දුම්රිය අද (19) සිට අකුරට වැඩ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

දුම්රිය අද (19) සිට අකුරට වැඩ

• ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීම ගැන බැසිල්ගෙන් මැතිවරණ කොමිසමට ස්තූතිය (විඩියෝ)

• ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පොළොන්නරුවට පැමිණෙයි (විඩියෝ)

• ආබාධිත රණවිරුවන් 09 වැනි දිනටත් මහමඟ (විඩියෝ)

• ආබාධිත රණවිරුවෙක් විදුලි කණුවක නැගී විරෝධතාවයක (විඩියෝ)

• පොහොට්ටුවේ ප්‍රචාරක කටයුතු මෙහෙයවීමට පංච පුද්ගල කමිටුවක්

• තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (19) සිට

• ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබූ හිටපු ගුවන්-නාවික හමුදාපතිවරුන් (විඩියෝ)

• ඌරුබොක්කේදී ව්‍යාපාරිකයෙකු පැහැර ගනී

• දරුවන් සය (06) දෙනෙකු සමඟ ජීවිත අරගලයේ යෙදෙන මවක් (විඩියෝ)

• දයාසිරි ජනපති අපේක්ෂකත්වයට සැරසෙන්නේදැයි ශෙහාන්ට සැකයක්

+++++++++++++++++++++++++++++++++++

දුම්රිය අද (19) සිට අකුරට වැඩ

(19.09.2019 – 13:46 +0530 – sinhala.adaderana.lk)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලාල් ආරියරත්න මහතා මේ බව පැවසීය.

ඒ අනුව එළඹෙන අඟහරුවාදා දිනයේ දී අඛණ්ඩ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ද නියමිත බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමකවරු, රියදුරුවරුන්, ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්ව ඇත ෴

***************************************

ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීම ගැන බැසිල්ගෙන් මැතිවරණ කොමිසමට ස්තූතිය

(18.09.2019 – 22:11 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය කඩිනමින් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසමට ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ මීට ටික වේලාවකට පෙර අවසන් වූ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ විශේෂ රැස්වීමකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම විශේෂ රැස්වීම අද පස්වරු 6.30 ට සිට රාත්‍රි 9.30 දක්වා පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී.

***************************************

ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ පොළොන්නරුවට පැමිණෙයි

(19.09.2019 – 13:32 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පොළොන්නරුවට පැමිණියේය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා පොළොන්නරුව බෞද්ධ මධ්‍යස්ථානය සහ සෝමාවතිය චෛත්‍ය රාජයාණන්වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මැදිරිගිරිය බෞද්ධ මධ්‍යාස්ථානය වෙත පැමිණ විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ අස්සජි හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

එම අවස්ථාවේ ජ්‍ය මැදිරිගිරියේ අස්සජි හිමියන් මෙසේ අදහස් පල කර සිටියේය.

“ඔබතුමාට පිං සිද්ධවෙන්න, අපේ ජනාධිපතිතුමාට පිං සිද්ධවෙන්න අපි අද මේ ජීව වායුවක් ලබාගෙන කටයුතු කරනවා.

අපේ ප්‍රාණ වායුව ලැබුණේ ඔබතුමාට පිං සිද්ධවෙන්න අද මොනතරම් මොනදෙයක් කවුරු කතා කරලා කිව්වත් ගුණ සුවද හඳුනන මිනිස්සු තුළ කවදාවත් ඔබතුමාලට විරුද්ධව වචනයක්වත් කියවෙන්නේ නැහැ.

විරුද්ධවාදීන් නොසිටියොත් හොඳ මිනිස්සු හොයාගන්න බෑ. මේ රටට විනයක් ඇති නායකත්වයක් අවශ්‍යයයි.

පහුගිය පාස්කු ඉරිදා සිදුවුණ සිදුවීමත් එක්ක නැවත සැරයක් මේ රටේ අනාරක්ෂිතභාවයක් ඇතිවුණා. ඒ ඇතිවීමම හේතුවුණා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ නායකත්වයට පත්වියයුතුයි කියන එක.

මේ රටේම නායකත්වය ගොඩනැගිලා තිබුණ මේ දිස්ත්‍රික්කය තුළ විශාල පීඩනයන්වලට ලක්වෙලා තමයි අපි කටයුතු කළේ අපේ මන්ත්‍රීතුමන්ලා ඇතුළු. ඔබතුමා අනාගත අපේ ජනාධිපතිතුමා හැටියට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා.

ඒ නිසා ඔබතුමා තමයි අපේ රටට සුදුසුම නායකයා. මේ අවසාන මොහොත‍. ඔබතුමා මේ රට දැහැමෙන් සෙමෙන් පාලනය කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඕනකමින් යුක්තව ඔබතුමාට ආයාචනා කරනවා අපේ රට රැකලා දෙන්න.

අපේ ජාතිය රැකලා දෙන්න. අපේ ආගම රැකලා දෙන්න. ඔබ පමණයි ඉතුරුවෙලා තියෙන්නේ ඒදේ කරලා දෙන්න. ඔබතුමාට රත්නත්‍රයේ පිහිටයි.”

ඉන් පිටවන අස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් පැමිණියේ සෝමාවති රජ මහා විහාරය වෙතයි.

එහිදී සෝමාවතී රජමහා විහාරධිපති පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේවෙත කප්රුක් පූජවක්ද ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළේය.

***************************************

ආබාධිත රණවිරුවන් 09 වැනි දිනටත් මහමඟ

(19.09.2019 – 13:15 +0530 – sinhala.adaderana.lk)

විශ්‍රාම වැටුප ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ විරෝධතාව අද (19) 09 වන දිනටත් පැවැත්වෙයි.

අප වාර්තාකරු පැවසුවේ විරෝධතාව පැවැත්වෙන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් ආරම්භ කළේ පසුගිය 11 වනදායි.

විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ට රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණ ඊයේ තහනම් නි‍යෝගයක් ද නිකුත් කළේය.

මේ අතර විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ කැඳවීමකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයට ගොස් තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ උන්වහන්සේ විසින් අදාළ ගැටලුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමග සාකච්ඡා කිරීම සඳහා මෙලෙස මොවුන්ව කැඳවා ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ (18) පැවති උද්ඝෝෂණයෙන් පසුව එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩම කළ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ද ඇති වුණි.

ඊයේ රාත්‍රියේ විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන්ට සෙත් පතා ආශිර්වාද පූජාවක් පැවැත්වු අතර එම ස්ථානයට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ද පැමිණියේය.

මේ අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සේවකයින් ඊයේ දිනයේදී ආරම්භකළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි.

ඔවුන් ඊයේ දිනයේදී සතුන්ට ආහාරපාන හා ඖෂධ ලබාදීමෙන්ද ඉවත්වූ නමුත් ඔවුන් අද දිනයේ ආහාරපාන හා ඖෂධ ලබාදීම සිදුකරන බව සඳහන්ය.

+++++++++++++++++++++

ආබාධිත රණවිරුවෙක් විදුලි කණුවක නැගී විරෝධතාවයක

(19.09.2019 – 15:46 +0530 – sinhala.adaderana.lk)

කොටුව දුම්රිය පල ඉදිරිපිට පිහිටි විදුලි කණුවක නැගී විරෝධතාවයේ නිරතව සිටි ආබාධිත රණවිරුවෙකු බිමට බැස්විමට ගිනි නිවන හමුදාව කටයුතු කර තිබේ.

අදාල ස්ථානයට පැමිණි ගිනි නිවන හමුදාවේ භට පිරිසක් විසින් මීට ටික වේලාවකට පෙර එම පුද්ගලයා බිමට බැස්විමට පියවර ගත් බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

විශ්‍රාම වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුව දුම්රිය පල ඉදිරිපිට සතියකට අධික කාලයක සිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක නිරතව සිටියි.

ඊට එක්ව සිටි පාදයක් අහිමි ආබාධිත රණවිරුවෙකු අද (19) පස්වරු 01:30 ට පමණ විදුලි කණුවක නැගී විරෝධතාවයේ නිරත විය.

+++++++++++++++++++++

Sunil Edirisinghe (From meemessasinhalasongs.com)

***************************************

පොහොට්ටුවේ ප්‍රචාරක කටයුතු මෙහෙයවීමට පංච පුද්ගල කමිටුවක්

(19.09.2019 – 12:38 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවිම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් යුතුව එම කමිටුව පත් කර ඇතිබව වාර්තා විය.

විමල් වීරවංශ, කෙහෙලිය රඹුක්වැල්ල, උදය ගම්මන්පිල සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් එහි සෙසු සාමාජිකයින් වන බව සදහන්.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස්පක්ෂය අතර තවත් සාකච්ඡා වටයක් ඉදිරියේදී පැවැත්විමට නියමිතව ඇත.

කෙසේවෙතත් පක්ෂ දෙකේ නියෝජිතයින් අතර නිල නොවන මට්ටමේ සාකච්ඡා මේ වන විටත් පැවැත්වෙමින් තිබෙන බවය වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡාවක් ඊයේ (18) රාත්‍රි එම පක්ෂ කාර්යාලයේදී පැවැත් විය ෴

***************************************

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (19) සිට

(19.09.2019 – 12:30 +0530 – sinhala.adaderana.lk)

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනිම අද (19) සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අද සිට දින 10 ක කාලයක් අයදුම්පත් යොමු කිරිම සඳහා අවස්ථාව ලබාදී ඇති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 වනදා පැවැත්විමට සහ ඊට අදාල නාමයෝජනා භාරගැනිම ඔක්තෝබර් මස07වනදා සිදු කිරිම සදහා වන ගැසට් නිවේදනය ඊයේ (18) රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුණි.

කෙසේවෙතත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය මෙතෙක් කොමිෂන් සභාව විසින් ප්‍රකාශයටපත් කර නැත ෴

***************************************

ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබූ හිටපු ගුවන්-නාවික හමුදාපතිවරුන්

(19.09.2019 – 11:18 +0530 – sinhala.adaderana.lk)

හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා මීට සුළු වේලාවකට පෙර ගෞරව නාමයෙන් ගෙන් පිදුම් ලබා තිබේ.

ඒ අනුව හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ‘මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස්’ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට්’ යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.

මෙම උත්සවය මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වාරායේ නැගෙනහිර බහලුම් පර්යන්තයේදී ඊට අදාල උත්සවය පැවැත්වෙයි.

දශක තුනකට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය අවසන් කිරිමේ මානුෂිය මෙහෙයුමට දායක වූ හමුදාපතිවරුන් වෙනුවෙන් රජයේ ඉහලම ගෞරවය පිරිනැමීමට ජනාධිපතිවරයා තීරණය කර තිබූ අතර ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර ප්‍රදානය කෙරුණි.

***************************************

ඌරුබොක්කේදී ව්‍යාපාරිකයෙකු පැහැර ගනී

(19.09.2019 – 12:53 +0530 – hirunews.lk/sinhala)

ඌරුබොක්ක – බෙරලපනාතර ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බෙරළපනාතර සති පොළ අසළදී අද පෙරවරු 6.30 ට පමණ වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පැහැරගැනීමට ලක්ව ඇති පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි තේ ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු බෙරළපනාතර විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකු බවද අනාවරණ වී තිබෙනවා.

සිය දරුවා පාසල් යැවීමට බස් රථයට ඇරලවීම සඳහා ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම පැහැරගැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ බිරිඳ පසුව ඌරුබොක්ක පොලීසියට පැමිණිලි කර තිබුණා ෴

***************************************

දරුවන් සය (06) දෙනෙකු සමඟ ජීවිත අරගලයේ යෙදෙන මවක්

(19.09.2019 – 15:33 +0530 – sinhala.adaderana.lk)

අග හිඟකම් රැසක් මැද දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිහින මවන පවුලක් ගැන අපට වාර්තා විය. ඒ මාතලේ නාඋල ප්‍රදේශයෙන්. මේ නාඋල පිළිහුඩුගොල්ල පහළගම ප්‍රදේශයේ ජීවත්වන 35 හැවිරිදි අනූෂා චාන්දනී.

අනූෂා දරුවන් 6 දෙනෙකුගේ මවක්. පවුලේ දිවි සරිකරගන්නේ සැමියා කුලීවැඩ කර උපායාගන්නා සුළු ආදායමින්. නමුත් තුන් වේල හරිහැටි කෑමට හෝ දරුවන්ගේ අධ්‍යාපනය නිසි පරිදි සිදුකරගැනීමට ඒ ආදායම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.

සිය නිවසත් වර්ෂාවට කඩාවැටීම නිසා දැනට ඔවුන් තාවකාලිකව සිටින්නේ අනුෂාගේ සහෝදරියකගේ නිවසේයි.

මනුෂත්වය වෙනුවෙන් ඔබටත් ඔවුන්ට පිළිසරණක් විය හැකියි.

දුරකථන අංක : 077 341 6157

***************************************

දයාසිරි ජනපති අපේක්ෂකත්වයට සැරසෙන්නේදැයි ශෙහාන්ට සැකයක්

(19.09.2019 – 15:22 +0530 – sinhala.adaderana.lk)

නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා සාර්ථක කර ගැනීමට උත්සාහ දැරීම අතරතුර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර මහතා තනි තීන්දු ගෙන කටයුතු කරන්නේ ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ද යැයි සැකයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවසීය :

“එජාප රජයක් මෙතෙක් කල් පවත්වාගෙන යාමට සහය දුන් ඇතැම් කඳවුරු ඉදිරි එජාප ජයග‍්‍රහණය වෙනුවෙන් මේ වන විටත් මෙහෙය වෙමින් සිටිනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ ජනතාව එකතු වී එජාපය පරාජය කළ යුතුයි කියලා තීරණය සිටියදී දයාසිරි ජයසේකර මහින්ද-මෛත‍්‍රී එකතු වුණොත් බිම් මට්ටම එකතු වෙන්නේ නෑ කියලා විවිධ ප‍්‍රකාශ කරනවා.

ශ‍්‍රී ලංකාව නිදහස් පක්ෂය ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා කියලා දයාසිරි කියනවා.

නිදහස් පක්ෂ ජේෂ්ඨයින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා සාර්ථක කර ගැනීමට උත්සාහ දැරීම අතරතුර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර තනි තීන්දු ගෙන කටයුතු කරන්නේ ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ද කියලා සැකයක් ඇති වෙමින් තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වැළැක්වීම සඳහා කටයුතු කරන මේ හුඟක් අය මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින් බව පැහැදිලියි.

මෙම කුමන්ත‍්‍රනය මෙහෙයවන්නේ සිංගප්පූරුවෙ ඉඳලා අර්ජුන් මහේන්ද්‍රන් ද කියලා අපට සැකයක් ඇතිවෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රජයක් පිහිටවූවිට ඔවුන්ට ගැලවීමක් නැති බව දන්නා නිසා මෙවැනි කටයුතු සිදුකරනවාද යන්න පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා.ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව වැඩ කරන හුගක් අය මහ බැංකුවේ බැඳුම්කර වංචාව තුළින් මුදල් ලබාගත් අය කියලා පැහැදිලිව නිසා ඔවුන් එක කඳවුරකට වෙලා සටන් කරන බව දැන් පැහැදිලි වෙමින් තිබෙනවා.

මේ අවස්ථාවේදී අපි අපේ ජාතික ආරක්ෂාව පිළිබඳ දෙවරක් සිතිය යුතුයි.පාස්කු ඉරිදා තේරීම් කාරක සභාව තව මාසයකින් දීර්ඝ කරලා තියන අතරතුරම අම්පාර වගේ ප‍්‍රදේශ වලින් තවදුරටත් ගිනි අවි සොයා ගනිමින් සිටිනවා.

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ පිරිසත් ත‍්‍රස්ත ක‍්‍රියා ක‍්‍රියාකාරීනුත් එකතුවෙලා වෙලා වැඩ කරන බව දැන් දැන් පැහැදිලි වෙමින් තිබෙනවා.ඒ නිසා ඉදිරියේදී ජාතික ආරක්ෂාව සහ රටේ අනාගතය පිළිබඳ සිතා තීරණ ගැනීම ජනතාවට බාර වෙනවා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *