සජිත් මෝඩ පුතාණෝ කියා රනිල් දන්නවා.. සජිත්ව ගැටයට අහු කළා.. – ප්‍රසන්න රණතුංග

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සජිත් මෝඩ පුතාණෝ කියා රනිල් දන්නවා.. සජිත්ව ගැටයට අහු කළා.. – ප්‍රසන්න රණතුංග

• නයාරු ගුරුකන්ද විහාරයට තවත් ගැටලුවක්

• ජාතියේ අවසානය ගැන ගුණදාස අමරසේකර කියයි (විඩියෝ)

• හකීම්-සහරාන් වීඩියෝව ගැන තොරතුරු හෙළි කළ මවුලවිට බලපෑම් (විඩියෝ)

• සජිත් වැරදිකරුවෙකු වී ඇති වාර්තාව ප්‍රසිද්ධ කරන්නැයි ගම්මන්පිල ගෙන් ජනපතිට ලිපියක් (විඩියෝ)

• මුස්ලිම් ජනයාගෙන් IS බෝඩ් එක ගලවන්න පුළුවන් ගෝඨාභයට – විමල් වීරවංශ (විඩියෝ)

• TNA යෝජනාවලිය පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා – බන්දුල ගුණවර්ධන

• ශ්‍රීලනිපය මුළින්ම කැඩුවේ චන්ද්‍රිකායි විජේයි – මහින්ද රාජපක්ෂ (විඩියෝ)

• අපි පාතාලය සහ කුඩුකාරයෝ පාලනය කරනවා – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• තැපැල් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

• පුතාණෝට වඩා හොඳයි සහරාන්ගේ අවතාරේටම රට භාර දෙන එක – විමල් වීරවංශ (විඩියෝ)

• දිස්ත්‍රික්කයේ විශ්වාසයවත් නැති වුණු මිනිහට ලංකාවේම විශ්වාසය ලැබෙයිද? – මහින්ද රාජපක්ෂ (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

සජිත් මෝඩ පුතාණෝ කියා රනිල් දන්නවා.. සජිත්ව ගැටයට අහු කළා.. – ප්‍රසන්න රණතුංග

(20.10.2019 – 15:50 +0530 – lankacnews.com)

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් අගමැති ලෙසින් නම් කරන්නේ කවුදැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙසට සජිත් ප්‍රේමදාස මහතාට තමන් අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ධුරයට පත්වුවහොත් ආරක්ෂක ඇමැති ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන්නේ යැයි කියන්නට හැකි නම් අගමැති ධුරයට සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමටත් සජිත් ප්‍රේමදාස මහතාට පුළුවන්කම තිබිය යුතු බවත් රණතුංග මහතා පැවසීය

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මැතිවරණ කාර් යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට මිනුවන්ගොඩ දී එක්වෙමිනි. රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද මෙම කාර් යාලය විවෘත කරන්නට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. අද අපි යෙදිලා ඉන්නේ ජයග්‍රාහී මැතිවරණ ව්‍යාපාරයක කියන එක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. නොවැම්බර් මස 16 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බව මම කියන්න කැමැතියි.

මෙවරට ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ දේශද්‍රෝහී පිල සහ දේශප්‍රේමී පිල අතර බව රහසක් නෙමෙයි. ත්‍රස්තවාදයට අන්තවාදයට උඩගෙඩි දෙන පක්ෂ නායකයන්ගෙන් සමන්විත සජිත් පිලට එරෙහිව ත්‍රස්තවාදය නසපු, අන්තවාදයට එරෙහි ගෝඨාභයගේ පිල අද ජනාධිපතිවරණ සටනට පිවිස තිබෙනවා. මේ රටේ ජනතාව ගන්නා වූ ඵෙතිහාසික තීන්දුවෙන් පස්සේ නොවැම්බර් මස 17 වැනි දා ඡන්ද ප්‍රතිඵල නිකුත් වන විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති ලෙසින් පත්වන බවට සැකයක් නැහැ.

අද රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය, සංවර්ධනය කියන අංශ සියල්ලම බින්දුවටත් වඩා පහළට වැටිලා තිබෙනවා. වසර හතරහමාරකට පෙර මහින්ද මහත්තයාගෙන් මේ ආණ්ඩුව රටේ පාලනය භාරගන්නා විට අපේ රට ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් බවට පත්වෙලා තිබුණා. නමුත් වසර හතරහමාරකට පස්සේ අපේ රට ඇෆ්ගනිස්ථානයටත් වඩා පහළට වැටිලා තිබෙනවා.

වේදිකා දෙවනත් කරමින් සජිත් මහත්තයා මොනවා කිව්වත් අද රට අගාධයට වැටීම ගැන එයත් වගකියන්නම ඕනේ. අවුරුදු හතරහමාරක් ඇමැති මණ්ඩලයේ ඉඳලත් සජිත් ප්‍රේමදාස රට වෙනුවෙන් එක වචනයක්වත් කතා කරලා නැහැ. රනිල්ගේ නායකත්වයෙන් මහ බැංකුව කොල්ල කනකොට සජිත් කතා කළේ නැහැ. හම්බන්තොට වරාය වගේ ජාතික සම්පත් විකුණා දමන විට සජිත් වචනයක්වත් කතා කළේ නැහැ.

දැන් මැරිලා ඉපදිච්චි කෙනෙක් වගේ කතා කරනවා. විපක්ෂයේ අපිටත් වැඩිය ආණ්ඩුවට බනින්නේ සජිත්ලා. එතකොට අපිද දැන් ආණ්ඩුව? සජිත් ආවත් ඔච්චර තමයි. කිසිම දැක්මක්, වැඩපිළිවෙළක් නැති සජිත් ප්‍රේමදාසට මේ රට තියා ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරගන්න බැහැ. තමන්ගේ ආසනය කවදාවත් දිනලා නැති මිනිහෙක් කොහොමද ජනාධිපතිවරණය දිනන්නේ කියන ප්‍රශ්නය අද අහන්නේ අපි නෙමෙයි, එක්සත් ජාතික පාක්ෂිකයන්මයි.

රනිල් තරම් කපටි මොළයක් යූ. ඇන්. පියේ තවත් නැහැ. රනිල් දන්නවා මේ පාර ගෝඨාභය පරද්දන්න බැරි බව. ඒ නිසා මුල ඉඳන්ම රනිල් උත්සහ කළේ වෙන කෙනෙක් දාලා ඇඟ බේරාගන්නයි. සජිත් පුතාණෝ මෝඩ පුතාණෝ කියලා රනිල් දන්නවා. හෙමිහිට රනිල් සජිත් ගැටයට අහු කළා. සජිත් දිනුවත් රනිල් දිනුම්, සජිත් පැරදුණත් රනිල් දිනුම්. නොවැම්බර් 17 වැනි දා ගෝඨාභය මහත්තයා ජනාධිපති ධුරයට පත් වෙන කොට රනිල් විපක්ෂ නායක වෙනවා. සජිත් කැලේට විසිවෙලා යනවා.

අපි මුල ඉඳළම කියනවා ගෝඨාභය ජනාධිපති වුණොත් මහින්ද මහත්තයා අගමැති ධුරයට පත් කරනවා කියලා. නමුත් සජිත්ලා කියන්නේ නැහැ කවුද අගමැති වෙන්නේ කියලා. සජිත් දන්නවා රනිල් අගමැති කිව්වොත් යු. ඇන්. පීකාරයොවත් ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. ජනාධිපති දිවුරුම් දුන්නම අගමැති ප්‍රමුඛ කැබිනට් එක ඉබේම විසිරිලා යනවා. එහෙනම් කවුරු ජනාධිපති වුණත් අලුත් අගමැති කෙනෙක් පත් කරන්න ඕනේ.

මම සජිත්ට අභියෝග කරනවා පුළුවන් නම් අගමැති අපේක්ෂකයා කවුද කියලා නම් කරන්න කියලා. පුළුවන් නම් සජිත් මහත්තයෝ කියන්න රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. නැත්නම් කියන්න රනිල්ට අගමැතිකම දෙනවා කියලා. මට හොඳටම විශ්වාසයි සජිත් ඕක වේදිකාවේ කියන්නේ නැහැ කියලා. සජිත්ට එහෙම කියන්න තරම් කොන්දක් නැහැ. සජිත් කියන්නේ කොන්ද පණ නැති නායකයෙක් බව මේකෙන්ම තේරෙනවා.

සජිත්ලගේ වේදිකාව මඩවලින් පිරුණු වේදිකාවක්. ඒ වේදිකාවේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ නැහැ. වැඩපිළිවෙළක් ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ ගෝඨාභය ගැන විතරයි. ගෝඨාභයගේ වේදිකාව එහෙම නෙමේ. ඒකේ මඩ නැහැ. ඒකේ තියෙන්නේ ප්‍රතිපත්ති, සැලසුම්. මේ වෙනස ජනතාවට හොඳට පේනවා. ඒ නිසා නොවැම්බර් 17 වැනි දා මේ රටේ නායකත්වයට පත් වන්නේ රට හදන නායකයා මිස කටමැත දොඩවන නායකයා නොවන බව අපට විශ්වාසයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

***************************************

නයාරු ගුරුකන්ද විහාරයට තවත් ගැටලුවක්

(20.10.2019 – 11:40 +0530 – sinhala.adaderana.lk)

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ සී සී ටීවි කැමරා පොලීසියෙන් ගැලවීමට නියෝග කිරීම හා නයාරු විහාරස්ථාන භූමියේ බොරළු කැපීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂමට පැමිණිලි ඉදිරිපත් කිරීමට හෙට (21) උදැසන කටයුතු කරන බව නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන දායක සභාවේ ලේකම් මානෙල් කරුණාරත්න මහතා පවසයි.

කරුණාරත්න මහතා පැවසුවේ පසුගියදා විහාරස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් සිසිටිවි කැමරා පද්ධතියක් සවි කිරීමට විහාරස්ථ දායක සභාව විසින් කටයුතු කළ අතර, එය නවතා දැමීමට මුලතිව් පොලිසිය නියෝග කළ බවයි.

එලෙසම දෙමළ දේශපාලඥයින්ගේ මැදිහත්වීම මත විහාර භූමියේ බොරළු කැපීමට පසුගියදා ව්‍යාපාරිකයින් බලපත්‍ර නවයක් රැගෙන පැමිණි බවත් දායක සභාවේ දැනුවත් කිරීම මත පොලිසියේ මැදිහත්වීමෙන් අදාළ බොරළු කැපීම තාවකාලිය නවතා දැමු අතර ඒ සම්බන්ධයෙන්ද මානව හිමිකම් කොමිෂන් සභාව හා ජාතික පොලිස් කොමිෂම වෙත පැමිණිළි කිරීමට නියමිත බවද හෙතෙම පැවසුවේය.

කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ තම විහාරස්ථානයේ තාවකාලිකව රැක බලාගන්නා කැළුම් බංඩාර තරුණයා වෙත උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක් තර්ජනය කිරීම සම්බන්ධයෙන්ද මානව හිමිකම් කොමිෂන් සභාව හා ජාතික පොලිස් කොමිෂම වෙත පැමිණිළි කිරීමට නියමිත බවයි.

විහාරස්ථනයේ ගැටළු විසදීම වෙනුවෙන් රජයේ වගකිව යුතු කිසිවෙකුත් මැදිහත් නොවීම කණගාටුවට කරුණක් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ වෙනුවෙන් විහාරස්ථ දායක සභාව හා සිවිල් සංවිධාන රැසක් ඒකාබද්ධව කටයුතු කරන බවත් විහාරස්ථ දායක සභාවේ ලේකම්වරයා සඳහන් කළේය ෴

***************************************

ජාතියේ අවසානය ගැන ගුණදාස අමරසේකර කියයි

(20.10.2019 – 19:06 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන ජනාධිපතිවරණයේදී වැරදි තීන්දුවක් ගතහොත් එය ජාතියේ අවසානය විය හැකි බව ජාතික සංවිධාන එකමුතුව ප්‍රකාශ කළා.

එහි කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ බව කියා සිටියේ දෙල්කඳ සතිපොළ භූමියේ අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයකට අද එක්වෙමින්.

ඊට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද එක්ව සිටියා.

***************************************

හකීම්-සහරාන් වීඩියෝව ගැන තොරතුරු හෙළි කළ මවුලවිට බලපෑම්

(20.10.2019 – 19:09 +0530 – sinhala.adaderana.lk)

රවුෆ් හකීම් අමාත්‍යවරයා සහ සහරාන් හෂීම් සම්බන්ධ ආන්දෝලනාත්මක වීඩියෝ පටය පිළිබඳව කළ අනාවරණයෙන් පසු තමාට විවිධ පහර ගැසීම් සිදුකෙරෙන බව මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාල් මවුලවි පවසයි.

තම නිවස පොලිස් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු තම සංවිධානයට අයත් අත්පත්‍රිකා තොගයක්ද කන්තලේ පොලීසිය සිය භාරයට ගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් සහ රවුෆ් හකීම් අමාත්‍යවරයා අතර 2015 මහ මැතිවරණ සමයේදී ජාතික තවුහිද් ජමාද් සංවිධාන කාත්තන්කුඩි කාර්යාලයේදී සිදුව ඇතැයි පැවසෙන සාකච්ඡාවක දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් ඉකුත් 18 වැනිදා මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය විසින් නිකුත් කරනු ලැබුවේය.

ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටියේ රාවුෆ් හකීම් අමාත්‍යවරයාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

කෙසේවෙතත් ආන්දෝලනයට තුඩුදුන් අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන් අද මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රවුෆ් හකීම් අමාත්‍යවරයා කියාසිටියේ අදාල දිනයේ තමා හමුවූයේ සහරාන්ව බව තමන් දැන නොසිටි බවයි.

මෙවන් පසුබිමක මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානයේ සභාපති මිෆ්ලාල් මවුලවිවරයාගේ මාළිගාවත්තේ පිහිටි නිවස පොලිස් පරීක්ෂාවට ලක්කොට ඇති අතර එහි තිබූ අත්පත්‍රිකා සහ පොස්ටර් අඩංගු පාර්සල් කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබුණි.

70 වසරක මුලාවට තිත යනුවෙන් සඳහන් කර සකස් කර තිබූ එම අත්පත්‍රිකාවල තවත් තොගයක් ඊයේ (19) ත්‍රිකුණාමලයේ ජනතාව වෙත බෙදාහැරීම සඳහා පිටත්කර යවා තිබියදීද කන්තලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැනුම් දී ඇත්තේ මැතිවරණ කොමිසමේ අනුමැතියකින් තොරව අදාළ පත්‍රිකා මුදා හැරිය නොහැකි බවයි.

ඒ අනුව මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාල් මවුලවිවරයා අද (20) ඊට අදාළ අනුමැතිය ලබාගැනීමට මැතිවරණ කොමිසම වෙත පැමිණි අතර එහිදී ඔහු කියා සිටියේ අදාල අනාවරණයෙන් පසු තමන්ට බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

19-10-2019 ගම්පහ ජනරැලි මාලාව

***************************************

සජිත් වැරදිකරුවෙකු වී ඇති වාර්තාව ප්‍රසිද්ධ කරන්නැයි ගම්මන්පිල ගෙන් ජනපතිට ලිපියක්

(20.10.2019 – 18:53 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව වැරදිකරුවෙකු ලෙස නම්කර ඇති , වත්මන් ආණ්ඩුවේ දුෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමින්.

වත්මන් ආණ්ඩුවේ වංචා සහ දූෂණ සෙවිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවේය.

එහි වාර්තාව පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ජනාධිපතිවරයා වෙත භාර දී ඇතැයි සඳහන් කරන පාර්ලිමේන්තු උදය ගම්මන්පිල මහතා සිය ලිපිය මගින් අනාවරණ කර ඇත්තේ එහි පිටපතක් තමාටද ලැබී ඇති බවයි.

එම ලිපියේ මෙසේ සඳහන්ව ඇත :

“එකී වාර්තාවේ අවසන් වෙළුමේ පළමු කාණ්ඩයේ පිටු 186 සිට203 දක්වා දැක්වෙන පරිදි සජිත් ප්‍රේමදාස ඇමතිතුමා විසින් නීති විරෝධීව පුද්ගලයින් 1,117 දෙනෙකු නිවාස සංවර්ධන අධිකාරියට බඳවා ගැනීමෙන් ද , වසය අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් 30 දෙනෙකුට සේවා දිගු ලබා දීමෙන්ද මහජන මුදල් රුපියල් කෝටි 65 ක් හෙවත් රු. 641,870,136 ක් (රු. හැටහතර කෝටි දහඅට ලක්ෂ හැත්තෑ දහස් එකසිය තිස් හයක) අවභාවිතා කර ඇති බව කොම්සමේ නිගමනයයි.

එසේ බඳවා ගත් පුද්ගලයින්ගෙන් 95% ක්ම එතුමාගේ මැතිවරණ දිස්ත්‍රික්කය වන හම්බන්තොටින් බඳවාගෙන ඇති බවද කොමිසම නිරික්ෂණය කර ඇත. එබැවින් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාට එරෙහිව 1954 අංක 11 දරණ අල්ලස් පනතේ 70 වන වගන්තිය නඩු පැවරිය යුතු බව කොමිසම නිර්දේශ කර ඇත.”

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති කොමිෂන් සභාවේ තීරණයට අනුව සජිත් ප්‍රේමදාස මහතා ද දුෂිතයෙකු බවයි.

එබැවින් ජනාධිපතිවරණයට පෙර ජනාධිපති කොමිසම විසින් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් දක්වා ඇති නිරික්ෂණ, නිගමන සහ නිර්දේශ දැන ගැනීම ජනාධිපතිවරණයේ දි ජනතාවට තීරණාත්මක වනු ඇති බවත් ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

ඒ අනුව දූෂණ වංචා පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කරන මෙන් ඒ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

***************************************

මුස්ලිම් ජනයාගෙන් IS බෝඩ් එක ගලවන්න පුළුවන් ගෝඨාභයට – විමල් වීරවංශ

(20.10.2019 – 18:16 +0530 – sinhala.adaderana.lk)

වත්මන් ආණ්ඩුව මුස්ලිම් ජනතාවගේ මිතුරන් නොව හතුරන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද (20) මාතර වැලිගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය :

“ජාතියේ ඉරණම තීරණය කරන දවස නොවැම්බර් 16 වැනිදායි. 17 වැනිදා ඉරපායන විට අති බහුතරයකින් රටේ 7 වැනි විධායක ජනාධිපති පත්වෙනවා.

අන්තවාදයට වැට බඳින නායකයෙක් ඉල්ලන වේලාව, සියලු ජාතීන්ට ආරක්ෂාවක් තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟ පමණයි.

සහරාන්ලාගේ බෝම්බවලින් වෙළී තිබෙන රටක්. එවැනි තත්ත්වයක් තුළ රට ඉල්ලන එකම නායකයා ගෝඨාභය රාජපක්ෂයි.

නැගෙනහිරත් අද දෙමළ ජනයාත්, සාමයට ලැදි මුස්ලිම් ජනතාවත් වෙන කවදාටත් වඩා අප සමඟ සිටිනවා. මුස්ලිම් ජනතාව මත අයිඑස් බෝඩ් එක එල්ලුවේ මේ රජයයි.

ඒ බෝඩ් එක ගළවන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණයි.

සියලු ජාතීන් එක ලක් මාතාවක් තුළ ඒකරාශී වන දිනය නොවැම්බර් 16 වැනිදා යි.”

***************************************

TNA යෝජනාවලිය පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා – බන්දුල ගුණවර්ධන

(20.10.2019 – 17:41 +0530 – sinhala.adaderana.lk)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත්‍ ප්‍රේමදාස මහතා කුමන අදහස් පළකළද බලය ලැබුණු පසු ඔහුට ස්වාධීනව ක්‍රියාත්මක වීමට හැකිවේදැයි ගැටලුවක් පවතින බව රන්ගිරි දඹුලු රජමහා විහාරයේ විහාරාධිපති, අස්ගිරි මහා විහාර කාරක සංඝ සභික පූජ්‍ය ගොඩගම මංගල හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරණ අපෙක්ෂකයන් වෙත දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ශේප කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරණ අපෙක්ෂකයන් වෙත දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ශේප කරන බව පොදුජන පෙරමුණේ මතය වන බවත් ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාගෙන් පැහැදිලිව එම මතය ප්‍රකාශ විය යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.

එසේම ඇමති රවුෆ් හකීම් හා සහරාන් පිළිබඳ නිකුත් වු වීඩියෝව පිළිබඳ අදහස් දක්වමින් අන්තවාදීන් සමඟ අනියම් ආකාරයෙන් හෝ සම්බන්ධතා පැවැත්වීම රටේ සංහිඳියාවට බාධාවක් බවත් ඒ මහතා කිසා සිටියේය ෴

***************************************

ශ්‍රීලනිපය මුළින්ම කැඩුවේ චන්ද්‍රිකායි විජේයි – මහින්ද රාජපක්ෂ

(20.10.2019 – 17:24 +0530 – sinhala.adaderana.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට ප්‍රථම තමා සියලු පාර්ශ්ව වල එකඟත්වය ලබා ගත් බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ අදහස් පළ කළේ අඟුණකොළපැලස්ස පැවති ජනහමුවකදීයී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඟුණකොළපැලස්ස කාර්යාලය අද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබුවේය.

එහිදී අදහස් දැක්වු විපක්ෂනායකවරයා මෙසේ පැවසීය :

“චන්ද්‍රිකා මහත්මිය මේ දවස් වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න හදනවා. ඒක සුරැකිලා තියෙන්නේ. මේ කඩාකප්පල් වැඩකට ඇවිත් තියෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලින්ම කැඩුවේ මෙතුමියයි විජය කුමාරතුංග මහත්මයයි. මහජන පක්ෂය හැදුණේ එහෙමයි.

සහරාන්ගේ බෝම්බෙන් පස්සේ පන්සල් යන්න අපි බය වුණා. ආණ්ඩුවේ උදවුවෙන් සහරාන් ඒ වැඩේ හරියට කරා. හැම විස්තරයක්ම තියෙද්දී, පල්ලිවල නමුත් එක්ක ආණ්ඩුවට ලැබුණා ඒ ලියුම. ඒත් ආණ්ඩුව නිදා ගෙන හිටියා.

රටේ ආරක්ෂාවට වග කියන කෙනෙක් නායකයෙක් අපි පත් කළා. ඒ මගේ මල්ලී හින්දා නෙවේ. හැම පාර්ශ්වයක් එක්කම සාකච්ඡා කරලා තෝරගත්තේ.”

+++++++++++++++++++++

අපි පාතාලය සහ කුඩුකාරයෝ පාලනය කරනවා – ගෝඨාභය රාජපක්ෂ

(20.10.2019 – 17:01 +0530 – sinhala.adaderana.lk)

පාතාලය සහ කුඩු ජාවාරම් පාලනය කිරීමට තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද මාතර, වැලිගම පැවැති ජන රැළියක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය :

“අපට අපේ රට ආරක්ෂා කරලා දෙන්න කියලා ජනතාව අපෙන් ඉල්ලා සිටිනවා. රට නැවත ආරක්ෂා කරන්නයි ඉල්ලා සිටින්නේ.

මේ රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් එදා යොදා තිබුණා. පැහැදිලි බුද්ධි සේවාවන් සම්බන්ධීකරණය කරමින් සුරක්ෂිත වැඩපිළිවෙළක් යොදා තිබුණා.

නමුත් අවාසනාවකට වසර දහයක් යන්නටත් පෙර මේ ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා පල්ලිවල බෝම්බ පුපුරන්නට පටන් ගත්තා. රණවිරුවන්ගේ අභිමානය නැති කළා. බුද්ධි අංශය නිශ්ක්‍රීය කළා. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. මේ හේතූන් නිසා රටේ ආරක්ෂාව අහිමි වුණා.

රටේ ආරක්ෂාව ගැන දැනුමක් නැති කිසිම තැකීමක් නොකරන ප්‍රමුඛත්වයක් නොදෙන ඇමැති මණ්ඩලයක් තුළින් රටක සුරක්ෂිතභාවයක් ලැබෙයි කියා විශ්වාස කරන්න බැහැ.

ඉදිරියේදී තවදුරටත් සාමයෙන් ජීවත් විය හැකි සුරක්ෂිත රටක් ලබාදෙන බවට අපි පැහැදිලිවම ප්‍රකාශ කර සිටිනවා.

අපි බලයට එන්නේ නිසි ආර්ථික සැලැස්මක් තුළින්. ඒ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ මහජන කේන්ද්‍රීයවයි.

සෑම පුද්ගලයකුම ඉහළට ගත හැකි ආකාරයේ ආර්ථික සැලැස්මක් අප ක්‍රියාත්මක කරනවා. එදා පොරොන්දු දුන්නා නම් ඒ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කළා. වසර තිහක් තිබූ ත්‍රස්තවාදය කෙටි කාලයකින් අවසන් කළා. රට සංවර්ධනය කළා. ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙනාවා. අප සමඟ සිටින්නේ වැඩක් කළ හැකි කණ්ඩායමක්. අපි සැලසුම් ක්‍රියාත්මක කරනවා.”

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

තැපැල් ඡන්ද දායකයින්ට දැනුම්දීමක්

(20.10.2019 – 14:40 +0530 – sinhala.adaderana.lk)

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දිනයන්හිදී අදාළ සේවා ස්ථානවලට ඒ සඳහා පහසුකම් සලසන ලෙස තේරීම්භාර නිලධාරීන් මඟින් සියලුම සහතික කිරීමේ නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

ලබන 31 හා නොවැම්බර් මස පළමුවන දින තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දිනයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර නොවැළැක්විය හැකි හේතුවක් මත එම දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට නොවැම්බර් මස 7 වනදා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී එම පහසුකම ලබාදී ඇති බවයි මැතිවරණ කොමිසන් සභාව පවසයි.

තැපැල් ඡන්දය සලකුණු කිරීම් මෙන්ම තැපැල් ඡන්දය විමසන ස්ථාන හා පරිශ්‍ර ඡායාරූප ගත කිරීම හා වීඩියෝ ගත කිරීම තහනම් වන අතර තැපැල් ඡන්ද විමසීම සිදුවන ස්ථාන අවට අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කිරීම ද තහනම් වේ ෴

***************************************

පුතාණෝට වඩා හොඳයි සහරාන්ගේ අවතාරේටම රට භාර දෙන එක – විමල් වීරවංශ

(20.10.2019 – 14:34 +0530 – sinhala.adaderana.lk)

කෙටිකාලීන හා දීර්ඝකාලීන නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට තම රජයක් යටතේ කටයුතු කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජන රැළියක් ඊයේ (19) පස්වරුවේ මීරිගම නගරසභා පිටියේදී පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එම අවස්ථාවේ දී අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම විමල් වීරවංශ මහතා පල කළේ මෙවන් අදහසකි.

“සහරාන්ගේ ඡන්දේ දුන්නෙත් 2015 දී හංසයාට. එහෙම හංසයාට ආයේ කතිරේ ගහන්න පුළුවන්ද? එහෙම හංසයෙකුට කතිරෙ ගහන්න පුළුවන්නම් පන්සලේ බෝ ගහ කපන්නත් ඔබට පුළුවන්.

පුතාණෝ ආවොත් ආයෙත් අගමැති රනිල්. මංගල, බදියුදීන්, හකීමුත් පුතාණෝ අවොත් ඉන්නවා. ඊට වඩා හොඳයි සහරාන්ගේ අවතාරේටම රට භාර දෙනවා.

17 වෙනිදාට හරීන්ට කියන්න වෙන්නේ සජිත් ආවා, කෑවා, නෑවා, සජිත් දිව්වා කියලා “

+++++++++++++++++++++

දිස්ත්‍රික්කයේ විශ්වාසයවත් නැති වුණු මිනිහට ලංකාවේම විශ්වාසය ලැබෙයිද? – මහින්ද රාජපක්ෂ

(20.10.2019 – 14:06 +0530 – sinhala.adaderana.lk)

ගම්පහ දිස්ත්‍රික්කය අධ්‍යාපනයේ කේන්ද්‍රීය ස්ථානයක් බවට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ (19) ඊයේ පස්වරුවේ කටානේ පැවැති ජන රැළියක් අමතමින්.

සාර්ථක දැක්මක් – වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනරැලි මාලවේ තවත් රැලියක් ඊයේ පස්වරුවේ සීදූව අම්බලම්මුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

රැලිය පැවැත්වෙන අතරවාරයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ඊට සහභාගි වුණි.

එහිදී අදහස් දැක්වු විපක්ෂනායකවරයා කියා සිටියේ අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ දැනුවත්ව වත්මන් රජය ඇස් කන් පියාගෙන සිටි බවයි.

එසේම හම්බන්තොට දිස්ත්‍රික්කයේවත් ඡන්ද ලබා ගෙන විශ්වාසය දිනා ගත නොහැකි වු සජිත් ප්‍රේමදාස මහතාට රටේ විශ්වාසය දිනා ගත හැකිද යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

අකුරැස්ස ජනරැලියේදී විමල් වීරවංශ …
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *