ගාල්තැන්න භද්‍රකාලී දේවාලයේ ලේකම්, කොන්ත්‍රාත්කරු සමග එක්වී රන් කොල්ලය සිදු කළ හැටි හෙළිවේ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගාල්තැන්න භද්‍රකාලී දේවාලයේ ලේකම්, කොන්ත්‍රාත්කරු සමග එක්වී රන් කොල්ලය සිදු කළ හැටි හෙළිවේ

• SLPP Media Conference – 27.09.2019 (විඩියෝ)

• සඳහිරු සෑයට රත්‍රං නිදහස් කිරීමේ චෝදනාවට හිටපු රේගු ප්‍රධානීන් දෙදෙනකු FCID අත්අඩංගුවට (විඩියෝ)

• රනිල්-සජිත් ගිවිසුම එස්.බී. දිසානායක හෙළිකරයි (විඩියෝ)

• චීනයෙන් රු. මිලියන 750 ක් වටිනා තෑග්ගක් : මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ, ලෝහ හඳුනාගැනීමේ අති නවීන යන්ත්‍ර

• ශ්‍රීලනිපයට ගත හැකි හොඳම විසඳුම පොහොට්ටුවට සහයදීම – රංජිත් සියඹලාපිටිය (විඩියෝ)

• අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මුස්ලිම් ජනතාව රැවටිය නොහැකි -‍ ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• වීර මාතාවන්ගේ ශෝචනීය අද (27) දවස (විඩියෝ)

• ඇමති සජිත්ට ජනපති අපේක්ෂකත්වය ලබාදීම තුල ගිවිසුම් රැසක් – පොදුජන පෙරමුණෙන් චෝදනා (විඩියෝ)

• හබරණ ගැබ්බර ඇතින්නියන් වසදී මරාදැමුවා දැයි සැක

• හානි වූ නිවාසවල විදුලි පරිපථ අලුත්වැඩියාව නොමිලේ

+++++++++++++++++++++++++++++++++++

ගාල්තැන්න භද්‍රකාලී දේවාලයේ ලේකම්, කොන්ත්‍රාත්කරු සමග එක්වී රන් කොල්ලය සිදු කළ හැටි හෙළිවේ

(27.09.2019 – gossiplankanews.com)

මහනුවර, තලාතුඔය ගාල්තැන්න ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලයට පෙරේදා (25) අලුයම කඩාවැදී එහි බාරකාර කපු මහතාගේ, සේවකයන්ගේ සහ සේවිකාවන්ගේ අත්පා ගැටගසා කටට පාන්කඩ ඔබා කාමරයකට ඇද දමා රුපියල් කෝටි 08 ක් පමණ වටිනා ස්වර්ණාභරණ කිලෝ 12 ක පමණ ප‍්‍රමාණයක් සහ රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් පැහැර ගත් කල්ලියේ තිදෙනෙක් හා කොල්ලය සැලසුම් කළ පුද්ගලයාද පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (26) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් එක් අයෙක් යුද හමුදාවේ සෙබළකි.

මෙම කොල්ලය සැලසුම් කළ බව කියන එම දේවාලයේ ප්‍රධාන ලේකම් තනතුර දැරූ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව තලාතුඔය පොලිසියේ නිලධාරියෙක් පැවසීය. දේවාලයේ තිබී පැහැරගෙන ගිය ස්වර්ණභරණ තොගයද රන් ආලේපිත ඔරලෝසු හා ගජමුතු කිහිපයක් ද දේවාලයේ ප්‍රධාන ලේකම් තනතුර හෙබවූ පුද්ගලයා පදිංචිව සිටින පේරාදෙණිය පොලිස් වසමට අයත් මුරුතාවල ප්‍රදේශයේ පිහිටි ගෙවත්තේ වළ දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම සැකකරු හෙළිකළ තොරතුරු ඔස්සේ පරික්ෂණ පවත්වා මේවා සොයාගත් බව පොලිසිය කියයි.

කොල්ලය සිදුවී පැය 12 ක කාලයක් ගතවීමට මත්තෙන් සැකකරුවන් හදුනාගෙන ඔවුන් අල්ලා ගැනීමට හැකි වූ බව ද පොලිසිය කියයි. මෙම කොල්ලය සඳහා පැමිණි යුද හමුදාවෙන් පලාගොස් සිටින බව පැවසෙන සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.

අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම හිටපු සෙබළුන් තිදෙනා ගැන තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවන් දේවාලයෙන් කොල්ල කෑ ලක්ෂ 20 ක මුදල ඔවුනොවුන් සමසේ බෙදාගෙන ඇති බව පරික්ෂණවලින් හෙළිවිණි යැයි එම පොලිස් නිලධාරියා කීය.

ස්වර්ණාභරණ තොගය සහ රන් ආලේපිත ඔරලෝසු පසුව විකුණා දමන තෙක් මෙසේ වළදමා තිබී ඇති බවද පොලිසිය පවසයි. සීසීටීවී කැමරාවක තිබූ රූප රාමු කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය දිසා නියෝජ්‍ය පොලිස්පති සහ මහනුවර දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ විශේෂ උපදෙස් හා මග පෙන්වීම යටතේ පරික්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.ඩී. අරුණ ක්‍රිෂාන්ත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

හාල්තැන්න ශ්‍රී භද්‍රකාලි දේවාලයේ සිදු වූ මෙම කොල්ලය ගැන දැනගත් වහාම පොලිස් පරික්ෂක ක්‍රිෂාන්ත මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබූහ. දේවාලයට පිටුපසින් පිහිටි බාබර් සාප්පුවක සවිකර තිබූ සීසීටීවී කැමරාවක රූප රාමු පරික්ෂා කර බැලීමේදී කොල්ලකරුවන් මුහුණු ආවරණය කරගෙන පෙරේදා අලුයම් කාලයේ කඹයක ආධාරයෙන් දේවාලය වටා ඉදිකර තිබූ අඩි 20 ක් පමණ උසැති තාප්පයට ගොඩවන අයුරුද කොල්ලය සිදුකර ආපසු යනවිටද එම කඹයේ ආධාරයෙන් බැස යන අයුරු ද පොලිසියට දැක ගැනීමට හැකිවි තිබේ.

තවත් සීසීටීවී කැමරාවක ද රූපරාමු පරික්ෂා කර බැලීමේදී කොල්ල කල්ලිය පැමිණි රෝද රථය දක්නට ලැබී ඇති අතර එම ත්‍රීරෝද රථයේ අංකය ලබාගෙන පොලිසිය එම අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට යොමුකර එහි ලියාපදිංචිකාරිය ගෙන් තොරතුරු ලබා ගත තිබේ.

ත්‍රිරෝද රථයේ හිමිකාරිය සොයාගෙන ගොස් ඇයගෙන් ප්‍රශ්න කිරිමෙදී තම ත්‍රීරෝද රථය කුලී පදනම මත සිය සහෝදරයාට කුලී ගමන් යාම සඳහා ලබාදී ඇති බව ඇය පවසා ඇති අතර පොලිසිය එම පුද්ගලයා මුලින්ම අත්අඩංගුවට ගනු ලැබීය. මෙම ත්‍රීරෝද රථ රියදුරා ද මෙම කොල්ලය සඳහා ගොස් ඇති අතර ඔහුගෙන් හෙළිකරගත් තොරතුරු මත සෙසු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

දේවාල භූමියේ අභිනවයෙන් බුදු මැදුරක් ඉදි කරගෙන යන අතර එහි කොන්ත්‍රාත්තුව බාරගෙන තිබුණේ හිටපු හමුදා සෙබළෙක් බව පොලිසිය කියයි. මෙම දේවාලයේ ප්‍රධාන ලේකම් තනතුර දරන පුද්ගලයා මෙම කොන්ත්‍රාත්කරු සමග එක්වී මෙම කොල්ලය සැලසුම් කර ඇතැයි පොලිස් පරික්ෂණවලින් තොරතුරු අනාවරණය වී තිබෙන බව කියති. මෙම කොන්ත්‍රාත්කාර හිටපු හමුදා සෙබළා ඔහුගේ මිතුරන් කණ්ඩායමක් ද කැටිව ගොස් කොල්ලය සිදුකර තිබෙන බව පොලිසිය කීය.

දේවාලයට පුද පඩුරු වශයෙන් ලැබී තිබුණ ස්වර්ණභාරණ තොගය විකුණා දැමීමට කපු මහතා තීරණය කර ඒ බව සැකකාර ලේකම්ට දැනුම් දුන් අවස්ථාවේ ‘දැන්ම එය නොකරන’ ලෙසත් තමා කෙනෙක් ඒ සඳහා සොයාදෙන බවත් ඔහු කපු මහතාට පවසා තිබිණි යැයිද පොලිසිය කියයි.

කපු මහතා පෙරේදා අලුයම දේවාලය විවෘත කර ආවතේව කිරිමට සූදානම් වෙමින් සිටි අවස්ථාවේ කොල්ලකරුවන් එහි කඩා වැදී මෙම කොල්ලය සිදුකර තිබෙන බව ද පොලිසිය සඳහන් කරයි. කොල්ලයට හවුල් වූ දෙදෙනකු මෙය සිදු කිරිමට පෙර අවස්ථා කිහිපයකදී දේවාලය අවට ගැවසී අවශ්‍ය තොරතුරු එක්රැස් කරගෙන ගොස් ඇති බව ද පොලිස් පරික්ෂණවලින් හෙළිවී ඇත. කොල්ලකරුවන් පැමිණි බව කියන ත්‍රීරෝද රථයද පොලිස් බාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් පේරාදෙණිය, ගම්පොළ සහ කටුගතොට යන පොලිස් බල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති ෴

***************************************

SLPP Media Conference – 27.09.2019

https://www.facebook.com/slppmediacentre/videos/442983683023914/

+++++++++++++++++++++

මන්ත්‍රී ගම්මන්පිළ ගෙන් ඇමති සජිත්ට අභියෝගයක්

(27.09.2019 – 19:57 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට ඉතිරිව ඇති ඉදිරි දින 50 ක කාලය තුළ හැකිනම් විහිළු සහගත ප්‍රකාශ සිදු නොකරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපතිධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරනවා.

ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අභියෝගය සිදුකරනු ලැබුවා.

+++++++++++++++++++++

28-09-2019

+++++++++++++++++++++

28-09-2019

***************************************

සඳහිරු සෑයට රත්‍රං නිදහස් කිරීමේ චෝදනාවට හිටපු රේගු ප්‍රධානීන් දෙදෙනකු FCID අත්අඩංගුවට

(27.09.2019 – 18:02 +0530 – sinhala.adaderana.lk)

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපුඅතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන අය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ජගත් විජේවීර මහතා ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ සහ තාරකසෙනෙවිරත්න මහතා බදුල්ල මහා රෝහලේ පොලිස් ආරක්ෂාව සහිතව මේ වන විට ප්‍රතිකාර ගනිමින් සිටින බවද එම කාර්යාලය සඳහන් කළේය.

මේ අතර මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් හෙට (28) දිනයෙදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය දා නියෝග කළේය.

අනුරාධපුර සඳහිරු සෑය ඉදි කිරීමේදී එහි තැන්පත් කිරීම සඳහා රාජ්‍ය සන්තක කර තිබු කිලෝග්‍රැම් 08 ක බරකින් යුත් රත්‍රං තොගයක් මුදාහැර ඇති බවට මොවුන් දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

***************************************

රනිල්-සජිත් ගිවිසුම එස්.බී. දිසානායක හෙළිකරයි

(27.09.2019 – 21:19 +0530 – sinhala.adaderana.lk)

සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින මත ගැටුම ඉදිරි ජනාධිපතිවරණ වේදිකාවේදි වඩාත් හොඳින් ඉස්මතු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකධුරය ලබාදීමේදී තමන් කිසිඳු ගිවිසුමකට එකඟ නොවූ බව පැවසීම මුසාවක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මේ බව පැවසීය.

“සජිත් කිසිඳු ගිවිසුමක් නැති බව කීවා. පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ද්වි පාර්ශවික ගිවිසුමකට. රනිල්ගේ පක්ෂ නායකත්වය එලෙසමයි. අගමැතිධුරයෙත් වෙනසක් නැහැ. ෆෙඩරල් බල බෙදීමකට . නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. ලිඛිත ගිවිසුමකට. කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය. නිල ප්‍රකාශයක් ලෙස රටට. සජිත් දිනුවත් යටත් විය යුතුයි. විරෝධය පළකරන්නයි ගිවිසුමක් නැති බව කීවේ.

කාලාන්තරයක් පුරා පැවති ගැටුම මැතිවරණ වේදිකාවේ මෙන්ම ආණ්ඩුවක් හැදුවත් මතුවෙනවා.”

+++++++++++++++++++++

***************************************

චීනයෙන් රු. මිලියන 750 ක් වටිනා තෑග්ගක් : මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ, ලෝහ හඳුනාගැනීමේ අති නවීන යන්ත්‍ර

(27.09.2019 – 20:09 +0530 – sinhala.adaderana.lk)

රුපියල් මිලියන 750 ක් වටිනා මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ අති නවීන යන්ත්‍ර ඇතුළු සෝදිසි කිරීමේ උපකරණ චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.

මේ අතර එම උපකරණ චීන තානාපති Chang Xueyuan මහතා විසින් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි මෙම අති නවීන යන්ත්‍ර චීන රජය ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන අතර එවන් අති නවීන උපකරණ මත්ද්‍රව්‍ය වැටලීම් සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ යොදවා ගන්නා පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

මීටර් 05 ක සීමාව ඇතුලත සිටින පුද්ගලයන් සහ භාණ්ඩ අතර සඟවා ඇති පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ස්වංයක්‍රීයව හඳුනා ගැනීම සඳහා සකස් කළ විශේෂ රොබෝ යන්ත්‍ර 03 ක් මෙම උපකරණ අතර වේ. එම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 85.5 කි.

පුද්ගලයන් විසින් ශරිරයේ සඟවා ගෙන පැමිණෙන පුපුරණ ද්‍රව්‍ය සහ අවිආයුධ ස්වයංක්‍රීයව හඳුනා ගැනිම සඳහා සකස් කළ එකක් රුපියල් මිලියන 90.5 ක් වටිනා Explosive Detector යන්ත්‍ර 03ක් ද මේ අතර වේ.

ගමන් මලු සහ පාර්සල් ගමන් කරවීම මගින් එහි සගවා ඇති පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ස්වයංක්‍රීයව හඳුනා ගැනීම සඳහා සකස් කළ විශේෂ යන්ත්‍රයක් වන X-Ray Security Inspection System යන්ත්‍ර 50 ක් ද මීට ඇතුළත් අතර එක් යන්ත්‍රයක් මිලියන 4.2 ක් වන එම යන්ත්‍රවල මු`ථ වටිනාකම රුපියල් මිලියන 210.5 කි.

අවි ආයුධ ක්ෂණිකව හඳුනා ගැනීමේ හැකියාව ඇති Walk Through Safety Inspection Gates යන්ත්‍ර 25 ක් ද චීන රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන අතර එම උපකරණවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 6.5 කි.

වාහන ස්කෑන් කර එහි සගවා ගෙන එන පුපුරණ ද්‍රව්‍ය සහ අවිආයුධ එම වාහනය පරික්ෂා කරන නිලධාරියා හට ක්ෂණිකව හඳුනා ගැනීමේ හැකියාව ඇති Hand Held Vehicle Scanners යන්ත්‍ර 25 ක් ද මේ අතර වේ.

එහි මුළු වටිනාකම රුපියල් මිලියන 3.2 කි.

පුද්ගලයන් සඟවාගෙන යන අවි ආයුධ ක්ෂණිකව හඳුනා ගැනීමේ හැකියාව ඇති රුපියල් මිලියන 2.75 ක් වටිනා Hand Held Metal Detector යන්ත්‍ර 500 ක් ද ආරක්ෂක අංශවල ප්‍රයෝජනය සඳහා චීනයෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.

චීන රජයේ විශේෂ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ ෴

***************************************

ශ්‍රීලනිපයට ගත හැකි හොඳම විසඳුම පොහොට්ටුවට සහයදීම – රංජිත් සියඹලාපිටිය

(27.09.2019 – 19:21 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත යුතු වඩාත් සුදුසුම තීරණය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයාට සහය ලබාදීම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

+++++++++++++++++++++

***************************************

අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මුස්ලිම් ජනතාව රැවටිය නොහැකි -‍ ගෝඨාභය රාජපක්ෂ

(27.09.2019 – 19:12 +0530 – sinhala.adaderana.lk)

අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මුස්ලිම් ජනතාව තවදුරටත් රැවටිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ රාත්‍රියේ බොරැල්ලේ පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ බොරැල්ලේදී මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන විද්වතුන්, වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් හමුවුණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් අලෙවිසල් වල සංචාරය කළේය.

+++++++++++++++++++++

***************************************

වීර මාතාවන්ගේ ශෝචනීය අද (27) දවස

(27.09.2019 – 19:01 +0530 – sinhala.adaderana.lk)

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කොටුව දුම්රියපොල ඉදිරිපිට උපවාසයේ නිරතව සිටි රණවිරු භාර්යාවන් තිදෙනෙක් අද (27) රෝගාතුරවීම හේතුවෙන් ගිලන් රථවලින් ජාතික රෝහල වෙත රැගෙන යනු ලැබුවේය.

කෙසේ වෙතත් රෝහල්ගත කළ රණවිරු භාර්යාවන් වෙනුවට තවත් පිරිසක් අද (27) පස්වරුවේ උපවාසයට එක්වුණි.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉකුත් 11 වැනිදා සිට රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිදුකරන විරෝධතාවයේ 17 වන දිනය අදයි.

යුද බිමේ සටන් කරමින් සිටියදී මියගිය රණවිරුවන්ගේ භාර්යාවන්ටද වැටුප අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන ලෙස සහ අබාධිත රණවිරුවන් මියගිය පසු භාර්යාව හෝ පවුලේ ඥාතියෙකුටද එම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින් රණවිරු බිරින්දෑවරුන් සිව්දෙනෙක් ඊයේ (26) පස්වරුවේ උපවාසයක් ආරම්භ කළේය.

මේ අතර කොටුව දුම්රියපොල ඉදිරිපිට අබාධිත රණවිරුවන් පිරිසක් උපවාසයේ නිරතව සිටින ස්ථානයට රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන් ඊයේ (26) රාත්‍රීයේ පැමිණියේය.

මේ අතර උපවාසයේ නිරත රණවිරුවෙක් රෝගාතුර වීම හේතුවෙන් එම ස්ථානයට ගිලන් රථයක් ගෙන්වා ගෙන තිබුණද එම රණවිරුවා රෝහල වෙත යාම ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

මේ අතර උපවාසයේ නිරත අබාධිත රණවිරුවන්ගේ භාර්යාවන් කිහිපදෙනෙක්ම අද (27) පස්වරුවේ ගිලන් රථවලින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යනු ලැබුවේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

ඇමති සජිත්ට ජනපති අපේක්ෂකත්වය ලබාදීම තුල ගිවිසුම් රැසක් – පොදුජන පෙරමුණෙන් චෝදනා

(27.09.2019 – 20:08 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ජනපති අපේක්ෂකත්වය ලබාදීම තුළ රහස් ගිවිසුම් රැසක් පවතින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.

බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම පෙරමුණේ නියෝජිතයින් මේ බව සඳහන් කළා.

***************************************

හබරණ ගැබ්බර ඇතින්නියන් වසදී මරාදැමුවා දැයි සැක

(27.09.2019 – 19:26 +0530 – hirunews.lk/sinhala)

හබරණ – හිරිවඩුන්න වැව්පිටියේ සහ තුම්බිකුලම රක්ෂිතයට ආසන්න ප්‍රදේශයේ තිබී අද පෙරවරුවේ සොයා ගැණුනු ඇතින්නියන් 4 දෙනාගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදුකෙරුණා.

ඒ වනජිවි දෙපාර්තමේන්තුවට අයත් ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍ය දිනූෂා ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

එහිදි සැක මතුව ඇත්තේ විෂක් ශරීර ගත වීමෙන් මෙම සතුන් මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ පිලිබඳ ව වැඩිදුර පරීක්ෂණ සඳහා මියගිය සතුන්ගේ සිරුරු කොටස් කිහිපයක් කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරි කාර්යාලයට එවීමට කටයුතු කර තිබෙනවා.

මියගිය ඇතින්නන් සිව් දෙනාගෙන් තුන්දෙනෙකුම ගැබ්බර ඇතින්නන් බව පශු වෛද්‍ය නිලධාරින් හඳුනාගෙන තිබෙනවා.

මෙම ඇතින්නියන් මියගොස් සිටින බවට ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමෙන් පසු එම ස්ථානයට පැමිණි සීගිරිය අඩවි ආරක්ෂක නිලධාරින් පැවසුවේ කලාවැව – චුන්ඩිකුලම් රක්ෂිතය හරහා මින්නේරිය ජාතික වනෝද්‍යානයට අලි ගමන් කරන මංකඩක් ආශ්‍රිතව මෙම සතුන් මියගොස් ඇති බවයි.

හිරිවඩුන්න රක්ෂිතයේ අනවසර හේන් වගා බිම් රැසක් දක්නට ලැබෙන අතර එම වගාකරුවන් විසින් වගා හානි වැළැක්වීම සඳහා මෙලෙස විෂ සහිත ආහාර ලබාදී ඇතින්නියන් ඝාතනය කරන්නට ඇති බවට සැක කෙරෙනවා.

මේ අතර, පසුගිය දා පුත්තලම – නවගත්තේගම – මොරගහවැව – කුරුදුවැටිය වැවේ තිබියදී මිය ගිය ඇතෙකු සොයා ගත් අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූයේ විෂ ශරීරගතව එම ඇතා මිය ගොස් ඇති බවයි.

ඇතාගේ එක් දළයක් ද, කිසියම් පුද්ගලයෙකු කපාගෙන ගොස් තිබුණා.

***************************************

හානි වූ නිවාසවල විදුලි පරිපථ අලුත්වැඩියාව නොමිලේ

(27.09.2019 – 15:54 +0530 – lankadeepa.lk)

වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් විනාශයට පත් වූ නිවාසවල හානි වූ විදුලි පරිපථ නොමිලයේ අලුත්වැඩියා කරන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය කියයි.

ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක කණ්ඩායමක් යොදවන්නැයි ඇමති රවී කරුණානායක මහතා ලංකා විදුලිබල පාලනාධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් ගස් කඩාවැටීම්, නායයෑම් ආදී හේතු මත ඇතැම් නිවාසවල විදුලි පරිපථවලට හානි සිදුව ඇතැයි වාර්තා වී ඇතැයිද එම අමාත්‍යංශය කියයි.

කිසියම් නිවසක විදුලි පරිපථවලට හානි සිදුව ඇත්නම් ළඟම පිහිටි විදුලිබල මණ්ඩලයේ කාර්යාලයට දැනුම් දෙන්නැයිද විදුලිබල අමාත්‍යංශය ඉල්ලීමක් කරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *