අද (25) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අද (25) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

• පරිපාලන සේවා වර්ජනයෙන් රාජ්‍ය ආයතනවල කටයුතු තවදුරටත් අඩාලයි – රෝහල් සුළු සේවකයනුත් වර්ජනයේ

• අධ්‍යාපන අනධ්‍යයන සේවකයිනුත් හෙට සහ අනිද්දා ලෙඩින්

• දිවයින පුරා වැඩ වර්ජන රැසක් – ජනතාව අපහසුතාවයට

• ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල පාසල් ආරම්භය කල් යයි (විඩියෝ)

• නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් කැබිනට් සංදේශයේ සත්‍ය පිටපතක් ඉල්ලයි

• අදත් (25) කොටුව දුම්රිය පොළ ජලයෙන් යටවෙලා

• පත්තර තට්ටුවට කණ කොකා හඩයි… පුවත්පත් 81 ක් වැසී යයි..!

• ආබාධිත රණවිරු විරෝධතාවයට දින 15 යි – සිව්දෙනෙක් මාරාන්තික උපවාසයක (විඩියෝ)

• ආබාධිත රණවිරුවන්ට ලැබෙන විශ්‍රාම වැටුප යැපෙන්නන්ට දෙන්න බෑ – මංගල

• උසස් පෙළ ලියපු ළමුන්ට සිදුවූ අසාධාරණයක් ගැන ගම්මන්පිල කියයි

+++++++++++++++++++++++++++++++++++

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

(25.09.2019 – 16:07 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ගැටළුව මුල් කරගනිමින් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් මනුර පීරිස් කියා සිටියේ තම වැටුප් විෂමතා ගැටළුවට රජය විසඳුමක් ලබාදෙන තුරු අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන්, අධීක්ෂකවරුන් සහ රියදුරන් එක්වන බව සඳහන්.

එසේම අද පස්වරුවේ තැපැල් දුම්රිය ධාවනය කිරීමද අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි දුම්රිය වෘත්තිය සමිති වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත් පස්වරුවේ ධාවනය වීමට නියමිත සියලු කාර්යාල දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරෙනු ඇති.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

පරිපාලන සේවා වර්ජනයෙන් රාජ්‍ය ආයතනවල කටයුතු තවදුරටත් අඩාලයි – රෝහල් සුළු සේවකයනුත් වර්ජනයේ

(25.09.2019 – 13:15 +0530 – hirunews.lk/sinhala)

රජයේ පරිපාලන සේවා සංගමය, විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව, තාක්ෂණික වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සහ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සිදුකරන වර්ජනය හේතුවෙන් රෝහල් සහ රාජ්‍ය ආයතන රැසක දෛනික කටයුතු අඩාල වී තිබෙනවා.

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් පරිපාලන සේවා සංගමය ඊයේ (24) මෙම වර්ජනය ආරම්භ කළා.

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවද අද (25) පෙරවරුවේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම තාක්ෂණික වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතනවල තාක්ෂණික කටයුතු කිසිවක් සිදුනොවන බවයි එම වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරු අමරසිරි කැටපේආරච්චි කියා සිටියේ.

වැටුප්, උසස්වීම් සහ බදවා ගැනීම් ඇතුළු කරුණු 12 ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවද අද (25) පෙරවරු 8 සිට පැය 4 ක කාලයක් සංකේත වර්ජනයක නිරත වුණා.

මෙම වර්ජනය නිසා, රෝහල්වල සායනික සහ වාට්ටුවල කටයුතුවලට ද බාධා එල්ල වූ බවයි වාර්තා වන්නේ.

මෙම වර්ජනයට රජයේ ගිලන්රථ රියදුරන්ද එක්ව සිටියා.

කෙසේ වෙතත් සිය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමඟ පැවති සාකච්ජාවේදී ධනාත්මක පිලිතුරක් ලැබුණු බවයි එහි කැදවුම්කරු සුසිත් අරුණසිරි ප්‍රකාශ කළේ.

මේ අතර කොටුව දුම්රියපළ ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ගෙන් හතර දෙනෙකු තවමත් මාරාන්තික උපවාසයේ නිරත වනවා.

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ ද එය තමන් මියගිය පසු බිරින්දෑවරුන්ට ද හිමිවිය යුතු බවයි සත්‍යග්‍රහයට එක්ව සිටින රණවිරුවන් ප්‍රකාශ කළේ.

ඊයේ අමාත්‍ය මණ්ඩල ඉදිරිපත් කළ සංදේශය මගින් එම වැටුපට හිමිකම් කියන ආබාධිත රණවිරුවා මියයාමෙන් පසු ඔහුගේ බිරිඳට හෝ වයස අවුරුදු 26 ට අඩු දරුවන් සිටීනම්, ඔවුන්ට අදාල වැටුප හිමිකර දීමට ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස යෝජනා කර තිබූ නමුත්, මුදල් අමාත්‍යාංශයේ සංශෝධන අනුව කැබිනට් අනුමැතිය හිමිවූයේ ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප් ලබාදීමට පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළා ෴

+++++++++++++++++++++++++++++++++++

අධ්‍යාපන අනධ්‍යයන සේවකයිනුත් හෙට සහ අනිද්දා ලෙඩින්

(25.09.2019 – 16:18 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය විසින් දෙදිනක් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එක්ව තිබේ.

ඒ අනුව හෙට (26) හා අනිද්දා (27) දෙදින තුළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පවතිනු ඇත.

අධ්‍යාපන කේෂත්‍රයේ රේඛීය අමාත්‍යාංශ හා පළාත් අමාත්‍යාංශ 9 ක් යටතේ පාලනය වන පාසල් 10,300 ක අනධ්‍යයන සේවක තනතුරු 25 කට අයත් සේවකයින්ගේ ගැටළු 31 මුල් කර ගනිමින් මෙම වෘතීය ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

මේ අතර හෙට දින පෙ.ව.10 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත් වීමටත් පසුව පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑමටත් මෙම සංගමය තීරණය කර ඇත.

ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් පද්ධතියේ ඇති වෙන බිඳ වැටීම අදාළ නිලධාරීන් හා දේශපාලන බලධාරීන් විසින් බාර ගත යුතුව ඇති බවත් එම සංගමය අවධාරණය කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

දිවයින පුරා වැඩ වර්ජන රැසක් – ජනතාව අපහසුතාවයට

(25.09.2019 – 16:10 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වැඩවර්ජනය අදත් (25) ක්‍රියාත්මක වන බැවින් අදාළ රාජ්‍ය ආයතනවල කිසිදු සේවාවක් සිදු නොවන බව එම සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා අද දෙරණට සඳහන් කළේය.

ඒ හේතුවෙන් සේවා ලබාගැනීම සඳහා පැමිණීමෙන් වළකින්නැයි ජනතාවට දන්වා සිටින බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද 15 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඔහු පැවසුවේ අමාත්‍ය මණ්ඩලය සහ වගකිව යුතු නිළධාරීන් වැටුප් විෂමතා විසඳීමට අදාළ යෝජනා ඉදිරිපත් කර තිබියදී මුදල් අමාත්‍යාංශය මගින් මීට අදාල නිර්දේශ ඉදිරිපත් නොකර කල්මැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට විශේෂ මහමණ්ඩල රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇති බවයි.

මෙම වර්ජනයට ආපදාවට ලක්ව ඇති ප්‍රදේශවල සේවය කරන දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු අදාළ නිලධාරීන් සම්බන්ධ නොවන බවද රෝහණ ද සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ වැඩවර්ජනය ද අද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේ සිය ඉල්ලීම් වලට මීට පෙර එකඟ වු නමුත් ඊට සාධාරණ විසඳුමක් නොලැබුණු බැවින් අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කළ බවයි.

මෙම වර්ජනය සඳහා අපදාවට ලක්ව ඇති ප්‍රදේශවල සේවය කරන වෛද්‍යවරුන්, වාරි ඉංජිනේරුවරුන් ඇතුළු අදාළ නිලධාරීන් සම්බන්ධ නොවන බවද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම වර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතන වල සේවය ලබා ගැනීමට පැමිණි ජනතාව අදත් දැඩි අසීරුතාවට ලක්ව ඇත.

එමෙන්ම හෙට සහ අනිද්දා දෙදින තුල පාසල් අධ්‍යනය කාර්ය මණ්ඩල සේවකයන්ද අසනීප නිවාඩු වාර්තා කර වැඩ වර්ජනය නිරත වන බව නිවේදනය කර ඇත.

මේ අතර ගුරුවන්ද වැටුප් ගැටළු සහ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමන් හෙට (26) සහ අනිද්දා (27) දෙදින තුල වැඩ වර්ජනයක නිරතවනු ඇත.

මීට අමතරව අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වෘත්තීය සමිති එකමුතුවද වැඩ වර්ජනයක නිරතවන බව නිවේදනය කළේය ෴

***************************************

ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල පාසල් ආරම්භය කල් යයි (විඩියෝ)

(25.09.2019 – webgossip.lk)

අයහපත් කාලගුණය හේතුවෙන් තවදුරටත් ගාල්ල, මාතර සියළුම පාසල් හෙට (26) සහ අනිද්දා (27) දෙදින ද වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

දැනට නොකඩවා පවතින අයහපත් කාලගුණය සහ අධික වර්ෂාව හේතුවෙන් මෙම නියෝගය ලබා දුන් බව ඒ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, මාතර දිස්ත්‍රික්කයන්හි සියළුම පාසල්වල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කරනුයේ සැප්තැම්බර් 30 සඳුදා ය.

පවතින අයහපත් කාලගුණය නිසාම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්වලට ඊයේ (24) සහ අද (25) යන දෙදින ද පාසැල් වසා තැබිමට මීට පෙර තීරණය කර ඇත.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=RR9M7G_Z5Aw#t=6

***************************************

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත් කැබිනට් සංදේශයේ සත්‍ය පිටපතක් ඉල්ලයි

(25.09.2019 – 12:36 +0530 – lankadeepa.lk)

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනිමට අදාල කැබිනට් සංදේශයේ සත්‍ය පිටපතක් ලබා දෙන ලෙස වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට නියෝග කර තිබේ.

ඒ අනුව අදාළ කැබිනට් සංදේශයේ සත්‍ය පිටපතක් කොමිසමට අද (25) ලබා දෙන ලෙස අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට නොතීසි නිකුත් කළ බව කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනිමකින් තොරව රජයේ මුදල් යෙදවිම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ වංචා දුෂණ සොයන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

එහිදී අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව සිදු කර ඇති බැවින් එය පෞද්ගලික රෝහලක් බවට පල වන ප්‍රකාශ කිසිසේත් පිළිනොගන්නා බවයි.

මෙම රෝහල සම්බන්ධයෙන් නෙවිල් ප්‍රනාන්දු මහතාට කිසිදු අයිතියක් නොමැති බවත් එය රජය සතු රෝහලක් බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව රාජිත සේනාරත්න අමාත්‍යවරයා සදහන් කළ කැබිනට් පත්‍රිකාවේ පිටපතක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති කොමිසම විසින් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා දැනුවත් කර ඇති බවයි වාර්තා වෙයි ෴

***************************************

අදත් (25) කොටුව දුම්රිය පොළ ජලයෙන් යටවෙලා

(25.09.2019 – 11:48 +0530 – lankadeepa.lk)

මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය පොළ අද (25) උදෑසන වන විටත් ජලයෙන් යටවී තිබිණි.

කොටුව දුම්රිය පොළේ පළමු හා දෙවැනි වේදිකා මෙලෙස ජලයෙන් යට වී තිබේ.

***************************************

පත්තර තට්ටුවට කණ කොකා හඩයි… පුවත්පත් 81 ක් වැසී යයි..!

(25.09.2019 – colombotoday.com)

වර්තමානය වන විට පුවත්පත් සමාජයෙන් ඈත් වෙමින් යන බවත් ඉකුත් වසරේදි පමණක් පුවත්පත් 81 ක් වැසී ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාව සදහන් කරයි.

2016 වසරේදි පුවත්පත් 218 ක් තිබු නමුත් එය 2017 වසර වෙද්දි 199 ක් බවට අඩු වී තිබේ. 2018 වසර වන විට එය 118 ක් දක්වාම පහත වැටී ඇති බව අමාත්‍යාංශ සංඛ්‍යා ලේඛන සදහන් කරයි.

පුවත්පත් අතරින් සිංහල හා දෙමළ පුවත්පත් මෙම වැසී යන පුවත්පත් අතර වැඩි වශයෙන් පවතියි. 2017 වසරේදී 125 ක් වු සිංහල පුවත්පත් 2018 වන විට 69 ක් දක්වා අඩු වී ඇත.

මුද්‍රිත මාධ්‍ය හා විද්යුත් මාධ්‍ය ගත් කළ අතීතයේ සිටම වැඩි ඉඩක් වෙන්ව තිබුණේ මුද්‍රිත මාධ්‍ය වෙනුවෙනි. කවි කොළයේ සිටම ජාතික පුවත්පතක් දක්වාම මුද්‍රිත මාධ්‍ය සමාජයේ පැතීරි ගොස් තිබුණේය. විශේෂයෙන්ම ළග තබාගෙන විටෙන් විට කියවිය හැකි, රස විදිය හැකි මාධ්‍යයක් වු බැවින් විද්යුත් මාධ්‍යට වඩා බොහෝ පිරිස රුචිකත්වයක් දැක්වුයේ මුද්‍රිත මාධ්‍ය කෙරෙහිය.

නමුත් වර්තමානය වන විට මුද්‍රිත මාධ්‍යට කණකොකා හැඞීමට පටන් ගෙන තිබේ. අද කවි කොළ සමාජයේ දක්නට නැත. එමෙන්ම වසර ගණනාවක් පාඨකයන් ඇදබැද තබා ගත් පුවත්පත් රැසක් අද වන විට වැසී ගොස් තිබේ.

පුවත්පත් වැසීමට බොහෝ සේ බලපෑවේ ඩොලරයේ මිල ඉහළ යාම බව පුවත්පත් ආයතන හිමියන් පවසයි. ඩොලරය ඉහළ යද්දි කඩදාසියේ මිලද ඉහළ යාම ඇතැම් පුවත්පත් ආයතන වලට දරා ගැනීමට නොහැකි විය. ඒ නිසාම බොහෝ පුවත්පත් රැසක මිල වැඞී කිරීමටද සිදු විය.

නමුත් දිනෙන් දිනම මේ වන විට පුවත්පත් වැසී යමින් ඒ තැන විද්යුත් මාධ්‍ය ලබා ගන්නා ආකාරයක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

ගුවන් විදුලි සේවා 2016 දි 52 ක් වු අතර 2017 දී 55 ක් විය. 2018 දි එය 58 ක් දක්වා වර්ධනය වී තිබේ. ගුවන් විදුලි නාලිකා ශ‍්‍රවණය කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මෙයින් පෙනී යන්නකි.

2018 වන විට රාජ්‍ය ගුවන් විදුලි සේවා 22 ක් පවත්වාගෙන යන අතර පුද්ගලික ගුවන් විදුලි සේවා 36 ක් වේ. ගුවන් විදුලි සේවා වලට අමතරව රූපවාහීනී සේවා 23 ක් ඉකුත් වසර අවසානය වන විට පැවති අතර ඉන් 18 ක්ම පුද්ගලික රූපවාහීනී සේවා වේ ෴

***************************************

***************************************

ආබාධිත රණවිරු විරෝධතාවයට දින 15 යි – සිව්දෙනෙක් මාරාන්තික උපවාසයක

(25.09.2019 – 14:00 +0530 – sinhala.adaderana.lk)

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවී සිටින ආබාධිත රණවිරුවන් සිව්දෙනෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

ඒ විශ්‍රාම යනවිට ලැබූ වැටුපටම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් කල් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව පැවසුවද යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ භාර්යාවන්ටද එම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින්.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉකුත් 11 වැනිදා සිට රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සිදුකරන විරෝධතාවයේ 15 වන දිනය අදයි.

විරෝධතා කරුවන්ගෙන් කිහිප දෙනෙකු ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ජනාධිපති ලේකම්වරයා මුණ ගැසුණු අතර පසුව විරෝධතා කරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වී තිබුණි.

එම සාකච්ඡාවෙන් පසු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන්ට විශ්‍රාම ගිය පසුවද අවසන් වරට ලැබූ වැටුපටම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් කල් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් විරෝධතාවයේ නිරත අබාධිත රණවිරුවන් එම තීරණය ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් විරෝධතාවයේ නිරත වීමට තීරණය කළේය.

ඒ තමන් මියගිය පසු භාර්යාව හෝ පවුලේ ඥාතියෙකුට ද එම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින්.

මෙවැනි පසුබිමක නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත වූ රණවිරුන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවිමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

අදාල කැබිනට් සංදේශය මගින් මෙම වැටුපට හිමිකම් කියන ආබාධිත රණවිරුවා මියයාමෙන් පසු ඔහුගේ බිරිදට සහ වයස අවුරුදු 26 ට අඩු දරුවන් සිටිනම් එම දරුවන්ට අදාල වැටුප හිමිකරදිමටද ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එහෙත් මුදල් අමාත්‍යාංශයේ සංශෝධන අනුව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ ආබාධිත රණවිරුන්ට දිවි ඇති තෙක් වැටුප ලබාදීමට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේය.

මේ අතර තමන් සමඟ යුද බිමේ සටන් කරමින් සිටියදී මියගිය රණවිරුවන්ගේ භාර්යාවන්ටද වැටුප් ලබාදීමට කටයතු කරන ලෙස රජයට බලකරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවී සිටි ආබාධිත රණවිරුවන් දෙදෙනෙක් ඊයේ රාත්‍රියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

මේ අතර ඊයේ රාත්‍රී 10 ට පමණ තවත් ආබාධිත රණවිරුවන් දෙදෙනෙක් එම මාරාන්තික උපවාසයට සහාය පල කරමින් එක්වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර ඊයේ රාත්‍රීයේද රණවිරුවන් විරෝධතාවයේ නිරත ස්ථානයට පැමිණි ජනතාව ඔවුන්ට ආහාරපාන ලබාදුන්නේය.

‍ෙඅද පෙරවරුවේද කොළඹට ඇදහෙලන මහවැසි නොතකමින් රණවිරුවන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

ආබාධිත රණවිරුවන්ට ලැබෙන විශ්‍රාම වැටුප යැපෙන්නන්ට දෙන්න බෑ – මංගල

(25.09.2019 – 19:14 +0530 – sinhala.adaderana.lk)

ආබාධිත රණවිරුවන්ට ලැබෙන විශ්‍රාම වැටුප ඔවුන් මිය ගිය පසු යැපෙන්නන්ට ලබා දීමට හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද (25) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව පැවසීය.

“සේවා විශ්‍රම වැටුප ලෙස රුපියල් 2523.60 යි. දුබලතා විශ්‍රම වැටුප ලෙස රුපියල් 4025 යි. 70,792.30 වර්තමානයේ ඔවුන්ට ලැබෙනවා. 55 සම්පූර්ණ වුනාම රුපියල් 48619.70 ලැබුණා. අපි අනුමත කළ කැබිනට් පත්‍රිකාව අනුව. රුපියල් 70,792.30 ජීවිත කාලෙටම ලැබෙනවා.

ප්‍රශ්නය : කොටුව දුම්රිය ස්ථානයේ ඉන්න සත්‍යග්‍රහයේ ඉන්න රණවිරුවෝ කියන්නේ ඔය දීපු විශ්‍රාම වැටුප ඔවුන් මිය ගියාට පස්සේ ඔවුන්ගේ බිරිඳටත් ලැබෙන ක්‍රමයක් හදන්න කියලා?

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා : එහෙම හැකියාවක් නෑ

ප්‍රශ්නය : ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා නිවේදනයක් නිකුත් කරලා ඊයේ දවසේදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා මේ ආබාධිත රණවිරුවන්ට ලැබෙන විශ්‍රාම වැටුප ඔවුන්ගේ බිරිඳට සහ ඒ දරුවට වයස 26 ක් සම්පූර්ණ වෙනකම් ගෙවන්න එතුමා යෝජනාවක් ඉදිරිපත් කරනවා.ඔබතුමා ඒකට අනුමැතිය දුන්නේ නෑ කියලා.එහි සත්‍යතාවක් තියෙනවා?

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා : ඔව්.ඒක ඇත්ත. ජනාධිපතිතුමාට යෝජනා කරන්න පුළුවන්. අවසානයේ මුදල් ගෙවන්නේ අපි සාධාරණ විශ්‍රාම වැටුපක් දෙන වෙලාවේ. තිබුණ වැටුපම ඉල්ලන එක අසාධාරණයි.”

***************************************

උසස් පෙළ ලියපු ළමුන්ට සිදුවූ අසාධාරණයක් ගැන ගම්මන්පිල කියයි

(25.09.2019 – 23:19 +0530 – sinhala.adaderana.lk)

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දී ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය සිංහල භාෂාවෙන් නොතිබීම සහ පරිවර්තන දුර්වලතා හේතුවෙන් එම ළමුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ 2017 වසරේදී උසස් පෙළ ජීව විද්‍යා විෂයනිර්දේශය ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කර ඇති අතර එහි දෙමළ පරිවර්තනයක් පමණක් අන්තර්ජාලයට එක් කර ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීඋදය ගම්මන්පිල මහතා :

“ජීව විද්‍යා විෂය ධාරාව ඉගෙනගන්නා සිසුන්ට මෑත කාලයේ සිදුවුණු බරපතළම අසාධාරණය හා අපරාධය පිළිබඳව රටට කරුණු හෙළි කිරීම සඳහා අප අද දින මේ මාධ්‍ය හමුවේ දී බලාපොරොත්තු වෙනවා.

වසර ගණනාවකින් පසු 2017 වසරේදී ජීව විද්‍යාවට අලුත් විෂය නිර්දේශයක් ඉදිරිපත් කරනවා. මෙම විෂය නිර්දේශය හදන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ නැහැ.

විෂය නිර්දේශය උගන්වන්න පටන් ගන්නකොට ගුරුවරුන්ට පුහුණුවක් නැහැ. ගුරු අත්පොතක් නැහැ. ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරලා තිබුණෙත් ඒකක දෙකක් පමණයි. සිංහලෙන් ඉදිරිපත් කර තිබුණේම නැහැ.

ප්‍ර‍රශ්න පත්‍රය සකස් වෙලා විභාගයට යනකොට ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ විෂය නිර්දේශයම අන්තර්ජාලයට එකතු කර තිබුණා. දෙමළ පරිවර්තනයක් එකතු කර තිබුණා. නමුත් සිංහලෙන් විෂය නිර්දේශය ඉදිරිපත් කරන්නට ආණ්ඩුව අසමත් වෙනවා. අමතක කරන්නට එපා මේ රටේ ජීව විද්‍යාව හදාරන දරුවන් සාතිශය බහුතරය ඒ හදාරන්නේ සිංහල මාධ්‍යයෙන්.

මෙම සිංහලෙන් ඉදිරිපත් කළ විෂය ඒකක වලද පරිවර්තන දෝෂ විශාල ප්‍රමාණයක් තිබුණා. පාරිභාෂිත වචන පැත්තකින් තිබ්බත් four කියන ඉංග්‍රීසි වචනය සිංහලට පරිවර්තනය කර තිබුණේ දෙක කියලා.

one, two, three, four, කියන්නේ එක දෙක තුන හතර කියලා අපි ඉගෙන ගත්තේ පෙර පාසැල් කාලයේදී. ඒ නිසා පෙර පාසල් වත් නොගිය අය හරහාද මේ පරිවර්තන සිද්ධ කළේ කියන ප්‍රශ්නය අපට ඇති වෙනවා.

ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍යයෙන් තිබුණත් සිංහල මාධ්‍යයෙන් පමණක් විෂය නිර්දේශය ඉදිරිපත් නොකර උසස් පෙළ විභාගය පවත්වා හමාරයි. මේ නිසා සිංහල මාධ්‍යයෙන් විභාගයට වාඩි වුණු දරුවන්ට බරපතළ අසාධාරණයක් සිදු වුණා.

දෙමවුපියන්ගේ සිහිනය තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කිරීම වුණත් අවාසනාවට සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත් දරුවන්ට පමණක් අසාධාරණයක් සිදුවුණා. මොකද අපේ රටේ විභාගයට ලියන මාධ්‍ය අනුව විශ්වවිද්‍යාලයට දරුවන් ගැනීමට සලාකයක් නැති නම් කෝටා එකක් නැහැ.

මේ සියලු දරුවන්ගේ ලකුණු එකට අරගෙන තමයි විශ්වවිද්‍යාලයට තේරෙන්නෙ කවුද නැතිනම් නොතේරෙන්නේ කවුද යන්න තීරණය වෙන්නේ. ඒ අනුව සිංහල මාධ්‍යයෙන් ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිව්ව දරුවන්ට දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු ලියූ දරුවන්ට නැති අසාධාරණයකට මුහුණ පෑමට සිදු වීමේ ප්‍රතිපලයක් විදිහට සිංහල මාධ්‍යයෙන් විභාගයට ලියූ අයට වෛද්‍යවරුන් වීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමක් මතුවී තිබෙනවා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *