ගෝඨාභයගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සම සලකා බැලීම හෙටට (04) කල් යයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගෝඨාභයගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සම සලකා බැලීම හෙටට (04) කල් යයි

• ගෝඨාට එරෙහි පෙත්සම හෙට (04) උදේට කල් යයි (විඩියෝ)

• අපිත් එක්ක මැරෙන කෙනෙකුට නෙවේ මරණයෙන් ගලවගන්න කෙනෙකුට ඡන්දෙ දෙන්න (විඩියෝ)

• ලැජ්ජා නැද්ද සජිත්? – ශෙහාන් සේමසිංහ (විඩියෝ)

• ආරක්ෂාව සම්බන්ධයෙන් යැවු ලිපියක් ගැන විමර්ශනයක්

• සජිත් ආවොත් ඊළඟ සිංහල අවුරුද්ද කන්න වෙන්නේ ඔරුමිත්ත නාඩුවක – මහාචාර්ය චන්න ජයසුමන

• කටවුට්-බැනර් ඉවත් නොකළහොත් එය දඬුවම් ලැබිය හැකි වරදක් – මැකො සභාපති මහින්ද දේශප්‍රිය (විඩියෝ)

• බොදු බල සේනා මාධ්‍ය හමුව – 2019-10-01 (විඩියෝ)

• ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයි

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාභයගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සම සලකා බැලීම හෙටට (04) කල් යයි

(03.10.2019 – 18:40 +0530 – newsfirst.lk)

හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අදාළ කිසිදු ලේඛනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැති වීම සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ මගින් හැකි ඉක්මනින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතාට නියෝග කළේ ය.

එම ලේඛන අස්ථානගත වීම හෝ අතුරුදන් වීමට වගකිව යුත්තේ කුමන නිලධාරීන් ද යන කරුණත්, ඒවා දිවුරුම් ප්‍රකාශ මගින් හෙළි කරන ලෙසට එහිදී නියෝග කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම දිවුරුම් ප්‍රකාශ ඕනෑම විමර්ශනයක් සඳහා ඉදිරිපත් කළ හැකි ආකාරයෙන් ගොනු කිරීමට වගබලා ගන්නා ලෙසට ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට වැඩිදුරටත් නියෝග කරනු ලැබී ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර ඇති රීට් ආඥා පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය.

එම රීට් ආඥා පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේදී අද දෙවන දිනටත් සලකා බැලිණි.

එම පෙත්සමේ තුන්වන වගඋත්තරකරු ලෙස නම් කර තිබූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බවට ඔහු දැනුම් දී ඇති බව ය.

ජනාධිපතිවරයාට විධායක බලය ලැබෙනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බවත්, ජනාධිපතිවරයා රාජ්‍යයේ සහ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වුවත් රාජ්‍ය පාලන බලය හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවට හා අගමැතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට බව ද එහිදී පෙන්වා දුන් නීතිඥ චානක ද සිල්වා මහතා අමාත්‍ය මණ්ඩලය සතු බලය භාවිත කිරීමේ වරමක් ජනාධිපතිවරයාට නොමැති බව ද පෙන්වා දුන්නේ ය.

එබැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි සහතිකයට අත්සන් කිරීම නීත්‍යානුකූල නොවන බව ද චානක ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

පැය දෙකකට අධික කාලයක් ඔහුගේ එම කරුණු දැක්වීමෙන් අනතුරුව 5 වන වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, මහජනතාවගේ සර්වජන ඡන්ද බලය හා ජනාධිපතිවරයා සතු විධායක බලය මිස වෙනත් අයෙකුට අයත් බලයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කර නොමැති බව ය.

අධිකරණය සලකා බැලිය යුත්තේ 2005 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි සහතිකයට නිසි වකවානුව තුළ නිසි බලයක් සහිතව අත්සන් කර ඇත්තේ ද යන කරුණ මිස, වෙනත් කරුණක් නොවන බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

රොමේෂ් සිල්වා මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ, පෙත්සම්කරුවන් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ සත්භාවයෙන් නොව දේශපාලන අවශ්‍යතාවයන් අනුව පෙනී යන බැවින් පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම් සම්පූර්ණයෙන්ම ඉවත දමා පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ය.

පෙත්සම සලකා බැලීම හෙට (04) පෙරවරු 9.30 දක්වා කල් තැබිණි ෴

+++++++++++++++++++++

ගෝඨාට එරෙහි පෙත්සම හෙට (04) උදේට කල් යයි

(03.10.2019 – 18:37 +0530 – sinhala.adaderana.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම සළකා බැලීම හෙට උදෑසන 9.30 දක්වා කල් දමා ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම අද දෙවන දිනටත් එහි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සළකා බැලුනි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය පිළිබඳ සහතිකයට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අස්සන් කර තිබුණද අස්සන් කළ දිනය වන විට ඔහුට ඒ සඳහා බලයක් නොතිබූ බවයි.

කෙසේවෙතත් යම් අවස්ථාවක පුරවැසි පනත පිළිබඳ විෂයභාර අමාත්‍යවරයෙකු පත් කර නොතිබුණහොත් එම අමාත්‍යවරයා සතු බලතල විධායක ජනාධිපතිවරයාට පැවරෙන බව නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

පෙත්සම අද දෙවන දිනට සළකා බැලීම පස්වරු 1.45 ට පමණ ආරම්භ වුණි.

එහිදී තුන්වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින විෂයභාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීම ආරම්භ කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා සතුව සියලුම විධායක බලතල පවතින බවට යමෙකු තර්ක කරයි නම් එය සාවද්‍ය බවයි.

බලයේ මුලාශ්‍රය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මිස ජනාධිපතිවරයා නොවන බව පෙන්වාදුන් නීතිඥවරයා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයාට එම තනතුර දැරීමට නම් ආණ්ඩුවක් පැවතීම අනිවාර්යය බව අවධාරණය කළේය.

ආණ්ඩුවේ දිශානතිය සහ පාලනය රඳා පවතින්නේ කැබිනට් මණ්ඩලය සතුව මිස තනි පුද්ගලයෙක් වු ජනාධිපතිවරයා සතුව නොවන බව ද ඔහු එහිදී තර්ක කළේය.

එම අවස්ථාවේ ප්‍රශ්නයක් මතු කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා, චානක ද සිල්වා මහතාගෙන් විමසා සිටියේ නව ජනාධිපතිවරයෙක් පත්වී අමාත්‍ය මණ්ඩලයකට කාර්යය භාරයයන් පවරන තුරු කැබිනට් බලතල කිසිදු පුද්ගලයෙකුට හිමි නොවන බවද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන් නීතිඥවරයා සඳහන් කළේ අමාත්‍යවරයෙකු නොමැති වූ පමණින් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ කටයුතුවලට බාධාවන් නොවීම නිසා රටේ කටයුතු ඉදිරියට ගෙනයාමට එය ගැටලුවක් නොවන බවයි.

තුන්වන වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා කරුණු දැක්වීම ආරම්භ කර පැය එකහමාරක කාලයක් ගතවූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අවධාරණය කළේ අධිකරණයේ කාලය අනවශ්‍ය ලෙස ලබාගැනීමෙන් තම පාර්ශ්වයට අසාධාරණයක් සිදුවන බවයි.

ඊයේ දිනයේදී පෙත්සම්කාර පාර්ශ්වය කරුණු ඉදිරිපත් කිරීමට දිගුවේලාවක් ගැනීම සම්බන්ධයෙන් තම පාර්ශ්වයට ගැටලුවක් නොතිබුණද තුන්වන වගඋත්තරකරුවන වජිර අබේවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා දිගුවේලාවක් ගැනිම අසාධාරණ බවද රොමේෂ්ද සිල්වා නීතිඥවරයා පෙන්වාදුන්නේය.

එම අවස්ථාවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා දැනුම් දුන්නේ චානක ද සිල්වා නීතිඥවරයාගේ කරුණු දැක්වීම්වලට හානියක් නොවන පරිදි අත්‍යවශ්‍ය කරුණු වලට වැඩි අවධානයක් යොමු කරන ලෙසයි.

ඒ අනුව චානක ද සිල්වා නීතිඥවරයා නැවත කරුණු දැක්වීම ආරම්භ කරමින්, අධිකරණය හමුවේ සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අයදුම්කරමින් ඉදිරිපත් කළ අයඳුම්පත තම සේවා දායකයාද මෙතෙක් දැක නොමැති බවයි.

පැය 3 කට ආසන්න කාලයක් ඔහු කරුණු දැක්වීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වීම ආරම්භ කළේය.

ඔහු එහිදී සඳහන් කළේ බලය උත්පාදනය වන්නේ ස්වෛරීභාවයෙන් වන අතර ජනාතාව සතු එම ස්වෛරීභාවය උදුරාගැනීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවයි.

1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ විධායක බලතල විධායක ජනාධිපතිවරයා වෙත පවරා ඇති බවත් එම අවස්ථාවේ සිට ජනතාවගේ විධායක බලතල ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා විසින් බවත්, ඔහු පෙන්වාදුන්නේය.

එහිදී ජනාධිපතිවරයාට අමාත්‍යවරු පත්කිරීමටත් ඔවුන්ට විෂයපථයන් පැවරීමටත් තමා වෙත විෂයපථයන් පවරාගැනීමටත් බලය හිමිවන අතර එසේ පවරනු නොලබන අනෙකුත් සියලු කාර්යය භාරයයන් සහ බලතල ජනාධිපතිවරයාට හිමිවන බවත් රොමේෂ් දසිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයාට අමාත්‍යවරුන්ට බලතල පවරාදිය හැක්කේ ඔහු සතුව එම බලතල ඇත්නම් පමණක් බව තේරුම් ගැනීම සරල කාරණයක් වන බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

එම කරුණු අනුව සලකා බලන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකයට එවකට ජනාධිපතිවරයා ලෙස මෙම පෙත්සමේ 6 වන වගඋත්තරකරුවා වන මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කිරීම මුළුමනින්ම නීත්‍යානුකූල වන බව රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේය.

***************************************

අපිත් එක්ක මැරෙන කෙනෙකුට නෙවේ මරණයෙන් ගලවගන්න කෙනෙකුට ඡන්දෙ දෙන්න

(03.10.2019 – 18:51 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව ක්‍රියා නොකළහොත් රටට අහිතකර ප්‍රතිවිපාක ලැබිය හැකි බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පවසයි.

අද බදුල්ලේ පැවති ආගමික උත්සවයක් අමතමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

බදුල්ල පිංඅරාව සත්බුදු ශ්‍රී මහා දම්පල් විහාරස්ථානයේ සත්බුදු කුටි හා රන්වැට විවෘත කිරීම හා ශ්‍රි ගෞතම බුද්ධ ප්‍රතිමාව ඉදිකිරිම සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය අද අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වු ඥානරතන හිමි :

“ඉදිරියේදී පැවැත්වෙන ඒ ඡන්දයේදී අපි බුද්ධිමත්ව කටයුතු නොකළොත් එහෙම මේ රට අපිට නැති වෙන්න පුළුවන්.

ඒ නිසා ඒකේ අවසාන අවස්ථාව හැටියට තමයි බොහෝදෙනා මේ වකවානුව පිළිබඳ කථා කරන්නේ.

මේ මොහොතේදී බොහෝම බුද්ධිමත්ව කල්පනා කරලා ඉදිරියේදී අපි කටයුතු නොකළොත් අපේ ජාතියත් නැතිවෙයි බුද්ධාගමත් නැතිවෙයි කියන තත්ත්වයට මේ රට පත්වෙන්න තියෙනවා කියන එක කවුරුත් කියනවා.”

එහිදී අදහස් දැක්වු රජගහනුවර ශ්‍රි ලංකා වේළුවනාරාමාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම විජිත හිමි :

“බඩ ගැන හිතලා ඡන්දෙ දෙන්න එපා. මේ වතාවේ මේක මඟහැරුනොත් අපිට රටක් නැහැ.

නිකං කන්න දෙනවා කිව්වොත් ඡන්දෙ දෙන්න එපා.

හම්බ කරගෙන කන්න පුළුවන් ආර්ථිකයක් හදනවා කිව්වොත් එහෙම කෙනෙකුට ඡන්දෙ දෙන්න.

නිකං කන්න ‍දීලා රටක් දියුණුවෙලා නැහැ.

අපිත් එක්ක මැරෙන කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා. මරණයෙන් අපිව ගලවගන්න පුළුවන්, රට බේරගන්න පුළුවන්අපිට ආරක්ෂාවක් දෙන්න පුළුවන් කෙනෙකුට අපි ඡන්දෙ දෙන්න ඕන.

බුදුන් වැඩිය මේ රට අපි ආරක්ෂා කරගන්න ඕන”

***************************************

ලැජ්ජා නැද්ද සජිත්? – ශෙහාන් සේමසිංහ

(03.10.2019 – 16:39 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙරට දේශපාලන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කිරීම ගැටළු සහගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධිකරණ කටයුත්ත සිදු වන විට රාජිත සේනාරත්න මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවට නැඟ අධිකරණ ක්‍රියාවලිය සිදු වන ආකාරය පිළිබඳවත් ගෝඨාභය මහතාට තරග කළ නොහැකි වාතාවරණයක් ගොඩනඟන අයුරු පිළිබඳවත් සඳහන් කළ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ සඳහන් කළ ආකාරයටම සඳුදා දිනය වන විට කරුණු කාරණා සිදු වු බවත් එසේම අධිකරණ ඇමතිනියද රාජපක්ෂ පවුලේ කෙනෙකු සිර ගත කර ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ නොහැකි ආකාරයට කටයුතු සිදු කරන අයුරු ප්‍රකාශ කළ බවත් ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මෙම පිරිස අධිකරණය පවා අපහාසයට ලක් කරමින් කටුයුතු සිදු කරන ආකාරය දැක ගත හැකි බවත් ඒ මහතා පවසයි.

එසේම තමන්ට විරුද්ධව තරග කරන ප්‍රධාන ප්‍රතිවාදියා තරගයෙන් ඉවත් කරන්න සම්මත නොවන ආකාරයට කටයුතු කරන්න සජිත් ප්‍රේමදාස මහතාට ලැජ්ජාවක් නැතිදැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියි.

කෙසේ වෙතත් රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසයක් පවතින බවත් අද හෝ හෙට වන විට නැවත ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රතිඥ්ඥා දල්වන දිනයක් වනු ඇතැයි ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

සියලු ප්‍රශ්න ගැටලු විසඳී එළඹෙන 7 වනදා වන විට නාම යෝජනා භාර දීමට ගෝඨාභය මහතාට හැකි වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

***************************************

ආරක්ෂාව සම්බන්ධයෙන් යැවු ලිපියක් ගැන විමර්ශනයක්

(03.10.2019 – nethnews.lk)

පාස්කු ඉරිදා එල්ලවූ ආකාරයේ ප්‍රහාරයක් යලි එල්ලවීමේ හැකියාවක් ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවන ආරක්ෂාවට සම්බන්ධ ලිපියක් සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔක්තෝම්බර් 02 වෙනිදා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ අත්සනින් යුතුව කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයක් වෙත මෙම ලිපිය නිකුත් කර ඇති බවයි දැක්වෙන්නේ.

එම ලිපියෙහි අඩංගු කරුණු බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැති වාතාවරණයක් තුල මෙම ලිපිය යොමු කර ඇති අතර, ඒ අනුව එම ලිපිය පිළිබඳවත් එම ලිපිය යොමු කරන ලද නිලධාරින් සම්බන්ධයෙන් සහ යම්කිසි කඩාකප්පල්කාරී තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් එම ලිපිය යොමු කරනු ලැබුවද යන්න සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන එම ලිපිය පහතින් :

***************************************

සජිත් ආවොත් ඊළඟ සිංහල අවුරුද්ද කන්න වෙන්නේ ඔරුමිත්ත නාඩුවක – මහාචාර්ය චන්න ජයසුමන

(04.10.2019 – 10:29 +0530 – sinhala.adaderana.lk)

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වුවහොත් කැබිනට් මණ්ඩලය මේ ආකාරයටම පවතිනු ඇති බවත් මාස කිහිපයක් ඇතුලත නව ව්‍යවස්ථා යෝජනාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඊයේ (03) සවස අනුරාධපුරයේ පැවති විද්වද් හමුවක් අමතමින් පැවසීය ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා :

“එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී ව්‍යවස්ථා යෝජනාවලට එකඟයි යනුවෙන් කට්ටියම උඩ දා ගෙන අත ඉස්සුවේ මේකට තමයි. ‘ඔරුමිත්ත නාඩුව’ හදල දෙන්න. චම්පික රණවකත් ලජ්ජා නැතුව අත ඉස්සුවා. ඔය අත ඉස්සුවේ වෙන මොකකටවත් නොවෙයි ‘ඔරුමිත්ත නාඩුව’ හදන්න කැමතියි කියන්න.

සජිත් ප්‍රේමදාස කියන්නේ බටහිරයන්ගේ බළල් පැටියෙක්. සිරිසේන උන්නැහේ ලව්වා බැරි වෙච්ච නිසා දැන් සජිත් ලව්වා කොස් අට බාවන්නයි හදන්නේ. සිංහල මිනිස්සු සජිත්ට ජන්දේ දෙනවට වඩා හොඳයි සියතින් බෙල්ල කපා ගන්න එක.

සජිත් කියනවා කොන්දේසි නැහැ කියල. අප සජිත්ට අභියෝග කරනවා පුලුවන්නම් කට ඇරලා කියන්න මම ආවොත් ‘ඔරුමිත්ත නාඩුව’ හදන්නේ නැහැ කියල” ෴

Prof. Channa Jayasumana

***************************************

කටවුට්-බැනර් ඉවත් නොකළහොත් එය දඬුවම් ලැබිය හැකි වරදක් – මැකො සභාපති මහින්ද දේශප්‍රිය

(04.10.2019 – 11:42 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ දේශපාලන ප්‍රවර්ධන කටවුට් හා බැනර් ඉවත් කිරීමක් නොකලහොත් එය නාමයෝජනා දිනයේ සිට දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

දේශපාලන ප්‍රවර්ධන කටවුට් හා බැනර් ස්වේච්චාවෙන් ඉවත් කරන ලෙස අදාළ දේශපාලන පක්ෂ අපේක්ෂකයින් හට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති පැවසීය.

මේ අතර අද සවස සිට රාජගිරිය අවට ප්‍රදේශවල ඇති දේශපාලන ප්‍රවර්ධන කටවුට් හා බැනර් ඉවත් කිරීම සිදු කරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.

මේ අතර දේශපාලන මුහුණුවරක් ගන්නා සියලු උත්සව සම්බන්ධයෙන් රජයේ නිළධාරින්ට වගකීම පවරා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ පත්වීම් සහ රාජ්‍ය උත්සව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අනුමැතිය ලබාගත යුතු බවයි.

මේ අතර නාම යොජනා භාර දීමත් සමඟ සියලුම අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඒ සමඟම භාර දිය යුතු බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දන්වා සිටියි.

+++++++++++++++++++++++++++++++++++

ජනාධිපතිවරණයේ වියදම කෝටි 450 ඉක්මවයි

(04.10.2019 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 450 කට අධික මුදලක් වැය වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ වනවිට ජනාධිපතිවරණයට ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් 23 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

එය ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඇප මුදල් තැන්පත් කළ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව බවද සභාපතිවරයා කියා සිටියා ෴

***************************************

බොදු බල සේනා මාධ්‍ය හමුව – 2019-10-01

පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියෝ

+++++++++++++++++++++++++++++++++++

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයි

(04.10.2019 – colombotoday.com)

ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස් අධිකරණ නියෝග කඩ කරමින් දේහය විහාර භුමියේ ආදාහනය කල බවට මුලතිව් පොලිසිය විසින් පසුගිය 1 වනදා මුලතිව් අධිකරණයට B වාර්තාවක් මගින් කරුණු වාර්තා කර තිබෙනවා.

ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය විහාර භුමියේ ආදාහනය නොකරන ලෙසට ලබා දුන් අධිකරණ නියෝගය නොතකමින් ආදාහනය විහාර භුමියේ සිදුකල පුද්ගලයින් හඳුනාගනිමින් සිටින බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

මෙයට අමතරව සුහාස් නමැති නීතිඥයෙකුට භික්ෂුන් වහන්සේ නමක් පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳවද පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *