ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය ගැන නීතිපතිගෙන් පැහැදිලි කිරීමක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය ගැන නීතිපතිගෙන් පැහැදිලි කිරීමක් (විඩියෝ)

• වන අලි මිය යාම පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ? (විඩියෝ)

• හබරණ වන අලි මියයාම ගැන ආණ්ඩුවේ මන්ත්‍රිවරයෙකුට චෝදනා

• අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම ගැන මැතිවරණ කොමිසමේ ස්තුතිය

• ආගමන විගමන දෙපාර්තමේන්තුවත් නවතින ලකුණු

• අරලියගහ මන්දිරය තුළ නීතියේ දෙවඟන සමූහ දූෂණයට ලක් කරලා – ඩලස් අලහප්පෙරුම (විඩියෝ)

• සජිත් වටා ඉන්න දූෂිතයන් ගැන ප්‍රකාශයක් කළ යුතුයි – එස්. බී. දිසානායක (විඩියෝ)

• ගෝඨාභය පරද්දන්න උත්සාහ කරන අය (විඩියෝ)

• ගෝඨාට වෙනත් ලකුණකින් තරග කරන්න නීතියෙන් බාධා – මහින්ද රාජපක්ෂ

• සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ආරම්භ කළ පාගමනේ පස්වන දිනය අදයි (විඩියෝ)

• වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැළකේ (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවය ගැන නීතිපතිගෙන් පැහැදිලි කිරීමක්

(02.10.2019 – 17:54 +0530 – hirunews.lk/sinhala)

විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සහතික කිරීමේ ලියවිල්ලට අත්සන් තැබීමේ හැකියාව එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාට පැවති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (02) අධිකරණයේදී සඳහන් කළා.

ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේදී අද සලකා බැලූ අවස්ථාවේදී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීමේ අවස්ථාව දැකගැනීම සඳහා බොහෝ දෙනෙකු අද (02) උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටියා.

ඒ හේතුවෙන් උපරිමාධිකරණ සංකීර්ණයට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණා.

එලෙස පැමිණි සිටි අය අතරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු ද සිටි අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ද ඒ අතර සිටීම විශේෂත්වයක්.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලීම ආරම්භ වුණේ පෙරවරු 09:30 ටයි.

නඩුව කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින ආගමන හා විගමන පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය හා ද්විත්ව පුරවැසිභාවය හා සම්බන්ධ ලියකියවිලි කිසිවක් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.

එසේම 2005 වර්ෂයේ සිට 2007 වර්ෂය දක්වා කිසිඳු ලියවිල්ලක් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව නොමැති බව එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

එයට හේතුව වශයෙන් 2008 වර්ෂයේදී ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය නව ස්ථානයක පිහිටුවීමත් සමග සියලු ලියකියවිලි පරිගණකගත කිරීම බව එම ආයතනය විසින් පෙන්වා දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී පැවසුවා.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතා කිහිපයක් මතුකරමින් සඳහන් කළේ ඉහත ලියකියවිලි නොමැතිව මෙම නඩුව පවත්වාගෙන යාමෙන් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුවිය හැකි බවයි.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධමය නඩු කටයුත්තක් පවත්වාගෙන යන අතරතුර අභියාචනාධිකරණය හමුවේ මෙලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටීම නිත්‍යනුකූල නොවන බවත් ඔහු පෙන්වා දුන්නා.

යම් හෙයකින් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු කටයුත්තේදී තම සේවාදායකයා නිදොස් වුවහොත් මෙම පෙත්සමට පාදක වන කරුණු පදනම් විරහිත වනු ඇති බව නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියාසිටියේ තම සේවාදායකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට බලාපොරොත්තු වන බැවින් මෙම පෙත්සම දේශපාලනික කරුණක් මුල්කරගෙන ගොනුකර ඇති බවයි.

එසේම, එම පෙත්සම ගොනුකළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතුන් දෙදෙනෙකු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා එහිදී මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම්කළ යුතුව තීබූ බවත් එලෙස නම් කිරීමක් සිදුකර නොමැති බවත් පෙන්වා දුන්නා.

මෙහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ වගඋත්තරකරුවන්ගේ මෙම මූලික විරෝධතා පිළිබඳ සලකා බැලීම ඉදිරියේදී සිදුකරන අතර පෙත්සම්කාර පාර්ශ්වයට කරුණු දැක්වීමට අවස්ථාව ලබාදෙන බවයි.

එහිදී නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන පුරවැසි සහතිකය නීතිය ඉදිරියේ බල රහිත ලියවිල්ලක් බවයි.

එහිදී ඔහු සඳහන් කළේ නඩුවේ 6 වන වගඋත්තරකරු වන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එවක ජනාධිපති ධුරයේ දිවුරුම් දී ඇත්තේ 2005 නොවැම්බර් මස 18 වැනිදා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලියකියවිලි වලට අත්සන් තබා ඇත්නේ නොවැම්බර් 21 වැනිදා බවයි.

එකී කාලය තුළ ආරක්ෂක අමාත්‍යංශයට ලේකම්වරයකු නොසිටි බවත්, එකී ලියවිල්ලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා ඇති බවත් ඔහුට එයට අත්සන් තැබීමට කිසිදු බලයක් නොමැති බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.

නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා එහිදී පැවසුවේ එම අවස්ථාව වන විට පැවති 17 වන ආණුඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආරක්ෂක අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ 3 ක් ජනාධිපති සතුව තබා ගත හැකි බවට වගන්තියක් සඳහන් නොවූ බවයි.

එසේම එවක අග්‍රාමාත්‍යවරයාව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 18 වැනිදා ජනාධිපති අපෙක්ෂකයා ලෙස දිවුරුම් දීමත් සමග කැබිනට් මණ්ඩලය අහෝසි වි ඇති බව නීතිඥවරයා මෙහිදි සඳහන් කළා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ රටේ කැබිනට් මණ්ඩලයක් නොමැති සහ කැබිනට් අමාත්‍ය ධුර නොමැති අවස්ථාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි සහතිකයට අත්සන් තැබීමට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලයක් නොමැති බවයි.

එසේම පසුකාලීනව නීතිය හා සාමය අමාත්‍යංශය අග්‍රාමාත්‍යවරයා යටතට ලාබාදී ඇති බවත් පුරවැසිභාවය සම්බන්ධයෙන් අත්සන් තැබීමට බලය ඇත්තේ ද එම අමාත්‍යංශයට බවත් නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එබැවින් මෙටට පුරවැසියකු නොවන කෙනෙක් ජනාධිපතිවරයා ලෙස මොහොතකට හෝ පත්වුවහොත් එය රටේ ආරක්ෂාවට තර්ජනයක් වනබව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් සිය කරුණු දැක්වීම අවසන් කරමින් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

මෙහිදී වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති රජයේ ආයතන වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේ 2005 වර්ෂය වනවිට 19 වන සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩුකිරීමක් සිදුකර නොතිබූ බවයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන වගන්තිය යටතේ රාජයේ සහ රජයේ ප්‍රධානියා ලෙස අමාත්‍යංශ බෙදීමේ බලය ඇති පුද්ගලයා වශයෙන් අමාත්‍යංශයක් තවත් පුද්ගලයකුට පැවරීමට ප්‍රථම එම සියලු අමාත්‍යාංශ විධායක ජනාධිපතිවරයාට හිමි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 44/2 යටතේ එම බලය විධායක ජනාධිපතිවරයාට හිමි බවයි.

ඒ අනුව පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයකු පත්කර නොතිබුණ ද එම අමාත්‍යවරයා සතු බලතල ක්‍රියාත්මක කිරීමේ බලය එවකට විධායක ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතාට පැවති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට දැනුම් දුන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැති ලියකියවිලි මොනවාද යන්න සහ එම නැතිවීමට හේතුව කුමක්ද යන්ව පිළිබඳ හෙට උදෑසන වනවිට අධිකරණයට සහ වගඋත්තරකාර පාර්ශ්වයන්ට දැනුම් දෙන ලෙසයි.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම හෙට පස්වරු 01:30 දක්වා කල් තැබුණා ෴

+++++++++++++++++++++

***************************************

වන අලි මිය යාම පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ?

(02.10.2019 – 21:50 +0530 – sinhala.adaderana.lk)

හබරණ රක්ෂිතයේ පසුගියදා වන අලින් හත් දෙනෙකු අභිරහස් ලෙස මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කලා වැව ජාතික උද්‍යානයේ වන අලින් පන්නා දැමීම සහ වනජීවී නිලධාරීන් සමඟ ආරවුලක් ඇති කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම පිළිබඳව බරපතල සැකයක් මතුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

අද (02) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළේය.

පසුගිය මාසයේ පහළොස් වන දින සංවිධානාත්මක කණ්ඩායමක් කලාවැව රක්ෂිතයට ඇතුළු වී එහි වන අලින් අලි වෙඩි ගසා පන්නා වනජීවී නිලධාරීන්ට පහර දීමට උත්සහ කිරීම සහ එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුලු කණ්ඩායමක් මෙම කලහකාරී සිද්ධියට නතු වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

එම කණ්ඩායම සිදුකරන කලහකාරී තත්ත්වය පිළිබඳව වීඩියෝ දර්ශන පෙළක් ද එම අවස්ථාවේදි ඔහු මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

වන අලින් මේ ආකාරයෙන් ඝාතනය වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මේ වන විට විෂයභාර ඇමතිවරුන් දෙදෙනා නොදැන අදාළ දේශපාලනඥයාගේ බලපෑම මත කලාවැව ජාතික උද්‍යානය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන බවයි.

එමෙන්ම වන අලින්ට එහි සැරිසැරීමට නොහැකි වන පරිදි එකවරම කලාවැව ජලයෙන් පුරවා තිබෙන බවත් සංචාරකයන් පැමිණෙන විට එම සංචාරකයන්ට පහරදී පන්නා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මාධ්‍යවෙත ලබාදුන් වීඩියෝ කොටස් වල පිරිසක් ඉතා අසෝබන ලෙස සංචාරකයන් පන්නා දමන හා වන අලින් පලවා හරින, යුදහමුදාවෙන් බව පවසා වනජීවී නිලධාරීන්ට තර්ජනය කරන, මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු එම ස්ථානයට පැමිණ පොලිසියට දුරකථන ඇමතුම් ලබාගන්නා රූපරාමු පවතී.

එම සිද්ධීන් වාර්තා වී දින කිහිපයක් ගතවෙද්දී එකවරම එකතැන වන අලින් හත් දෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් එහි එම සිද්ධියට මෙම කණ්ඩායම සම්බන්ධ දැයි බරපතල සැකයක් මතුවන බවද හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

කලාවැව රක්ෂිතය කාලයක් තිස්සේ වන අලින් ඉතා නිදහසේ හැසිරෙන බවත් පසුව ජාතික උද්‍යානයක් බවට පත්කිරීමෙන් පසු ව බොහෝ අනවසර ක්‍රියාකාරකම් වලට කලාවැව හා පිටිය නතුකර ගැනීමට නොහැකි වීම නිසා මෙම දේශපාලන අධිකාරිය විසින් කණ්ඩායමක් යොදවා මේ තත්ත්වය උදා කර තිබෙන බවද නාමල් කරුණාරත්න මහතා චෝදනා කරයි.

කෝටි දෙකක් පමණ ජනතාවක් ජීවත්වන රටක ඉතා සීමිත වන අලීන් ප්‍රමාණයක් ජීවත් වෙද්දී වැඩි වශයෙන් වන අලින් මියයාම තුළින් හානියක් සිදුවන බවත් රජය වහාම මෙම අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවද නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.

අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් දිගින් දිගටම සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මැදිහත්වී විරෝධතා සන්දේශ භාර දී ආණ්ඩු දැනුවත් කළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු නිසි වැඩපිළිවෙළක් සකසා නැති බවද හෙතෙම කියා සිටියේය.

වනජීවී දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ පරීක්ෂණ වලට අමතරව වීධිමත් පරීක්ෂණ කණ්ඩායමක් යොදවා කලාවැවේ පසුගිය පහළොස් වන දා දේශපාලනඥයෙකු පැමිණ සිදු කළ සිද්ධිය සහ අලි හත් දෙනෙකු මිය යෑම අතර සම්බන්ධතාවක් ඇත්දැයි සොයා බැලිය යුතුම කරුණක් බවද මාධ්‍ය හමුවේ දී නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++

හබරණ වන අලි මියයාම ගැන ආණ්ඩුවේ මන්ත්‍රිවරයෙකුට චෝදනා

(02.10.2019 – 18:53 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනයට තුඩුදුන් හබරණ – හිරිවඩුන්න – තුම්බිකුලම රක්ෂිතයේ දී ඇතින්නියන් හයදෙනෙකු සහ වන අලියෙකු අස්වාභාවික ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද තවත් අනාවරණයක් සිදු කෙරුණා.

ඒ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින්.

දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් කැඳවමින් එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කලාවැව ජාතික උද්‍යානයේ වන අලි පන්නා දැමීම සහ වනජීවී නිලධාරීන් සමඟ ආරවුලක් ඇතිකරගත් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඇතුලු කණ්ඩායමක් පිළිබඳව සැකයක් පවතින බවයි.

එසේම තුම්බිකුලම රක්ෂිතයේදී ඇතින්නියන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හබරණ ප්‍රදේශවාසීන් පිරිසක් අද හිරු ප්‍රවෘත්ති අංශයට ලිපියක් යොමුකර තිබුණා.

එම ලිපියෙන් ගම්වාසීන් ප්‍රකාශ කර තිබුණේ හිරිවඩුන්න ගොවි සංවිධානයේ ලේකම්වරයා, ඔහුගේ පවුලේ කිහිපදෙනෙකු සහ තවත් පිරිසක් එක්ව තුම්බිකුලම රක්ෂිතය විනාශ කරමින් සිටින බවයි.

එමෙන්ම ගොවි සංවිධානයේ ලේකම්වරයාගේ පුත්‍රයා පිටුපස පසුගියදා වන අලියෙකු ලුහුබැඳ ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන් වන අලි සමඟ දැඩි කෝපයකින් සිටි බවටද හබරණ ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට දන්වා තිබුණා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සමස්ත සමාජයේම අවධානය යොමුව ඇති නිසා පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරිය යුතු බව පරිසර යුක්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළා ෴

***************************************

අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම ගැන මැතිවරණ කොමිසමේ ස්තුතිය

(02.10.2019 – 20:30 +0530 – sinhala.adaderana.lk)

සියලුම දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ගේ ස්වකීය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමට සියලුම දේශපාලන පක්ෂ හා නියෝජිතයින් එකගවීම ගැන මැතිවරණ කොමිෂන් සභාව සිය සතුට පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

2019 ජනාධිපති මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ස්ථාපිත කර ඇති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (02) පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයින් දහදෙනෙක් අද (02) දින නාම යෝජනා සඳහා ඇප තැන්පත් කළ කර ඇති අතර හිටපු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ දෙනෙක් ස්වාධීන අපේක්ෂකයින් ලෙස හා ලියාපදිංචි නොවූ දේශපාලන පක්ෂයක අයෙක් වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ.

අද දින මැතිවරණ කොමිෂන් සභාව හා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තරග කිරීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ හා ඇප තැන්පත් කරන ලද නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම සාකච්ඡාවේදී නාමයෝජනා භාර ගැනීමට අදාළ කටයුතු, රථවාහන සැලැස්ම, නාමයෝජනා ශාලාවටඇතුළුවන තැනැත්තන් පිලිබඳ තොරතුරු ඔවුන්ට පැහැදිලි කර ඇත.

ඡන්ද විමසීමේ දී ප්‍රචාරක කටයුතු සඳහා ඡන්ද කාර්යාල නීති රීති, විධිවිධාන පැහැදිලි කර තිබේ.

දැනට ප්‍රදර්ශනය කර ඇති ප්‍රචාරක පුවරු ස්වෙච්ඡාවෙන් ඉවත් කරන ලෙස සියලුම සිය දේ ස්වේච්ඡාවෙන් ඉවත් කරන ලෙස සියළුම දේශපාලන පක්ෂ නියෝජිතයින් ගෙන් ඉල්ලා සිටින ලද අතර 2019 ඔක්තොම්බර් 7 දින මධ්‍යම රාත්‍රී 12 ට පසු සියලු ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිසියට දන්වන ලදී.

මෙම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර, මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක යන මහත්වරුන්ද සහභාගි වූහ ෴

***************************************

ආගමන විගමන දෙපාර්තමේන්තුවත් නවතින ලකුණු

(02.10.2019 – 20:04 +0530 – sinhala.adaderana.lk)

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සේවා ගැටළු විසදීමට අවශ්‍ය මැදිහත්වීම අද (02) දින සිට ඉදිරි පැය 48 ක කාළය තුළ සිදු නොවුණු හොත්, සියලුම ගුවන් තොටුපළ, වරාය ඇතුළු මෙම නිලධාරීන් රාජකාරී සිදු කරන සියලුම සේවා ස්ථාන ආවරණය කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල මහතා පවසයි.

දීර්ඝ කාළයක් තිස්සේ ආගමන විගමන සේවාවට සිදු වී ඇති අසාධාරණකම් සහ තම සේවාවේ හටගෙන ඇති බරපතළ ගැටළු විසදා ගැනීමට අවස්ථා රැසකදීම බලධාරීන්ගේ අවධානය යොමු කළ ද, ඒ සදහා සාධනීය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කර නොමැති බව කණුගල මහතා පෙන්වා දෙයි.

මේ නිසා 2018 වසරේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට මෙම නිලධාරීන් අවතීර්ණ වූ අතර, 2018.05.18 දින ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී , අප සේවා ගැටළු විසදීමට අදාළ බලධාරීන්ට උපදෙස් දුන් අතර, පසුව අග්‍රාමාත්‍යවරයා ද මෙම ගැටළු විසදීම සදහා කමිටුවක් ද පත් කළේය.

එමගින් ද මෙම වෘත්තීය ගැටළු වලට විසදුමක් නොලැබුණි.

ඉන්පසු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද රනුග්ගේ විශේෂ කොමිසම වෙත ද, ලිඛිතව අපගේ සේවා ගැටළු අඩංගු වාර්තාවක් ඉදිරිපත් කළ ද , එම කොමිසම අපගේ සේවා ගැටළු පිළිබඳව කිසිදු නිර්දේශයක් ඉදිරිපත් කර නොමැත.

තත්ත්වය මෙසේ තිබියදී 2019.08.01 දින මෙම සේවා ගැටළු පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කළ අතර, එහිදී ඔහු ඒ සදහා මාසයක කාළයක් තුළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට පොරොන්දු විය.

නමුත් මේ දක්වා එය ඉටු නොවී පවතින අතර, 2019.10.02 දින අප යළිත් අමාත්‍යවරයා හමු වී මෙම ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතර, එහිදී ඉදිරි පැය 48 ක කාළය තුළ ආගමන විගමන නිලධාරීන්ගේ සේවා ගැටළු විසදීමට අවශ්‍ය මැදිහත් වීම සිදු නොවුණ හොත්, ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපළ, වරාය ඇතුළු ආගමන විගමන නිලධාරීන් රාජකාරී සිදු කරන සේවා ස්ථාන ආවරණය වන පරිදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් කරා අවතීර්ණ වන බව ද කණුගල මහතා පවසයි.

එහිදී මහජනතාවට යම් අපහසුතාවයක් සිදු වුවහොත් ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම රජය, දෙපාර්තමේන්තු පරිපාලනය සහ එම බලධාරීන් භාර ගත යුතු බව ද අනුර කණුගල මහතා වැඩිදුරටත් සදහන් කරයි ෴

***************************************

අරලියගහ මන්දිරය තුළ නීතියේ දෙවඟන සමූහ දූෂණයට ලක් කරලා – ඩලස් අලහප්පෙරුම

(02.10.2019 – 20:04 +0530 – sinhala.adaderana.lk)

අරලියගහ මන්දිරය තුළ නීතියේ දෙවඟන සමූහ දූෂණයට ලක් වී ඇති බව සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස්ගේ හා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රකාශ හරහා පැහැදිලි වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මේ බව සඳහන් කෙරුණේ අද (02) කොළඹ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේදිය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

“ගෝඨාභය අවුරුදු 68 ක් ශ්‍රී ලාංකිකයෙක්. ගෝඨාභය 2005 දී ආවේ ජනාධිපතිවරණයට නෙමෙයි. ඔහු ආවේ යුද්ධය අවසන් කරන්න.

සුහද ගම්ලත් හා දිල්රුක්ෂි අනාවරණයක් කළා. ඒ දේවල්ම විජේදාස රාජපක්ෂත් කිව්වා. පැහැදිලි කළාම ඇමතිකම නැති කළා කිව්වා.

සියලු දේ දිහා බැලුවාම පේන්නේ අරලියගහ මන්දිරය තුළ. නීතියේ දෙවඟන සමූහ දූෂණයට ලක් කරලා.”

+++++++++++++++++++++

***************************************

සජිත් වටා ඉන්න දූෂිතයන් ගැන ප්‍රකාශයක් කළ යුතුයි – එස්. බී. දිසානායක

(02.10.2019 – 19:32 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තමන් වටා සිටින දූෂිත පිරිස් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා :

“ගෙවල් හදද්දි විශාල මුදලක දැන්වීම් දානවා. ඒක අන්ත දූෂිත ජාතික අපරාධයක්. දේශපාලන වාසි ගන්න. සංස්කෘතික අරමුදලේ මුදල් බෙදිම දූෂිතයි. අර්ජුන් මහේන්ද්‍රන් හොරකම් කළ බව එයා පිළිගන්නවා. ඔහු ආරක්ෂා කරන්න කටයුතු කළ, පොත් ගහපු, සල්ලි ගත්තු අය, කෝප් වාර්තාවට පාද සටහන් දාපු සුජීව, අපිත් පී, වගේ අය එයා ළඟ ඉන්නවා. මේ අය දූෂිත නැද්ද?

රිෂාඩ් බදුයුදීන් සජිත් ළඟ ඉන්නේ. ඔහු පාරිශුද්ධ කෙනෙක්ද? රවී , සජිත් ළඟ ඉන්නවා. රනිල්, රවී, මලික් සමරවික්‍රම තමයි මහබැංකු හොරකම මෙහෙයවූයේ. මේ අය සජිත් එක්ක නැද්ද ? සජිත්ගෙන් මීට පිළිතුරු බලාපොරාත්තු වෙනවා.”

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සටනෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය විවිධ උපක්‍රම සැලසුම් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

***************************************

ගෝඨාභය පරද්දන්න උත්සාහ කරන අය

(03.10.2019 – 07:29 +0530 – sinhala.adaderana.lk)

අධිරාජ්‍ය ගැති දෙස් විදෙස් කණ්ඩායම් සියල්ල ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමට උත්සහ දරමින් සිටින බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රටට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන ද ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බවයි.

බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමි මේ බව සඳහන් කළේය.

***************************************

ගෝඨාට වෙනත් ලකුණකින් තරග කරන්න නීතියෙන් බාධා – මහින්ද රාජපක්ෂ

(03.10.2019 – 06:52 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට පොහොට්ටුව ලකුණින් හැර වෙනත් ලකුණකින් තරග කිරිමට නීත්‍යානුකූල බාධාවක් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සදහා පොහොට්ටුව ලකුණින් තරග වැදීමට ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

එය වෙනස් කිරීමට නීත්‍යානූකූලව හැකියාවක් නොමැති බව පැපිලියාන ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායක මහින්ද රාපක්ෂ මහතා පැවසීය ෴

***************************************

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ආරම්භ කළ පාගමනේ පස්වන දිනය අදයි

(02.10.2019 – 20:13 +0530 – hirunews.lk/sinhala)

අන්තවාදයට උඩගෙඩි දෙන මුස්ලිම් අමාත්‍යවරුන් සහ දෙමළ ජාතික සන්ධානය එක්වන පිල ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය මහනුවර දක්වා ආරම්භ කළ පාගමනේ පස්වන දිනය අදයි.

අද ගලිගමුවෙන් ඇරඹී පාගමන උතුවන්කන්දෙන් අවසන් වුණා.

ලබන 5 වනදා මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී සත්‍යග්‍රහයක නිරතවීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක වන හෘද සාක්ෂියේ ආමන්ත්‍රණය නම් මෙම පාගමනේ අද තේමාව වන්නේ, ඒකීය ශ්‍රී ලංකාවක් සහ සැමට එක නීතියක් යන්නයි.

***************************************

වර්ජනයේ නිරත දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැළකේ

(02.10.2019 – 16:25 +0530 – hirunews.lk/sinhala)

වර්ජනයේ නිරත දුම්රිය රියදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සැළකීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊට අදාළව ලිපියක්ද නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.

වැටුප් විෂමතා ගැටළුව මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනයට අදට සතියක් ගතවනවා.

කෙසේ වෙතත් වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළේ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති ඉල්ලීම් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගනිමින් දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරිමට කටයුතු කර ඇති බැවින් වර්ජකයන් සේවයට වාර්තා නොකිරිම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවයි.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරිමෙන් පසු සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද හිරු ප්‍රවෘත්ති අංශය සිදු කල විමසිමකදී වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ සඳහන් කළා.

දුමිරිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කර තමන් සේවය අතහැර ගියා සේ සලකා ලිපි යොමු කිරිමට රජය කටයුතු කළත් තම ඉල්ලිම් සඳහා නිසි විසදුම ලබා දෙන තෙක් සේවයට වාර්තා නොකරන බවයි වර්ජනයේ නිරත වෘත්තිය සමිති පවසන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *