විශ්‍රාමික රණවිරුවන්ට ‍ගෝඨාගෙන් පොරොන්දුවක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• විශ්‍රාමික රණවිරුවන්ට ‍ගෝඨාගෙන් පොරොන්දුවක් (විඩියෝ)

• අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 92,500 ක් පීඩාවට (විඩියෝ)

• අපේ පැත්තේ ප්‍රශ්නයක් නෑ – ගෝඨාට පුළුවන් ගමන යන්න (විඩියෝ)

• මනුෂ්‍යත්වයට නිගා කළ මිනිසුන්

• නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට මාගල්කන්දේ සුදත්ත හිමියන්ගෙන් චෝදනාවක් (විඩියෝ)

• ආබාධිත විශ්‍රාමික හමුදා සෙබලුන් පස්දෙනෙකුගේ මාරාන්තික උපවාසය තවදුරටත් (විඩියෝ)

• නොවැම්බර් පළමුවනදා සිට ක්‍රෙඩිට් කාඩ් පොලිය සියයට 28 යි

• ත්‍රීකුණාමලයේ අභයාරාමයේ බුදුපිළිම දෙකක් කඩා දමයි – නැගෙනහිර අන්තවාදීන්ගේ ක්‍රියාවක් දැයි සැක

• ගෝඨා දිනවන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට

+++++++++++++++++++++++++++++++++++

විශ්‍රාමික රණවිරුවන්ට ‍ගෝඨාගෙන් පොරොන්දුවක්

(25.09.2019 – 19:50 +0530 – sinhala.adaderana.lk)

විශ්‍රාමික රණවිරුවන්ගේ විශ්‍රම වැටුප් ගැටලුවට තමන්ගේ පාලනයක් යටතේ කඩිනමින් විසඳුම් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ අද පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

විදේශගත සේවක පවුල්වල සාමාජික සාමාජිකවන්ගේ අනුසංවිධාන ජාතික සම්මේලනය අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ය.

අනතුරුව රණවිරු පවුල් සාමාජික සමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනය ද කොළඹදී පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

එම අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණෙන අවස්ථාවේදී රණවිරුවන්ගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි.

අනතුරුව මියගිය රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්ද එහිදී පැවැත්වුණි.

***************************************

25-09-2019

+++++++++++++++++++++

25-09-2019

***************************************

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 92,500 ක් පීඩාවට

(25.09.2019 – 19:30 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනූදෙදහස් පන්සිය අනූතුන් දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සියලුම ශ්‍රේණිවල නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

පවතින අධික වැසි තත්වය මේ වන විට කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රීක්ක වලට බලපෑම් එල්ල කර තිබේ.

ගතවූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 272.3 ක වර්ෂාපතනයක් වාර්තා වුණේ කටුනායක ප්‍රදේශයෙන්ය.

පැවති වර්ෂාපතනය හමුවේ කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ජල මට්ටම මීටර් 7.66 ලෙස ඉහළ නැග සුළු ගංවතුර මට්ටමක පවතින බව වාර්තා වෙයි.

එමෙන්ම ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන් ජලමට්ටම මීටර් 4.97 ක සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරම නිල්වලා ගඟේ ජග මට්ටම පානදුගම ප්‍රදේශයෙන් මීටර් 6.59 ක අගයක් සටහන් කරමින් මහා ගංවතුර මට්ටමක පවතිනෙ බව වාර්තා වෙයි.

දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් තවමත් ජලයෙන් යටවී තිබේ.

ගාල්ල දිස්ත්‍රීක්කයේත් පහත්බිම් සහ මාර්ග බොහෝමයක් තවදුරටත් ජලයෙන් යටව පවතින බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මේ අතර මාපලගම -ගාල්ල ප්‍රධාන මාර්ගය ද ජලයෙන් යටටීම නිසා මාර්ගයේ රථවාහන ධාවනය නාගොඩට පමණක් සීමා වී තිබේ.

මේ අතර ගාල්ල නගරයේ සුමනාරාම පුරාණ විහාරස්ථානයේ කොටසක් ඊයේ නායයෑමෙන් විහාරයේ ගොඩනැඟිලි කිහිපයකට හානි වූ අතර අකුරැස්ස ප්‍රෙද්ශයේද පස් කන්දක් කඩාවැටීමේන නිවසකට හානි වුණි.

අකුරැස්ස – කඹුරුපිටිය මාර්ගය එක් මන්තීරුවක් සම්පූර්ණයෙන් ගිලාබැස ඇති අතර ඊට ඔබ්බෙන් පස්කන්දක් සහ ගසක් කඩාවැටීමෙන් ගමනාගමන කටයුතු ද අඩාල වී තිබුණි.

උදෑසන සිට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මීතියාගොඩ වේරගොඩ විජයබා විද්‍යාලය අසළ පිහිටි නිවසක් අද දහවල් කඩාවැටී ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිටි මවක් සහ දියණියක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මේ අතර වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් මෝටර් රථයක් පින්නදූව බද්දේගම ප්‍රදේශයේදී මාර්ගය හරහා ලිස්සා ගොස් ආරක්ෂිත වැටේ ගැටී අනතුරට ලක්වුණා.

පවතින වැසි තත්ත්වය සමඟ කළු, ගිං සහ නිල්වලා යන ගංගා වල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ගිං ඟගේ බද්දේගම ජල මාපකයේ අගය අද පෙරවරුවේ දැක්වුණේ මෙලෙසයි.

අද පෙරවරුවේ නිල්වලා ඟඟේ ජල මට්ටමද තවදුරටත් ඉහළ ගොස් තිබුණි.

මේ අතර කලු ගගේ ජල ම්ට්ටමද පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි.

පවතින වැසි සමඟ කුකුළේඟඟ ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විටත් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 80ක ජල ධාරිතාවක් පිටකෙරෙන බවයි ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු ශාන්ත පෙරේරා මහතා පැවසුවේය.

කැළණි ඟඟේ ජල මට්ටම අද පෙරවරුවේ කොළඹ නාගලගංවීදිය ජල මාපකයේ සටහන්ව තිබුණේ මෙලෙසයි.

එසේම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල පාසල් හෙට සහ අනිද්දා දිනවලත් වසා තැබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පැවසුවේය.

මේ අතර කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවිමක් හෙට සිට බලාපොරොත්තු වන බවයි.

***************************************

අපේ පැත්තේ ප්‍රශ්නයක් නෑ – ගෝඨාට පුළුවන් ගමන යන්න

(25.09.2019 – 17:49 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති අපේක්ෂකත්වයට රණ්ඩුවෙන පුද්ගලයින් දෙදෙනෙකුට රට ඉදිරියට ගෙනයා හැකිද යන්න කල්පනා කිරීමට කාලය එළැඹ ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ කොළඹ අද (25) පැවැති සමුළුවකදීයි.

විදේශගත සේවක පවුල්වල සාමාජික සාමාජිකවන්ගේ අනුසංවිධාන ජාතික සම්මේලනය අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ඉදිරියේ දී එන රජයක් තුළ මුලික අභිමාර්ථය වන්නේ කඩා වැටී ඇති ආර්ථිකය ඉහළට ගැනීම බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා නිසි සැලසුමක් ඇති බවත් පැවසු ඒ මහතා, මහින්ද රාජපක්ෂ මහතාගේ ධූර කාලය තුළ විශාල සංවර්ධනයක් ඇති වු බවත් පැවසීය.

අද දිනයේ දී නැවත වතාවක් ඒ නතර වුණ තැන සිය නැවතත් සංවර්ධනය ආරම්භ කිරීමට අවස්ථාව හිමිව ඇතැයි ද පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, විශේෂයෙන් රැකියා අවස්ථාවන් හා ව්‍යාපාර සියල්ල ඇති කරමින් ඒ නව රජය ඇති කිරීමට ජනතාවට අවස්ථාව ලැබී ඇතැයි ද කියා සිටියේය.

විශේ‍ෂයෙන් විදෙස් රටවල සේවය කරන හා සේවය කළ ජනතාවගේ ජීවිත ගැන ඇප වෙන බවත් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට අපහසු වී ඇතැයි ද බවයි.

වත්මන් ව්‍යවස්ථාව අනුව බල කේන්ද්‍ර දෙකක් ඇති අතර, ජනාධිපති හා අගමැතිවරයා මෙය දෙපැත්තකට අඳිමින් සිටින බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හා අගමැතිවරයා දෙපැත්තක සිටිය දී රටක වැඩක් කරන්නේ කෙසේද යන්න ප්‍රශ්න කර සිටියේය.

ගෙදර නෝනා හා මහත්තයා දෙපැත්තට ඇද්දහම බැරි සේම මෙම ක්‍රියාවලිය තුළින් රට බෙදීමකට ලක්ව ඇති බවත් පැවසු ඒ මහතා, අද දවසේ මොවුන් දෙපැත්තට ඇඳ ගැනීමේ දී ගුටි කන්නේ රටේ ජනතාව බවද පැවසීය.

සජිත් හා රනිල් මහතාගේ රණ්ඩුව අලුත් දෙයක් නොවන බවත්, පැවසු මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමට පෙර මෙලෙස හැසිරෙන අයට බලය ලබා දීම ප්‍රශ්නයක් බවත් කියා සිටියේය.

අපේ පැත්තේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් පැවසු ඒ මහතා, රටේ සංවර්ධන ගමන ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව යා හැකි බවත් කියා සිටියේය.

අනතුරුව රණවිරු පවුල් සාමාජික සමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනය ද කොළඹදී පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණෙන අවස්ථාවේදී රණවිරුවන්ගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

අනතුරුව මියගිය රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්ද එහිදී පැවැත්විය.

+++++++++++++++++++++

***************************************

මනුෂ්‍යත්වයට නිගා කළ මිනිසුන්

(25.09.2019 – 16:45 +0530 – sinhala.adaderana.lk)

නවගත්තේගම මොරගහවැව කුරුඳුවැටිය වැවේ වස ශරීර ගතව මරණයට පත්ව සිටි ඇතෙකුගේ දළ යුගලෙන් එක් දළක් කිසියම් අයෙකු කපා ගොස් තිබු බව වන ජීවි නිලධාරින් පවසයි.

වයස අවුරුදු 15 ක් පමණ වු මෙම ඇතා අඩි 7 ක පමණ උසකින් යුක්ත බවත් කිසියම් වසක් ශරීර ගතවි මෙම ඇතා මරණයට පත්ව ඇති බව වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා අද (25) දහවල් සිදුකල පශ්චාත් මරණ පරික්ෂණයේදී සනාථ කර තිබුණි.

මෙම ඇතාට කිසියම් පළතුරු හෝ වෙනත් ආහාරයක් සමඟ වස මිශ්‍ර කර කෑමට ලබා දී ඇති බවත් ඉන් පසුව දැඩි ලෙස අසාධ්‍යය තත්ත්වයෙන් වැව් තාවුල්ලට පැමිණ එහිදි මරණයට පත්වන්නට ඇතැයි වනජීවි නිලධාරින් පවසයි.

ඇතා කුරුඳුවැටිය වැවේ මරණයට පත්ව සිටිය දී කිසියම් අයකු දළ යුගලෙන් එක් දළක් කපා ගෙන ගොස් ඇති බවත් අනෙක් දළ ඇතාගේ සිරුරට යටවී පස් තුළට කිඳා බැසිම නිසා කැපිමට හැකිවී නොමැති බවද වන ජීවි නිලධාරින් සඳහන් කරයි.

වනජීවි පශු වෛද්‍ය දොස්තර චන්දන ජයසිංහ මහතා විසින් පැවැත් විමේන් පසුව ඇතාගේ සිරුර වැව් පිට්ටනියේ මිහිදන් කිරිමට කටයුතු කිරිමට වනජීවි නිලධාරින් කටයුතු කරමින් තිබුණි ෴

***************************************

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට මාගල්කන්දේ සුදත්ත හිමියන්ගෙන් චෝදනාවක්

(25.09.2019 – 20:25 +0530 – hirunews.lk/sinhala)

රටේ නීතිය ක්‍රියාත්මක කරන සෑම ආයතනයක්ම දෙයාකාරව නීතිය ක්‍රියාත්මක කරන බවට නව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් චෝදනා කරනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදි.

මේ අතර කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ දුරකථන හඬ ඇමුණුම් පිළිබඳව අදහස් පළකළා.

***************************************

ආබාධිත විශ්‍රාමික හමුදා සෙබලුන් පස්දෙනෙකුගේ මාරාන්තික උපවාසය තවදුරටත්

(25.09.2019 – 20:16 +0530 – hirunews.lk/sinhala)

සිය විශ්‍රාම වැටුප් ගැටලුවට නිසි විසඳුමක් ඉල්ලා ආබාධිත විශ්‍රාමික හමුදා සෙබලුන් පස්දෙනෙක් ආරම්භ කළ මාරාන්තික උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර වැන්දඹුවන්ට සහ යැපෙන්නන්ට එම විශ්‍රාම වැටපු කිසිසේත් ලබා දිය නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

සිය විශ්‍රාම වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ආබාධිත විශ්‍රාමික හමුදා සෙබලුන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය 11 වනදායි.

අඛණ්ඩව ක්‍රියාත්මක වූ එම සත්‍යග්‍රහයට විසඳුමක් ලෙස යුද ආබාධිත විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඔවුන් අවසන් වරට ලද මාසික වැටුපට සමාන විශ්‍රාම වැටුපක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එම විශ්‍රාම වැටුප යුද්ධයේදී මියගිය හමුදා සෙබලුන්ගේ බිරින්දෑවරුන්ට සහ යැපෙන්නන්ටත් ලබා දිය යුතු බව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණද මුදල් අමාත්‍යංශය විසින් එය සංශෝධන කර ඇති බවයි.

රජයේ විසඳුම පිලිනොගත් සත්‍යග්‍රහයේ නිරත හමුදා සෙබලුන් තවදුරටත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට රැඳි සිටීමට තීරණය කළා.

ඒ අනුව එම ස්ථානයේ සිටි ආබාධිත හමුදා සෙබලුන් පස්දෙනෙක් ඊයේ රාත්‍රී මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

සත්‍යග්‍රහයේ නිරත හමුදා සාමාජිකයන්ට සහය පල කරමින් විවිධ පිරිස් ආහාර පානාදියෙන් ඔවුන්ට සංග්‍රහ කරනු ඊයේ රාත්‍රියේත් දක්නට ලැබුණා.

යුද්ධයෙන් මියගිය හමුදා සාමාජිකයන්ගේ බිරින්දෑවරුද මේ වනවිට අරගලයට එක්ව සිටිනවා.

පෙරවරුවේ ඇද හැලුණු ධාරානිපත වර්ෂාවද විශ්‍රාමික ආබාධිත හමුදා සෙබලුන්ගේ උපවාසයට සහ සත්‍යග්‍රහයට බාධාවක් වී තිබුණේ නැහැ.

අද දිනය පුරාත් විටින් විට එම ස්ථානයට ස්වේච්ඡාවෙන් පැමිණි විවිධ පිරිස් සත්‍යග්‍රහයේ නිරත වූවන්ට ආහාර පාන සහ විවිධ ද්‍රව්‍යමය ආධාර බෙදා දුන්නා.

මේ අතර මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානය ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් ආබාධිත හමුදා සෙබලුන්ගේ අරගලයට සහය දැක්වීමට එක්වුණා.

මේ අතර මුදල් අමාත්‍යංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රණවිරු විශ්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළවුණා.

සත්‍යග්‍රහයේ නිරත ආබාධිත හමුදා සෙබලුන්ගේ නියෝජිතයන් පිරිසක් අද පස්වරුවේ යුද හුමදා මුලස්ථානයේ රණසේවා අධ්‍යක්ෂවරයා මුණගැසී සිය ගැටලුව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

මේ අතර භික්ෂූන් වහන්සේ ඇතුලු පාර්ශ්ව කිහිපයක් අදත් මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

***************************************

නොවැම්බර් පළමුවනදා සිට ක්‍රෙඩිට් කාඩ් පොලිය සියයට 28 යි

(25.09.2019 – 16:09 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රෙඩිට් කාඩ් සඳහා වන උපරිම පොලී අනුපාතිකය වසරකට සියයට 28 ක් දක්වා පහත දමා තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ වෙළඳපොල ණය අනුපාතිකවල පහළ යෑමක් ඇතිකරවීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග යටතේ එය සිදුවන බවයි.

එසේම පූර්ව අනුමත කරන ලද තාවකාලික අයිරා සඳහා අදාළවන උපරිම පොලී අනුපාතිකය වසරකට සියයට 24 ක් වනු ඇති බවද මහබැංකුව ප්‍රකාශ කළා ෴

***************************************

ත්‍රීකුණාමලයේ අභයාරාමයේ බුදුපිළිම දෙකක් කඩා දමයි – නැගෙනහිර අන්තවාදීන්ගේ ක්‍රියාවක් දැයි සැක

(26.09.2019 – 00:01 +0530 – lankaleadnews.com)

ත්‍රීකුණාමලය අභයපුර අභයාරාම විහාරස්ථානයේ චෛත්‍ය වටා පිහිටි බුද්ධ ප්‍රතිමා දෙකකට හානි කිරීම සම්බන්ධව විමර්ශන ආරම්භ කළ බව උප්පුවේලී පොලිසිය කියයි.

එම විහාරස්ථානයේ විහාරාධිපති පුජය මානිංගමුවේ විමලජෝතිතිස්ස හිමියන් කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කරනු ලැබීය.

විහාරස්ථානයේ චෛත්‍ය වටා පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා දෙකක සිරස කඩා දමා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පලකල විහාරාධිපති හිමියන් පැවැසුවේ ඊයේ දින පැවැති ආගමික කටයුත්තක් සදහා පිටතට වැඩම කර සිටි බවත් අද පෙරවරුවේ විහාරස්තානයේ දායක මහත්මියක් තමා වෙත කල දුරකතනයෙන් දැනුම් දීමක් මත පැමිණ බැලු පසු සිද්ධිය දුටු බවයි.

***************************************

ගෝඨා දිනවන්න විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට

(26.09.2019 – 00:15 +0530 – lankaleadnews.com)

‘මව්බිම බේරා ගනිමු ගෝඨාභය දිනවමු – නොවැම්බර් 16 ඡන්දයට ලංකාවට යමු’ තේමාවෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඡන්ද බලය හිමි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකක් ලංකාවට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇත. මේ වෙනුවෙන් පළමු සම්මන්ත්‍රණය සැප්තැම්බර් 22 වැනිදා අද ප්‍රංශයේ පැරිස් නගරයේ දී පැවැත්විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහභාගි වන මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ පෙර කිසිදා නොවූ විරූ උද්යෝගයක් මෙවර ජනාධිපතිවරණය උදෙසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර මතුව ඇති බවත් අවම වශයෙන් ඡන්ද බලය හිමි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 2 ක් ජනාධිපතිවරණය උදෙසා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම බලාපොරොත්තුව බවත් ඔහු පවසයි. මව්බිම වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ සම්මන්ත්‍රණය සංවිධානය කරයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

lasantha වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *