නව ව්‍යවස්ථාවෙන් බෙඳුම්වාදය ශක්තිමත් කරලා – උදය ගම්මන්පිල මහතා

(01.11.2017 – 13:46 +0530 – sinhala.adaderana.lk)

බෙඳුම්වාදය පරාජය කරන්න වර්තමාන ව්‍යවස්ථාවේ පවතින විධිවිධාන යෝජිත ව්‍යවස්ථාවෙන් ඉවත් කර බෙඳුම්වාදීන්ගේ බිය නැති කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (01) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් කිසිම කොටසක් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හෝ එයට පක්ෂව කතා කිරීමට හෝ ශ්‍රි ලංකාවේ පළාතක් හෝ එයින් කොටසක් හෝ වෙන් කිරීමට හෝ කිසිම පළාත් සභාවක් හෝ වෙනත් අධිකාරියක් කටයුතු නොකළ යුතුය යනුවෙන් යෝජිත ව්‍යවස්ථාවේ වගන්තිය සඳහන් වන බව සඳහන් කළ මන්ත්‍රීවරයා ඒ තුළින් පළාත් සභා හෝ අධිකාරියට වෙනම රාජ්‍යයක් පිළිබඳ කටයුතු කළ නොහැකි බවත් කොටි සංවිධානයටත් තනි පුද්ගලයින්ටත් රට බෙදන්න තහනමක් නොමැති බවත් අදහස් වන බව පැවසීය.

නමුත් පවතින ව්‍යවස්ථාවේ 157 වන වගන්තිය අනුව බෙඳුම් වාදයට ඍජුව හෝ වක්‍රව සහය දෙන තැනැත්තන්ට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පවරන්න හැකි බවත් එවැනි කිසිවක් නව ව්‍යවස්ථාව තුළ ඇතුළත් වී නොමැති බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

+++++++++++++++++++++++++++++++

කැටලෝනියා ක‍්‍රමය ක‍්‍රියාත්මකයි… ශ‍්‍රී ලංකාව බෙදී වෙන් වන්නේ මෙහෙමයි…
(02.11.2017 – 03:24 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් පල කලේය :

රජය නිරන්තරයෙන් කියන දෙයක් තමයි බෙදුම්වාදයට එරෙහිව බරපතල විධිවිධානයක් ලෙස “ ශ්‍රී ලංකාව නොබෙදූ සහ බෙදිය නොහැකි රාජ්‍යයක්“ යන වගන්තිය ව්‍යවස්ථාවට දානවාලු. ඒකෙන් රට බෙදෙන එක නතර කරන්න පුළුවන් නම් හමුදාව විසුරුවා හරින්න පුළුවන්නේ. මේක නිෂ්ඵල වගන්තියක් බව ස්පාඤ්ඤය ලෙයින් යකඩින් ඔප්පු කර තිබෙනවා. ස්පාඤ්ඤය යනු නොබෙදූ සහ බෙදිය නොහැකි රාජ්‍යයකි යනුවෙන් ව්‍යවස්ථාවේ දෙවන වගන්තියේ සඳහන් වෙනවා. 1978 හඳුන්වා දුන් නව ව්‍යවස්ථාවේ ඒ වගන්තිය දාලා පුළුවන් තරම් ප්‍රාන්ත වලට බලය බෙදුවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? කැටලෝනියාව ස්වාධීනත්වය ප්‍රකාශ කලා. ඔන්න දැන් බාස්ක් ප්‍රාන්තයත් ස්වාධීනත්වය ප්‍රකාශ කරන්න යනවා. ගසක් ගත්තොත් ගසේ අත්තක් අගට වැඩියෙන් බර යොදන්න යොදන්න එම අත්ත ගහෙන් කැඩිලා වෙන් වෙනවා. පලාත්සභා වෙනුවෙනුත් තිත්ත ඇත්ත ඒකයි. පලාත් සභාවලටත් වැඩිපුර බලතල දෙන්න දෙන්න ස්වාධීනව හිතන්න පුරුදුවීම තුලින් ඒවා වෙනම රාජ්‍ය ලෙස බෙදීයාමේ ප්‍රවනතාවයක් ඇතිවෙනවා.

ඒ නිසා ස්වාධීනව කටයුතු කරන්න අවශ්‍ය සෑම බලයක්ම ප්‍රාන්ත වලට දුන්නාට පස්සේ වෙන් විය නොහැකි කියලා වගන්තියක් ව්‍යවස්ථාවේ තිබුණු පමණින් බෙදී වෙන් වීම නවත්වන්න බෑ කියන පණිවිඩය තමයි ස්පාඤ්ඤයෙන් අපට ලැබෙන්නේ.

නමුත් මේ යෝජනාවලිය අපට කියන්නේ කුමක්ද? අනුපූරකතා මූලධර්මය නැතිනම් subsidiarity principle යටතේ බලය බෙදිය යුතු බවයි. පහළ ස්ථරයන්ට කළ හැකි සෑම කටයුත්තක්ම ඒ ස්ථරයන්ට පැවරීමයි මේ මූලධර්මයෙන් කියන්නේ. ඒ අනුව මධ්‍යම ආණ්ඩුවට ඉතිරි වන්නේ ජාතික ආරක්ෂාව, විදේශ සබඳතා සහ මූල්‍ය කටයුතු විතරයි. එවැනි අවස්ථාවක ශ්‍රි ලංකාව දෙකට නෙමෙයි නමයට කැඩී වෙන්වීමනම් කාටවත් නතර කරන්න බෑ. පුලුවන් තරම් බලය බෙදලා වෙනම රාජ්‍යයකට වස්තු බීජය අපිම මේ ව්‍යවස්ථාවෙන් පැල කරලා.

– අරවින්ද අතුකෝරල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *