ගෝඨාභයට සහ තමන්ට 19 ගැටලුවක් නොවන බව විපක්ෂ නායක කියයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගෝඨාභයට සහ තමන්ට 19 ගැටලුවක් නොවන බව විපක්ෂ නායක කියයි (විඩියෝ)

• සන්ධානයේ පක්ෂ 20 කට වැඩි සංඛ්‍යාවක සහය ගෝඨාභයට (විඩියෝ)

• මෙම වසරේ දකුණු ආසියාවේ දෙවන අඩුම ආර්ථික වර්ධන වේගය ලංකාවෙන් (විඩියෝ)

• ඇමති මංගලට සම්බන්ධ මැරයන් පහරදුන් බවට ආබාධිත රණවිරුවෙකුගෙන් චෝදනාවක් (විඩියෝ)

• අහිමිවූ සංස්කෘතිය, අභිමානය නැවත ගේනවා (විඩියෝ)

• පාස්කු ප්‍රහාරය ගැන අගමැති, පොලිස්පති සහ හමුදාපති කළින් දැනුවත් කළා – ප්‍රැන්සිස් හිමිපාණන් (විඩියෝ)

• පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු කී රදගුරුතුමන් අත්අඩංගුවට (විඩියෝ)

• TNA ඇතුළු උතුරේ පක්ෂ යෝජනාවලිය සලකා බැලීමට, ජනපති අපේක්ෂකයන් සූදානම් (විඩියෝ)

• දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා මෙන්න (විඩියෝ)

• රක්ෂිතයකට කුණු දැමූ දෙදෙනෙකු ගම්වැසියන් විසින් ගස් බඳී (විඩියෝ)

• කොළඹ නගරාධිපතිනියට විරෝධය පළ කර, අරුවක්කාරුවට කුණු භාර ගැනීම හෙට සිට නවතී

• ඉන්දීය ගුවන් යානයක් යාපනයට ගොඩබසී (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාභයට සහ තමන්ට 19 ගැටලුවක් නොවන බව විපක්ෂ නායක කියයි

(15.10.2019 – 19:25 +0530 – hirunews.lk/sinhala)

සියලු දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඔහුට සහය දක්වන පක්ෂවල නායකයින්ගේ මාධ්‍ය හමුවකට අද කොළඹදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම මාධ්‍ය හමුවට පක්ෂ නායකයින් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්ද, දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අතාවුල්ලා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබාදීමේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ද මැදිහත් වුණා.

එහිදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමාට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට රට පාලනය කිරීමේදී ගැටළුවක් නොවන බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.facebook.com/slppmediacentre/videos/636262500113473/

***************************************

සන්ධානයේ පක්ෂ 20 කට වැඩි සංඛ්‍යාවක සහය ගෝඨාභයට

(15.10.2019 – 19:54 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක් වී සිටින පක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් ජනාධිපතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියා.

***************************************

මෙම වසරේ දකුණු ආසියාවේ දෙවන අඩුම ආර්ථික වර්ධන වේගය ලංකාවෙන්

(15.10.2019 – 21:19 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2.7 කට සීමාවනු ඇති බව ලෝක බැංකුව පවසනවා.

එය දකුණු ආසියානු කලාපයේ දෙවන අඩුම ආර්ථික වර්ධන වේගයයි.

දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය පිළිබඳ ප්‍රතගිය ඇතුළත් වාර්තාවක් ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙම වසර සඳහා පුරෝකථනය කර ඇත්තේ 2.7% ක් ලෙසයි.

එම වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් මෙම වසරේ ලබාගනු ඇති බවට පුරෝකථනය කෙරෙන්නේ බංග්ලාදේශයෙන්. එම අගය 8.1% ක්.

නේපාලය 7.1% ක හා ඉන්දියාව 6% ක ආර්ථික වර්ධන වේගයක් හිමිකර ගනිමින් දකුණු ආසියානු කලාපයේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් හිමිකර ගනු ඇති බව ලෝක බැංකු වාර්තාවේ දැක්වෙනවා.

මාලදිවයින, භූතානය හා පාකිස්ථානය යන රටවල ආර්ථික වර්ධන වේගය ශ්‍රී ලංකාවට වඩා ඉහළ අගයක් ගෙන තිබීම විශේෂත්වයක්.

එම අගයන් පිළිවෙළින් 5.2% ක්, 5% ක් හා 3.3% ක්.

දකුණු ආසියානු කලාපයට අයත් රටවල් 8 අතුරින් අවම ආර්ථික වර්ධන වේගයක් හිමිවනු ඇති බවට මෙම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සහ ඇෆ්ගනිස්ථානයේයි.

ඊට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.7% ක් වන විට, ඇෆ්ගනිස්ථානයේ ආර්ථික වර්ධන වේගය 2.5% ක්.

***************************************

ඇමති මංගලට සම්බන්ධ මැරයන් පහරදුන් බවට ආබාධිත රණවිරුවෙකුගෙන් චෝදනාවක්

(15.10.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala)

ආබාධිත හා විශ්‍රාමික හමුදා සාමාජිකයන් පිරිසක් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට සම්බන්ධ මැර පිරිසක් ආබාධිත රණවිරුවෙකුට පහරදුන් බවට චෝදනා කරමින්.

***************************************

අහිමිවූ සංස්කෘතිය, අභිමානය නැවත ගේනවා

(15.10.2019 – 20:23 +0530 – hirunews.lk/sinhala)

මෙරටට අහිමිවූ සංස්කෘතිය, අභිමානය නැවත ගෙන ඒම තම වගකීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ අද කොළඹ පැවති උත්සයකට එක්වෙමින්.

***************************************

පාස්කු ප්‍රහාරය ගැන අගමැති, පොලිස්පති සහ හමුදාපති කළින් දැනුවත් කළා – ප්‍රැන්සිස් හිමිපාණන්

(15.10.2019 – 20:17 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට පෙර එවැනි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තමන් වෙත ලද තොරතුරක් පිළිබඳව ජනාධිපති කාර්ය මණ්ඩල නිලධාරියෙක් හරහා අග්‍රාමාත්‍යවරයා, පොලිස්පතිවරයා සහ හමුදාපතිවරයා දැනුවත් කළද එය වැලැක්වීමට කිසිවෙකු පියවරක් නොගත් බවට එංගලන්ත සභාවේ රදගුරු ගරු. ජී.එස් කේ ප්‍රැන්සිස් හිමිපාණන් පවසනවා.

එතුමන් මේ බව හෙළිදරව් කර සිටියේ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්චාවක් කැදවමින්.

+++++++++++++++++++++

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු කී රදගුරුතුමන් අත්අඩංගුවට

(16.10.2019 – 22:31 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වෙත ලද තොරතුරු රජයේ වගකිව යුතු පාර්ශ්වවලට ලබාදුන්නද ප්‍රහාරය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත් බවට හෙළිදරව් කළ මෙරට එංගලන්ත සභාවේ ගරු ග්‍රෙගරි ෆ්‍රැන්සිස් රදගුරුතුමන් කොටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම රදගුරුතුමන් අදාළ හෙළිදරව්ව සිදුකළේ ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වෙත ලද තොරතුරු පිළිබඳව ඊයේ (15) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගරු ග්‍රෙගරි ෆ්‍රැන්සිස් රදගුරුතුමන් හෙළිදරව්වක් සිදුකළා.

කෙසේ වෙතත්, එම ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේ ඊයේ (15) පස්වරුවේ කොටුව පොලිසිය විසින් එම රදගුරුතුමන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පාසලකට සිසුවෙකු ඇතුලත් කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින්.

අත්අඩංගුවට ගැණුනු ගරු ග්‍රෙගරි ෆ්‍රැන්සිස් රදගුරුතුමන් අද දින කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කටයුතු කළා.

***************************************

TNA ඇතුළු උතුරේ පක්ෂ යෝජනාවලිය සලකා බැලීමට, ජනපති අපේක්ෂකයන් සූදානම්

(15.10.2019 – 19:20 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් සකස් කර ඇති යෝජනාවලිය පිළිබඳ ස්ථාවරය එම යෝජනාවලිය තමන් වෙත ලැබුණු පසු ප්‍රකාශ කරන බව ප්‍රධාන ජනාධිපති ධුර අපේක්ෂකයින් නියෝජනය කරන දේශපාලන පක්ෂ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය අදාළ දේශපාලන පක්ෂවලින් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම පක්ෂවල නියෝජිතයන් මේ බව සඳහන් කළා.

දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලෙස ෆෙඩරල් ක්‍රමයක් ලබාදීම ඇතුලු කරුණු 13 කින් යුත් මෙම යෝජනාවලිය දෙමළ දේශපාලන පක්ෂ 5 ක් විසින් සකස් කර ඇත්තේ පසුගියදා යාපනයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

එම යෝජනා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, උතුර – නැගෙනහිර, මෙරට දෙමළ ජනතාවගේ නිජබිම් ලෙස සැළකිය යුතු බවත්, ඔවුන්ගේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය පිළිගත යුතු බවත්, එම යෝජනා අතර පවතිනවා.

එසේම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, ඒ යටතේ රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලීම ද අදාල යෝජනාවලියේ සඳහන් කරුණක්.

උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා සන්ධානය, ටෙලෝ සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ්., ඉලංගෙයි තමිල් අරසු හා ප්ලොට් සංවිධානය යන පක්ෂ විසින් මෙම යෝජනාවලිය සකස් කර තිබෙනවා.

මෙම යෝජනාවලියට දක්වන ප්‍රතිචාරය, පිලිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ප්‍රධාන ජනාධිපති ධුර අපේක්ෂකයින් නියෝජනය කරන පක්ෂවල නියෝජතයින් කිහිපදෙනෙකු කියා සිටියේ අදාළ යෝජනාවලිය මෙතෙක් තම අපේක්ෂකයින් අතට පත්වී නොමැති බවයි.

ඒ අනුව, අදාළ යෝජනාවලිය ලැබුණු පසු, ඒ පිළිබඳ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

මෙම යෝජනාවලිය පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිචාරය පිළිබඳව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ තම අපේක්ෂකයා වෙත ද මෙතෙක් මෙම යෝජනාවලිය ලැබී නොමැති බවයි.

ජාතික ජනබල වේගය නියෝජනය කරන ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ මතය පැහැදිලි කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සඳහන් කළේ යෝජනාවලිය මෙතෙක් තම අපේක්ෂකයා වෙත ද ලැබී නොමැති බවයි.

+++++++++++++++++++++

දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා මෙන්න

(15.10.2019 – 19:41 +0530 – sinhala.adaderana.lk)

ඒකීය රාජ්‍ය සංකල්පය වෙනුවෙන් කිසි විටකත් පෙනී නොසිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙත භාර දීම සඳහා උතුරේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ පහක් , ෆෙඩරල් පාලනයක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 13 ක් ඇතුළත් යෝජනාවලියක් සම්මත කරගත් අවස්ථාවේදී.

යාපනය විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කොට ඇති එම යෝජනාවලියේ කරුණු කිහිපයකට හෝ එකඟ වන අපේක්ෂකයාට පමණක් සහාය ලබා දීමට එහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වෙයි.

එළඹෙන ජනාධිපතිවරණයට තරඟවදින ප්‍රධාන අපේක්ෂකයින් වෙත භාර දීම සඳහා සකස් කෙරුණු යෝජනාවලිය සම්බන්ධයෙන් ඊයේ යාපනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත් විය.

ඒ යාපනය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ උතුරේ ක්‍රියාකාරී ප්‍රධාන දේශපාලන පක්ෂ 5 ක් අතරයි.

සාකච්ඡාවට දෙමළ මහජන පෙරමුණේ නායක,උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි හි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් එක්විය.

දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා පහතින් දැක්වෙයි :

  1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.
  2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.
  3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.
  4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.
  5. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.
  6. උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.
  7. උතුරු – නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.
  8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු – නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.
  9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.
  10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.
  11. උතුරු – නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.
  12. උතුරු – නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.
  13. උතුරු – නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.

යන යෝජනා 13 එම යෝජනාවලියට ඇතුළත්.

ඊට ඉලංගෙයි තමිල් අරසුකච්චි නායක මාවේ සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණේ නායක සී.වී. විග්නේෂ්වරන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරු සහාය පළකොට අත්සන් තබා තිබේ.

කෙසේවෙතත් දෙමළ මහජන සභාවේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මීට සහාය පළ කර නැහැ.

ඔහු පවසා ඇත්තේ දෙමළ ජනතාව මුලා කිරීමට නොහැකි බවයි.

ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන් දෙදෙනාට මෙම යෝජනාවලිය භාර දීමට නියමිත අතර සාකච්ඡාවට එක් වූ පාර්ශ්ව මාධ්‍යයට අදහස් පළ කළේය.

සී.වී.විග්නේෂ්වරන් – නායක – දෙමළ මහජන පෙරමුණ

“මඟුල් ගෙදර ඉඳලා මනමාලියි මනමාලයයි එනවා වගේනේ බලාගෙන ඉන්නේ. මොනවද අහන්න තියෙන්නෙ. ඔක්කොමලා අත්සන් කරලා තියෙන්නේ. මම අත්සන් තැබුවා. මාවෙයි තැබුවා. සෙල්වම් අත්සන් තියන ගමන් ඉන්නෙ. බොහෝ විට ඔක්කොමලා අත්සන් කරයි.ගජේන්ද්‍ර ගැන මම දන්නෑ. එයා ඉන්නවා. ඒත් දන්නෑ. එයත් තියයි කියලා විශ්වාස කරනවා.”

එම්.ඒ.සුමන්තිරන් – පා.ම – දෙමළ ජාතික සන්ධානය

“අපිට ඒකට සාකච්ඡාවෙන් පසු තීරණයකට එන්න පුළුවන්. දැන්මම තීරණය කරන්න බැහැ. ඒත් එක තීරණයකට ඇවිත් තියෙනවා, ඊට පස්සෙ එන සාකච්ඡා තීරණ පක්ෂ පහම එකතුවෙලා තමයි ගන්න ඕන කියලා. ඉල්ලීමේ පැහැදිලිවම කියලා තියෙනවා අපි ඒකීය රජය ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒකේ කිසිම අපහැදිලිබවක් නැහැ. ඒකීය රජයට අපි එකඟ වෙන්නෙ නෑ කියලා අපි පැහැදිලිවම කියලා තියෙනවා.”

***************************************

රක්ෂිතයකට කුණු දැමූ දෙදෙනෙකු ගම්වැසියන් විසින් ගස් බඳී

(15.10.2019 – 19:11 +0530 – hirunews.lk/sinhala)

මහනුවර, හිඟුරුවාන රක්ෂිතයට පරිභෝජනයට නුසුදුසු නරක් වූ කරවල බැහැර කළ පුද්ගලයන් දෙදෙනෙකු අල්ලා පොලීසියට භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ සිද්ධියක් අද වාර්තා වුණා.

අද අලුයම 4.30 ට පමණ මහනුවර – හාරිස්පත්තුව ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්, හිඟුරුවාන රක්ෂිත වනය අසල නවතා තිබූ ලොරි රථයක් පිළිබඳ ප්‍රදේශවාසීන් විමසිලිමත්ව තිබෙනවා.

එහිදී ලොරි රථයේ සිටි රියදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ නරක් වූ කරවල රක්ෂිතයට මුදා හැරීම සඳහා පැමිණි බවයි.

අනතුරුව, ප්‍රදේශවාසීන් රියදුරු සමඟ සිටි තවත් පුද්ගලයෙකු අල්ලා ගස් බැඳ ඔවුන් සිදුකළ වරද සඳහන් කරමින් දැන්වීමක් ද සැකකරුවන්ගේ සිරුරේ එල්ලීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් රක්ෂිතයට නරක් වූ කරවල මුදා හැර ඇත්තේ හිඟුරුවාන රක්ෂිත වනය රැක ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳව කරුණු සඳහා දැනුවත් කිරීමේ පුවරු ද ස්ථාපිත කර තිබූ පසුබිමක් තුළයි.

***************************************

කොළඹ නගරාධිපතිනියට විරෝධය පළ කර, අරුවක්කාරුවට කුණු භාර ගැනීම හෙට සිට නවතී

(15.10.2019 – 18:23 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක අරුවක්කාරු ව්‍යාපෘතිය විවේචනය කිරීම නිසා හෙට (16) සිට එම අංගනයට කසල භාර ගැනීම තාවකාලිකව අත්හිටුවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය සඳහන් කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය අසාර්ථක සහ පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකි වූ ව්‍යාපෘතියක් බවයි.

එසේම, මෙම ව්‍යාපෘතිය පෙන්වමින් ඇතැම් අමාත්‍යවරු කප්පම් ලබා ගත් බව ද, එමගින් ඇය සඳහන් කර ඇති බවයි කොළඹ මහනගර සභාවේ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ කියා සිටියේ.

කොළඹ මහනගර සභා සීමාවේ එක්රැස් වන කැලිකසල ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අමාත්‍යාංශය පාරිසරික නීති අනුගමනය කරමින් සෑම ප්‍රයත්නයක්ම ගෙන ඇති බව අදාළ ලිපියෙන් ඔහු පෙන්වා දී තිබෙනවා.

කොළඹ නගරයේ කැලි කසල බැහැර කිරීමට ස්ථානයක් නොමැති වූ අවස්ථාවේදී අරුවක්කාරු සනීපාරක්ෂක කසල අංගනය අඩක් නිම කර තිබියදී ඊට කසල බැහැර කිරීමට පියවර ගත් බව ද ලේකම්වරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එවැනි පසුබිමක් තුළ නගරාධිපතිනියගේ මෙම ප්‍රකාශය තුළින් මහනගර සභාව සතුව කසල ගැටලුවට ‘වඩා හොඳ විසඳුමක්’ පවතින බවට පෙනී යන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

ඒ අනුව, හෙට (16) සිට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අරුවක්කාරු කසල අංගනයට කොළඹ මහනගර සභාවේ කසල භාර නොගන්නා බවයි එම අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴

***************************************

ඉන්දීය ගුවන් යානයක් යාපනයට ගොඩබසී

(15.10.2019 – 16:48 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ පළාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ඉන්දීය ගුවන් යානයක් ගොඩබස්සවා තිබෙනවා.

ඉන්දීය ගුවන් සේවයේ විශේෂඥයන් කණ්ඩායමක් රැගත් මෙම විශේෂ ගුවන් යානය ගුවන් තොටුපල වෙත ළගාවූවා.

මෙම ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසට සංවර්ධනය කිරීම පසුගිය ජූලි මස 5 වනදා ආරම්භ කෙරුණා.

ඒ අනුව අදාළ ගුවන්තොටුපොළ එළඹෙන 17 වනදා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විවෘත කිරීමට නියමිතයි.

එම අවස්ථාවේ දර්ශන පහතින් :

+++++++++++++++++++++

Photos from nethnews.lk
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *