මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රමුඛ කොමිසම පිල් විදහාගත්ත මොනරෙක්… අනෙක් පැත්තෙන් හෙළුව පේනවා

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රමුඛ කොමිසම පිල් විදහාගත්ත මොනරෙක්… අනෙක් පැත්තෙන් හෙළුව පේනවා (විඩියෝ)

• යුද ජයග්‍රහණය ඡන්දයට යොදාගැනීම තහනම් කළේ කුමන නීතිමය පදනමකින්ද? – ආචාර්ය බන්දුල ගුණවර්ධන අසයි

• සජිත්බෝ‌යි සමග ලයිෆ්බෝ‌යි ජනාධිපතිවරණයට

• මංගල සමරවීර ‘අරුණ’ එක්ක උරණ වෙයි. දෙරණ බලන්නත් එපා කියයි (විඩියෝ)

• විපක්ෂයේ ඇතමුන්ගේ හිත්වල දුර්මත දෙකක් තියනවා.. – වෛද්‍ය ගුණදාස අමරසේකර (විඩියෝ)

• ගෝටාට සහාය දෙන්න විජේදාස රාජපක්‍ෂ එක්වෙයි.. මාධ්‍ය කැදවා එජාප පළු අරී…

• ගෝඨා අත්අඩංගුවට ගන්න නිකුත් කළ ලිපිය නතර කළේ මං – ආචාර්ය විජයදාස රාජපක්ෂ (විඩියෝ)

• වැඩිහිටි කාර්යාල අධ්‍යක්ෂ ඉවත් කිරීම මැතිවරණ කොමිසමෙන් නවත්වයි

• ලියාපදිංචි ආයුර්වේද මධ්‍යස්‌ථානයක්‌ පරීක්‌ෂාවට පොලිසියට බලයක්‌ නැතැයි කියා තෙරපිවරියෝ පස්‌දෙනෙකු නිදහස්‌

• කම්කරු කොංග්‍රසය සහ පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි (විඩියෝ)

• මහ මඟ නතර කර යන, රථවාහන හිමිකරුවන්ට පොලිසියෙන් දැනුම්දීමක්

+++++++++++++++++++++++++++++++++++

මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රමුඛ කොමිසම පිල් විදහාගත්ත මොනරෙක්… අනෙක් පැත්තෙන් හෙළුව පේනවා

(18.10.2019 – 07:29 +0530 – lankaleadnews.com)

මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසක් වුවද එහි සභාපති රාජ්‍ය නිලධාරියකු වුවද ඔහු ජනාධිපතිවරණය සම්බන්ධව ක්‍රියාකරන ආකාරය ගැන බලවත් ගැටලුවක් මතුව ඇති බව නීතිඥ රාජා ගුණරත්න මහතා පවසයි. හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (17) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජා ගුණරත්න මහතා :

“මැතිවරණ කොමිසමේ සභාපති කියනවා ‘යුද්ධය’ මැතිවරණයට ​යොදාගැනීම තහනම් කියලා. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාගැනීමේ පනතේ සඳහන් වෙනවා ජනාධිපතිවරයකු තෝරාගැනීමේදී සිදුනොකළ යුතු වැරදි පිළිබඳව. ඒ වැරදිවලට හැර වෙන කිසිම වැරැද්දක් ගැන කියන්න කොමිසමට බලයක් නෑ. මේ පනතේ 118 වගන්තිය කියනවා මේ සඳහන් වැරදි හැර වෙනත් වැරදි නම් කිරීමට කොමිසමට අවශ්‍ය නම් ඒ සඳහා ගැසට් පත්‍රිකාවක් නිකුත් කළ යුතු බව. මම මැතිවරණ සභාපතිවරයාගෙන් අහනවා ‘යුද්ධය’ ගැන කතා නොකළ යුතුයි කියලා. මොන ගැසට් නිවේදනයේද තියෙන්නේ. අනෙක තමයි යුද්ධය කියන වචනය පාවිච්චි කරන්න පුළුවන් රටවල් දෙකක් අතර පවතින ආයුධ ගැටුමට. රට ඇතුළේ තියෙන ගැටුමට කියන්නේ අභ්‍යන්තර ආයුධ ගැටුම කියලා. ඒක යුද්ධයක් නෙවෙයි. ඒ නිසා මැතිවරණ කොමසාරිස්වරයාගේ වචන නීත්‍යනුකූල විය යුතුයි. වගකීමෙන් යුක්ත විය යුතුයි.

ජාත්‍යන්තරය ගත්තොත් ඇමෙරිකාව යුද්ධ කළා. ඔබාමා, බුෂ් ජනාධිපතිවරණයේදී ඉරාකය සමග යුද්ධ කළ ආකාරය ප්‍රසිද්ධියේ කතා කළා. මේවා තමයි කතා කළ යුත්තේ. එක්සත් ජාතික පක්ෂයට අනුව පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී ඇමෙරිකාව යුද්ධය ගැන කතා කරන්න එපා කිව්වේ නැහැ.

මේ මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රමුඛ කොමිසම පිල් විදහාගත් මොනරෙක්. අනෙක් පැත්තෙන් හෙළුව පේනවා.

+++++++++++++++++++++++++++++++++++

යුද ජයග්‍රහණය ඡන්දයට යොදාගැනීම තහනම් කළේ කුමන නීතිමය පදනමකින්ද? – ආචාර්ය බන්දුල ගුණවර්ධන අසයි

(18.10.2019 – gossiplankanews.com)

යුද්ධය යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී තහනම් කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තීරණය කර ඇත්තේ කුමන නීතියෙන් හෝ පදනමක් යටතේද යන්නේන් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු ලෙස ප්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාරිලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (17) පැවසීය.

යුද ජයග්‍රහණ ගැන කතා කිරීම තහනම් නම් යුද පරාජයන් හා පාවාදීම ගැන ඇතිතරම් කරුණු හෙළිකිරීමට තමා සූදානම් යැයිද පිටකෝට්ටේ පිහිටි වියත්මග කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කිය.

එහිදී අදහස් දැක්වූ ගුණවර්ධන මහතා, ‘එදා ප්‍රේමදාස යුගයේ මුදල් අමත්‍යාංශයේ ලේකම්වරයා වූ ආර්. පාස්කරලිංගම් මහතා එවකට ජනපති ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත කොටින්ට මුදල් සහ ආයුද ලබාදීම පිළිබඳව සාක්ෂි සහිතව ඕනැතරම් කථා කිරිමට කරුණු ඇතැයි’ කියා සිටියේය.

මෙම අවස්ථාවේදී ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක යන හිටපු අමාත්‍යවරුන් විසින් ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙනා බවත් ඊට විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු ලෙස තමන්ද අත්සන් තැබූ බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එදා කොටින්ට මුදල් හා ආයුධ ලබාදීමට මුල් වූ පාස්කරලිංගම් මහතා අද එඡාපයේ ආර්ථික උපදේශකවරයකු බවද කොටින්ට මුදල් ලබාදුන් බවට සඳහන් රුපියල් ලක්‍ෂ 125 ක් වටිනා රිසිට් පත් 17 ක් තමන්ට ලැබී ඇති බවත් ඒවා භාරගත් බවට පාස්කරලිංගම් මහතා අත්සන් තබා ඇති බවත් මන්ත්‍රිවරයා හෙළි කෙළේය.

වසර 30 ක් තිස්සේ යුධ බිමේ සටන් කොට, කොටින් පරාජය කොට යුද ජයග්‍රහණය ලබාදී තම ශරිරයේ අවයව පවා අහිමි කරගත් රණවිරුවන්ට තම ජීවිතයට පරාජය හිමිකර ගැනීමට අද සිදුවී ඇතැයිද ඒවා එකිනෙක මැතිවරණ වේදිකාවල හෙළි කිරීමට සූදානම් යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව 1998 වසරේදී පේදුරුතුඩුව යුද හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයේදී එම එල්ටීටීඊ සැකකරුවන්ට අත්අඩංගුවට ගෙන සිටියදී ඉන් එක් අයකු පැනයාමට තැත් කළ අවස්ථාවේ මෙල්ල කිරීම සඳහා තැබූ වෙඩිල්ලකින් ඔහු මියයාමේ වරදට මිනීමැරුම් චෝදනා යටතේ එවකට බුද්ධි අංශ මේජර්වරයෙකු වන විමල් වික්‍රමගේ (විශ්‍රාමික) මහතාට අද අත්වී ඇති ඉරණම ශෝකජනක බවද මන්ත්‍රීවරයා කීය.

මිනීමැරිමේ චේතනාවෙන් නොකළ මෙම වෙඩි තැබිම පිළිබඳව ඔහු හමුදා අධිකරණයෙන් නිදහස් වුවද සිවිල් අධිකරණයෙන් වසර 10 ක අත්හිටවූ සිරදඬුවම් සමග රුපියල් ලක්ෂ 20 ක වන්දියක් මියගිය අයගේ පවුලේ සාමාජිකයන්ට ගෙවීමට නියම වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහුට එම චන්දි මුදල ගෙවීමට තරම් වත්කමක් නොවුයෙන් රටේ ජනතාවගේ ආධාරයන් රපියල් ලක්ෂ 20 සොයාදුන් නමුත් වසර 10 කට අත්හිටවූ සිරදඩුවම හේතුවෙන් ග්‍රාමසේවා සහතිකයක් හෝ ලබා ගැනීමට නොහැකිවී ඇතැයිද ඔහු කිවේය.

ඒ නිසාම ඔහුට හෝ ඔහුගේ දරුවකුට අද රැකියාවකට යාමට විදේශගතවීමකට පමණක් නොව කුමන අවශ්‍යතාවක් මත හෝ රඡයේ සහතිකයක් පවා ලබා ගැනීමට නොහැකි අයුරින් ඔහු මිනීමරුවෙකු ලෙස හංවඩු ගසා ඇතැයි ද රටට යුද ජයග්‍රහණය ලබාදුන් රණවිරුවන්ට අත්වී ඇත්තේ මෙවැනි ඉරණමක් යැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය .

විශ්‍රාමික මේජර් (ආබාධිත) විමල් වික්‍රමගේ මහතා අදහස් දක්වමින් යුද ජයග්‍රහණයේ නියමුවන්ගේ එම ඡයග්‍රහණ ගැන මැතිවරණ වේදිකාවල කතාකිරීම පවා තහනම් කර ඇති අවස්ථාවක් අද උදාවී ඇත්තේ දෛවයේ සරදමක් ලෙස බවද කියා සිටියේය.

වසර 10 ක අත්හිටවූ සිරදඬුවම් ලැබී වසර 3 ක් ගතවී ඇති අතර තවත් වසර 7 ක් යනතෙක් මම දුක්ඛිත තත්ත්වය විඳ දරා ගැනීමට තමන්ට සිදුවී ඇතැයිද වසර 16 ක් තිස්සේ නඩු කීමට පමණක් රුපියල් ලක්ෂ 25 ක් පමණ වියදම් වී ඇතැයි කී මේජර්වරයා තවමත් බෝම්බ කෑලි ඇඟපුරා ඇතැයිද සඳහන් කළේය ෴

***************************************

සජිත්බෝ‌යි සමග ලයිෆ්බෝ‌යි ජනාධිපතිවරණයට

(17.10.2019 – 13:33 +0530 – lankaleadnews.com)

ජනාධිපතිවරණයට ලයිෆ්බෝ‌යි ඉදිරිපත්ව ඇ‌ත්තේ ප්‍රථම වතාවටය. ඒ‌ සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අනුග්‍රහය දක්වමිනි. ඉන්දීය ගිලන්රථ සේවයේ වරුණාව කියමින් ආ‌ණ්ඩුවේ ‘ඉන්න හිතෙන රට’ ගැන රූපවාහිනී දැන්වීම් හරහා පාරම් බාන්නේ ලයිෆ්බෝ‌යි අනුග්‍රහයෙන් බව නො‌බියව පවසන තරමට යුනිලීවර් තම දේශපාලන ඒ‌ජන්තයා වෙනුවෙන් සහ දේශපාලන ප්‍රවාහය වෙනුවෙන් පෙනී සිටීම මැතිවරණ කො‌මිසමට කො‌යි ආ‌කාරයෙන් දර්ශනය වේ දැයි තවම පැහැදිලි නැත.

ප්‍රතිපත්තිමය වශයෙන් සහ ක්‍රියාත්මක වන ආ‌කාරයෙන් ගත්කල සජිත්බෝ‌යිට ලයිෆ්බෝ‌යි සමග එකගෙයි කෑමට තරම් සමානකම් දෙදෙනා අතර ඇ‌ති බව පැහැදිලිය. සජිත්බෝ‌යි ගෙවල් හදන බවට රටපුරා අඬබෙර ගසා නමට ගෙවල් හදමින් මිනිසුන් රවටද්දී ලයිෆ්බෝ‌යි කරන්නේ ද සබන් බවට රටපුරා අඬබෙර ගසා සබන් යයි රවටා ජනතාවට වො‌ෂින්පවුඩර් කැට අලෙවි කිරීමය. ලයිෆ්බෝ‌යි තම ප්‍රතිවාදී සබන් නිශ්පාදකයින්ට අධිකරණය හරහා කකුල් මාට්ටු දමන්නට ගො‌ස් කඳ හරහට ඇ‌නගත්තා වාගේම සජිත්බෝ‌යි ද තම ප්‍රතිවාදී අපේක්ෂකයාට අධිකරණය හරහා කකුල් මාට්ටු දමන්නට ගො‌ස් ඇ‌නගැනීමද දෙදෙනා අතර ඇ‌ති තවත් ආ‌ශ්වාදජනක සමානත්වයකි.

සබන් දමා හෝ‌දන්නට බැරි තරමේ දේශපාලන කුණු කන්දක් ඇ‌ත්නම් එය ඇ‌ඟට අහිතකර, පිළිකාකාරක සහිත වො‌ෂින් පවුඩර් දමා හෝ‌ සෝ‌දාගැනීම අපට ප්‍රශ්නයක් නො‌වේ. “කො‌න්ත නෝ‌නාගේ පස්ස කො‌න්ත නෝ‌නාට ඕනෑ හැටියට ය, මිරිස් වතුරෙන් හෝ‌දාගත්තදෙන් – අපේ මො‌කෝ‌” කියා අහක බලාගෙන සිටීමට අපට පුලුවන. නමුත් සබන් කියා රවටා ජනතාවගේ ඇ‌ඟේ වො‌ෂින් පවුඩර් උලන බහුජාතික සමාගම්වල දැන්වීම් අනුග්‍රහයෙන් රටක ජනාධිපති වීමට යමෙකු උත්සාහ කරන්නේ නම් ඒ‌ ගැන අප දෙවරක් නො‌ව සියවරක් සිතාබැලිය යුතුය.

පළමුව රටේ පවතින මැතිවරණ නීති මේ මගින් උල්ලංඝණය නො‌වන්නේද, ඔලුවට හෝ‌ අඩු තරමින් කකුලට නො‌වේ නම් ජනනේන්ද්‍රියට හෝ‌ වෙඩි තැබීමට මේ තත්වය හේතුවක් නෙවන්නේදැයි ගරු කටයුතු මැතිවරණ කො‌මසාරිස්වරයා පැහැදිලි කළ යුතුය. දෙවනුව ලයිෆ්බෝ‌යි අනුග්‍රහයෙන් තමා ජයග්‍රහණය කළහො‌ත් රටේ ජනතාවට දිගටම සිදුවන්නේ සබන් කියා රැවටෙමින් පිළිකාකාරක වො‌ෂින්පවුඩර්ම ඇ‌ඟේ උලාගන්නටදැයි සජිත්බෝ‌යි පැහැදිලි කල යුතුය.

තම මානව විරෝ‌ධී පිළිකාකාරක වො‌ෂින්පවුඩර් කැට වෙළඳාමෙන් උපයන ලාබය මෙලෙස දේශපාලකයන් මිලදීගැනීම සඳහා යො‌දවා ඇ‌ත්තේ කවදා පටන්ද ?, එලෙස මිලදීගත් තවත් දේශපාලකයන් සිටීනම් ඒ‌ කවුරුන්ද ? යන්න යුනිලීවර් සමාගම කිසිදින හෙළිදරව් නො‌කරනු ඇ‌ත. එසේම ලයිෆ්බෝ‌යි අනුග්‍රහයෙන් දිනවන්නට යන සජිත්බෝ‌යි ජයග්‍රහනය නො‌කලහො‌ත් ජයගන්නා අපේක්ෂකයා මිලදීගන්නට එලා ඇ‌ති දැල කුමක්ද යන්නත් යුනිලීවර් සමාගම කිසිදින හෙළිදරව් නො‌කරනු ඇ‌ත. ඒ‌ සියලු අවදානම් පිළිබඳව විමසිල්ලෙන් සිටීමට සිදුවනුයේ පාරිභෝගික අපටමය. අප දැන් හුදු පාරිභෝගිකයයන් පමණක් නො‌ව ඡන්දදායකයන් ද බව සිහියේ තබාගනිමින් මේ විමසිල්ල පවත්වාගත යුතු වීම විශේෂත්වයකි.

– මුහුණු පොතෙන්

***************************************

මංගල සමරවීර ‘අරුණ’ එක්ක උරණ වෙයි. දෙරණ බලන්නත් එපා කියයි

(17.10.2019 – 21:14 +0530 – lankaleadnews.com)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කළු සල්ලි සුදු කලායැයි කියන දිලිත් ජයවීර මහතාගේ පච පැක්ටරියෙන් සුපුරුදු පරිදි ජනතාව නොමග යවමින් අසත්‍ය ප්‍රකාශ කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

TNA සමග එකඟවූ කරුණු නොවැම්බර් 1 වනදා ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් එලි දක්වන බව හෙතෙම පැවසීය.

පරාජය හමුවේ වියරු වැටී ඇති දිලිත් ජයවීර මහතාගේ පච පත්තරය වගේම දෙරණ රුපවාහිනී නාලිකාව බැලීමෙන් වලකින ලෙසත් මංගල සමරවීර විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (16) සඳහන් කර සිටියේය.

දෙමළ ජාතික සන්ධානය සමඟ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවබෝධතාවවකට පැමිණි බව මුදල් ඇමති මංගල සමරවීර මහතා මෙහිදී හෙළි කළේය.

නොවැම්බර් 01 වැනිදා එලි දක්වන මැතිවරණ ප්‍රකාශනයෙහි පැහැදිලිව සඳහන් කරන බව පැවසූ ඔහු දෙමළ ජාතික සන්ධානය ඉල්ලීම් 13 මූලික කොන්දේසා පනවා ඇති බවට පළ වන වාර්තා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එස්.ඒ. සුමන්දිරන් කියා සිටියේ තමන්ගේ ඒකීය රාජ්‍ය සංකල්පය තවදුරටත් පිළිනොගන්නා බවය. එමෙන්ම දෙමල සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක් පෙරේදා දින රැස්වී සිය අවසන් කොන්දේසි සකස් කර ගන්නා ලදී.

***************************************

විපක්ෂයේ ඇතමුන්ගේ හිත්වල දුර්මත දෙකක් තියනවා.. – වෛද්‍ය ගුණදාස අමරසේකර

(18.10.2019 – 01:42 +0530 – lankaleadnews.com)

ජනාධිපතිවරණය සඳහා උතුරේ ඡන්ද ලබා ගැනීම සම්බන්ධව විපක්ෂයත් දුර්මතවල එල්බගෙන සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ඊයේ (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

උතුරේ ඡන්ද නැත්නම් ජනාධිපතිකම නෑ කියලා හිතන පිරිසක් විපක්ෂය තුළ සිටින බවත් නමුත් අද දෙමළ ජාතික සන්ධානයට උතුරේ ඡන්ද පදනමක් නොමැති බව ඔවුන් පිළිනොගන්නා බවත් අමරසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

දෙමළ ජාතික සන්ධානය විසින් මෙලෙස යෝජනාවලියක් ඉදිරිපත් කරන්නේ බලය නැතිවීම ගැන වියරු වැටී සිටීම හේතුවෙන් බවද අමරසේකර මහතා අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා :

“බලයට ආවම අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියල සජිත් කියනවා. ඒ විජාතික බලවේගවලට යටත් වූ උතුරේ දේශපාලනඥයන්ට ෆෙඩරල් රාජ්‍ය සෑදීමට අවශ්‍ය බලය ව්‍යවස්ථාවෙන්ම ලබාදීම සඳහා. විජාතික බලවේගවලට අවශ්‍ය වන්නේ බෙදුණු රටක් සහ ඒ බෙදුණු රට තුළ ඔවුන්ගේ ආධිපත්‍යය පිළිගන්න නායකයෙක්. ඒ සඳහා විවිධ ගිවිසුම් ගහලා කුමන්ත්‍රණ කළා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවීමත් ඒ කුමන්ත්‍රණයේම ප්‍රතිඵලයක්.

මේ වගේ යෝජනාවලියක් ඉදිරිපත් කිරීම පිළිබඳ ලැජ්ජාවිය යුතුව තිබියදී රනිල්, රාජිත, මංගල ප්‍රමුඛ පිරිස උතුරට යනවලු ඒ ගැන සාකච්ඡා කරන්න. මට පුදුමයි මහින්දත් ඒ ගැන සාකච්ඡා කරන්න ඕන කියපු එක ගැන.

උතුරේ ජනතාව තේරුම් අරගෙන ඉන්නෙ වෙල්ලාලයන් ඔවුන්ට සලකන්නේ නෑ කියන එක. ඒ වගේම සැබෑ මුස්ලිම් ජාතිකයන් හිස්බුල්ලා, හකීම් සහ රිෂාඩ් වැනි සහරාන්ලගේ පිටේ බෝම්බ බැන්ද අයගෙන් ඈත්වෙලා ඉන්නෙ. ඒ වගේම ඇමෙරිකාව ප්‍රමුඛ විජාතික බලවේග සනසන්න ඕන කියලා හිතනවා. අපි මොනදේ කළත් මේ බලවේග ඔවුන්ගේ ස්ථාවරය වෙනස් කරලා නෑ. අපේක්ෂකයෝ මොන තීරණ ගත්තත් ජනතාවගේ තීරණය මෙතනදී බුද්ධිමත් විය යුතුයි.”

***************************************

ගෝටාට සහාය දෙන්න විජේදාස රාජපක්‍ෂ එක්වෙයි.. මාධ්‍ය කැදවා එජාප පළු අරී…

(18.10.2019 – 10:40 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා එක්විය.

අද (18) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව ඔහු සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාද එක්විය.

මෙම මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා එක්සත් ජාතික පක්‍ෂයට දැඩිව දෝෂාරෝපණය කලේය.

+++++++++++++++++++++

ගෝඨා අත්අඩංගුවට ගන්න නිකුත් කළ ලිපිය නතර කළේ මං – ආචාර්ය විජයදාස රාජපක්ෂ

(18.10.2019 – 14:32 +0530 – sinhala.adaderana.lk)

එළැඹෙන ජනාධිපතිවරණයේදී තම සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බව හිටපු අධිකරණ අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද (18) කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

සිය සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය විජයදාස රාජපක්ෂමහතා ප්‍රකාශකළේ අද (18) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ද එක්ව සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමින් ඒ මහතා මෙසේ පැවසීය :

“දැන් අපි ඉන්නේ තිරණාත්මක මොහොතකයි.

පහුගිය වසර හතරහමාරක කාලය පුරා යහපාලන ලේබලය යටතේ තිබුණු ආණ්ඩුවේ යම් යම් වගකීම් දරපු කෙනෙක් විදියට රට මුහුණ දීලා තිබෙන අනතුරෙන් රට බේරාගන්න, පුරවැසියන් විදියට අපි සහාය දිය යුතුයි කියලා හිතනවා.

2015 ජනවාරි 08 යහපාලන ආණ්ඩුව හදන්න මම විශාල සහායක් දැක්වූවා.

එදා ජේ. ආර්. ජයවර්ධන මහතා ඇතිකළ බෙදුම්වාදි ත‍්‍රස්තවාදය මෙරට හිටපුවිධායක ජනාධිපතිවරු හතරදෙනෙකුට විසදන්නබැරි වුනා.

ලෝකයේ තිබුණු දරුණුම ශාපලත් යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනකොට එතුමාගේ ශක්තිය වුනේ ගෝඨාභය රාජපක්ෂ මහතායි.

යුද්ධයෙන් පසු ප‍්‍රශස්ත පාලනයක් මෙරට ඇති කළ යුතුයි කියන අරමුණින් අපි ශී‍්‍ර ලංකා නිදහස්පක්ෂයේම මහ ලේකම්වරයා පොදු අපේක්ෂකයා කරගෙන එජාපයේ මෙහෙයවීමෙන් එතුමා ජනාධිපතිවරයා කරගෙන පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 42 ක් හිටපු කුඩා පක්ෂයක් මේ රටේ ආන්ඩුව බවට පත්වුණා.

එදා ඉදන් වුනු දේවල් මේ රටේ ජනතාව දන්නවා. මාධ්‍ය මගින් ඒ දේවල් ජනතාවට නිවැරදිව සන්නිවේදනය වුණා.

ආණ්ඩුව පත්වුනු හැටියේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. මහ බැංකු පනත හා මුල්‍ය පනත අනුව කිසිම අවස්ථාවක ශී‍්‍ර ලංකා මහ බැංකුව මුදල් ඇමැතිවරයාගෙන් පිට කෙනෙක්ට පවරන්න බලයක් නැහැ.

නමුත් අගමැතිවරයා දිවුරුම් දුන් දවසේ ඉදන් මුදල් ඇමැතිකම තමන්ගේ විෂය පඨයට නතු කර ගන්න අගමැතිවරයා කි‍්‍රයා කළා.

දෙවැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ගෙනත් ආයෝජන මණ්ඩලයේ දූෂණ කරලා ලෝකයම දූෂිතයෙක් බව දන්න අර්ජුන මහේන්ද්‍රන්ව මුදල් ඇමැති කරන්න තිරණය කළා. මම ඊට විරුද්ධ වුනා. ඔහු එක පැත්තකින් දූෂිතයෙක්. ඒ වගේම ඔහු ද්විත්ව පුරවැසියෙක් හෝ ලංකාවේ පුරවැසිකම ගන්න පුලුවන් පුද්ගලයෙක්වත් නෙවෙයි.

ඒ මත මම විරුද්ධ වුනා. ජනාධිපතිතුමා විරුද්ධ වුනා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ඒ අවස්තාවේ පැය භාගයකට වැඩිය ආයාචනය කළා අර්ජුන මහේන්ද්‍රන් නැතිව ආර්ථීකය ගොඩ ගන්න බැහැ. එහෙම කරන්න පුලූවන් වෙන කෙනෙක් නැහැ කිව්වා.

ඒ ආන්ඩුවේ සත් සතිය ගත වෙන කොට මහ බැංකු මංකොල්ලය කළා. ඒක අපේ රටේ ඉතිහාසයේ වුනු දැවැන්තම මංකොල්ලය වගේම රටට නායකයෙක් සෘජුව මෙවැනි මංකොල්ලයකට දායකවුනු පළමු අවස්ථාවත් මෙයයි.

මහපොල වත්කමක් විදියට තිබුණු මාලඹේ තාක්ෂණ විද්‍යාලය, මිලියන 40,000 ක වත්කම් තිබුණු විශ්ව විද්‍යාලය මිලියන 408 ක විකුණා දැම්මා.

මැතිවරණය පවත්වලා අපි ජිනිවා ගියා. මැතිවරණ වේදිකාවේ යුද්ධයට අණ දුන්න සේනාධීනායක මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු හමුදාපතිවරු සොල්දාදුවන් ඇතුලු රණ විරුවන් දංගෙඩියට ගෙනියන්න සුදානම් වෙනවා කියන කතාව කියැවෙන්න ගත්තා. මම ම වේදිකාවට නැගලා කිව්වා රට බේරගත්ත ජනාධිපතිවරයා විදුලි පුටුවට යවන්න සූදානම් නැහැ කියලා. නමුත් ඒ යට කුමන්ත‍්‍රණයක් දියත් වුනු බව මම දුටුවා.

ජිනිවා ගිය වෙලාවේ, රටේ ජනාධිපතිවරයාත් අමාත්‍ය මණ්ඩලයත් නොදැන අපේ රටට ඉදිරිපත් වුනු ඇමරිකානු යෝජනාවලියට සම අනුග‍්‍රහය දක්වන්න මංගල සමරවිර ඇමැතිවරයා එකඟ වුණා.

ඒක ඇමරිකාවේ ඉල්ලීමකටත් වඩා තමන්ම ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා කරපු දෙයක්. එහි භයානක කම හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විරෝධී බව මම ඔහුට පෙන්වා දුන්නා.

දරුස්මාන් වාර්තාවේ තියෙන අසත්‍ය තොරතුරු මත සිවිල් පුරවැසියන් 40,000 ක් ඝාතනය වුනා, රෝහල්වලට බෝම්බ හෙලුවා, මේ පිළීබදව දෙමුහුන් අධිකරණ පත්කරලා රණ විරුවෝ දංගෙඩියට ගෙනියන්න ඕනේ කියන යෝජනාවයි එහි තිබුනේ. මේ යෝජනාවට සම අනුග‍්‍රහයක් දැක්වීම අපි නොකල යුතුව තිබුණා. මොකද? ඒක අපේ රටට විරුද්ධව ගෙනාපු යෝජනාවක්.

ජිනීවා මානව හිමිකම් කොමිෂම කුණු වලක් කියලා ඇමරිකාව ඉල්ලා අස්වුනා. නමුත් ජිනිවා ප‍්‍රශ්නය තවම තියෙනවා අපිට විරුද්ධව. මංගල සමරවිර මහත්තයායි රනිල් වික‍්‍රමසිංහ මහත්තයායි විතරක් එකඟ වෙලා ඒ යෝජනාව අපේ රටටම විරුද්ධව ඉදිරිපත් කරලයි තියෙන්නේ.

සමහරු කියනවා දොන් ජුවන් ධර්මපාලයි මේ රටේ ලොකුමපාවාදිම කලේ කියලා. ඒක වැරදියි. වසර 30 ක් පැවැති යුද්ධය නිමාකරපු රණ විරුවෝ පාවා දුන්න දොන් ජුවන් ධර්මපාලගේ බාප්පලා දෙන්නෙක් තමයි රනිල් වික‍්‍රමසිංහයි මංගල සමරවිරයි කියන්නේ. තවත් පරම්පරා ගණනාවක් මේ රටට ආදරය කරන ජනතාවගේ සාපයඔවුන්ට හිමියි.

වහාබ්වාදය තුල රට කිහිප වතාවක් ඇවිලෙන්න ගියා. කූරගල, කුළියාපිටිය, මඩකලපුව වගේ තැන් කිහිපයකම ආණ්ඩුව ජනවාර්ගික ගැටුමක් ඇති කිරීමේ සැලැස්මක් දියත් කළා.

2018 නොවැම්බර් ආරක්ෂක අමාත්‍යංශයේ වැයශීර්ෂය සාකච්ඡා කරන අවස්ථාවේ මම කිව්වා අයි. එස්. තර්ජනයක් තියෙන බව. එදා ඉදන් මට ජාතිවාදීයි කියලා චෝදනා කළා. ත‍්‍රස්තවාදය පෝෂණය කරන මන්තී‍්‍රවරුන්ව ආරක්ෂා කළා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාව හැදුවේ රාජ්‍ය ආයතන ස්වාධීන කරලා ප‍්‍රශස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන ක‍්‍රමයක් ගෙනියන්නයි.

මේ අවස්ථාවලදී විධායක ජනාධීපති බලය පාවිච්චි කලේ අගමැතිවරයායි. පොලිස්පති වෙන්න සුදුසුම තැනැත්තා වූ එස්.එම්. වික‍්‍රමසිංහ ඒ තනතුරුට පත් කරන්නයි ජනාධිපතිවරයා කියලා තියෙන අවස්ථාවේදිත් නම් තුනක් අවශ්‍ය බව කිව්වා.

පූජිත ජයසුන්දර මහතාගේ නම යෝජනා කරන අවස්ථාවේදීම මම කිව්වා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්න ඔහුට සුදුසුකම් නැති බව.

මේ රටේ ආරක්ෂාව පිලිබදව වගකිමක් ගන්න එස්.එම්. වික‍්‍රමසිංහ මහතා සුදුසු බව මම කිව්වා. වික‍්‍රමසිංහ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආරක්ෂාව භාරව සිටි නිසාත් පී.බී. ජයසුන්දර එක්සත් ජාතික පාක්ෂිකයෙක් නිසාත් පොලිස්පතිකම දෙන්න බැහැ කිව්වා.

ඒ නිසා අවසානයේ පූජිත ජයසුන්දරට දෙන්න තීරණය කළා. පූජිත ජයසුන්දරට පොලිස්පතිකම දුන්නොත් ලොකු වන්දියක් ගෙවන්න සිද්ධ වෙයි කියලා ඒ අවස්ථාවේදිත් මම කිව්වා. ඒ කියලා මාස කිහිපයකින් පිපිරිම් සිද්ධ වුනා.

පාර්ලිමේන්තු කමිටුවක් දාලා කලේ චෝදනාවට ලක්වුනු ත‍්‍රස්තවාදින් පෝෂණය කළ මන්තී‍්‍රවරුන්ට චරිත සහතික දිලා නැවතත් තිබුණූ තනතුරුවලටම පත්කරන එකයි. වෙන පියවරක් ගත්තේ නැහැ. මේ ව්‍යවස්ථාදායක සභාව නිසා අපේ අධිකරණයට අසාධාරණකම් වුනා.

සමහර විනිසුරන්ගේ උසස්විම් ප‍්‍රතික්ෂේප වුනා.

ලලිත් වීරතුංග මහත්තයාට ඇප දුන්නා කියලා එක් විනිසුරුවරියකගේ උසස්වීම දුන්නේ නැහැ. සරත් ෆේන්සේකා මහත්තයාට විරුද්ධව නඩු තින්දුවක් දුන්නා කියලා තවත් විනිසුරුවරියකට උසස්විම් දුන්නේ නැහැ.

ව්‍යවස්ථාදායක සභාව හැදුව ප‍්‍රතිඵලය අපිට අත් කර ගන්න බැරි වුනා. රාජ්‍ය ආයතන පද්ධතිය කඩා වැටුනා. පොලිස් කොමිෂම පත්වුනා කියලා අපරාධ අඩු වුනාද? නැහැ. වැඩි වුනා.

ලංකාවට ගේන කුඩු ප‍්‍රමාණය අඩු වුනාද? වැඩි වුනාද? මහින්ද රාජපක්ෂ මහතාගේ කාලේ තැනින් තැන කුඩු අහුවෙනවා කියලා චෝදනා කළත් අපේ යහපාලන ආණ්ඩුව කාලේ කුඩු ආවේ කන්ටේනර් පිටින්.

මේවා ගැන කතා කරන මිනිස්සු ආණ්ඩුව ඇතුලේ ඉන්න අය දේශද්‍රෝහියෝ වුනා. රාජිත සේනාරත්න ඉඩම් පනතක් ගෙනාවා. ගොවි පවුල් ලක්ෂ 20 ක් විතර එළීයට දාන්නයි මේ පනත ගෙනාවේ.

සෝපා ගිවිසුම යටතේ අක්කර 6 ක් ඇමරිකාවට ලබා දිමත් එහි අරමුණක් වුනා. අපි අධිකරණයට යන කොට අපිට තර්ජනය කළා. අධිකරණයෙන් නතර කලොත් අපි මිනිස්සු පාරට බස්සනවා කියලා මට තර්ජනය කළා. හම්බන්තොට වරාය විවේචනයට ලක් වුනා.

විශාල වියදමක් දරලා රටේ ජනතාවගේ මුදලින් මහින්ද රාජපක්ෂ මහතාගේ දර්ශනය අනුව හදපු වරාය ආර්ථික ප‍්‍රශ්න තිබුණා කියලා විකිණීමේ අවශ්‍යතාවයක් තිබුනේ නැහැ.

ඩොලර් බිලියන 70 ක් ණය වුනු අවස්ථාවක වරාය විකුණලා ගන්නේ එක බිලියනයයි. මම ඇහුවා ඉතිරි බිලියන 69 ට මොකක්ද විකුණන්නේ කියලා. වික‍්‍රමසිංහ මහත්තයාගේ මොන බූදලයද විකුණන්නේ?. මේ ගැන කතා කරනකොට මංගල, රාජිත මාව හැදින්නුවේ ගෝත‍්‍රිකයෙක් විදියටයි. තමන්ගේ රටේ සම්පත් ආරක්ෂා කරන්නේ ගෝති‍්‍රකයෝද.

ඒ වචනය යොදා ගැනීම ගැන අදත් මම සතුටුයි. රටක ගෝත‍්‍රීක ජනතාව තමන්ගේ රටට ආදරෙයි. මහ පොලොවට ආදරෙයි. ජනතාවට ආදරෙයි. මමත් ගිරුවා පත්තුවේ ඉපදුන කෙනෙක් විදියට බුදුන් වහන්සේ තුන්වරක් වැඩිය රටේ අපේ අම්මලා තාත්තලා මුතුන් මිත්තෝ හුස්ම ගත්ත පණ නල තමයි අපිත් හුස්ම අරන් ජිවත් වෙන්නේ. ඒ නිසා අපි මේ මහ පොලොවට ආදරෙයි.

හම්බන්තොට වරායත් එක්ක අක්කර 15,000 ක් විදේශිකයින්ට විකුණන්න යද්දි අපි ඉල්ලුවේ අපේ ගම්වල මිනිස්සු පරම්පරා ගණනාවක් තිස්සේ කොස් දෙල් කාලා ආත්ම ගරුත්වයක් ඇතිව ජිවත් වුනු ඉඩම් ටික හා වරාය විකුණන්න එපා කියලයි. අපිට රකින්න පරම්පරාවක් ඉන්නවා. ඔටුනු පලදන්න කුමර කුමරියෝ ඉන්නවා. අක් මුල් සිදීගිය සමනල රෑනක සාමාජිකයන් නෙවෙයි අපි. රට ආරක්ෂා කිරීමේ වගකීමක් අපි සියලු දෙනාට තියෙනවා.

අපි මේ රටේ ගෞරවනිය විදියට ජිවත් වෙන්න ඕනේ. යහපාලනය නමින් බලයට ඇවිත් කලේ පලිගැනිම විතරයි. අධිකරණයේ ස්වාධින්වය ආරක්ෂා කිරීමට පියවර ගැනීම නිසා මට සෑහෙන්න දෝෂාරෝපණ එල්ල වුනා. ජනාධිපතිතුමා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු කෙරෙද්දි නිතිපති දෙපාර්තමේන්තුවට ඇගිලි ගහන්න අධිකරණ ඇමැති විදියට මම ඉඩ තිබ්බේ නැහැ.

ඒ ඉඩ කඩ නොතිබුණු නිසා ඇත්තටම බැදුම්කර හොරු කවුද කියන දේ ජනතාව දැක්කා. ඊට ඉඩ සැකසිම වරදක් විදියටයි මේ ආන්ඩුව දැක්කේ.

සජිත් ප්‍රේමදාස මහතා මම අගය කරන ප‍්‍රකාශයක්කරලා තිබුණා. හදිසියේවත් ඔහු ජනාධිපති වුනොත් දූෂීතයෝ ටිකට ඇමැතිකම් දෙන්නේ නැහැ කියලා තිබුණා. එහෙම කිව්වාට ජනතාව පිළිගන්නේ නැහැ. නම් ගම් ඇතිව මේ රටේ මහ බැංකු මංකොල්ලය කළ රනිල් වික‍්‍රමසිංහට ඇමැතිකමක් අගමැතිකමක් දෙන්නේ නැහැ කියන්න. මලික් සමරවික‍්‍රමට ඇමැතිකමක් දෙන්නේ නැහැ කියන්න. මහ බැංකු හොරකමක් වුනේ නැහැ කියලා කුලියට පොතක් ලියපු සුජිව සේනසිංහට ඇමැතිකමක් දෙන්නේනැහැ කියන්න. ෆුට් නොට් දාපු අජිත් පි පෙරේරාට ඇමැතිතමක් දෙන්නේ නැහැ කියන්න. එහෙම කිව්වොත් ජනතාව පිලිගනියි.

අද උතුරු-නැගෙනහිර පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ප‍්‍රශ්න. සජිත් ප්‍රේමදාස කිසිම තැනකට ගිහින් ප‍්‍රශ්නයක් විසඳලා නැහැ. දඹුල්ලේ විහාරාධිපති හිමිගෙන් පලිගන්න සංරක්ෂණ කටයුතුනතර කළා.ලෝක උරුම අතරින් දඹුල්ල ඉවත් කරන්නයි හැදුවේ. ඒ වෙලාවේ ජනාධිපතිතුමා මට කතා කරලා සංස්කෘතික අමාත්‍යංශය භාරදුන්නේ. පලාලිවල ගුවන් තොටුපලක් විවෘත කරන්නේ මත්තල වි ගබඩා කරලා.

දැන් රට පාලනය කරන්නේ ලිච්ඡවි රජ්ජුරුවන්ගේ බාප්පලා. නමුත් ලිච්ඡුවි පාලනයේ මූලධර්ම ඉදිරියට ගෙනියන්නේ නැහැ. පල්ලි ඇතුලේ මිනි කඳු ගොඩ ගැහුනේ තොරතුරු තිබිලයි. හරින් ප‍්‍රනාන්දු බෝම්බය පුපුරන බව දැනගෙන පල්ලි ගියේ නැහැ. තාත්තාට පින් දුන්නා එයා බේරුනු එක ගැන. ඒ ගැන කතා කරන්න අරලිය ගහ මන්දිරයේ පැවැත්වුනේ මාධ්‍ය හමුවක් නෙවෙයි. සාදයක්. විහිලුතහලුවෙන් ඇමැතිවරු කතා කලේ.

මේ පාලන කාලය තුල ඩි.එස්. සේනානයක මහතා රටට ආදරය කරමින් බිහිකරපු එක්සත් ජාතික පක්ෂය දිය වුනා. බණ්ඩාරනායක මහතා ගොඩනගපු මැතිණය පණ වගේ ආරක්ෂා කළ ශී‍්‍රලනිපය දිය වුනා. ඒක තමයි යහපාලන ආන්ඩුවේ ප‍්‍රතිපලය.

අපිට ත‍්‍රස්තවාදය පෝෂණය කරනවාද? එයින් රට බේරා ගන්නවාද කියන ප‍්‍රශ්නයයි තියෙන්නේ. දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරන්නේ රට දෙකඩ කරන යෝජනා. අපිට අපේ ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් හදාගන්න ඇමරිකාවෙන් සල්ලි හිඟා කන්න අවශ්‍යතාවයක් නැහැ. තෘෂ්ණාධික විදියට කතා කරමින් මිලියන 200 ක් මංගල බදා ගත්තේ මිනි කඳු උඩින්.

පලිගැනීම් දිගින් දිගමට වුනා. ආරක්ෂක ලේකම් වුනු ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ ලිපියක් නිතිපති දෙපාර්තමේන්තුව නිකුත් කළා.

ඒක එතනින් එහාට යාම මම නතර කළා. ඇවන්ගාර්ඩ් නැව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමක් කළාට පස්සේ අවසාන මොහොතේ අපේ පැත්තට ආපු ඇමැතිවරයෙකුගේ ගෙදර ඉඳගෙනයි මේ ලියුම හැදුවෙ.

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ගිනි අවි පනත, පුපුරණ ද්‍රව්‍ය පනත යටතෙයි මේ අත් අඩංගුවට ගැනීම කරන්න හදන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු තවත් හත් දෙනෙකු අත් අඩංගුවට ගන්නයි උත්සාහ කලේ. එදා හවස ලිපි ගොනුව නිතිපති දෙපාර්තමේන්තුවට ඇවිත් තිබුනේ. නිතිපතිතුමා දන්නේ නැහැ එවැනි ලියුමක් නිකුත් කළ බව. සුහද ගම්ලත් මහතා අපරාධ අංශය භාරව හිටයත් එතුමා දන්නෙත් නැහැ එවැනි ලියුමක් ගැන. කොහොමද මෙහෙම ලියුමක් එන්නේ. රාජිත සේනාරත්නගේ ගෙදර හදපු ලියුම නිතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් වරයෙකුගේ අත්සනින් තමයි ආවේ. කොහොමද එහෙම වෙන්නේ. මේ ගැන කතා කරපුවාම ආණ්ඩු විරෝධීයෙක් ලෙසයි මාව හැදින්වූයේ.

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රට ලේ විලක් කරපු ප‍්‍රභාකරන්ව එක පැයකට අත් අඩංගුවට ගන්න බැරි වුනා. ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදය නතර කරන්න පුර්ණ දායකත්වය දුන්න ගෝඨාභය රාජපක්ෂ මහතාව ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්න හැදුවා. මම මේ ගැන ජනාධිපති, අගමැති එක්ක කතා කරලයි මේක නතර කලේ.

රාජපක්ෂවරු කරපු හොරකම් ගැන වේදිකාවේ දිගින් දිගටම කිව්වා. රාජිත සේනාරත්න, රාජපක්ෂ ජනාධිපතිතුමා හොරකම් කරපු සල්ලි ඇහැටම දැක්ක බව කියනවා. තාත්තා කියන කොට ‘අප්පගේ පුතත්’ කියනවා තාත්තා විතරක් නෙවෙයි මමත් දැක්කා කියලා.

අධිකරණ ඇමැති විදියට තියෙන තැන කියන්න අල්ල ගෙන එන්නම් කියලා මම කිව්වා. අවසානයේ ජේ. සි. වැලිඅමුණයි අල්ලස් ජෙනරාල්වරියයි ජනාධිපතිට බල කරලා ඩුබායි රාජ්‍ය නායකයාට ලියුමක් දුන්නා හොරකම් කරපු මුදල් ගැන සඳහන් කරලා. ඒ ලියුම බලපු ඩුබායි රටේ රාජ්‍ය නායකයා ‘උඹලාගේ ආණ්ඩුවට පිස්සුද?’ කියලා අහලා එවලා තිබුණා.

මම ප‍්‍රතිපත්ති ගරුකවයි ජිවත් වෙන්නේ. මේ අවස්ථාවේ මේ රටේ සෑමපුරවැසියෙකුටම සියලු ප‍්‍රශ්නවලට කලින් රට ආරක්ෂා කර ගැනීමේ වගකිමක් තියෙනවා. එහෙම නොකලොත් අපි විදේශ රටවල වහලුන් බවට පත්වෙනවා. අපිට මේ මැතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරවීමේ යුතුකමක් සහ වගකිමක් තියෙනවා.”

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.facebook.com/wijeyadasarajapakshe/videos/402108463817105/

***************************************

වැඩිහිටි කාර්යාල අධ්‍යක්ෂ ඉවත් කිරීම මැතිවරණ කොමිසමෙන් නවත්වයි

(18.10.2019 – 09:56 +0530 – lankadeepa.lk)

වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති නම් එය වහාම නතර කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියට මැතිවරණ කොමිසම ඊයේ (17) නියෝග කර ඇත.

දේශපාලන පලිගැනීමක් ලෙස තමා එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවට සමන් උඩවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව මැතිවරණ කොමිසම වෙනුවන් අතිරේක මැතිවරණ කොමසාරිස් බී.පී.සී කුලරත්න මහතා විසින් යොමුකරන ලද ලිපියක් මගින් මෙම නියෝගය කර තිබේ.

මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන කාලයේ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පෙර මැතිවරණ කොමිසමෙන් විමසිය යුතු යැයි ද මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත යොමුකරන්නැයි ද කොමසාරිස්වරයා අමාත්‍යාංශ ලේකම්වරියට වැඩිදුරටත් නියෝග කර ඇත.

ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් වැඩිහිටි මහලේකම් කාර්යාලය සංවිධානය කළ සැමරුම් උත්සවයක් දේශපාලනික අරමුණු සඳහා භාවිත කිරීමට එරෙහිවීම නිසා තනතුරෙන් අස්වන්නැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන ඇමැති දයා ගමගේ මහතා තමාට බලපෑම් කළේ යැයි වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත මහතා මැතිවරණ කොමිසමට පැමිණිලිකර තිබිණි.

අනුරාධපුරයේ දී පසුගිය 1 වැනිදා පැවැත් වූ ජාතික වැඩිහිටි දින උත්සවයට පුද්ගලයන් 25,000 ක් සහභාගි කරවාගෙන ඔවුන්ට ඇඳ ඇතිරිලි 25,000 ක් බෙදා දෙන ලෙසත් ඇමැතිවරයාට අයත් ආයතනයකින් එම ඇඳ ඇතිරිලි මිලදී ගන්නා ලෙසත් ඔහු තමාට බලපෑම් කළේ යැයි ද උඩවත්ත මහතා එහි සඳහන් කර ඇත.

තමා ඊට විරුද්ධ වූ බැවින් එම මිලදී ගැනීම් කිරීමට නොහැකි වූ නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව අදාළ උත්සවය සඳහා වේදිකාව සැකසීමට ඇමැතිවරයා ඔහුගේ හිතවතකුට අවස්ථාව දුන්නේ යැයි ද මෙසේ වේදිකාව සැකැසීමට වෙනත් පාර්ශ්වයකට අවස්ථාව දුන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා රුපියල් ලක්ෂ 33 ක අවම මිලකට එම කාර්ය කිරීමට සකස් කළ සැලැසුම් ඇමැතිවරයා විසින් අවලංගු කරනු ලැබීමෙන් පසුව යැයි ද පසුව එම වේදිකාව සඳහා රුපියල් ලක්ෂ 45 ක් ගෙවන්නැයි ඇමැතිවරයා තමාට නියෝග කළ නමුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිභාහිරව මුදල් ගෙවීමක් බැවින් එම නියෝගය ද ප්‍රතික්ෂේප කිරීමට තමාට සිදුවී යැයි ද උඩවත්ත මහතා ඔහුගේ පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

අදාළ මුදල් ගෙවීම සඳහා සමාජ ආරක්ෂණ අරමුදලෙන් මුදල් ලබාගන්නා හැටියට ඇමැතිවරයා තමාට නියෝග කළේ යැයි ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දීමනාවෙන් නැවත අයකර ගන්නා මුදලින් එවැනි මුදල් වෙන් කිරීමකට අවසර දීම නීති විරෝධී බව කියමින් එම සියලු නියෝග ප්‍රතික්ෂේප කළ බැවින් තමාට තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි ඇමැතිවරයා බල කළේ යැයි ද උඩවත්ත මහතාගේ පැමිණිල්ලේ සඳහන් වේ.

අමාත්‍යංශ ලේකම්වරිය ලිඛිතව එම නියෝගය කළහොත් අස්වීමට සූදානම් යැයි ඇමැතිවරයාට පැවසූ බවත් ඉන්පසුව තමා ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව හැඟී ගියෙන් මැතිවරණ කාලයේ එවැන්නකට යත්න දැරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සේ සලකා කොමිසමට පැමිණිලි කළ බවත් සමන් උඩවත්ත මහතා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසීමක දී සමන් උඩවත්ත මහතා පැවසුවේ මැතිවරණ කොමිෂමේ නියෝගය අනුව තමා තවදුරටත් තනතුරේ රාජකාරි කිරීමට සූදානම් බවය.

මේ පිළිබඳව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතාගෙන් හා අමාත්‍යංශයේ ලේකම් අශෝකා අලවත්ත මහත්මියගෙන් විමසීමට උත්සාහ කළ ද ඔවුහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වූහ ෴

***************************************

ලියාපදිංචි ආයුර්වේද මධ්‍යස්‌ථානයක්‌ පරීක්‌ෂාවට පොලිසියට බලයක්‌ නැතැයි කියා තෙරපිවරියෝ පස්‌දෙනෙකු නිදහස්‌

(18.10.2019 – nethgossip.lk)

ආයුර්වේද වෛද්‍යවරයකු විසින් නිකුත් කරන ලද නිසි සහතිකයක්‌ නොමැතිව – ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක තෙරපිවරියන් වශයෙන් සේවය කිරීමේ චෝදනා මත අධිකරණය හමුවේ පෙනීසිටි තෙරපිවරියන් පස්‌දෙනා ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා එම චෝදනාවලින් නිදහස්‌ කර මුදාහරින ලෙසට නියම කළේය.

වාර්ෂික බලපත්‍රය ලබාගෙන පවත්වාගෙන යන ආයුර්වේද මධ්‍යස්‌ථානයක්‌ පරීක්‌ෂාවට ලක්‌කළ යුත්තේ ආයුර්වේද කොමසාරිස්‌ හෝ ඔහු විසින් පත්කරනු ලබන නියෝජිතයකු පමණක්‌ බව පැවසූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා ආයුර්වේද දෙපාර්තමේන්තුවට අදාළ ගැසට්‌ පත්‍රයේ ඒ බව සඳහන් වන බැවින් ලියාපදිංචි ආයුර්වේද මධ්‍යස්‌ථානයක්‌ පරීක්‌ෂාවට ලක්‌ කිරීමට පොලිසියට බලයක්‌ නැති හෙයින් සැකකාරියන් චෝදනාවලින් නිදහස්‌ කරන ලෙසට නියම කළේය.

යක්‌කල පොලිසිය මගින් චෝදනා ගොනු කර තිබිණි ෴

***************************************

කම්කරු කොංග්‍රසය සහ පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

(18.10.2019 – 09:26 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය අද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති ජී.එල්. පීරිස් මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා එම ගිවිසුමට අත්සන් තැබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහය පළ කරන බවට පසුගිය දා ලංකා කම්කරු කොංග්‍රසය ප්‍රකාශ කළා.

ඒ අනුව අද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

***************************************

මහ මඟ නතර කර යන, රථවාහන හිමිකරුවන්ට පොලිසියෙන් දැනුම්දීමක්

(18.10.2019 – 07:30 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන මාර්ග ආසන්නයේ රථ වාහන නවතා යන්නේ නම්, තම අනන්‍යතාවය සහතික කිරීම සදහා දුරකථන අංකය පිටතට පෙනෙන ආකාරයෙන් ප්‍රදර්ශනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මීට අමතරව, කාර්මික දෝෂයකට ලක්වූ රථ මාර්ගය ආසන්නයේ නවතා යන්නේ නම්, ඒ පිළිබදව පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කරන ලෙසද ඔහු කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *