රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට අදාළ කැබිනට් පත්‍රිකාව සකසා අවසන්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට අදාළ කැබිනට් පත්‍රිකාව සකසා අවසන් (විඩියෝ)

• ජනාධිපතිවරණය කල් දාන්න අවසන් තුරුම්පුවත් දානවා – වාසුදේව නානායක්කාර (විඩියෝ)

• වැල්වැටිතුරෙයි මහජන බැංකු ශාඛාවේ ගින්නක්

• රට බෙදී යාම වළක්වා ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය තුළින් – මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (විඩියෝ)

• රන්ජන්ගේ නඩුව අතරේ ප්‍රසන්න විතානගේට සිතාසි

• දිවයින පුරා ශ්‍රී ලංගම ඩිපෝ 75 ක සේවකයින් වර්ජනයක

• 7 වන දිනටත් රණවිරුවන් සත්‍යග්‍රහයේ

• ටොනාඩෝවකින් පන්නල වෙළඳසැල් 20 කට හානි (විඩියෝ)

• Mathinta (Api UNP) – Iraj

• GMOA හෙට (18) උදෑසන 8 සිට පැය 24 ක වැඩවර්ජනයකට සුදානම්

+++++++++++++++++++++++++++++++++++

රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට අදාළ කැබිනට් පත්‍රිකාව සකසා අවසන්

(16.09.2019 – 19:35 +0530 – sinhala.adaderana.lk)

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය උපවාසයේ නිරත වැටුප් ගැටලුවට අදාළ කැබිනට් පත්‍රිකාව සකසා අවසන් බව ආරක්ෂක ලේකම්වරයා සමඟ අද (16) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී අදහස් පළ වූ බව පූජ්‍ය අතුරුලියේ රතන හිමි පවසයි.

කෙසේ වෙතත් වැටුප් ගැටලුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පසුගිය 11 වැනිදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ විරෝධතාව අඛණ්ඩව 6 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ඊයේ (15) රාත්‍රියේද අධික වර්ෂාව මධ්‍යයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ විරෝධතාවයේ නිරත විය.

මධ්‍යම රාත්‍රිය ආසන්න වන විට විරෝධතාවයේ නිරත පෙනහළු ආසාධිත අයෙකු රෝගාතුර විය.

1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වීමට එහි සිටි පිරිස කටයුතු කළ අතර එහි කාර්ය මණ්ඩලය ඔහුට ප්‍රතිකාර කරනු ලැබුවේය.

මේ අතර විරෝධතාවය පැවති ස්ථානයට රාත්‍රි කාලයේ පැමිණි සිවිල් ජනතාවද විරෝධතාවයේ නිරත පිරිසට තේ පැන් සංග්‍රහයක් ලබා දෙන අයුරු දක්නට ලැබුණි.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය අද දිනයේද වර්ෂාව මධ්‍යයේ විරෝධතාවයේ නිරත වූ අතර භික්ෂූන් වහන්සේ අද පස්වරු 1.30 ට පමණ විරෝධතාවයට සහය පළකරමින් ඊට එක් විය.

භික්ෂූන් වහන්සේගේ මැදිහත්වීමෙන් අද දිනයේ තවත් තාවකාලික අට්ටාලයක් ඉදිකරන අයුරු දක්නට ලැබුණා.

මේ අතර සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් අදත් විරෝධතාකරුවන්ගේ සුවදුක් විමසීමට පැමිණ සිටියේය.

මේ අතර අදත් සිවිල් ජනතාව මෙම විරෝධතාවයට සහය පළකරමින් විරෝධතාවයේ නිරත විය.

ඒ අතරතුර විරෝධතාවයට සහය පළකළ භික්ෂූන් වහන්සේ කිහිප නමක්, රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ නියෝජිතයින් පිරිසක් සමඟ ආරක්ෂක ලේකම්වරයාව හමු විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවට පූජ්‍ය අතුරලියේ රතන හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි, පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ එක්ව සිටියේය.

උන්වහන්සේ සඳහන් කළේ, විරෝධතාවයට පාදක වූ වැටුප් ගැටලුවට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වනු ඇතැයි එහිදී අදහස් පළ වූ බවයි.

අනතුරුව සාකච්ඡාවට සහභාගී වූ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස යළිත් විරෝධතාවය සමඟ එක් විය.

+++++++++++++++++++++

***************************************

ජනාධිපතිවරණය කල් දාන්න අවසන් තුරුම්පුවත් දානවා – වාසුදේව නානායක්කාර

(16.09.2019 – 19:29 +0530 – sinhala.adaderana.lk)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය කල්දැමීම සඳහා අවසන් තුරුම්පුව භාවිත කිරීමට සූදානම් වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද (16) කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණ ඡන්දය මඟහරින්න හෝ නැත්නම් කල් දමා ගැනීමට අවශ්‍ය බැවින් උසාවිය සමඟ මෙම ප්‍රශ්නය පටලවන්න උත්සහ කරන බව ද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

පොදු ජන පෙරමුණේ ජයග්‍රාහනය නොවැලැක් විය හැකි බැවින් මෙවැනි විවිධ ක්‍රියා සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

***************************************

වැල්වැටිතුරෙයි මහජන බැංකු ශාඛාවේ ගින්නක්

(16.09.2019 – 15:50 +0530 – sinhala.adaderana.lk)

යාපනය, වැල්වැටිතුරෙයි, මහජන බැංකු ශාඛාවේ ගිනි ගැනීමක් හටගෙන ඇත.

ඊයේ (15) සවස බැංකු ශාඛාවේ විදුලි ජනක යන්ත්‍රය පැවති කාමර‍යේ අදාළ ගිනි ගැනීම සිදුව ඇත.

ගින්න හට ගැනීමෙන්විදුලි ජනක යන්ත්‍රය පැවති කාමරයේ භාණ්ඩ කිහිපයක් ගිනිගෙන ඇති අතර, ගින්න හටගැනීමත් සමඟ ප්‍රදේශවාසීන් හා බැංකු ආරක්ෂක නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කොට ඇත.

පසුව යාපනය මහනගර සභා ගිනි නිවීමේ රථ පැමිණ ගින්න නිවා දමා ඇත.

සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවයි ෴

***************************************

රට බෙදී යාම වළක්වා ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය තුළින් – මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(16.09.2019 – 14:07 +0530 – sinhala.adaderana.lk)

13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හොත් රට දැඩි අර්බුදයකට ලක්වනු ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

නූතන දස පනත මහජන කොමිසමේ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ 13 වන සංශෝධනයේ යම් යම් ඉරි වලින් රට බෙදී යාම වළක්වා ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය තුළින් බවත් බටහිර ගැති පාලකයින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පෙන්වා දෙයි.

ජාතික විද්වත් භික්ෂු සංගමය මගින් මහජන අදහස් විමසිමෙන් පසුව සකස් කරන ලද නූතන දස පනත මහජන කොමිසමේ වාර්තාව එළිදැක්වීම අද සිදුකෙරුණි.

මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

+++++++++++++++++++++

***************************************

රන්ජන්ගේ නඩුව අතරේ ප්‍රසන්න විතානගේට සිතාසි

(17.09.2019 – gossiplankanews.com)

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ප්‍රසන්න විතානගේ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) සිතාසි නිකුත් කළා.

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්‍ෂිකරුවන් ලෙස අධිකරණයේ පෙනී සිටින ලෙසට ප්‍රසන්න විතානගේ මහතාට සිතාසි නිකුත් කර තිබේ.

‘උසාවිය නිහඩයි’ නමින් ඔහු නිර්මාණය කළ චිත්‍රපටය සම්බන්ධයෙන්ද අධිකරණයට චෝදනා තිබෙන බව රන්ජන්ගේ නඩුවේදී කරුණු හෙළීවීම මත මෙම කැඳවීම කර ඇත.

මෙම නඩුවට අදාළ සාක්‍ෂිකරුවන් දෙදෙනාට ලබන මස 30 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරුණා. විනිසුරුවරුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමසීමට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා කැඳවන බව රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. මීට අමතරව ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වන ප්‍රසන්න විතානගේ මහතා කැඳවන බව ද විත්ති පාර්ශ්වයේ නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කළා.

රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා සාක්‍ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ විනිසුරුවරුන් 3 දෙනෙකුගේ දූෂිත ක්‍රියා හෙළි කරමින් 2002 වසරේ තමන් ‘නොනිමි අරගලය’ කෘතිය රචනා කළ බවයි. එහිදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා හා විනිසුරු උපාලි අබේරත්න යන මහත්වරුන්ගේ දූෂිත ක්‍රියා හෙළිකර ඇති බව ප්‍රකාශ කළා. මෙම නඩුව අද දිනයේ කැඳවනු ලැබුවේ විනිසුරු සිසිර ද ආබෲ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදීය ෴

***************************************

දිවයින පුරා ශ්‍රී ලංගම ඩිපෝ 75 ක සේවකයින් වර්ජනයක

(17.09.2019 – 08:32 +0530 – hirunews.lk/sinhala)

වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් 5 ක් මුල් කර ගනිමින් දිවයින පුරා ශ්‍රී ලංගම ඩිපෝ 75 ක සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (16) සිට මෙලෙස ඔවුන් වර්ජනයේ නිරත වන බවයි ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ සභාපති එම්. සමන් පුෂ්පකුමාර සඳහන් කළේ ෴

***************************************

7 වන දිනටත් රණවිරුවන් සත්‍යග්‍රහයේ

(17.09.2019 – 07:30 +0530 – hirunews.lk/sinhala)

සිය ගැටළුවට නිසි විසදුමක් ලැබෙන තුරු තවදුරටත් අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වන බව විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන් පවසනවා.

7 වන දිනටත් ඔවුන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වන අතර, ඊයේ (16) දින නියෝජිතයන් කිහිපදෙනෙකු සාකච්ජාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය ද, ඔවුන්ගේ ගැටලුවට නිසි විසඳුම් ලැබී තිබුණේ නැහැ.

අනතුරුව ඔවුන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවුණා.

එහිදී ජීවිතාන්තය දක්වා සියලු වැටුප් හා දීමනා ලබාදීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද දිනයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවටයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, ඊයේ (16) දිනයේදීත් සිවිල් සංවිධාන, පූජ්‍ය පක්ෂය ඇතුළු තවත් පිරිස් රණවිරුවන්ගේ සත්‍යග්‍රහයේ නිරත වන ස්ථානයට පැමිණ තිබුණා ෴

***************************************

ටොනාඩෝවකින් පන්නල වෙළඳසැල් 20 කට හානි

(16.09.2019 – 18:47 +0530 – lankadeepa.lk)

පන්නල – මාකඳුර නගරයේ අද (16) දහවල් දැඩි වර්ෂාවත් සමග ඇතිවූ ටොනාඩෝ සුළං තත්වය හේතුවෙන් නගරයේ වෙළඳසැල් 20 ක්, සතිපොළ භූමියේ වෙළඳ කුටි 100 ක්, පන්නල ප‍්‍රාදේශීය සභාව පවත්වාගෙන යන කොම්පෝස්ට් අංගනයේ වහලය ඇතුළු ගොඩනැගිලි රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය.

මෙම සුළං තත්වයෙන් කොම්පෝස්ට් අංගනයේ සේවකයන් 4 දෙනෙකු තුවාල ලබා සඳලංකාව දිසා රෝහලට ඇතුළත් කර ඇත.

නගරයේ විදුලි රැහැන්වලට හානි සිදුවීම නිසා නගරයේ විදුලිය විසන්ධි වී තිබිණි.

කොම්පෝස්ට් අංගනයට රුපියල් ලක්ෂ 50 ක පමණ හානියක් සහ සතිපොළ භූමියට ලක්ෂ 30 ක පමණ හානියක් සිදුව ඇතිබව පන්නල ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර මහතා පැවසීය.

මෙම සුළං තත්වය හේතුවෙන් හානි සිදුව ඇති ස්ථාන යථා තත්වයට පත්කිරීම සහ කඩිනම් සහන සැලසීම සඳහා පන්නල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශීය සභාව සහ පන්නල පොලීසිය කටයුතු යොදා ඇති බවද පන්නල ප‍්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

***************************************

MATHINTA – IRAJ : මැතින්ටා රන්ජන්ගේ Web එක Hack කරාද?

16-09-2019

+++++++++++++++++++++

Mathinta (Api UNP) – Iraj (An edited version)

+++++++++++++++++++++

15-09-2019

***************************************

GMOA හෙට (18) උදෑසන 8 සිට පැය 24 ක වැඩවර්ජනයකට සුදානම්

(17.09.2019 – 11:52 +0530 – sinhala.adaderana.lk)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (18) උදෑසන 8 සිට පැය 24 ක වැඩ වර්ජනයක් සිදු කරන බව පවසයි.

අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව කියා සිටියේය.

18-09-2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *