පාස්කු ප්‍රහාරය ගැන තේරීම් කාරක සභා වාර්තාවට ඇමති හකීම්ගෙන් සාක්ෂි ලබාගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කියයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පාස්කු ප්‍රහාරය ගැන තේරීම් කාරක සභා වාර්තාවට ඇමති හකීම්ගෙන් සාක්ෂි ලබාගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කියයි

• ගෝඨාභය දිනවීම සියල්ලන්ගේ යුතුකමක් බව කමල් ගුණරත්න කියයි

• තරුණ යුවළකට වෙට්ටු දැමූ පොලිස් බල්ලාට ජනතාවගෙන් පාඩමක්

• ඉදිරි ජනපතිවරණය ගැන විවිධ අදහස්

• ගෝඨාභය රාජපක්ෂ ගැන ඇතමුන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බව විපක්ෂ නායක කියයි

• අමාත්‍ය රාවුෆ් හකීම් ගැන අදත් හෙළිදරව්වක්

• ලැබී ඇති අවසන් අවස්ථාව ගැන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි කියයි

• හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගෙන් පැය 8 ක ප්‍රකාශයක්

• පාස්කු ප්‍රහාරයට මාස 6 යි – ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් නිසි සැලැස්මක් නැහැ – ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි

• සමෘද්ධි නිලධාරීන්ට ලක්ෂ 10 ක චෙක්පත් – ඡන්ද කොමිසම පරීක්ෂණ අරඹයි

• නිම නොකළ සත් මහල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමට එරෙහිව – කොළඹ ආනන්දයේ දෙමාපියන්ගෙන් අධ්‍යාපන ඇමතිට විරෝධය

• විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 6000 ක් ඡන්දයට, ප්‍රවේශ පත්‍ර වෙන් කරයි

• බුද්ධිය මුල්වූ ආර්ථිකයක් ගොඩනග බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි

• පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණයෙන් නොතීසි

• අඩු පීඩනයේ බලපෑමෙන් වැසි තවදුරටත් – දක්ෂිණ අධිවේගයේදී වාහන 06ක් ගැටේ – වේගය පාලනය කරන්නැයි උපදෙස්

• පාස්කු තේරීම් කාරක සභාවේ නිර්දේශ හෙට (23) පාර්ලිමේන්තුවට

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරය ගැන තේරීම් කාරක සභා වාර්තාවට ඇමති හකීම්ගෙන් සාක්ෂි ලබාගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කියයි

(21.10.2019 – 20:22 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවට අමාත්‍ය රවුෆ් හකීම්ගේ සාක්ෂිය ලබා නොගන්නේ නම් එය අසම්පූර්ණ වාර්තාවක් වනු ඇති බව, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.

අද (21) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළකළා :

***************************************

ගෝඨාභය දිනවීම සියල්ලන්ගේ යුතුකමක් බව කමල් ගුණරත්න කියයි

(20.10.2019 – 13:25 +0530 – hirunews.lk/sinhala)

රටේ අනාගත පරපුර වෙනුවෙන් නිවැරදි නායකත්වයක් සහ දර්ශනයක් සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම, සියල්ලන්ගේ යුතුකමක් බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ‘වියත් මග’ ඊයේ (19) ඇඹිලිපිටිය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ සම්මන්ත්‍රයකට එක්වෙමින්.

***************************************

තරුණ යුවළකට වෙට්ටු දැමූ පොලිස් බල්ලාට ජනතාවගෙන් පාඩමක්

(20.10.2019 – nethnews.lk ඇසුරෙන්)

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණ යුවළකට පයින් ගැසූ බව කියන පොලිස් රථ වාහන අංශයේ නිළධාරියෙකුට එරෙහිව ජනතාවගේ විරෝධය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

අදාල පොලිස් නිළධාරියා විසින් මෙම තරුණ යුවළ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී පයින් ගසා ඇති බවත්, ඔවුන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවත් සඳහන් වන අතර පසුව එම ස්ථානයට එක් වූ පිරිස අදාල තරුණයා වෙනුවෙන් පෙනී සිටිමින් පොලිස් නිළධාරියා සිදුකළ වරද පෙන්වාදෙන ආකාරය අදාල වීඩියෝවෙහි දැක්වෙනවා.

එම වීඩියෝව පහතින් :

https://www.facebook.com/106911530727906/videos/402173883796311/

***************************************

ඉදිරි ජනපතිවරණය ගැන විවිධ අදහස්

(21.10.2019 – 20:38 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.

***************************************

ගෝඨාභය රාජපක්ෂ ගැන ඇතමුන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බව විපක්ෂ නායක කියයි

(21.10.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරන වැඩපිළිවෙළ සම්බන්ධ ඇතැම් පාර්ශ්ව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ සූරියවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සූරියවැව විහාරගල මංසන්ධියේදී ඊයේ (20) ජන හමුවක් සංවිධානය කර තිබූ අතර ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතායි.

***************************************

අමාත්‍ය රාවුෆ් හකීම් ගැන අදත් හෙළිදරව්වක්

(21.10.2019 – 20:18 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් හෂීම් බවට සැලකෙන පුද්ගලයෙකු සමග අමාත්‍ය රාවුෆ් හකීම් මහතා එකට සිටින ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

රිල්වාන් හෂීම් මියගියේ පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින්.

අප්‍රේල් 21 වනදා සිදුකල ප්‍රහාර මාලාවේ මහමොළකරු වන ත්‍රස්තවාදි කල්ලි නායක මොහොමඩ් සහරාන් හෂීම්ගේ සොහොයුරෙකු වන මොහොමඩ් රිල්වාන් හෂීම් බවට සැලකෙන පුද්ගලයා සමගින් මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සිටින ඡායාරූපය පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව ඇති අතර අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සමග මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සිද්ධි ෆාරුක් ද මෙම ස්ථානයේ සිට තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වන්නේ රිල්වාන් හෂීම් රෝහල්ගත කර සිටින අවස්ථාවකදී අමාත්‍යවරයා ඔහු බැලීමට පැමිණ ඇති බවටයි.

පාස්කු ප්‍රහාරය සිදුවී දින 5 පහකට පසුව අප්‍රේල් 26 වනදා කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් ආරක්ෂක අංශ විසින් පරික්ෂා කිරීමට උත්සහ කිරීමේදී එහි සිටි ත්‍රස්තවාදී පිරිස මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් මියගිය අතර ඊට පැය කිහිපයකට පසුව ඔහු සහ සහරාන් හෂීම් එකට සිටින ඡායාරූපයක් ෂී හිතවාදී අමාක් පුවත් සේවයේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර තිබුණා ෴

+++++++++++++++++++++

හකීම්ගේ ත්‍රස්ත සුරතල්… තවත් සාක්ෂි ලීක් වෙයි… බෝම්බ අත්හදා බැලීමේදී තුවාල වූ, රිල්වාන් ගේ (සහරාන්ගේ මල්ලි) සුව දුක් බලන්න ගිහින්…

(22.10.2019 – colombotoday.com)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම්ගේ සොයුරාවන රිල්වාන් හෂීම්ගේ සුවදුක් බැලීම සදහා රවූෆ් හකීම් ඇමතිවරයා ගෝස් සිටින ඡායාරූපයක් අනාවරණය වී තිබේ.

මෙම රිල්වාන් ත්‍රස්තවාදියා පාස්කු 21 ප්‍රහාරයෙන් දින තුනකට පසු ආරක්ෂක අංශ සමග කල්මුනේ සයින්දමරුදු හිදී කළ වැටලීමක් අතරතුර බොම්බ පුපුරුවගෙන මිය ගියේ ය.

එම පුද්ගලයා එක් ඇසක් හා අතක් අහිමි අයෙකු වන අතර, මෙසේ ඔහු තුවාල ලබා ඇත්තේ කාත්තන්කුඩියේ පවත්වාගෙන ගිය රහසිගත කදවුරකදී බෝම්බ අත්හදා බැලීමකදී බවට බුද්ධී අංශ අනාවරණය කරගෙන තිබිණි.

රවුෆ් හකීම් ඇමතිවරයා මෙසේ ඔහුගේ සුවදුක් බැලීමට ගොස් ඇත්තේ එම බොම්බ අත්හදා බැලීමේදී සිදුවූ අනතුරෙන් තුවාල වී සිටියදී බවද සැලකේ. බෝම්බ අනතුරෙන් අසාධ්‍ය තත්වයේ සිටි රිල්වාන් හොර රහසේ කාත්තන්කුඩියේ සිට කොළඹට ගෙන්වා කිසිඳු ලේඛනයක සටහනක් පවා නොතබා සූක්ෂම ආකාරයකට රජයේ රෝහලකින් ප්‍රතිකාර කරවීම සම්බන්ධව ක්‍රියාත්මක වූ ප්‍රබල දේශපාලන හස්තය කාගේදැයි මේ අනුව අනාවරණය වේ.

ඇමතිවරයා සමග රිල්වාන්ගේ සුවදුක් බැලීම සදහා මුල්ලිම් කොංග්‍රස් පළාත්සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරුක් ද එක්ව සිටින අයුරු ඡායාරූපයේ දැක්වේ. සහරාන් හෂීම් සමග අතිෂය සමීප ඇසුරක් පැවැත්වූ ෂිබ්ලි ෆාරුක් මන්ත්‍රීවරයා, බෝම්බ පුපුරුවා ගැනීමෙන් තුවාල ලබා සිටි සහරාන්ගේ බිරිද රැගෙන යෑම සදහා බලහත්කාරයෙන් අම්පාර රෝහලට ඇතුළු සිදුවීමක් ද වාර්තා විණි.

රවූෆ් හකීම් ඇමතිවරයා සහරාන් හෂීම් සමග සුහද සාකච්ඡාවක නිරත වී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් දින කිහිපයකට පෙරද අනාවරණය වූ අතර, ඇමතිවරයා පුන පුනා කියා සිටින්නේ තමන් ත්‍රස්තවාදීන් සමග කිසිදු සම්බන්ධයක් නැති බවත් මෙය දේශපාලන මඩ ගැසීමක් බවත්ය.

රිල්වාන් හෂීම්ගේ ඇසක් සහ අත අනතුරට ලක්ව ඇත්තේ බෝම්බ අත්හදාබැලීමකදී බවට බුද්ධි අංශ පවා අනාවරණය කරගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුකළ පරීක්ෂණවලදී වන අතර, රවූෆ් හකීම් ඇමතිවරයා සහ ඔහුගේ සමීප සගයන්, පාස්කු ප්‍රහාරයට පෙරද, සහරාන් කල්ලියේ ත්‍රස්ත ක්‍රියාකාරකම් හොදින්ම දැන සිටි බවට මෙම ඡායාරූප අනුව අනාවරණය වේ.

***************************************

ලැබී ඇති අවසන් අවස්ථාව ගැන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි කියයි

(21.10.2019 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත් විය හැකි රටක් බිහිකිරීම සදහා අවශ්‍ය නායකත්වය තෝරාගැනීමට ලැබී ඇති අවසන් අවස්ථාව මෙය බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ ඊයේ (20) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගෙන් පැය 8 ක ප්‍රකාශයක්

(21.10.2019 – 19:38 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය බැංකුවක පරිගණක පද්ධතිය සවි කිරීමේදී සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවකට අදාළව එහි සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගෙන් රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද පැය 8 කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහු බන්ධනාගාර නිලධාරීන් සමඟ අද පෙරවරු 9.30 ට පමණ කොමිසමට පැමිණ මෙම ප්‍රකාශය ලබාදුන් බවයි කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ ෴

***************************************

පාස්කු ප්‍රහාරයට මාස 6 යි – ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් නිසි සැලැස්මක් නැහැ – ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි

(21.10.2019 – 19:34 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සිදුවී මාස 06 ක් ගතවුවද මෙතෙක් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි සැලස්මක් ඉදිරිපත් කිරිමට ආණ්ඩුව අපොහොසත් වි ඇති බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ තංගල්ල – රන්න ප්‍රදේශයේ අද පැවති ජනරැලියකට එක්වෙමින්.

එම අවස්ථාවට එක්ව සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අදහස් පලකලා.

මේ අතර, ඊයේ (20) අකුරැස්සේදී මෙන්ම අදත් බෙලිඅත්තේ පැවති ජනරැලියේදී එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කළා.

එමෙන්ම, හක්මන, මුලටියන ප්‍රදේශයේ ඊයේ පැවති ජනරැලියේදි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිරිසක් ද ඔහුට සහාය පල කිරීමට එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ, ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පලකිරිම සදහා බෙලිත්අත්තේ අද (21) පැවති ජනරැලියේදි අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දෙසියකට යටත් වීමට සුදානම් නොමැති බවයි.

***************************************

සමෘද්ධි නිලධාරීන්ට ලක්ෂ 10 ක චෙක්පත් – ඡන්ද කොමිසම පරීක්ෂණ අරඹයි

(21.10.2019 – 19:31 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ට ලබාදීමට සූදානම් වූ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ණය මුදල් චෙක්පත් මැතිවරණ කොමිසමේ නිළධාරීන්ගේ පැමිණීමෙන් අත්හිටුවා තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදුකළ මෙම උත්සවය ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණේ බත්තරමුල්ල – සුහුරුපායේ ගොඩනැගිල්ලකයි. උත්සවය ආරම්භ කිරීමෙන් පසු ලද තොරතුරු අනුව මැතිවරණ කොමිසමේ නිළධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර, ඒ අනුව උත්සවය නතර කිරීමට එය සංවිධානය කළ නිළධාරීන්ට සිදුවුණා.

ඒ හේතුවෙන් අදාළ චෙක් ලබාදීමට අමාත්‍යවරයාට හැකියාවක් ලැබී නැහැ.

පසුව උත්සවය ආරම්භ කරන අවස්ථාව පිළිබඳව එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ගේ කැමරාවල පටිගත වී තිබු තොරතුරු එහි සිටි ආරක්ෂක නිළධාරින් විසින් මකා දමා ඇති බව සඳහන්.

එසේම සමෘද්ධි අධිකාරිය තුළ හිමිකම්පත් පිිළියෙල කරමින් සිටීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව වැඩිදුර විමර්ශන සඳහා මැතිවරණ කොමිසම් සභාවේ නිලධාරීන් අද පස්වරුවේත් එම අධිකාරිය වෙත පැමිණියා.

ඒ පෙරේදා දිනයේදී එම ස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ නිලධාරීන් අදාළ හිමිකම් පත්‍ර ලබාදීම තාවකාලිකව නතර කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමටයි.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අද යළිත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පැමිණියා.

ඒ, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එම ආයතනයට අයත් වාහන අවභාවිතා කරන බවට මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලට අනුව සිදුකරන විමර්ශනයට අදාළවයි.

මේ අතර, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එරෙහිව සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම් සභාවට අද පැමිණිල්ලක් සිදු කළා.

එමෙන්ම, කොළඹ ආනන්ද විද්‍යාලයේ අභිනව සත්මහල් ගොඩනැගිල්ලේ වැඩ අවසන් නොකර හෙට දිනයේ අනාරක්ෂිත ලෙස විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සැළසුම් කර ඇති බවට චෝදනා කරමින් විද්‍යාලයේ සිසු දරුවන්ගේ දෙමාපියන් සහ ආදි ශිෂ්‍ය සංගමය අද එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

ඔවුන් අද පෙරවරු හතේ සිට පැය දෙකකට ආසන්න කාලයක් විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතාවයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතියේ සමාජිකයන්, අධ්‍යාපන අමාත්‍යංශයට සහ මැතිවරණ කොමිසම් සභාවට පැමිණියා.

ඒ අනුව අද පස්වරුවේ මැතිවරණ කොමිසම් සභාවේ නිළධාරින් කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණ හෙට පැවැත්විමට සැලසුම් කර තිබු විවෘත කිරිමේ උත්සවය අත්හිටුවා තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

නිම නොකළ සත් මහල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමට එරෙහිව – කොළඹ ආනන්දයේ දෙමාපියන්ගෙන් අධ්‍යාපන ඇමතිට විරෝධය

(21.10.2019 – 10:55 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ආනන්ද විද්‍යාලයේ අලුතින් ඉදිකළ සත්මහල් ගොඩනැගිල්ලේ වැඩ අවසන් නොකර අනාරක්ෂිත ලෙස හෙට දිනයේ විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සැළසුම් කර ඇති බවට චෝදනා කරමින් විද්‍යාලයේ සිසු දරුවන්ගේ දෙමාපියන් සහ ආදි ශිෂ්‍ය සංගමය විරෝධතාවක නිරත වුණා.

ඔවුන් අද (21) පෙරවරු හතේ සිට පැය දෙකකට ආසන්න කාලයක් විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම විරෝධතාවයෙන් අනතුරුව අදාළ විවෘත කිරීම සම්බන්ධයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ දෙමාපියන්ගේ සංගමය සහ ආදි ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබුවා.

***************************************

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 6000 ක් ඡන්දයට, ප්‍රවේශ පත්‍ර වෙන් කරයි

(21.10.2019 – 19:15 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අනිද්දා ඉදිරිපත් කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවට එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ද එක්ව සිටියා.

එහිදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරණය වෙනුවෙන් විදෙස්ගතව සිටින ශ්‍රමිකයින් 6000 කට වැඩි පිරිසක් මෙරටට පැමිණීම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර දැනටමත් වෙන් කරගෙන ඇති බවයි ෴

***************************************

බුද්ධිය මුල්වූ ආර්ථිකයක් ගොඩනග බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි

(21.10.2019 – 13:10 +0530 – hirunews.lk/sinhala)

බුද්ධිය මුල්වූ ආර්ථීකයක් යටතේ රට ගොඩනැගීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

බෙලිඅත්ත ප්‍රදේශයේ අද (21) පෙරවරුවේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර තිස්සමහාරාම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හමුවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) එක්ව සිටියා.

එමෙන්ම වත්මන් ආණ්ඩුව ජාතික ආරක්ෂාව පිලිබඳ වගකීමකින් තොරව කටයුතු කර ඇති බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අම්බලන්තොට ප්‍රදේශයේ ඊයේ (20) පැවති ජන හමුවකට එක්වෙමින්.

***************************************

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණයෙන් නොතීසි

(21.10.2019 – 12:36 +0530 – hirunews.lk/sinhala)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබන මස 08 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළා.

ඒ, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන අබේසේකර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.

මුලතිව් – ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ හිටපු විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරස්ථාන භූමියේ සිදුනොකරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් කර තිබියදී එලෙස සිදුකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව මන්ත්‍රීවරිය සිය පෙත්සමෙන් දක්වා තිබුණා.

ඒ අනුව අදාළ පෙත්සම අද සළකා බැලූ අවස්ථාවේදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මෙන්ම මුලතිව් කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ද ලබන මස 8 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි අභියාචනාධිකරණය නියෝග කළේ ෴

***************************************

අඩු පීඩනයේ බලපෑමෙන් වැසි තවදුරටත් – දක්ෂිණ අධිවේගයේදී වාහන 06ක් ගැටේ – වේගය පාලනය කරන්නැයි උපදෙස්

(21.10.2019 – 11:14 +0530 – hirunews.lk/sinhala)

අරාබි මුහුදේ හටගෙන ඇති අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද (21) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ නිකවැරටිය ප්‍රදේශයටයි – එය මිලිමීටර 132.5 ක්.

මේ අතර කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම – මන්නාරම මාර්ගය එළුවන්කුලම – සපත්තු පාලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා එහි ගමනාගමන කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ කලා ඔයේ ජල මට්ටම අඩි 8 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ඒ ආසන්නයේ පවත්වාගෙන ගිය එළුවන්කුලම නාවික හමුදා කඳවුර සහ වනජීවී කාර්යාලය ඉවත් කිරීමටද මේ වනවිට කටයුතු කර ඇති බවයි.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් මේ වනවිට විවෘත කර තිබෙනවා. දොරටු 4 ක්, අඩි දෙකහමාර බැගින් සහ දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂ ඒ.එම්.කේ.ආර්. අලහකෝන් කියා සිටියේ.

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 ක්ද මේ වනවිට අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා.

එසේම පුත්තලම – කුරුණෑගල ප්‍රධාන මාර්ගය වාරියපොල – අවුලේගම ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ ජලයෙන් යටවුණා.

වැසි ජලය බැස නොයෑම හේතුවෙන් වෙන්නප්පුව රන්දියගම ගම්මානයේ නිවාසද ජලයෙන් යටවී ඇති අතර, කොළඹ – කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ නාත්තන්ඩිය පරණ පාර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් එහි ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානා දෙකක් අයහපත් කාලගුණය හේතුවෙන් අද උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබස්සවනු ලැබුවා.

සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි යූ.එල්. 266 සහ කුවේට් සිට පැමිණි යූ.එල්. 230 යානා දෙක මෙලෙස මත්තලට පැමිණි බවයි ගුවන් තොටුපලේ පාලනාධිකාරිය සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුව කාලගුණ තත්ත්වය යහපත් බවට සනාථවීමත් සමඟ එම යානා දෙක නැවත කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත යොමු කෙරුණා.

මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන පැයට කිලෝමීටර 60 ක වේගයකින් ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.

මාර්ගය අපැහැදිළි වීම නිසා අද උදෑසන කහතුඩුව පිවිසුමේ සිට හත්වන කිලෝමීටර කණුව ආසන්නයේ දී වාහන 6 ක් එකිනෙක ගැටී අනතුරක්ද සිදුවුණා.

බස් රථයක්, වෑන් රථ දෙකක්, මෝටර් රථ දෙකක් සහ ජීප් රථයක් එලෙස අනතුරට ලක්වූ නමුත් ඉන් කිසිවෙකුටත් හානි සිදුවූයේ නැහැ.

***************************************

පාස්කු තේරීම් කාරක සභාවේ නිර්දේශ හෙට (23) පාර්ලිමේන්තුවට

(22.10.2019 – 07:28 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ හෙට (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

ප්‍රහාරයට මාස 6 ක් සපිරුණේ ඊයේ දිනයේදියි.

තේරීම් කාරක සභා වාර්තාව පිටු 200 කින් පමණ සමන්විත වන බව විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් නිර්දේශ කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බවයි. අතපසුවීම්, අඩුපාඩු සහ දුර්වලතා සොයා බැලීම පමණක් මෙම තේරීම් කාරක සභාව මගින් සලකා බැලු බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, ඉදිරියේදී මෙවැනි සිද්ධියක් සිදුනොවීමට ගත යුතු පියවර ද අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව තේරීම් කාරක සභාවේ සභාපතිවරයා තවදුරටත් කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *