වැස්ස අස්සේ ජනතාව පෙළන වර්ජන අද (24) දිනයේත්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• වැස්ස අස්සේ ජනතාව පෙළන වර්ජන අද (24) දිනයේත්

• වෛද්‍ය සහ විධායක නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර 17 ක්, අද (24) මැදියම් රැයේ සිට වර්ජනයකට සැරසේ

• ගුරුවරු – විදුහල්පතිවරු 26 – 27 ලෙඩ වෙති

• ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට දැනුම් දීමක්

• වැස්ස තවදුරටත් – නිල්වලා, ගිං සහ කළු ගංඟාවල, ජල මට්ටම් ඉහළට – රත්නපුරට සහ මාතරටත් නාය යාමේ අවදානම්

• කොළඹ – බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මංගල ගමනේ (විඩියෝ)

• නෙළුම් කුලුන ඉදිකිරීමේ ප්‍රමාදයෙන් රජයට මිලියන 5475 ක් අහිමිවෙලා

• බාල වයස්කාර දරුවෙකුට ලිංගික අතවර සිදුකළ පුද්ගලයෙකුට වසර 30 ක සිරදඬුවම්

+++++++++++++++++++++++++++++++++++

වැස්ස අස්සේ ජනතාව පෙළන වර්ජන අද (24) දිනයේත්

(24.09.2019 – 07:02 +0530 – sinhala.adaderana.lk)

අද (24) දිනයේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (23) පස්වරුව වන තෙක් පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

සිය ඉල්ලීම් විසඳීමට බලධාරීන් පියවර නොගතහොත් ඉදිරියේ දී තවත් වෘත්තිය සමිති රැසක් මෙම වැඩ වර්ජනය සඳහා එක් කර ගන්නා බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ද හෙට (25) දිනයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම කමිටුවේ ප්‍රධාන ලේකම් එච්.ඒ.එල්.උදයසිරි මහතා සඳහන් කළේ අද දිනය තුළ සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් හෙට දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය සහ විධායක නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර 17 ක්, අද (24) මැදියම් රැයේ සිට වර්ජනයකට සැරසේ

(24.09.2019 – 07:05 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව ඇතුළු සංවිධාන 17 ක් අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

වැටුප් විෂමතා ගැටළුවක් ඊට හේතුව බවයි එම සංවිධාන ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, පසුගිය දා පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් එම වැටුප් විෂමතාව නිරාකරණය කිරීම සඳහා අද (24) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇති අතර, එය සාධාරණ නොවුවහොත් මෙලෙස අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බවයි එම සංවිධාන ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

ගුරුවරු – විදුහල්පතිවරු 26 – 27 ලෙඩ වෙති

(24.09.2019 – 14:39 +0530 – lankadeepa.lk)

රජයේ පාසල්වල ගුරුවරු හා විදුහල්පතිවරු බ්‍රහස්පතින්දා (26) සහ සිකුරාදා (27) ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.

වැටුප් විෂමතා ඉවත්කිරීම, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව ඉවත්කිරීම, ගුරුවරුන් මත පටවා ඇති අනවශ්‍ය අමතර රාජකාරී ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරයි.

මීට අමතරව එම දින දෙකෙහිදී උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින්ද ඉවත්වන බව එම සංගම් කියයි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති 30 ක් පමණ එක්ව සිටියි ෴

***************************************

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට දැනුම් දීමක්

(24.09.2019 – 08:01 +0530 – hirunews.lk/sinhala)

ජල ගැලීම් සහ ගං වතුර නැරඹීමට යාමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට කළු, ගිං සහ නිල්වලා යන ගංඟාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ හේතුවෙන් ජනතාව ඒවා නැරඹීමට යාමෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබදව අවදානය යොමු කරන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මාර්ග රැසක් ද ජලයෙන් යටව පවතිනවා ෴

+++++++++++++++++++++++++++++++++++

වැස්ස තවදුරටත් – නිල්වලා, ගිං සහ කළු ගංඟාවල, ජල මට්ටම් ඉහළට – රත්නපුරට සහ මාතරටත් නාය යාමේ අවදානම්

(24.09.2019 – 07:11 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට බස්නාහිර, දකුණ සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් වර්ධනය වීම හේතුවෙන් දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලට තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් අවස්ථාවල මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි ද ඇති විය හැකි බවයි.

අධික වැසිත් සමඟ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් අද (24) සහ හෙට (25) ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.

පැවති වැසිත් සමඟ නිල්වලා, ගිං සහ කළු යන ගංඟා වල ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ.

නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී තිබෙනවා. එමෙන්ම, ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් ද, කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා මාතර, කඩවත් සතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අතුරලිය, අකුරැස්ස, පිටබැද්දර සහ වැලිගම යන ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවදානයෙන් සිටින ලෙසයි දැනුම් දෙන්නේ.

එමෙන්ම, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 9 කට පූර්ණ හානි සිදුව ඇති අතර, නිවාස 66 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 89 ක්. ග්‍රාම නිලධාරී වසම් 96 ක පවුල් 1308 කට අයත් පුද්ගලයන් 3500 කට අධික සංඛ්‍යාවක් අවතැන් වී ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මීට අමතරව ගිං ගඟ සහ කළු ගඟේ ජල මට්ටම් ඉහළ යාම නිසා බද්දේගම, බෝපේ – පෝද්දල, නාගොඩ, තවලම, නෙළුව, අගලවත්ත, බුලත්සිංහල, හොරණ, ඉංගිරිය යන ප්‍රදේශවල ජනතාව ද අවදානයෙන් සිටිය යුතු බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.

මේ අතර, කෑගල්ල, ගාල්ල, කළුතර යන දිස්ත්‍රික්ක 3 ට අමතරව රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලට ද නාය යාමේ නිවේදන නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගත්තා.

ඇදහැලුණු අධික වැසි හේතුවෙන් ගාල්ල – වදුරඹ – කොකාවල කන්ද නාය යාමෙන් නිවසක සිටි 36 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම, ඉමදූව – බටපියස්ස ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රියේ පස් කන්දක් කඩා වැටීමෙන් ද එහි සිටි 8 හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, තවත් තුවාලකරුවන් 4 දෙනෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, ඊයේ රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ-7 කෞතුකාගාරය ආසන්නයේ මාර්ගයකට ගසක් කඩා වැටී තිබෙනවා.

ඊයේ පෙරවරු 08:30 සිට අද අලුයම 03:30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ප්‍රදේශයටයි. එය මිලිමීටර් 219 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ වදුරඹ, හියාරේ, හික්කඩුව, යක්කලමුල්ල යන ප්‍රදේශවලට ද වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

• Satellite Image From : India Met. Dept. >
[Asia Sector – INSAT-3D-IR1]

***************************************

කොළඹ – බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මංගල ගමනේ

(24.09.2019 – 16:57 +0530 – sinhala.adaderana.lk)

කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (24) සිය මංගල ගමන ආරම්භ කර තිබේ.

ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ආරම්භක සංඥාවෙනි.

දුම්රියට යොදා ගන්නේ ඉන්දියාවෙන් ආනයනය කළ එස් 13 වර්ගයේ අති සුඛෝපභෝගි දුම්රියක් වෙයි.

බෙලිඅත්ත – කොළඹ දෛනිකව එන යන දුම්රිය මගීන්ගේ ඉල්ලුම සැලකිල්ට ගනිමින් මෙම දුම්රිය ධාවනයට එක් කර තිබේ.

අද ආරම්භ කෙරුණු කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මරදානෙන් පිටත් වන්නේ සවස තුනට වෙයි. කොළඹ කොටුවෙන් පස්වරු 03:10 ට ගමන් කරන එම දුම්රිය බෙලිඅත්තට ළඟා වන්නේ සවස 06:05 ට වීමට නියමිතයි.

සෑම දිනකම උදෑසන 02:15 ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන දුම්රිය කොළඹ කොටුවට උදෑසන 05:04 ටද මරදානට 05:10 ටද ළඟා වෙයි.

දුම්රිය නවත්තන්නේ අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, වැලිගම, මාතර, කැකණදුර, වැවුරුකන්නල වේ.

ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ කොළඹ සිට උතුරට සහ නැගෙනහිරට වයඹට ගමන් ගන්නා දුම්රිය ඉල්ලක්ක කර මෙම නව දුම්රියේ කාල සටහන සකසා ඇති බවයි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසකි.

“දුම්රිය කියන්නේ පොදු ප්‍රවාහනයේ ලාභදායි සැපපහසු ප්‍රවාහන විධිය, දුම්රිය සේවාව දියුණු කළොත් මේ වන විට පොදු ප්‍රවාහනයේ ගැටළු රැසකට විසඳුම් සොයා ගන්න පුළුවන්.

ඒ අනුව අපි මේ කෙටි කාලය තුළ දුම්රිය සේවාවේ සාධනීය වෙනස්කම් රැසක් කිරීමට කටයුතු කළා.

නව දුම්රිය මැදිරි වගේම දුම්රිය එංජින් ලංකාවට ඉන්දියාවෙන් සහ චීනයෙන් ගෙන ආවා. මහව – ඕමන්තේ, කැළණිවැලි දුම්රිය මාර්ග සංවර්ධනයට පියවර ගත්තා.

තවත් බොහෝ ව්‍යාපෘති සිදු වෙමින් පවතනිවා. මේ සියලු දේවල්වල ප්‍රතිඵලයක් ලෙසට ඉදිරියේදී දුම්රිය සේවාව ඉදිරියට පැමිණෙනු ඇතැයි මම විශ්වාස කරනවා.”

මෙම අවස්ථාවට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූහ ෴

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=ZnKWfC0cwAs#t=5

+++++++++++++++++++++

https://slrailwayforum.com/southern-intercity-express-train

***************************************

නෙළුම් කුලුන ඉදිකිරීමේ ප්‍රමාදයෙන් රජයට මිලියන 5475 ක් අහිමිවෙලා

(24.09.2019 – 11:02 +0530 – lankadeepa.lk)

නෙළුම් කුලුන ඉදිකිරීම ප‍්‍රමාදවීම හේතුවෙන් එක්සිම් බැංකුව වෙත රුපියල් මිලියන 141.487 ක් (කෝටි 14 ක) ගෙවමින් අනර්ථකාරී වියදමක් දරා ඇති අතර මේ හේතුවෙන් රජයට රුපියල් මිලියන 5475 ක් ආදායමක් අහිමිව ඇතැයිද හිටපු විගණකාධිපති එච්. එම්. ගාමිණි විජේසිංහ විශේෂ විගණකාධිපති වාර්තාවක් නිකුත් කරමින් දක්වා තිබේ.

ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති වාර්තාවක් හා විධිමත් ශක්‍යතා වාර්තාවක් නොමැතිවීම, ඉදිකිරීම් ඵලදායී ලෙස අවසන් කිරීම ප‍්‍රමාදවීමට බලපා ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

හිටපු විගණකාධිපති එච්. එම්. ගාමිණි විජේසිංහ මහතාගේ අත්සනින් යුතුව 2019 අපේ‍්‍රල් 01 වෙනිදා මෙම වාර්තාව නිකුත් කර තිබේ.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2012 නොවැම්බර් 12 ආරම්භ කර තිබු අතර ගිවිසුමට අනුව එය දින 912 කින් එනම් 2015 අපේ‍්‍රල් වන විට අවසන් කළ යුතුව තිබූ නමුත් පසුව කොන්ත‍්‍රාත්කරුගේ ඉල්ලීම මත කොන්ත‍්‍රාත් කාලය 2017 ඔක්තෝබර් දක්වා දීර්ඝ කර තිබූ බවද වාර්තාවේ සඳහන් වේ. එහෙත් විගණනය සිදුකරන ලද 2018 දෙසැම්බර් 31 දක්වා ඉදිකිරීම් කටයුතු අවසන් කළ නොහැකි ව තිබු අතර කොන්ත‍්‍රාත්කරුගෙන් ප‍්‍රමාද ගාස්තු අය කිරීමද දින 200 ක උපරිමයකට සීමා කර තිබූ එයින්ද රජයට පාඩුවක් සිදුව ඇතැයිද විගණනය පෙන්වා දී ඇත.

ගිවිසුමට අනුව ව්‍යාපෘතියේ වෙළඳ ගිවිසුමෙන් 85% ක් එනම් ඇමරිකන් ඩොලර් 88.655 ක් එක්සිම් බැංකුව ලබාදීමට එකව තිබූ අතර 2016 අගෝස්තු 18 වන විට ණය නිදහස් කිරිම අවසන් කළ යුතුව තිබිණ. එහෙත් ඒ වන විට ඉදිකිරිම් ප‍්‍රමාද වීම නිසා ඒ වන විට ගෙවා තිබුණේ න්‍ය මුදලින් ඩොලර් මිලියන 43.746 ක් පමණි. එනම් 50% ක් පමණි. මෙලෙස ණය මුදාහැරිමේ කාලය ඉකුත් වීම නිසා එක්සිම් බැංකුව ලබාදීමට එකගවූ ඩෝලර් මිලියන 88.655 ක් වෙනුවට මුදාහරිනු ලැබ තිබෙන්නේ ඩොලර් මිලියන 67.259 ක් පමණක් බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් කුලුනේ ඉදිකිරීම් භාරව කටයුතු කළ ව්‍යාපෘති අධ්‍යක්ෂකට ගෙවනු ලැබු රුපියල් 150,000 ක මාසික වැටුපට නිල රථයට හා ඉන්ධන දීමනා ලෙස මාසිකව ගෙවු රුපියල් 22,000 ක ගෙවීමට අමතරව ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ කමිටු දීමනා වශයෙන් මාසිකව රුපියල් 75,000 ක් බැගින් 2014 දෙසැම්බර් 31 දින දක්වා රුපියල් මිලියන 1.8 ක් ගෙවා ඇති බවද වාර්තාවේ දැක්වේ. මීට අමතරව ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘති උපදේශන ඒකකයෙන්ද උපදේශන සේවා වෙනුවෙන් යැයි රුපියල් මිලියන 3.32 ක් ලබාගෙන ඇතැයිද ඒ මුදල ලබාගැනීම ගැන ඔහු විදුලි සංදේශ කොමිෂන් සභාව දැනුවත් කර නැති බවද මෙය ආචාර ධර්ම වලට පටහැනි හා නීත්‍යානුකූල නොවන බැවින් ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගත යුතු යැයි විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයට උපදේශන ගාස්තු වාරික 12 ක් ගෙවීමෙන් අනතුරුව එය නවත්වා ගිවිසුම්ගත කොන්දේසිවලට පටහැනිව කාන්ත‍්‍රාත් අධීක්ෂණය වෙනුවෙන් යැයි දක්වා මසකට මිලියන 3 බැගින් 2015 නොවැම්බර් සිට විගණනය සිදුකළ 2018 දෙසැම්බර් 31 දක්වාම ගෙවා ඇතැයි දක්වන විගණකාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගත යුතු බවට නිර්දේශ කර තිබේ ෴

***************************************

බාල වයස්කාර දරුවෙකුට ලිංගික අතවර සිදුකළ පුද්ගලයෙකුට වසර 30 ක සිරදඬුවම්

(24.09.2019 – 14:09 +0530 – hirunews.lk/sinhala)

පොදු වැසිකිලියක් තුළදි බාල වයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ සැකකරුවෙකුට කොළඹ මහාධිකරණය අද වසර 30 ක සිරදඬුවම් නියම කළා.

මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවේ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකුටයි.

කොළඹ තදාසන්න ප්‍රදේශයක පදිංචි මෙම දරුවා 2016 වසරේදී මෙලෙස අතවරයට ලක්වන විට 13 හැවිරිදි වියේ පසුවුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *