හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකුගේ නිවසින් පුපුරන ද්‍රව්‍ය හමුවෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකුගේ නිවසින් පුපුරන ද්‍රව්‍ය හමුවෙයි

• මුස්ලිම් ජනතාව ගෝඨාභයට සහය පළ කළ යුතු බව ෆයිසර් මුස්තාපා කියයි (විඩියෝ)

• මැදපෙරදිග දුක්විඳින මෙරට කාන්තාවන් පිරිසක් හිරු අමතයි (විඩියෝ)

• ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන පරිස්සමින්

• උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහනාහිමියෝ අපවත් වෙති

• සිරිමුකයාගේ නියත පරාජයේ පෙරවදන ඇල්පිටියෙන් ලියා අවසන්

• ඇල්පිටිය ඡන්ද ප‍්‍රතිඵලය ගැන මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවේදනය

• ජනපති අතේ ඇති දූෂණ අක්‍රමිකතා වාර්තාවේ අකිල, රාජිත, සජිත්, කිරිඇල්ලගේ නම්

• තොණ්ඩමන්ගේ සහය ගෝඨාභයට (විඩියෝ)

• අන්තර්ජාලයෙන් ජනතාව මුලා කරන වංචාකරුවන් ගැන දැනුම් දීමක්

+++++++++++++++++++++++++++++++++++

හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකුගේ නිවසින් පුපුරන ද්‍රව්‍ය හමුවෙයි

(12.10.2019 – 20:17 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය, සේනුවර ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සමඟ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලදී සැකකරුගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය සහ සැක සහිත උපකරණ රාශියක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

සේනුවර යුද හමුදා කඳවුරේ නිලධාරියෙකුට ලද තොරතුරක් මත යුද හමුදා නිලධාරීන් විසින් සේනුවර කිලිවෙඩ්ඩි පාලම අසලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ටී.56 වර්ගයේ ගිනි අවියක්ද සමඟයි.

වයස අවුරුදු 36 ක් වූ ජෝසප් පීටර් රොබින්සන් නැමති අදාළ සැකකරුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත කිලිනොච්චිය අම්බාල්කුලම්හි පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී නීති විරෝධී ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය සහ තවත් සැක සහිත උපකරණ රාශියක් සොයාගෙන තිබෙනවා.

එස්.එෆ්.ජී 87 වර්ගයේ අත්බෝම්බ 3 ක්, සී ෆෝ කුඩා ප්‍රමාණයක්, සජීවි පතරොම් විශාල ප්‍රමාණයක්, දුරවිදින රයිෆලයක් ඇතුළු නීති විරෝධී අවි ආයුධ රැසක් ඒ අතරවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ඔහු සන්තකයේ තිබී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව ඇතුළත් කමිස 4 ක්ද සොයාගැනුණා.

අදාළ සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඔහුගේ නිවසේ සිටි සැකකරුගේ බිරිඳ හා සහෝදරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයට භාරදීමට නියමිත බවයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

මුස්ලිම් ජනතාව ගෝඨාභයට සහය පළ කළ යුතු බව ෆයිසර් මුස්තාපා කියයි

(12.10.2019 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අම්පාර ප්‍රෙදේශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

මැදපෙරදිග දුක්විඳින මෙරට කාන්තාවන් පිරිසක් හිරු අමතයි

(12.10.2019 – 18:52 +0530 – hirunews.lk/sinhala)

මැදපෙරදිග රටවල ගෘහ සේවයට යන මෙරට කාන්තාවන් විවිධ හිංසනයන්ට ලක්ව ඇති අයුරු හිරු ප්‍රවෘත්ති හරහා අප අවස්ථා ගණනාවකදීම අනාවරණය කළා.

මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ කළුතර – වස්කඩුව ප්‍රදේශයෙන්.

වයස අවුරුදු 43 ක් වන පුෂ්පා රංජනී කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට පිටත් වන්නේ මීට වසරකුත් මාස 8 කට පෙරයි.

නිවසක් තනා ගැනීමේ සිහිනය ඇතිව විදෙස් ගතවූ ඇය ඊයේ යළි දිවයිනට පැමිණියේ අතපය වාරු නැති රෝගියෙකු ලෙසින්.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා ආයතනයකින් ගෘහ සේවයට ගොස් ඇති පුෂ්පා රංජනීට සේවය කළ වසර ගණනට හිමි වැටුප පවා නොලැබුණු බවයි ඇගේ ඥාතීන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

දැඩි ලෙස රෝගාතුරව සිටින ඇය මේ වනවිට කතා බහ කර ගැනීමට පවා අපහසු තත්ත්වයක සිටිනවා.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයට ගොස් ඇය මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබුණා.

එහිදී ඔවුන් ලිපියක් ලබා දී ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරුණු පසු ඇය පදිංචි ප්‍රදේශය අයත් කළුතර දිස්ත්‍රික්කයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලය වෙත ගොස් වන්දි ලබා ගන්නා ලෙසයි.

පුෂ්පා රංජනී, මේ වනවිට කළුතර – නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පවුලේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, මැදපෙරදිග ගෘහ සේවය සඳහා ගොස් අසරණ වූ කාන්තාවන් රැසක් හිරු ප්‍රවෘත්ති අංශය අමතා ප්‍රකාශ කළේ වගකිව යුතු බලධාරින්ගේ අවධානයට යොමුකර කෙසේ හෝ ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා ලෙසයි.

***************************************

ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන පරිස්සමින්

(12.10.2019 – 18:13 +0530 – sinhala.adaderana.lk)

මහ වැසි සමග ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල සිට රාවණාඇල්ල දක්වා කොටසේ ස්ථාන කීපයකට අද (12) පස්වරුවේ ගල් හා පස්කඳු කඩා වැටී තිබේ.

මේ හේතුවෙන් අවධානම් තත්ත්වයක් තවමත් පවතින බැවින් විමසිලමත් රිය පදවන ලෙසට ඇල්ල පොලීසිය රියදුරන්ට අවවාද කරයි.

රාවණා ඇල්ලේ ජලයද විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් ඇල්ල ආශ්‍රිතව දියනෑමෙන් වළකින ලෙසට ද අවවාද කරයි ෴

***************************************

උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහනාහිමියෝ අපවත් වෙති

(12.10.2019 – 15:19 +0530 – lankadeepa.lk)

උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ පූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස මහ නාහිමිපාණන් වහන්සේ ඊයේ (11) උදෑසන අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 91 හැවිරිදි වියේ පසුවූහ.

වර්ෂ 1928 දෙසැම්බර් 29 වැනිදා කෑගල්ල, ගලිගමුව, කුරුණෑගොඩ ග්‍රාමයේදී උපත ලැබූ උන්වහන්සේ, 1941 වසරේ නොවැම්බර් 06 වැනිදින පැවිදි දිවියට පත්වූහ.

වර්ෂ 1950 ක්වූ ජුනි මස 22වැනිදා මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලද උන්වහන්සේ ලොව පුරා ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදීමෙන් සුවිශාල මෙහෙයක් ඉටුකළහ. එංගලන්තයේ සහ ඇමෙරිකාවේ බුදුදහම ව්‍යාප්ත කිරීම වෙනුවෙන් විහාරස්ථාන ඉදිකිරීමෙහිලා උන්වහන්සේ පුරෝගාමී වූහ.

අපවත් වන විට උන්වහන්සේ ඇමෙරිකාවේ නිව්යෝක් විහාරස්ථානයේ විහාරාධිපති ධුරය හෙබවූහ.

උන්වමන්සේගේ ආදාහන පූජෝත්සවය ඔක්තෝබර් 17වැනි බ්‍රහස්පතින්දා ඇමෙරිකානු වේලාවෙන් උදෑසන 10.30 ට ඇස්ටෝරියා බුලවාඞ් ඕසෝල් ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය ෴

***************************************

සිරිමුකයාගේ නියත පරාජයේ පෙරවදන ඇල්පිටියෙන් ලියා අවසන්

(13.10.2019 – 08:02 +0530 – lankacnews.com)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි :

ඇල්පිටියෙන් ලියැවුණේ ගෝඨාභයගේ විජයග්‍රහණයේ පෙරවදනයි!

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිව ඇත්තේ එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්ද කොට්ඨාස 17 හිම බලය එයට හිමිකර දෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහිදී ඡන්ද 23372 ක් ලබාගෙන ඇත. එය ප්‍රතිශතයක් ලෙස 56.3% කි. අප කී පරිදිම ඇල්පිටියේ රටට හිතැති ජනතාව එළැඹෙන ජනාධිපතිවරණයේ පෙරවදන ලියා ඇත. එය අප කඳවුරට ‘ජයග්‍රහණයේ පෙරවදනක්’ නොව ‘විජයග්‍රහණයේ පෙරවදනකි’.

අප එසේ පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම මැතිවරණයේදී ලබාගත් 12.7% ක ඡන්ද ප්‍රතිශතය ද සමඟ අප දේශපාලන කඳවුරට මෙම මැතිවරණයෙන් සියයට 69% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති හෙයිනි. ප්‍රාදේශීය සභාවේ සමස්ත මන්ත්‍රී ධුර සංඛ්‍යාව වන 29 න් 20 ක්ම ගෝඨාභය රාජපක්ෂයන්ගේ විජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටින දේශපාලන කඳවුරට ලැබී තිබේ. එනිසා ඇල්පිටිය පුංචි ඡන්දය ප්‍රතිඵලයෙන් ලියැවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂයන්ගේ විජයග්‍රහණයේ පෙරවදන නොවේද?

මෙම ඇල්පිටිය ඡන්ද ප්‍රතිඑලය, 2019 නොවැම්බර් 16 වැනිදාට යෙදී ඇති ජනාධිපතිවරණයේ පෙරවදන ලියන බව හොඳින් දැන සිටි එක්සත් ජාතික පක්ෂය, පරාජයේ ‘නිරුවත’ වසා ගැනීමට දැන් කුමක් පැවසුව ද ඉන් ජයගැනීමට නොකළ දෙයක් නැත. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොට්ඨාස 17 ට ඇමතිවරුන් 17 ක් යොදවා තිබුණු අතර සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබූ වහාම දිව ගියේ ද ඇල්පිටියට ය. එහෙත් මෙහිදී 24.3% ක ඡන්ද ප්‍රතිශතයක් සහිතව මන්ත්‍රී ධුර 07 කින් සෑහීමකට පත්වීමට එජාපයට සිදුව ඇති ඇති අතර ඉන් ‘සජිත් ප්‍රේමදාස මහතාගේ අන්ත පරාජයක පෙරවදන’ ද ඉතා පැහැදිලි ලෙස ලියැවී තිබේ.

මෝස්තරකාර පූච්චානම් කතා ‘ශ්‍රී මුඛයෙන්’ වදාරන්නන් වෙනුවට රට වැටී ඇති වළෙන් ගොඩගැනීමට හැකි, කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන, රට මරබියෙන් මුදවා ගත් නායකත්වයක් එළඹෙන ජනාධිපතිවරණයේ දී තෝරා ගැනීමට ජනතාව සූදානම් බව කල්කියා පෙන්වා දුන් ඇල්පිටිය ජනතාවනි, ඔබට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

+++++++++++++++++++++++++++++++++++

ඇල්පිටිය ඡන්ද ප‍්‍රතිඵලය ගැන මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවේදනය

(12.10.2019 – 06:47 +0530 – lankacnews.com)

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :

ඇල්පිටිය ඡන්ද ජයග්‍රහණය

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් ‍පක්‍ෂය හා ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රමුඛ විපක්‍ෂ සන්ධානය අති විශිෂ්ඨ ජයක් අත්කරගෙන තිබේ. මේ ඡන්දය පවත්වනු ලැබුවේ ගිය අවුරුද්ද මුලදී දුන් නාමයෝජනා අනුවය. එම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනම ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණි. නමුත් අපි දැන් එක ජනාධිපති අපේක්‍ෂකයකුගේ ජයග්‍රහණය වෙනුවෙන් සන්ධාන ගතව, ඒක බලවේගයක් බවට පත් වී සිටී. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සියලුම කොට්ඨාශ විපක්‍ෂ සන්ධානය දිනා ඇත. සමස්ථයක් හැටියට විපක්‍ෂ සන්ධානයේ පක්‍ෂ වලට වලංගු ඡන්ද වලින් 69% ක් ලැබී ඇත. එක්සත් ජාතික පක්‍ෂයට ලැබී ඇත්තේ 24% ක් පමණි. ජනතා විමුක්ති පෙරමුණටත් සාම්ප්‍රදායිකව ඔවුන්ට ලැබෙන ඡන්ද ප්‍රතිශතය පමණක් ලැබී ඇත.

රාජ්‍ය බලය උපරිම ආකරයට යොදවා, මැතිවරණ නීතිත් උල්ලංඝනය කරමින් රැකියා, ඉඩම් හා නොයෙක් ද්‍රව්‍යමය දේවල් බෙදමින්, මහජනතාව රවටා තමන්ගේ බලය රැකගැනීමට ආණ්ඩුව ගත් උත්සාහය ඇල්පිටියේ ජනතාව ඉතාමත්ම දුරදක්නා නුවනින් පරාජය කර ඇත. 2015 ජනවාරියෙන් පසු, මේ රටට සිදුවුණු වින්නැහිය ගැන අමුතුවෙන් කිවයුතු නැත. රටේ ආර්ථිකය කඩා වැටුණි. ඇල්පිටිය ඡන්දයට දින ගණනක් තිබියදී සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම සංඛ්‍යා දත්ත වලට අනුව මේ රටේ විරැකියාව තවත් වැඩි වී ඇත. රටේ ආර්ථික වර්ධන වේගය අපේ කාලයේ තිබුණාට වඩා තුනෙන් පංගුවක් දක්වා අඩු වී ඇත.

ව්‍යාපාර කඩා වැටී ඇත. රටේ ණය බර අහස උසට නැග ඇත. මෙවන් ආර්ථික පසුබෑමක් මේ අවස්ථාවේදී ඇතිවීමට කිසිඳු බාහිර, ජාත්‍යන්තර හේතුවක් නොමැත. ඉන්දියාව, බංගලාදේශය වැනි අපේ අසල්වැසි රටවල් එක පිම්මේ ඉදිරියට යමින් සිටී. මේ රටේ ඇති වී තිබෙන ආර්ථික පසුබෑම තනිකරම දේශපාලන හේතු නිසා ඇති වූවකි. එයට පිළියම් යෙදීමට හැකිවන්නෙද දේශපාලනය තුළින්ම පමණි. ඇල්පිටියේ ජනතාව මුලපිරුවේ එයටයි. යහපාලන ආණ්ඩුව නැති කළේ ආර්ථිකය පමණක් නොවේ. රටේ පාලන තන්ත්‍රයත්, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයත් ඔවුන් විනාශ කළේය. පළාත් පාලන ඡන්දය ඔවුන් අවුරුදු තුනකින් ප්‍රමාද කළේය. පලාත් සභා ඡන්ද මොනම ක්‍රමයකින්වත් පැවැත්වීමට බැරි තැනට වැඩ සැලැස්සුවේය. පසුගිය වසරේ කැඳවපු පාර්ලිමේන්තු මැතිවරණයත් උසාවියට ගොස් නතර කර ගත්තේය. ජනධිපතිවරණය කල් දමා ගන්නත් ඔවුන් උත්සාහයක් ගත්තේය.

වෙනකක් තබා, ඔවුන් ඇල්පිටිය පුංචි ඡන්දයත් නොපවත්වා සිටීමට උත්සාහයක් ගත්තේය. විපක්‍ෂ සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයාව ඡන්දයටත් කළින් තරඟයෙන් ඉවත් කර ගන්න ඔවුන් නොගත් උත්සාහයක් නැත. මේ දුර්දාන්ත යුගය අවසන් කිරීමට දැන් කාලය එළඹී ඇත. ඒ සම්බන්ධයෙන් පළමු වෙඩි මුරය ඇල්පිටියෙන් පත්තුවිය. ඇල්පිටියේ ඡන්ද ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින මෙන් මම විපක්‍ෂ සන්ධානයේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක

+++++++++++++++++++++++++++++++++++

13-10-2019

+++++++++++++++++++++++++++++++++++

13-10-2019

***************************************

ජනපති අතේ ඇති දූෂණ අක්‍රමිකතා වාර්තාවේ අකිල, රාජිත, සජිත්, කිරිඇල්ලගේ නම්

(13.10.2019 – aruna.lk)

යහපාලන ආණ්ඩුවේ දූෂණ හා අක්‍රමිකතා සෙවූ ජනාධිපති කොමිසම මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුන් පළමු වාර්තාවේ අකිල විරාජ් කාරියවසම්, රාජිත සේනාරත්න, සජිත් ප්‍රේමදාස සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවල සිදු වූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සඳහන් වී ඇති බව වාර්තා වේ.

ආයතන පහළොවක් (15) සම්බන්ධයෙන් විමර්ශනය කර අවසන් කිරීමෙන් පසු පළමු වාර්තාව ජනාධිපතිවරයාට භාරදී ඇත.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සුරක්ෂා රක්ෂණය, පාසල් පෙළ පොත්වලට ඇමැතිවරයාගේ ඡායාරූපය ඇතුළත් කිරීම, පාසල් නිල ඇඳුම් වෙනුවට වව්චර් ලබාදීමෙන් සිදුවූ පාඩුව ටැබ් පරිගණක ලබාදීමට ගෙන ඇති තීරණය ආදී කටයුතුවලදී සිදුවී ඇති පාඩු සම්බන්ධයෙන් ඇමැතිවරයාට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ මිලදී ගැනීම, ප්‍රතිජීවක ඖෂධ ආනයනය, නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීම, ආදියෙන් සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කළ පැමිණිලිවලට ඇමැති රාජිත සේනාරත්නට චෝදනා එල්ල වී ඇත.

ඊට අමතරව නිවාස සංවර්ධන අධිකාරියට නීත්‍යනුකූල නොවන ආකාරයට සේවකයන් බඳවා ගැනීම සඳහා නිවාස ව්‍යාපෘතියේ සමරු ඵලකවල සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇමැති සජිත් ප්‍රේමදාසට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියට නීත්‍යානුකූල නොවන ආකාරයට සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලට එරෙහිව චෝදනා එල්ල වී ඇත ෴

***************************************

තොණ්ඩමන්ගේ සහය ගෝඨාභයට

(13.10.2019 – 11:40 +0530 – sinhala.adaderana.lk)

ලංකා කම්කරු කොංග්‍රසය එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රීලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර ඇත.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා අද (13) පෙරවරුවේ හැටන් කොටගල ප්‍රදේශයේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂමහතාට සහය ලබාදීමට සිය පක්ෂය තීරණය කළ බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කරන ආකාරය පිළිබදව පක්ෂ විධායක සභාව අද පෙරවරුවේ රැස්වීමෙන් අනතුරුව මෙමතීරණය ගෙන ඇත.

වතුකරයට බලපාන ගැටලු සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාසමග මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිය පක්ෂය සාකච්ඡා පැවැත්වු බව සඳහන් කළ ආරුමුගම් තොන්ඩමන් මහතා පැවසුවේ එහිදි ලැබුණු ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කළ බවයි.

***************************************

අන්තර්ජාලයෙන් ජනතාව මුලා කරන වංචාකරුවන් ගැන දැනුම් දීමක්

(13.10.2019 – 13:04 +0530 – sinhala.adaderana.lk)

සමාජ මාධ්‍ය ජාල සහ අන්තර්ජාලය හරහා ජනතාව මුලාකර මුදල් වංචා කිරීම් සිදුකරන සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.

සමාජ ජාලා ඔස්සේ විවිධ පුද්ගලයින් ඇසුරු කර විශ්වාසය ගොඩනගා ගනිමින් මොවුන් මෙම වංචාවන් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.

විවිධ රටවල ලොතරැයි දිනුම් ජයග්‍රහණය කර ඇති බව, රාජ්‍ය නොවන සංවිධානවලින් ද්‍රව්‍ය මය හා මුදල් ආධාර ලබාදෙන බව, ඉහළ වටිනාකමක් ඇති භාණ්ඩ ඔබේ නමින් රේගුව වෙත යොමු කර ඇතිබව යනාදී කරුණු පවසමින් එම දේපල හා මුදල් ලබා ගැනීමට මූලික වශයෙන් මුදලක් අවශ්‍ය බව පෙන්වාදී එම මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කර ගැනීම මෙම වංචාකරුවන් විසින් සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා ‍සඳහන් කළේය.

එක් සිදුවීමක් ලෙස මෙම වංචාකරුවන් පසුගිය මස 05 වැනිදා නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ හඳුනාගෙන ගුවන් තොටුපලෙන් භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා රුපියල් දෙලක්ෂ 70,000 ක මුදලක් වංචා කර ඇති බවයි රුවන් ගුණසේකර මහතාසඳහන් කළේ.

මේ හේතුවෙන් වග කිව යුතු ආයතනයකින් විමසීමකින් තොරව මෙලෙස මුදල් හෝ ත්‍යාග ලබාගැනීම සඳහා මුදල් තැන්පත් කිරීම, සිදුනොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *