හකීම් අත්අඩංගුවට ගන්නැයි මහසඟරුවන ආණ්ඩුවෙන් ඉල්ලයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• හකීම් අත්අඩංගුවට ගන්නැයි මහසඟරුවන ආණ්ඩුවෙන් ඉල්ලයි

• ‘සහරාන් හමුවීම වරදක් නොවේ, මා කටයුතු කළේ බුදුන් වහන්සේ වගෙයි’ – හකීම් කියයි

• ආන්දෝලනාත්මක වීඩියෝවේ සිටින සහරාන් එතනට ආ හැටි හකීම් කියයි

• මව නිවසේ නැති වු අතරවාරයේ වයස අවුරුදු 13 පුතුව අපයෝජනය කර ඝාතනය කරයි

• රාජ්‍ය මාධ්‍ය ගැන පොහොට්ටුවෙන් පැමිණිල්ලක්

• එජාපයේ ප්‍රබලයෙක් ඉදිරියේදි ගෝඨාභයට සහය දෙනවා – ලක්ෂ්මන් යාපා

• කාදිනල් හිමියන්ගේ ඉල්ලීම ඉටු කරන බවට ගෝඨාභයගෙන් පොරොන්දුවක්

• නාගදීප විහාරාධිපති හිමියන්ගෙන් චෝදනාවක්

• නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ 10 ක සහය ගෝඨාභයට

• නැවතුණ සංවර්ධනය ඉදිරියට ගෙන යන බවට ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

• සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතියට සැකසූ යෝජනාවලියකට ජනපති අපේක්ෂක ගෝඨාභයගේ එකඟතාව

හකීම් අත්අඩංගුවට ගන්නැයි මහසඟරුවන ආණ්ඩුවෙන් ඉල්ලයි

+++++++++++++++++++++++++++++++++++

(19.10.2019 – 20:43 +0530 – sinhala.adaderana.lk)

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ නායක සහරාන් හෂීම් සමඟ පැවැත්වු සබඳතා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා රවූෆ් හකීම් අමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගත යුතු බව රාවණා බලය සංවිධානය පවසයි.

එහි මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ නායක සහරාන් හෂීම් සමඟ සාකච්ඡා පවත්වන දර්ශන ඇතුළත් වීඩියෝවක් ඊයේ (18) මාධ්‍යයට නිකුත් වීම පදනම් කර ගනිමින්.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ නායක සහරාන් හෂීම් සමඟ සාකච්ඡා පවත්වන දර්ශන ඇතුළත් වීඩියෝවක් මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය විසින් ඊයේ (18) මාධ්‍යයට අනාවරණ කළේය.

සිංහලේ සංවිධානය ද අද (19) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ රවූෆ් හකීම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කළ යුතු බවයි.

මේ අතර එක්සත් ජාතිත පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඊයේ (18) පස්වරුවේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී පැවත්වූ රැස්වීමකදී රවූෆ් හකීම් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පල කළේය.

මේ අතර මාවතගම ප්‍රාදේශීය සභාවේ මුස්ලිම් මහජන නියෝජිතයින් රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කළ අතර ඔවුන් පැවසුවේ සමස්ථ මුස්ලිම්වරු මේ සටනේ සිටින බවත් මුස්ලිම් බහුතර ඡන්දය ගෝඨාභය මහතාට බවත්ය.

+++++++++++++++++++++++++++++++++++

‘සහරාන් හමුවීම වරදක් නොවේ, මා කටයුතු කළේ බුදුන් වහන්සේ වගෙයි’ – හකීම් කියයි

(19.10.2019 – colombotoday.com)

ඇමති රවුෆ් හකීම් හා මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම් සමග සාකච්චා කරන වීඩියෝ ඇමුණුම සම්බන්ධයෙන් ඇමති රවුෆ් හකීම් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

“මම මුස්ලිම් ජාතිකයෙකු ඉස්ලාම් භක්තිකයෙකු වන අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා වෙමි. සහරාන් හශීම් යනු උපතින් මුස්ලිම් ජාතිකයෙකි. ඉස්ලාම් භක්තිකයෙකි. අන්තවාදින් කුමන ජාතියක කුමන ආගමක වුව සිටිය හැකි බව ලෝක සහ ලංකා ඉතිහාසය ස්මරණය කර බැලූ විට ඔබට නිතැතින්ම සිහියට නැගෙනු ඇත.

සහරාන් හශීම්ද මුස්ලිම්, ඉස්ලාම් අන්තවාදියෙකු බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මෙලොව මිනිසෙකුට උගහටම දෙය අනික් මිනිසුන් තේරුම් ගැනීමයි. මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයෙකු ලෙස, ස්ව ජාතියේ ස්ව ආගමේ තවත් මිනිසෙකු හමුවීම වරදක් දැයි මම ඔබෙන් විමසමි.

වරද වන්නේ අප කුමන හෝ නොකල යුතු දෙයක් සාකච්චා කලේ නම් එයයි. මගේ මතකයට අනුව එදා ඔවුන් ඔවුන්ට රුචි නොවූ අයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයක් ලබා නොදෙන ලෙස ඉල්වූහ. එවැනි ඉල්ලීම්, යෝජනා, චෝදනා දේශපාලනයෙහි දුලබ නැත.

තීරණ ගැනීම කෙසේ වෙතත් අනුන්ට ඇහුම්කම් දීම වරදක් නොවේ.

බුදුරජානන් වහන්සේ ආලවක දමනය කලේ ඔහුගේ ගෙට ගොස් ය. අන්‍ය ආගමිකයන්, ප්‍රාදේශිය ආගමික නායකයන් සමග උන් වහන්සේ වාද, සංවාද කල බැව් සූත්‍ර පිටකයේ දීඝ නිකාය ප්‍රමුකව අනෙකුත් ත්‍රිපිටක හා පශ්චාත් ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ඔබ උගත යුතු බව මතක් කර දෙමින්, මා ඔබට ආරාධනා කරන්නේ අංගුත්තර නිකායේ කාලාම සුත්‍රය පරිශීලනය කරන ලෙසය. ඔබ දකින දෙය ඔබ හිතන දෙය නියම සත්‍යය නොවේ.

රවුෆ් හකීම්,
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක

+++++++++++++++++++++

ආන්දෝලනාත්මක වීඩියෝවේ සිටින සහරාන් එතනට ආ හැටි හකීම් කියයි

(20.10.2019 – nethnews.lk)

ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග තමන් සිටි වීඩියෝව සම්බන්ධයෙන් අමාත්‍ය රාවුෆ් හකීම් අදහස් පළකළා.

ඒ, වත්තේගම ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදීයි.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලාට ද අමාත්‍යවරයා මෙහිදී චෝදනාවක් එල්ල කළා.

“පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසට මඩකලපුවේ ආසනයක් ලැබුණා. එක්සත් ජාතික පක්ෂයටත් ආසනයක් ලැබුණා. හිස්බුල්ලා මැතිතුමා ජනාධිපති මැතිවරණයේදී රාජපක්ෂලාට සහය දුන්නා. පැරදුනා… ඊට පසුව ඔන්න පස්ස දොරෙන් මේකා ගිහිල්ලා මෛත්‍රිපාල උන්නැහේ අල්ලගෙන ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රිකමක් අරගත්තා. අරගෙන කරපු දේ එදා ගැසට් පත්‍රයේ පළවුණු විගසම ඒ රෑම පටන් ගත්තා අපේ පාක්ෂිකයන්ගේ ගෙවල්වලට ගහන්න. කඩ කඩන්න. මේක තමයි සහරාන්ලා කරපු වැඩේ. මේ කඩු සෙල්ලම පුරුදු වුණේ හිස්බුල්ලාගෙන්. ඉතින් මේ වගේ දේවල් කරලා.. එතනදි තමයි මට යන්න වුණේ. එවෙලේ මේ සිද්ධිය බලන්න මං ගියාම.. ඒ අස්සේ මේ හාදයත් රිංගලා ඇවිල්ලා. ඉතින් මං මොනා කරන්නද?. “

***************************************

මව නිවසේ නැති වු අතරවාරයේ වයස අවුරුදු 13 පුතුව අපයෝජනය කර ඝාතනය කරයි

(19.10.2019 – 22:20 +0530 – sinhala.adaderana.lk)

කටුවන, පුවක්ගස්ආර ප්‍රදේශයේ නිවසක් තුළ අද (19) පෙරවරු 10 ට පමණ වයස අවුරුදු 13 ක පිරිමි දරුවෙකු ඝාතනය කර ඇත.

පොලිසිය පැවසුවේ, මව වෙළෙද සැළට ගිය අතරවාරයේදී සිදුවී ඇති මෙම ඝාතනය සම්බන්ධයෙන් අසළ නිවසක ජීවත් වූ 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බවයි.

ගෙල වැලලාගෙන ඇති බවට නිවාසියන් විසින් මෙම දරුවා රෝහලට ඇතුලත් කර ඇති නමුත් එහිදි හෙළි වි ඇත්තේ මෙය ගෙල සිර කිරීමක් සිදු කර ඇති බවයි.

පසුව මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණ කටයුතු වලදි අදාල අසල්වාසි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට පෙර මෙම දරුවා අපයෝජනයට ලක්ව ඇත්දැයි පොලිසිය සැකපළකරයි.

සැකකරු හෙට (20) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි ෴

***************************************

රාජ්‍ය මාධ්‍ය ගැන පොහොට්ටුවෙන් පැමිණිල්ලක්

(19.10.2019 – 22:08 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීව කටයුතු කිරීම හා රාජ්‍ය සම්පත් අයතා ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද (19) මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු නිලධාරින් හමු විය.

එහදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ පක්ෂග්‍රාහී මාධ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම් දුන් බවයි.

විද්‍යුත් සාක්ෂි සහිතව අදාල ලියකියවිල භාර දුන් බවත් සජිත් ප්‍රේමදාස අමාත්‍යරයාගේ අමාත්‍යංශය ප්‍රමුඛව අමාත්‍යංශ කිහිපයක් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් සිටින බවත් එහිදි සඳහන් බවද ඔහු පැවසීය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ අපක්ෂපාතී නොවුනොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පෞද්ගලික මාධ්‍ය ගැන පුරවැසියන් අධීකරණයට යන බවත්ය.

මේ අතර ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රවර්ධනය සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රකාශයක් පුවත්පත් දැන්වීමක පළවීම පිළිබඳව මැතිවරණ කොමිසමට ලද පැමිණිලි සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා මෙලෙස අදහස් පළ කළේය.

ඔහු පැවසුවේ මැතිවරණ කොමසාරිස් ලිඛිතව තමන්ගෙන් ඒ සම්බන්දයෙන් විමසා තිබු බවත් තමන් එයට ලිඛිතව පිළිතුරු ලබාදුන් බවත්ය

මේ අතර මැතිවරණ සමයේ පත්වීම් ලබා දීම ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිළිබඳව මැතිවරණ කොමිසමට ඉකුත් දින කිහිපයේ පැමිණිලි ලැබී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අදත් නිවාස අධිකාරියට පැමිණියේය.

***************************************

එජාපයේ ප්‍රබලයෙක් ඉදිරියේදි ගෝඨාභයට සහය දෙනවා – ලක්ෂ්මන් යාපා

(19.10.2019 – 21:40 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි දින කිහිපය ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද අනාවරණ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණ කළේය.

එහිදි ඔහු පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙක් මෙලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දීමට පැමිනෙණු ඇති බවයි.

මේ වන විට සාකච්චා පැවැත්වෙන අතර සාකච්ඡා අවසන් වු පසු ඒ සම්බන්දයෙන් හෙළි කරන බවද ඔහු ප්‍රකාහ කළේය.

ලක්ෂ 65 කට වැඩියෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලැබෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

***************************************

කාදිනල් හිමියන්ගේ ඉල්ලීම ඉටු කරන බවට ගෝඨාභයගෙන් පොරොන්දුවක්

(19.10.2019 – 20:18 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට කාදිනල් හිමියන් ඉල්ලූ පරිදි ජනාධිපති කොමිසමක් පත්කරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (19) පස්වරුවේ මීගමුව නගරයේ සංවිධාන කර තිබූ ජනරැලියක් අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සාර්ථක දැක්මක් – වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලවේ තවත් රැලියක් අද කිරිබත්ගොඩ නගරයේදී පැවැත් විය.

රැලිය සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි විය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජනරැලියක් අද පස්වරුවේ රාගමදී පැවැත් විය.

එම රැලියට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය.

***************************************

නාගදීප විහාරාධිපති හිමියන්ගෙන් චෝදනාවක්

(19.10.2019 – 23:13 +0530 – hirunews.lk/sinhala)

ඕනෑම පාවාදීමක් සිදුකර බලය රැකගැනීම සඳහා වත්මන් රජය සූදානමින් සිටින බව නාගදීප විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමි පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ පලාලි ගුවන් තොටුපොළ විවෘත කිරීමේ උත්සවයේදී අතැමුන් සිංහල බසින් ජාතික ගීය ගැයීමට විරුද්ධවීම හේතුවෙන් ජාතික ගීය වාදනය කිරීම පමණක් සිදුකළ බවයි.

***************************************

නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ 10 ක සහය ගෝඨාභයට

(19.10.2019 – 20:53 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන ජනාධිපතිවරණයේදී නැගෙනහිර පළාතේ දෙමළ දේශපාලන පක්ෂ 10 ක සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ කලාකරුවන් රැසකගේ ද සහය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කළ බව එම සංවිධාන සදහන් කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැගෙනහිර පළාතේ සිදුකළ සංවර්ධනය හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තිරණය කළ බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. වියාලේන්ද්‍රන් මහතා පසුගියදා ප්‍රකාශ කළා.

මේ අතර, කරුණු 3 ක් මත පදනම්ව නැගෙනහිර තවත් දෙමළ දේශපාලන පක්ෂ 10 ක සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු 20 කින් සමන්විත යෝජනාවලිය ඊයේ පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමෙන් අනතුරුව එම සංගමයේ නිලධාරීන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

පොදුජන පෙරමුණේ ජනධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පළ කරන බව ජ්‍යෙෂ්ඨ කලාශිල්පීන් රැසක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ප්‍රකාශ කළා.

මේ අතර, පොදුජන කලා සන්ධානය සහ නිදහස් කලා සන්ධානය එක්ව පැවැත්වූ විජයග්‍රහණයේ පෙරවදන සමුළුව කොළඹදී පැවැත්වුණු අතර, ඊට කලාකරුවන් රැසක් එක්ව සිටියා.

***************************************

නැවතුණ සංවර්ධනය ඉදිරියට ගෙන යන බවට ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

(17.10.2019 – 20:05 +0530 – hirunews.lk/sinhala)

පැහැදිලි ආර්ථික සැලස්මක් සමග සෘජු නායකත්වයක් යටතේ 2015 සිට නැවතුනු සංවර්ධනය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ රඹුක්කන අද පැවති ජනරැලියට එක්වෙමින්.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැගල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්විමට අද ගෝඨාභය රාජපක්ෂ එක් වුණා.

එම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය මහතා සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද එක්ව සිටියා.

***************************************

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතියට සැකසූ යෝජනාවලියකට ජනපති අපේක්ෂක ගෝඨාභයගේ එකඟතාව

(19.10.2019 – 20:03 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ එකගත්වය පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.

කරුණු 20 කින් සමන්විත අදාළ යෝජනාවලිය ඊයේ (18) පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලැබුවේ මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේදීයි ෴

***************************************

***************************************

17-10-2019

+++++++++++++++++++++

18-10-2019

+++++++++++++++++++++

20-10-2019

+++++++++++++++++++++

20-10-2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *