වීමට අණ ලබා දී තිබුණි.

එහිදී අණ නොතකා පළා යෑමට උත්සහ කිරීමේ දී නාවික හමුදාව විසින් නිසි ක්‍රමවේදයට අනුව අවවාදාත්මක වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

එම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාවක් ඊට පසු දින නාවික හමුදාව විසින් නිකුත් කර තිබිණි.

මෙහිදී නාවික හමුදාවට ධීවර පනත හා අනෙක් නීති මඟින් ලැබී ඇති නීතිමය රාමුව තුළ පමණක් කටයුතු කර තිබුණු බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි.

විශේෂයෙන් ධීවර පනත අනුව නාවික හමුදාවට යම් සැකකටයුතු ධිවර නෞකාවක් පරීක්ෂා කිරීමට හා එය අත්අඩංගුවට ගැනීමට බරතල ලබා දී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික ධීවරයින් සිව් දෙනා සතුව වලංගු ධීවර බලපත්‍රයක් හෝ යාත්‍රාවේ ලියාපදිංචි ලේඛනයක් තිබී නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ධීවර කර්මාන්තයේ දී අවශ්‍ය වෙන කිසිදු ධීවර ආම්පන්නයක් හෝ හැඳුම්පත් මොවුන් සතුව නොතිබුණ බවත් නාවික හමුදාව තරයේ ප්‍රකාශ කරයි.

මෙම සැකකරුවන් සතුව තිබී රුපියල් 50,000 ක මුදලක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබුණි.

ඔවුන්ගෙන් කරුණු විමසීමේ දී කරුණු පැහැදිලි කර ගැනීමට අසිරු වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන කුච්චවේලි පොලිස් ස්ථානයට ඉදිරිපත් කල බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එක් පුද්ගලයෙකුට තුවාල සිදුවු බවට වාර්තා වු අතර, නාවික හමුදාවෙන් මුලික ප්‍රතිකාර ලබාදී මොවුන් පොලීසියට බාර දී තිබුණි.

කෙසේ වෙතත් පසුව මෙම පුද්ගලයින් විසින් නාවික හමුදාව පහර දීමක් සිදු කල බවට චෝදනා කරමින් ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර ඇතැයි ද පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා එම චෝදනාව නාවික හමුදාව විසින් තරයේ ප්‍රතික්ෂේප කරන බවද පැවසීය.

මෙම පැමිණිල්ලි විභාගය සම්බන්ධයෙන් නාවික නිලධාරීන්ට ත්‍රිකුණාමලය පොලීසිය වෙත ඉදිරිපත් වෙන දැනුම් දී ඇති අතර, එහිදී නාවික සෙබළුන් කටඋත්තර ලබා දීමට යාත්‍රාවේ සිටි නිලධාරින් යොමු කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය අධිකරණය විසින් එම නිලධාරීන් ලබන මස 16 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණයේ නියෝගවලට ගරු කරන අතර, එම තීන්දු අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නාවික හමුදාව සතු නොවන බවද පැවසු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

එසේ වුවත් නාවික හමුදාව රටේ ආරක්ෂාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලයින් විශාල ලෙස අත්අඩංගුවට ගත් බවත් ඔවුන් විශාල ලෙස නීතිවිරෝධි ක්‍රියාවන්වල නියුතු වුවන් වන බවත් පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා යුද්ධය අවසන් වී තිබියදීත් දේශයේ සුරක්ෂිතතාවය උදෙසා කටයුතු කළ බවත් පැවසීය‍.

එවැනි අවස්ථාවක නාවික හමුදාවට ඇතැමුන් මෙලෙස අභූත චෝදනා කිරීම ගැන කණගාටුවට පත් වෙන බවත් පැවසු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා, දේශයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අතර, මෙවැනි නීති විරෝධි කටයුතු කරන පුද්ගලයින් සිටි නම් ඉදිරියේ දීත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

අණ නොතැකූ ධීවර යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියකට රිමාන්ඩ් කළ නාවික හමුදා සෙබළුන්ට ඇප

(12.09.2019 – 17:07 +0530 – hirunews.lk/sinhala)

කෝකිලායි මුහුදු තීරයේදී අණ නොතකා ධාවනය වූ ධීවර යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදා සෙබළුන් 12 දෙනා අද ඇපමත මුදාහැරුණා.

ඒ, ඔවුන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම නාවික සෙබළුන් 12 දෙනාට ඇප ලබාදෙන ලෙස මෝසමක් මගින් නාවික හමුදාව අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර, එය සලකා බැලූ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා නාවික සෙබළුන් 12 දෙනා ඇපමත මුදාහැරීමට තීරණය කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේ.

පසුගිය අගෝස්තු 28 වනදා කෝකිලායි මුහුදු තීරයේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවකට සැකකටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය වූ අතර, ඔවුන්ට නවතන ලෙස නාවික හමුදාව සංඥා කළත් නොනවත්වා යාත්‍රාව ගමන් කිරීම හේතුවෙන් එම බෝට්ටුව දෙසට වෙඩි තබා ඇති බව වාර්තා වුණා.

ඊට අදාළව මෙම නාවික සෙබළුන් 12 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා ෴

***************************************

වයස 60 ට වැඩි කලාකරුවන්ට දීමනාවක්

(11.09.2019 – 12:46 +0530 – sinhala.adaderana.lk)

වයස අවුරුදු 60 ට වඩා වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා මාසයකට රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

එම වැඩසටහනකින් පළමු අදියර ලෙස ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 200 දෙනෙකුට පළමුව එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජය විසින් කලාකරුවන් සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 94 ක මුදලින් ලැබෙන පොළිය මත එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා මෙහිදී පැවසීය.

සංස්කෘතික අමාත්‍යාංශය සහ සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් මෙම වැඩසටහන සිදු කරන අතර සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් එය මෙහෙයවනු ලැබේ.

එක්සත් ජාතික කලා සංසදය, ගායක ගායිකා සංගමය, ජාතික කලා සංසදය, මොරටුව කලා එකමුතුව ඇතුළු කලා සංගම් කිහිපයක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව කීය.

චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස්, නාලන් මෙන්ඩිස්, කීර්තී පැස්කුවෙල්, චිත්‍රා කුමාරි කළුබෝවිල, සැනට් දික්කුඹුර, සරත් ද අල්විස් ඇතුළු කලාකරුවෝ රැසක් ඒ සඳහා සහභාගී වී සිටියහ.

කලාකරුවන්ගේ ප්‍රශ්න සහ එම ක්ෂේත්‍රයට බලපාන කරුණු කාරණා ගණනාවක් එහිදී දෙපාර්ශවයෙන් ම සාකච්ඡාවට ලක්වුණු අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේ ද සඳහන් කළේය.

“ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට ලබා දෙ එකම මාසික විශ්‍රාම වැටුප ඔබ විසින් තෝරා මා වෙත දැනුම් දෙන්න. දැනට අපි 200 දෙනෙකුගෙන් එම වැඩසටහන ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

කලාකරුවන්ගේ අරමුදල තවදුරටත් වර්ධනය කර ගැනීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා. එවිට අපිට අරමුදලෙන් ලැබෙන පොළිය වැඩි වෙනවා. ඒ අනුව ඉදිරියේ දී තවත් කලාකරුවන් පිරිසකට විශ්‍රාම වැටුප ලබාදිය හැකියි.

ඔබ විසින් තෝරා එවනු ලබන කලාකරුවන්ට විශ්‍රාම වැටුප හිමිකර ගැනීමට තරම් සුදුසුද කියලා ඔබ තීරණය කරන්න. ඔවුන්ට තමන්ගේ දිවිපෙවෙත සරිකර ගැනීමටත් නොහැකි නම්, ඔවුන්ගේ දරුවන්ට ඔවුන් පෝෂණය කිරීමටත් නොහැකි නම් අපි ඔවුන්ට අනිවාර්යයෙන් විශ්‍රාම වැටුප ලබා දෙයි.

කලාකරුවන්ගේ අරමුදල වර්ථමානය කරගැනීම සඳහා අපට කලාකරුවන්ගේම උදව් ලබා ගත හැකියි. විශේෂයෙන් අරමුදලට ආධාර පිණිස කලාකරුවන්ට තම කලා හැකියාවන් මඟින් දායකත්වය ලබා දෙන් පුළුවන්.”

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම මාසයකට වරක් වෛද්‍ය සායනයක් පැවැත්වීමට අපි තීරණය කරල කර තිබෙනවා. එවැනි කලාකරුවන් වෙනුවෙන් ද පැවැත්වීමට අපට හැකියි.

කලාකරුවන් වෙනුවෙන් අවශ්‍ය නොයෙකුත් සහන සහ සේවාවන් ලබා ගැනීම සඳහා සංගමයක් හෝ සමිතියක් මඟින් ඉල්ලීමක් කිරීමෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය ෴

***************************************

සබීතාපායට සියළු කටයුතු අගමැතිගෙන් – පා.ම. දුමින්ද කොමිසමට කියයි

(11.09.2019 – 07:50 +0530 – hirunews.lk/sinhala)

= කෘෂිකර්ම ගොඩනැගිල්ලට සියළු කටයුතු අගමැතිගෙන් – පා.ම. දුමින්ද කොමිසමට කියයි =

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පිහිටි ඩී.පී.ජේ. ගොඩනැගිල්ල ලබාගැනීමේ කටයුතුවලදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු කටයුතු සම්පාදනය කළ බව හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.

2015/2018 කාලසීමාවේ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ ඊයේ (10) සාක්ෂි ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන මන්දිරයේ ස්ථාපිත වීමෙන් පසු තමන්ට අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට රැගෙන යාමට අවශ්‍යතාවක් නොතිබූ බවයි ඔහු ප්‍රකාශ කළේ.

එම ගොවිජන මන්දිරය අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවක් මගින් පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරාගැනීමට කටයුතු කිරීමෙන් පසු එය වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාමට සිදුවූ බව ද දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සාක්ෂි ලබාදෙමින් කියා සිටියා.

ඒ සඳහා ගොඩනැගිලි කිහිපයක් පරීක්ෂා කර බැලූ බවත්, දැනට අමාත්‍යාංශය පිහිටි රාජගිරියේ ඩී.පී.ජේ. ගොඩනැගිල්ල ඒ සඳහා ලබාගැනීමට තමා උනන්දුවක් නොදැක්වූ බවත්, ඔහු ප්‍රකාශ කළා.

එහිදී තවදුරටත් සාක්ෂි ලබාදෙමින් දුමින්ද දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියේ එම ගොඩනැගිල්ල ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු අතර, ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු කටයුතු සම්පාදනය කළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා මේ මස 20 වනදා යළි කොමිසන් සභාව හමුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.

මේ අතර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද යළි පෙනී සිටීමට නියමිතයි.

ඒ, අමාත්‍යවරයාගේ ඡායාරූපය පාසල් පෙළ පොත්වල මුද්‍රණය කිරීමට අදාළ පැමිණිල්ලේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අධ්‍යක්‍ෂවරයා සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අමාත්‍යවරයා ද්වේශ සහගත ලෙස ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්වූ අතිරේක පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සඳහායි.

ඊට අමතරව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මහාමාර්ග විෂය භාරව කටයුතු කරන සමයේ අධික නිලධාරීන් පිරිසක් මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගැනීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා එම අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් කමල් අමරවීරට අද එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා ෴

***************************************

කල් මරන්න එපා – ඒකාබද්ධ විපක්ෂයෙන් නිදහස් පක්ෂයට අවවාදයක්

(11.09.2019 – 19:57 +0530 – hirunews.lk/sinhala)

කල්මැරීමෙන් වැළකී නිදහස් පක්ෂය තීරණයකට පැමිණිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෙම මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ නිදහස් පක්ෂය නව සන්ධානයේ ලකුණ පිළිබඳව ගැටළුවක් ඇති කර නොගත යුතු බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *