සිල් රෙදි බෙදීමට නියෝග දුන්නා යැයි වරද පිළිගන්නා මහින්ද රාජපක්ෂට එරෙහිව නඩු දැමීම ගැන මත දෙකක්..!

(14.09.2017 – 21:00 +0530 – lankaenews.com)

‘ඇයි බලාගෙන ඉන්නේ? මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශ අනුව ඔහුට එරෙහිව අදම නඩු පැවරිය හැකියි‘ යනුවෙන් ලංකා ඊ නිව්ස් ඊයේ පළ කළ පුවත සම්බන්ධයෙන් මේ වන විට මත දෙකක් ප්‍රකාශ වී තිබේ. අපගේ මතය තහවුරු කරමින් ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මහින්ද රාජපක්ෂට නඩු පැවරිය හැකි යයි ප්‍රකාශ කෙළේය.

“එතුමාට මේ ප්‍රකාශය කරන්න තිබුනේ කලින්නෙ. නඩු තීන්දුව දීල ඒ මිනිස්සු හිරේ ගියාට පස්සෙ කියනවා මමයි මේක ක‍ෙ‍ළේ කියලා. දැන් ඒක වැරැද්දක් කියලා ඔප්පු වෙලා තියෙනවානේ. එහෙනම් එයා නැහැයි කිව්වට වැරැද්ද කළේ එයා. දවස් 24 ක් මේ නඩුව විභාග වුනා. ඒ දවස් 24 න් එක දවසක හරි අධිකරණයට ඇවිත් එයාට මේක කියන්න තිබුනා. අධිකරණය එහෙනම් ඉඩ දෙනවා. එහෙම කෙළේ නෑ. කරන්නෙ නැතිව තීන්දුවත් දීල, හිරේටත් ගියාට පස්සෙ, වැලිකඩට ගිහිල්ල හිරකාරයො බලල එන ගමන් කියනවා. මමයි කලේ කියලා. ඒක තමයි එයාගේ වීරත්වය. හැබැයි දැන් පුළුවන් තවත් එක්කෙනෙකුට අධිකරණයට යන්න, මේ ප්‍රකාශය උඩ නැවත නඩුවක් ෆයිල් කරන්න. එයා බාර ගන්නවා නම් වැරැද්ද එයා තමයි නියෝග දුන්නේ කියලා එයාවත් අධිකරණයට ගේන්න කියලා නඩුවක් දැම්මහැකියි.“ රාජිත සේනාරත්න ඇමැතිවරයා මාධ්‍යවේදියෙකුගේ පැනයකට පිළිතුරු ලෙස පැවසීය.

මේ අතර ලංකා ඊ නිව්ස් පුවත පළ වීමෙන් පසුව ලලිත් වීරංතුංග අනුෂ පැල්පිට නඩුවට අදාල පරීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතෙකු ලංකා ඊ නිව්ස් අමතා ප්‍රකාශ කෙළේ වෙනත් කතාවකි.

“ මේ පරීක්ෂණ කරද්දී මහින්ද රාජපක්ෂ සිල් රෙදි බෙදන්න කියා ඔහුගේ ලේකම් ලලිත් වීරතුංගට දුන් ලිඛිත නියෝගයක් තිබේදැයි සොයා බැලුවා. එවැනි කිසිදු ලිඛිත ලියැවිල්ලක් හමුවුනේ නෑ. ඒ වගේම ලලිත් වීරතුංග සිල් රෙදි බෙදන්න කියා දුන් ලිඛිත නියෝග වල ජනාධිපතිගේ නියෝග පරිදි කියා කොතැනකවක් සඳහන් කරලා නෑ. නඩුව විභාග වෙද්දීත් තමන්ට නියෝග දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ යැයි ලලිත් වීරතුංග ප්‍රකාශ කළෙත් නෑ. ඒ නිසා දැන් මහින්ද රාජපක්ෂ එළියේ දි කරන ප්‍රකාශයක් අනුව නඩුවක් දැමීම අසීරුයි. කෙසේ වෙතත් මැතිවරණ අවස්ථාවේ දී මෙම සිල් රෙදි බෙදන්න කියා පන්සල් වලට යැවූ විට ‘මැතිවරණය පහුවෙලා එවන්න‘ කියා දැනුම් දුන් පන්සල් වල විහාරාමාධිපති වහන්සේලා අනන්තවත් හිටියා. අද දඩ මුදල් එකතු කිරීමට ‘දණ්ඩපාතයේ‘ යෙදෙන එකදු හිමිනමක් වත් අධිකරණයට ඇවිත් ලලිත් වීරතුංග බේරා ගන්න සාක්කි දුන්නේ නෑ. ඕනෑකමක් තිබුනා නම් ඔවුන්ට අධිකරණයට ඇවිත් ලලිත්ලා බේරාගන්න සාක්කි දෙන්න තිබුනා.“ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතා පැවසීය.

මේ අතර සිල් රෙදි නඩු තීන්දුව ගැන පසුගිය දිනවල එළියට ආ වැදගත් ප්‍රකාශ දෙකක් උපුටා දැක්විය යුතුය.

යහපාලන ආණ්ඩුවේ ඇමැතිධූරයක් දරමින් නිතරම යහපාලන විරෝධී දෙබිඩි ප්‍රකාශ කරන දයාසිරි ජයසේකර ඇමැතිවරයා ද ඇතුළු තවත් කිහිප දෙනෙකුම කියා සිටියේ ලලිත් වීරංතුංග සහ අනුෂ පැල්පිට රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට දුන් දඬුවම නිසා රජයේ සේවකයන් රාජකාරිය කිරීමට දුර්මුඛ වෙන බවයි. ඊට පිළිතුරු දෙමින් ජවිපෙ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා අපූරු ප්‍රකාශයක් කෙළේය. ඔහු කියා සිටියේ මේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනාගේ දූෂණය සම්බන්ධයෙන් අසීරු පරීක්ෂණයක් මෙහෙයැවූ ජ්‍යෙ. නි.පොලිස්පති රවි වෛද්‍යාලංකාර ඇතුළු පොලිස් නිලධාරීන් ද, නඩුව මෙහෙයැවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මහත්වරුන් ද, නඩු තීන්දුව දුන් විනිසුරුවරයාද රජයේ නිලධාරීන් බවයි. එසේ නම් දයාසිරිලා කියන පරිදි රජයේ නිලධාරීන් දුර්මුඛ වීමක් සිදුවන්නේ කෙසේදැයි අනුර දිසානායක මහතා ප්‍රශ්ණ කෙළේය.

අනෙක් වැදගත් ප්‍රකාශය කෙළේ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ය. මෙම සිල් රෙදි කච්චියක් සඳහා වැය කළා යයි සඳහන් කර තිබුනේ ඩොලර් 50 ක් වුවද එහි සත්‍ය මිල ඩොලර් 15 ක් බවයි. ඒ අනුව මිලියන 600 ක් වූ සිල් රෙදි දූෂණයේ තුනෙන් දෙකක පමණ මුදලක් ගසා කා ඇතැයි ද එම මුදල් ගියේ කාගේ සාක්කුවටදැයි සෙවීමට වෙනම පරීක්ෂණයක් සිදුකළ යුතු යැයිද සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ ය ෴

++++++++++++++++++++++++++++++++

වා වා වා..! මුලතිව් යුද්දෙ කර ජය ගත්තේ සුදු රෙදි හොරාලු..!
(15.09.2017 – 08:40 +0530 – lankaenews.com)

මෙහි දැක්වෙන සේයාරූ වල දැක්වෙන්නේ මුලතිව් යුද ස්මාරකය සහ එහි සඳහන් නාම පුවරුවේ සටහනයි. ඒ අනුව මුලතිව් යුද්දය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ නමැති සේනාධිනායකයා සමග සුදු රෙදි හොරා වන දැනට සිර දඬුවම් විඳින ලලිත් වීරතුංග, ගෝඨාභය සහ යුද්ධය කාලයේ යුද පෙරමුණට කෑම ‘සප්ලයි’ කළ ජගත් ජයසූරියයි.

මුලතිව් යුද කළ හමුදා භට පිරිස් වෙත අණ දුන් ආඥාපතියෙකුගේ හෝ ජයග්‍රාහී අවසානයක් දක්වා සමස්ථ යුද්දයට අණ දුන් යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ හෝ නමක් එහි සඳහන්ව නැත.

මෙවැනි විකෘති නාම ඵලකයන් ප්‍රකෘති කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුය. නැතිනම් ඉතිහාසය විකෘති කිරීමේ පාපකර්මයට යහපාලකයන්ද දායක වූවා වනු ඇත.

(සේයාරූ අප වෙත එවූ ලංකා ඊ නිව්ස් පාඨක සුධීමතාට ස්තූතිය)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *