ගොවි ණය සියල්ල කපා හරිනවා – ගෝඨාභය රාජපක්ෂ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගොවි ණය සියල්ල කපා හරිනවා – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• මොරගහකන්දේ වතුර වැඩි කල් නොගොස් අනුරාධපුරයට – මහින්ද රාජපක්ෂ (විඩියෝ)

• විදුලි බල මණ්ඩලය – කෝප් කමිටුවෙන් තවත් අනාවරණයක් (විඩියෝ)

• ආයෙත් හකීම්ලා බදියුදීන්ලා පැත්ත පළාතේවත් ගාවගන්න ඕනෙ නෑ – අලි සබ්රි (විඩියෝ)

• පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටේ

• පොලිස් ආරක්ෂාව මැද ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

• සජිත්ට විරුද්දව මහා පරිමාණ වංචා චෝදනාවක්

• චිත්‍රශිල්පී සොයිලිස් මෙන්ඩිස් සූරීන් වෙනුවෙන් මුද්දරයක්

• චන්ද්‍රගුප්ත තේනුවරගේ අපහාසාත්මක ප්‍රකාශය, ඉල්ලා අස්කර ගත යුතු බව අබාධිත රණවිරුවන් කියයි (විඩියෝ)

• ආබාධිත රණවිරුවන්ගෙන් චෝදනාවක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ගොවි ණය සියල්ල කපා හරිනවා – ගෝඨාභය රාජපක්ෂ

(09.10.2019 – 19:05 +0530 – sinhala.adaderana.lk)

සියලු ගොවි ජනතාවට තම රජයක් යටතේ නොමිලේ පොහොර සහනාධාරය ලබා දෙන බවත්, සියලු වගා ණය කපා හරින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුරයේ දී සිය මංගල ජනරැලිය අමතමින් සඳහන් කළේය.

එසේම අසාධාරණ අයුරින් සිරගත කර සිටින සියලු රණවිරුවන්ට තමා ජනාධිපති ධුරයට පත් වූ දිනම නිදහස ලබා දෙන බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.

‘සාර්ථක දැක්මක් – වැඩකරන රටක්’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා පවත්වනු ලබන ජන රැළි මාලාවේ සමාරම්භක ජනරැළිය අද (09) පස්වරුවේදී පැවැත්වුණේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදීයි.

ඊට විශාල ජනකායක් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව සිටියේය.

රැළිය පැවැත්වෙන අතරතුරදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සල්ගාදු පිටිය වෙත පැමිණි අතර එහිදී ඔහුට පැමිණ සිටි පිරිසගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක හා වීරකුමාර දිසානායක යන මහත්වරුන්ද වේදිකාවට එක්වුණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආමි කාරයා, මිලිටරි කාරයා, නේවි කාරයා ලෙස ත්‍රිවිධ හමුදාව ඇමතු යුගය අවසන් කර 2015 දී රණවිරුවාට අභිමානයක් ඇති කර දීමට හැකියාව ලැබුණු බවයි.

එසේ අභිමානයක් ලබා දුන් රණවිරුවා යුධ අධිකරණයට ගෙනයාමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බවත් ගෝඨාභය මහතා පවසයි.

නිදහසින් පසු මේ රටේ ගොවියාට ඉහළම වටිනාකමක් හා ආදායමක් ලබා දුන් යුගය මහින්ද රාජපක්ෂ යුගය බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++

මොරගහකන්දේ වතුර වැඩි කල් නොගොස් අනුරාධපුරයට – මහින්ද රාජපක්ෂ

(09.10.2019 – 19:21 +0530 – sinhala.adaderana.lk)

පානීය ජලය උතුරු මැද පළාත්වල ජනතාවගේ නිවසටම ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

‘සාර්ථක දැක්මක් – වැඩකරන රටක්’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා පවත්වනු ලබන ජන රැළි මාලාවේ සමාරම්භක ජනරැළිය අද (09) පස්වරුවේදී පැවැත්වුණේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදීයි.

මොරගහකන්ද ජලාශයේ වතුර වැඩි කල් නොගොස් අනුරාධපුරය ජනතාවට ලබා දෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

+++++++++++++++++++++

සාර්ථක දැක්මක් – වැඩ කරන රටක්..!ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාරම්භක ජනරැළිය – අනුරාධපුරය

Posted by SLPP Media Centre on Wednesday, October 9, 2019

සාර්ථක දැක්මක් – වැඩ කරන රටක්..!ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාරම්භක ජනරැළිය – අනුරාධපුරය

Posted by SLPP Media Centre on Wednesday, October 9, 2019

***************************************

විදුලි බල මණ්ඩලය – කෝප් කමිටුවෙන් තවත් අනාවරණයක්

(09.10.2019 – 18:38 +0530 – sinhala.adaderana.lk)

තුර්කි නැවකින් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා පිළිබද තමන්ට කිසිදු මතකයක් නොමැති බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.

පොදු ව්‍යාපාර පිළිබදව කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරින් ඊයේ කැඳවු අවස්ථාවේදීයි.

විදුලි බල මණ්ඩලයේ 2018 වසරේ අලාභය රුපියල් මිලියන 26,762 ක් ව තිබියදී 2019 වසරේ හදිසි මිලදී ගැනීම් කෝටි 5223 ක සිදුකර ඇති බව මෙහිදී අනාවරණ වුණි.

+++++++++++++++++++++

***************************************

ආයෙත් හකීම්ලා බදියුදීන්ලා පැත්ත පළාතේවත් ගාවගන්න ඕනෙ නෑ – අලි සබ්රි

(09.10.2019 – 17:41 +0530 – sinhala.adaderana.lk)

මුස්ලිම් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයේ කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණේ සමුළුවකදීයි.

මධුමාදව අරවින්ද මහතා විසින් පසුගියදා සිදු කළ ඉතාම පහත් ප්‍රකාශය හෙළා දකින බවත් ඒ පිළිබඳ දැනුම් දිය යුතු සියළු අංශ වෙත දැනුම් දුන් බවත් ඒ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ පිළිබඳව දැනුම් දුන් පසු පිවිතුරු හෙළ උරුමයේ සියලු තනතුරුවලින් මධුමාදව අරවින්ද මහතා ඉල්ලා අස් වු බවට ඒ මහතා එස් එම් එස් පණිවුඩයකින් දැනුම් දුන් බවත් අලි සබ්රි මහතා පැවසීය.

ජාතී වාදය කුමන පැත්තකින් මතු වුව ද ඊට විරුද්ධව නැඟී සිටින බවත් ජාති වාදින් සමඟ එක්ව ගමනක් යා නොහැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩි හැකියාව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත් එම ජයග්‍රහණයේ කොටස්කරුවන් වීමට එක් විය යුතු බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් නැවතත් හකීම්, බදියුදීන් කිසි ලෙසකින්වත් ළං කර ගත යුතු නැති බවත් තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිවාදියෙක් නොවන බවට ඉතා හොඳින් හදුනන බවත් අලි සබ්රි මහතා පැවසීය.

ගෝඨාභය මහතා ඉතාමත් නිහතමානී දූරදර්ශී නායකයෙක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

***************************************

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටේ

(10.10.2019 – 09:57 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක් හා අම්පාර නුගේලන්ද ප්‍රදේශයේ සිට නවගිරියාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් පසු පෞද්ගලික බස් රථය අඩි 40 ක පමන ප්‍රපාතයකට පෙරලි ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ .

සිද්ධියෙන් පෞද්ගලික බස් රථයේ සිටි කිහිපදෙනකු තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

***************************************

පොලිස් ආරක්ෂාව මැද ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

(10.10.2019 – 07:18 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම පොලිස් ආරක්ෂාව යටතේ රජයේ මුද්‍රණාලය ආරම්භ කර තිබෙනවා.

ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් 35 දෙනාගේ නම් අකාරාදි පිළිවෙලට සකස් කර මැතිවරණ කොමිෂන් සභාව පෙරේදා මුද්‍රණාලයට භාරදී තිබුණා.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී අවශ්‍ය කරන නිල ඡන්ද පත්‍රිකා එක්කෝටි හැට ලක්ෂයක් පමණ මුද්‍රණය කරනු ලබන බවයි මැතිවරණ කොමිසන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන්කළේ.

නිල ඡන්ද පත්‍රිකාව අඟල් 26 ක් දිගින් යුක්ත අතර, එය ජනාධිපතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව බවටයි සැළකෙන්නේ.

මේ අතර හෙට පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරු 7 ට පමණ ආරම්භ කළා.

ඇල්පිටිය වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සිට එම කටයුතු ආරම්භ කෙරුණු බවයි ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් යූ.කේ. චන්ද්‍රලාල් සඳහන් කළේ.

එසේම ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමට අදාළ සමස්ත ප්‍රතිඵලය හෙට රාත්‍රී 10 ට පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මේ වනවිට පැමිණිලි 46 ක් ලැබී තිබෙනවා.

තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක්ද ඒ අතර වන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එමෙන්ම පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 36 ක් ලැබී ඇති බවයි ෴

***************************************

සජිත්ට විරුද්දව මහා පරිමාණ වංචා චෝදනාවක්

(09.10.2019 – 22:13 +0530 – lankacnews.com)

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

ඕනෑම පුද්ගලයෙකුට හෝ සමාගමකට ව්‍යාපාරික කටයුත්තක් සදහා කෙටි දුරකතන අංකයක් ලබා ගැනීමට අවස්ථාව ඇත. ඒ සදහා කිසියම් මුදලක් අදාල සමාගමට ගෙවීම අනිවාර්යෙන්ම කල යුතුය. සියලුම දුරකතන සමාගම් සදහා කෙටි අංකයක් ලබා ගැනීමට නම් විදුලි සංදේශ නියාමන කොමිෂමට රැපියල් 750,000.00 මුදලක් හා අදාල බදු මුදල් ගෙවා වර්ෂයක් සදහා කෙටි අංකයක් ලබා ගත හැක.

13xx අංකයෙන් ආරම්භ කරනු ලබන අංකය ලබා දෙනු ලබන්නේ පුද්ගලික අංශයේ ආයතන සදහාය. විදුලි සංදේශණ නියාමන කොමිෂන් සභාවේ නීති රීති වලට අනුව එසේ ලබා ගත් කෙටි අංකයක් වෙනත් කටයුතු සදහා හෝ වෙනත් අය සදහා ලබා දීම නීති විරෝධී වේ.එසේ කල හොත් අදාල කෙටි අංකය අවලංගු කිරීමට කොමිෂමට බලය ඇත.

මෙවර ජනාධිපතිවරණය සදහා තර වදින සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීම සදහා මේවන විට 1326 දරණ කෙටි දුරකතන අංකය ලබා දීඇත. එම අංකය අයිති සමාගම වන්නේ Rakwana Minaral Exploration Pvt Ltd සමාගමයි. 2019/08/22 දින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යවනු ලබන ලිපියක් මගින් දැනුම් දෙනු ලබන්නේ අදාල කෙටි දුරකතන අංකයට ලැබෙන සියලුම ඇමතුම් 011 530 0801 දුරකතන අංකයට හරවා යවන ලෙසයි. 13 අංකයෙන් ආරම්භ වන කෙටි අංක ඇතුලත් නාමාවලියේ 1326 අංකය සදහන් කර නැත.

එක් වරක් එම දුරකතන අංකයට ඇමතුමක් ලබා දුන් විට ඔහුගේ මැතිවරණ කාර්යාලයෙන් නිතර නිතර ග්‍රාහකයා වෙත දුරකතන ඇමතුම් හා කෙටි පණිවිඩ ලැබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නීති රීති අනුව මෙසේ කිරීම නීති විරෝධී වේ.

රටේ පාලකයා වීමට සිතා සිටින පුද්ගලයෙකු රාජ්‍ය ආයතනයකට බලපෑම් කර හෝ නොකර රටේ පවතින නීති රීති උල්ලංඝණය කිරීම අප සංවිධානය තරයේ හෙළා දකිමු. මෙම රජයේ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා වන්නේ නීතීඥයෙකු වන අජිත් පී පෙරේරා මහතාය ඔහුගේ මුහුණු පොතේ ද 1326 දුරකතන අංකයක් ලබා ගෙන සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා තිබීම දැක ගත හැකි විය. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු කැබිනට් අමාත්‍යධූරයක් ලබා ගැනීමට සිහින දකින අජිත් පී පෙරේරා මහතා අමු අමුවේ මෙරට ආයතනයක් තුල පවතින නීතිරීති උල්ලංඝණය කිරීම ඊටත් වඩා පිළිකුල් සහගතය.

තම අනාගත පාලකයා තෝරා ගැනීම සදහා ජනතාවට අවස්ථාව ලබා දිය යුතු සේම සෑම අපේක්ෂකයෙකුහටම සාධාරණ අවස්ථා ලබා දීම පිළිබදව සොයා බැලීම අප සංවිධානයේ අරමුණ වන බැවින් සාධාරණ හා ස්වාධීන ජනාධිපතිවරණයක් පැවැත්වීම සදහා අප අවධියෙන් සිටින බවද මතක් කරමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

***************************************

චිත්‍රශිල්පී සොයිලිස් මෙන්ඩිස් සූරීන් වෙනුවෙන් මුද්දරයක්

(08.10.2019 – 15:55 +0530 – lankadeepa.lk)

කැලණි විහාරයේ බිතු සිතුවම් ඇඳීමෙන් ලොව පුරා ජනාදරයට පත් චිත්‍ර ශිල්පියකු වූ සොයිලිස් මෙන්ඩිස් මහතා වෙනුවෙන් අද (08) තැපැල් මූලස්ථානයේදී මුද්දරයක් නිකුත් කෙරිණි.

ඒ මහතාගේ නම බොහෝ දෙනා ව්‍යවහාර කරනුයේ සෝලියස් ලෙස වුවද, එය සොයිලියස් ලෙස හෝ සොයිලිස් ලෙස නිවැරදි විය යුතුය.

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය නිකුත් කළ මෙම මුද්දරය රු. 15.00 ක වටිනාකමකින් යුතුය.

මුද්දරය සඳහා සිතුවම නිර්මාණය කරන ලද්දේ පොත්පිටියගේ ඉසුරු චතුරංග මහතා විසිනි.

***************************************

චන්ද්‍රගුප්ත තේනුවරගේ අපහාසාත්මක ප්‍රකාශය, ඉල්ලා අස්කර ගත යුතු බව අබාධිත රණවිරුවන් කියයි

(10.10.2019 – 20:22 +0530 – hirunews.lk/sinhala)

රණවිරු ගාය යැයි පවසමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය, ජාතිය ඉදිරියේ ඉල්ලා අස්කර ගත යුතු බව යුද්ධයේදී අබාධයට ලක්වූ රණවිරුවන් පිරිසක් පවසනවා.

මාතරදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් මේ බව සදහන් කළ අතරල විවිධ පාර්ශ්ව ද තේනුවර මහතාගේ ප්‍රකාශයට විරෝධය පළ කළා.

***************************************

ආබාධිත රණවිරුවන්ගෙන් චෝදනාවක්

(10.10.2019 – 20:25 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රණවිරු අරගලය සිදුකළ ස්ථානයට පැමිණීම හේතුවෙන් තම විශ්‍රාම වැටුප් අරගලය මැතිවරණ නීතියට හසුවී ඇතැයි ආබාධිත රණවිරුවන් චෝදනා කරනවා.

ඔවුන් මේ බව ප්‍රකාශ කළේ මාතරදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *