INFOTEL -2017 ඇරඹෙයි

(02.11.2017 – biz.adaderana.lk)

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයත්, FITIS (Federation of IT Industry) ආයතනයත්, විසින් ඩිජිටල් ආර්ථිකයක් කරා තේමාවෙන් ක්‍රියාවට නංවා ඇති INFOTEL 2017 ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.

INFOTEL ප්‍රදර්ශනයට වසර 25 ක් සපිරීම නිමිත්තෙන් මෙවර ප්‍රදර්ශනය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය ද මෙවර මෙම ප්‍රදර්ශනයේ පාර්ශවකරුවකු ලෙස කටයුතු කරන අතර මෙවර ප්‍රදර්ශනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව සඳහා ද කුටියක් ක්‍රියාත්මක වන අතර, මේ යටතේ ඩිජිටල් අධ්‍යාපනය සම්බන්ධ ආකෘතික ප්‍රදර්ශන පැවැත්වීමට කටයුතු යොදා ඇත.

INFOTEL ප්‍රදර්ශනයට සමගාමීව සහ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් මේ සඳහා දායකත්වය ලබාදෙන අමාත්‍යාංශ සහ ආයතනවල ප්‍රධානීන් සඳහා වන CXO සමුළුව ද ඊයේ කොළඹ හිල්ටන් හෝටලයේ දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අද (02) සිට ආරම්භ වන ඉන්ෆොටෙල් ප්‍රදර්ශනයේ දී පාසල් සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් හා සම්මන්ත්‍රණ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යෙයන් පැවැත්වෙන අතර, මේ සඳහා පාසල් සිසුන් 3,500ක් පමණ කැඳවා තිබේ. මෙම ප්‍රදර්ශනය සඳහා පාසල් නිල ඇඳුමින් පැමිණෙන සිසුන්ට නොමිළේ ඇතුළු වීමේ පහසුකම ද සලසා ඇත.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මෙම උත්සව අවස්ථාවන් සඳහා සහභාගි වූහ ෴

**************************************

හම්බන්තොට වරායේ වැඩ ලබන මාසේ පටන් ගන්නවා – හම්බන්තොට ඉඩම් ටිකත් චීනයට දෙනවා
(04.11.2017 – 12:12 +0530 – sinhala.adaderana.lk)

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ලබන මාසයේදී චීන සමාගම් විසින් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ තුළින් ලැබෙන මුදල් වලින් රටේ ණය බරින් නිදහස් වීම සඳහා කොටස් වශයෙන් ණය ගෙවීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම වරායේ සංවර්ධන කටයුතුවලට සමගාමීව කර්මාන්තශාලා ඇති කිරීම සඳහාද හම්බන්තොට ප්‍රදේශයේ තවත් ඉඩම් චීනයට බදු පදනම යටතේ ලබා දීමට සිදු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

හම්බන්තොට චීන මිත්‍රත්ව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම උත්සවය සඳහා මහින්ද සමරසිංහ , විජිත් විජයමුනි සොයිසා, සාගල රත්නායක යන අමාත්‍යවරුන් ද එක්ව සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *