ලංකා රාජ්‍ය ජාලයේ දෙවන අදියර ඇරඹෙයි

(01.11.2017 – biz.adaderana.lk)

රාජ්‍ය ආයතන එකම පරිගණක ගත ජාලයකට සම්බන්ධ කෙරෙන ලංකා රාජ්‍ය ජාල (LGN) ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කර තිබේ.

මේ යටතේ මුලික වශයෙන් තවත් රාජ්‍ය ආයතන 860 ක් සම්බන්ධ කිරීම ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

මෙම ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම ලබන 7 දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ,පළාත් සභා ලේකම් කාර්යාල, කලාප අධ්‍යපන කාර්යාල සහ පළාත් පාලන ආයතන මෙම ව්‍යාපෘතිය යටතේ ජාල ගත කෙරෙන රාජ්‍ය ආයතන වලට අයත්වන බව නියෝජිතායතනය පවසයි.

අන්තර්ජාල පහසුකම් ලබාදීම / මෙගා බයිට් 100 දක්වා ධාරිතාවයෙන් යුතු පුළුල් පරාස දත්ත සම්බන්ධතාවයක් ලබාදීම / ආයතන පරිශ්‍රය ආවරනය වන පරිදි රැහැන් රහිත පරිගණක ජාලයක් ස්ථාපනය කිරිම / රාජ්‍ය ආයතනයක් සතු දත්ත තවත් රාජ්‍ය ආයතනක් සමග විශ්වාසදායී සහ සුරක්ෂිත ලෙස හුවමාරු කර ගැනිමට හැකිවීම එමෙන්ම මෙම රාජ්‍ය ආයතන වලට පැමිණෙන මහජනතාවට නොමිලේ අන්තර්ජාල පහසුකම් සැලසීම ආදී පහසුකම් රැසක් රාජ්‍ය ආයතන වෙත හිමිවේ.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ‘ලංකා රාජ්‍ය මේඝය’ හෙවත් ‘ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ්’ වෙත ප්‍රවේශ වී ආරක්ෂාකාරී සහ විශ්වාසදායී ලෙස රාජ්‍ය ආයතන වල දත්ත ගබඩා කිරීමේ පහසුකම් සැළසීම සහ ඉ-මේල් ලිපි ගොනු කළමනාකරණ පද්ධති ඉ-රාජ්‍ය සේවාවන් ලබා දිමට පරිශ්‍රීලනය කිරීමට හැකිවීමයි. තවද දිවයිනේ ඕනෑම ස්ථානයක සිට වයිෆයි තාක්ෂණය ඔස්සේ ලංකා රාජ්‍ය ජාලය සමග සම්බන්ධවීමේ පහසුකම්ද මේ යටතේ හිමිවේ.

ඩිජිටල් ශ්‍රි ලංකාවක් දැක්ම යථාර්තයක් කර ගැනීමට පෙර මග සුදානම් කර ගැනීමේදී මෙරට රාජ්‍ය අංශය මේ අයුරින් සවිබල ගන්වා තිබීම අතිශයින් වැදගත් බවද අවසන් වශයෙන් මෙමගින් මහජනතාවට කාර්යක්ෂම සහ පලදායි සේවාවක් ලබා ගැනීමට හැකිවන බවද නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අජිත් මදුරප්පෙරුම මහතා සදහන් කරයි ෴

**************************************

කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනවාරියේ දී ජනසතු වෙයි
(31.10.2017 – biz.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ඉදිවන පළමු බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය වන කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙන අතර මෙය 2018 ජනවාරි මාසය පමණ වනවිට විවෘත කිරීමට රජය සැලසුම් කර ඇත.

මෙම විවෘත කිරීමත් සමග ආරම්භයේදී මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ දුම්රිය සහ බස්රථ නතර කෙරෙන අතර මාලඹේ දක්වා දැනට ඉදිකිරීමට සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය මාර්ගයද මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා අනාගතයේදී දීර්ඝ කිරීමට සැලසුමක් ඇතැයි වාර්තා වේ.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කළ පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන මේ වනවිට මහරගම නතර කරන බස්රථ මෙහි නතර කිරීමට සැලසුම් කර තිබෙන අතර කොට්ටාව බස් නැවතුම්පොළින් කොටසක්ද මෙම ස්ථානයට ගෙන එනු ඇත.

අළුතින් ඉදිවන අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ කොළඹට ඇතුළු වීමට තිබෙන පිවිසුම් ස්ථාන දෙක වන්නේ කොට්ටාව මාකුඹුර සහ අතුරුගිරිය පෝරේ යන පිවිසුම් ස්ථාන දෙකයි.

මේ අනුව, දකුණු අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, ඉදිකරමින් තිබෙන මහනුවර අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන මගීන්ට මෙම පිවිසුම් ස්ථාන දෙක ඔස්සේ කොළඹට ඇතුළු වීමට පුළුවන.

මේ නිසා, අනාගතයේදී කොට්ටාව මාකුඹුර සහ අතුරුගිරිය පෝරේ යන ප්‍රදේශ ආශ්‍රිතව මහා පරිමාණ සංවර්ධනයක් සිදුවනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

මේ වනවිටත්, මෙම ප්‍රදේශ රජයේ මහා නගර සංවර්ධන වැඩසටහන යටතේ විවිධ සංවර්ධන කටයුතු සඳහා හඳුනාගෙන තිබෙන කලාපයකි.

මේ අනුව බලන විට, කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැදගත්කම අනාගතයේදී වඩාත් වැඩිවනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය සහිතව කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ 2015 මැයි මාසයේදී වන අතර කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 845 කි. සම්පූර්ණ භූමිය සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 140 ක් වැයකර ඇත.

මේ සඳහා 50% ක අරමුදල් ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ ජපාන බැංකුවෙන් ලැබී තිබෙන අතර ඉතිරිය දේශීය වශයෙන් ලබා ගත් අරමුදල් වේ.

****************************************

LRT උපදේශක සේවා කොරියාවේ Seoyoung Engineering වෙතින් – කොන්ත්‍රාත්තු මිල රුපියල් මිලියන 202 යි
(01.11.2017 – biz.adaderana.lk)

ශ්‍රී ලංකාවේ බස්නාහිර කලාපය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග හය (06) පිළිබඳව පූර්ව – ශක්‍යතා අධ්‍යයනය සහ ශක්‍යතා අධ්‍යයනය සඳහා උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම.

කොළඹ හා තදාසන්න ප්‍රදේශයේ දැනට පවතින අධික රථවාහන තදබදය සහ පොදු ප්‍රවාහන පද්ධතිය හා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව ප්‍රවාහන මාදිලියක් ලෙස සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (Light Rail Transit – LRT) හඳුන්වා දීමට යෝජනා වී තිබේ.

මේ යටතේ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 06 ක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉදි කිරීමට නියමිත අතර, රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම දුම්රිය සංක්‍රමණ මාර්ග 06 ඉදි කිරීම සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීම පිණිස උපදේශක ආයතනයක් තෝරාගැනීමට ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ තිබේ.

ඒ සඳහා ජාත්‍යන්තර ආයතන 05 කින් යෝජනා ඉදිරිපත්ව ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 202 ක මුදලකට, කොරියාවේ, M/s Seoyoung Engineering Co. Ltd., (SYE), Saman Corporation වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *