බලය බෙදීමට කැපවනවා – බැසිල් රාජපක්ෂ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• බලය බෙදීමට කැපවනවා – බැසිල් රාජපක්ෂ (විඩියෝ)

• සජිත් ගිවිසුමකට බැදී ඇති බවට, විපක්ෂයෙන් හෙළිදරව්වක් (විඩියෝ)

• මගියා කළ පැමිණිල්ලෙන් අපරීක්ෂාකාරී බස් රියැදුරු අත්අඩංගුවට

• සංචාරක නිකේතනයක සැකකටයුතු අන්දමින් රැඳී සිටි උතුරේ තරුණයින් හයදෙනෙකු අත්අඩංගුවට

• ISIS සැකකරුවන් 127 ක් ඉන්දියාවේ දී අත්අඩංගුවට – සහරාන්ට සහය දැක්වු අයත් ඒ අතර

• නඩු පවරද්දි ගෝඨාගේ ජනප්‍රියත්වය තව ඉහළ යනවා – ජී.එල්.පීරිස්

• ගෝඨාගේ, කරුණා අම්මාන්ගේ ජීවිත අනතුරේ – මේජර් අජිත් ප්‍රසන්න (විඩියෝ)

• රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයකට සැරසෙයි

• පොහොට්ටුවේ රැස්විම් වලිදි ශ්‍රීලනිප නායකයින්ට ‘හූ’ කීමේ කුමන්ත‍්‍රණය ගැන හෙළිකරයි

• යූ.ඇන්.පී සම්මේලනය සජීවි විකාශය; රූපවාහිනියේ ලොක්කන් ආරක්ෂක අමාත්‍යාංශයට

• හිරු ටීවී සලකුන – බැසිල් රාජපක්ෂ – 2019.10.14

+++++++++++++++++++++++++++++++++++

බලය බෙදීමට කැපවනවා – බැසිල් රාජපක්ෂ

(14.10.2019 – 18:41 +0530 – sinhala.adaderana.lk)

එළඹෙන ජනාධිපතිවරණයට විදෙස් පාර්ශ්වයකින් බලපෑම් එල්ල නොවනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

“හින්දු” පුවත් පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා පවසා 2015 දී ආණ්ඩු වෙනසක් කිරීමට කිසිවකුට හෝ අවශ්‍යතාවක් මතු වූයේ නම් එම අඩුපාඩු මොනවාදැයි මේ වන විට මැනවින් අවබෝධ කරගෙන ඇති බවයි.

“හින්දු” පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ 2015 දී තම ආණ්ඩුව වෙනස් කිරීමට ඉන්දියාව හෝ වෙනත් රටක් විපක්ෂයට සහාය පළ කළ බවට පෞද්ගලිකව තමා සතුව සාක්ෂි නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ අංක එකේ මිතුරා සහ අසල්වැසියා ලෙස,ආරක්ෂක සහ දේශපාලනික කාරණාවලදී ඉන්දියාව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවත් එලෙසම ආර්ථිකමය කටයුතු වලදී චීනය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමද අවශ්‍ය බවයි ඔහු පවසා ඇත.

ජනාධිපතිවරණය පිළිබඳ නැගුනු ප්‍රශ්නවලදී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට දෙමළ ජනතාවගේ ඡන්දය තීරණාත්මක සාධකයක් බවයි.

රටේ ජාතික ප්‍රශ්නයට විසඳුම් දීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් එය ජනතාවට තීරණය කිරීමට ඉඩ දිය යුතු බව ද ඔහු පවසා තිබේ.

බලය විමධ්‍යගතකිරීම සඳහා තම පක්ෂය සිය උපරිම කැපකිරීමෙන් ක්‍රියා කරන බවද බැසිල් රාපක්ෂ මහතා පෙන්වා දෙයි.

2015 න් පසු ජනාධිපතිවරයාගේ බලතල අඩු වීමකට ලක් ව තිබීම පිළිබඳ මාධ්‍යෙව්දිනිය විමසා සිටි අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එවන් තත්ත්වයක් යටතේ වුවද අග්‍රාමාත්‍යවරයා ලෙස ආණ්ඩුවේ ප්‍රධානත්වය වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙන බැවින් එහි ගැටලුවක් මතු නොවන බවයි.

+++++++++++++++++++++

බැසිල්ගේ බලය බෙදන උත්තර වලට ජාතික සංවිධාන වලින් උත්තර

(16.10.2019 – 01:25 +0530 – lankaleadnews.com)

බලය බෙදීමට කැපවන බව බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉන්දියාවේ හින්දු පුවත්පතට කරන ලද ප්‍රකාශය පිළිබඳ ලංකා ලීඩ් නිවුස් විසින් සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතාගේ මතය විමසන ලදී.

මේ එතුමාගේ වචන :

“බැසිල් රාජපක්ෂ මහතා හින්දු පුවත්පතට කියපු දේ ගැන අපි කියන්න ඕන නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳ උත්තරයක් දීලා තිබුනා ඒ ගැන සුමන්තිරන්ට. මහින්ද රාජපක්ෂ මහතා කියන දේ සමග එකඟයි. බැසිල් රාජපක්ෂ මහතා කිව්වා කියන දේ ඇත්තටම කිව්වද කියන්න අපි දන්නේ නැහැ. ඒ ගැන අපට අලුතින් කියන්න දෙයක් නැහැ. මෙතන කාලයක් අපි කියපු දේම තමයි කියන්න තියෙන්නෙ. අපේ රටේ දැනටමත් ඉන්දියාවටත් වඩා පළාත් වලට දේශපාලන බලය බෙදලා තියෙනවා. තවදුරටත් බලය බෙදන්න කැපවෙනවා කියන්නේ ඊටත් එහාට යනවා කියන එක. ඒක තමයි මෙච්චර කාලයක් බෙදුම්වාදීන් ඉල්ලා සිටින්නේ. බෙදුම්වාදීන් ඉල්ලා ඉල්ලන දේ දෙන්න තමයි මේ ආණ්ඩුව බලයට පත් වුණේ. ආණ්ඩුව වෙනස් කරන්න ඕන වෙන්නේ ඒක වෙනස් කරන්න මිසක් ඔළුගෙඩි මාරු කරන්න නොවෙයි.”

***************************************

සජිත් ගිවිසුමකට බැදී ඇති බවට, විපක්ෂයෙන් හෙළිදරව්වක්

(14.10.2019 – 18:53 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ලබාදෙන පොරොන්දු ඉටු කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් වන ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.

මේ අතර, ජනාධිපති අපේක්ෂක – අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවට ගිවිසුමකින් අත්සන් තබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මහනුවර අද පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියා.

***************************************

15-10-2019

***************************************

14-10-2019

***************************************

15-10-2019

***************************************

මගියා කළ පැමිණිල්ලෙන් අපරීක්ෂාකාරී බස් රියැදුරු අත්අඩංගුවට

(14.10.2019 – 16:24 +0530 – lankadeepa.lk)

කටුබැද්ද ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයක් මගී ජීවිත අනතුරට ලක්වන ආකාරයට අපරීක්ෂාකාරීව, ධාවනය කිරීම හේතුවෙන් අද (14) බේරුවල නගරයේදී එහි රියැදුරු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

බස් රථයේ මගියකු පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, බසය නවත්වන ලෙස රථවාහන නිලධාරීන් අණ කර ඇත. රියදුරාට, රියදුරු බලපත්‍රය රැගෙන එන ලෙස දැන්වීමෙන් පසු ඔහු පැන ගොස් තිබිණි. පැය දෙකකටු පමණ පසු ඔහු පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් රියදුරා ඇඹිලිපිටිය ඇතිමලේ පදිංචිකරුවකු බවත් අවුරුදු හතරක සේවාකාලයක් සහිත අයකු බවත් පොලිසිය කියයි.

මේ වන විට රියදුරාට අයිති වලංගු රියදුරු බලපත්‍රය අහංගම පොලිසිය භාරයට ගෙන තිබෙන අතර තාවකාලික රියදුරු බලපත්‍ර දෙකක් පානදුර සහ මාතර පොලිස් ස්ථාන මගින් ලබාදී තිබියදී මෙසේ අන්තරාදායක ලෙස රිය පදවා තිබෙන බව පොලීසිය කියයි.

මේ පිළිබඳව කටුබැද්ද ඩිපෝවේ නිලධාරියකුගෙන් විමසූ විට කියාසිටියේ මෙම රියදුරා පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගෙන වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවයි.

අත්අඩංගුවට ගත් රියදුරා හෙට (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

***************************************

සංචාරක නිකේතනයක සැකකටයුතු අන්දමින් රැඳී සිටි උතුරේ තරුණයින් හයදෙනෙකු අත්අඩංගුවට

(15.10.2019 – 08:59 +0530 – hirunews.lk/sinhala)

හලාවත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සැකකටයුතු ලෙස ලැගුම් ගෙන සිටි ද්‍රවිඩ ජාතික තරුණයින් හයදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (14) අත්අඩංගුවට ගත් ඔවුන් කෝපායි සහ වැල්වැටිතුරේ යන ප්‍රදේශවල පදිංචි තරුණයින් පිරිසක් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව සිදුකරන ලද ප්‍රශ්ණ කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ සැකකාර තරුණයින් මුහුදු මාර්ගය ඔස්සේ විදේශ රටකට පලායාම සඳහා මෙලෙස සංචාරක නිකේතනයේ ලැගුම් ගෙන සිට ඇති බවයි ෴

***************************************

ISIS සැකකරුවන් 127 ක් ඉන්දියාවේ දී අත්අඩංගුවට – සහරාන්ට සහය දැක්වු අයත් ඒ අතර

(15.10.2019 – 06:57 +0530 – sinhala.adaderana.lk)

අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 127 දෙනෙකු ඉන්දියාවේ දි අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානී අලෝක් මික්ටාල් පෙන්වා දෙන්නේ අදාළ පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රධානියෙකු ලෙස සැලකෙන ශකීර් නයික්ගේ අනුගාමිකයින් බවයි.

ඉන්දියාවේ ප්‍රාන්ත 14 ක සිදුකළ මෙහෙයුම්වල දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන්ගෙන් වැඩි දෙනෙකු ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන නරඹා අදාළ සංවිධානයට සහය පල කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ත්‍රස්ත විරෝධී කණ්ඩායම්වල ප්‍රධානීන්ගේ හමුවකදී ඊයේ (14) දිනයේ අලෝක් මික්ටාල් ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන මඟින් තමන් රැඩිකල්කරණය වූ බව පිළිගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු තමිල්නාඩු ප්‍රාන්තයේ වන අතර පුද්ගලයින් තිස් තුන්දෙනෙකු එහිදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව උත්තර් ප්‍රදේශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු, කේරලයෙන් පුද්ගලයින් 17 දෙනෙකු තෙලඟනා ප්‍රදේශනේ පුද්ගලයින් 17 දෙනෙකු, මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් පුද්ගලයින් 14 දෙනෙකු සහ කර්නාටකයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි ෴

***************************************

නඩු පවරද්දි ගෝඨාගේ ජනප්‍රියත්වය තව ඉහළ යනවා – ජී.එල්.පීරිස්

(14.10.2019 – 22:11 +0530 – sinhala.adaderana.lk)

අද තිබෙන තත්ත්වය අනුව දේශපාලනය කිරීම වෙනුවට උසාවි ගානේ යෑමට සිද්ධ වී ඇතැයි මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අද (14) ‍කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා :

“අදත් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග නඩුවක් දැම්මා. තේනුවර සහ වියන්ගොඩ යන පුද්ගලයින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය සහ විවිධ කරුණු අභියෝගයට ලක් කරමින් අධිකරණයට ගියා.

නමුත් අභියාචනාධිකරණය විනිශ්චකාරවරුන් තිදෙනා ඒකමතිකව ඒ නඩුව විසි කලා. මේ නඩු පැවරීම සම්බන්ධව අපි ඉතාමත්ම සතුටු වෙනවා.

මෙම නඩු පැවරීම තුළින් සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය තව තවත් ඉහළ යාමයි. අවුරුදු තිහක ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කළ නායකයෙක් විදිහට තමන්ගෙ ජීවිතය නූලෙන් බේරාගත් නායකයෙක් විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනතාවගේ ප්‍රසාදයට ලක්වී තිබෙනවා.

තේනුවර සහ වියන්ගොඩ යන දෙදෙනාම අධිකරණයට ගොනු කළ පෙත්සමේ දක්වා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ යන අය ජනාධිපති වුවහොත් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවට හානියක් සිදු වෙනවා කියලයි.

මෙහිදී හාස්‍යජනක තත්ත්වයක් ඇති වන්නේ රටේ ස්වෛරීත්වය හා නිදහස භෞමික අඛණ්ඩතාවය රැක දුන් නායකයෙකුට මෙලෙස ප්‍රකාශ කිරීමයි.

මෙලෙස නඩු පිට නඩු දැමීමට හේතු වෙලා තියෙන්නේ දේශපාලන තලය තුළ මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කරවීමට එජාපයට හැකියාවක් නොමැති වීම නිසයි.

බොරු වංචා රැවටීම් තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතාව නිශ්ශබ්ද කරන්න මේ දවස් වල දේශපාලන කරළියේ විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. ඇල්පිටිය ප්‍රතිඵලය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශක්තිය හොඳින් පිළිබිඹු කරන්නක් වුණා.

2016 පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ඇල්පිටිය මැතිවරණය විවිධ හේතුනිසා කල් ගියා.ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය යනු ජනතා මතයේ කැඩපතයි.

එය එජාපය අන්ත පරාජයකට ලක් වුණා.නමුත් පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එක්වූ විට සියයට හැත්තෑවකට ආසන්න ප්‍රතිශතයකින් අපි ජයග්‍රහණය කොට තිබෙනවා.”

***************************************

ගෝඨාගේ, කරුණා අම්මාන්ගේ ජීවිත අනතුරේ – මේජර් අජිත් ප්‍රසන්න

(14.10.2019 – 19:03 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ගේ ජීවිතවලට අනතුරක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි බුද්ධි අංශවලට සම්බන්ධ අයකු තමා සමඟ පැවසූ බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.

අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කැඳවුම්කරු නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මේ බව පැවසීය.

“ගෝඨාභය මහත්තයාගේ ජීවිතය අනතුරේ කිව්වා. මම ඇහුවා ඇයි කියලා. කාන්තාවක් මුහුණු පොතේ සටහනක් දානවා. මව්බිම බේරාගත හැකි ගෝඨාභයට කියලා. එවිට ඇයට දුරකතන ඇමතුමක් එනවා

ගෝඨාභයට කඩේ යන්නේ ඇයි අහනවා. කාන්තාව කියනවා ගෝඨාභය දිනනවා කියලා. ඒ ගෝඨාභය ජීවත් වුණොත් නේ කියලා ඇය කියනවා. ජීවත් වීම සැකසහිත බවයි කියන්නේ. මෑතක් වෙනකම් ඔහු හිටියේ ලංකාවේ

ත්‍රස්තවාදියෙක් හමුවෙන්නේ ඒ අතරතුර. මෙතුමාගේ ජීවිතය අනතුරේ . බුද්ධි අංශ අයෙක් කිව්ව දේ අනුව . ගෝඨාභයගෙයි කරුණා අම්මාන් ගෙයි ජීවිත අනතුරේ. කරුණා ගෝඨා වෙනුවෙන් වැඩ කරනවා.”

+++++++++++++++++++++

ජනාධිපතිවරණයට පෙර ස්විස් කොටින්ගේ ඉලක්කය කරුණා

(15.10.2019 – aruna.lk)

ජනාධිපතිවරණයට පෙර නැගෙනහිර පළාතේදී කරුණා අම්මාන් ඝාතනය කිරීම සඳහා කිලිනොච්චියේ සිට අවි ආයුධ ප්‍රවාහනය කර ඇති බව දැනට කෙරෙන ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම්වලදී අනාවරණය වී ඇත.

බුද්ධි අංශවලට හෙළිවී ඇති අන්දමට ඝාතන ක්‍රියාවලිය සැලසුම්කර ඇත්තේ ඉන්දියාවට පැමිණ සිටින ස්විස් කොටි ජාලයේ නායකයන් පිරිසකගේ මෙහෙයවීමෙනි.

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කළ පරීක්ෂණවලින් පසුව ජෝෂප් පීටර් රොබින්සන් (36) නමැති කිලිනොච්චිය, අම්බාල්කුලම් අංක 442 ලිපිනයේ පදිංචි කොටි සාමාජිකයකු අත්අඩංගුවට ගෙන සේරුනුවර පොලිසියට භාරදී තිබිණි. ඒ ටී. 56 ගිනි අවියක් සමගය.

එම කොටි ත්‍රස්තයා හෙළි කළ තොරතුරු මත කිලිනොච්චියේ පිහිටි නිවසේ සිවිලිමක සඟවා තැබූ අවි ආයුධවලට අමතරව යාපනය, කොන්ඩාවිල්වරනි ඉඩමක් පසුපස සඟවා තිබූ කිලෝ පහළොව බැගින් වූ අත්බෝම්බ (ක්ලේමෝ) දෙකක් ඊයේ (14 වැනිදා) සොයාගෙන ඇත.

මෙම කොටි ත්‍රස්තයාගේ කිලිනොච්චියේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී ටී 56 අවියක්, පිස්තෝල තුනක්, අත්බෝම්බ 05 ක්, දුරවිදින අර්ධ ස්වයංක්‍රීය රයිෆල් 01 ක්, කොටි නායක ප්‍රභාකරන්ගේ ඡායාරූප සහිත ටී ෂර්ට් 04 ක් ඇතුළුව පතොරම් තොගයක්, බෝම්බ පුපුරවන ඩෙටනේටර 62 ක් ඇතුළු උපකරණ තොගයක් පෙරේදා (13 වැනිදා) සොයා ගැනිණි.

ඒ සමග සැකකරුගේ නිවසේ සිටි බිරිඳ හා සහෝදරියද අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම කොටි ජාලය යාපනය, කිලිනොච්චි හා ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගෙන ඉන්දියාවට පැමිණ සිටින ස්විස් කොටි නායකයකු විසින් මෙහෙයවා ඇත. යුද හමුදා සන්නද්ධ බළකාය කාලයක් තිස්සේ යළි හිස ඔසවන්නට වෙර දරන කොටි කණ්ඩායම් පසුපස ගොස් හෙළිකරගත් තොරතුරු මත මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ සති ගණනක පටන්ය.

එම කොටි ජාලයේ ක්‍රියාකාරකම් ඔත්තුකරුවන් ලවා නිරීක්ෂණය කිරීමේදී ඉලක්කය නැගෙනහිරදී කරුණා අම්මාන් ඝාතනය කිරීම බව හෙළිවී ඇත. 2018 ජුනි මාසයේදී ඔඩ්ඩුසුඩාන් හා පුදුකුඩිඉරිප්පුහිදී කරන්ගේ කොටි ජාලය අල්ලාගත් හමුදා බුද්ධි අංශ කරන ලද දීර්ඝ විමර්ශනයකදීත් කරුණා අම්මාන් ඝාතනය කිරීමට ස්නයිෆර් අවි දෙකක් නැගෙනහිරට එවූ සැලසුමක් අනාවරණය විය. එම අවි ගොඩගෙන තිබුණේ කුමාන්කුලම්වලදීය.

ස්නයිෆර් අවි නැගෙනහිරට ගෙන ආවේ කරුණා අම්මාන්ට අමතරව ජනපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නැගෙනහිරදී ඉලක්ක කිරීමට බව එවකට කරන ලද බුද්ධි මෙහෙයුම්වලදී අනාවරණය විය.

කිලිනොච්චියෙන් ඇල්ලූ අවි ආයුධ හා කොටි ත්‍රස්තයන් ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා සන්නද්ධ බුද්ධි බළකාය දීර්ඝ විමර්ශනයක් අරඹා ඇත.

තිස්ස රවීන්ද්‍ර/ මාධව කුලසූරිය

+++++++++++++++++++++++++++++++++++

14-10-2019

***************************************

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජනයකට සැරසෙයි

(14.10.2019 – 19:05 +0530 – lankadeepa.lk)

තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් ලෙස කටයුතු කළ මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්ෂවරිය ස්ථානමාරු කරමින්ද, කොලොන්න රෝහලේ කාර්යභාර නිලධාරීවරිය සිටියදී වෙනත් නිලධාරිනියක එම රෝහලට මාරු කර එවීමද අවලංගු කිරීමට අද (14) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමඟ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (14) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්විණි.

මහරගම අපේක්‍ෂා රෝහලේ සහ කොළොන්න ප‍්‍රාදේශීය රෝහලේ වෛද්‍ය ස්ථානමාරු අවලංගු කර මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමේ අවස්ථාව වනවිට තිබූ තත්ත්වයට පත් කිරීමට මැතිවරණ කොමිසමට පැය 48 ක කාලයක් ලබාදෙන බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා බ‍්‍රහස්පතින්දා සිට රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික් දෙකේ වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

මෙම ස්ථාන මාරු අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසම විසින් කළ නියෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයයේ ලේකම් නොපිළිගන්නා බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.

මේ සම්බන්‍ධයෙන් යළි මැතිවරණ කොමිසම දැනුවත් කළ බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ඔවුන්ගේ ඉල්ලීම අනුව පැය 48 ක කාලයක් මෙම ගැටලුව විසඳීමට අවස්ථාව ලබාදෙන බව ද කීවේය.

මෙම ස්ථානමාරු අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසම දෙවන වරටත් සෞඛ්‍ය ලේකම්වරියට ලිඛිතව දන්වා යැවීමට කටයුතු කරන බවට පොරොන්දු වූ බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසුවේය.

කෙසේ වෙතත් මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර තිබූ අවස්ථාවේ තත්ත්වයට බදාදා සවස් වනවිට පත් කිරිමට අපොහොසත් වුවහොත් බ්‍රහස්පතින්දා පෙරවරු 08:00 සිට රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික් දෙකේ වෛද්‍යවරු වැඩවර්ජනයක් අරම්භ කරන බව ද කීවේය.

එහිදීද ගැටලුව නිරාකරණය නොවුණ හොත් සිකුරාදා වනවිට ඌව පළාතේ සහ සබරගමු පළාතේ වෛද්‍යවරු එම වැඩවර්ජනට එක්වන බවද පැවසුවේය.

එම වෘත්තිය ක්‍රියා මාර්ගය අනුවද විසඳුමක් නොලැබුණ හොත් ලබන සඳුදා සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක් පවත්වන බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

එපමණක් නොව වෛද්‍යවරුන් ප‍්‍රධානත්වය දරණ ආයතනවල තැපැල් ඡන්ද සහතික කිරීම් වලින් එම වෛද්‍යවරු ඉවත්වීමට ද පියවර ගන්නා බවද සඳහන් කළේය.

මෙම අවිධිමත් වෛද්‍ය ස්ථානමාරුව හේතුවෙන් හම්බෙගමුව සහ කොලොන්න යන රෝහල් දෙකේ වැඩ දින දොළහක පමණ සිට අඩාලව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් මෙම සාකච්ඡාවට එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඇතුලු පිරිසක් එක්ව සිටියහ ෴

***************************************

පොහොට්ටුවේ රැස්විම් වලිදි ශ්‍රීලනිප නායකයින්ට ‘හූ’ කීමේ කුමන්ත‍්‍රණය ගැන හෙළිකරයි

(15.10.2019 – nethgossip.lk)

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්විම් වලට රිංගා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණට පැමිණි නායකයන් අපහසුතාවට පත් කරමින් ප‍්‍රසිද්ධියේ ‘හූ’ කීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බැවින් ඊට හසු නොවන ලෙස රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කරනවා.

පසුගියදා ඇහැළියගොඩ නගරයේදී ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට ආධාර පිණිස පැවති රැස්විමේදි රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු ඇමතිවරයෙක් මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපසභාපතිවරයෙක් වූ ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අපහසුතාවට පත්වන අයුරින් රැස්ව සිටි පිරිස අතරින් ‘හූ’ හඬ පැතිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට සහාය දැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පාක්‍ෂිකයන් සහ ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයින් කෝපයෙන් සිටින බවත්, එම නිසා ඔවුන් අපි දෙගොල්ලෝ විරසක කරන්න කුමන්ත‍්‍රණය කරන බවත්ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලිකළ මන්ත්‍රීවරයා :

“මේක කුමන්ත‍්‍රණයක්. ඒ නිසා මම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ක‍්‍රියාකාරින්ගෙන් ඉල්ලනවා මේ කුමන්ත‍්‍රණ වලට හසු වෙන්න එපා. මේ ක‍්‍රියාව කළේ රත්නපුරේ ජනතාව නෙවෙයි. ‘හූ’ කිව්ව අය රැස්විම් වලට ඇවිත් හිටියේ පිට ප‍්‍රදේශයකින්.

තොණ්ඩමන් ඇමතිතුමා දිගටම හිටියේ අපිත් එක්ක. දිගම්බරම් ඇමතිතුමා දෙමළ ජනතාවට උදවු කළේ නැති නිසා තොණ්ඩමන් ඇමතිතුමා ඉල්ලුවේ දෙමළ ජනතාවට උදවු කරන්න කියලා. එතුමා එදත් හිටියේ අපි එක්ක අදත් ඉන්නේ අපි එක්ක. එතුමට ඡන්ද ලක්‍ෂයකට වැඩිය තියනවා. කොන්දේසි විරහිතව තමයි කොණ්ඩමන් මහතා අපට උදවු කරන්න එකතුවෙලා ඉන්නේ.

ලංකාවට ගම්මිරිස් ගෙන්නලා ගම්මිරිස් වවන ජනතාව අගාධයට ඇඳදාපු ඇමතිවරයා ළඟ තියාගෙන සජිත් පේ‍්‍රමදාස මහතා කියනවා එයා ජනපති වුණොත් පිටරටින් ගම්මිරිස් ගෙන්වන්න ඉඩ දෙන්නේ නෑ කියලා. මේවා ඡන්දෙට දෙන සීනි බෝල. අවුරුදු පහට කරන්න බැරිවුණ දේ සජිත් කොහොම කරන්නද? දෙපාරක් ඡන්ද පොළට ඇවිල්ලත් ඒ අයට ඇල්පිටිය ඡන්දය දිනාගන්න බැරි වුණා. මම කැට තියලා කියනවා රත්නපුරේත් දෙපාරක් ඡන්ද පොළට ආවත් එක්සත් ජාතික පක්‍ෂයට දිනාගන්න බෑ කියලා.”

+++++++++++++++++++++

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුනට හූ නොකියනු..අපහාස නොකරනු.. – මහින්ද-ගෝටා සියළු පොහොට්ටුවන්ට දන්වති…

(15.10.2019 – 12:40 +0530 – lankacnews.com)

ජනාධිපතිවරණ ජනරැළි කිසිවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන්ට අපහාසාත්මක ලෙස කටයුතු නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

පසුගිය ජනරැළි කිහිපයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හූ කීම නිසා මෙම දැනුම්දීම සිදු කර ඇත.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ද දන්වා ඇත්තේ තමන් සහභාගී වන සියලු සියළු ජනරැළිවල සංවිධායකයන්ට මේ බව දැනුම් දී තිබේ ෴

***************************************

යූ.ඇන්.පී සම්මේලනය සජීවි විකාශය; රූපවාහිනියේ ලොක්කන් ආරක්ෂක අමාත්‍යාංශයට

(14.10.2019 – 11:41 +0530 – lankaleadnews.com)

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීම පිළිබඳ විනය පරීක්ෂණයක් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත පරීක්ෂණය පැවැත්වෙයි. සජීවී විකාශයට අවසර ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳ විමසීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද සහ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජේරත්නට ඊයේ (14 වැනිදා) දින ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. මෙම සිද්ධිය වූයේ පසුගිය තුන්වැනිදාය. එය සිදු වූ ආකාරය සොයා බැලීමට පසුගිය සිකුරාදා ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරින් රූපවාහිනී සංස්ථාවට පැමිණ මූලික විමර්ශනයක් සිදුකර ඇත. නිලධාරින් සංස්ථා සේවකයන්ගෙන් සාක්ෂි ද සටහන් කරගෙන තිබේ.

සමුළුව විකාශය වන අවස්ථාවේ රූපවාහිනී සංස්ථාවට පැමිණි මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් සජීවී විකාශය අත්හිටුවන ලෙසට නියෝග කරන ලදී ෴

***************************************

Hiru TV – Salakuna – Episode 205 – 2019.10.14
Basil Rajapaksa – 91 min.s

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *