නෙළුම් කුලුනේ ‘කෝටි 200 වංචාව’

(17.09.2019 – 18:56 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීමේදී සිදුවූවායැයි පැවසෙන රුපියල් කෝටි 200 ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් විමර්ශනයක් ආරම්භකරනු ඇති බවත් එහිදී සත්‍ය කරුණු සියල්ල අනාවරණ වනු ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අතර අදාල ඉදිකිරීම් ආරම්භ වන සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා අද ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

චීන ණය මුදල්වල දායකත්වයෙන් අ.ඩො.මිලියන 104.3 ක පිරිවැයක් දරමින් ඉදිවුණු කොළඹ නෙළුම් කුලුන ඊයේ (16) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර එය ඉදිකිරීමේදී සිදුවූවැයි පැවසෙන රුපියල් කෝටි 200 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කළේය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ එවැනි සමාගමක් චීනෙවත් නොමැති බවයි.

කෙසේවෙතත් නෙළුම් කුලුනේ ඉදිකිරීම් ආරම්භ වූ වකවානුවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි.

ඔහු එහි දක්වා ඇත්තේ නෙළුම් කුලුණේ ඉදිකිරීම් සඳහා CEIEC සමාගමටත් ALIT සමාගමටත් 2012 ඔක්තෝබර් 29වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

ඉදිකිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීනයට ගිය අවස්ථාවේදී මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සහ ටෙන්ඩර් මණ්ඩලයේ සාමජිකයින් ALIT සමාගමේ සභාපතිවරයා සහ සාමාජිකයින් සමඟ සාකච්ඡා කළ බවත් ඒ පිළිබඳ සියලුම දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව ඇති බව තමා දන්නා බවත් අනූෂ පැල්පිට මහතා පවසා තිබේ.

එමෙන්ම නෙළුම් කුලුණ ටෙන්ඩර් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා ALIT සමාගමේ සභාපතිවරයා සමග බීජිං නුවර පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සාකච්ඡා කරන අවස්ථාවේ ගත් බව පැවසෙන ඡායාරූපයක්ද අනූෂ පැල්පිට මහතා සිට ෆේස්බුක් ගිණුමේ පලකර තිබුණි.

මේ අතර අනූෂ පැල්පිට මහතා අද මාධ්‍ය හමුවේ අදහස් පළකරමින් එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දැක්විය.

මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, මෙම ප්‍රකාශයකට වැරදි තොරතුරු ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බවයි.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සියයට 20 ක අතිකාල මුදලක් ගෙවීමට තිබුණත් එය සියයට 15 ක් දක්වා සාකච්ඡා කිරීමෙන් කටයුතු කළ බවත් එය රුපියල් බිලියන 2 කට ආසන්න ප්‍රමාණයක් බවයි.

මෙම මුදල සම්පූර්ණයෙන් ගෙවන ලද්දේ CEIEC සමාගම විසින් බවද පැවසු ඒ මහතා, කිසිදු අවස්ථාවක ALIT සමාගමට සතයක් හෝ ගෙවා නොමැති බව පැවසීය.

මෙම ගෙවීම විදුලි සන්දේශ නියාමන කොමිසම විසින් පියවා ගෙන ඇති බවත් 2016 මෙහි වැඩ අවසන කිරීමට තිබුණත් එය 2019 දක්වා කල් ගත වු බවයි.

මෙම ගිවිසුම හේතුවෙන් එක්සිම් බැංකුව විසින් ඇ.ඩො.මි. 2.137 ක මුදලක් පියවා ගැනීමට නොහැකි වු බවත් දැන් හෝ මෙහි ඇත්ත විදුලි සන්දේශ නියමන කොමිසමේ නිලධාරීන් විසින් පැවසිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනාධිපතිවරයා විසින් ඊයේ (16) සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා නීතීඥ ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඔහු පවසා සිටියේ මෙපමණ මුදලක් සම්බන්ධයෙන් මුල්‍ය විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් සිදු කර ඇති ද යන්නයි.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ඇති බවත් එහිදී සත්‍ය කරුණු සියල්ල අනාවරණ වනු ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ALIT සමාගම නෙලුම් කුලුන ඉදිකිරීම සදහා ගිවිසුමකට එළැඹ තිබුණද එහි කිසිදු ඉදිකිරිම් කටයුත්තකට සම්බන්ධ වී නොමැති බවයි.

+++++++++++++++++++++

http://www.alitcn.com/

+++++++++++++++++++++

ALIT සමාගමේ සභාපති වරයා ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති එවකට අධ්‍යාපනඅමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සමඟ චීනයේ බීජිං නුවර ALIT ප්‍රධාන කාර්යාල තුළදී සාකච්ඡා කරන අවස්ථාවේ ගත් ඡායාරූපයක් :

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.facebook.com/anusha.palpita1/videos/2544913062243103/
17-09-2019 – නෙළුම් කුලුනේ ALIT සමාගමට අත්තිකාරමක් ලබා දීමේදී සිදු වූ බව කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම – අනූෂ පැල්පිට මහතා

+++++++++++++++++++++

17-09-2019 – Anusha Palpita FB

මෙම පැහැදිලි කිරීම මීට පෙර අවස්ථා දෙකක දී මා විසින් මුහුණු පොත ඔස්සේ සිදු කරනු ලැබූ පැහැදිලි කිරීම් වලට වැඩිමනත් වශයෙනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි නෙලුම් කුලූන ව්‍යාපෘතිය 2012 වර්ෂයේ දී ආරම්භ කරනු ලැබුවා. මෙම ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරුවන් ලෙස එවකට චීනයේ ශී‍්‍ර ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතාගේ නිර්දේශය මත China National Electronics Import and Export Corporation – (CEIEC) සහ Aerospace Long-March International Trade Co. Ltd. (ALIT) යන සමාගම් කොන්ත‍්‍රාත්කරුවන් වශයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත තෝරාගනු ලැබුවා. ව්‍යාපෘතියේ මුල් පිරිවැය ලෙස ටෙන්ඩර් මණ්ඩලය අනුමත කළ මුදල වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 104.3 යි. මෙම පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15.45 ක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අරමුදල් වලින් ගෙවීමටත් ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 88.5 ක් චීනයේ එක්සිම් (Exim) බැංකුවේ ණය මුදලක් ලෙස ලබා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබුණා. 2012 ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ දී මුල් අත්තිකාරම ලෙස (Mobilization Advance) ඇමරිකානු ඩොලර් මිලියන 15.45 ක මුදලක් එනම් රුපියල් බිලියන 2 කට ආසන්න මුදලක් (CEIEC) සමාගමට ගෙවන ලදී. මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ද විදුලි සංදේශ නියාමන කොමිසමට ලැබී තිබුණි. අදාළ මුදල පේ‍්‍රශනය කර ඇත්තේ චීනයේ එක්සිම් (Exim) බැංකුවේ CEIEC සමාගම විසින් පවත්වාගෙන යනු ලැබූ බැංකු ගිණුමටයි. ALIT සමාගමට කිසිදු ගෙවීමක් කවර හෝ අවස්ථාවක සිදු කර නොතිබුණි. මෙම අත්තිකාරම් මුදල සදහා අවලංගු කළ නොහැකි බැදුම්කරයක් (Irrevocable on demand Bank Grantee) ප‍්‍රධාන කොන්ත‍්‍රාත්කරු වූ CEIEC සමාගම විසින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ලබා දී තිබුණි. ව්‍යාපෘතියේ ප‍්‍රගතිය අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්ගේ නිර්දේශ මත වරින්වර අතුරු ගෙවීම් කිරීමේ දී මුල් අත්තිකාරම් මුදල අයකරගෙන ඇති අතර 2018 වන විට අය කර නොගත් අත්තිකාරම් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.13 ක් විය. එක්සිම් (Exim) බැංකුව විසින් ව්‍යාපෘතිය දිගින් දිගටම ප‍්‍රමාද වීම නිසා ණය මුදලේ ඉතිරි ශේෂය ලබා දීම ප‍්‍රතික්ෂේප කර තිබුණි. ඒ වන විට මුළු ණය මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන 88.5 මුදලින් අය කර ගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 67 කට ආසන්න මුදලකි. මුල් අත්තිකාරමෙන් පසුව කරන ලද සියලූ අතුරු ගෙවීම් සිදුකර තිබුණේ එක්සිම් (Exim) බැංකුව හරහා CEIEC සමාගමටය. 2018 න් පසුව ඉතිරි අතුරු ගෙවීම් සිදුකර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ප‍්‍රතිපාදන මගිනි. මුල් අත්තිකාරම් මුදලින් 2018 වර්ෂය වන විට අයකර ගෙන නොතිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක මුදල ද විදුලි සංදේශ නියාමන කොමිසම විසින් CEIEC සමාගමට ගෙවන ලද අතුරු ගෙවීම් වලින් අඩුකර ගෙන තිබුණි. ඒ අනුව මේ වන විට ව්‍යාපෘතිය ආරම්භයේ දී ගෙවන ලද අත්තිකාරම් මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන 15.45 ක මුදල CEIEC සමාගමෙන් අයකර ගෙන ඇත. නෙළුම් කුලුන ඉදිකිරීමේ දී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදු කළ යැයි අතිගරු මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති තුමා විසින් නෙළුම් කුලුන විවෘත කරන අවස්ථාවේ දී (2019 සැප්තැම්බර් 16) සිදු කළ ප‍්‍රකාශය පදනම් විරහිතය. ALIT සමාගමට කිසිම අවස්ථාවක කිසිදු මුදලක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් ගෙවා නොමැත.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් 2012 ඔක්තෝම්බර් 09 වන දින එක්සිම් බැංකුව හරහා ඇමරිකානු ඩොලර් මිලියන 15.64 ක් මුල් අත්තිකාරම් මුදල ලෙස ගෙවීම සම්බන්ධයෙන් එක්සිම් බැංකුව නිකුත් කළ රිසිට් පතේ පිටපතක් ද මෙහි අමුණා ඇත.

– facebook.com/anusha.palpita1

+++++++++++++++++++++

නෙළුම් කුලුනේ වංචාව ගැන ජනපතිගේ යුතුකම ආචාර්ය බන්දුල ගුණවර්ධන පහදයි

(17.09.2019 – 19:35 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදුවී ඇත්නම් ස්වාධීන ජනාධිපති කොමිෂන් සභාවක් පත්කොට සති දෙකක් තුළ ජනාධිපතිවරයාට ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාගත හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ අද(17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

2012 වසරේ ආරම්භ වු මෙම ව්‍යාපෘතිය අවසන් වීමට තිබුණේ 2015 දී බවත් යහපාලන රජය බලයට පැමිණි විගස මෙය අද දක්වා වසර 4 හමාරක් ඇඳ ගෙනවිත් ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

එය විවෘත කරන අවස්ථාවේ දී රුපියල් බිලියන 2 ක මුදලක් අතුරුදහන් වීමක් ගැන ප්‍රථම වතාවට ජනාධිපතිවරයා විසින් ලෝකයට ප්‍රකාශ කළ බවත්, මෙය ඉතා කණගාටුවෙන් හෙළා දකින බවත් ඔහු කියා සිටියේය.

හිටපු ජනපති සහ කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් වගකීම බාර ගන්නා බවත්, කිසිදු මුදලක් ආරම්භක අවස්ථාවේ සිට මේ රජය දක්වා ගෙවා ඇත්තේ එකම ගිණුමකට පමණක් බවත් එය වෙනත් ගිණුමකට ගෙවා එම මුදල් අතුරුදන් වුවා යැයි ජනපති පැවසු බවත් කියා සිටි ගුණවර්ධන මහතා, මෙවැනි සමාගම් ගැන මුදල් ලබා දීමක් ගැන ප්‍රශ්නයක් ඇත්නම් ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ මේ සම්බන්ධයෙන් වහාම සති දෙකක් ඇතුළත පූර්ණ පරීක්ෂණ වාර්තාවක් ගතහැකි සේ ස්වාධීන ජනපති කොමිසමක් පත්කිරීම බවද කියා සිටියේය.

ලෝකයේ 19 වැනි ස්ථානයට ලංකාව ඔසවා තබන විටත් දකුණු ආසියාවේ පළමු තැනට ගෙන ඒමට උදව් කළ චීන රජයට අපහාසයක් වන අයුරින් සොරකම්වලට රජය සමඟ එකතු වෙනවා යන පණිවිඩය සියුම්ව යැවීමට උත්සහ ගෙන ඇති බව පෙනී යන බවද ඔහු පැවසීය.

මේ අතර මෙම අවස්ථාවට එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසා සිටියේ, 2012 සිට 2019 අවසන් වාරිකය දක්වා එකම ගිණුමකට මුදල් ගෙවා ඇති අතර, ALIT සමාගමේ ගිණුමට නොව CEIEC නම් ප්‍රධාන සමාගම් ගිණුමට මුදල් බැර වී ඇති බවත් පැවසීය.

ජනාධිපතිගේ දෙවන චෝදනාව ලෙස ‘සමාගම හොයාගන්නවත් නැහැ’ යනුවෙන් පැවසු බවද කියා සිටි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාව යම් පිරිසක් නොමඟ යවා ඇති දැයි සැකයක් ඇති වෙන බවද කියා සිටියේය.

ගූගල් මැප් තුළින් සමාගම සොයාගත හැකි බවත් පැවසු මන්ත්‍රීවරයා, සමාගමේ නම ඇතුළත් කළ විය මෙය සොයාගත හැකි බවත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ, 2015 ජනවාරි නවය වැඩ නැවතුණ බවත් එයින් බිලියන එකොළහක් රටට අහිමි වු බව විගණන වාර්තා එළි දක්වා ඇතැයිද කියා සිටියේය.

සමාගමට මුදල් ගෙවලා තියෙනම්, සමාගම එතන නොමැතිනම්, රටේ දුෂණ වංචා හොයන ආයතන ඇති බවත් ජනාධිපති කොමිෂන් සභා ඇති බවත් ඒවා මෙයට එරෙහිව ක්‍රියාත්මක විය යුතුව තිබුණු බවත් පැවසීය.

වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න තිබු බවත් අද වන තෙක් කිසිවෙකුගෙන් ඒ ගැන ප්‍රශ්න කර නොමැති බවත් මන්ත්‍රීවරයා මෙහිදි වැඩදුරටත් කියා සිටියේය.

මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකෙ බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, අදාළ අය පොලීසියට පැමිණිලි කරලා පරීක්ෂණයක් සිදු කරනු ඇති අතර, කියපු අයත් ඒ ගැන සොයා නොබැලීම ගැන වගකිව යුතු බවත් පැවසීය.

+++++++++++++++++++++

නෙළුම් කුළුණෙන් මාටියා ගසා අතුරුදන් කියූ සමාගම පැය 24න් සොයාගනී.. ලෝ ප‍්‍රකට චීන රාජ්‍ය සමාගමක්..

(18.09.2019 – 10:00 +0530 – lankacnews.com)

නෙලුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ALIT (Aerospace Long – March International Ltd) නමින් චීනයේ සමාගමක් නැති බවත් ඒ නිසා එම සමාගමට ගෙවන ලද රුපියල් බිලියන 2 ක මුදල අතුරුදහන් බවට කළ චෝදනාව පදනම් විරහිත අසත්‍ය එකක් බව මේ වන විට ඔප්පු වී තිබේ.

ALIT (Aerospace Long – March International Ltd) සමාගම චීන රජයට අයත් සමාගමක වන අතර ඉන් චීන රජයට අයත් යුධ උපකරණ වන missile weapon systems, rocket systems, bombs, UAV, anti – terrorism / anti – riot equipment, border coastal surveillance and control / command systems, aerospace application equipment අපනයනය කරයි. නෙලුම් කුලුන යනු චන්ද්‍රිකා සන්නිවේදනයට මෙන්ම මෙරට ජාතික ආරක්ෂාවට අදාළ සන්නිවේදන ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා සන්නිවේදන කුලුනකි. ඒ සඳහා අදාළ සමාගමෙන් තාක්ෂණය සහ තාක්ෂණික උපකරණ ලබා ගෙන ඇත.

අප ජිවත් වන්නේ තොරතුරු තාක්ෂනය ඉහලම තැන තිබෙන යුගයකය. ගූගල් තාක්ෂණය ඔස්සේ ALIT (Aerospace Long – March International Ltd ) සමාගම තිබෙන තැන සොයා ගැනීමට මෙරට ඕනෑම පුරවැසියෙකුට පුළුවන.

මෙම සමාගම සොයා ගැනීම පිණිස පිරිසක් මෙරටින් චීනයට යැවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර එහි ගිය පිරිස මාස 6 කට වැඩි කාලයක් චීනයේ හොටල් වල රැඳෙමින් ජාතික ධනය නාස්ති කරමින් අදාළ සමාගම සෙවූ බව අනාවරණය වී තිබේ. මෙම කණ්ඩායමට නායකත්වය දුන්නේ චීනයේ සිටින ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා බවද ජනධිපතිවරයා අනාවරණය කර සිටියි.

මෙරට ජනතාව තුල වඩාත්ම විශ්වාසනීය රාජ්‍ය ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්වන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවේ ද මේ පිළිබඳ කරුණු සඳහන් වේ. 2018 නෙලුම් කුලුන ඉදි කිරීම පිළිබඳව විගණකාධිපති විශේෂ වාර්තාවක් එලි දක්වන ලදී.

එම විගණකාධිපති වාර්තාවේ කොතැනක හෝ ජනාධිපතිවරයා කියන රුපියල් බිලියන 2 වංචාව පිළිබඳව සඳහන් වී නොමැත. එහෙත් ජනාධිපතිවරයා නැතැයි කියන සමගම සමාගම සමග අත්සන් කරන ලද නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද අදාළ ගිවිසුමේ පිටපතක්ද ඇතුලත්ව තිබේ.

2012 ආරම්භ වී 2015 මැයි මස වන විට ඉදි කිරීම් නිම කිරීමට කර තිබු සැලසුම ක්‍රියාත්මක නොවීම මත රජය සිදු වූ පාඩුව පෙන්වා දී තිබේ. ඒ අනුව ඉදිරි වර්ෂ 15 ක් සඳහා ආදායම් පුරෝකථනයක් කර තිබිණි. එම පුරෝකථනයට අනුව කුලුන ඉදි කිරීම පමා වීම හේතුවෙන් 2018 අගෝස්තු 30 වන විට රජයට ඉපයීමට හැකිව තිබු රුපියල් මිලියන 5475 ක ආදායමක් අහිමිව තිබු බව වාර්තා වේ.

ඊට 2018 අගෝස්තු 30 සිට ඊයේ දක්වා ඉපැයීමට තිබු මුදල ඇතුලත් කොට නොමැත.

චීනය ලොව යුධමය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ශක්තිමත්ම රටකි. චීනයේ පවතින බෞද්ධ පරිසරයත් සමඟ චීනය ශ්‍රී ලංකාවත් සමඟ වසර දහස් ගණනකට පෙර සිටම ඉතා කිට්ටු සබදතාවයක් පවත්වාගෙන යති. මේ නිසාම චීනය ශ්‍රී ලංකාව තුළ අති විශාල ආයෝජන ප්‍රමාණයක් කර තිබෙන බවද ප්‍රසිද්ධ කරුණකි. ඉතා නුදුරු අනාගතයේදී චීනය ලොව ධනවත්ම මෙන්ම බලවත්ම රාජ්‍ය වනු ඇති බවට අනාවැකි දැනටමත්ම පළ වී තිබේ. එවැනි රටක සමාගමක් පිළිබඳව ජනාධිපතිවරයා එල්ල කළ මෙම චෝදනාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මෙන්ම නෛතික වශයෙන්ද ශ්‍රී ලංකා රජයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

– Asian mirror

+++++++++++++++++++++

නෙළුම් කුළුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක් ගෙවූයේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුට පමණයි – විපක්ෂ නායකවරයාගෙන් නිවේදනයක්

(18.09.2019 – 15:27 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – නෙළුම් කුළුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා ඇත්තේ එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන ‘චයිනා නැෂනල් ඉලෙක්ටෙ‍්‍රනික්ස් සමාගම’ට පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

නෙළුම් කුළුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක මුදලක් අතුරුදන්වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ අදටත් නෙළුම් කුළුනේ වැඩකටයුතු සිදුකරන්නේ එම සමාගම බවයි.

ඒ අනුව අනෙක් කොන්ත්‍රාත්කරු වූ ඒලිට් සමාගමට හෝ වෙනත් කිසිදු සමාගමකට කිසිදු ගෙවීමක් සිදුකර නොමැති බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.

Click on Image to Enlarge
• Hold down the “CTRL” key on your keyboard while spinning the mouse wheel to Increase / Decrease the font size (of the JPG Image).
= OR =
• Use ‘Ctrl’ + ‘+’ keys to increase the size (and font size) of the JPG Image.
• Use ‘Ctrl’ + ‘-‘ keys to decrease the size (and font size) of the JPG Image.
• Use keyboard arrow keys to browse the page (JPG image).

***************************************

නෙළුම් කුලුනේ අක්‍රමිකතා ගැන පක්ෂ භේදයකින් තොරව අනාවරණය කරනවා – හඳුන්නෙත්ති

(19.09.2019 – 14:08 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නෙලුම් කුළුණ ඉදිකිරීමේදී සිදුවු බව පැවසෙන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කොප් කමිටුව විමර්ශනයක් සිදුකරන බව එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති කොප් කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

2016 වර්ෂයේ 6 වන මස 23 දින විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව කැඳවා මේ පිළිබඳව සාකච්ඡා සිදු කළ බවත් නෙළුම් කුලුන ඉදිකිරීම් පිළිබඳ දීර්ඝ විස්තරාත්මක වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් 2019 අප්‍රේල් 1 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

එම වාර්තා දෙකේම මේ පිළිබඳ විස්තරාත්මක වාර්තා ඇති බවත් ඉදිරියේදී ඉතා ඉක්මනින් විදුලි සංදේශ නියාමන කොමිසම කැඳවා මේ පිළිබඳ විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර මෙහි ඇති මූල්‍ය අඩුපාඩුකම් අක්‍රමිකතාවයන් හා දූෂණයන් සිදුව ඇතිනම් ඒ පිළිබඳ විමර්ශනය කරන බවත් හඳුන්නෙත්ති මහතා පැවසීය ෴

***************************************

කුලුනෙන් ගැහුවාද ? කුලුනට ගැහුවාද ? – ආචාර්ය චරිත හේරත්

(19.09.2019 – 09:57 +0530 – lankadeepa.lk)

නෙළුම් කුලුන විවෘත කළේ මේ සතියේ සඳුදා (16) හවස්වරුවේය. මේ දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පත්වී තිබෙන්නේ ඒ උත්සවයේ කතා කළ ජනාධිපතිතුමන් කියූ එක් කතාවක්ය. රටේ ජනාධිපතිතුමන් බය නැතිව යමක් කියන්නේ තමන්ගේ උපදේශකයන් තමන්ට ලබා දෙන තොරතුරු හා කරුණු නිවැරැදි යැයි විශ්වාසයක් තිබෙන නිසාය.

එහෙත් මේ කතාවේ අන්තර්ගත කාරණය පිළිබඳව දැන් අනාවරණය වන තොරතුරුවලින් පෙනී යන්නේ නෙළුම් කුලුනේ ගෙවීම් සම්බන්ධයෙන් සිදු කළ ඒ ප්‍රකාශය තනිකරම වැරදි තොරතුරු මත සිදු කළ දෙයක් බවය. ඒ තොරතුරු එතුමන්ට දුන්නේ කවුරුන්ද කියා හෝ එතුමන් මේ සහතික නොකළ කට වචනය තමන්ගේම ප්‍රකාශයක් ලෙසින් කීවේ ඇයිද කියා දන්නේ නැත.

එහෙත් මෙවැනි ක්‍රියාකාරකම් නිසා අපේ රටේ ප්‍රධාන ආයතනික ව්‍යුහයත් දේශපාලනයත් යන දෙකම හෑල්ලුවට පත්වෙන බව මගේ අදහසයි. මේ සතියේ සටහනින් මේ පිළිබඳව ලියන්නට සිතුණේ අසත්‍ය කරුණුවලින් පිරුණු මේ අලංකාරික දේශපාලනය 2015 සිට මේ දක්වා රටට සිදුකර ඇති විනාශය විශාල එකක් බැවින් එය එළිපිටම කතා කිරීම වැදගත් කාරණයක් වන නිසාය.

මේ සිද්ධියට පදනම වැටෙන්නේ 2012 ආරම්භ නෙළුම් කුලුන ව්‍යාපෘතිය බව හැමෝම දන්නා කාරණයක්ය. මේ කුලුන හදන්නට යෝජනාව ආවේ කොහෙන්දැයි මා දන්නේ නැත. 2010 මහ මැතිවරණයෙන් පසුව අපේ රටේ සමාජ දේශපාලන අවකාශයේ විවර වූ සංවර්ධනමය මැදිහත්වීම් අතරින් එකක් ලෙසින් මේ ව්‍යාපෘතිය මතුවී ආ බව පෙනී යන කාරණයක්ය.

එම සමාජ දේශපාලන මොහොත තුළ ආරම්භ කළ යුතු සංවර්ධන වැඩසටහන් කවරේදැයි තීරණය කිරීමේදී යම් ආකාරයක අසමතුලනයක් ඇතිවී තිබුණා ද යන කාරණය මේ දවස්වල සමහරුන් මතුකරන කාරණයක් බව සැබෑය. ඒ අසමතුලිතභාවය ප්‍රශ්නයක් ලෙසින් සමහරුන් දකින්නේ රටේ යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා ලබාදුන් ප්‍රමුඛත්වය නිසාය. මා තේරුම් ගන්නා ආකාරයට 2009 දක්වා මේ රටේ තිබූ සිවිල් යුද්ධය නිසා විනාශයට පත්වී තිබූ සහ ඒ හේතුව නිසාම අවධානයට ලක් නොවී තිබූ යටිතල පහසුකම් අංශය යථාවත් කිරීම 2010 ආණ්ඩුව ඉදිරියේ තිබූ ප්‍රධානතම අභියෝගයක් වූ බවයි. ඒ අභියෝගය භාරගැනීම නිසා ඒ ආණ්ඩුවට ලැබිය යුතුව තිබුණේ අගය කිරීමක් මිස ප්‍රශ්නයට නැගීමක් නොවිය යුතු බව මගේ අදහසයි. එහෙත් 2015 ජනාධිපතිවරණ ක්‍රියාදාමයට පදනම් වූයේ මේ යටිතල පහසුකම් ගොඩනැගීම පිළිබඳව ගෙතුණු අවලාද හා අසත්‍ය ප්‍රකාශවලින් පිරී තිබුණු බව තේරුම් ගත යුත්තේ මේ තත්ත්වය හමුවේය.

දැන් පසුගිය සඳුදා නෙළුම් කුලුන විවෘත කරන අවස්ථාවේ ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයෙන් රටට ඉඟි කරන්නට උත්සාහ කළේ 2015 සිට පැවත එන මේ අලංකාරික දේශපාලනයේම දිගුවක් බව පැවසීම ඉතාමත් නිවැරැදිය. එතුමා කියන පරිදි නෙළුම් කුලුන ව්‍යාපෘතිය සඳහා සමදායකත්වය සැපයූ ආයතන තුනක් වේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා රජය පැත්තෙන් විදුලිසංදේශ කොමිෂන් සභාවත් චීනය පැත්තෙන් CEIEC (China Electronic Imports and Exports Corporation) සහ ALIT (Aerospace Long March International Trading Co) යන ආයතන දෙකත් මේ ගිවිසුමට බැඳී ඇති බවයි. දැන් ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශයෙන් කියන්නේ මේ කියන ALIT ආයතනයට ශ්‍රී ලංකා රජය මගින් රුපියල් බිලියන දෙකක් (කෝටි විස්සක්) අත්තිකාරම් වශයෙන් ගෙවා ඇති බවත් මේ මුදල ගෙවීමෙන් පසුව මේ සමාගම අතුරුදහන් වී ඇති බවත් ශ්‍රී ලංකා රජයට අතිවිශාල පාඩුවක් සිදුවී ඇති බවත්ය.

මේ කාරණය ඇත්තක් නම් එය රටට විශාල පාඩුවක් බව විශේෂයෙන් කීමේ අවශ්‍යතාවක් නැත. එහෙත් මේ කතාව ජනාධිපතිතුමන් කී දවසේම මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හිටපු විදුලිසංදේශ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කියා තිබෙන්නේ මෙවැනි කිසිදු ගෙවීමක් ALIT ආයනයට ගෙවා නැති බවත් මේ කාරණය සම්පූර්ණයෙන්ම වැරැදි තොරතුරු මත සිදුකරන ලද ප්‍රකාශයක් බවත්ය.

අනෙක් අතට මෙවැනි නොමඟ යැවීම් හරහා රටේ ජනාධිපතිවරයාගේ තත්ත්වය පවා හෑල්ලුවට පත්වී ඇති බව සමාජ මාධ්‍යවල බොහෝ අයගේ ප්‍රකාශ මගින් පෙන්නුම් කර තිබෙන අතර 2015 පටන්ගත් අලංකාරික දේශපාලනයේ බොරුවලට ඒ දේශපාලන ව්‍යාපාරයේ නායකයන්ද වැටෙන තරමට මේ අර්බුදය වර්ධනය වී ඇති බව මේ මගින් පෙන්වන අනෙක් කාරණයයි. දැන් ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශය යම් කිසි හෝ සත්‍ය පදනමක් තිබේනම් රජය කළ යුතුව තිබුණේ මේ සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදුකර ඒ කියන ආකාරයට රටට මුදල්මය පාඩුවක් සිදුකර ඇති අය නීතියේ රැහැනට පත් කිරීමය. එහෙත් එවැනි කිසිම දෙයක් සිදු නොකර ඒ පිළිබඳව කිසිම තොරතුරක් කියන්නේ නැතිව සිට රජයේ අවසාන මාස කීපය පැමිණි පසුව මේ ආකාරයේ ප්‍රකාශ කිරීම මගින් සිදුවන්නේ ජනාධිපතිතුමන්ටන් රජයටත් යම් තරමක හෝ පිළිගැනීමක් තිබුණානම් එයත් නැති කරගැනීමය.

මේ සිද්ධිය සමඟ 2015 ජනවාරිවරුන්ගේ පළල් දේශපාලන මෙහෙයුම සම්බන්ධ යැයි මා කීවේ පසුගිය වසර හතර හමාරක පමණ කාලයේ සිදුවූ දේවල් දෙස බැලීමෙන් පසුවය. 2015 ජනවාරිවරුන්ගේ දේශපාලනයේ පදනම වූයේම එවකට තිබූ සියලුම සංවර්ධන ව්‍යාපෘති ප්‍රශ්නයට ලක් කිරීමයි. ඒවා ප්‍රශ්නයට ලක් කිරීම පමණක් නොව එම ව්‍යාපෘති සම්බන්ධව විවිධ ආකාරයේ අලංකාරිකයන් ගොඩනගමින් සමාජය තුළ ඒ ඒ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව යම් ආකාරයක විචිකිච්ජාවක් ගොඩනැගීම ඒ කණ්ඩායමේ අවශ්‍යතාවය බවට පත්වූ බව පැහැදිලි කාරණයකි. ඒ අයගේ කණ්ඩායමේ සමහර ප්‍රධානීන් සාහිත්‍ය මහාචාර්වරුන් හෝ පරිවර්තකයන් වූ නිසා සමාජමය ප්‍රශ්න හමුවේ අලංකාරිකයන් ගොඩනැඟීම පැත්තෙන් ඉතාමත් දක්ෂ ලෙසින් මතුවී සිටි බවද සැබෑවකි. සමහරුන් වෘත්තියක් ලෙසින් කරන්නේ නවකතා ලිවීම වැනි නිර්මාණ කටයුතු නිසා සමාජ දේශපාලන ගැටලු ප්‍රශ්නාර්ථයක් ගොඩනැඟෙන පරිදි කතන්දර හැදීම දේශපාලනය ලෙසින් ප්‍රතිවරනඟනය කර ගත්තදැයි විමසිය හැකිය. මේ කාණ්ඩයේ දේශපාලනය කියන්නේම පසුගිය සඳුදා ජනාධිපතිතුමන් කියූ ආකාරයේ පදනම් විරහිත චෝදනාවලින් පිරුණු දේශපාලනයක් බව සිදුවූ බොහෝ දේවල්වලින් පෙන්නුම් කරන කාරණයකි.

නෙළුම් කුලුන ව්‍යාපෘතිය මේ රටේ ඒ මොහොතේ කළ යුතුව තිබූ හොඳම හා එකම ව්‍යාපෘතිය යැයි මා කියන්නේ නැත. ඒ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම විවිධ මූල්‍ය දුක්ෂරතාවලට භාජන වෙමින් ගොඩනැඟුනු රාජ්‍ය ව්‍යවසායකත්වයක් ලෙසින් තේරුම් ගැනීමේ වැරැද්දක් නැත. දැන් රටට අවශ්‍ය වන්නේ එවැනි රාජ්‍ය ව්‍යවසායකත්ව ශක්තිමත් ව්‍යාපාර බවට පාලනයක් මිස ඒවා පිළිබඳව නැති දූෂණ පිළිබඳව ආඩාපාලි කියන පාලකයන් නොවන බව මෙහිදී සඳහන් කළ යුතුම කාරණයකි. එසේම හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ වැනි රාජ්‍ය ව්‍යවසායකත්ව කළමනාකරණය කරමින් රටට ශක්තියක්වීම මිස ඒවා පිටරටට විකිණීම තමන්ගේ ප්‍රතිපත්තිය කරගත් දේශපාලනයෙන් මේ රටට වැඩක් නොවන බව පසුගිය වසර හතර හමාරේ පාලනය අපට පෙන්වා දෙන සත්‍යය යැයි කීමේ වැරැද්දක් නැත.

2015 රජයේ පැමිණීමත් සමඟ වරාය නගරය ව්‍යාපෘතියේ සිට නෙළුම් කුලුන ව්‍යාපෘතිය දක්වා මේ සෑම ව්‍යාපෘතියක්ම නිසිකාලයට නිමා නොකිරීමේ ‘කල් ඉකුත්වීමේ ගාස්තු’ (Demurrages) ගෙවීමට සිදුවූ බව මේ ආණ්ඩුවට සම්බන්ධ බොහෝ අය දන්නා කාරණයකි. එය එසේ වී ඇත්තේ මේ ආණ්ඩුව හැම සංවර්ධන ව්‍යාපෘතියකටම අවධානය යොමු කරන්නේම ‘එය තුළ යම් දූෂණයක් පවතී’ යන සැකය මුසු කරගත් මැදිහත්වීමක් වන නිසාය. මේ සැකය දුරු කරගැනීමට ගතවන කාලයට සමාන්තර කල් ඉකුත්වීමේ ගාස්තුව ගෙවීමට සිදුවී ඇත්තේ මේ රටේ ජනතාවටය. මා දන්නා ආකාරයට චීනයත් සමඟ සිදුකරන වරාය නගරය, ජපානයේ ආධාර මත සිදුකරන කටුනායක අධිවේගී මාර්ගයේ සිට කොළඹ දෙසට එන නව මාර්ගය, නෙළුම් කුලුන වැනි බොහෝ ව්‍යාපෘති සඳහා කල් ඉකුත්වීමේ ගාස්තු ගෙවීමට සිදුවූ බවය. මීළඟ ආණ්ඩුවකින් කළ යුතු එක් ප්‍රධාන කාර්යයක් විය යුත්තේ මේ ආණ්ඩුවේ සමහරුන් දැනුවත්වම කල් දැමූ මේ සමහර ව්‍යාපෘති සඳහා ගෙවූ මේ කල් ඉකුත්වීමේ ගාස්තුව ඒ ඒ අයගෙන් පෞද්ගලිකවම අය කරගැනීමේ නීතියක් සම්මත කරගැනීමය.

2015 ජනවාරි දේශපාලනය ආරම්භ වූයේ අලංකාරිකයක් ලෙසින්ය. එය ක්‍රියාත්මක වී වසර හතර පමණ වනවිට එය සහරාන්ගේ ත්‍රස්තවාදය හරහා ව්‍යසනයක් බවටද පත්විය. නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේ කියූ හා සමහර තවත් කාරණාවලින් පෙනී යන්නේ 2015 දේශපාලනය දැන් ප්‍රහසනයක් බවට පත්වෙමින් තිබෙන බවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *