අවුකන පිළිමය අවදානමක – වගකීම ඇමති බාරගත යුතු බව විහාරධිපති හිමියෝ කියති

(01.11.2017 – 10:22 +0530 – sinhala.adaderana.lk)

ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේ ගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති.

මේ දින වල දිගින් දිගටම විශාල වශයෙන් අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහත දී මෙම වහලයට අකුණු පාත් වූ බවත් විහාරාධිපති හිමියෝ පවසති.

මෙහි පවතින අවදානම පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු ඇමැතිවරු, අමාත්‍යංශ නිලධාරින් දැනුම් වත් කර ඇතත් මෙතෙක් කිසිදු අවධානයක් යොමු නොකළ බව උන්වහන්සේ පවසති.

අවුකන බුද්ධ ප්‍රතිමාවට අකුණක් මගින් යම්කිසි හෝ හානියක් සිදු වුවහොත් එහි වගකීම විෂය භාර අමාත්‍යවරයා විසින් දැරිය යුතු බවත් උන් වහන්සේ පවසති.

එමෙන්ම වහලය නිසියාකාරව සවි නොකිරීම නිසා වහලය මත වෑස්සෙන වතුර බුදු පිළිමය පිහිටි මලුවට පතිත වන බව ද උන් වහන්සේ පෙන්වා දෙති.

++++++++++++++++++++++++++++++++





++++++++++++++++++++++++++++++++

අද දෙරණ හෙළිකිරීමෙන් පසු අවුකන පිළිමයේ අවදානමට ඇමතිගෙන් පිළියමක්
(01.11.2017 – 19:48 +0530 – sinhala.adaderana.lk)

අවුකන බුද්ධ ප‍්‍රතිමාව ආශ‍්‍රත ප‍්‍රදේශයේ අකුණු අනතුරු වැලැක්විමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ අදාළ අංශවලට අද දෙරණ වාර්තා කිරීමෙන් අනතුරුව උපදෙස් ලබාදී තිබේ.

අවුකන පිළිමය ආවරණය කරමින් ඉදිකර ඇති යකඩ සහිත වහලය හේතුවෙන් එම ස්ථානයට අකුණු පතිතවිමේ අවධානමක් පවතින බවට අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති හිමි විසින් අද දෙරණට පවසා තිබුණි.

එම පුවත අද (01) උදෑසන පළ වීමත් සමග ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පල කර තිබේ.

මෙහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ අවුකන බුද්ධ ප‍්‍රතිමාව වැනි බෞද්ධ උරුමයන් රැකගැනිම පිළිබඳව සියලු දෙනා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම මේ පිළිබඳ සොයා බලා වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මන්ඩාවල මහතාට උපදෙස් ලබාදී තිබේ ෴

++++++++++++++++++++++++++++++

මේ තරම් සියුමැලිද කළු ගල් – සුනිල් එදිරිසිංහ | Me tharam siyumelida – Sunil Edirisinghe

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා //

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා //

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා //

මේ තරම්…

ගායනය : සුනිල් එදිරිසිංහ සූරීන්
පද රචනය : රවි වසන්ත වෙල්ගම සූරීන්
සංගීතය : දර්ශන රුවන් දිසානායක සූරීන්

http://meemessasinhalasongs.com/MP3/mp3-files/Sunil_Edirisinghe/Me Tharam Siyumalida.mp3


********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *