පරිපාලන නිලධාරීන්ගේ වර්ජනය තාවකාලිකව අවසන්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පරිපාලන නිලධාරීන්ගේ වර්ජනය තාවකාලිකව අවසන්

• රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයෙන් සන්දේශයක්

• ආබාධිත රණවිරුවන් තවමත් කොටුව දුම්රියපලේ

• ඉල්ලීම් දිනා ගන්නා තෙක් මහපාරේ සටන් කරන බවට ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයෙන් ප්‍රකාශයක්

• ශ්‍රීලංකන්, අඟල් 15 MacBook Pro තහනම් කරයි

• ජනාධිපතිවරණයට සමෘද්ධි මුදල් යෙදවීමේ සූදානමක් ඇති බවට ඇමති දයා ගමගේට චෝදනා

• ගෝඨාභයට එරෙහිව අධිකරණ දෙකකින් ලබාදුන් නියෝගයක් අභියාචනාධිකරණය අත්හිටුවයි

• මුහුණු පොත – සමාජ ජාලා ක්‍රියාකාරීත්වය දැඩි නිරීක්ෂණයට

+++++++++++++++++++++++++++++++++++

පරිපාලන නිලධාරීන්ගේ වර්ජනය තාවකාලිකව අවසන්

(11.09.2019 – 19:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් දියත් කළ පැය 48 ක සංකේත වර්ජනය අද පස්වරුවේ අවසන් කෙරුණා.

කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් ඊයේ සහ අද රාජ්‍ය ආයතන රැසක කටයුතුවලට එල්ලවුණේ දැඩි බාධාවක්.

වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින් ඔවුන් ඊයේ දිනයේදී මෙම වර්ජනය ආරම්භ කළ අතර, වර්ජනය හේතුවෙන් ආගමන විගමන, පුද්ගයින් ලියාපදිංචි කිරිමේ සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මෙන්ම සියළුම දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිපාලන කටයුතුවලට ද බාධා එල්ලවුණා.

වර්ජනයේ නිරත ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකයින්ගේ විශේෂ මහ සභා රැස්වීමක්ද අද කොළඹදී පැවැත්වූ අතර, ඊට පෙර ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවී පසුව අමාත්‍යවරයාට සිය ගැටලුව පිළිබඳ සංදේශයක්ද භාරදී තිබෙනවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා කියා සිටියේ අද දිනයේ වර්ජනය අවසන් කළත් ලබන අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී සිය ගැටළුවට විසඳුමක් නොලැබෙන්නේ නම් පසු දිනයේ යළි සිය සංගමයේ නියෝජිතයින් රැස්වී ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳව සාකච්ඡා කරන බවයි.

කෙසේ වෙතත්, සේවා ලබාගැනීමට පැමිණ අපහසුතාවට පත්වූ ජනතාව වර්ජනය නිසා අද දිනයේදීත් මහත් අසීරුතාවට පත්ව සිටියා.

මේ අතර 2016 අයවැය ලේඛනයට අනුව පැන නැගී ඇති වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩලය ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක වුණා.

දිවයින පුරා පිහිටි සියළුම විශ්වවිද්‍යාලවල මෙම වර්ජනය ක්‍රියාත්මක අතර, ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු වලට දැඩි බාධා එල්ල වූ බවයි වාර්තා වන්නේ.

***************************************

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයෙන් සන්දේශයක්

(11.09.2019 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ජීවිතාන්තය දක්වා වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට සංදේශ භාරදෙනු ලැබුවා.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා පොලිස් අබාධිත රණවිරුවන්ට හා මියගිය අතුරුදන් රණවිරුවන්ගේ යැපෙන්නන්ට ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන බවට එකඟ වී එය මෙතෙක් ඉටු නොවුණු බව පවසමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය අද කොළඹ දී විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් යෑමට ඔවුන්ට නොහැකි වුණේ ලෝටස් වටරවුම වසා දමා තිබීම හේතුවෙන්.

ඒ අනුව බස් රථයකින් එම ස්ථානයට පැමිණි පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලට වෙත ඇතුලුවීමට පොලිසිය අවස්ථාව ලබාදුන්නේ නැහැ.

පසුව එහි ප්‍රධානදොරටුව අසල බිම වාඩි වී ඔවුන් විරෝධතාවයේ නිරත වූ අතර, එහිදී අබාධිත හා විශ්‍රාමික රණවිරුවන් කිහිපදෙනෙකු ජනාධිපති කාර්යාලයට අදාළ සන්දේශය භාරදෙනු ලැබුවා.

ඉන් අනතුරුව ඔවුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට ද සන්දේශය භාරදීම සඳහා පාගමනින් පැමිණියා.

අදාළ සංදේශය භාරදීමෙන් අනතුරුව අබාධිත හා විශ්‍රාමික රණවිරුවන් පිරිස කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා පැමිණ මේවන විටත් එම ස්ථානයේ රැඳී සිටිනවා.

හෙට දිනයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීරටද අදාළ සංදේශය ලබාදීමෙන් අනතුරුව අඛණ්ඩ සත්‍යග්‍රහයක් සිදු කිරිම සම්බන්ධයෙන් තිරණයක් ගන්නා බවයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යු.ඩී. වසන්ත මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

+++++++++++++++++++++++++++++++++++

ආබාධිත රණවිරුවන් තවමත් කොටුව දුම්රියපලේ

(12.09.2019 – 12:37 +0530 – hirunews.lk/sinhala)

ආබාධිත විශ්‍රාමික රණවිරුවන් පිරිසක් කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිට තවදුරටත් විරෝධතාවයේ නිරතවනවා.

ප්‍රදේශයට මේ වනවිටත් වැසි ඇද හැලෙන අතර, එය නොතකමින් ඔවුන් එහි රැඳී සිටින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

සිය වැටුප් ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා මෙම ආබාධිත විශ්‍රාමික රණවිරුවන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනින් පැමිණියේ ලිපියක් භාරදීම සඳහායි.

කෙසේ වෙතත් ඒ සඳහා ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ගෙන් අවස්ථාවක් හිමිවූයේ නැහැ.

එහිදී පොලීසිය සහ ආබාධිත රණවිරුවන් අතර උණුසුම් තත්වයක්ද ඇතිවුණා.

අනතුරුව ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරියෙකුට ලිපිය භාරදුන් ආබාධිත විශ්‍රාමික රණවිරුවන් කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණ විරෝධතාවක් ආරම්භ කළා.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ කැඳවුම්කරු යූ.ඩී. වසන්ත මහතා සඳහන් කළේ විසඳුම් නොලැබුණහොත් අද පස්වරුව වනවිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවයි.

මේ අතර වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ආරම්භ කළ වර්ජනය තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.

අද පස්වරුවේ එම සේවාව නියෝජනය කරන සියලු වෘත්තිය සමිති රැස්වීමට නියමිත අතර, එහිදී ඉදිරි පියවර පිළිබඳ අවසන් තීන්දුවකට පැමිණෙන බවයි විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තිය සමිති කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා කියා සිටියේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඉල්ලීම් දිනා ගන්නා තෙක් මහපාරේ සටන් කරන බවට ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයෙන් ප්‍රකාශයක්

(12.09.2019 – nethnews.lk)

සිය ඉල්ලීම් දිනා ගැනීමට තවදුරටත් මහපාරේ සිට සටන් කරන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා.

එහි ප‍්‍රධාන කැදවුම්කරු යූ. ඩී. වසන්ත මහතා කියා සිටියේ “ජනාධිපතිවරයා 2019 නිදහස් සැමරුම් වේදිකාවෙදි කිව්වා තිස් අවුරුදු යුද්ධයේදී තුවාල වී ආබාධ වී සිටින පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට සහ මිය ගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට දිවි ඇති තෙක් වැටුප් ලබා දෙනවා.. එහි කටයුතු මාස දෙකක් ඇතුළත අනිවාර්යයෙන් අවසන් කරනවා කියලා. ඉතින් අපේ පළවෙනි අරමුණ ඒ ඉල්ලීම ලබා ගන්න එක.” යනුවෙනි.

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ ඇතුළු රණවිරු සංවිධාන කිහිපයක් ඊයේ (11) මෙම අරගලය ආරම්භ කළා. සිය ඉල්ලීම් ඇතුළත් සංදේශ ජනාධිපති කාර්යාලය සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලය වෙත එහිදී භාර දුන් බවයි ඔවුන් පවසන්නේ. අද මුදල් අමාත්‍යංශය වෙතද සංදේශයක් භාර දෙන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පැවසුවා.

***************************************

ශ්‍රීලංකන්, අඟල් 15 MacBook Pro තහනම් කරයි

(12.09.2019 – biz.adaderana.lk)

පැරණි පරපුරේ අඟල් 15 MacBook Pro පරිගණකවලින් ඒකක කිහිපයක බැටරිය අධික ලෙස රත්වීමේ සහ ගිනි ගැනීමේ අවදානමක් ඇති බවට ඇපල් සමාගම විසින් හඳුනාගෙන ඇත. මෙලෙස බලපෑමට ලක්වූ MacBook Pro ඒකක මූලික වශයෙන් 2015 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා කාලය අලෙවි කර තිබේ.

ආරක්ෂිත පියවරක් ලෙස මෙම උපාංග සතුව ඇති මගීන් ඒවා බලපෑමට ලක්ව තිබේද යන්න පිළිබඳව තහවුරු කර ගන්නා ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය ඉල්ලා සිටී. තමන් සතුව එවැනි උපාංගයක් ඇත්නම් එය අවදානමෙන් තොර බවට හෝ එහි බැටරිය ප්‍රතිස්ථාපනය කර ඇති බවට තහවුරු කිරීමට අපොහොසත් වන්නේ නම් එම උපාංග සමඟ ගුවන් යානයට ගොඩ වීමට හෝ භාණ්ඩ සමඟ ගෙනයාමට අවසර නොදෙන බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රීලංකන් ගුවන්සේවයේ පැය 24 පුරා විවෘත +94 11 777 1979 අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

ඔබගේ උපාංගය ආරක්ෂාකාරී බව තහවුරු කිරීම සඳහා, කරුණාකර ඇපල් අඟල් 15 අඟල් MacBook Pro උපාංගයේ බැටරිය යළි කැඳවීමට අදාල පහත සඳහන් වෙබ් පිටුවේ ඇති උපදෙස් අනුගමනය කරන්න :

15-inch MacBook Pro Battery Recall Program

https://support.apple.com/en-hk/15-inch-macbook-pro-battery-recall?pub=autodetect

***************************************

ජනාධිපතිවරණයට සමෘද්ධි මුදල් යෙදවීමේ සූදානමක් ඇති බවට ඇමති දයා ගමගේට චෝදනා

(12.09.2019 – 12:44 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය ආසන්නයේ සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් විෂයභාර අමාත්‍ය දයා ගමගේ විසින් අයථා අයුරින් යොදා ගැනීමේ සූදානමක් පවතින බව පවසමින් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය මැතිවරණ කොමිසම් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා ෴

***************************************

ගෝඨාභයට එරෙහිව අධිකරණ දෙකකින් ලබාදුන් නියෝගයක් අභියාචනාධිකරණය අත්හිටුවයි

(12.09.2019 – 11:37 +0530 – hirunews.lk/sinhala)

ඇවන්ගාඩ් නඩුවට අදාලව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය ලබාදුන් නියෝගය අභියාචනාධිකරණය අද අත්හිටුවනු ලැබුවා.

ඒ මෙම අධිකරණ ලබාදුන් නියෝග අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි මහතා සහ අර්ජුන ඔබේසේකර මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුලින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබුණා.

අල්ලස් කොමිසම එම නඩුව ගොනු කර තිබෙන ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් ගෝඨභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් මූලික විරෝධතාවක් ගොනු කර තිබූ අතර එය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයන් එම තීරණයට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධිත අයදුම්පතක් ගොනු කර තිබූ අතර එයද මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ මහාධිකරණයේ මෙම තීන්දුවලට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට පසුව පෙත්සමක් ගොනු කරනු ලැබූ අතර එහි තීන්දුව ලබාදෙමිනුයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම පිලිගැනීමට අභියාචනාධිකරණ විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවේ ෴

+++++++++++++++++++++

***************************************

මුහුණු පොත – සමාජ ජාලා ක්‍රියාකාරීත්වය දැඩි නිරීක්ෂණයට

(12.09.2019 – 00:00 +0530 – lankadeepa.lk)

මැතිවරණ කාලසීමාව ඉලක්ක කර මුහුණු පොත සහ සමාජ ජාලා ක්‍රියාකාරීත්වය දැඩිව නිරීක්ෂණයට ලක්කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට උපදෙස් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඉදිරි මැතිවරණ කාලසීමාවේදී ව්‍යාජ මුහුණු පොත් ගිණුම් සහ ට්විටර් ගිණුම් නිර්මාණය කිරීම තුළින් සිදුකරන විවිධ අපහාස සහ වෛරී ප්‍රකාශ මැඩපැවැත්වීම සඳහා මෙම පියවර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ තොරතුරු තාක්ෂණ සංගමය අතර පැවති හමුවකදී මෙම පියවර ගැනීමට තීරණය කර තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *