අබාධිත රණවිරුවන් 16 වන දිනටත් මහ පාරේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• අබාධිත රණවිරුවන් 16 වන දිනටත් මහ පාරේ (විඩියෝ)

• හේෂා කියන ළමා දරුවා රාජපක්ෂලාට ජම්පරේ අන්දනවලු – රෝහිත අබේගුණවර්ධන (විඩියෝ)

• අපේ රජයක් යටතේ සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• රනිල්ටයි මෛත්‍රීටයි බැරි වුණ දේ රනිල්ටයි සජිත්ටයි කරන්න බෑ – ඩී වී චානක (විඩියෝ)

• ප්‍රේමදාස යුගය නැවත ‍ගේන්න ඉඩ දෙන්න බෑ – මහින්ද රාජපක්ෂ (විඩියෝ)

• ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහනයට දුන් නියෝගය ගැන අදත් (26) කතාබහ (විඩියෝ)

• පොහොට්ටුව තවත් පක්ෂ 19 ක් සමග ලබන 5 වනදා අවබෝධතා ගිවිසුමකට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

අබාධිත රණවිරුවන් 16 වන දිනටත් මහ පාරේ

(26.09.2019 – 19:28 +0530 – sinhala.adaderana.lk)

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉකුත් 11 වැනිදා සිට රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිදුකරන විරෝධතාවයේ 16 වන දිනය අදයි.

යුද බිමේ සටන් කරමින් සිටියදී මියගිය රණවිරුවන්ගේ භාර්යාවන්ටද වැටුප අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන ලෙස සහ අබාධිත රණවිරුවන් මියගිය පසු භාර්යාව හෝ පවුලේ ඥාතියෙකුටද එම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින් රණවිරු බිරින්දෑවරුන් අදත් විරෝධතාවයට එක්ව සිටියේය.

මේ අතර යුද්ධයෙන් මියගිය සහ අබාධිත වූ රණවිරුවන්ගේ භාර්යාවන් පිරිසක් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සහ පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේ පිරිසක් සමග අද පෙරවරුවේ තමන්ට සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය.

කෙසේවෙතත් ඉන් අනතුරුව ඔවුන් කොළඹ ගාලුමුවදොර අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය පසුකරමින් මුදල් අමාත්‍යාංශය දෙසට ගමන් කිරීමට උත්සහ කළ අවස්ථාවේ පොලිසීය මාර්ග බාධක යොදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපසින් ගාලු පාර තාවකාලිකව වසා දැමුවේය.

අනතුරුව රණවිරු භාර්යාවන් දස දෙනෙකුට සහ ස්වාමීන් වහන්සේට මුදල් අමාත්‍යාංශය වෙත යාමට පොලිසිය අවසර ලබා දුන්නේය.

සෙසු රණවිරු භාර්යාවන් ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පදික වේදිකාවේ රැඳී සිටිමින් විරෝධතාවයක් ආරම්භ කළේය.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශයෙන් පිටතට පැමිණි විරෝධතාකරුවන් පැවසුවේ තමන්ට කිසිදු පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බවයි.

මේ අතර විරෝධතාකරුවන් යළිත් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ ගත් අවස්ථාවේදී පොලිසිය මාර්ග බාධක යොදා යළි මාර්ගය වසා දැමීමට පියවර ගත්තේය.

එම අවස්ථාවේ රණවිරු භාර්යාවන් පිරිසක් සහ එම ස්ථානයට වැඩම කර සිටි ස්වාමීන් වහන්සේ අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුණි.

මේ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත ආබාධිත රණවිරුවන් සිව්දෙනෙක් ආරම්භ කළ මාරාන්තික උපවාසයට ඊයේ තවත් ආබාධිත රණවිරුවෙක් එක්වූ අතර ඒ අතරින් එක් රණවිරුවෙක් දැඩි ලෙස රෝගාතූර වීම හේතුවෙන් අද පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගියේය.

උපවාසය පැවත්වෙන ස්ථානයෙන් රෝහල වෙත රැගෙන ගිය රණවිරුවා වෙනුවෙට තවත් රණවිරුවෙක් උපවාසයට එක්වුණි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=yMm9JdnpNlg#t=6

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=a-mrKbdDSxo#t=4

***************************************

හේෂා කියන ළමා දරුවා රාජපක්ෂලාට ජම්පරේ අන්දනවලු – රෝහිත අබේගුණවර්ධන

(26.09.2019 – 19:16 +0530 – sinhala.adaderana.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය දැක දැක වියරු වැටී දැඩි වෛරී සිතින් යුතුව ඊයේ (25) එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මහතා විසින් ප්‍රකාශයක් සිදු කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කරයි.

සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතාට ජම්පරය අන්දවනවා යැයි සිදුකළ ප්‍රකාශය, කුරිරු ත්‍රස්තවාදය අවසන් කර ජනතාවට අභය දානය ලබා දීමේ පින් කම සිදු කිරීම හේතුවෙන් කළේදැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

එසේම හේෂා විතාරණ මහතාගේ එම ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවසීය :

“ළදරුවෙක් මතුගම වේදිකාවේ කතා කළා. හේෂා කියන ළමා දරුවා රාජපක්ෂලාට ජම්පරේ අන්දනවලු. දේශපාලන පින්ගුත්තරයෝ,දේශපාලන ගණිකාවෝ දේශපාලනයෙන් අතුගාන්න ඕන.”

***************************************

අපේ රජයක් යටතේ සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා – ගෝඨාභය රාජපක්ෂ

(26.09.2019 – 18:14 +0530 – sinhala.adaderana.lk)

පොදුජන පෙරමුණු රජයක් යටතේ ජනතාව මත ඇති බදු බර අඩු කරනවා පමණක් නොව පවතින බදු ක‍්‍රමය සරළ කරන්නට බලාපොරොත්තු වන බව පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ව්‍යාපාරික ජාතික සම්මේලනය අද (25) පෙරවරුවේ කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම සම්මේලනය සඳහා ව්‍යාපාරිකයින් රැසක් සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය :

“ජාතික ආරක්ෂාව ඉතාම වැදගත්. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම අනාගතයේ අප පිහිටුවන රජයක මූලික වගකීමක් ලෙස මා දකිනවා. ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර නිදහසේ කරගෙන යාම සඳහා ත‍්‍රස්තවාදය නැති, හොරමැරකම්, කප්පම් ගැනීම් නැති, වංචා දුෂණ නැති පරිසරයක් , සමාජයක් අවශ්‍ය වෙනවා. ඔබට ඔබේ ව්‍යාපාර කරගෙන යාමට අවශ්‍ය කරන ඒ සුරක්ෂිත වටපිටාව සකස් කර දෙන බවට මම සහතික වෙනවා.

අපි දන්නවා පසුගිය වසර කිහිපය තුල මේ රටේ බදු ප‍්‍රතිපත්තිවල විශාල වෙනසක් සිද්ධවුනා. වසර 100 කට වඩා පැරණි ක‍්‍රම ක‍්‍රමයෙන් දියුණු වෙමින් ආ බදු ක‍්‍රමවේදය වෙනුවට වෙනත් රටකට ගැලපෙන ලෙස සකස් කරනා ලද ආගන්තුක බදු පනතක් ජනතාව මත පටවා තිබෙනවා. මේ සංකීර්ණ බදු ක‍්‍රමවේදය නිසා අද ව්‍යාපාරිකයන් මෙන්ම බදු ගෙවන සියලුම පුරවැසියන් අසීරු තාවයට පත් වෙලා තිබෙනවා.

අළුතින් පනවා ඇති සමහරක් බදු ඉතාමත්ම අසාධාරණ බව අපේ හැඟීමයි. ජනතාවගෙන් බදු අයකරලා සැලැස්මක් නැතිව වියදම් කරන එකයි මේ රජය කරන්නේ.

අපේ රජයක් මඟින් ජනතාව මත බදු බර අඩු කරනවා පමණක් නොව පවතින බදු ක‍්‍රමය සරල කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරිකයින් ඇති කරන රැකියා අවස්ථා නිසයි ආර්ථිකය ඉදිරියට යන්නේ. තමන්ගේ ආදායම නැවත ආයෝජනය කරන්න අවස්ථාව නොදී බදු පිට බදු ගැසීම අනුමත කරන්න බැහැ.

වසරින් වසර බදු ප‍්‍රතිපත්ති වෙනස්වීම ගැන බිය නොවී ඔබේ අනාගත ව්‍යාපාර සැලසුම් කරන්නට උදව් වන ස්ථාවර බදු ප‍්‍රතිපත්තියක් ඔබට හඳුන්වා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා.

ව්‍යාපාරිකයා හා බැංකු පද්ධතිය එකිනෙකාට ඉතා සමීපයි. බැංකුවකින් අප බලාපොරොත්තු වන්නේ ව්‍යවසායකයා දිරි ගැන්වීම විනා ඔහුව අධෛර්යමත් කිරීම නොවේ. වර්තමානයේ බැංකු පද්ධතිය මත රජය මගින් පනවා ඇති සීමාවන් අධ්‍යයනය කොට රටේ ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලියට ධනාත්මකව උපකාරී වන ආකාරයට එම දැඩි නීති හා රෙගුලාසි සංශෝධනය කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

දක්ෂ අවංක ව්‍යාපාරිකයෙක් රජයෙන් මූලිකව බලාපොරොත්තුවන්නේ පහසුකම් සපයන්නෙකුගේ කාර්ය භාරයයි.ඔහු රජයෙන් සහන බලාපොරොත්තු වන්නේ නැහැ. විශේෂ උදව් උපකාර බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් තමුන්ගේ ව්‍යාපාරය නිසියාකාරව කිරීමට අවශ්‍ය පොදු යටිතල පහසුකම් හා අවශ්‍ය අනුමැතීන් කඩිනමින් ලබා දෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වෙනවා.

අද ව්‍යාපාරිකයෙකුට ආයෝජනයකට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට ආයතන ගනනාවකට යන්නට සිදුවී තිබෙන්නේ.

වර්ථමානයට ගැලපෙන ආකාරයට රටේ නීති අණපනත් යාවත්කාලීනවෙලා නැති නිසයි. නිලධාරිවාදය, ආයතනික අකාර්යක්ෂමතා මෙන්ම අල්ලස් හා දූෂණත් මේ ප‍්‍රමාදයන්ට බලපානා බව අපි හඳුනාගෙන තිබෙනවා.

මේ තත්ත්වය වෙනස් කිරීමට සඳහා නීති හා රෙගුලාසි ප‍්‍රතිසංස්කරනය මෙන්ම ඊ තාක්ෂණය භාවිතයෙන් අන්තර්ජාලය හරහා කඩිනමින් අනුමැතීන් ලබා දීමේ පාරදෘශ්‍ය ක‍්‍රමවේදයක් අපි හඳුන්වා දෙන්නට බලා පොරොත්තු වෙනවා. අපි මේදේවල් කියනවා වගේම කරලත් පෙන්වූ පිරිසක්.

ඔබයි අපේ ජීවය. මේ රට නැවතත් ගොඩ නගන්න අප සමඟ එක්වන්නැයි ඉල්ලනවා. ඔබේ ව්‍යපාර ඉදිරියට කරගෙන යා හැකි රජයක් බිහිකරන බවට සහතික වෙනවා.”

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=B8aDRU0Acqs#t=6

***************************************

රනිල්ටයි මෛත්‍රීටයි බැරි වුණ දේ රනිල්ටයි සජිත්ටයි කරන්න බෑ – ඩී වී චානක

(26.09.2019 – 17:53 +0530 – sinhala.adaderana.lk)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ජයග්‍රහණය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරධනා කරන බව එහි නියෝජති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා :

“සජිත් පේ‍්‍රමදාසට අපේක්ෂකකම ලබාදුන්නා කියලා අපි දැනගත්තෙ මලික් සමරවික‍්‍රම සජිත්ගේ පැත්තේ වාඩි වෙනවත් එක්කමයි. අපි දන්නවා සජිත් පේ‍්‍රමදාස ලඟට මලික් සමරවික‍්‍රම ගියේ රනිල්ගේ කොන්දේසි කිහිපයකට සජිත්ව කැමති කරවගන්න කියලා.

රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකකම ආරක්ෂා කරගන්න මේ සියලු උපක‍්‍රම යෙදුවා. එහෙම වුනොත් රනිල් වික‍්‍රමසිංහ තමයි ඉදිරියෙහි විපක්ෂ නායක වෙන්නේ.

පසුගිය අවුරුදු 15 ක කාලය සජිත් පේ‍්‍රමදාස කිසිම මැතිවරණයක් දිනලා නැහැ. රනිල් වික‍්‍රමසිංහට තිබෙන පැරදීමේ රෙකෝඩ් එක කඩන එකම කෙනා සජිත් පේ‍්‍රමදාස කියලා පැහැදිලියි. තව අවුරුදු විසිපහකට පරදින එකම නායකයා සජිත් පේ‍්‍රමදාසයි. සජිත් පේ‍්‍රමදාසගේ සහ රනිල් වික‍්‍රමසිංහගේ ගිවිසුම් රටට හෙළි කළ යුතුයි.

අන්තවාදී පක්ෂ වන රිෂාඞ් බදුර්දීන්, දෙමළ පක්ෂ සන්ධානය වෙනුවෙන් සජිත් පේ‍්‍රමදාස ලබාදී තිබෙන ගිවිසුම් මොනවද කියලා අපි දැනගන්න කැමතියි. සජිත් පේ‍්‍රමදාස අවුරුදු හතහමාරක් තුළ සෑම ගිවිසුමකට එකඟ වුණා. මත්තල ගුවන් තොටුපල වී ගබඩාවක් කළා. හම්බන්තොට වරාය විකුණුවා. රණවිරුවෝ හිරේ දැම්මා. හාමුදුරුවරු හිරේ දැම්මා.

මහ බැංකුව මංකොල්ල කෑවා සජිත් කතා කළේ නැහැ. එතුමාගේ කට ඇරුනේ තමන්ගේ අපේක්ෂකකම ගන්න විතරයි. අද සජිත් පේ‍්‍රමදාසගේ වේදිකාවල ඉන්නේ මහබැංකු මංකොල්ලයෙන් වංචනිකව මුදල් ලබාගැනීම පිළිබඳව චෝදනාවට ලක් වූ මන්ත‍්‍රීවරු. මම නැවත වරක් සජිත් පේ‍්‍රමදාසට අභියෝග කරනවා මහබැංකු ගනුදෙනුවෙන් රුපියල් මිලියන පහක් ගත්තේ නැතිනම් ඒ පිළිබඳ දිවුරුම් පෙත්සමක් දෙන්න කියලා.

රනිල්ටයි මෛත්‍රීටයි බැරි වුණ දේ රනිල්ටයි සජිත්ටයි කරන්න බැහැ.

අපි සජිත්ගෙන් අහනවා රිෂාඩ් එක්ක ගහපු ගිවිසුම් මොනවාද? ටී.න්.ඒ.පක්ෂය එක්ක ගහපු ගිවිසුම් මොනවාද?

වේදිකාවේ ඉන්න හැමෝම ඇලෝෂියස්ගෙන් සල්ලි ගත්ත අය ඇලෝෂියස්ගෙන් මිලියන 05 ක් ගත්තේ නැත්තනම් දිවුරුම් ප්‍රකාශයක් දෙන්න.

සජිත් පේ‍්‍රමදාසට අපි කියනවා පුලුවන්නං ඇවිල්ලා ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය ජයග‍්‍රහණය කරලා පෙන්නන්න කියලා.

ලබන නොවැම්බර් දාහත් වැනි දා ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපති වශයෙන් දිවුරුම් දීම නියතයක්.”

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=SXcr7qnUJJo

***************************************

ප්‍රේමදාස යුගය නැවත ‍ගේන්න ඉඩ දෙන්න බෑ – මහින්ද රාජපක්ෂ

(26.09.2019 – 17:08 +0530 – sinhala.adaderana.lk)

වත්මන් ආණ්ඩුව යටතේ ව්‍යාපාර විශාල ලෙස කඩා වැටීමකට ලක්වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ව්‍යාපාරික ජාතික සම්මේලනය අද (25) පෙරවරුවේ කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම සම්මේලනය සඳහා ව්‍යාපාරිකයින් රැසක් සහභාගි වූහ.

එහිදී අදහස් දක්වූ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා :

“21 වැනිදා බෝම්බ ප‍්‍රහාරයත් එක්ක ව්‍යාපාර මොන තරම් කඩා වැටුනාද කියලා ඔබ දන්නවා.

මුදලේ අගය ආරක්ෂා කිරීමට අපි අවධාන යොමු කළා. 2014 දී ඩොලරයේ අගය රුපියල් 131 යි. 2019 දී ඩොලරයේ අගය රුපියල් 182 ක්. අපේ කාලයේඅවුරුදු 10 ක්ම ඩොලරයට වැඩිපුර ගෙවුවේ රුපියල් 26 යි.

යහපාලනය අවුරුදු හතර හමාරක් තුළ ඩොලරයට ගෙවන මුදල රුපියල් 51 කින් වැඩි කළා.

අද ආනයනය කරන සෑම භාණ්ඩයකටම ඩොලරයකට රුපියල් 51 ක් වැඩිපුර ගෙවන්න සිදුවෙලා තියෙන්නේ මේ නිසයි.

නමුත් අපනයන ආදායම වැඩි වෙලා නැහැ. රුපියල බාල්දුවීම නිසා, පමණක් 2015, 2016, 2017, 2018 වසර හතර තුළ ජාතියේ ණය බර රුපියල් බිලියන 1790 කර වැඩියි.

ණය පොලිය ආරක්ෂා කිරීමට අපි අවදානය යොමු කළා. අපේ යුගය තනි ඉලක්කමේ ණය පොලිය පවත්වා ගෙන ගියා.

මහ බැංකුවේ මහ දවල් මංකොල්ලය නිසා කරටි කැඩෙන විදියට පොලිය ඉහළ ගියා.

අද ණයපත් පොලිය සියයට 28 යි. සිංගප්පූරු, මැලේසියා, චීනය වගේ රටවල් තනි ඉලක්කමේ අගයක් යටතේ ණය පොලිය පවත්වා ගෙන යන්න අදටත් පියවර ගෙන තිබෙනවා.

යටිතල පහසුකම් සහ වෙළඳපොල පහසුකම් ප‍්‍රවර්ධනය, මංමාවත්, සුපිරි අධිවේගී මාර්ග දුම්රිය, ගුවන් තොටුපොල, විදුලිය, ජලසම්පාදනය, ව්‍යාපාරිකයින්ට සකසා ගැනීමේ හැකියාවක් නැහැ. ඒවා රජයන් විසින් සලසා දිය යුතුයි.

අපෙන් පස්සේ අලුත් කිසිම දෙයක් කලේ නැහැ.”

“මුලු රටම බ්රේක් ගහලා. රට ඉදිරියට යන්නේ නැහැ. රටට මේ වගේ දෙයක් වුනේ පාලනයට නුසුදුසු අය පත් කර ගැනීම නිසයි.

මෙය වෙනස් විය යුතුයි. අපේ යුගයේදී අලුත් මධ්‍යම පන්තියක් බිහි වුනා. ව්‍යාපාර ඇති වුනා. අද ඔවුන් කඩා වැටිලා. රටම එක තැන පල් වෙනවා.

මේවාට වත්මන් ආණ්ඩුව වගකිව යුතුයි. රනිල් විතරක් නෙවෙයි මේ සියල්ලටම සජිත් පේ‍්‍රමදාසත් වගකිව යුතුයි.

අද නැවතත් පේ‍්‍රමදාස යුගයක් ගේන්න කතා කරනවා. ඒ යුගය ඔබට මතකද දන්නේ නැහැ. ටයර් සෑයවල් මතකද? එක දවසක් මම දැක්කා 28 දෙනෙක් යටර් සෑයේ දාලා තියෙන හැටි.

මළ කඳන් ගොඩ ගැහිලා තිබුණා. මළ කඳන් පෙනෙද්දි ගොවියෝ ගොවිතැන් කරනවා. කාන්තාවෝ නොදැක්කා වගේ යනවා. ඒ යුගය අමතක කරන්න බැහැ. නැවතත් රට ඒ යුගයට යවන්නත් බැහැ.

මහ බැංකු මංකොල්ලයෙන් රටම විනාශ කරලා, වසර 5 තුළ රට ආපස්සට ගෙනගියා. සංවර්ධනය ඇණ හිටවලා, මධ්‍යම පන්තිය විනාශ කළ ආන්ඩුව නැවත පත් කරන්න බැහැ.

කඩා හැලුනු ව්‍යාපාර අරඹනවාට වඩා අමාරුවේ වැටුනු ව්‍යපාරිකයා නැවත ගොඩ නැගීමටයි අපි අවධානය යොමු කරන්නේ.

ඔබට රට ගැන අවෙබෝධයක් තිබෙනවා. ජනතාව දැනුවත් කිරීමේ හැකියාවත් ඔබට තිබෙනවා. රටක් ගොඩ නැගීමේ දර්ශනයක් ඇති වැඩක් කරලා පෙන්වපු නායකයෙක් තමයි අපි මෙවර ඔබට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ.”

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=Yuu3Hw-39aQ

***************************************

ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහනයට දුන් නියෝගය ගැන අදත් (26) කතාබහ

(26.09.2019 – 19:48 +0530 – hirunews.lk/sinhala)

අපවත් වී වදාල මුලතිව් – නයාරු – ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ සත් දින දානමය පුන්‍ය කර්මය අද (26) එම විහාරස්ථානයේ දී පැවැත්වුණා.

හිරු වාර්තාකරු සඳහන් කළේ උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි ශ්‍රී ලංකා අමරපුර වජිරවංශ පාර්ශවයේ අනුනායක පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර නාහිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එය පැවති බවයි.

නිරාවිය පුල්ලෙයාර් ගණදෙවි කෝවිලේ පාලක සභාව සිදුකළ පැමිණිල්ලක් මත නාහිමියන්ගේ ආදාහන කටයුතු සිදුකිරීමට අදාළව අධිකරණ නියෝගයක් ද ලබා දුන් අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද මතුවුණා.

ඒ අධිකරණ නියෝගයට එරෙහිව විහාරස්ථානයේ දායක සභාව සහ භික්ෂුන් වහන්සේ, උන්වහන්සේගේ දේහය විහාරස්ථාන භූමියේම අවසන් කටයුතු සිදුකිරීම හේතුවෙන්.

මේ අතර, අධිකරණ නියෝගය කඩකරමින් උන්වහන්සේගේ දේහය ආදාහන කිරීමට එරෙහිව අදත් නීතිඥවරුන් පිරිසක් මුලතිව්, සෙට්ටිකුලම සහ වව්නියාව යන ප්‍රදේශවල විරෝධතාවන් වල නිරත වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එසේම, සිද්ධිය සම්බන්ධයෙන් අදත් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ ජිනානන්ද හිමියන්, සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් අදහස් දැක්වූ අතර, එහිදී පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සඳහන් කළේ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාලකයින් මුණිවත රැකීම ඉවසිය නොහැකි කටයුත්තක් බවයි.

https://www.youtube.com/watch?v=8whHRYoFMZg#t=6

***************************************

පොහොට්ටුව තවත් පක්ෂ 19 ක් සමග ලබන 5 වනදා අවබෝධතා ගිවිසුමකට

(26.09.2019 – 14:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ 19 ක් සමඟ ඔක්තෝම්බර් 5 වනදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

මේ අතර, ගාල්ලේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ප්‍රකාශ කළේ ඉදිරි සතිය තුලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවන බවයි.

https://www.youtube.com/watch?v=yB-1T_JBth8#t=4

***************************************

මැතිවරණ කොමසාරිස් තුමනි ඔබේ අවධානය පිණිසයි.. (26-09-2019)

https://www.facebook.com/slppmediacentre/videos/2679411342122772/
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *