ඉන්ධන හිඟයක් ?

(03.11.2017 – 21:08 +0530 – sinhala.adaderana.lk)

කොළඹ සහ ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව ඇති ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝළීම් දක්නට ලැබෙන බව අද දෙරණට වාර්තා වෙයි.

මේ හේතුවෙන් මහජනතාව දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.

කෙසේ වෙතත් මේ මොහොත වන විට කොළඹ නගරයේ බොහෝ ඉන්ධන පිරවුම් හල් වසා දමා ඇති ආකාරයක් අපට දක්නට ලැබේ.

හෙට දිනයේදී ද මෙම තත්ත්වය පැවතිය හැකි බව ඉන්ධන පිරවුම් හල්වල සේවකයෝ පවසති.

++++++++++++++++++++++++++++++

ඉන්ධන පිරවුම්හල්වල පෝළිම් දිගුවෙයි – හිඟයක්දැයි සැකයක්
(03.11.2017 – biz.adaderana.lk)

මේ වන විට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම් දක්නට ලැබෙන බව අද දෙරණ වෙත වාර්තා වෙයි. කෙසේ වෙතත් කුමන කරුණක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ දැයි නොදන්නා බව, අද දෙරණ කළ විමසීමක දී ඉන්ධන පිරවුම්හල් හිමියන් කිහිප දෙනෙකුම සඳහන් කරනු ලැබීය.

මෙය වර්ජන තත්ත්වයක් හේතුවෙන් ඇති වූවක් නොවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති අවධාරණය කර සිටී.

ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණි ඉන්ධන පිරවූ නැවක වූ ඉන්ධන බාල තත්ත්වයේ ඒවා වීම හෙතුවෙන් ඒවා ගොඩබෑමට අවසර නොදීමත්, එම නිසා ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන බෙදාහැරීමේ දී හිඟයක් ඇතිවිය හැකිබවට පැතිරී තිබෙන කටකතා මත ජනතාව මෙලෙස ඉන්ධන පිරවුම්හලවල පෝළිම් ගැසෙන්නට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඛනිජ තෙල් සංස්ථා නිලධාරියෙකු පැවසුවේ එවැනි අනිසි බියක් තබා ගැනීම අනවශ්‍ය බවත්, හෙට දිනයේ දී පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සුපුරුදු ලෙසින් සිදුකිරීමට නියමිත බවත්ය.

+++++++++++++++++++++++++++++++

පෙට්‍රල් හිඟයක්
(03.11.2017 – 19:48 +0530 – lankadeepa.lk)

රටපුරා ඉන්ධන පිරවුම්හල්වල අද (3) රාත්‍රියේ පෙට්‍රල් හිඟයක් ඇති වී තිබේ.පෙටිට්‍රල් බෙදාහැරිම පොහොය දිනයක් වු අද සිදු නොවිම හා ප්‍රමාණවත් තරම් පෙට්‍රල් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු තෙල් ගබඩා වල නොතිබිම යන කරුනු හේතුවෙන් එම පෙටිට්‍රල් හිඟය මතු වු බවද තෙල් සංස්ථා ආරංච් මාර්ග සඳහන් කරයි.

මේ අතර ලංකා ඉන්දියන් තෙල් සමාගම ඉකුත් 15 වැනි දින මෙරටට ගෙන්වන ලද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක නැවක් ප්‍රමිතියෙන් තොර බවට තහවුරු කරමින් ප්‍රතික්‍‍ෂෙප කර ඇතැයි පැවසේ .

තවද ලංකා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්විමට නියමිතව තිබු මෙට්‍රික් ටොන් 30,000 කින් යුත් පෙට්‍රල් නැවක් ලඟාවිමට තවත් සතියකින් පමණ ප්‍රමාදවිමට ඉඩ තිබෙන බවද වාර්තාවේ ෴

++++++++++++++++++++++++++++++

අනතුරු දායකයි..! දූෂිත රණතුංගලාගේ ගේමක් නිසා රට පුරා කෘතිම පෙට්‍රල් හිඟයක්..! කුමන්ත්‍රණයේ සුළ මුල මෙන්න..!!
(03.11.2017 – 08:30 +0530 – lankaenews.com)

ප්‍රතික්ෂේප කරන ලද බාල පෙට්‍රල් තොගයක් කෙසේ හෝ රට තුල විකුණාගැනීම සඳහා දූෂිත රණතුංග සොයුරන්ගේ මෙහෙයැවීමෙන් කෘතිම පෙට්‍රල් හිඟයක් මවා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය :

ඉන්දියානු තෙල් සමාගම විසින් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 40,000 ක පෙට්‍රල් තොගයක් සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් සමාගමේ කොලොන්නාව නිමාවේ රසායනාගාර පරීක්ෂණ වලින් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ රසායනාගාර පරීක්ෂණ වලින් නියමිත ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ තොගයක් බව අණාවරනය වී තිබේ. ඒ අනුව පසුගිය ඔක්තෝම්බර 17 වෙනිදා මෙම තොගය ලංකාවට ගොඩ බෑමට නියමිතව තිබුනද එය ප්‍රතික්ෂේප විය.

දූෂිත අර්ජුන රණතුංග සොයුරන් විසින් මෙකී බාල පෙට්‍රල් තොගය කෙසේ හෝ කොලොන්නාව සහ මුතුරාජවෙල ටැංකි ගබඩා වලට ගොඩ බෑමට උසස් නිලධාරීන් කණ්ඩායමක් ද සමග නොපසුබට උත්සාහයක යෙදේ.

ඒ සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් තොග හිඟවීමේ වගකීමෙන් ගැලවෙමින් ඉන්දියානු තෙල් සමාගමෙන් ගෙන්වන ලද බාල පෙට්‍රල් තොගය රට තුලට ගැනීම සඳහා බරපතල කුමන්ත්‍රණයක යෙදෙමින් සිටී. ප්‍රතික්ෂේප කළද අවස්ථාවක් ලැබෙන තෙක් ඔක්තෝම්බර් 17 වෙනිදා සිට තවමත් කොළඹට ආසන්න මුහුදේ නැංගූරම් ලා තිබෙන Torm Astrid නම් නෞකාවේ තිබෙන මෙම බාල පෙට්‍රල් තොගය කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා වලට ගොඩ බෑම සාධාරණීකරණය කිරීමට රණතුංගලා සහ දූෂිතයන් පිරිස කූඨ කුමන්ත්‍රණයක් කළහ.

නොවැම්බර් 02 එනම් ඊයේ දින ලංකාවට පැමිණීමට නියමිතව තිබූ තෙල් සංස්ථාවෙන් ගෙන්වීමට කටයුතු කළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් Neverska Lady නැවට නියමිත දිනයේ දී තෙල් පැටවීම සිතා මතා ප්‍රමාද කරන ලදී. එබැවින් එම නැව මැද පෙර දිග සිට කොළඹට පැමිණෙන දිනය නොවැම්බර් 10 දක්වා ප්‍රමාද වීම වැළැක්විය නොහැකිය.

මේ තත්ත්වය තුල තෙල් සංස්ථාව සතු පෙට්‍රල් තොග වලින් රටේ අවශ්‍යතාවයන් සඳහා පෙට්‍රල් ලබා දිය හැක්කේ තව දින 4 කට පමණි. එනම් නොවැම්බර් 07 වෙනි දින සිට ලංකාවේ පෙට්‍රල් හිඟයක් සිදුවීම වැළැක්විය නොහැකිය. මේ ආරංචි පැතිර යෑමත් සමග පෙට්‍රල් සංචිත වැඩි කර ගැනීමට යෑම නිසා අද සිටම රට තුල පෙට්‍රල් හිඟයක් ඇති වී තිබේ. කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ හිඟයට මුවා වී බාල පෙට්‍රල් තොගය රට තුල ගබඩා වලට පුරවා ගැනීමයි.

වරායෙන් ගසා කෑ දූෂිත රණතුංග අයියා මලෝ ඩබල ඊටත් වඩා ගසා කෑමේ අවස්ථා ඇති තෙල් අමාත්‍යාංශයට පත් කෙළේ යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය ෴

++++++++++++++++++++++++++++++++

රණතුංගලා සහ තෙල් ලොක්කන් එක්ව හැදූ කෘතිම පෙට්‍රල් හිඟය වසා ගන්න බොරු දාහක් කියයි..! තෙල් නැව් ගැන ඇත්ත කියන සැටලයිට් පින්තූර මෙන්න
(04.11.2017 – 12:30 +0530 – lankaenews.com)

දූෂිත රණතුංග සොයුරන් සහ තෙල් සංස්ථාවේ දූෂිත නිලධාරීන් එක්ව ප්‍රතික්ෂේපිත බාල පෙට්‍රල් තොගයක් යලි රට තුලට ගැනීම සඳහා කෘතිමව ඇති කරන ලද පෙට්‍රල් හිඟය ගැන ඊයේ රාත්‍රී ලංකා ඊ නිව්ස් කරන ලද හෙළිදරව්වෙන් පසු එය වසා ගැනීමට තෙල් සංස්ථා අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ජනමාධ්‍යයට පට්ට පල් කෙබර කෙළ තිබේ.

මේ සම්බන්ධයෙන් අද උදෑසන දෙරණ නාලිකාව විසින් කරන ලද විමසීමකදී ඔහු පවසා ඇත්තේ අපූරු කතාවකි. එනම් ලංකා අයි ඕ සී සමාගම වෙත පැමිණි ඉන්ධන නෞකාවක් ප්‍රතික්ෂේප කර යැවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා ගෙන එන ලද ඉන්ධන නෞකාවක් ලංකා අයි.ඕ.සී සමාගම වෙත ලබාදීමට පියවර ගත් බැවින් ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන හල්වල පෙට්‍රල් හිඟයක් හටගත් බවයි.

ඔහු කියන කතාව සත්‍ය සේ ගත්තද මේ තීන්දුව ගත් පුද්ගලයන් ඛනිජ තෙල් සංස්ථා සේවයෙන් පන්නා දැමීමට මේ ප්‍රකාශයම සෑහෙනු ඇත. තම ආයතනයට පාඩු විඳගෙන රට තුල ඉන්ධන හිඟයක් හදා ඉන්දියානු කොම්පැනියේ ලාභය වෙනුවෙන් මොවුන් ක්‍රියා කර තිබේ. ජනතාවට පීඩා කර ඇත්තේ ද සිතා මතා ය. රජයේ ආයතනයක නොව පුද්ගලික ආයතනයකවත් තම ආයතනයට පාඩු ලබන තීන්දු තීරණ ගන්නා මෙවැනි අපතයෝ තබා ගන්නවාද?

ඉන්ධන රැගත් මීළඟ නෞකාව එලඹෙන සඳුදා දිනය වන විට දිවයිනට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ යයි දෙරණ වැඩි දුරටත් වාර්තා කර ඇත.

එයද අමූලික බොරුවකි.

පහත සේයාරූ වලින් දැක්වෙන්නේ ලංකා ඊ නිව්ස් ඊයේ හෙළිකළ පරිදි බාල තෙල් ගෙනා Torm Astrid නෞකාව සහ තෙල් සංස්ථාවෙන් ගෙන්වීමට කටයුතු කළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් Neverska Lady නැව ලෝක නැව් ගමනාගමනය දැක්වෙන සැටලයිට් වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදේ 11 වන විට මුහුදේ තිබෙන ස්ථානයන්ය.

ඒ අනුව Torm Astrid නමැති බාල තෙල් ගෙනා නෞකාව තංගල්ලට නුදුරු මුහුදේ ගමනාන්තයක් නොමැතිව පසුගිය 29 වෙනිදා සිටම නැංගූරම් ලා සිටී. ඔවුන් එසේ බලා ඉන්නේ ඇයි..? කුමන හෝ හේතුවකින් බාල තෙල් තොගය යලි ලංකාවට ගොඩ බා ගත හැකිය යන විශ්වාසයෙන් නොවේද?

තෙල් රැගෙන එන Neverska Lady නැව ආරාබි මුහුදේ ඕමානයට නුදුරින් කොළඹ වරාය බලා එමින් තිබේ. සැටලයිට් වාර්තාව අනුව එම නැව කොළඹට ලඟා වීමට නියමිතව ඇත්තේ ලබන 09 වෙනිදා පාන්දර 12.30 ට ය. වරායට තෙල් නැවක් පැමිණි පසු එම තෙල් ඉන්ධන පිරවුම් හල් කරා ලඟා වීමට අවම වශයෙන් දින දෙකක් ගත වනු ඇත. ඒ අනුව ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇත්තේ ලබන 11 වෙනිදා වන විට ය.

මේ පිලිබඳවද තෙල් සංස්ථා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයා මාධ්‍යයට පවසා ඇත්තේ බොරුවකි. ඔහු කියන්නේ සඳුදා එනම් 06 වෙනිදා වන විට තෙල් නැවක් පැමිණෙන බවයි.

අදාල සැටලයිට සේයාරූ පහත දැක්වේ :

+++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

පෙට්‍රල් හිගයට ඇත්ත හේතුව මෙන්න…
(04.11.2017 – lankatruth.com)

මේ දිනවල රට තුළ උද්ගතව ඇති පෙට්‍රල් හිගය නිර්මාණය වීම සඳහා බලපා ඇති කරුණු සම්බන්ධයෙන් අනාවරණය කරමින් ලංකා ඛනිජතෙග් පොදු සේවක සංගමය විසින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී.ජේ. රාජපකරුණා මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපියේ පිටපතක් මේ වනවිට එම සංගමය විසින් මාධ්‍ය වෙතද නිකුත් කර තිබෙන අතර එය පහතින් පල වේ.

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *