ගුරුකන්ද විහාර භූමිය බැකෝ කරයි – ආරක්ෂාවට සිටි තරුණයාට මරා වල දමන බවට තර්ජන

මුලතිව් නයාරු ගුරුකන්ද විහාරය අසල බොරළු කපන්නත් උත්සාහයක්

(10.10.2019 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනයට තුඩු දුන් මුලතිව් නයාරු – ගුරුකන්ද රජමහා විහාරස්ථාන සීමාවේ බොරලු කැපීමට පැමිණි පිරිසක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ලබාදී ඇති බව පවසමින් අද (10) උදෑසන මෙම පිරිස ප්‍රදේශයට පැමිණ තිබුණා.

කෙසේ වෙතත්, විහාරස්ථානයේ, දායක සභාවේ මැදිහත්වීමෙන් මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබෙනවා.

පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ බොරලු කැපීම නතර කරන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

පසුගියදා ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු සම්බන්ධයෙන් ද, අධිකරණ නියෝගයක් ලබාදුන් අතර පසුව, එම නඩු කටයුතු අවසන් කෙරුණා.

මේ අතර, මුලතිව් – කොක්කුතුඩුවායි කුරුළු අභය භූමියට හා කඩොලාන රක්ෂිතයට අයත් අක්කර 500 කට ආසන්න ප්‍රදේශයක් කිසියම් පිරිසක් විසින් ගොඩකරමින් සිටින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් විසින් බැකෝ යොදා ගනිමින් මෙලෙස රක්ෂිතය විනාශ කරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත්, අද එම ස්ථානයට වනජිවි නිලධාරින් ද පැමිණ සිටි අතර, ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

+++++++++++++++++++++

නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ භාරකරුට පහරදෙන බවට තර්ජනයක්

(11.10.2019 – 13:10 +0530 – sinhala.adaderana.lk)

මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථා‍නයේ භාරකරුට පහරදෙන බවට තර්ජනය කරමින් දෙමළ දේශපාලඥයින් ඇතුළු පිරිසක් විහාර භූමියේ පවතින කෝවිල වෙත පැමිණ අද (11) පුජාවක් කරමින් සිටින බව විහාරස්ථ දායක සභාව පවසයි.

විහාරස්ථ දායක සභා‍ව පැවසුවේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක් විහාරයේ වර්තමානයේ සිටින භාරකාර තරුණයා වෙත පහරදීමට තැත් කරමින් තර්ජනය කොට ඇති අතර,විහාර භූමියේ මඩුවක් අටවමින් කෝවිලේ පුජාවක් කරමින් සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විහාර තාවකාලික භාරකාර කැළුම් බංඩාර තරුණයාගෙන් විමසීමේදී පැවසුවේ වර්තමාන විහාරාධිපති නාහිමියන් බැහැරක් වැඩ ඇති බැවින් තමන්ට තාවකාලිකව විහාරය බලා ගැනීමට පවරා ගිය බවයි.

එහිදි අද (11) උදැසන පැමිණි රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් විහාරය වෙත ට්‍රැක්ටර රථ වලින් පැමිණ මඩුවක් ගසා විහාරයේ ඇති කෝවිලේ පුජාවක් කරමින් සිටින බවයි.

අදාළ අවස්ථාවේ පැමිණ සිටි පුද්ගලයින් තමන්ට පහරදෙන බවට තර්ජනය කළ බවත්, ඒ අතර රවිහරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සිටින බවත් පැවසීය.

විහාරස්ථානයේ ආරක්ෂාවට පොලිසිය යොදා ඇති බවත්, දෙමළ ජනතාව පැමිණ සිදුකළ තර්ජනය කිරීම හේතුවෙන් තමන් බියෙන් පසුවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසියෙන් සිදුකළ විමසීමකදී පොලීසිය පැවසුවේ විහාරයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය යොදා ඇති බවයි ෴

+++++++++++++++++++++

ගුරුකන්ද විහාර භූමිය බැකෝ කරයි – ආරක්ෂාවට සිටි තරුණයාට මරා වල දමන බවට තර්ජන

(11.10.2019 – colombotoday.com)

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති භූමිය කිසියම් පිරිසක් විසින් ඊයේ (10) උදෑසන බැකෝ යන්ත්‍ර යොදාගනිමින් විනාශකර තිබේ.

මෙම පිරිස සඳහන් කර ඇත්තේ පස් ලබාගැනීම සදහා මෙම භූමිය යොදා ගන්නා බවයි. මෙම පස් කැපීම සදහා ප්‍රදේශීය සභාව මගින් අවසර පත්‍රයක් නිකුත් කර තිබෙන බව එම පස් කැපීමේ නිරත පිරිස් පවසයි. නමුත් මෙම භූමිය අයත්ව තිබෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පස් කැපීම සදහා කිසිදු අවසරයක් ලබාදී නොමැත.

මීට පෙරද මෙම ස්ථානයෙන් මාර්ග තැනීම සදහා පස් කැපීමට සූදානම් වූ අවස්ථාවේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එන වලක්වන ලදී.

මෙම සිදුවීම පිළිබදව විමසීමට එම ස්ථානයට ගිය ගුරුකන්ද විහාරස්ථානයේ ආරක්ෂාවට සිටින තරුණයාට අදාල පස් කපන බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරු යැයි පවසන පුද්ගලයෙකු විසින් එම තරුණයාව මරා වල දමන බවට තර්ජනය කර තිබේ.

මෙම තර්ජනය කිරීම් සිදුවන ආකාරය වීඩියෝව පහතින් දැක්වේ :

https://www.facebook.com/kalum.bandara.75/videos/2514427705342859/

+++++++++++++++++++++

https://www.facebook.com/kalum.bandara.75/videos/2514411862011110/

+++++++++++++++++++++

https://www.facebook.com/kalum.bandara.75/videos/2515517418567221/

+++++++++++++++++++++

TNA මංත්‍රී රවි හරන් ඇතුළු පිරිසක් ගුරුකන්ද විහාරයට කඩා පනිති

(11.10.2019 – colombotoday.com)

දෙමල ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මංත්‍රී රවිහරන් ඇතුළු පිරිසක් මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාර භූමියට අද (11) බලහත්කාරයෙන් පැමිණ කිසියම් කටයුත්තක නියෙලෙමින් සිටිනවා. ඒ සඳහා මුලතිව් පොලිස් ස්ථානාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණයෙන් ආරක්ෂාවද සපයා ඇති බවයි වාර්තා වන්නේ.

වතුර බවුසරයක්ද විහාර භූමියට ගෙනවිත් ඇති අතර විහාර භුමියේ අනවසරයෙන් තාවකාලික ගොඩනැගිල්ලක් ද ඉදිකර තිබෙන බවයි වාර්තා වන්නේ. මෙලෙස පැමිණ සිටින පිරිස පන්සලේ රැදී සිටින පුද්ගලයින්ට තර්ජනය කරමින් හැසිරෙමින් සිටින අතර මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් ලබාගත් දර්ශන….

+++++++++++++++++++++

තර්ජන අඩු නැති ගුරුකන්ද

(11.10.2019 – 19:49 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා ඇතුළු පිරිසක් විහාරයේ රැඳී සිටි තරුණයෙකුට තර්ජනය කර පහරදීමට තැත් කර තිබෙනවා.

දායක සභාව චෝදනා කරන්නේ විහාරාධිපති හිමි බැහැරව සිටි අවස්ථාවක මෙම පිරිස විහාර භූමියේ තාවකාලික මඩුවක් ඉදිකිරීමට සූදානම්වූ බවයි.

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරායේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති හිමිගේ අපවත් වීම හේතුවෙන් විහාර භූමියේ ඇති කෝවිල් පරිශ්‍රය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසක් එහි පූජාවක් සූදානම් කර තිබෙනවා.

ඒ සඳහා විහාර භූමියේ තාවකාලික මඩුවක් ඉදිකිරීමට ඔවුන් කටයුතු කළා.

කෙසේ වෙතත් මෙම ඉදිකිරීම් සිදුවන අවස්ථාවේදී ගුරුකන්ද රජමහා විහාරාධිපති පූජ්‍ය මිහිඳුපුර රතන දේවකික්ති හිමියන් විහාරස්ථානයේ රැදී සිට නැහැ.

දෙමළ ජාතික සන්ධාන හිටපු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා ඇතුළු මඩුව ඉදිකිරීමට පැමිණි පිරිස විහාරය රැක බලාගැනීමට රැඳී සිටි කැලුම් බණ්ඩාර නම් තරුණායට තර්ජනය කර පහරදීමට උත්සාහ කර තිබුණා.

මේ අතර මුලතිව්ල කෝකිලායිල කොක්කුතුඩුවායි හි කුරුළු අභයභූමිය හා කඩොලාන කැළෑවට අයත් ප්‍රදේශය කිසියම් පිරිසක් විසින් හෙළි කිරීමට විරෝධය පළ කරමින් ජනකපුර ප්‍රදේශවාසීන් පිරිසක් මුලතිව් වැලිඔය මාර්ගය අවහිර කරමින් අද විරෝධතාවක නිරත වුණා.

ඔවුන් පවසන්නේ මහවැලි එච් කලාපයේ නිලධාරීන් මුලතිව් වනජීවි නිලධාරීන් හා වනසංරක්ෂණ නිලධාරීන් මෙන්ම දිසාපති කාර්යාලයේ නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවයි.

කෙසේ වෙතත් මුලතිව් වන ජීවි අඩවි වන නිලධාරී හේමජිත් මනුප්‍රිය සදහන් කළේ හෙළි පෙහෙළි කළ ප්‍රදේශය තම දෙපාර්තමේන්තුවට අයත් කොටසක් නොවන බවයි.

මේ අතර විරෝධතාකරුවන් මෙම හෙළි කිරීමට ප්‍රදේශයේ දෙමළ දේශපාලනඥයින්ගේ අනුග්‍රහය ලැබෙන බවටද චෝදනා කරනවා.

කොක්කුතුඩුවායි ප්‍රදේශයේ භූමිය මෙලෙස හෙළි කිරීම සම්බන්ධයෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් සිදු කළා.

+++++++++++++++++++++++++++++++++++

කුරුළු අභය භූමිය හෙළි කිරීමට එරෙහිව ජනකපුර වැසියන් විරෝධයක

(11.10.2019 – 17:08 +0530 – sinhala.adaderana.lk)

මුලතිව් කොක්කුතුඩුවාහිහි කුරුළු අභය භූමියට හා කඩොලාන කැළෑවට අයත් ප්‍රදේශය මේ වන විට කිසියම් පිරිසක් විසින් හෙළි කරමින්, කුඹුරු වගා කරමින් සිටින අතර අදාළ විනාශය නවතා දෙන ලෙසට ඉල්ලීම් කරමින් වැලිඔය ජනකපුර වැසියන් මුලතිව් වැලිඔය ප්‍රධාන මාර්ගය වසා දමමින් අද(11) දහවල් විරෝධතාවයක නිරත වී ඇත.

ප්‍රදේශවාසීන් පැවසුවේ අදාළ ගැටළුව විසදා දෙන ලෙසට තමන් මහවැලි එල් කලාපයේ මහවැලි නිළධාරීන්, මුලතිව් වනජිවි නිළධාරීන්, මුලතිව් වන සංරක්ෂණ නිළධාරීන් හා මුලතිව් දිසාපති කාර්යාල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියදී අදාළ නිලධාරීන් නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් විරෝධතාවය සංවිධානය කළ බවයි.

මුලතිව් දමිළ ජනතාව පැමිණි පිරිසක් අභය භූමියේ පැවති අක්කර 500 කට වැඩි ප්‍රමාණයක් ඩෝසර් රථ යොදා ගනිමින් හෙළිපෙහෙලි කොට වන වගාවන් හා කුඹුරු වගාවන් ආරම්භ කොට ඇති බවද ඔවුහු පවසති.

ප්‍රදේශයේ දෙමළ දේශපාලඥයින්ගේ හා රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙම ඉඩම් හෙළිපෙහෙළි කොට වගාබිම් ආරම්භකර ඇති බවත් එම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ වන සතුන් හාවල් අලින් අවට ගම්මානවලට ගම්වැදීම හේතුවෙන් එම ජනතාවගේ වගාබිම් විශාල හානියක් සිදුවී ඇති බව පෙන්වා දෙයි.

කුරුළු අභය භූමියක් මෙලෙස විනාශ කොට වගා ආරම්භ කිරීම පිළිබඳ ප්‍රදේශවාසීන් ලෙස තමන් දැඩි කම්පනයට පත්ව සිටින බවත් මෙම තත්ත්වය හේතුවෙන් අවට වනාන්තර වල ද පරිසරයට දැඩි බලපෑමක් සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ඇතැමුන් වගාබිම් වෙන් කරගෙන ඇති අතර ප්‍රදේශීය සභා මාර්ගයෙන් එම වගාබිම් වෙත ඇතුළුවීම සඳහා නව මංමාවත් ද සකස් කිරීම ආරම්භ කොට ඇති අතර මේ සඳහා දේශපාලඥයින්ගේ මැදිහත්වීම හේතුවෙන් වන විනාශය නවත්වා ගැනීමට කිසිවෙකුට නොහැකි වී ඇතැයිද කීය.

අභය භූමිය හෙළි කිරීම සම්බන්ධයෙන් මුලතිව් වනජීවි අඩවි වන නිලධාරී හේමජිත් මනුප්‍රිය මහතාගෙන් විමසීමේදී පවසා සිටියේ ඉඩම් ගොඩකර ඇති ප්‍රදේශය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශයක් නොවන බවයි.

අදාළ ගැටළුව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් හා මහවැලි නිළධාරීන් අතර ඊයේ(10) සාකච්ජාවක් පැවැත්වු අතර එහිදි මහවැලි නිළධාරීන් පැවසුවේ තමන්ගේ ආයතන ප්‍රධානීන් අද (11) කැඳවා ගැටළුවට යම් විසදුමක් ලබාදෙන බවයි.

නිළධාරීන් විවිධ ආයතන වෙත ගැටළුව මාරුකරමින් සිටින අතර රජය මැදිහත් වී මහා වන විනාශය නවතා දමන ලෙසට ඉල්ලීම් කරමින් ප්‍රදේශවාසීන් මාර්ගය වසා දමමින් විරෝධතාවයේ නිරත විය.

+++++++++++++++++++++++++++++++++++

නන්දා මාලනී දේවිය
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Where is the lazy and uncaring government, its ministers, sjaith the defender of buddhism or the bloody police. The country has become ungovernable and the PM s going round bleating how nicely they have done to the country. Only thing they have done is robbed the country, peoples money, destroyed the peace, dividing the country and now neglecting what is left of it. I just hope people’s vote will knock off this good for nothing government off its pedestal very quickly. It is beyond our patience now.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *