සජිත් නරකාදියෙන් චුත වු දේවදත්තගේ පුනරුත්පත්තියදැයි ගම්මන්පිලට සැකයක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සජිත් නරකාදියෙන් චුත වු දේවදත්තගේ පුනරුත්පත්තියදැයි ගම්මන්පිලට සැකයක් (විඩියෝ)

• උඩරට සමුළුවට ආ ලෝක පූජිත බිරිඳ (විඩියෝ)

• ඡන්දය වර්ජනය නොකරන්නැයි තරුණයින්ගෙන් ඉල්ලනවා – මැකො සභාපති මහින්ද දේශප්‍රිය (විඩියෝ)

• මැතිවරණ පැමිණිලි 26 ක් පැෆරල් සංවිධානයට

• පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නාමයෝජනාවට අත්සන් තබයි (විඩියෝ)

• ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳව ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් විවිධ අදහස් (විඩියෝ)

• රට බේරා ගැනීමට ලැබී ඇති අවස්ථාවක් ගැන මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් ප්‍රකාශයක් (විඩියෝ)

• සජිත් ප්‍රේමදාසගේ පරාජය වෙනුවෙන් කටයුතු කරන්නේ අගමැති බව විමල් කියයි (විඩියෝ)

• සජිත්ගේ “ශ්‍රී මුඛ ” කතාව ගැන විවිධ අදහස් (විඩියෝ)

• පොදුජන පෙරමුණේ අපේක්ෂාව ගැන විපක්ෂ නායකවරයා පහදයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

සජිත් නරකාදියෙන් චුත වු දේවදත්තගේ පුනරුත්පත්තියදැයි ගම්මන්පිලට සැකයක්

(05.10.2019 – 21:54 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම අභියෝග කරමින් නඩු පැවරීම එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයෙන් සිදු වූවක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (05) පැවැති ශ්‍රී ලංකා පොදුජන සංධානයේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය :

“ගෝඨාභය මැතිතුමාගේ පුරවැසිකම අභියෝග කරමින් පැවරූ නඩුව විභාග නොකරම වීසි කරන්න අභියාචනාධිකරණය තීන්දු කළාට පස්සේ එජාපයේ මන්ත්‍රිවරු මාධ්‍ය ඉදිරියට ඇවිත් අපූරු කතා කියන්න පටන් අරන්. වියන්ගොඩයි තේනුවරයි එජාපයේ නොවේලු.

ඉතිහාසය පුරාම එජාපය වෙනුවෙන් ලිව්වා, කතා කළා. මාසයකට වරක් වත් එජාප නායකයා සමග සාකච්ඡා පවත්වනවා රූපවාහිනියේ පෙන්වන වියන්ගොඩලා තේනුවරලා එජාප නොවන්නේ කොහොමද? මෙයාලගේ එන්ජීඕ දිගු කලක් තිස්සේ එජාපය වෙනුවෙන් වැඩ කලා.

මහ බැංකුව මංකොල්ලා කාපු අවස්ථාවේත් විල්පත්තු වනය විනාශ කළ වෙලාවේත් ඒවා සාධාරණීකරණයට මාධ්‍ය ඉදිරියට ආවේ මේ අය කියන එක එජාප මන්ත්‍රීවරුන්ට අමතක වෙලා. මේ එන්ජීඕ කාරයන් දෙදෙනා එජාපයේ නෙවෙයි කියමුකෝ. එතකොට රාජිත සේනාරත්න මැතිතුමා එජාපයේ නෙවෙයි ද? අපි නඩුවක් දැම්මා.

සඳුදා වෙනකොට අපේ නීතිඥයෝ ගිහිල්ලා අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් ගන්නවා කියපු රාජිත සේනාරත්න මැතිතුමාත් එක්සත් ජාතික පක්ෂයේ නෙවෙයිද කියලා අපි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් ප්‍රශ්ණ කරනවා.

එජාප මන්ත්‍රිවරුන් වඩා කැමති ගෝඨාභය මැතිතුමා තරග කරනවාටලු. ලෙහෙසියෙන්ම පරාජය කරන්න පුළුවන් එතුමාවලු. එහෙම කියන කොට ඒ අයගේ මුහුණු දිහා බැලුවාම ඇත්ත තේරෙනවා. ඊයේ රාත්‍රියේ මේ නඩුව විසිකරලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපතිවරණයට එනවා කියනකොට එජාප මන්ත්‍රි කණ්ඩායම හිටියේ හරියට නයා මළ අහිකුණ්ඨිකයා වගේනෙ. ගෝඨාභය මැතිතුමා තරගයට එනවා කිව්වාම මුහුණු එතරම් මැල වුණේ ඇයි කියලා කරුණාකර රටට කියන්න. ලෙහෙසියෙන්ම පරාජය කරන්න පුළුවන් නම් නඩු පිට නඩු දමමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මෙතරම් බාදා කරන්නේ ඇයි යන ප්‍රශ්ණයට එක්සත් ජාතික පක්ෂය පිළිතුරු දිය යුතුයි.

සැප්තැම්බර් 27 දින මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට අභියෝගයක් කළා. ඒ තමයි ජනපතිවරණයට තිබෙන ඉදිරි දින පනහ තුල පුළුවන් නම් ගොන් කතා පහකට වඩා නොකියා ඉන්න කියලා. දින පනහෙන් හතක් යන විට මෙන්න බොලේ ගොන් කතා දෙකක්ම කියලා ඉවරයි.

ඔක්තෝම්බර් 2දා මම ජනපති ධූරයට හිමි වැටුප් ලබා නොගෙන සේවය කරනවා කිව්වා. ජීවිතයට රස්සාවක් කරලා නැති වෘත්තියක් කරලා නැති ව්‍යාපාරයක් කරලා නැති කෙනෙක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. එතකොට ප්‍රශ්ණයක් එනවා එතුමාට පරම්පරාවෙන් ආපු ධණයක් තියෙනවද දන්නෑ කියල. නමුත් එතුමා විතරක් නෙවෙයි එතුමාගේ පියාත් ජීවිතේට රැකියාවක් වෘතියක් ව්‍යාපාරයක් නොකරපු කෙනෙක්. එහෙම නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනපති දූරයේ වැටුප් දීමනා නොගෙන ජීවත් වෙනවා කිව්වාම ඇගවෙන්නේ ජාවාරම්කාරයින්ගේ සල්ලි වලින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා කියන එකයි. ටෙන්ඩර් මගඩි කරලා, රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණා දාලා ඔවුන්ගේ ධනයෙන් නඩත්තු වෙන්න හදනවා කියන එකයි. එහෙම කරන්න හදනවා කියන එක එතුමා රටට කියන එක ගොන් කතාවක්ද එහෙමත් නැතිනම් ජනතාවගේ පැත්තෙන් හොඳ අනතුරු ඇඟවීම් දැයි තීරණය කිරීම ජනතාවටම බාරයි.

ඔක්තෝම්බර් 4 දා තමන් කතා කරන්නේ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රි මුඛයෙන් කියා එතුමාම පැවසුවා. බුදු රජාණන් වහන්සේවත් සිය මුවට ශ්‍රී මුඛය කියා කියලා නෑ. උන් වහන්සේ ‍අසූ හාර දහසක් වූ ධර්මස්කන්ධය දේශනා කළ නිසා බුදුන් වහන්සේගේ මුවට ශ්‍රී මුඛය කියා ගෞරව කරන්න බෞද්ධයින් පුරුදුව සිටිනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමන්ව බුදුරජාණන් වහන්සේට සමාන කරගැනීමෙන් බුදුරජාණන් වහන්සේට බලවත් අපහාසයක් සිදු වී තිබෙනවා. අද භික්ෂූන් වහන්සේලා මහත් සංවේගයට පත් වෙලා කැළඹී තිබෙනවා. බෞද්ධයන් කෝප වී සිටිනවා සජිත් ප්‍රේමදාස වැනි චරිතයක් තමන්ම බුදුරජාණන් වහන්සේට සමාන කරගන්නට යෑමෙන්. අසූහාරදහසක් ධර්මස්කන්ධය දේශනා නොකළාට අසූහාරදහසක් බොරු පොරොන්දු හා ගොන් කතා කීම නිසා තමනුත් බුදුරජාණන් වහන්සේට සමාන යයි එතුමාට හිතුනා ද කියලා දන්නේ එතුමා විතරමයි.

බුද්ධ චරිතයෙහි සඳහන් වන ආකාරයට නම් තමනුත් බුදුරජාණන් වහන්සේට සමානයි කියලා ප්‍රකාශ කළ අයෙකුට සිටියේ දේවදත්තයන් විතරයි. දේවදත්තයන්ට ඒ නිසාම නිවන් දකින්නට බැරි වෙලා අවීචි මහා නරකාදියේ උපන්නාය කියලා තමයි අප නම් අහලා තියෙන්නේ. මේ සජිත් ප්‍රේමදාස කියන්නේ අවීචි මහා නරකාදියෙන් චුතවෙලා ආ දේවදත්තයන්ගේ පුනරුත්පත්තිය ද කියා සාධාරණ සැකයක් අපට ඇති වෙනවා.

එම නිසා මේ රටේ සියයට හැත්තෑවක් වූ බෞද්ධයන්ව කුපිත කරවා මේ රටේ තියෙන ප්‍රශ්න මදිවට නැති ප්‍රශ්න ඇති කරන්න එපා කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ගෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමින් වහාම තමන්ව බුදුරජාණන් වහන්සේට සමාන කරගනිමින් කළ ඒ ගොන් කතාව ඉල්ලා අස්කර ගන්න කියා අප ඉල්ලා සිටිනවා. මොකද අනික් ගොන් කතා වලට නම් අප හිනා වෙලා නිකම් සිටිනවා. ඒවා රස කතා. මේ ගොන් කතාව රස කතාවක් නොවෙයි. මේ රට කළඹවන කතාවක්. වසර 2300 ක් අඛණ්ඩව බුදු දහම ඇදහූ එකම රට තුළ රටේ නායකත්වය ඉල්ලන බුදු දහමට ප්‍රමුඛත්වය දී සුරක්ෂිත කිරීමේ වගකීම භාර ගන්නා භාරකරුවන් වන්නට ඉන්න අය බුදුරජාණන් වහන්සේට මෙලෙස අපහාස කරනවා නම් මේ රටේ කිසිම බෞද්ධයෙකුට සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඡන්දය දෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නය අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් අහනවා.

2015 ජනවාරි මාසයේ හංසයාට කතිරය ගහපු ජනතාව පසුගිය අවුරුදු පහේ පාරට බැස්සේ ලැජ්ජාවෙන්. අපහාස විඳිමින් තමයි ඒ අය පසුගිය වසර පහ ගතකළේ. එක්සත් ජාතික පක්ෂය කෙතරම් මේ රට විනාශ කලත් තවමත් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන අතලොස්සක් සිටිනවා. ඒ අර කැපුවත් කොළ කියන කට්ටිය. ඒ අයට ජනාධිපතිවරණයෙන් පස්සේ අභිමානයෙන් පාරෙ බැහැලා යන්න පුළුවන් වෙන්න ගොන් කථා කියන එක නතර කරන්න කියල මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. මා කල අභියෝගයට අනුවනම් සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ඉදිරි දින 41ටම ඔබට පැවසිය හැක්කේ තවත් ගොන් කතා තුනක් පමණයි. කියන්න පෙර සිතා බලනු කියලා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා ගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා.”

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

උඩරට සමුළුවට ආ ලෝක පූජිත බිරිඳ

(05.10.2019 – 19:29 +0530 – sinhala.adaderana.lk)

උඩරට තරුණ සමුළුව අද (05) පෙරවරුවේ කොළඹදී පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතාගේ බිරිඳ ද එක් විය.

එහිද අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරියේදි ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කරන බවයි.

එමෙන්ම වතු ආර්ථිකයෙන් ඔබ්බට ගිය ආර්ථිකයක් රට තුල ඇති කළ යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

දමිල ජනයා ඝාතනය කළ බවට බොරු චෝදනා එල්ල කරමින් වැරදි මතයක් ඇති කිරීමට උත්සහ කරන බවත් නමුත් කිසි විටකත් තම පාර්ශවය යුද්ධය ආරම්භ නොකළ බවත් එය අවසන් කළ බවත් ඒ මහතා පැවසීය.

අද පස්වරුවේ, නෙලුම් පොකුණ රඟහලේදී ජාත්‍යන්තර ගුරු දින සැමරුම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙරට පුරවැසිභාවය අභියෝගයට ලක්කළ පෙත්සම පිළිබඳ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වීමත් සමග ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (04) පස්වරුවේ කේක් කපා සතුට සමරනු ලැබුවේය.

ඒ කොළඹ විජයරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී.

https://www.youtube.com/watch?v=oXTiH3M8eeY#t=6

***************************************

ඡන්දය වර්ජනය නොකරන්නැයි තරුණයින්ගෙන් ඉල්ලනවා – මැකො සභාපති මහින්ද දේශප්‍රිය

(05.10.2019 – 18:10 +0530 – sinhala.adaderana.lk)

රට පාලනය කිරීමේ අයිතිය පවතින්නේ යෞවනයින්ට සහ තරුණයින්ට බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එම නිසා කිසිඳු ආකාරයකින් ඡන්දය වර්ජනය නොකරන ලෙසද සභාපතිවරයා ඉල්ලීමක් කරයි.

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පැවති සංවාදශීලි වැඩසටහනකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය.

https://www.youtube.com/watch?v=DRbMm8VKPy8#t=6

***************************************

මැතිවරණ පැමිණිලි 26 ක් පැෆරල් සංවිධානයට

(04.10.2019 – 05:41 +0530 – lankadeepa.lk)

රාජ්‍ය ආයතන හතරක නීති විරෝධී අන්දමින් රැකියා ලබා දීම් හා ඉඩම් ලබා දීම් පිළිබඳ පැමිණිලි 26 ක් පැෆරල් සංවිධානයට ලැබී ඇතැයි එම සංවිධානය කියයි.

මහවැලි අමාත්‍යංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල, සමෘද්ධි දෙපාර්තමේන්තුව, හා අධ්‍යාපන අමාත්‍යංශයෙහි කි‍්‍රයාකාරකම් පිළිබඳව මෙසේ පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් සංවිධානයේ ප‍්‍රකාශකයකු පැවසීය.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු මහවැලි අමාත්‍යංශයේ ඉඩම් බෙදා දීම් පිළිබඳව ද, සමෘද්ධි අමාත්‍යංශයේ පරිගණක පුහුණු කරුවන් බඳවා ගැනීම් පිළිබඳව ද, මධ්‍යම සංස්කෘතික අරමුදලේ රැකියා ලබාදීම් පිළිබඳව ද, අධ්‍යාපන අමාත්‍යංශයේ විදුහල්පති ශ්‍රේණියට උසස් කිරීම් පිළිබඳව ද පැමිණිලි ලැබී ඇතැයි හෙතෙම කියා සිටියේය.

එමෙන්ම හම්බන්තොට සිරිබෝ පුර ප‍්‍රදේශයේ මීට පෙර බෙදා දුන් ඉඩමක් යළි බෙදා දීමේ සිද්ධියක් ද සූරියවැව හා පොලොන්නරුවේ සිමෙන්ති බෙදාදීමේ සිද්ධින් දෙකක් පිළිබඳව ද පැමිණිලි ඇතැයි කී එම ප‍්‍රකාශකයා ඒ ඒ සිද්ධින් පිළිබඳව වැඩිදුර සොයාබැලීම් සිදුකරමින් සිටින බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අදාලව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳ පැමිණිලි ලැබී නැතැයි හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය ෴

***************************************

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නාමයෝජනාවට අත්සන් තබයි

(06.10.2019 – 09:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද (06) උදෑසන සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා.

ඔහුගේ මිරිහාන නිවසේදී පෙරවරු 9.46 ට ගෝඨාභය රාජපක්ෂ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබූ බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (07) උදෑසන 9 සිට 11 දක්වා සිදු කෙරෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=yejw1egYWDg#t=6

***************************************

ජනාධිපති අපේක්ෂක ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳව ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් විවිධ අදහස්

(06.10.2019 – 20:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++++++++++++++

***************************************

රට බේරා ගැනීමට ලැබී ඇති අවස්ථාවක් ගැන මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් ප්‍රකාශයක්

(06.10.2019 – 20:13 +0530 – hirunews.lk/sinhala)

රට බේරා ගැනීමට ලැබී ඇති අවස්ථාව නිවැරදිව භාවිත නොකරන්නේනම් යටත් විජිත ආක්‍රමණයක් අභිමුවෙහි පවතින රට ඉන් මුදා ගැනීමට හැකියාවක් නොලැබෙන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ ජාතික වියත් පවුර කළුතර දිස්ත්‍රික් සමුළුව අමතමින්.

***************************************

සජිත් ප්‍රේමදාසගේ පරාජය වෙනුවෙන් කටයුතු කරන්නේ අගමැති බව විමල් කියයි

(06.10.2019 – 20:05 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ දැවැන්ත පරාජය වෙනුවෙන් කටයුතු කරන්නේ අන් කිසිවෙකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

***************************************

සජිත්ගේ “ශ්‍රී මුඛ ” කතාව ගැන විවිධ අදහස්

(06.10.2019 – 20:01 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ මේවන විට සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති අතර, ඒ පිළිබඳ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.

***************************************

පොදුජන පෙරමුණේ අපේක්ෂාව ගැන විපක්ෂ නායකවරයා පහදයි

(06.10.2019 – 19:52 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව පළිගැනීමේ ආශාවකින් පෙලුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ රට ගොඩනැගීමේ අරමුණින් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම අද සිදු කෙරුණේ එම පක්ෂයේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ද එක්ව සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *