මැතිවරණ කාලේ හැසිරෙන්නේ කොහොමද කියලා හරියටම දන්නවා ද?

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මැතිවරණ කාලේ හැසිරෙන්නේ කොහොමද කියලා හරියටම දන්නවා ද?

• අරුවක්කාලු පිපිරීම මාධ්‍යයට තහනම්

• පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි

• නතර වුණ දුම්රිය වර්ජනයෙන් බැට කන ජනතාව (විඩියෝ)

• පන්නිපිටිය ධර්මපාල විදුහල අසල දී පාසල් සිසුවියක් අනතුරක (විඩියෝ)

• කෝටි ගණනක අයිස් සමඟ මව සහ දියණිය ගුවන් තොටේ දී මාට්ටු (විඩියෝ)

• දික්ඔය දී පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් ප්‍රපාතයකට – කුඩා ළමුන් 18 ක් රෝහලට (විඩියෝ)

• Hiru TV – Salakuna – 2019-10-07 – Udaya Gammanpila (Video)

• රටම කළඹමින් ගම්පොළදී අභිරහස් ලෙස අතුරුදන් වූ ගුරුවරියගේ මළ සිරුර අවසානයේ හමුවූ තැන (විඩියෝ)

• ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව අඟල් 26 ක් දිගයි

+++++++++++++++++++++++++++++++++++

මැතිවරණ කාලේ හැසිරෙන්නේ කොහොමද කියලා හරියටම දන්නවා ද?

(08.10.2019 – 12:18 +0530 – sinhala.adaderana.lk)

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඊයේ (07) මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දුන්නේය.

නමුත් මෙම නාම‍යෝජනා බාර දීමෙන් පසුව මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් කාල සීමාවේ හැසිරිය යුතු ආකාරය අපේක්ෂකයින්, මාධ්‍ය හා සෙසු පාර්ශව නිසි ලෙස දැනුවත් කිරීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වන ව්‍යවස්ථාවේ (3) අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වු ඡන්ද විමසීම, දැනට ධුරය දරන ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ පැවැත් විය යුතුයි.

වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය 2020 ජනවාරි මස 8 වන දින ඉකුත් වන බැවින් 2019 සැප්තැම්බර් 18 වන දින මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද නාම යෝජනා කැඳවනු ලැබීය.

ඒ අනුව 2019 නොවැම්බර් 16 වන දින පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අද නාමයෝජනා බාර ගනු ලැබීය.

ඒ අනුව මෙම අපේක්ෂකයින් 35 දෙනෙකු නාමයෝජනා බාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

ඒ අනුව ගොඩ නැඟෙන නීති පහත පරිදි වෙයි :

රාජ්‍ය සේවකයා…

රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මෙන්ම රාජ්‍ය/සංස්ථා, මණ්ඩල, බැංකු යනා දී ව්‍යවස්ථාපිත ආයතනද පළාත් සභා හා පළාත් පාලන ආයතන යනා දී සියල්ල රාජ්‍ය ආයතන ලෙස සැලකෙයි.

මෙම රාජ්‍ය ‍දේපල ජනාධිපතිවරණයේ දී පක්ෂ/‍අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා නැතහොත් අගතියට පත් කිරීම සඳහා භාවිතා කිරීම සපුරා තහනම්.

දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිදු නිලධාරියෙකුට ජනාධිපතිවරණයට අදාළ ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලනමය ක්‍රියාවක නිරත විය නොහැක.

දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයින්ට පවා කාර්යාල වේලාව තුළ දේශපාලානමය කටයුතු වන නිරත විය නොහැකියි.

සෑම රජයේ නිලධාරීයෙකුම, මැතිවරණ කොමිෂන් සභාව විසින් 2019.19.19 වන දිනැතිව අංක 2141/52 දරන ගැසට් පත්‍රය මගින් නිකුත් කරන ලද විධානවලට යටත්ය.

අපේක්ෂකයන් හා දේශපාලනඥයින් සඳහා වු ආචාර ධර්ම…

ප්‍රජාතන්ත්‍රවාදී හා ශිෂ්ට සම්පන්න රටවල්වල ඡන්ද විමසීම් සඳහා තරග කරන අපේක්ෂකයන්ට හා රටේ පාලනය සඳහා ක්‍රියා කරන දේශපාලනඥයින්ට ආචාර ධර්ම පද්ධතිය හඳුන්වා දී තිබේ.

ඒ අනුව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දැන් කලක සිට අපේක්සකයන් හා දේශපාලනඥයින් සඳහා ආචාර ධර්ම හඳුන්වා දී ඇත.

එම ආචාර ධර්මවලට අනුකූලව ක්‍රියා කිරීම සියලුම අපේක්ෂකයින්ගේ, මෙන්ම ඔවුන්ට සහාය දෙන දේශාපාලඥයින්ගේ වගකීම බව කාරුණිකව අවධාරණය කරයි.

මෙම ආචාර ධර්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් 2019.09.25 දිනැති 2141/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රසිද්ධ කර තිබේ.

මාධ්‍යවල හැසිරීම…

මෙම කාල සීමාව තුළ අප අන් කවරදාටත් වඩා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කිවිවෙකුට විශේෂ බැඳීමක් හෝ විරුද්ධත්වයක් නොමැතිව ක්‍රියා කිරීමට රාජ්‍ය මාධ්‍යය ආයතන නීතියෙන් බැඳී සිටියි.

අංක 2140/53 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් 2019.09.12 දිනැතිව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ මාධ්‍ය උපමාන මෙම රාජ්‍ය මාධ්‍ය අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු වෙයි.

පෞද්ගලික මාධ්‍ය ආයතන ද මෙම ඡන්ද විමසීමේ දී කිසිදු අපේක්ෂකයෙකුගේ ප්‍රවර්ධනයට හේතුවන පරිදි හෝ ආගතියට පත් වන පිරිදි හෝ අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් හෙවත් සනාථ කළ නොහැකි ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමට බැඳී සිටියි.

ජනාධිපතිවරණ සමයේ දී පෞද්ගලික රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකා පවා, එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය සඳහා පමණක් ක්‍රියා කිරීමෙන් හා අනෙක් අපේක්ෂකයන් අගතියට පත් කිරීමට ක්‍රියා කිරීමෙන් වැළකී සිටිය යුතුයි.

මේ සම්බන්ධයෙන් අවැසි නියාමන ක්‍රියාවේ යෙදවීමට මෙම සංඛ්‍යාතවල හිමිකාරීත්වය හා පාලන බලය සතු රාජ්‍ය ආයතන ක්‍රියා කරනු ඇති බවත් පෙන්වා දෙන මැතිවරණ කොමිෂන් සභාව මෙම පෞද්ගලික හිමිකාරීත්වය ඇති මුද්‍රිත මාධ්‍යවලට ද අදාළ බව අවධාරණය කරයි

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පනතේ 83 වන වගන්තිය අනුව අසත්‍ය තොරතුරු සනාථ කළ නොහැකි ප්‍රවෘත්ති/තොරතුරු පළ කිරීමෙන් වැලකී සිටිමට පුවත්පත් සංස්කාරකවරු බැඳී සිටියි.

එම වරද කළහොත් දණ්ඩනය ද පනතින් නියම කර තිබේ.

සමාජ මාධ්‍ය ජාලවල හැසිරීම …

සමාජ මාධ්‍ය ජාලා හරහා තොරතුරු හුවමාරු කිරීම අද සමාජයේ ප්‍රමුඛතම සන්නිවේදන ක්‍රමවේදයක් වෙයි.

සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු ප්‍රචලිත කිරීමෙන් වෛරී අදහස් පැතිර වීමෙන් එවැනි සමාජගත කිරීමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

ඡන්දය දෙන අවස්ථා ඡායාරූප ගත කිරීම හා ඡන්දය දුන් ආකාරය ප්‍රසිද්ධ කිරීම…

ඡන්දය දෙන ආකාරය හෝ ඡන්දය දී ඇති ඡන්ද පත්‍රිකා හෝ ඡායාරූප ගත කිරීම හා එවැනි ඡායාරූප ප්‍රසිද්ධියට පත් කිරීම කිසිසේත්ම නොකළ යුතුයි.

නිහඬ කාල සීමාව…

ජනාධිපතිවරණය පැවැත් වෙන 2019 නොවැම්බර් 16 වන දිනට පැය 48 කට පෙර සිට නිහඬ කාලසීමාව ආරම්භ වෙයි.

එවැබින් එම කාල සීමාව තුළ සියලූම අපෙක්ෂකයන් දේශපාලන පක්ෂ, දේශපාලනඥයින්, ආධාරකරුවන් මෙන්ම ජන මාධ්‍ය ආයතන ද සියලූම ආකාරයේ පක්ෂ/අපේක්ෂක ප්‍රවර්ධනය කිරීමේ ප්‍රචාරක කටයුතුවලින් හෝ අගතියට පත් කිරීමේ ප්‍රචාරක කටයුතුවලින් වැලකී සිටිය යුතුයි.

මෙහිදී රැස්වීම් පැවැත්වීම පමණක් නොව ජන මාධ්‍ය තුළින් දැන්වීම් ප්‍රචාරය කිරීම, සමාජ මාධ්‍ය ජාල හා දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ හරහා සිදු කෙරෙන ප්‍රචාරක කටයුතු කිසිවක් සිදු නොකල යුතුයි.

එම කාල සීමාව තුළ අපේක්ෂකයන් හා පක්ෂ සෘජුවම හෝ වක්‍රව ප්‍රවර්ධනය සඳහා අගතියට පත් කිරීම සඳහා පැරණි රැස්වීම් හෝ වැඩසටහන් පිළිබඳ තොරතුරු, චිත්‍රපට යනාදිය ප්‍රදර්ශනය කිරීමෙන්, කරවීමෙන් වැලකී සිටිමට සියලු දෙනා වගබලා ගත යුතුයි.

නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්විය හැක්කේ සියලූම අපේක්ෂකයන්ට ඡන්ද හිමියන්ට හා සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ඇති බව සැලකිල්ලට ගැනීමෙන් පමණකි.

තමා දරණ මතයට විරුද්ධ මතයක් දැරීමට, එය ප්‍රකාශ කිරීමට, ඒ වෙනුවෙන් පෙනී සිටිමට හා එම මතය ජය ගැනීම සඳහා අනීතික නොවන ක්‍රියාමාර්ග ගැනීමට අන් අයට ඇති අයිතිය සියලු දෙනා පිළිගැනීමෙන් පමණි ෴

***************************************

අරුවක්කාලු පිපිරීම මාධ්‍යයට තහනම්

(08.10.2019 – 15:53 +0530 – sinhala.adaderana.lk)

අරුවක්කාලු කසල අංගනයේ ඊයේ (07) රාත්‍රියේ හදිසියේ සිදුවු පිපිරීමත් සමඟ එම ස්ථාන පරික්ෂකාවට රජයේ රස පරික්ෂකවරයා අද (08) දහවල් වන විට පැමිනිමට නියමිතව තිබුණි.

ඊයේ රාත්‍රි 9 ට පමණ ඉදිකරමින් පවතින අරුවක්කාලු කසල අංගනයේ එම්.ආර්.සී -1 අංගනයේ මිතෙන් වායු පරික්ෂාවක් අතර තුලදී නලයක සිදුවු පිපිරිමත් සමඟ එය සකස් කර තිබු දැවැන්ත කොන්ක්‍රිට් ටැංකී සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් මේ සම්බන්ධව තොරතුරු දැන ගැනිමට අදාල කසල අංගනයේ නිළධාරින්ගෙන් උත්සහ ගත්තද එය සම්පුර්ණයෙන් ව්‍යාර්ථ වු බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අදාල පිපිරීම පිළිබදව තොරතුරු සොයා බැලිමට කිසිඳු මාධ්‍යවේදියකුට කසල අංගනයට ඇතුල් විමට අවසර ලබා නොදිම නිසා මාධ්‍යවේදින් කසල අංගනයේ පිටත සිට අදාල ස්ථානය දිස්වන ආකාරයේ මාධ්‍ය කටයුතු කිරීමට සිදුවුව ද එයටද කසල අංගනයේ සේවය නියුතු චින හා ශ්‍රී ලාංකික නිළධාරින්ගෙන් බාධා එල්ලවිය.

මෙම පිපිරීමත් සමඟ අදාල භුගත කොන්ක්‍රිට් ටැංකීය සම්පුර්ණයෙන් විනාශ වි තිබු අතර එම ස්ථානය කිසිවෙකුටත් නොපෙනෙන ලෙසට විශාල ආවර්ණ යොදමින් වසා දැමිමට කසල අංගන නිළධාරින් උත්සහයක් ගෙන තිබු ආකාරය දැක ගත හැකි විනි.

මෙම පිපිරීම ඊයේ රාත්‍රියේ සිදුවිමත් සමඟ අවට පිහිටි සේරක්කුලිය, කරතිව්, හා වනාතවිල්ලුව ගම්මාන දෙදරා ගිය බව එම ගම්මාන වල පදිංචිකරුවන් පවසයි.

අදාල පිපිරිම් සිදුවන අවස්ථාවේ සේරක්කුලිය කලපු තිරයේ සිටි ධීවරයකු වන ජුඩ් නිහාල් මහතා තමන් එම අවස්ථාවේදි අත් විඳි දෙ පිලිබඳ අද දෙරණ මාධ්‍යවේදී මහතාට විස්තර කරමින් පැවසුවේ එකවරම විශාල ශබ්දයක් සමඟම පිපිරීම් හඬක් ඇති වු බවයි.

එත් සමඟම තමන් අරුවක්කාලු කසල අංගනය දෙස බලන විට විශාග ගින්නක් දිස් වු බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම පිපිරීමත් සමඟ ඊයේ රාත්‍රියේ කොළඹ සිට අරුවක්කාලුවට කසල රැගෙන එමින් තිබු ටිපර් රථ 29 ක් ජා ඇල ප්‍රදේශයෙදී ආපසු කොළඹ බලා පිටත් කිරීමටද කටයුතු කර තිබු බවද වාර්තා වේ.

අද (08) දහවල් වල විට අදාල පිපිරීම් සිදුවු ස්ථාන පරික්ෂාවට රජයේ රස පරික්ෂකවරයා පැමිනිමට නියමිතව තිබු අතර පොලිස් ස්ථාන පරික්ෂා නිළධාරින් (සොකෝ) අදාල පිපිරිම් සම්බන්ධ සියලු දර්ශන හා සාක්ෂී සටහන් කරගෙ ඇති බවද වාර්තා විය ෴

***************************************

පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි

(08.10.2019 – 14:30 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි භූමියේ කොටසක් කඩා වැටීමටලක්ව තිබේ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ ඊයේ (07) රාත්‍රී පාර්ලිමේන්තු භූමියේ අඩි 50 ක පමණ කොටසක් දියවන්නා ඔයට කඩාවැටී ඇති බවයි.

පාර්ලිමේන්තු සංකීර්ණයට මන්ත්‍රීවරුන් පිවිසෙන මාර්ගය ආසන්නයේ කොටසක් මෙලෙස කඩා වැටීමට ලක්ව තිබේ.

එම ස්ථානය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා පැවසුවේය ෴

+++++++++++++++++++++

***************************************

නතර වුණ දුම්රිය වර්ජනයෙන් බැට කන ජනතාව

(08.10.2019 – 12:58 +0530 – sinhala.adaderana.lk)

දුම්රිය වෘත්තිය සමිති වැඩවර්ජනය අවසන් වුවත් මේ දක්වාත් දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්ව නොමැති බව වාර්තා වේ.

දින 12 ක් පුරා මගී ජනතාව දැඩි පීඩාවට ලක් කළ දුම්රිය වැඩ වර්ජනය ඊයේ (07) පස්වරුවේ අවසන් විය.

වැටුප් විෂමතා සහ ශ්‍රේණි ගැටලුවට විසඳුම් දෙන්නැයි ඉල්ලා දුම්රිය වෘත්තිය සමිති පසුගිය 25 වනදා මෙම ආරම්භ අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කළේය.

මේ අතර දුම්රිය වර්ජනය අවසන් වූ බවට ප්‍රකාශ කිරීමත් සමඟ ඊයේ පස්වරුවේ සිට මගීන් කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන ආකාරයක් දක්නට ලැබුණි.

කෙසේවෙතත් අද පෙරවරුවේ ද දුම්රිය නිසි පරිදි ධාවනය නොවීම හේතුවෙන් දුම්රිය මගීන් දුෂ්කරතාවට පත්ව සිටි බව අද දෙරණ වාර්තාකරුවන් සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී දුම්රිය නියෝජ්ය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පැවසුවේ දීර්ඝ කාලයක් දියත් වූ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් අවසන් වීමෙන් පසු සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම සදහා යම් කාලයක් ගතවන බවයි.

https://www.youtube.com/watch?v=0wHjvcxaELU#t=6

***************************************

පන්නිපිටිය ධර්මපාල විදුහල අසල දී පාසල් සිසුවියක් අනතුරක

(08.10.2019 – 11:26 +0530 – sinhala.adaderana.lk)

කොට්ටාව, පිටකොටුව හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අසල සිදුවු රිය අනතුරකින් පාසල් දැරියක් බරපතළ තුවාල ලබා ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊයේ (07) සවස මෙම අනතුර සිදුව ඇත්තේ පාසල ඉදිරිපිට ඇති කහ ඉර මතදීය.

පාරේ වම් පස සිට කහ ඉර මතින් ඇවිද යන මෙම පාසල් සිසුවියගේ රතු පැහැති මෝටර් රථයක් ගැටෙන අතර, එයින් බරපතළ තත්ත්වයෙන් සිටි සිසුවිය දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

පාසල ඉදිරියෙන් පදිකයින්ට මාරු වීම සඳහා ගුවන් මාර්ගයක් ද ඇති අවස්ථාවක මෙම අනතුර සිදුව ඇති අතර එය අසල වු CCTV කැමරාවක ද සනිටුහන්ව ඇත.

කොට්ටාව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

https://www.youtube.com/watch?v=SxY3W-CXXig#t=6

***************************************

කෝටි ගණනක අයිස් සමඟ මව සහ දියණිය ගුවන් තොටේ දී මාට්ටු

(08.10.2019 – 10:33 +0530 – sinhala.adaderana.lk)

රුපියල් දෙකෝටි පනස් හතර ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ මවක් සහ දියණියක් කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාරියන් දෙදෙනා ඉන්දියාවට ගොස් රෙදිපිළි මෙරටට රැගෙන විත් අලෙවි කරන ව්‍යාපාරිකයන් වන අතර, මව වත්තල ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි වියේ පසුවන්නියකි.

ඇයගේ දියණිය 36 හැවිරිදි, කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඔවුන් දෙදෙනා ඊයේ(07) රාත්‍රී 10.15ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 124 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලුවල තිබූ රෙදි පිළි අතර වූ, සිවිලිම් විදුලි පංකා අඩංගු පෙට්ටි දෙකක, එහි මෝටර් කොටස අඩංගු පෙට්ටි තුළ මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන තිබුණි.

එහිදී මව විසින් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 500 ක් ද , දියණිය විසින් රැගෙන ආ විදුලි පංකාවේ මෝටරය අඩංගු පෙට්ටිය තුළ රුපියල් එක් කෝටි හාර ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 040 ක් ද සගවා ගෙන සිටිය බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් සිදු කරයි.

https://www.youtube.com/watch?v=N-k5dpSMD1c#t=6

***************************************

දික්ඔය දී පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් ප්‍රපාතයකට – කුඩා ළමුන් 18 ක් රෝහලට

(08.10.2019 – 16:07 +0530 – sinhala.adaderana.lk)

හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කල පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබේ.

එම බස රථයේ ගමන් ගත් පාසල් ළමුන් 18 සහ වැඩිහිටියන් 10 දෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලීසිය පවසයි.

අද (08) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදීය.

ධාවනය වෙමින් තිබු බස් රථයේ ඉදිරියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලොරි රථයට ඉඩ ලබා දිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයට පෙරලි ඇති බව පොලීසිය පැවසූවේය.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක් පැවති බව පොලීසිය සඳහන් කරයි.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික ජාත්‍යන්තර පාසලක අද පැවති පුජාවකට සහභාගි වි ආපසු නිවස කරා යමින් සිටි ළමුන් පිරිසක් සහ ඔහුන්ගේ දෙමාපියන් පිරිසක් මෙලෙස තුවාල ලබා ඇත.

අනතුරෙන් තුවාල ලැබු ළමුන් වයස අවුරුදු 6 ත් 15 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්,තුවාල ලැබු පාසල් සිසුන්ගේ සහ වැඩිහිටියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේය.

අනතුරින් බස් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අනතුර පිළිබඳව හැටන් පොලීසිව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

https://www.youtube.com/watch?v=78vrHFBseH0#t=6

+++++++++++++++++++++

පාසල් බස් රථය ප්‍රපාතයට පෙරළී තුවාල ලැබූ ළමුන් ගණන ඉහළට

(08.10.2019 – 17:20 +0530 – sinhala.adaderana.lk)

හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කල පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබිණි.

එම බස රථයේ ගමන් ගත් පාසල් ළමුන් 28 සහ වැඩිහිටියන් සිව් (04) දෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලීසිය පවසයි.

හැටන් ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අද (08) පස්වරු 3 ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජ වත්ත ප්‍රදේශයෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයට පෙරළී තිබේ.

රෝහල් ගත කල සිසු සිසුවියන් 28 දෙනෙකුගෙන් 20 දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සෙසු අය බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව පොලීසිය පවසයි.

අවුරුදු 6 සිට අවුරුදු 15 දක්වා පිරිමි සහ ගැහැණු ළමුන් අනතුරෙන් තුවාල ලබා ඇත.

එම සිසුන්ගේ තත්ත්වයද බරපතළ නෙවන බව පොලීසිය පැවසුවේය.

ධාවනය වෙමින් තිබු බස් රථය ඉදිරියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වැන් රථයක් ඉදිරියට ධාවනය වු බවත්, වැන් රථයට ඉඩ ලබා දිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

බස් රථය අනතුරට පත් ස්ථානයේ මාර්ගය පටු නිසා එම ස්ථානයේ අනතුරෙන් බස් රථයේ රියදුරාද සුළු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරික්ෂණ පවත්වයි ෴

+++++++++++++++++++++

***************************************

Hiru TV – Salakuna – Episode 204 – 2019-10-07
Udaya Gammanpila – 92 min.s

***************************************

රටම කළඹමින් ගම්පොළදී අභිරහස් ලෙස අතුරුදන් වූ ගුරුවරියගේ මළ සිරුර අවසානයේ හමුවූ තැන

(08.10.2019 – 17:04 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 01 වනදා ගම්පොළ ප්‍රදේශයේදී අතුරුදන්වූ ගුරුවරියගේ මළ සිරුර වික්ටෝරියා ජලාශයේ තිබී හමුවී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ නාවික හමුදා කිමිදුම් කරුවන් විසින් මළ සිරුර සොයාගත් බවයි තලාතුඔය පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක්.

ඇයගේ දේහය පියා විසින් හඳුනාගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය ගම්පොළ මූලික රෝහල වෙත යවා තිබෙනවා.

තලාතුඔය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

***************************************

ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව අඟල් 26 ක් දිගයි

(08.10.2019 – 13:11 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ සම්පූර්ණ දිග අඟල් 26 ක් බව මැතිවරණ කොමිසම පවසනවා.

ජනාධිපතිවරණයේ ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් මේ වන විට රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.

ඡන්ද පත්‍රිකාව දළ වශයෙන් අඟල් දෙකක් වූ අතර උප පත්‍රිකාව අඟල් 24 කින් සමන්විතයි.

මෙලෙස පසුගිය වසරවටල සාපේක්ෂව ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකාව දිගුවීමට හේතු වූයේ තරඟ කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ යාමයි.

ඒ අනුව එක් මධ්‍යස්ථානයකට පත් කළ හැකි ඡන්ද පොළ නියෝජිතයින් සංඛ්‍යාව 70 ක් වන අතර, ගණන් කිරීමේ නිලධාරීන් 175 ක් දක්වා ඉහළ යනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *