සැවොම හිනැස්සූ බන්දු සමරසිංහව හැඬවු ආබාධිත රණවිරුවන්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සැවොම හිනැස්සූ බන්දු සමරසිංහව හැඬවු ආබාධිත රණවිරුවන් (විඩියෝ)

• පිළිතුරක් නැතිනම් හිතාගන්න බැරි දෙයක් කරනවා – ටෝක් විත් චතුර (විඩියෝ)

• පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයන්න නව ජනපති කොමිසමක්

• සඳහිරු සෑයේ රත්‍රං බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීම ගැන මැදගොඩ හිමියන් කථා කරයි (විඩියෝ)

• දැරියක් හා ඇගේ මව පැහැර ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

• ජනාධිපතිගේ සහ අගමැතිගේ ගැටුම නිසා රට එක තැන – එස්.බී දිසානායක

• නීති විරෝධි වැඩ කළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපේ රජයකදී පියවර ගන්නවා

• සතුන් යොදාගෙන කළ යුතු පරීක්ෂණයකට රෝගීන් යොදාගෙන

• වෘත්තීය සමිති 28 ක් – රට පුරා රාජ්‍ය සේවකයෝ අද (23) ලෙඩ වෙති

• තෙවන දිනටත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට විශාල පිරිසක්

• දිල්රුක්‍ෂි අමතා බලපෑම් කල ප‍්‍රබල ඇමති මෙන්න…

+++++++++++++++++++++++++++++++++++

සැවොම හිනැස්සූ බන්දු සමරසිංහව හැඬවු ආබාධිත රණවිරුවන්

(22.09.2019 – 15:11 +0530 – sinhala.adaderana.lk)

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව අද 12 වැනි දිනටත් පැවැත්වෙයි.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පසුගිය 11 වැනිදා සිට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වෙයි.

දවටගහ පල්ලියේ ප්‍රධාන පූජකතුමන් ඇතුලු උලමාවරුන් පිරිසක් පැමිණ විරෝධතාවයට සහාය පළ කර සිටියේය.

ඊයේ පස්වරුවේ සිංහලේ අපි ජාතික සංවිධායේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේදී පහන් පූජාවක් පවත්වා ඇත.

රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා ඇතුලු කලාකරුවන් පිරිසක්ද ඊයේ රාත්‍රියේ විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ සුහඳ කතා බහක නිරත වුණි.

කෙසේ වෙතත් ආබාධිත රණවිරුවන් අද පත්ව ඇති තත්ත්වය අතිශය සෝචනීය බව ඔහු මාධ්‍යට කියා සිටියේ හැඬූ කඳුලින්.

ඊයේ රාත්‍රියේද විරෝධතාවයේ නිරත අබාධිත රණවිරුවන්ට ජනතාව සිවිල් සංවිධාන විසින් ආහාර පාන පිරිනමා සංග්‍රහ කර ඇත.

අද පෙරවරුවේ කොටුවේ පොඩි හාමුරුදුරුවෝ නමින් හැඳින්වෙන පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමිද විරෝධතාව පැවැත්වෙන ස්ථානයට වැඩම කර විරෝධතාකරුවන්ගේ සුවදුක් විමසා සිටියේය.

මේ අතර මෙම විරෝධතාවයට සහය පළ කරමින් ජනාධිපති සර්ව ආගමික උපදේශක අබ්දුල් කාදර් හස්බුල්ලා මවුලවිතුමන් අද විරෝධතාව පැවැත්වෙන ස්ථානයට පැමිණියේය.

දින 12 ක් පුරා අඛණ්ඩව පවත්වන මෙම විරෝධතාවයට අඟහරුවාදා වන විට විසදුමක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අද පෙරවරුවේ පොල් ගසා දේව කන්නලව්වක් සිදුකර ඇත.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාද අද එම ස්ථානයට පැමිණ විරෝධතාකරුවන්ට ආහාර පාන ලබා දුන්නේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

Sunil Edirisinghe (From meemessasinhalasongs.com)

+++++++++++++++++++++

+++++++++++++++++++++

පිළිතුරක් නැතිනම් හිතාගන්න බැරි දෙයක් කරනවා –
Talk with Chathura – 21.09.2019

https://www.youtube.com/watch?v=8ApT-yWZVrQ#t=14

***************************************

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයන්න නව ජනපති කොමිසමක්

(22.09.2019 – 07:59 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නව පංච පුද්ගල කොමිසමක් පත් කර තිබෙනවා.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමට අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරියක වන ඩබ්ලිව්.එම්.එම්.අධිකාරී ද ඇතුළත්.

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සිද්ධීන්, පුද්ගලයන්, සංවිධාන හඳුනාගැනීම මෙන්ම ඊට අදාළව රාජ්‍ය නිලධාරීන් වැරදි ලෙස බලය යොදාගැනීම, අතපසුවීම් සහ වගකීම් පැහැරහැරීම් ආදිය පිළිබඳවද විමර්ශනය කිරීම මෙම කොමිසමට පැවරෙනු ඇති.

එමෙන්ම කොමිසම මගින් පළමු අතුරු වාර්තාව මාස 3 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු අතර, මාස 6 ක් තුළ අවසන් වාර්තාව ලබාදිය යුතු බවයි ඊට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මීට අදාළව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද කොමිසමේ වගකීමක් වන අතර, මෙවැනි සිද්ධීන් ඉදිරියේදී ඇතිවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද දන්වා තිබෙනවා.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ වන කිසියම් විමර්ශන හෝ පරීක්ෂණයක යම් කොටසක් ප්‍රසිද්ධියේ නොපැවැත්විය යුතු බවට නිශ්චය කරනු ලබන්නේ නම් ඒ පිළිබඳ තීරණ ගැනීමේ බලයද මෙම කොමිසම සතුයි.

එමෙන්ම එහි විමර්ශන කාර්යයන් සඳහා අවශ්‍ය තොරතුරු සියලූම රජයේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සංස්ථාපිත මණ්ඩල නිලධාරීන් සැපයිය යුතු බවටද ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබෙනවා ෴

***************************************

සඳහිරු සෑයේ රත්‍රං බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීම ගැන මැදගොඩ හිමියන් කථා කරයි

(21.09.2019 – 21:02 +0530 – hirunews.lk/sinhala)

සඳහිරුසෑයේ රත්‍රං බුදුපිලිම වහන්සේ තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පෙර එයට උපදෙස් දුන් තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අත්අඩංගුවට ගත යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ජාතික විද්වත් භික්ෂූ සංසදය කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

***************************************

දැරියක් හා ඇගේ මව පැහැර ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් අත්අඩංගුවට

(22.09.2019 – 20:18 +0530 – sinhala.adaderana.lk)

කළුතර නාගොඩ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දැරියක් හා ඇගේ මව පැහැර ගෙන මුදල් ලබා ගැනීමක් සඳහා කරන ලද සැලැස්මක් සම්බන්ධයෙන් දොඩන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව සැකකරුවන් දෙදෙනෙකු අද දින (22) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40 ක් හා 25 ක් වන දොඩංගොඩ හා කළුතර දකුණ ප්‍රදේශවල පදිංචි පදිංචිකරුවන් වේ.

සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් නිල් ඇඳුම් කොටස්, වායු රයිපල් එකක්, වෙඩි බෙහෙත්, කඩුවක් හා මන්නා පිහියක් සොයා ගෙන ඇත.

පසුව සිදු සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පැහැර ගැනීමට ඉලක්කවූ දැරිය වයස අවුරුදු 8 ක් වන නාගොඩ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් වන බවත් ඇගේ පියා කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරන අයෙකු බවත් ය.

මෙම පැහැර ගැනීමට සැලසුම් කිරීම එම දැරිය මීට වසර දෙකකට ප්‍රථම පවත්වන ලද වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයක දී සහතිකපත් හා ත්‍යාග විශාල ප්‍රමාණයක් ලබා ගැනීම නිසා ඇති වූ වෛරයක ප්‍රතිඵලයක් බවට වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දොඩන්ගොඩ පොලිසියේ වැඩිදියුණු වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

***************************************

ජනාධිපතිගේ සහ අගමැතිගේ ගැටුම නිසා රට එක තැන – එස්.බී දිසානායක

(22.09.2019 – 19:38 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති සහ අගමැති නොගැටෙන ස්ථාවර ආණ්ඩුවක් බිහිකිරීමට කාලය එළැඹ ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ අද (22) මැණික්හින්න ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය.

එහිදි අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ නෙලුම් කුලුන ඉදි කිරීමේදි මුදල් වංචා සිදු වු බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාය මේ වන විට අසත්‍ය ප්‍රකාශයක් බවට පත් වී ඇති බවයි.

එමෙන්ම එවැනි ප්‍රකාශක් සිදු කළේ රාජපක්ෂවරුන්ට සහ චීනයට අපහස කිරීමට බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

එමෙන්ම ජනාධිපති සහ අගමැති අතර ඇති ගැටුම් නිසා රට ඉදිරියට නොයන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

කුඩා දරුවෙකුගෙන් විමසු විට ඔවුන්ද එය හොඳාකාරව දන්නා බවද මන්ත්‍රීවරයා පැවසීය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සම්මත කර ගන්නා තුරු මෙම ගැටුම් පවතින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

***************************************

නීති විරෝධි වැඩ කළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපේ රජයකදී පියවර ගන්නවා

(22.09.2019 – 18:42 +0530 – sinhala.adaderana.lk)

දේශපාලනඥයින්ගේ අවශ්‍යතා අනුව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් තම රජයක් යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පසුගියදා සිදුකර ඇති ප්‍රකාශයත් සමඟ වත්මන් රජයේ ක්‍රියාකාරකම් පිළිබදව බරපතල ගැටලුවක් පවතින බවයි.

කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිරි කොඩාගොඩ මහතා පැවසුවේ පරික්ෂණ පැවැත්වීම සඳහා පත් කර ඇති කොමිෂන් සභාවක් ස්වාධින නොවන බවයි.

***************************************

සතුන් යොදාගෙන කළ යුතු පරීක්ෂණයකට රෝගීන් යොදාගෙන

(22.09.2019 – 19:29 +0530 – lankadeepa.lk)

පෞද්ගලික සමාගමක් මගින් මෙරටට ගෙන් වූ විදේශ රටක නිෂ්පාදිත ‘ආයුර්වේද කැස්ස පැණියක්’ සම්බන්ධයෙන් සතුන් යොදාගෙන කළ යුතු පරීක්‍ෂණයකට ආයුර්වේද ශික්‍ෂණ රෝහලට පැමිණි රෝගීන් පිරිසක් යොදාගෙන කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

අදාළ කැස්ස පැණිය වෙළඳපලට නිකුත් කිරීමට පෙර කළ යුතු මෙම සායනික පරීක්‍ෂණය 2016 වසරේදී සිදුකර ඇති අතර එය සිදුකර ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්යවරුන් දෙදෙනකු වන අතර ඉන් එක් අයෙකු කැස්ස පැණිය ගෙන්වූ සමාගමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන බව ද කෝප් කමිටුව හමුවේ හෙළි විය.

මේ සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්‍ෂණයක් කරන්නැයි කෝප් කමිටුවේ සභාපති, සුනිල් හඳුන්නෙත්ති මහතා නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය.

මේ බව අනාවරණය වූයේනගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රියන්ත මායාදුන්නේ, ප‍්‍රධාන ගණකාධිකාරී තුෂාර මහානාම යන මහත්වරුන් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්‍ෂවරිය ඇතුළු පිරිසක් කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදීය.

මෙවැනි විදේශයකින් ගෙන් වූ ඖෂධයක් සම්බන්ධ පරීක්‍ෂණයකදී මුලින්ම එය ලබාදිය යුත්තේ සතුන්ට බව කෝප් කමිටුව හමුවේ පෙනී සිටි දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප‍්‍රධානීහු ද පැවසූහ.

එමෙන්ම මෙවැනි පරීක්‍ෂණයක දී දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ආචාරධර්ම කමිටුවේ නිර්දේශයන් සහිතව කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන සභාව මගින් අනුමැතිය ලබා ආයුර්වේද වෛද්‍ය රෝහලින්ද අනුමැතිය ලබාගත යුතු වුවත් මෙම කැස්ස පැණිය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය රෝහලේ අනුමැතිය ලබාගෙන නැතැයි ද මෙහිදී සඳහන් විය.

කැස්ස පැණිය ගෙන්වූ සමාගමේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මහාචාර්යවරයා එම ආචාර ධර්ම කමිටුව ද නියෝජනය කරන බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

එම පරීක්‍ෂණය වෙනුවෙන් දේශීය වෛද්‍ය විද්‍යායතනයට ලැබිය යුතු ආදායමත් ද එම මහාචාර්යවරයාගේ නමින් ගෙන ඇති බව විගණකාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ යැයි කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කීවේය.

‘කැස්ස පැණිය’ වෙළෙඳ පොලට නිකුත් කරන විට ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් 2018 වසරේ පුවත්පත්වල පල කර ඇති වෙළෙඳ දැන්වීම්වලද ‘දේශීය වෛද්‍ය විද්‍යායතනය විසින් සායනිකව තහවුරු කර ඇති බව සදහන් කර තිබෙන බව ද කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා සිදුකළ විමසීමේදී දේශීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරිය සදහන් කළේ 2016 වසරේදී මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවත්, තමාට ඒ බව සඳහන් විගණකාධිපති වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත්කළ බවත්ය.

එම කමිටුවේ අවසන් වාර්තාව තවම සකස් වී නැතැයි ද ඇය කීවාය.

දැන්වීම් පළ කිරීමේදී දේශීය වෛද්‍ය විද්‍යායතනය විසින් සායනිකව තහවුරු කර ඇති බව සඳහන් කිරීම සම්බන්ධයෙන් තමා අදාළ සමාගයෙම් විමසීමක් කළ බවත් එය ඉල්ලා අස්කරගන්නා බව ඔවුන් තමාට ලිඛිතව දැනුම්දීමක් කළත් යළිත් නිවැරදි කර පුවත්පත් දැන්වීමක් පළ නොකළ බව ද අධ්‍යක්‍ෂවරිය පැවසුවාය ෴

***************************************

වෘත්තීය සමිති 28 ක් – රට පුරා රාජ්‍ය සේවකයෝ අද (23) ලෙඩ වෙති

(23.09.2019 – nethnews.lk)

රාජ්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 28 ක සාමාජිකයින් ලෙඩ නිවාඩු දමා අද (23) දිනයේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක නිරත වීමට තිරණය කර තිබෙනවා.

ඒ, රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මුල් කර ගනිමින්.

මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරී සංගමය, සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ, ශ‍්‍රී ලංකා ගුරු සංගමය මෙන්ම කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගම්ද එක්වනවා.

හෙට දිනයේ ගෙන ඒමට නියමිත කැබිනට් පති‍්‍රකාවට විරෝධය පළකිරීම මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයේ අරමුණ බව ශ‍්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් අජිත් කේ තිලකරත්න නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.

මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය හේතුවෙන් සිදුවිය හැකි මහජන සේවා බිඳවැටීම් සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.

රාජ්‍ය සේවකයින් ලක්ෂ 02කට ආසන්න පිරිසක් මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට එක්වනු ඇති බවට ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

***************************************

තෙවන දිනටත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට විශාල පිරිසක්

(22.09.2019 – nethnews.lk)

21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දිනය වූ අද (22) දිනයේද මේ දක්වා විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටිනවා. නිවාඩු දිනයක් වූ බැවින් ඊයේ (21) දිනයේ මෙන්ම අද දිනයේද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙලෙස ජනතාව පැමිණ සිටින බවයි නෙත් නිවුස් නියෝජිතයින් සඳහන් කළේ.

මේ අතර අවශ්‍යතා සහිත පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමේ අරමුණින් පොත් කැටයක් ද සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේ පිහිටි නෙත් එෆ්. එම්. කුටියේ ස්ථාපිත කර තිබෙනවා. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලුදෙනාට ඒ සඳහා පොත් පරිත්‍යාග කළ හැකියි. මේ, එලෙස පැමිණ පොත් පරිත්‍යාග කළ කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත පළකළ අදහස්.

ලබන 29 වනදා දක්වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට නෙත් එෆ් එම් රේඩියෝව නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා ෴

***************************************

දිල්රුක්‍ෂි අමතා බලපෑම් කල ප‍්‍රබල ඇමති මෙන්න…

(23.09.2019 – 03:24 +0530 – lankacnews.com)

දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්ව කටයුතු කරන ලද කාලයේදී බොරු නඩු පටලවන ලෙස උපදෙස් දුන්නේ කවුදැයි හෙලි කල යුතු බවට පාර්ශව කිහිපයකින්ම අදහස් පල කලහ.

ඇයට අදාල දරකතන ඇමතුම දෙන ලද්දේ ඇමති වජිර අබේවර්ධන විසින් බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

හොරු රකිමින් බොරු නඩු පටලවන්නට උපදෙස් දුන් දුෂිත නිලධාරීන් මෙන්ම දේශපාලඥයන්ද හෙලි කිරීමට ඇය කටයුතු කල යුතු යයිද ඔහු පැවසීය ෴

වජිර අබේවර්ධන
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *