ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් රැසක් ගෝඨාගේ සහයට එක්වෙයි…

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් රැසක් ගෝඨාගේ සහයට එක්වෙයි…

• රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ගැන සැකයක් – පුරාවිද්‍යාවත් සිදුවීම මගහරී (විඩියෝ)

• කුලියාපිටියේ පොහොට්ටු රැළියට එන්න වොක්ස්වැගන් ෆැක්ටරියේ සේවකයන්ට නිවාඩු දීලා.. එක දිට හූ කියති.. (විඩියෝ)

• ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂකතුමාට විවෘත ලිපියක් (මහාචාර්ය අතුල සුමතිපාල ගෙන්)

• සජිත්ලට මුකුත් කරගන්න බැරිවුනේ සුළු ජාතිය පමණක් ඉස්සර කරගත් නිසා -ආචාර්ය චරිත හේරත් (විඩියෝ)

• මදුමාධව ගේ ඉල්ලාඅස්වීම සහ සිරස මාධ්‍යවේදියාගේ බුද්ධි මට්ටම …. (විඩියෝ)

• ගම්මන්පිල – සරත් වීරසේකර – අජිත් නිවාඩ් කබ්රාල් – අලි සබ්රි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට …

• නිදහස් පක්ෂය, ගෝඨාභය සමඟ, අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි (විඩියෝ)

• ජාතික ආරක්ෂාව බිල්ලට දෙන යාපනය ‘ජාත්‍යන්තර’ ගුවන්තොටුපළ

• වැසිකිළිවලට වෙන් කළ කෝටි 40 න් සජිත් ‘නිවාස ණය’ දෙන්න අරන්

+++++++++++++++++++++++++++++++++++

ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් රැසක් ගෝඨාගේ සහයට එක්වෙයි…

(19.10.2019 – colombotoday.com)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට කලාකරුවන් රැසක් සහය පලකර ඇත.

මෙවර ජනාධිපතිවරණය රටේ අනාගතය තීරණය කරන තීරණාත්මක කඩඉමක් බව ද ඔවුහු පෙන්වා දෙති. විවිධ කලා අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීහු රැසක් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වෙමින් ඊයේ පස්වරුවේ මේ බව සඳහන් කළහ.

+++++++++++++++++++++

***************************************

රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ගැන සැකයක් – පුරාවිද්‍යාවත් සිදුවීම මගහරී

(19.10.2019 – 09:06 +0530 – lankaleadnews.com)

අනුරාධපුර රුවන්වැලි දාගැබ ප්‍රතිසංස්කරණය මුවාවෙන් යම් අකටයුත්තක් සිදුවන බව ජාතික උරුමයන් සුරකීමේ සම්මේලනය පවසයි.

‍කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංවිධානයේ කැදවුම්කරු ජනක බෝධිනන්ද මහතා සදහන් කළේ දාගැබේ සිදුවන ප්‍රතිසංසකරණ කටයුතු සැක සහිත බවයි.

මෙම ප්‍රතිසංස්කරණ කටුයුතු සිදුකරනු ලබන්නේ ‘විශ්ව පාරමී’ නැමති පෞද්ගලික ආයතනයක් බවත් මෙහි සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාදී තිබෙන නිර්දේශ වලට ද පටහැනිව සිදු වන බවද බෝධිනන්ද මහතා පෙන්වා පෙන්වා දුන්නේය.

මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් රුවන්වැලි මහා සෑයේ චෛත්‍ය ඝර්භයට / පේසා වලලු වලට දැඩි හැනි සිදුවන බවත් මේ වනවිටද එවා හානියට පත්ව තිබෙන බවත් ඡායාරූප සහිතව එතුමන් පෙන්වා දෙන ලදී.

මේ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසූවිට එහි අධ්‍යක්ෂ ජනරාල් මෙම සිදුවීම නිර්ලජ්ජිත ලෙස මඟහරමින් තිබෙන බව ද සදහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සදහා නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා / ක්ෂණිකා හිරඹුරේගම මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී වූහ.

***************************************

17-10-2019

***************************************

කුලියාපිටියේ පොහොට්ටු රැළියට එන්න වොක්ස්වැගන් ෆැක්ටරියේ සේවකයන්ට නිවාඩු දීලා.. එක දිට හූ කියති..

(19.10.2019 – 11:20 +0530 – lankacnews.com)

රටකට ජනාධිපතිවරයකු උවමනා කරන්නේ රෑට ගෙවල්වලට එබීමට හෝ පවුල් සෞඛ්‍ය නිලධාරීවරිය සොයන බොත්තමක් එබීමට හෝ නොව ජාතික ආරක්ෂාව තහවුරු කර, රටේ ආර්ථිකයට පණ දී, අනාගත පරපුරෙහි සිහින පැළ වන පොළොවක් නිර්මාණය කිරීමට බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

කුලියාපිටිය නගර මධ්‍යයේ පැවැති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජය තහවුරු කරන ජාතික රැලි මාලාවේ සිව්වැන්න ආමන්ත්‍රණය කරමින් ඒ මහතා එසේ පවසා සිටියේය.

එහි දී අදහස් දැක්වූ වීරවංශ මහතා :

රට රැක්ක කඳවුර

“කුලියාපිටිය නගර මධ්‍යයේ පවත්වනු ලබන මෙම මහා රැලියට එක්ව සිටින සියලුදෙනාගෙන් අවසරයි. විශේෂයෙන් කියන්න ඕන, මේ ආණ්ඩුව ආරම්භ කරපු වොක්ස්වැගන් කර්මාන්තශාලාවට අද නිවාඩු දීලා. ඒකෙ වැඩ කරන සේවක සේවිකාවන් දහස් ගණනක් මෙතැනට පැමිණ තිබෙනවා. ඒ සියලුදෙනාගෙන් ද අවසරයි. (ජනතා හූ හඬ). මේ ජනාධිපතිවරණ සටන තියෙන්නේ කඳවුරු දෙකක් අතරයි. එකක් ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටින අපේ කඳවුරයි. එය රට රැක්ක කඳවුරයි. ලක්මාතාවට ජීවය දුන් කඳවුරයි. ඒකීයභාවයට පණ දුන්නේ, රණවිරුවන්ගේ අභිමානය රැක දුන්නේ, සිංහල, දෙමළ, මුස්ලිම් සමඟිය ගොඩනැගුවේ, උතුරට කෝච්චියේ යන්න පාර හදා දුන්නේ අපේ කඳවුරයි. මේ තමයි රට රැක්ක, ඉදිරියටත් රට රකින – රට හදන, ඒ වගේම ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් පණ පෙවුණු කඳවුර.

අනෙක් කඳවුර

අනෙක් කඳවුර කුමක්ද? ඒ තමයි සහරාන් ගායට විටමින් දීලා අහිංසක මුස්ලිම් ජනතාවගේ ගෙල වටේට ‘අයිඑස්අයිඑස් බෝඩ් ලෑල්ල’ එල්ලපු කඳවුර. මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට සහරාන්ලා උවමනා වුණේ නැහැ. සහරාන්ලා උවමනා වුණේ මේ ආණ්ඩුවටයි. ඒකයි 97 වතාවක් සහරාන්ලා ගැන බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර තිබියදීත් ඔවුන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිඳු පියවරක් නොගත්තේ. අවසානයේ දේවස්ථාන, හෝටල් මෙන්ම අපේ හදවත් ද කුඩුපට්ටම් කරන තෙක් මේ ආණ්ඩුව සහරාන්ලා රැක්කා. සහරාන් ගායට බෙහෙත් දීලා, තමන්ගේ බෙල්ලේ එල්ලා ඇති ‘අයිඑස්අයිඑස් බෝඞ් ලෑල්ල’ ගැලවිය හැකි නායකයකු සාමාන්‍ය මුස්ලිම් ජනතාව සොයනවා. අද ඔවුන් ඒ නායකයා, ජාතියේ නායක, අප කාගෙත් නායක, ගෝඨාභය රාජපක්ෂයන් බව හඳුනාගෙන අවසන්. ඒක අන්තවාදයට පණ දීපු කඳවුරයි. ඒ වගේම ඒ කඳවුර මංපහරන්නන්ගේ කඳවුරක්. ඔවුන් තමයි මහ බැංකුව මහදවල් කොල්ලකෑවේ. ඒ විතරක්ද? ඒක තමයි බදු බර පටවන්නන්ගේ කඳවුර. ඔවුන් නටන්නේ බටහිර බලවතුන්ගේ පදයටයි. ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇක්සා ගිවිසුමට අත්සන් කරලා, ඕනෑම හදිසි අවස්ථාවක ඇමෙරිකානු හමුදාවලට මේ රටේ බින්නබහින්න ඉඩ හැදුවේ ඒ පරගැති කඳවුරයි. ඒ නිසා ඔබ හොඳින් තේරුම්ගත යුතුයි, අද සටන ඇත්තේ මේ මව් පොළොවට මිතුරු අපේ කඳවුර සහ ඒ පරගැති කඳවුර අතරයි.

පුතාණෝ සහ රිෂාඞ් බදියුදීන්

මේ අය බලයේ ඉන්න කොට සහරාන් ගායට සහ කොටි ගායට විටමින් ලැබෙනවා. දැන් බලන්න දෙමළ ජාතික සන්ධානය සහ තවත් දෙමළ අන්තවාදී පක්ෂ කිහිපයක් එකතුවෙලා තමන් සහාය දෙන ජනාධිපති අපේක්ෂකයා විසින් පිළිගත යුතු යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ස්වයංපාලනයක් ලබා දීම, උතුරු හා නැගෙනහිර පළාත්වල තිබෙන බෞද්ධ සිද්ධස්ථාන සහ ජීවත් වන සිංහල ජනතාව ඉවත් කිරීම මෙන්ම පුරාවිද්‍යා ස්මාරක ඉවත් කිරීම එම යෝජනාවලියෙහි තිබෙනවා. පලාලි ගුවන්තොටුපළ විවෘත කිරීමට ගිය පුතාණෝගේ අගමැතිතුමාණෝ මේ අන්තවාදී, ජාතිවාදී, සහජීවනයට හතුරු ඉල්ලීම් ඉදිරිපත් කරපු දෙමළ ජාතික සන්ධානය සමඟ කරට අත දමාගෙන ඉන්නවා. සහරාන් එදා 2015 දී වැඩ කළේ හංසයාට. 2019 දී සහරාන්ගේ ඉතිරි වී සිටින ගෝලයන් වැඩකරන්නෙත් හංසයාට. සහරාන්ලා 2015 සිට අත්අඩංගුවට ගන්න නොදී රැක ගත්තු, රිෂාඩ් බදියුදීන් අද පුතාණෝගේ ‘දකුණත්සව්’ වෙලා. මේ අය බැරි වෙලාවත් දිනුවොත් වෙනසක් වේවිද? ආයෙත් ඇමතිවරු වෙලා මුස්ලිම් ජනතාවගේ බෙල්ලේ ‘අයිඑස්අයිඑස් බෝඩ් එක’ ගැටගසන්නේ මේ අය නොවෙයිද? නමුත් ගෝඨාභය රාජපක්ෂයන් නොවැම්බර් 16 වැනිදා බලයට එන්නේ මේ අන්තවාදයට උඩගෙඩි නොදෙන ආණ්ඩුවක් හදන්නයි.

බොත්තම ඔබන අපේක්ෂකයා

රෑට රෑට ගෙවල්වලට එනවාලු – මිඩ්වයිෆ් නෝනා ගෙන්න ගන්න එයා ළඟ තියෙන බොත්තම ඔබනවාලු. මේ නල්ලමලේ අපේක්ෂකයා කියන කතා ටික අහපුවාම මට මතක් වෙනවා, මේ සිංදුවත්.

‘මම ඕන වැඩක් කර දෙන්නම්,
අලි ඇත්තු වුණත් පෙරළන්නම්,
ඔබට ආඩම්බරනේ…
ඔබට ආඩම්බරනේ කඵ මැණිකේ…

පොල් කඩලා ගාලා දෙන්නම්,
රෙදි සෝදා වේලා දෙන්නම්,
මොකද ආදරෙද පණේ…
මොකද ආදරෙද පණේ මගෙ මැණිකේ…’

තව ටික දවසක් යනකොට පුතාණේ, පොල් කඩලත් දෙනවා, පොල් ගාලත් දෙනවා, සම්බෝල හදලත් දෙනවා, හදලා, අනලා, කවලා, නිදිකරවලත් තමයි මේ යන තාලෙට ගියොත් අවසන් වෙන්නේ. අපට ජනාධිපතිවරු උවමනා රෑට ගෙවල්වලට එබෙන්න නොවෙයි. මිඩ්වයිෆ් නෝනා හොයන බොත්තම ඔබමින් ඉන්න නොවෙයි, අපට ජනාධිපතිවරයකු උවමනා වන්නේ රට සුරක්ෂිත කරන්න, ජාතික ආරක්ෂාව තර කරන්න, රටේ ආර්ථිකයට පණ දෙන්න, අපේ දරුවන්ගේ හීන පැළ වෙන පොළොවක් බවට මේ මහ පොළොව පත් කරන්නයි.

‘පෙට්ටි ගෙවල් – පෙට්ටි කතා’

රටට උවමනා වැඩක් කරලා පෙන්වපු නායකයකු මිස ‘පෙට්ට් ගෙවල් හදමින් පෙට්ටි කතා කියමින්’ යන නායකයකු නොවෙයි. දැන් බලන්න අර ‘අප්පච්චි මළෝ’ කියනවා, ‘අපේ නායකයා යටට අඳින්නෙත් නැහැ’ කියලා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා යටට නොඅඳින්නකු විය යුතුය, කියා ජනාධිපතිවරණ ඡන්ද විමසීම් පනතේ තිබෙනවාද? මේ කොලොප්පම්කාරයන් නිසා මේ රටේ මිනිසුන්ගේ ජීවිතවල අවුරුදු හතරහමාරක් අපතේ ගියා. මේ අය අපේ ජීවිත විනාශ කළා. රටක ජනාධිපතිවරයකු විය යුත්තේ දරුවකුගේ කිරි සුවඳ දැනෙන ආදරණීය පියෙක්. දරුවා ඇකයේ තබාගෙන නලවපු පියෙක්. මිඩ්වයිෆ් නෝනා ඉන්න තැන හොයන බොත්තම ඔබන එක පස්සට තියලා අඩුම තරමින් ආර්යාව ඉන්න තැන හොයාගන්න බොත්තමක් ඔබන්න පුරුදු වුණා නම් ඒ වැඩේවත් සිදු වේවි. මේ කොලොප්පම්කාරයන් ගෙන් මේ මව් පොළොව රැක ගනිමු. එකම අරමුණකට රොද බඳිමු. නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂයන්ගේ විජයග්‍රහණය වෙනුවෙන් පෙළගැසෙමු.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

+++++++++++++++++++++

+++++++++++++++++++++

එච් . ආර් . ජෝතිපාල සූරීන්

***************************************

ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂකතුමාට විවෘත ලිපියක් (මහාචාර්ය අතුල සුමතිපාල ගෙන්)

(19.10.2019 – mawbima.lk)

පසුගිය අගෝස්තු 11 වැනිදා ඔබතුමා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති පොදුජන පෙරමුණේ සමුළුව අමතා කළ කතාව පදනම් කොටගෙන මේ ලිපිය ලිවීමට සිත් විය.

කෙනකුගේ අඩුපාඩු පමණක් පට්ටා ගහන ක්‍රමවේදයට එරෙහිව කෙනකුගේ සාධනීය හොඳ දේ මුහුණට කීම මා ප්‍රගුණ කළ ක්‍රමවේදය මත පදනම්ව මෙම ලිපි ඔබ වෙත මෙන්ම ඔබ සේවය කිරීමට සැදී පැහැදී සිටින ජනතාව වෙතද ප්‍රසිද්ධියේ මම මගේ පෞද්ගලික මතය ඉදිරිපත් කරමි.

එහි අන්තර්ගතය පරිපූර්ණය. ඉදිරි දැක්ම නිවැරදිය. ඔබ ස්පර්ශ කළ කරුණු ජනතාවගේ හදගැස්ම ඉතාම නිවැරදිව තේරුම් ගෙන කල්පනාවෙන් කළ බවද පැහැදිලිය. වෛරීය දේශපාලනය වෙනුවට දේශපාලන ප්‍රතිවාදියාටද ආදර්ශයක් ගෙනෙන අභියෝගයක් වීමට ඔබ කළ යෝජනාවද ප්‍රශංසනීයයි.

කවුරුවත් ලියූ කොළයක් නොබලා ඔබ කළ කතාව තුළ ඔබේ දෘෂ්ටිය ඔබ මනස තුළ ඉතා හොඳින් පැලපදියම් වී තිබුණ අයුරු ඉතා හොඳින් පිළිබිඹු විය.

මේ පසුබිම තුළ ඔබතුමා ජනතාවට කළ ප්‍රකාශය පිළිබඳව මා ඉතාම සෑහීමකට පත්වූ බව ප්‍රසිද්ධියේ කීමට නොපැකිලි වෙමි.

මේ ලිපිය ලිවීමේ අරමුණ ඊට එහා යන ඉලක්කයකි. මම මේ උත්සාහ දරන්නේ එම අභියෝග හමුවේ ඒවා පරාජය කිරීමට ඔබට සහාය වීම සඳහා ජනතාව බලගැන්වීමේ, ජනතාව පෙළගැස්වීමේ උත්සාහයකටය. මන්දයත් සියලුම උත්සාහයන් මල්ඵල දරනු ඇත්තේ ජනතාව බලගැන්වීම තුළ පමණක් වීමයි.

‘සීමාවන්වලට කොටු නොවූ සම්මතයෙන් ඔබ්බට’ ක්‍රියාකාරීත්වයකට ඔබ යොමුවන බවට කළ ප්‍රකාශය මට ආස්වාදයක් වන්නේ ඔබට මුහුණදීමට සිදුවන බරපතළම ගැටලු පරාජය කිරීමට නම් ඔබට ඉහත කී ස්ථාවරයේ තදින්ම ඉඳීමට සිදුවන නිසාය. ඔබේ ශක්තියද එයමය.

ඔබ සාම්ප්‍රදායික දේශපාලනඥයකු නොවීමම ඔබගේ ශක්තියයි. ඒ නිසා දේශපාලන හෙංචයියලාට හිස නොනැමීමට ඔබට ඉතාම පහසු වනු ඇත. ඒ නිසාම ඔබ නිවැරදිව පැවැසූ පරිදිම ‘රාජ්‍ය නිලධාරියා දේශපාලන අධිකාරියෙන් නිදහස් කිරීමට’ මෙන්ම ඔවුන්ට උපරිම ‘නීතිමය රැකවරණය’ සැපයීමටද ඔබට පහසුවනු ඇත.

එහෙත් ඒ සමඟම ඔබ පැවැසූ පරිදිම ‘රාජ්‍ය සේවාව කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම’ සඳහා රාජ්‍ය සේවකයන්ගේ මනස අධිපතිවාදයෙන් ගලවා ගැනීමට, එම සේවාවන් ජනතාවගේ අවශ්‍යතා මත සාධනීය ලෙස ලබා ගැනීමට බදු ගෙවන ජනතාවට උපරිම රැකවරණ සැපයීමට ඔබට හැකි බව මම විශ්වාස කරමි. රාජ්‍ය සේවය ලබන ජනතාව, රාජ්‍ය සේවකයාගේ අනුකම්පාව මත උදවු ලබන යැපෙන කොටසක් නොව රාජ්‍ය සේවකයා හා (ජනතා නියෝජිතයාද ඇතුළුව) බදු ගෙවන ජනතාව මත යැපෙන ඔවුන්ගේ සැබෑ සේවකයෙක් බවට පත්කිරීමටද ඔබට හැකි බව විශ්වාස කරමි.

පොලිස්කාරයා, ආමිකාරයා එම නිර්වචනයෙන් මුදා රටට සාමය උදාකළ ගෞරවනීය ජනතා සේවකයකුගේ තත්ත්වයට ඉහළින් ඔසවා තැබූ ඔබට රජයේ සේවකයාද, විනයගරුක සුහදශීලී ජනතා සේවකයකු බවට පත් කිරීමට හැකිය.

මාගේ අවධානයට තදින්ම කාවැදුණු අනෙක් කරුණ නම් ඔබ රථවාහන ගමන් කිරීම, මාර්ග නීති කඩ කිරීම ආදියේ ඇති ව්‍යාකූල බව ගැන සඳහන් කිරීමයි. කහ ඉරටවත් ගරු නොකරන තත්ත්වයට සමාජ විනය පිරිහී ඇති බව ඔබ කිසිදු බියක් සැකක් නොමැතිව ප්‍රකාශ කළේය. එම විවෘත ප්‍රකාශය මම අගය කරමි. මන්දයත් ඇත්ත ඇති සැටියේ දැකීමත්, එම කරුණු නිර්භයව ප්‍රකාශ කිරීමත් ඔබේ පාලන කාලය තුළ රටේ සිදුවිය යුතු වෙනස්කම්වලට මහා පිටුවහලක් වන නිසාය.

එය පමණක් නොව ඊට සමාන්තරවම අල්ලසට, දූෂණයටද හිස නැමීමට, වැල යන අතට මැස්ස ගැසීමටද සමාජය පුරුදු පුහුණු වී ඇත. සමාජයේ බහුතරය එසේ හුරුවී ඇත්තේ ඒ සඳහා ඔවුන් කැමැතිම නිසා නොවේ. මනෝ වෛද්‍ය විශේෂඥයකු ලෙස මා එය දකින්නේ සමාජ විද්‍යාඥ Milgram පැහැදිලි කළ ‘අනුගත වීම’ (Confoemity) සංකල්පය මෙයට බලපාන බවයි. සමාජ පර්යේෂණ හරහා සෙලිග්මාන් (Seligman) යන පර්යේෂකයා පෙන්වා දුන්නේ මේ ‘අනුගත වීමට’ බලපාන ප්‍රධාන හේතුව ‘උපයාගත් අසරණ භාවය (learned helplessness) යන සංකල්පයයි. මන්ද නරක සුළුතරය මඟින් හොඳ බහුතරය බලරහිත කොට නිහඬ කොට ‘වැල යන අතට මැස්ස ගැසීමට’ පෙලඹවීමයි. මේ නිසා ඔබ කළයුතු වන්නේ එම බහුතර සමාජ ස්තරය බලගැන්වීමයි. අල්ලසට අකැමැති එහෙත් කළ හැකි දෙයක් නැති නිසා අල්ලස් පිදීමට, කොමිස් දීමට හුරු වූ කළ හැකි දෙයක් නොමැති යැයි සිතා තමන්ද මාර්ග නීති කැඩීමට පුරුදු වූ, හුරු වූ තමන්ට ඇති එකම විකල්පයද අන් අය මෙන් එම නීතිරීති කඩකිරීමට හිත හදා ගැනීමට පෙලඹුණු මුළා වූ බලරහිත කළ සමාජ බහුතරය බලගැන්වීමයි. ඔබගේ කාර්යභාරය එයයි.

ඒ සමඟම බැඳුණු තව එක දෙයක් පරාජය කිරීමට ඔබ මැදිහත්විය යුතුමය. එය නම් රටට පිළිලයක් වූ විශ්වවිද්‍යාලයට ඇතුළු වන ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට දහයක් පමණ එය අතහැර යන තැනට පිළිලයක් වූ නවක වදය සහ මුලින්ම තුරන් කිරීමට බහුතරයක් වූ සාමකාමී ශිෂ්‍ය ප්‍රජාව බලගැන්වීමයි.

උතුරේ ජනතාවට මෙන්ම විවිධ භාෂාවන් කතා කරන ජනතාව සමානත්වයෙහිලා කටයුතු කිරීමේ ඔබේ ප්‍රවේශය ඉතා අගනේය. පටු දේශපාලන හා මර්දනකාරී පසුබිම හමුවේ 1980 සංවර්ධන සභා ඡන්දය මෙන්ම 1983 ජූලි ජාතිවාදී කලකෝලාහල හරහා එක්සත් ජාතික පක්ෂය දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ කොටසක් තිස් වසරක කුරිරු යුද්ධයකට තල්ලු කරනු ලැබූ බව මේ රටේ තරුණ පරම්පරාවට කෙසේ වෙතත් ඔබෙත් මගෙත් වයස් කාණ්ඩයේ ජනතාවට මතක ඇත. ඒ කෲර ත්‍රස්තවාදය මර්දනය කිරීමට ‘අපේ නොවන අපේ යුද්ධයකට’ අවතීර්ණවීමට ඔබට සිදුවිය. යුදමය වශයෙන් ඒ එල්ටීටීඊ බෙදුම්වාදය පරාජය කළ සේනාධිනායක ඇතුළු සීමිත දේශපාලන නායකයන් ප්‍රමාණයක් ඒ කටයුත්තට සාර්ථකව මුහුණදීමේ දේශපාලන පසුබිම සකසා දුන්නේය. එහෙත් යුදමය වශයෙන් පරාජය කළ බෙදුම්වාදය දේශපාලන වශයෙන් පරාජය කිරීමට පදනම් දැමීමට පශ්චාත් දේශපාලන ක්‍රියාකාරිත්වය අපොහොසත් විය.

ගෝඨාභයට පමණක් වැඩේ පැවැරීම

තක්කඩියන්, හොරුන්, කොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයන්, කොන්ත්‍රාත්කරුවන්, සදාචාර විරෝධී දේශපාලනය බඩගෝස්තරයක් කරගැනීම ප්‍රධාන ඉලක්කය කරගත් අවස්ථාවාදීන් ගෙන් ඔබත් අනාගත පාර්ලිමේන්තුවත් ආරක්ෂා කිරීමේ බරපතළම වගකීම ඇත්තේ ජනතාව අතේය. ප්‍රතිපත්ති මත පදනම්ව නොව හුදු පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා එහා මෙහා මාරුවන දේශපාලකයන් සදාකාලික ලෙස විශ්‍රාම යැවීම සඳහා (කුමන පක්ෂයකට අයත් වුවත්) වගකීම ඇත්තේ ජනතාව අතේය. ඔබට බලය දෙන ජනතාව ඔබට වැඩකළ හැකි ආකාරයක පාර්ලිමේන්තුවක්, පළාත් සභාවක් ආදිය ඔබට ලබානොදෙන්නේ නම් ඔවුන් කරන්නේ ඔබතුමා අමාරුවේ දැමීම පමණක්ය. සෑම දේශපාලන පක්ෂයකටම හොඳ ජනතා නියෝජිතයන් ඇත. තම තමන් ඡන්දය දෙන පක්ෂය කුමක් වුවත් තෝරන දේශපාලකයාගේ අවම ප්‍රමිතියක් හෝ තිබිය යුතුය. එම බරපතළ වගකීම ඇත්තේ ජනතාව අතේය.

වසර 30 ක දික් ගැසුණු යුද්ධය හමාරකොට දකුණට පමණක් නොව උතුරු නැඟෙනහිරටද නිදහස උදාකළ ඒ බෙදුම්වාදී යුද පෙරමුණ පරාජය කළ ඔබට සහ ඔබේ සේනාධිනායකයාට ඊට පසු එළැඹි දේශපාලන සටනේ තාවකාලික ලෙස හෝ පරාජය වී පසුබැසීමට සිදුවිය.

මේ තත්ත්වය තුළ ඉදිරි වසර කිහිපය තුළ දේශපාලනයට පිවිසෙන ජනතා අනුමැතිය ලැබෙන සියලුදෙනාගේත්, ඔබතුමාගේත්, රටේත් යහපත සඳහා යෝජනාවක් ඉදිරිපත් කරමි. සෑම වෘත්තියකම සාර්ථකව රැඳීමට අත්‍යවශ්‍ය කොන්දේසි ප්‍රමාණයක් ඇත. එනම් ඒ වෘත්තියට සරිලන වෘත්තීය හා ජීවන නිපුණතාවන් ප්‍රමාණයක අවශ්‍යතාවයි. දේශපාලකයාටද එය එසේම වනු ඇත. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන නවීන ලෝකයට සරිලන හෙට දවස ඉල්ලන අභිමානවත් දේශපාලකයා ගොඩනැඟීමට ඉවහල් වන දේශපාලන වෘත්තිකයන් සඳහා අත්‍යවශ්‍ය වන නිර්ණායක ප්‍රමාණයක් තෝරාගෙන අලුත් දේශපාලන සංස්කෘතියක් නිමවීමේ ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාව පෙරදැරි කරගෙන තෝරා පත් වන සියලු මන්ත්‍රිවරුන් (පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් මෙය පටන් ගත හැකිය.) එම වෘත්තිය ඉහළ ප්‍රමිතියකින් කරගෙන යෑමට අතහිත දිය හැකි මූලික නිපුණතා ආකල්ප හා දැනුම ලබාදීමට කෙටිකාලීන වෘත්තීය පුහුණුවක් ලබාදිය හැකි ඇකඩමියක් පාර්ලිමේන්තුවට අනුබද්ධව ගොඩනැඟීමට සැලසුම් කරන ලෙස ඉල්ලා සිටිමි.

– මහාචාර්ය අතුල සුමතිපාල

***************************************

සජිත්ලට මුකුත් කරගන්න බැරිවුනේ සුළු ජාතිය පමණක් ඉස්සර කරගත් නිසා -ආචාර්ය චරිත හේරත්

(17.10.2019 – YouTube : Gossip Lanka News)

***************************************

මදුමාධව ගේ ඉල්ලාඅස්වීම සහ සිරස මාධ්‍යවේදියාගේ බුද්ධි මට්ටම ….

***************************************

ගම්මන්පිල – සරත් වීරසේකර – අජිත් නිවාඩ් කබ්රාල් – අලි සබ්රි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට …

(19.10.2019 – 16:40 +0530 – lankacnews.com)

‘2020 ගෝඨාභය සමග ශ්‍රී ලංකාවේ අනාගත’ දැක්ම මැයෙන් විද්වත් කතිකාවක් මෙම මස 20 වන දා (ඔක්. 20) ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්වේ.

මෙල්බර්න් නුවර ඩීකින් විශ්ව විද්‍යාලයේ බර්වුඩ් සරසවියේ රස්ඩන් රංග ශාලාවේ දී එරට වේලාවෙන් පස්වරු 02:30 ට මෙම වැඩසටහන ආරම්භ වන අතර ශ්‍රී ලංකාවේ දේශපාලන, නීති, සමාජ සහ ආර්ථික ක්ෂේත්‍ර ආවරණය වන පරිදි දෙසුම් පැවැත් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් දෙසුම් පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන මෙල්බර්න් හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කර ඇත.

ඉදිරි මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ සහාය පුළුල්ව දිනා ගැනීමේ අරමුණින් ලෝකයේ වැඩිම විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙසෙන මෙල්බර්න් නගරයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම සුවිශේෂී වේ.

– අරවින්ද අතුකෝරල

***************************************

නිදහස් පක්ෂය, ගෝඨාභය සමඟ, අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

(19.10.2019 – 11:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබුණා.

කොළඹ 7 – බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතන ශ්‍රවණාගාරයේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අතර මෙම ගිවිසුම අත්සන් කෙරුණේ උදෑසන 10:51 ට පමණයි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම ආගමික පූජකවරුන් සහ නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් එක්ව සිටියා.

අනතුරුව පැමිණ සිටි පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මෙලෙස අමතනු ලැබුවා. ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා සෑම නිදහස් පාක්ෂිකයෙකුම හමුවීමට බලාපොරොත්තු වන බවයි.

අනතුරුවයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එම උත්සව සභාව ඇමතුවා.

ඔහු කියා සිටියේ තමා වෙත සහය දැක්වීම සම්බන්ධයෙන් නිදහස් පක්ෂයට කෘත්‍යඥතාව පළ කරන බවත් රටේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට තමා කටයුතු කරන බවයි.

එමෙන්ම තමා පිළිබදව නිදහස් පක්ෂය විශ්වාසය තබා ගන්නා ලෙසට ද ඔහු එහිදී සදහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු දේශපාලන පක්ෂ රැසක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය 31 වනදා එළිදැක්වීමට නියමිතයි.

දේශපාලන පක්ෂ 18 ක් එම සන්ධානයට ඇතුළත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=zzRGQ_qUDwc#t=6

***************************************

ජාතික ආරක්ෂාව බිල්ලට දෙන යාපනය ‘ජාත්‍යන්තර’ ගුවන්තොටුපළ

(18.10.2019 – lankamag.com)

යාපනය ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙසින් ඊයේ (17) දින විවෘත වූවා. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්තාවට විශේෂ අමුත්තා ලෙස සහභාගී වී සිටියේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං ය.

මින්පෙර පළාලි ගුවන්තොටුපළ ලෙසින් හැදින්වුනු මෙම ගුවන්තොටුපළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිය මෙහෙයුම් සඳහා භාවිතා කළා.

කෙසේ වෙතත් ඉන්දීය තානාපති කාර්යාලයේ උපදෙස් පරිදි ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස මෙය නම් කර මෙහෙයුම් ඇරඹීමේ එකම අරමුණ යාපනය සහ කොළඹ අතර සම්බන්ධය ඇති කිරීම නොව යාපනය සහ තමිල්නාඩුව අතර සම්බන්ධය ඇති කිරීම බව පැහැදිලිය.

යාපනය ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් බවට පත් කිරීමට අවශ්‍ය කිසිදු පරිසාදනයක් ලඟා කර නොමැතිව තිබියදී, මාර්ග සංවර්ධන අධිකාරීයේ කපට් අතුරා තාවකාලික ගුවන් පථයක් සකසා ඉක්මණින් විවෘත කිරීමේ අරමුණ මැතිවරණයට පෙර එය ලබා ගැනීමේ ඉන්දියාවේ උවමනාව මත බව පැහැදිලිය.

මෙම යාපනය ගුවන්තොටුපළ ආකාර කිහිපයකින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවට තර්ජනයකි.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සේවයා කරන සියලුම නිලධාරීන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතිකයන්ය. දෙමළ ජාතික සංධානයේ දේශපාලඥයන් විසින් ලබා දෙන රෙකමදාරු ලිපි මත මෙම පත්වීම් ලබා දී තිබෙන බව වාර්තා වේ.

ප්‍රථම වතාවට ජාත්‍යන්තර ගුවන්තොටුපළක ආරක්ෂාවට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ කර නොගැනීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. මෙහි ආරක්ෂක නිලධාරීන් ලෙස පවා පත් කර ඇත්තේ ආරක්ෂක සමාගමකට සම්බන්ධ සිවිල් ද්‍රවිඩ ජනතාවය.

යාපනය ගුවන්තොටුපළේ ආගමන විගමන කටයුතු මෙන්ම රේගු නිෂ්කාෂන කටයුතු සිදුවන්නේද දෙමළ ජාතික සංධානයේ දේශපාලන පත්කිරීම් ලාභී උතුරු පළාත් දෙමළ සිවිල් පුද්ගලයන් අතින්ය.

මෙම හේතුන් නිසාම තමිල්නාඩු ජාතිකයන්ට කිසිඳු පරීක්ෂාවකින් තොරව රිසිසේ ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව උදා වී තිබේ. මෙම තත්ත්වය වඩා දරුණු වන්නේ ඉන්දියානු ජාතිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගත හැකි (On Arrival Visa) පහසුකමද සක්‍රීය කළ පසුය.

අඩු මුදලට ශ්‍රී ලංකාවේ රැකියා සොයමින් කම්කරුවාගේ සිට තොරතුරු තාක්ෂණ වෘත්තිකයාගේ සිට මෙරට දේශීය පුරවැසියන්ගේ රැකියා වෙළදපොළ විනාශ කරනා ඉන්දීය ජාතිකයන්ගේ සිට අන්තවාදී, බෙදුම්වාදී, ත්‍රස්තවාදීන් මෙන්ම ඉන්දීය ඔත්තු සේවා නිළධාරීන්ටද ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාවට රිංගා ගැනීමට යාපනය ගුවන්තොටුපළ තිත්පළක් වනු ඇත.

ඒත් සමගම උතුරු නැගෙනහිර බෙදුම්වාදය පෝෂණය කිරීම තමිල්නාඩුවට පහසු වීම මෙන්ම ඉන්දීය ඔත්තු සේවා කටයුතු ශ්‍රී ලංකාවේ ප්‍රබල වීමද නියත කරුණුය.

තවද මෙය ශ්‍රී ලංකන් ගුවන් සේවයට දැඩි පාඩුවක් ගෙන ඒමටත් සමත් වනු ඇත. මන්ද ඉන්දීය ගුවන් සේවයේ ‘බජට්’ ගුවන් යානා තමිල්නාඩුව හා යාපනය අතර සිය මෙහෙයුම් ඇරඹීමත් සමග ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ සංචාරය කරනා දඹදිව වන්දනාකරුවන්ගේ සිට, විදෙස්ගත දෙමළ ජනතාව ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවට මෙම බජට් ඉන්දීය ගුවන් සේවය තෝරා ගැනීම හේතුවෙනි.

එම නිසා යාපනය ගුවන්තොටුපළ හැකි ඉක්මණින් ඇරඹීමට ඉන්දියාව කටයුතු කිරීම මවිතයක් නොවේ.

කෙසේ වෙතත් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ යනු ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ගෙන එන සම්පතකට වඩා, පත්වන නව රජයකින් වහාම සිය භාරයට ගෙන නියාමනය කළ යුතු මෙරට ජාතික ආරක්ෂාව දැවැන්ත අනතුරකට ඇද දමනා විශාල තර්ජනයක් බව පැහැදිලිය ෴

***************************************

වැසිකිළිවලට වෙන් කළ කෝටි 40 න් සජිත් ‘නිවාස ණය’ දෙන්න අරන්

(19.10.2019 – 15:37 +0530 – lankaleadnews.com)

වැසිකිළි පහසුකම් නොමැති පවුල්වලට එම පහසුකම් ලබා දීම සඳහා 2019 අයවැයෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන හාරසියයක් නිවාස අධිකාරියට ලබා දී ඇති අතර එම මුදල් ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා බවට එම අධිකාරිය සුරැකීමේ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.

2019 අයවැයෙන් වැසිකිළි පහසුකම් නොමැති පවුල් දෙලක්ෂ හැටදහසකට එම පහසුකම් ලබා දීම සඳහා රුපියල් මිලියන හාරදහසක් වෙන් කළ අතර ඉන් පළමු වාරිකය ලෙස මිලියන හාරසියයක් පසුගිය මැයි මාසයේ නිවාස අධිකාරියට මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් බව එම සංවිධානය පවසයි.

එම පහසුකම් ලබා දීම සඳහා අයැදුම්පත්‍රද කැඳවා ඇති අතර අදාළ සුදුස්සන් තෝරා එම අධාර ලබා නොදී අදාළ මුදල් ‘නිවාස ණය ලබා දීම’ සඳහා යොදා ගන්නා බවට නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය පවසයි.

මේ සම්බන්ධයෙන් නිවාස අධිකාරියේ සභාපතිවරයා ගෙන් විමසීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළ මුත් එය අසාර්ථක විය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *