රාජ්‍ය මුදල් කෝටි 70 ක් අවභාවිතයේ.. සජිත්ට නඩු දමන්නැයි ජනාධිපති කොමිසම දන්වයි..

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• රාජ්‍ය මුදල් කෝටි 70 ක් අවභාවිතයේ.. සජිත්ට නඩු දමන්නැයි ජනාධිපති කොමිසම දන්වයි.. (විඩියෝ)

• බැඳුම්කර හොරකමේ දැන් තත්වය – රනිල් කොටු වෙන වාර්තා – හොරුන්ගේ පාරාදීසය EP01 – 15.10.2019 (විඩියෝ)

• අනිද්දා කොළඹට පැය 18 ක ජල කප්පාදුවක්

• යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජනතා අයිතියට (විඩියෝ)

• ආචාර්ය පණ්ඩිත් අමරදේව මහානර්ඝ ගාන්ධර්ව ගුණ සමරු සිනමා සප්තකය

• ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, කෝටි 75 ක් දෙන්නම් – එජාප ප්‍රබලයෙක් ඥානසාර හිමිට යෝජනා කරලා !

• රවුෆ් හකීම් ත්‍රස්තවාදී සහරාන් සමග ගනුදෙනුවක. විඩියෝ සාක්ෂි මෙන්න (විඩියෝ)

• බැසිල් එන්නේ මොකාට ද? – නලින් ද සිල්වා

• TNA යෝජනාවලිය ගැන අදත් විවිධ අදහස්

• තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 55 ක් වංචා කළ, බැංකු සභාපතිවරයෙක් අත්අඩංගුවට

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය මුදල් කෝටි 70 ක් අවභාවිතයේ.. සජිත්ට නඩු දමන්නැයි ජනාධිපති කොමිසම දන්වයි..

(17.10.2019 – 10:00 +0530 – lankacnews.com)

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය භාර ඇමති ලෙස සජිත් ප්‍රේමදාස මහතා එම ආයතනය තුළ සිදු කළ අනීත්‍යනුකූල පත්වීම් 1117 ක් සඳහා වැටුප් හා දීමනා ගෙවීමෙන් ද නිවාස ගම්මාන සඳහා අනවශ්‍ය ලෙස සමරු ඵලක ඉදිකිරීමෙන් ද අවභාවිතා කර ඇති රාජ්‍ය මුදල කෝටි 70 කට අධික බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරිය යුතු බවත් 2015.01.15 දින සිට 2018.12.31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බවත් එකී කොමිෂන් සභා වාර්තාවේ අවසන් වෙළුමේ පළමුවැනි කාණ්ඩය උපුටා දක්වමින් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අනාවරණය කර සිටියේය.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති ‘2019 ජනාධිපතිවරණ ජානිපෙ ප්‍රචාරක මෙහෙයුම’ පිළිබඳ කරුණු දැනුවත් කළ විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ අනාවරණය කර සිටියේය.

එහිදි අදහස් දැක්වූ වීරවංශ මහතා :

“ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් විශේෂ මාධ්‍ය හමුවක් ලෙසයි මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ. ‘2020 ගෝඨාභය නියත ජනපති’ යන තේමාව යටතේ ලියැවුණු පත්‍රිකාවක් අප සිංහල හා දෙමළ බසින් මුද්‍රණය කර තිබෙනවා. එය රැගෙන ලබන සති අන්තයේ සිට අප පක්ෂ සාමාජික සාමාජිකාවන් හා අනුබද්ධ සංවිධානවල නියෝජිතයන් ගෙයින්ගෙට යෑමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එම ක්‍රියාන්විතයට මා සමඟ මෙම මාධ්‍ය හමුවට එක්වූ ප්‍රවීණ රංගන ශිල්පීන් වන ගයාන් වික්‍රමතිලක, අර්ජුන් කමලනාත්, උද්දික ප්‍රේමරත්න හා රජිත හිරාන් යන සහෘදයන්ට අමතරව ප්‍රවීණ හා නවක පරපුරේ කලාකරුවන් විශාල පිරිසක් ද එක්වීමට සූදානම්.

සජිත්ගේ සාපරාධී සාවද්‍ය පරිහරණය

2015 දී ජනතාව රවට්ටපු හංසයාත් අරගෙන අනෙක් පැත්තෙන් එන අපේක්ෂකයා බැරිවෙලාවත් හරි දිනුවොත් අගමැති රනිල් වික්‍රමසිංහමයි. වික්‍රමසිංහ අගමැති පුටුවේ සිටියදී සිරිසේන මහත්තයා වෙනුවට වෙනත් අයකු ජනාධිපති පුටුවේ වාඩි වුණාම මේ රටේ සාමය හෝ ස්ථාවරභාවය ඇතිවන්නේ නැති බව සක්සුදක් සේ පැහැදිලියි. ඒ වගේම මේ අපේක්ෂකයා සරල, අල්පේච්ඡ ප්‍රතිරූපයක් මවා ගන්න විශාල මහන්සියක් ගන්නා බව ඔබට පෙනෙනවා ඇති. නමුත් ඔහු ඇතුළු එජාපය 2015 ජනවාරි 08 වැනිදා බලයට ගෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මඟින් මේ ‘සරල අල්පේච්ඡ ප්‍රතිරූපය’ පොඩිපට්ටම් වී තිබෙනවා. ‘2015.01.15 දින සිට 2018.12.31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අවසන් වෙළුම – පළමුවන කාණ්ඩය’ මගේ අතේ තිබෙනවා. (මාධ්‍ය වෙත වාර්තාව පෙන්වයි) එහි 207 වන පිටුවෙහි තිබෙන නිර්දේශ මඟින් පෙන්වා දෙනවා, ‘නිවාස ගම්මාන ඉදිකිරීමේදී ශිලා ඵලක, සමරු ඵලක, දිසා නාම පුවරු, ඔසු නාම පුවරු සඳහා අනවශ්‍ය ලෙස රුපියල් මිලියන 44.9 ක්, ආසන්න වශයෙන් කෝටි හතරහමාරක මුදලක් වැය කිරීමට අනුමැතිය ලබා දීම තුළින්, සාපරාධී සාවද්‍ය පරිහරණය යන වරද කර තිබෙනවා’ කියා. මේ ‘සරල අල්පේච්ඡ මිනිසා’ නිවාස සංවර්ධන අධිකාරිය යන ආයතනය භාර ඇමතිවරයා ලෙසයි, තමා පත්කළ සභාපති ලක්විජය සාගර පළන්සූරිය මඟින් ‘සාපරාධී සාවද්‍ය පරිහරණය’ සිදු කරවා ඇත්තේ. නිවාස ගම්මාන ඉදිකරන විට පුවරු සඳහා පමණක් වැය වූ මුදලයි මේ. පුවත්පත් දැන්වීම්, කටවුට් වැනි දේ සඳහා කළ අනවශ්‍ය වියදම මෙහිදී විමර්ශනයට ලක් වී නැහැ. මෙයා සරල පූච්චානම් කතා කීවාට, ජනතා මුදල් තමන්ගේ ජනාධිපති සිහිනය සැබෑ කරගන්න යොදා ගෙන ඇති අන්දම අද ඔප්පු වී අවසන්. මේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා යටතේ ඇති එක ආයතනයක, එක අංශයක පමණක් සිදු කළ අපරාධයක්.

‘කෝටි 64.2 ක රාජ්‍ය මුදල් අවභාවිතයක්’

එම වාර්තාවේ 187 – 188 පිටු දෙස අවධානය යොමු කළාම මේ ‘සරල අල්පේච්ඡ මිනිසා’ රාජ්‍ය මුදල් අවභාවිතා කර තිබෙන ආකාරය ඉතා පැහැදිලිව දැක්වෙනවා. මෙම කොමිසමට ලැබෙන පැමිණිල්ලක් ඔවුන් විමර්ශනය කරනවා. පැමිණිල්ල ‘ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා, බඳවා ගැනීමට අදාළ සියලු චක්‍රලේඛ උල්ලංඝනය කරමින් දහසකට අධික සේවක සංඛ්‍යාවක් බඳවාගෙන එකී පිරිසට වැටුප් හා ප්‍රවාහන දීමනා ගෙවීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම’ යන්නයි.

මේ විමර්ශනයෙන් අනතුරුව කොමිසම ලබා දී ඇති පළමු නිර්දේශය වෙත ඔබේ අවධානය යොමු කරවනවා. ‘නිවාස සංවර්ධන අධිකාරියේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, පෞද්ගලික ලේකම් අරුණ දහනායක මහතා සහ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා විසින් අනීත්‍යනුකූල ලෙස බඳවාගත් සේවකයන් 1117 දෙනෙකු සඳහා වැටුප් හා දීමනා ගෙවීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් දීම හා බල කිරීම මඟින් රාජ්‍ය මුදල් 641,870,135.64ක් වැටුප් හා දීමනා ලෙස ගෙවීමට සැලැස්වීම මඟින් එකී රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට සැලැස්වීමෙන් 1994 අංක 20 දරන පනතින් සංශෝධිත 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දඬුවම් කළ හැකි දූෂණය නමැති වරද සිදු කිරීම’ යනුවෙන් එහි සඳහන්. දෙවැනි නිර්දේශය මගින් ඉහත පළමු නිර්දේශයේ නම් සඳහන් සජිත් ප්‍රේමදාස, අරුණ දහනායක, ලක්විජය සාගර පලන්සූරිය යන අයට නඩු පැවරීමට නිර්දේශ කරනවා. මේ රාජ්‍ය මුදල් අවභාවිත කළ ඇමතිවරයාට එරෙහිව නඩු පැවරීමට නඩුවට අදාළ සාක්ෂි ලේඛන හා ලිපිගොනු නීතිපතිතුමා වෙත හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලෙස ද එම නිර්දේශයේම සඳහන්.

අවුරුදු හතරහමාරටම එක මහජන දිනයයි

මේ ආණ්ඩුවම පත් කළ කොමිෂන් සභාවකින් තමයි මේ ‘සරල අල්පේච්ඡ අපේක්ෂකයාගේ පැටිකිරිය’ මේ විදිහට හෙළිදරව් කර ඇත්තේ. ඒ නිසා අපි එතුමාට කියනවා, ‘ඔය සරල පූච්චානම් කතාවලින් ජනතාව රවට්ටන්නේ නැතිව ඉන්න’ කියා. තවදුරටත් බලන්න ඔබේ දෙපතුළ ගාවට එනවා කියන මේ ඇමතිවරයා කටයුතු කර තිබෙන ආකාරය. මේ ගෙවී ගිය අවුරුදු හතරහමාර තුළ සෙත්සිරිපායේ සිය අමාත්‍යාංශයේ බදාදා මහජන දිනය පවත්වා ඇත්තේ එක සැරයයි. ඒකත් පටිගත කිරීමකට අවශ්‍ය නිසයි. නිවාස අමාත්‍යාංශයේදී ජනතාවට තම දුක්ගැනවිලි කියන්න මහජන දිනයක් පවත්වපු නැති කෙනා තමයි අද ‘ඔබ දෙපතුළ ගාවට එනවා’ කියන්නේ. ඒ විතරක් නොවෙයි මේ සජිත් ප්‍රේමදාස මහතා කිසිදිනෙක රූපවාහිනී විවාදයකට තබා, තනි පුද්ගල රූපවාහිනි සංවාදයකට හෝ සහභාගී වී නැහැ. ඊට අවශ්‍ය ආත්ම ශක්තිය ඔහුට නැහැ. එවැනි වැඩසටහනක මාධ්‍යවේදියකු අසන ප්‍රශ්නයට පිළිතුරු දීම මගහැර සිටි මෙයා, දැන් දෙපතුළ ගාවට එන්න හදනවා. ඒ නිසා මේ සජිත් ප්‍රේමදාස හදමින් ඉන්නේ බොල් ප්‍රතිරූපයක් බව ඉතා පැහැදිලියි.

ඒ වගේම අපි මේ රටේ ජනතාවගෙන්, විශේෂයෙන් තරුණ පරපුරෙන් ඉල්ලා සිටිනවා, ‘මේ රට වෙනස් විය යුතු මොහොත උදා වී තිබෙනවා. ඒකට උවමනා වන්නේ වගකීමක් අරන් වැඩක් කරලා පෙන්නපු නායකයෙක්. කයිවාරු ගහමින් හිටපු නායකයෙක් නොවෙයි. අපේ අපේක්ෂකයා මේ රටේ බරපතලම අභියෝගය වූ යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන්, ත්‍රිවිද හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය ඉතා හොඳින් කළමනාකරණය කළ කෙනා, කොළඹ නගරය ආසියාවේ දිදුලන නගරය බවට පත් කළේ ඔහුයි. පෝස්ටරය නිසි තැන පමණක් ගහන, කුණු නිසි පරිදි බැහැර කරන ක්‍රමවේද නාගරික බල ප්‍රදේශවලට හඳුන්වා දුන්නේ ඔහුයි. එවැනි නායකත්වයකට පාර කපලා මේ රට වෙනස් කරමු’ කියා.”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

බැඳුම්කර හොරකමේ දැන් තත්වය – රනිල් කොටු වෙන වාර්තා – හොරුන්ගේ පාරාදීසය EP01 – 15.10.2019

***************************************

අනිද්දා කොළඹට පැය 18 ක ජල කප්පාදුවක්

(17.10.2019 – 16:01 +0530 – hirunews.lk/sinhala)

නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා දිනයේදී පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, අනිද්දා පස්වරු 9 සිට පසුදා පස්වරු 3 දක්වා පැය 18 ක කාලයක් කොළඹ 9, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව, කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශවලට ද අනිද්දා දිනයේදී පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ෴

***************************************

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජනතා අයිතියට

(17.10.2019 – 12:13 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනතා අයිතියට පත් කෙරිණ.

ශ‍්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950 ක් සහ ඉන්දීය ආධාර වශයෙන් රුපියල් මිලියන 300 ක වියදමින් මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකර තිබේ.

යාපනය සහ චෙන්නායි අතර ප්‍රථම ගුවන් ගමන අරඹමින් එයාර් ඉන්දියා එලායන්ස් සමාගමේ VT-KRM අංක දරණ ගුවන් යානය චෙන්නායි සිට එරට ගුවන් නිලධාරීන් හා මගීන් කිහිපදෙනකු සමඟ අද පෙරවරු 10:00 ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය.

ගුවන් තොටුපළ ගිනි නිවන ඒකකය විසින් ජල ආචාර පවත්වා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානය හරසරින් යුතුව පිළිගනු ලැබීය.

යාපනය ජාත්‍යන්තර ගුවන් ‍තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිත අතර ගුවන් තොටු‍පොළ අදියර තුනක් යටතේ ඉදි කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

1960 සහ 1970 දශකවල යාපනය සහ චෙන්නායි නගර අතර විනාඩි 45 කින් යා හැකි ගුවන් සේවයක් තිබී ඇති අතර පසුව ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් එහි ගුවන් ගමන් හා සේවාවන් නවතා දමා ඇත. ආරක්ෂක අංශ විසින් ත්‍රස්ත ග්‍රහනයෙන් මුදා ගැනීමෙන් අනතුරුව යාපනය සහ කොළඹ අතර අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක් මෙම ගුවන්තොටුපළ යොදා ගැනිණි.

ගුවන්තොටුපොළෙහි එක් පර්යන්ත ගොඩනැගිල්ලක්, ගුවන් ගමන් පාලන මැදිරියක්, ගිනි නිවන ඒකකයක් සහ කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයක් ද මේ වන විට එහි ඉදි කර ඇති අතර, එහි ධාවන පථය මීටර් 950 සිට මීටර් 1,400 දක්වා දීර්ඝ කිරීමට නියමිතය.

එහි පළමු අදියර යටතේ සතියකට ගුවන් ගමන් වාර තුනක් පමණක් කිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීක්ෂා කිරීම වෙනුවෙන් පසුගිය 15 වැනිදා ඉන්දියානු තාක්ෂණ ශිල්පීන් රැගත් ඉන්දියානු ගුවන් යාපනයක් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් තරන්ජිත් සිං සින්ධු මහතා, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා, උතුරු පළාතේ දේශපාලන නියෝජිතවරු මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

(වීඩියෝ – රොමේෂ් මධුසංඛ)

+++++++++++++++++++++

***************************************

ආචාර්ය පණ්ඩිත් අමරදේව මහානර්ඝ ගාන්ධර්ව ගුණ සමරු සිනමා සප්තකය

(17.09.2019 – saaravita.lk)

ආචාර්ය පණ්ඩිත් අමරදේව මහානර්ඝ ගාන්ධර්වයාණන්ගේ තෙවැනි ගුණ සමරුව නිමිත්තෙන් අමරදේවයන් සංගීතයෙන් පෝෂණය කළ සිනමා කෘති සප්තකයක් කොළඹ, චිත්‍රපට සංස්ථා, තරංගනී ශාලාවේ දී ප්‍රදර්ශනය කිරීමට අමරදේව පදනම සංවිධානය කර ඇත.

ඒ අනුව ප්‍රදර්ශනය කෙරෙන සිනමාපට වන්නේ,

නොවැම්බර් 01 (සිකුරාදා) :
• ප.ව. 6.00 ට- ගම්පෙරළිය- ලෙස්ටර් ජේම්ස් පීරිස්

නොවැම්බර් 02 (සෙනසුරාදා) :
• ප.ව. 2.00 ට – තරංගා- විමල් වෛද්‍යසේකර ‍
• ප.ව. 4.45 ට- වෙසතුරු සිරිත- ලයනල් අමරසිංහ
• ප.ව. 7.00 ට- තුං මං හන්දිය- මහගම සේකර

නොවැම්බර් 03 (ඉරිදා) :
• ප.ව. 2.00 ට – මඩොල්දූව- ලෙස්ටර් ජේම්ස් පීරිස්
• ප.ව. 6.00 ට – රන්සළු- ලෙස්ටර් ජේම්ස් පීරිස්

නොවැම්බර් 04 (සඳුදා) :
• ප.ව. 6.00 ට – දෙලොවක් අතර- ලෙස්ටර් ජේම්ස් පීරිස්

සියලුම චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට පෙර සිනමා, සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීන විද්වතෙකු විසින් හැඳින්වීමේ කෙටි දේශනයක් පවත්වනු ඇත. නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන මෙම සිනමා කෘති නැරඹීමට පැමිණෙන ලෙස සියලුම රසිකයන්ට ආරාධනා කෙරේ…

***************************************

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, කෝටි 75 ක් දෙන්නම් – එජාප ප්‍රබලයෙක් ඥානසාර හිමිට යෝජනා කරලා !

(17.10.2019 – colombotoday.com)

බොදු බල සේනා සංවිධානය විසින් 2019 ජනාධිපතිවරණය සඳහා විකල්ප අපේක්ෂකයෙකු ලෙස පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඉදිරිපත් කරන්නේනම් රුපියල් කෝටි 75 ක් ලබා දිය හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු යෝජනා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අදාල අමාත්‍යවරයාගේ සමීපතමයෙක් ඔතෝම්බර් 3 වෙනිදා ඥානසාර හිමි හමුවී මෙම යෝජනාව කර ඇති බවත් මැතිවරණයට ඉදිරිපත් වී ඥානසාර හිමි ලක්ෂ 5 ක පමණ චන්ද ප්‍රමාණයක් ලබා ගන්නේනම් එජාප අපේක්ෂකයා ජයග්‍රහණය කරන බවත් ඊට පසුව තවත් සැලකිය යුතු මුදලක් ලබාදිය හැකි බවත් එම පුද්ගලයා විසින් ඥානසාර හිමිට පවසා ඇත.

කෙසේ වෙතත් එම යෝජනාව ඥානසාර හිමි විසින් එකහෙලා ප්‍රතික්ෂේප කර ඇති අතර එවිට කෝටි 75 ක මුදල කෝටි 100 දක්වා වැඩි කර ලබා දිය හැකි බව ඔහු පවසා ඇත.

එම යෝජනාවෙන් පසු “මට ලන්සු තියන්න එන්න එපා” යැයි පවසමින් ඥානසාර හිමි කෝප වී තැරව්කරුට දැඩි ලෙස බැන වැදී ඇති අතර හිස් අතින් ආපසු පැමිණි තැරව්කරු “බඩට බත් නැතත් ආත්මය පාවා දෙන්නේ නෑ. දැන් කරුණාකරලා මෙතැනින් යන්න” යැයි තමාව එලවා ගත් බව අමාත්‍යවරයාට පවසා ඇත.

Janahada.com

***************************************

රවුෆ් හකීම් ත්‍රස්තවාදී සහරාන් සමග ගනුදෙනුවක. විඩියෝ සාක්ෂි මෙන්න

(16.10.2019 – colombotoday.com)

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් සමග ජාතික තවුහිඩ් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායක සහරාන් හෂීම් එකට සිටින දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම් සමග බොහෝ මුස්ලිම් දේශපාලකයන් සම්බන්දතා පැවැත්වූ බවට චෝදනා එල්ලවූ අතර මෙවැනි වීඩියෝ සාක්ෂියක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මිට ඉහතදී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් නැගෙනහිරට වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලා සිටිනම හේතුවෙන් සමාජයේ ආන්දෝලනයට ලක්වූ පුද්ගලයෙකි.

මෙවර ජනාධිපතිවරණයේදී රවුෆ් හකීම්ගේ සහය සජිත් ප්‍රේමදාස එජාප අපේක්ෂකයාට හිමිවී ඇත.

***************************************

ගෝඨාගේ මුහුණට Facebook තහනමක්

(16.10.2019 – colombotoday.com)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුහුණ පළකිරීම Facebook ආයතනය වාරණය කර තිබෙනවා. අද (16) Colombo Today පලකල පුවත් දෙකක් ඉවත් කිරීමට Facebook ආයතනය කටයුතු කර තිබෙනවා.

පසුගිය කාලසීමාවේ විවිධ පුද්ගලයින්ගේ Facebook වාරණය කිරීම සඳහා කටයුතු යෙදුන අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය වගකිව යුතු බවට චෝදනා එල්ල වුනා. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ රුව Facebook තුල යොදා ගැනීම මේවනවිටත් වාරණය කර තිබෙනවා.

ආණ්ඩු විරෝධී අදහස් දැරීම හේතුවෙන් ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ Facebook පිටුව අක්‍රිය කිරීම මෙහි උච්චතම අවස්ථාවයි. පසුව ඔහු විසින් ඇමරිකාවේ නීතිඥ සහයෙන් එම පිටුව යලි ලබා ගත්තා.

කෙසේ වෙතත් තම ප්‍රතිවාදීන් මර්ධනය කිරීමට මෙවැනි ක්‍රියාවන්හි නිරතවීමට කිසිදු ආණ්ඩුවක් ඉතිහාසයේ කටයුතු කර නැත.

එක් පාර්ශවයකට අසාධාරණ ලෙස මෙවැනි කටයුතු සිදුකරන්නේනම් Facebook වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාව තුල අවහිර කිරීමේ සම්පුර්ණ බලය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සතුව ඇත ෴

***************************************

බැසිල් එන්නේ මොකාට ද? – නලින් ද සිල්වා

(16.10.2019 – 19:00 +0530 – lankaleadnews.com)

බැසිල් රාජපක්‍ෂ ඉන්දියාවේ පුවත්පතකට ප්‍රකාශයක් කරලා. සුපුරුදු විධියට ඔහු තමාට ජාතිකත්වයක් නැති බව කියලා. ඔහු කියා ඇත්තේ උපරිම ලෙස බලය බෙදනවා කියා. උපරිම ලෙස බලය බෙදන්න පොදුජන පෙරමුණක් අවශ්‍ය නැහැ. එ ජා පක්‍ෂය හරි චන්ද්‍රිකා හරි ඉඩක් දුන්නොත් ඒ කරාවි. බැසිල් හදන්නේ ගෝඨාභයගේ ඡන්ද කඩන්න ද?

බැසිලිකාවෙ ඉන්න ස්මාට් ජාතිකවාදීන් හැරෙන්න වෙනත් අයකු බැසිල් සමග එකග වන්නේ නැහැ. බැසිලිකාවෙ ඉන්නෙ අංක එකේ ප්‍රාඥයන්. ඔවුන් අයින්ස්ටයින්ටත් උගන්නනවා. ඔවුන්ට අනුව ඊනියා මහා සාපේක්‍ෂතා න්‍යායට අමතර ව විශේෂ සාපේක්‍ෂතා න්‍යාය හඳුන්වා දී තියෙනවා. මෙහි න්‍යාය යන්න ම වැරදි වචනයක්. ඉංගිරිසියෙන් ජෙනරල් කියන්නෙ මහා නොවෙයි. සාධාරණ සාපේක්‍ෂතාවාදයට අමතර ව විශේෂ සාපේක්‍ෂතාවාදයක් හඳුන්වා දුන්නේ නැහැ. සාපේක්‍ෂතාවාදයේ වර්ධනය නොව එහි අයන්නවත් දන්න අයකු එහෙම ලියන්නේ නැහැ. බැසිලිකාවෙ ඉන්න අයගෙන් අපට බැසිල් මනින්න බැහැ. ඒත් අප දන්නවා බැසිල් ජාතිකත්වයක නැති බව.

බැසිල් කියන්නේ කුමන බලයක් බෙදීමක් ගැන ද? එය පරිපාලනය පමණක් නම් අපට ප්‍රශ්නයක් නැහැ. ග්‍රාම නිලධාරි දක්වා පරිපාලනය බෙදන්න පුළුවන්. එහෙත් ඉන්දියාවේ පුවත්පතක් ලංකාවේ දෙමළ කතා කරන ජනයා වෙනුවෙන් බලාපොරොත්තු වන්නේ පරිපාලන බලය බෙදීම නො වෙයි. ඔවුන් කතා කරන්නේ ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් ජාතික හැඳුනුම් පත ලබා ගැනීම ගැන නො වෙයි. බැසිල් යම් විධියකින් කියා ඇත්තේ පරිපාලන බලය බෙදීමක් ගැන නම් මේ ලිපියෙන් කෙරෙන විවේචනය වලංගු වන්නේ නැහැ. එහෙත් එසේ නම් ඔහු ඉහත කී පුවත්පතට වහාම තම ස්ථාවරය පැහැදිලි කළ යුතුයි. එසේ පැහැදිලි නොකරන තාක් මේ විවේචනය වලංගුයි. ඒ පැහැදිලි කිරීම මෙරට වොයිස්කට් ජනමාධ්‍යයට පමණක් නොවිය යුතුයි.

මේ උපරිම වශයෙන් බලය බෙදීම නැත්නම් විමධ්‍යගත කිරීම යනු කුමක් ද? ඒකීය රාජ්‍යයක නම් ව්‍යවස්ථාදායක බලය අංශු මාත්‍රයක්වත් විමධ්‍යගත කරන්න බැහැ. ව්‍යවස්ථාදායක බලය අංශු මාත්‍රයක්වත් විමධ්‍යගත කළහොත් එතැන ඇත්තේ සන්ධීය රාජ්‍යයක්. අද ලංකාවෙ තියෙන්නෙත් සන්ධීය රාජ්‍යයක්. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරට සන්ධීය රාජ්‍යයක් ඇති කෙරුණා.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමු කළ අවස්ථාවේ විනිසුරුවන් නව දෙනාගෙන් හතර දෙනකු කියා සිටියේ ඉන් සන්ධීය රාජ්‍යයක් ඇති වෙන බවයි. හතර දෙනකු කියා සිටියේ රාජ්‍යය ඉන් පසුව ද ඒකීය කියා. එක් විනිසුරුවකු පාරින්ද රණසිංහ මහතා කියා සිටියේ 154 (G) (2) අනුව්‍යවස්ථාව අනුව රාජ්‍යය සන්ධීය වන බවත් එය ඇතිව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත්. එහෙත් ජේ ආර් ජයවර්ධන උප්පරවැට්ටි මගින් එය ජනමත විචාරණයකින් තොර ව සම්මත කර ගත්තා. පනත සම්මත වීමෙන් පසු නැවත අධිකරණයට ගොස් එය අවලංගු කිරීමට ඉල්ලන්න බැහැ. දහතුන දැන් මෙරට ව්‍යවස්ථාවට ඇතුළත්. අප දැන් සන්ධීය රාජ්‍යයක්. ඒ නිසයි අප මුල සිට ම කියන්නේ දහතුන අහෝසි කළ යුතු ය කියා. එහෙත් මෙතෙක් කිසිම ආණ්ඩුවක් එයට අත ගසා නැහැ. අප ඒකීය කියා බොරුවට කෑ ගසන්නේ සන්ධීය රාජ්‍යයක. බැසිල් කියන්නේ දහතුන තව තවත් ශක්තිමත් කිරීමට.

අප අවුරුදු තිහක පමණ කාලයක් තිස්සේ අහන ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ කතා කරන ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය, අසාධාරණය කුමක් ද යන්නයි. එවැනි ප්‍රශ්න කිහිපයක් ම මා අසා තිබෙනවා. මනසින් තොර යථාර්ථයක් පවතින බව මනසින් තොර ව පෙන්වන්න පුළුවන් ද? මනසක් ඇත්නම් පරිනිබ්බාණයේ දී මනසට සිදු වන්නේ කුමක් ද? එය නැති වෙනවා ද, නැත්නම් දිගට ම පවතිනවා ද? මේ ප්‍රශ්න එකකටවත් පිිළිතුරක් ලැබී නැහැ. බැසිලිකාවෙ කාහට හරි ප්‍රශ්න එකකටවත් පිළිතුරක් දෙන්න පුළුවන් ද? පිළිතුරු තැපැල් පතක ලියා එවන්න බැරි නම් වෙන ක්‍රමයකට එවන්න. හොඳ ම පිළිතුරට හොඳ තෑග්ගක් දෙනවා.

බැසිල් කෙසේ වෙතත් මහින්ද හා ගෝඨාභය නම් දෙමළ ජාතික සංධානයට දී තිබූ පිළිතුරු එහි නායකයන් පිළිගෙන නැහැ. මට හිතෙන විධියට මහින්ද හා ගෝඨාභය දෙමළ ජාතිවාදී නායකයන්ට කියා ඇත්තේ උතුරේ ජනයාට ඇති ප්‍රශ්න අනෙක් පළාත්වල ජනයාටත් ඇති බවයි. රටේ සියල්ලන්ගේ ම ප්‍රශ්න විසඳන්න ඕන. දෙමළ කතා කරන ජනයාට දෙමළ නිසා ම විශේෂිත වූ ප්‍රශ්නයක් නැත් නම් ඒ සඳහා ඊනියා විසඳුම් ද අවශ්‍ය නැහැ. බැසිල් උපරිම වශයෙන් බලය විමධ්‍යයගත කරන්න කියන්නෙ අහවල් දේකට ද?

මේ ඡන්ද කුට්ටි දේශපාලනයට මිස වෙන එකකට නොවෙයි. බැසිල් ඡන්ද කුට්ටි හිඟමනේ නොගොස් ශ්‍රී ල නි ප, ම එ පෙ, ජ නි පෙ, පි හෙ උරුමය ආදී පක්‍ෂ සමග කට්ටිවාදී නොවී සුහද ව කටයුතු කරනවා නම් සිංහල ජනතාවගේ ඡන්දවලින් 70% කට වඩා ලබා ගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙත් ඔහු හා ඔහු අනුව යන්නන් හැම තිස්සෙ ම බලන්නෙ අනෙක් පක්‍ෂ කොන් කරන්න. මට ලැබෙන ආරංචි එතරම් හොඳ නැහැ. බැසිල්ට ඒ අනෙක් පක්‍ෂවලට සුහදත්වයක් දක්වනවාට වඩා දෙමළ ජාතිවාදී හා මුස්ලිම් අන්තවාදී පක්‍ෂ සමග ඡන්ද කුට්ටි දේශපාලනයෙහි යෙදීම ප්‍රිය ජනක ද?

අප කලට පෙර ඇසූ තවත් ප්‍රශ්නයක් නැවත අහන්න සිදු වෙනවා. බලය උතුරු පළාතට (හා අනෙක් පළාත්වලට) විමධ්‍යගත කිරීමෙන් වැල්වත්තේ, කොටහේනේ, අද වන විට නුගේගොඩත් වෙසෙන දෙමළ කතා කරන ජනයාට ඇතැයි කියන ප්‍රශ්නය විසඳන්නේ කෙසේ ද? ඔවුන් උතුරු පළාතට යවනවා ද? ප්‍රශ්නයක් තියෙනවා නම් එය සියළු දෙමළ කතා කරන ජනයාට පොදු විය යුතුයි. එය පොදුවේ විසඳිය යුතුයි.

මොනවා වුණත් මොන සංවිධායක වුවත් බැසිල් ගෝඨාභයගේ සිංහල බෞද්ධ ඡන්ද නොකඩා සිටිනවා නම් හොඳයි. ගියවර මහින්ද පැරදුණේ සිංහල බෞද්ධ ඡන්ද අඩු වීම නිසයි ෴

***************************************

17-10-2019

***************************************

***************************************

TNA යෝජනාවලිය ගැන අදත් විවිධ අදහස්

(17.10.2019 – 20:25 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයින් සමග ගිවිසුම් ගත වීමේ අරමුණින් දෙමළ දේශපාලන පක්ෂ 5 ක් එක්ව ඉදිරිපත් කල ඒකීය රාජ්‍ය සංකල්පය ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 13 ක යෝජනාවලිය සම්බන්ධයෙන් අදත් මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කලා.

මේ අතර උහන ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම යෝජනාවලියට විරෝධය පළ කරමින් එය ගිනි තබා විනාශ කළා.

***************************************

තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 55 ක් වංචා කළ, බැංකු සභාපතිවරයෙක් අත්අඩංගුවට

(18.10.2019 – 07:28 +0530 – hirunews.lk/sinhala)

තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි 55 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයේ මූල්‍ය ආයතන සභාපතිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු විසින් තැන්පත්කරුවන්ගේ බැංකු ගිණුම් 120 ක තිබූ මුදල් මෙලෙස සාවද්‍ය පරිහරණය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙකු ද වනවා. තැන්පත්කරුවන්ගෙන් ඔහු සම්බන්ධයෙන් දිගින් දිගටම ලද පැමිණිලිවලට අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

( සැකකරු : ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා )

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *