ජනාධිපතිවරණය : ගෝඨාභය, සජිත්, අනුර ඇතුළු 35 දෙනාගේම නාමයෝජනා පිළිගනී

(07.10.2019 – 12:33 +0530 – hirunews.lk/sinhala)

= නාමයෝජනා භාර ගැනීම අවසන් – ගෝඨාභය, සජිත්, අනුර ඇතුළු 35 දෙනාගේම නාමයෝජනා පිළිගනී – චමල්, වෙල්ගම සටනින් ඉවත් වේ =

නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළව අද භාරදුන් නාමයෝජනා පත්‍ර 35 ම පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළා.

නාමයෝජනා පත්‍ර දෙකකට විරෝධතා ගොනු කර තිබූ අතර, ඒවා ප්‍රතික්ෂේප කළ බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්වන අතර, මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත්වී ඇති වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවද මෙය වනවා.

ජනාධිපතිවරණයට අදාලව නාමයෝජනා භාර ගැනීම අද පෙරවරු 9 ට ආරම්භ කෙරුණු අතර එය පෙරවරු 11 ට අවසන් වුණා. එමෙන්ම ඉදිරිපත් වූ නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා ගොණු කිරීමට පෙරවරු 11 යි 30 දක්වා අවස්ථාව හිමි වුණා.

ජනාධිපතිවරණයට අදාලව ඇප තැන්පත් කිරීම ඊයේ මධ්‍යහ්න 12 න් අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ 19 කින්, වෙනත් පක්ෂ 3 කින් සහ ස්වාධීන අපේක්ෂකයන් 19 කින් ඇප මුදල් තැන්පත් කර තිබුණා.

+++++++++++++++++++++++++++++++++++

ජනපති සටනට අපේක්ෂකයින් 35 ක්

(07.10.2019 – 12:04 +0530 – sinhala.adaderana.lk)

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද (07) මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දුන්නේය.

එමෙන්ම අපේක්ෂකයින් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විරෝධතා දෙකක් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41 ක් දෙකෙතු ඇප මුදල් තැන්පත් කර තිබුණි.

ඒ අතරින් ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඇප තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම ඇතුළු 06 දෙනෙකු අද සිය නාමයෝජනා පත්‍ර භාරදුන්නේ නොමැත.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබූ අතර ඊට පිළිගත් දේශපාලන පක්ෂ 19 ක, ස්වාධීන කණ්ඩායම් 19 ක සහ වෙනත් පක්ෂ 03ක අපේක්ෂකයින් ඒ අතරට අයත්.

ඔවුන්ගේ නාමයෝජනා භාරගැනීම අද පෙරවරු 9.00 ට ආරම්භ වුණේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත භාරදීම සිදුකෙරුණි.

https://www.youtube.com/watch?v=W8iIBJ0AiMw#t=6

+++++++++++++++++++++++++++++++++++

අද (07) සිට මැතිවරණ පෝස්ටර්-බැනර්-කටවුට් ප්‍රදර්ශනය තහනම්

(07.10.2019 – 11:49 +0530 – sinhala.adaderana.lk)

අද(07) සිට මැතිවරණයට අදාලව පෝස්ටර් බැනර් කටවුට් ප්‍රදර්ශනය කිරීම හා පුද්ගල හෝ රථවාහන පෙලපාලි හෝ යාම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

රාජගිරිය මැතිවරණ කාර්යාලය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ සඳහන් වන විදිවිධාන අනුව, අද සිට පෝස්ටර්, බැනර් හා කටවුට් ආදිය ප්‍රදර්ශනය තහනම් වන අතර, පුද්ගල හා රථවාහන පෙළපාලි යෑම දිවයිනටම තහනම් වන බවත් පැවසු පොලිස් අධිකාරීවරයා, නීති විරෝධි ක්‍රියා සිදුවන ආකාරය වීඩියෝ ගත කරන බවත් පැවසීය.

පසුව එම වීඩියෝ පට ආධාරයෙන් නෛතිකමය කටයුතු ඉදිරියට සිදු කිරීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අද දිනයේ දී රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන් 500 කට අධික ප්‍රමාණයක් ඇති බවත් පැවසු රුවන් ගුණසේකර මහතා, ශ්‍රි ජයවර්ධන පුර මාර්ගයේ වැලිකඩ හන්දියේ සිට ආයුර්වේද වටරවුම දක්වා කොටස වාහන කොළඹ දෙසට ඇතුළු වීමට පමණක් අවසර ඇති බවත් කියා සිටියේය.

කොළඹින් වාහන පිට කිරීම නවතා ඇති බවත්, පරණ කෝට්ටේ මාර්ගය වැලිකඩ හන්දියේ සිට ආයුර්වේද වටරවුම දක්වා කොළඹින් වාහන පිටවීමට අවසර ඇති බවත් ඇතුළු කිරීම නවතා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව , මාර්ග දෙකෙහිම පක්ෂවල අපේක්ෂකයින් සමඟ පැමිණෙන ආධාරකරුවන් සඳහා වෙන් කර ඇතැයි ද පැවසු රුවන් ගුණසේකර මහතා, ආරක්ෂක වැඩ පිළිවෙල වශයෙන් පොලිස් නිලධාරීන් 1200 කට අධික ප්‍රමාණයක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවත් සඳහන් කළේය.

https://www.youtube.com/watch?v=ohCK-FSof5A#t=6

+++++++++++++++++++++++++++++++++++

බුදුගුණ බලයෙන් ආශීර්වාද ලැබූ ගෝඨාභය නාමයෝජනා දෙන්න ගිය හැටි

(07.10.2019 – colombotoday.com)

ගරුතර මහා සංඝරත්නය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නුගේගොඩ මිරිහානේ නිවසටවැඩම කර එතුමාට ආශිර්වාද කිරීමෙන් පසුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා නිවසින් පිටත්ව ගියේ මෙලෙසින් ….

+++++++++++++++++++++++++++++++++++

රටම බලාසිටින ජනාධිපතිවරණයට නාමයෝජනා දෙන්න යන්න කළින් ගෝඨාගේ නිවසේ සිදුවූ දේ

(07.10.2019 – 10:33 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නාම යෝජනා භාරදීම සිදුකළා.

ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදීයි.

ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවසින් පිටව යාමට පෙර මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීම සිදුකලා.

එම අවස්ථාවේ දර්ශන පහතින් :

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සජිත්ට නාමයෝජනා දෙන්න රනිල් ඇතුළු ජේෂ්ඨයෝ නොඑති

(07.10.2019 – colombotoday.com)

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සජිත් ප්‍රේමදාස මහතාගේ නාමයෝජනා පත්‍ර භාරදීම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ, එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එජාප උප නායක රවී කරුණානායක ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ කිසිවෙකු පැමිණ සිටියේ නෑ ෴

+++++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=SVQIQYi7wEo#t=6
07-10-2019

***************************************

ගෝඨා කියන්නේ වැඩ කරන කෙනෙක් – පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි

(07.10.2019 – 14:32 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රි ලංකා පොදු ජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, බෙල්ලන්විල විහාරස්ථානයේ සහ පැපිලියාන සුනේත්‍රා දේවි විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහන්වලට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය.

ඒ ඊයේ (06) පස්වරුවේදියී.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත පැමිණ ප්‍රථමයෙන්ම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් බැහැ දුටුවේය.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විහාරස්ථානයේ සංවිධාන කර තිබූ ආශිර්වාද පූජාවට සහභාගි විය.

මෙහිදී අදහස් දක්වමින් බෙල්ලන්විල රජමහා විහාරස්ථානෙය් විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා යනු වැඩ කරන කෙනෙක් බවයි.

විරුද්ධවාදීන්ට මෛත්‍රී වැඩීමට අපි පවසන බවත් කියා සිටි උන්වහන්සේ, භික්ෂුන් වහන්සේලාට වුවත් එම කර්තව්‍ය ඉතා අසීරු බව පැවසීය.

එනිසා පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙට්ටු දැමු දෙදෙනාට නම් මෛත්‍රී වැඩීම හරිම අමාරුයි යනුවෙන් පැවසු විහාරාධිපති හිමියන්, නමුත් ඔවුන්ටත් මෛත්‍රීය වඩන බවත් කියා සිටියේය.

අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද සිදුකරනු ලැබීය.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයට පැමිණ පිරිත් සජ්ඣායනාවටද සහභාගි විය.

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් කථා කළ පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේ, පරිවේණාධිපති, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා සිටියේ, හෙට දිනයේ දී ආරම්භ කරන්නේ ඔබ තුමා වෙනුවෙන් යන ගමනක් නොවන බවත් පැවසීය.

මුළු මහත් රටම ඉල්ලා සිටින රටේ අනාගතය තීරණය වන අවස්ථාවක් ඉදිරියේ දී ඇති වන බවත් පැවසු උන්වහන්සේ, දුෂ්ට බලවේගවලින් ගැලවී රටට සෙතක් උදා කරලීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවට කියා සිටියේය.

https://www.youtube.com/watch?v=zxxmY7N5Vyw#t=6
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *