එළු කූඩුවක් යටින් මතු වු සහරාන්ගේ ආයුධ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• එළු කූඩුවක් යටින් මතු වු සහරාන්ගේ ආයුධ

• සත්වෝද්‍යානවල සේවකයිනුත් වැඩවර්ජනයක

• ආයෝජන මණ්ඩලය සහ හීරා පදනම, අත්සන් තැබූ ගිවිසුමක් නීත්‍යානුකූල නොවන බව, කෝප් කමිටුවේදී හෙළිවේ

• මහ මඟ තනි වු සිඟිත්තා අද අධිකරණයට (විඩියෝ)

• අවුරුදු 4 ක් රටට කරපු විනාශයට ආණ්ඩුව එළවන්න ජනතාව බලා ඉන්නවා – දිනේෂ් ගුණවර්ධන (විඩියෝ)

• ජනාධිපති රට පාලනය කරන්නේ කටින් විතරයි.. කෝ සිංහ නාද..

• අට වන දිනටත් රට රැකි පුතුන් මහමඟ

• ගෑස් මිල පහළට – ආනයනික කිරිපිටි මිල ඉහළට

• ජනාධිපතිවරණය නොවැම්බර් 16

• පිවිතුරු හෙළ උරුමය පක්ෂ සම්මේලනය – 2019.09.01 (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

එළු කූඩුවක් යටින් මතු වු සහරාන්ගේ ආයුධ

(18.09.2019 – 11:34 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් ටී-56 ගිනි අවියක් සමඟ තවත් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගෙන තිබේ.

මෙම භාණ්ඩ අක්කරෙයිපත්තු පාලමුණෙයි ප්‍රදේශයේ ඔලුවිල් වරායට යන මාර්ගය අසල පිහිටි ඉඩමක වල දමා තිබිය දී මෙම ද්‍රව්‍ය අද (18) උදෑසන සොයා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව ටී-56 ගිනි අවියක් සජීව පතරොම් 30 ක් හා එම මැගසින් 1 ක් සොයා ගෙන තිබේ.

ඩෙටනේටර් 7ක්, ජෙලට්නයිට් කුරූ 4 ක්, වයර්, ඇමෝනියා, යුරියා, ඇතුළු භාණ්ඩ කීපයක් ද සොයා ගැණුන භාණ්ඩ අතර වෙයි.

අද දෙරණ වාර්තාකරු පවසා සිටියේ, මේ අතර හඳුනා නොගත් වෙඩි බෙහෙත් වර්ග දෙකක් ද ඇති බවයි.

මෙම අවි ආයුධ අදාළ ඉඩමේ එළු කූඩුවක් යටින් වල දමා තිබිය දී සොයා ගත් ඔහු වැඩිදුරටක් සඳහන් කළේය.

මෙම අවි ආයුධ සහරාන්ගේ ඇතුළු කණ්ඩායම විසින් සඟවා තබන්නට ඇතැයි ද පොලීසිය සැකපළ කරයි.

+++++++++++++++++++++

අම්පාරෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍යවල හිමිකරු හෙළිවෙයි

(18.09.2019 – 19:23 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – ඔළුවිල් – පාලමුණේ ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය වළදමා තිබූ ඉඩම තවුහිද් ජමාත් සංවිධානයේ අම්පාර නායකයා ලෙස සැළකෙන කල්මුණේ සියාම්ගේ ආධාරකරුවෙකු වන සලීම් මොහොමඩ් නැමැත්තෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා.

අද සොයාගත් පුපුරණ ද්‍රව්‍ය තොගයද ඔහුගේ ඉඩමෙහි එළුවන් ගාල් කර තිබූ කූඩුවක් යට වළදමා තිබියදී සොයාගනු ලැබුවා. ඊට, ටී 56 ගිනි අවියක්, උණ්ඩ බහාලනයක්, ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ 30 ක්, ඩෙටනේටර් 7 ක්, ජෙලග්නයිට් කූරු 4 ක්, ඇමෝනියා කිලෝ 2 ක්, යූරියා කිලෝ 3 ක්, වයර්, බැටරි සහ තවත් හඳුනානොගත් පුපුරණ ද්‍රව්‍ය ඇතුළත්.

මේ අතර පාස්කු ඉරිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් ගේ මෘත ශරීරය භාර ගැනීම ඔහුගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

ඒ අනුව, එම මෘත ශරීරය තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට භාර දෙන ලෙසයි මහේස්ත්‍රාත් රංග දිසානායක කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේ.

එය භාර ගෙන බොරැල්ල පොදු සුසාන භූමියේ භූමදාන කරන ලෙස තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බොරැල්ල ග්‍රාම නිලධාරීවරයාට නියෝග කළා ෴

***************************************

සත්වෝද්‍යානවල සේවකයිනුත් වැඩවර්ජනයක

(18.09.2019 – 11:06 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ සියළුම සත්වෝද්‍යානවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

අද (18) පෙරවරුවේ 08.00 සිට දෙහිවල, පින්නවල, හම්බන්තොට ඇතුළු සියළු සත්වෝද්‍යාන ආවරණය වන පරිදි මෙම වර්ජන ක්‍රියාමාර්ගය දියත් කර ඇති බව සත්වෝද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමයේ භාණ්ඩාගාරික ක්‍රිශාන්ත ක්‍රිස්ටෝපර් මහතා සදහන් කළේය.

සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් එහි සේවකයින් සිය අභිමතය පරිදි ස්ථාන මාරු කිරීමට එරෙහිව ඔවුන් මෙම වර්ජනයේ නිරත වේ.

අනතුරු සහ පැමිණිමේ දීමනා ගැටළුවක් මුල් කර ගනිමින් පසුගිය 6 වනදා සත්වෝද්‍යාන සේවකයින් වැඩවර්ජනයක නිරත වූ අතර එම ඉල්ලීම්වලට ලබන 20 වනදාදින වන විට විසදුම් ලබාදෙන බවට බලධාරීන් විසින් ලබාදුන් පොරොන්දුවක් මත වර්ජනය අවසන් කිරීමට ඔවුන් පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් එම කාලය අතරතුර සත්වෝද්‍යාන අධ්‍යක්ෂජනරාල්වරිය විසින් මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි ක්‍රිශාන්ත ක්‍රිස්ටෝපර් මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් විමසීමට අද දෙරණ සත්වෝද්‍යාන අධ්‍යක්ෂජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය ෴

***************************************

ආයෝජන මණ්ඩලය සහ හීරා පදනම, අත්සන් තැබූ ගිවිසුමක් නීත්‍යානුකූල නොවන බව, කෝප් කමිටුවේදී හෙළිවේ

(18.09.2019 – 07:43 +0530 – hirunews.lk/sinhala)

කෝප් කමිටුව ද එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වුණා.

කමිටුව හමුවේ විමර්ශනයට ලක්වුණේ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සහ ඊට අනුබද්ධ ආයතනයක් වන හීරා පදනම පිළිබඳවයි.

කෙසේ වෙතත් මෙම ආයතන දෙක පවත්වාගෙන යන හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා සහ ඔහුගේ පුතු හිරාස් හිස්බුල්ලාට කමිටුව හමුවේ ඊයේ දිනයේ පෙනී සිටීමට නියමිත වුවත් ඔවුන් වෙනත් දිනයක් ඉල්ලා ලිපි යොමුකර තිබුණා.

ඒ අනුව ඔක්තෝම්බර් මස 6 වනදා ඔවුන් යළි කැඳවීමටයි කෝප් කමිටුව තීරණය කරනු ලැබුවේ.

මෙම ආයතන දෙක සඳහා විදේශ ආධාර ලෙස ලංකා බැංකුව හරහා ලැබුණු මුදල් පිළිබඳව, කමිටුව සාක්ෂි විමසනු ලැබුවේ ලංකා බැංකුවේ සභාපතිවරයා ඇතුලු අධ්‍යක්‍ෂ මණ්ඩල නිලධාරීන්ගෙන්.

එහිදී ඔවුන් කියා සිටියේ මෙම ගනුදෙනුව ලංකා බැංකුවේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මුදල් ලැබී ඇතත්, පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇතිවූ සැකයක් පදනම් කරගනිමින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බුද්ධි මූල්‍ය ඒකකයට දැනුවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ හිරා පදනම එක්ව 2013 /2015 කාලසීමාවේදී ගිවිසුමක් අත්සන් කර ඇති අතර, එම ගිවිසුම නීත්‍යානුකූල නොවන බවට නීතිතිවරයා විසින් අධ්‍යාපන කටයුතු සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත දන්වා ඇති බව කෝප් කමිටු සාමාජික රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මෙහිදී දන්වා සිටියා ෴

+++++++++++++++++++++

***************************************

මහ මඟ තනි වු සිඟිත්තා අද අධිකරණයට

(18.09.2019 – 10:46 +0530 – sinhala.adaderana.lk)

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ අතරමං කර සිටිදී පොලීසිය විසින් සොයා ගත් දරුවා අද (18) අධිකණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම දරුවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරුන පරිවාස බාරයට පත් කර බව මහනුවර මූලස්ථාන පොලීසියේ නිලධාරියෙකු විසින් සඳහන් කළේය.

මේ වන තෙක් මෙම දරුවාගේ බාර ගැනීම සඳහා කිසිවෙකු ඉදිරිපත් වී නොමැති බව වාර්තා වෙයි.

වයස අවුරුදු තුනක් පමණ වන මෙම කුඩා පිරිමි දරුවා ඊයේ (17) දිවා කාලයේ මැදිරිගිරිය බලා ධාවනය වීමට සූදානමින් තිබූ පෞද්ගලික බස් රථයක් තුළ අතරමං කොට දමා ගොස් සිටි බව සඳහන් වෙයි.

එහිදී හඬමින් සිටි කුඩා දරුවා සම්බන්ධයෙන් අවධානය යොමු කළ තරුණයෙකු විසින් දරුවා මහනුවර මූලස්ථාන පොලීසිය වෙත ගෙනැවිත් භාර දීමට කටයුතු කර තිබේ.

තමාගේ නම සංඛ හෝ තනුක යනුවෙන් පවසන මේ කුඩා දරුවා තම සීයා සමඟ බස් රථයක පැමිණි බව පමණක් සඳහන් කරයි.

මහනුවර මූලස්ථාන පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහනාම මහතා විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

දරුවා මේ වන විට පොලිස් නිලධාරීන්ගේ ආදරය හා ආරක්ෂාව යටතේ සිටින ආකාරය ද අද දෙරණ කැමරා කාචයේ සනිටුහන් විය.

දරුවා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස මහනුවර පොලීසිය ඉල්ලීමක් කරයි.

***************************************

අවුරුදු 4 ක් රටට කරපු විනාශයට ආණ්ඩුව එළවන්න ජනතාව බලා ඉන්නවා – දිනේෂ් ගුණවර්ධන

(18.09.2019 – 10:40 +0530 – sinhala.adaderana.lk)

රටේ ප්‍රශ්නවලට කිසිඳු විසඳුමක් ලබාදීමට නොහැකි වූ එක්සත් ජාතික පක්ෂ පාලනය ඉවත් කිරීමට ජනතාව නිවැරදි තීන්දුව ගනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

තවමත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර නොමැති බවත් පැවසු මන්ත්‍රීවරයා, නමුත් පක්ෂයේ වැඩපිළිවෙල සියලු පක්ෂවල එකමුතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන බවද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට ලොකු ගැටළුවක සිටින බවත් පැවසු මන්ත්‍රිවරයා, ආණ්ඩු කර ගත නොහැකිව රටේ මිනිස්සුන්ගේ පඩි ගෙවා ගැනීම පවා අසීරු වී ඇති බවත් පක්ෂයේ මන්ත්‍රීවරු පවා එකට තියා ගැනීමට නොහැකි වී ඇතැයි ද සඳහන් කළේය.

රටට කිසිදු විසඳුමක් ලබා දිය නොහැකි පක්ෂයක් බවට පත්ව ඇතැයි ද කියා සිටි ගුණවර්ධන මහතා කෙසේ වෙතත් මහජනතාව මොවුන් ගෙදර යැවීමට සුදානම් වී ඇතැයි ද කියා සිටියේය.

වසර 4 ක් පුරා රටට කළ විනාශයට ජනතාව එළවා දැමීමට බලා සිටින බවත් දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

***************************************

ජනාධිපති රට පාලනය කරන්නේ කටින් විතරයි.. කෝ සිංහ නාද..

(18.09.2019 – 08:02 +0530 – lankacnews.com)

දේශය වෙනුවෙන් දිවි නොතකා සටන් වැදුණු ආබාධිත රණවිරුවන් හට දක්වන කුඩම්මාගේ සැලකිලි සම්බන්ධයෙන් ආණ්ඩුව ලැජ්ජා විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවන රජය ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් කෙරෙහි නෑසුකන්ව සිටින බව පැවසූ රණතුංග මහතා ත්‍රස්තවාදී හුරතල් කරමින් රණවිරුවන් දංගෙඩියට දක්කන මෙවැනි ආණ්ඩු‍ ලෝකයේ කොහේවත් නැති බවත් පැවසීය.

රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත පිරිසක් සමඟ උඩුගම්පොළ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මන්ත්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ දරු පවුල් එකතුව විරෝධතා ව්‍යාපාරයක් දක්වමින් සිටිනවා. ඔවුන්ගේ ඉල්ලා සිටින්නේ අවුරුදු 55 න් පස්සෙත් වැටුප් ගෙවන ලෙසයි. මවුබිම වෙනුවෙන් සටන් වැදිලා ජීවිතය හෝ අත් පා අහිමි කරගත්තු මේ පිරිසගේ ඉල්ලීම් ඉතා සාධාරණයි.

දවස් පහ හයක් තිස්සේ මේ පිරිස අව් වැසි නොතකා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා දක්වනවා. මේ වෙනකම් රජයේ කිසිම වගකිවයුත්තෙක් අඩුගාණේ මෙතැනට ගිහින් නැහැ. පොලීසියේ නිලධාරියෙක් මේ පිරිසට තර්ජනය කරනවා නැගිටලා ගියේ නැත්නම් උස්සලා මුහුදට විසි කරනවා කියලා.

ආණ්ඩුව රණවිරුවන්ට සලකන්නේ මෙහෙමද? ජනාධිපතිවරයා තැන තැන ගිහින් සිංහ නාද දෙනවා තමන් ඉන්නකම් රණවිරුවන්ට අත තියන්න දෙන්නේ නැහැ කියලා. කෝ ඒ සිංහ නාද? අඩුගාණේ මේ මිනිස්සුන්ගේ ඉල්ලීම මොකක්ද කියලවත් අහලා බැලුවද? නැහැ. උන්නැහේ රට පාලනය කරන්නේ කටින් විතරයි.

අගමැතිවරයා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. එතුමා කවදත් සිංහල ජාතිය, රට, ආගම, රණවිරුවන් ගැන හැගීමක් තිබුණු කෙනෙක් නෙමෙයි. එතුමා වටේ ඉන්න මංගලලා, සාගලලා වුණත් එහෙමයි. මේ අය හැමදාම උත්සහ කළේ රණවිරුවන් පාවා දීලා හරි බලය රැකගන්න විතරයි.

කොටි ත්‍රස්තවාදීන්ට වන්දි පිට වන්දි ගෙවන ආණ්ඩුව රණවිරුවන්ගේ ඉල්ලීම් ඉස්සරහා නිහඬව ඉන්නවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන්ටත් ඇප දීපු ආණ්ඩුව, ත්‍රස්තවාදයට නිල ආරක්ෂාව වගේම ඇමැතිකම් දෙන ආණ්ඩුව රටේ මුරදේවතාවුන් වන රණවිරුවන්ට සලකන විදිය ගැන ලැජ්ජා වෙන්න ඕනේ.

අපේ රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සටනට ගම්පහ දිස්ත්‍රික් ජනතාව එක්ක මගේ සහයෝගය හිමිවෙනවා. ත්‍රස්තවාදීන් ඉස්සරහා දණ නොනැමූ අභීත රණවිරුවන්ට මේ වගේ ‍කොන්ද පණ නැති ආණ්ඩුවක් නිසා අත්වෙලා තියෙන අරමුණ ගැන අපි කණගාටු වෙනවා වගේම අපේ ආණ්ඩුවක් යටතේ ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන බවත් කියන්න කැමැතියි.

රණවිරුවන්ගේ අභිමානය පාවා දුන්, රණවිරුවන් සිරගත කළ මෙවැනි දේශද්‍රෝහී ආණ්ඩුවකින් මෙයට වඩා පිළීතුරක් බලාපොරොත්තු වෙන්න බැහැ. කොටි හිතවාදීන්ගේ මුදල් මත යැපෙන, ත්‍රස්තවාදීන් ඇමැතිකම් දරන ආණ්ඩුවකින් සාධාරණයක් ඉටු වෙයි කියලා හිතන්නත් බැහැ.

මේ ගෙවෙමින් යන්නේ ආණ්ඩුවේ අවසන් දින කිහිපයයි. ජනාධිපතිවරයාගේ අවසන් මාස දෙක තමයි මේ ගෙවෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා තව මාස දෙකකින් රණවිරුවන්ගේ අභිමානය රකින, ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන යුක්තිගරුක ආණ්ඩුවක් අපි පිහිටුවනවා කියලා.

– ප‍්‍රදීප් අනුර කුමාර

***************************************

අට වන දිනටත් රට රැකි පුතුන් මහමඟ

(18.09.2019 – 10:14 +0530 – sinhala.adaderana.lk)

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ විරෝධතාව අද (18) අඛණ්ඩව 8 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

මේ අතර විරෝධතාවයේ නිරත රණවිරුවන් කිහිපදෙනෙක් අද අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියේය.

වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පසුගිය 11 වැනිදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ විරෝධතාව අද අඛණ්ඩව 8 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

ඊයේ පස්වරු 6ට පමණ විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර පොලීසිය විසින් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමත් සමඟ විරෝධතාකරුවනට ආපසු හැරී ඒමට සිදුවිය.

කෙසේ වෙතත් අද අලුයම 3 ට පමණ විරෝධතාවයේ නිරත රණවිරුවන්ගෙන් කිහිපදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිටියේ මෙලෙසින්.

ඔවුන් පවසා සිටියේ තමන්ට හැකි කාලයේ දී යුද්ධයෙන් රටත් ජනතාවත් බේරා ගත් නමුත් අද දවසේ ජනතාවට ඔවුන්ව බේරා ගැනීමට සිදුව ඇති බවයි.

කුඩා අත්සනක් වෙනුවෙන් මෙපමණ කාලයක් රස්තයාදු කරන බවත් පැවසු විරෝධතාකරුවන් අත් කකුල් නොමැතිව වැඩක් කර ගන්නේ කෙසේද යනුවෙන් මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

+++++++++++++++++++++

රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම වළක්වාලමින් සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ට අධිකරණ නියෝගයක්

(18.09.2019 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන 8 කට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන් ඇතුළු පාර්ශව 13 කට නියෝගයක් නිකුත් කළා.

ඒ, කොටුව පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව ජනාධිපති නිල නිවස, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවලටද ඇතුළු වීම තහනම් වනු ඇති ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=IjRek3xHt7I

+++++++++++++++++++++

***************************************

ගෑස් මිල පහළට – ආනයනික කිරිපිටි මිල ඉහළට

(18.09.2019 – 11:37 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් අඩු කිරීමට සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුවේදී අනුමැතිය හිමිව තිබෙනවා.

ජීවන වියදම් කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී අදාල යෝජනා ඉදිරිපත්ව ඇති අතර ඒ අනුවයි ඊට අනුමැතිය හිමිව ඇත්තේ.

ලෝක වෙලඳපොලේ පවතින මිල වෙනස් වීම්වලට අනුව මෙම සංශෝධන සිදු කරන බවයි ජීවන වියදම් කමිටුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කිරිපිටි ආනයනකරුවන් මිල වැඩිවීමක් ලබාදෙන ලෙස මීට පෙර අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළ නමුත් ඊට අනුමැතිය හිමි නොවූ අතර ඔවුන් ඒ හේතුවෙන් වරායෙන් කිරි පිටි නිශ්කාශණ කටයුතු අත්හිටවනු ලැබුවා ෴

***************************************

ජනාධිපතිවරණය නොවැම්බර් 16

(18.09.2019 – 18:34 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම මීට සුළු මොහොතකට පෙර අද දෙරණට සඳහන් කළේය.

ඒ අනුව නොවැම්බර් 16 වනදා පැවැත් වෙන ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 07 වනදා ආරම්භ වනු ඇතිබව වාර්තා වෙයි.

ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය අද (18) රාත්‍රීයේදී නිකුත් කිරීමට නියමිතයි.

***************************************

පිවිතුරු හෙළ උරුමය පක්ෂ සම්මේලනය – 2019.09.01

Pivithuru Hela Urumaya Party Convention 2019.09.01

https://www.youtube.com/watch?v=znsHHj7B9nc
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

Susantha Wijesinghe වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *