නීතිය නැමෙයි!… ගුරුකන්ද පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරද්දී යකඩ දත්වලට ඉපැරැණි ගඩොල්, වළං කෑලි තොග පිටින් මතු වෙයි…

(20.10.2019 – divaina.com)

• පන්සලේ ආරක්‍ෂිත කැමරා සවි කරනවාට එරෙහිව නීතිය තද වෙයි…

• ‘ඔබවහන්සේගේ ආරක්‍ෂාවට අපි ඉන්නවානේ හාමුදුරුවනේ පන්සලට මොකටද සී.සී.ටී.වී. කැමරා’ ගුරුකන්ද නායක හාමුදුරුවන්ගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි…

• ඩෝසරයේ අයිතිකරු මාව මරලා මෙතනම වළ දලා පන්සල ඩෝසර් කරනවා කියල තර්ජනය කළා…

ගුරුකන්ද ඓතිහාසික පුදබිමට නිවනක් නැත. විවිධ වෙස් අඳින අන්තවාදීහු පුදබිම කොල්ලකා ගැනීමට දහන්ගැට සියල්ල ගසති. ඒ අල්ලපනල්ලේ ගුරුකන්ද රාජමහා විහාරයේ අභිනව විහාරාධිපති වහන්සේ, පූජ්‍ය මිහිඳුපුර රතනදේවකිත්ති හිමියන්ට ද අනේක විද කෙණහිලිකම් කරන්නාහ. එම විහාරස්ථානයේ ආරක්‍ෂාවට සිටින සිංහල තරුණයාට ද අන්තවාදීහු මරණ තර්ජනය කර බිය වැද්දීමට ප‍්‍රයත්න දරමින් සිටිති. එහෙත් එම තරුණයා සිංහයකු සේ එඩිතරව තර්ජන, ගර්ජන හමුවේ නොසැලී සිටී. හේ කැලුම් බණ්ඩාරය. වයස අවුරුදු විසි තුනකි. ජනකපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන කැලුම් පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නායක හාමුදුරුවන් අපවත් වෙන්නටත් පෙර සිටම ගුරුකන්ද විහාරස්ථානයේ ආරක්‍ෂාවට සිටි තරුණයෙකි.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී වෙඩි හඬ මැද හැදුණු වැඩුණු ඔහු, කොටි අවතාර කරන මරණ තර්ජන පයිසෙකට මායිම් නොකරයි. ඔහුට දරාගැනීමට නොහැකි වී සිටින්නේ නීතිගරුක පොලිසිය විසින් ගුරුකන්ද විහාරස්ථානයෙන් පිටමං වී යෑමට කරන නියෝගයයි. කැලුම් ඒ බව අපට කීවේ පසුගිය 15 වැනිදා ගුරුකන්ද විහාරස්ථානයේ සී.සී.ටී.වී. කැමරා සවි කිරීමට ගොස් උද්ගත වූ තත්ත්වය දැනුම් දීමට දුරකථනය ඔස්සේ කතා කළ මොහොතේය.

“නායක හාමුදුරුවන්ටත්, මටත් මරණ තර්ජන තියෙන නිසා විහාරස්ථානයේ ආරක්‍ෂාවට දායක සභාව පන්සල ඇතුළේ සී.සී.ටී.වී. කැමරා සවි කරන්න තීරණය කළා. අද උදේ දායක සභාවේ දෙදෙනෙක් ඇවිත් සී.සී.ටී.වී. කැමරා සවිකරන්න සූදානම් වුණා. කැමරා දෙකයි සවි කරන්න ලැබුණේ. පන්සලේ පොලිස් මුරපොළේ නිලධාරියෙක් ඇවිත් මට කිව්වා ‘මේක කරන්න දෙන්න බෑ. මුලතිව් පොලිසියේ එච්.කිව්.අයි. මහත්තයාගෙන් අවසර ගන්න ඕන’ කියලා මට දුරකථන ඇමතුමක් අරගෙන දුන්නා. ඒ දුරකථන ඇමතුමට සම්බන්ධ වුණේ මුලතිව් පොලිසියේ එස්.අයි. මහත්තයෙක්. එතුමා මට කිව්වා ‘ගුරුකන්ද පුදබිම තාම කාටවත් භාර දීලා නෑ… නායක ස්වාමීන් වහන්සේ නමක් පත් කරලත් නෑ… මේ ස්ථානයේ අයිතිය තියෙන්නේ රජයට… ඒ නිසා මෙතැන හිතෙන, හිතෙන විදිහට වැඩ කරන්න දෙන්න බෑ… ඔයාට මෙතැන තියෙන අයිතිය මොකක්ද… කියලත් මගෙන් ඇහුවා…”

“ගුරුකන්ද විහාරස්ථානාධිපති බැහැරට වැඩම කරන අවස්ථාවලදී පන්සල බලාගන්න රාජකාරිය කරන්නෙ මමයි. ඒ කටයුත්ත මට භාර දීලා තියෙන්නෙ විහාරස්ථ දායක සභාව…” කියලා එස්.අයි. මහත්තයාගේ ප‍්‍රශ්නයට මම උත්තර දුන්නා. එතකොට එස්.අයි මහත්තයා කිව්වා “එහෙම භාරකාරයො මෙතැනට අවශ්‍ය නෑ. ඔයාට ඕන නම් ඇවිත් යන්න පුළුවන්. පන්සලේ සවි කරලා තියෙන සියලු සී.සී.ටී.වී. කැමරා මේ දැන් ගලවන්න ඕන” කියලත් අණ කළා. ඒ කියලා පැයක් විතර යනකොට මුලතිව් පොලිසියේ තවත් නිලධාරීන් පිරිසක් පන්සලට ඇවිත් මට කිව්වා “මෙතැනට සී.සී.ටී.වී. කැමරා අවශ්‍ය නෑ. සවි කරලා තියෙන කැමරා ගලවන්න” කියලා. ඊට පස්සෙ අපි ඒ නිලධාරීන්ට පේන්නම පන්සල ඇතුළේ සවි කරලා තිබුණු සී.සී.ටී.වී. කැමරා දෙක ගැලෙව්වා. දැන් අපිට කිසිම ආරක්‍ෂාවක් නෑ. රෑකට ඇවිත් නායක හාමුදුරුවන්වයි, මාවයි මරලා දලා ගියත් කිසිම සාක්‍ෂියක් නෑ…”

“ඒත් පසුගිය බ‍්‍රහස්පතින්දා බැකෝ එකක් අරගෙන ඇවිත් විහාරස්ථාන භූමිය ඩෝසර් කරනකොට ඔය කියන පොලිස් නිලධාරීන් බලාගෙන හිටියා. ගුරුකන්ද පන්සල් භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්. ඒත් පොලිස් නිලධාරීන් බලාගෙන හිටිද්දී වව්නියාව ප‍්‍රදේශයේ දෙමළ මිනිස්සු කිහිප දෙනෙක් ඇවිත් බැකෝ දාගෙන පස් කැපුවා. බැකෝ එකෙන් පොළොව හාරලා පස් ගන්නකොට පැරැණි ගඩොල් කෑලි, වළං කෑලි තොග පිටින් මතු වෙන්න ගත්තා. පන්සලේ භාරකරු විදිහට මම ගිහින් ඒ නටබුන් කොටස් ෆොටෝ ගහනකොට බැකෝ එකේ අයිතිකාරයා ‘මාව කපලා එතැනම වළ දළා මේ පන්සල සේරම ඩෝසර් කරනවා’ කියලා තර්ජනය කළා. මම ඒ සද්දවලට බය වුණේ නෑ. ෆොටෝ ගහන වැඩේ දිගටම කරගෙන ගියා. ඊට පස්සෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇවිත් තමයි පස් කපන එක නතර කරලා ඇවිත් හිටිය දෙමළ මිනිස්සුන්ව පලවාහැරියේ…”

“ඒ මිනිස්සු පස් කැපුවේ පාරවල්වල අයින් දිගට දාන්න කියලා. ඒ.ජේ. ඔෆිස් එකෙන් ගත්ත අවසර පත‍්‍ර පෙන්නුවා. ෆොරෙස්ට් එකෙන් ගත්ත අවසර පත‍්‍ර පෙන්නුවා. පස් ප‍්‍රවාහනය කරන්න ගත්ත ෆර්මිට් නවයක් පෙන්නුවා. පුරාවිද්‍යා භූමියක පස් කපන්න කොහොම අවසර ගත්තද කියලා දන්නේ නම් ඒ අය විතරයි. පුරාවිද්‍යා නිලධාරීනුත් බැකෝ එකත් එක්ක ඒ මිනිස්සුන්ව පළවාහැරිය මිසක් අත්අඩංගුවට ගැනීමක් සිදු කළේ නෑ. බැකෝ එකෙන් හාරද්දී මතු වෙච්ච වළං, ගඩොල් කෑලි තාමත් එතැන තියෙනවා. ඒ සිද්ධිය එහෙම ඉවර වුණා. ඊට පහුවෙනිදා උදේ පාන්දර දෙමළ මිනිස්සු විශාල පිරිසක් පන්සල් වත්තට ඇවිත් ලොකු හට් එකක් ගහලා කෝවිලේ පූජාවක් කරන්න ලෑස්ති වුණා. දෙමළ දේශපාලනඥයන් කිහිප දෙනෙක්ම ඇවිත් හිටියා. ඒ ඇවිත් හිටිය ගැහැනු, පිරිමි දෙමළ මිනිස්සු පන්සල් වත්ත දිගටම සැරසුවා. කෑම හැදුවා. ලොකු වතුර බවුසරයක් ආවා. ඒ අය කිව්වේ මේධාලංකාරකිත්ති නායක හාමුදුරුවන්ගේ දේහය පන්සලට ගෙනාපු නිසා කිළි හරින පූජාවක් කරනවා කියලයි…”

“පිදුරුවලින් ලොකු පඹයෙක් හදලා පුච්චලා පන්සල් වත්ත වටේ ඇදගෙන ගියා. කෝවිල ඉදිරිපිට තියලා පුහුල් ගෙඩියක් කැපුවා. ඒ අවස්ථාවේදීත් මම ෆොටෝ ගන්නවා දැකලා ඇවිත් හිටිය දෙමළ දේශපාලනඥයනුයි, ඔවුන්ගේ ආරක්‍ෂක නිලධාරීනුයි මාව වට කරගෙන ගහන්න හැදුවා. පොලිසියෙන් ඇවිත් තමයි මාව බේරගත්තේ. ඒත් මට ගහන්න හැදුවට පොලිසිය කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නෑ. ඒ වගේම මුලතිව් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරලා තියෙනවා මේ පූජා භූමියේ යම් කටයුත්තක් කරද්දී දෙපාර්ශ්වයේම කැමැත්ත මත සිදු කළ යුතුයි කියලා. ඒත් කිළි පූජාව කරන්න ආපු කිසිම කෙනෙක් අපේ නායක හාමුදුරුවෝ එක්ක ඒ සම්බන්ධව වචනයක්වත් කතා කළේ නෑ. එහෙම කළා කියලා පොලිසියෙන් විරෝධයක් දැක්කුවෙත් නෑ. ඒත් අපේ ජීවිත ආරක්‍ෂාවට ආරක්‍ෂිත කැමරාවක් සවි කරගන්න ගිහාම සාමයට බාධාවක්, දෙපාර්ශ්වයේම කැමත්ත මත සිදු විය යුතුයි කියලා තහංචි දානවා. පොලිසියේ නීතිය ක‍්‍රියාත්මක කිරීම හරිම අසාධාරණයි. ඒත් අපිට මේවා කියන්න කෙනෙක් නෑ. සේරම ඉන්නේ අපිට විරුද්ධවයි…” පොලිසියේ දෙබිඩි නීතිය හමුවේ ගුරුකන්ද පූජා භූමිය ආරක්‍ෂාවට සිටින කැලුම් බණ්ඩාර කොතරම් අසරණ වී සිටී ද යන්න ඔහුගේ වචනවලින් ඉතාම පැහැදිළිය.

කැලුම් බණ්ඩාර ජීවිත අවදානමත් තුරුලු කරගෙන ගුරුකන්ද පන්සලේ මුරට සිටින්නේ රජයෙන් වේතනයක් ලබාගෙන නොවේ. වෙනත් වරදාන බලාපොරොත්තුවෙන් ද නොවේ. සැබෑ බෞද්ධයකු ලෙස උරුමය ආරක්‍ෂා කරගැනීමට ඇති කැක්කුම නිසාය. එහෙයින් හුදකලා වූ විහාරස්ථානයක අනාරක්‍ෂිතව සිටින භද්‍ර යව්වනයකු වන කැලුම් බණ්ඩාරට ජාතියේ ප‍්‍රණාමය පුද කළ යුතුය. එමෙන්ම ගුරුකන්ද විහාරස්ථානය අරබයා පොලිසියේ දෙබිඩි නීතිය හමුවේ අපවත් වී වදාළ ගුරුකන්ද විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර හිමියන් ද අසරණ වූ අවස්ථා බොහෝය. අවසානයේ උන්වහන්සේගේ ප‍්‍රාණය නිරුද්ධ දේහය පන්සලට රැගෙන එනවාට අන්තවාදීහු විරුද්ධ වූ අවස්ථාවේදී ද පොලිසියේ ක‍්‍රියාකාරිත්වය ගැන කිසි ලෙසකින් හෝ සෑහීමකට පත් විය නොහැකිය. ඒ දෙබිඩි නීතිය අදට ද වෙනසක් නැත. ගුරුකන්ද විහාරස්ථානයේ අභිනව විහාරාධිපති පූජ්‍ය මිහිඳුපුර රතනදේවකිත්ති හිමියෝ ද පොලිසියේ දෙබිඩි නීතිය හමුවේ අන්ත අසරණව සිටිති. ඒ බව උන්වහන්සේ අපට කීහ.

“අපේ නායක හාමුදුරුවො ජීවත්ව ඉන්නකම් මේ පන්සල ආරක්‍ෂා කරගන්න විශාල අරගලයක් කළා. අන්තවාදීන් එක්ක විතරක් නෙමෙයි, නීතිය කරවන අය එක්කත් සටන් කරන්න වුණා. උන්වහන්සේ අපවත් වෙනකොටත් ඇඟ බැඳලා. දැන් අපිට ඊටත් වඩා අරගලයක් කරන්න වෙලා. අතීතයේදී මේ පූජා භූමිය සාංඝික දේපළක් වුණත් දැන් හත් හවුලක් වෙලා. කෝවිලේ පාර්ශ්වය ඇවිත් පන්සල් වත්ත සරසගෙන පූජා පවත්වනවා. පොලිසිය ඒවා බලාගෙන ඉන්නවා. අපි මොනවාහරි කරන්න හැදුවොත් සංහිඳියාවට බාධාවක් කියලා නතර කරන්න කියනවා. පහුගිය දවසක සී.සී.ටී.වී. කැමරා සවි කරන්න හැදුවා. ඒකටත් පොලිසිය විරුද්ධ වුණා. මුලතිව් පොලිසියේ නිලධාරියෙක් මට කතා කරලා කිව්වා ‘ඔබ වහන්සේගේ ආරක්‍ෂාවට අපි ඉන්නවා නේ… පන්සලට සී.සී.ටී.වී. කැමරා අවශ්‍ය නෑ’ කියලා. ඒ මදිවට පන්සලේ අයිතිය ගැනත් මගෙන් ප‍්‍රශ්න කළා. සාංඝික දේපළක් සංඝයාවහන්සේලාට අයිති වෙන්නේ නැතිව වෙන කාට අයිති වෙන්නද මහත්තයො. සී.සී.ටී.වී. කැමරා සවි කරන්න හැදුවේ වැඩි ආරක්‍ෂාවට. මේ ස්ථානයට තුන්වැනි ඇහැක් අත්‍යවශ්‍ය නිසයි. අපි වැරැද්දක් කරනවා නම් ඒකත් පැහැදිළිව ඔප්පු කර ගන්න පුළුවන්. කෝවිලේ පාර්ශ්වය වැරදි කරනවා නම් ඒකත් ඔප්පු වෙනවා. කැමරාවට බොරු කරන්න බෑ. සී.සී.ටී.වී. කැමරා සවි කිරීම දෙපාර්ශ්වයටම හොඳයි. ඒත් පොලිසියට ඒක අවුලක් වුණා…” ගුරුකන්ද විහාරස්ථානය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය ගැන පූජ්‍ය මිහිඳුපුර රතනදේවකිත්ති හාමුදුරුවෝ ද දැඩි කලකිරීමෙන් පසු වන බව පැහැදිළි වේ.

ගුරුකන්ද විහාරාධිපති වහන්සේ තෙවැනි ඇසක පිහිට ප‍්‍රාර්ථනා කළේ නොසිතූ මොහොතක පන්සලට කඩා පාත් වී උන්වහන්සේ අපවත් කරාවි යැයි කියන බියට නොවේ. ‘ගුරුකන්ද කැඳ හවුල’ තුළ සංහිඳියාවට බාධා කරන්නේ කවරහුද යන්න පැහැදිළිව රටට ඔප්පු කිරීමටය. එහෙත් විහාර භූමියේ කැමරා සවි කිරීමට පොලිසිය එරෙහි විය. විහාර පාර්ශ්වයේ සහ කෝවිල් පාර්ශ්වයෙන් සිදුවන අකටයුතුකම් රටට පෙන්වීමට තිබූ ඒ අවස්ථාවත් නැති විය. ගුරුකන්ද කැඳ හවුල තව-තවත් ගැට ගැසේ. එවැනි පසුබිමක ගුරුකන්ද විහාරස්ථානයේ නීතිමය ගැටලු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතාට අපි කතා කළෙමු. මේ ඔහු කියන කතාවය.

“පුරාවිද්‍යා භූමි සහ පුරාවිද්‍යා ස්මාරක කියලා කොටස් දෙකක් තියෙනවා. ගුරුකන්ද පූජා භූමිය ගැසට් කරලා තියෙන්නේ පුරාවිද්‍යා ස්මාරකයක් විදිහට. එහෙම වුණාම පුරාවිද්‍යා පනතෙන් ආරක්‍ෂා වෙන්නේ ඒ අදාළ ස්මාරක විතරයි. ඒ වගේම ගුරුකන්ද පූජා භූමියේ තියෙන ඉපරැණි නටබුන් පුරාවිද්‍යා ස්මාරක විදිහට ගැසට් කළාට, එම ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙන ග‍්‍රාම සේවක වසම වැරදියි. පසුව ඒක නිවැරදි කරන්න කටයුතු කරලා තියෙනවා. ඒත් පුරාවිද්‍යා වස්තුවක් ලෙස සලකන්නේ ගම නෙමෙයි. ඒ නිසා පුරාවිද්‍යා ගැසට් එකකට ගම අදාළ වෙන්නේ නෑ. අවුරුදු සීයකට වඩා පැරැණි මේ රටේ තියෙන ඕනෑම දෙයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුයි. ගැසට් කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නෑ…”

“ගුරුකන්ද විහාරස්ථානයේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් උසාවියේ සාක්‍ෂි ඉදිරිපත් කළ පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහත්තයා අනාවරණය කරපු කරුණු කාරණාවලට අනුව ගුරුකන්ද පූජා භූමිය පුරාණ බෞද්ධ නගරයක් සමඟ තිබුණු සංඝාවාසයක්. ඒ පුරාවිද්‍යා භූමියේ තියෙන ස්මාරක අනුරාධපුර යුගයේ තිබුණු බෞද්ධ නටබුන්වලට සමාන බවත් පුරාවිද්‍යා ප‍්‍රවීණයන් තීරණය කරලා තියෙනවා. ඒ වගේම පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවලින් පෙන්නා දී ඇති ආකාරයට මේ පුදබිම විශාල භූමි භාගයක විසිරිලා තියෙනවා. එවැනි ඓතිහාසික පූජා භූමියක් ස්මාරකයක් විදිහට ගැසට් කරලා වැඩක් නෑ. නටබුන් විසිරුණු සම්පූර්ණ භූමියම පුරාවිද්‍යා රක්‍ෂිතයක් විදිහට ගැසට් කරන්න ඕනෑ. මායිම් සලකුණු කරලා එම සීමාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු සංරක්‍ෂිත රක්‍ෂිතයක් කියලා නිවේදනය කළා නම් කවුරුවත් ඇඟිලි ගහන්න එන්නේ නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ දේ කළේ නෑ…”

“ඒත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ගුරුකන්ද පූජා භූමියේ මැණුම් කටයුතු කරලා තියෙනවා. සාමාන්‍ය මැනුමක් නෙමෙයි. ජී.පී.එස්. තාක්‍ෂණය යොදාගෙන පූජා භූමියේ මායිම් මොනවද, හැරවුම් ලක්‍ෂ්‍ය මොනවද කියලා ලකුණු කරලා තියෙනවා. ඒ අනුව ගුරුකන්ද පුරාවිද්‍යා භූමියට අදාළ භූමි ප‍්‍රමාණය පැහැදිළිව තීරණය කරන්න පුළුවන්. මෙතැන ගැටලුව වෙලා තියෙන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මැනුම් කටයුතු කරලා වෙන් කරපු ප‍්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා රක්‍ෂිතයක් විදිහට ප‍්‍රකාශයට පත් නොකිරීමයි. බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ප‍්‍රකාශයට පත් නොකිරීමයි. එහෙම කළා නම් ගුරුකන්ද පන්සලට ඇවිත් දෙමළ මිනිස්සුන්ට ප‍්‍රශ්න ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නෑ. ගුරුකන්ද පන්සලට අසරණ දෙමළ මිනිස්සු රැස් කරලා, උතුරේ ඉන්න අන්තවාදී දේශපාලනඥයන්ට ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීමට පාදම සකස් කරලා තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. ගුරුකන්ද පන්සලේ මේ සියලු ගැටලුවලට වගකියන්න ඕනෑ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව…” නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතාගේ කතාව ද ඉතා හොඳින් පැහැදිළිය.

අපවත් වී වදාළ පූජ්‍ය ගුරුකන්ද විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හාමුදුරුවො සහ අභිනව විහාරාධිපති පූජ්‍ය මිහිඳුපුර රතනදේවකිත්ති හාමුදුරුවෝ ද දෙමළ ජනතාවගේ ගැරහුමට ලක් වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිලිමත් කම නිසාය. නැති නම් හිතා මතා ජාතිවාදය ඇවිස්සීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති කැමැත්ත නිසාය. තවදුරටත් මේ ගැටලුව පැටලීමට ඉඩ නොදී ගුරුකන්ද ඉපරැණි පුදබිම පුරාවිද්‍යා භූමියක් ලෙස ප‍්‍රසිද්ධ කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පව් සාමා කරගැනීමට කටයුතු කළ යුතුය. එසේ නොවෙන්න මේ ආගම්වාදී ගැටුම මරණයකින් නිමා වීමට ඇති ඉඩ වැඩි බවත් අපි මතක් කර සිටිමු.

– තරංග රත්නවීර

++++++++++++++++++++++++

16-10-2019

*****************************************

මුහුදු මහා විහාරය යළිත් අර්බුදයක… ඉඩම් නිරවුල් කිරීමට නීතිපති තීරණය හරස්වේ !

(20.10.2019 – divaina.com)

මුහුදු මහා විහාරය කරා වන්දනාවේ යෑම මෑතක සිට ඉතා ජනප‍්‍රිය වී ඇත. පාණදුරේ විජය සෞගත පිරිවෙනේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ ලා 95 දෙනෙකු සහ ගිහි සිසුන් 15 දෙනෙකු ඇතුළු පිරිසක් පසුගියදා නැගෙනහිර පළාතේ අධ්‍යාපන චාරිකාවකට සහභාගි වූ අතර මුහුදු මහා විහාරය දැක බලාගෙන වන්දනාමාන කිරීම ද ඔවුන් ගේ ප‍්‍රධාන අරමුණක් විය. එම ස්ථානයට ඔවුන් පැමිණෙන විට අවට සිටින මුස්ලිම් අන්තවාදීන් පිරිසක් නොනවත්වා මේ වන්දනා නඩයට හූ හඬ තැබූහ. ඉන්පසු අක්කරපත්තු පෙදෙස පසුකර අම්පාර දෙසට ගමන් කරමින් සිටින ඔවුනගේ බස් රථවලට ගල් පහරවල් ද එල්ල කළහ. ජනාධිපතිවරණයක් ආසන්නයේ අන්තවාදී කෝළාහලයක් ආරම්භ කිරීම මේ පහරදීමේ අරමුණ බව පෙනේ. පසුගියදා මුහුදු මහා විහාරය අසල අනවසර ඉදිකිරීමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්ව නවතා දමන ලදහ. මේ කේන්තිය අවුලමින් මුස්ලිම් ජනතාව අන්තවාදයට තල්ලූ කිරීම පිටිපස හිස්බුල්ලා වැන්නවුන් නිසැකවම සිටිනු ඇත.

ක‍්‍රි.ව. පළමු වන සියවසේ දී මහදැළියමානා නොහොත් මහා දාඨික මහානාග රජතුමා විසින් ඉදිකරන ලදැයි පැවසෙන මුහුදු මහා විහාරය රුහුණු රජ පෙළපතේ වන්දනාමානයට පාත‍්‍රව තිබූ ප‍්‍රධාන සිද්ධස්ථානයකි. ජනප‍්‍රවාදයට අනුව කැලණිතිස්ස රජුගේ දූ කුමරිය වන දේවී කුමරිය මුහුද ගොඩගැලීමෙන් හානියට පත් වන සිය රට බේරා ගැනීම පිණිස මුහුදට බිලි වුණද දෛවයේ හාස්කමකින් මෙන් එතුමිය රැගත් යාත‍්‍රාව සැඩ රළ පහරට අසුව පාවී අවුත් රුහුණේ තොටමුණකට ගොඩ ගැසූ බව පැවසේ. මේ ස්ථානය කතරගම අසල කිරින්ද යයි පවතින මතයට බැහැරව යමින් මෙම ජන ප‍්‍රවාදය නිර්මාණය වී තිබේ. පානම් පත්තුවේ සිංහල ජනතාවගේ තුඩ තුඩ පවතින මේ කතාවට අනුව දේවී කුමරිය ගොඩට පාවී අවුත් ඇත්තේ වත්මන් පොතුවිල් අසල මුහුදු මහා විහාර සීමාවටයි. එකල රුහුණු රජය කළ කාවන්තිස්ස රජුට මෙම පුවත දැන ගන්නට ලැබී වහා එහි අවුත් දේවී කුමරිය පිළිගෙන තම බිසෝ තනතුරෙහි පිහිටුවා ගත් බව කියවෙන මේ ප‍්‍රවාදය ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය. ඉන්පසුව මෙහි ලංකා විහාරය නම් වූ මහා සිද්ධස්ථානයක් ඉදි වූ බවද ජනප‍්‍රවාදයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් මුහුදු මහා විහාරය කාලයේ වැලි තලාවෙන් යටව ගියේය. පොතුවිල් මුහුදු තීරය නිරන්තරයෙන් මුහුදු කෑමට ලක් වීමෙන් විහාරයට අයත් භූමි ප‍්‍රදේශය මුහුදුට බිලි විය. නටබුන් වසා ගෙන වැලිකඳු ගොඩ ගැසෙන්නට විය. ලංකා රාජ්‍යත්වය අවසන් වී බි‍්‍රතාන්‍යයන්ගේ පාලන සමයේ දී සුදු නිලධාරීන් අතින් පුරාවස්තු සොයා බැලීම් කරන අවස්ථාවේ දී මුහුදු මහා විහාරය යළි සොයා ගැනුණි. එකල පානම් පත්තුවේ ජීවත් වූයේ ඉතාමත් අල්ප වූ ජන කොට්ඨාසයකි. එය ගණනින් හත් අටසීයක් පමණ පිරිසකි. මුස්ලිම් වර්ගයට අයත් මට්ටයන් ද සෙනරත් රජුගේ අණින් මෙහි විත් පදිංචි වී සිටි අතර පොතුවිල අවට ද ඔවුන් ගේ ජනාවාස විය. මුහුදු මහා විහාරය අසල ඉඩම් කීපයක් ද මොවුන් සතු කර ගෙන තිබුණි. නව සිය පණහ දශකයේ දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාත ගවේෂණය කරන කල්හි, මුහුදු මහා විහාරය ඇතුළත් බිම් කඩ ද පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කරන ලද්දේය. ඒ 1951 වසරේ ජනවාරි 26 ගැසට් පත‍්‍රයෙන්ය.

අක්කර හැත්තෑ දෙකකුත් රූඩ් තුනකුත් පර්චර්ස් දහතුනකුත් මේ රක්ෂිතයට අයත් විය. රක්ෂිතය හඳුනා ගැනීමෙන් පසු මෙහි ගවේෂණ කටයුතු ද කැණීම් කටයුතු ද ආරම්භ කරන ලද්දේ 1975 වර්ෂයේ දීය. එහෙත් මේ වන විට අක්කර හැත්තෑ දෙකක මූලික හඳුනා ගැනීම් අන් සන්තකව තිබූ බවට සාක්ෂි හමු වෙයි. විශේෂයෙන්ම පුරාවිද්‍යා රක්ෂිතය තුළ පදිංචිව සිටි අනවසර මුස්ලිම් පිරිසකට මඩකලපුව සහකාර ආණ්ඩුවේ ඒජන්තවරුන් ගේ අනුග‍්‍රහයෙන් බලපත‍්‍ර ලබා දී තිබේ. ඒ තත්ත්වය මත ඉතිරිව තිබෙන බිම් කොටස් පමණක් ගෙන 1965 වර්ෂයේ මැයි මස 28 වන දින මුහුදු මහා විහාර භූමිය නැවත රක්ෂිතයක් ලෙසට ගැසට්ටුවක් මගින් ප‍්‍රකාශයට පත් කොට ඇත. එහි වපසරිය අක්කර තිහකුත් රූඩ් තුනකුත් පර්චස් දහතුනක් විය. රාජා ද සිල්වා මහතා පුරාවිදු කොමසාරිස්වරයා වශයෙන් සිටි අවදියේ දී කැණීම් සඳහා මුදල් වෙන් කෙරිණ. එම කැණිම් කටයුතු වලදී අනුරාධපුරයේ පසු භාගයට අයත් පිළිම ගෙයක් සහ මුල් භාගයට අයත් පිළිම ගෙයක් හඳුනා ගන්නට යෙදුණි. එයට අමතරව පොතුවිල මුහුදු තීරයේ වූ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද හඳුනා ගන්නට යෙදුණි. රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප‍්‍රතිමාවක් ද මෛත‍්‍රීය බෝධිසත්ව පිළිමයක් ද මෙම පිළිම ගේ තුළ තිබෙන අතර ඒවා කැණීම්වලින් පසුව සංරක්ෂණය කරන්ට යෙදුණි. බුදු පිළිමයේ හිස කිසියම් පුද්ගලයකු විසින් ගලවා ගෙන ගොස් තිබූ අතර එය මෙහි සිටි පුරාවිද්‍යා මුරකරු වන මජීඩ් ගේ ගෙයි ලිප් ගලකට ගෙන ඇති බව පසුව සොයා ගැනීමට හැකි විය. 1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ අතර පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කොට තිබුණි. මෙම විහාර සීමාවේ තවදුරටත් ගවේශණ කටයුතු සිදු කර මෙහි අනන්‍යතාවය නිවැරදිව හඳුනා ගත යුතු නමුත් කොටි ත‍්‍රස්ත කලබලවලින් පසු මෙම ස්ථානය අරාජික විය.

පුරාවිද්‍යා රක්ෂිතය භාරව සිටින මුස්ලිම් මුරකරු වරක් විහාරාධිපති කතරගම සිරිරතන හිමියන්ට අඩන්තේට්ටම් කිරීම සඳහා මුස්ලිම් පිරිසක් උසිගන්වන ලදහ. බුද්ධ ප‍්‍රතිමාවට පළන්දන ලද සිවුර ගලවා වීසි කළහ. මේ ආකාරයට කොටි ත‍්‍රස්තවාදී සමයේ හුදකලා වූ මුහුදු මහා විහාරය සතු ඉඩ කඩම්වලින් අක්කර නවයක් ජය භූමි පැවරුම් මගින් මුස්ලිම්වරු සන්තක කිරීමට ද ප‍්‍රාදේශීය ලේකම්වරයා ගත් පියවරට එරෙහිව කිසිවෙක් ක‍්‍රියා නොකළහ. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය ලෙසට කටයුතු කළ වකවානුවේදීය. එතුමියගේ අත්සනින් යුතු ජයභූමි ඔප්පු ගත් මුස්ලිම් ජන කොටස් තවදුරටත් මෙම ඓතිහාසික භූමිය ආක‍්‍රමණය කරමින් සිටී.

පූජ්‍ය කතරගම සිර රතන හිමියන් ගෙන් පසුව මෙහි විහාරාධිපති ධුරයට පත් පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ මුහුදු මහා විහාරයේ දියුණුව උදෙසා විශාල වැඩ කොටසක් ඉටු කළහ. ඒ අතර 2012 වර්ෂයේ දී දිනක් මුස්ලිම්වරු මෙහි පැමිණ වැල්ලට යටව තිබූ පැරණි චෛත්‍ය ඩෝසර කිරීම නිසා මහත් කලබගෑනියක් ඇති විය. මේ තත්ත්වය තුළ රජයට තවත් කරබා ගෙන සිටිය නොහැකි විය. අම්පාර දැයට කිරුළ උත්සවයට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය ආරම්භ කරන ලද අතර අභිනවයෙන් බුදු මැදුරක් ද එයට ප‍්‍රවිෂ්ට විය හැකි නව මාවතක් ද විවෘත කරන ලදහ. මෙයින් කෝපයට පත් මුසල්මානුවන් යළිත් වරක් සංවිධානය වී ආවාස ගෙයට ගිනි තබන ලද්දේය.

වරින් වර මුහුදු මහා විහාරයේ ගැටලුව ඉස්මතු වෙමින් යටපත් වන විට කොළඹ සිටින දේශපාලකයන් කිසිවෙකුට ඒවා විසඳන්නට උනන්දුවක් ඇති නොවූහ. විශේෂයෙන්ම අක්කර හැත්තෑ දෙකක නටබුන් අන්සන්තක වීම පිළිබඳ පුරාවිද්‍යා බලධාරීන් ද නිහඬ පිළිවෙතක් දිගින් දිගටම අනුගමනය කළහ. ජයභූමි ඔප්පු ලබා දෙන අවස්ථාව වන විට පුරාවිද්‍යා ආඥා පනත ක‍්‍රියාත්මක නොකිරීම මෙහිදී පෙන්වා දිය හැකිය. පසුගියදා මේ ස්ථානයේ ඇතිවූ කලබලවලින් පසුව අදාළ ගැසට් පත‍්‍ර දෙක පිළිබඳව නීතිපති මතය විමසීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබුණි. ඒ අනුව 2019 ඔක්තෝබර් 01 දින දාතමින් යුතුව නීතිපතිවරයාගේ පිළිතුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී ඇත. එහි සඳහන් වන්නේ 1965 වසරේ නිකුත් කළ ගැසට්ටුව පමණක් වලංගු බවයි. නීති තර්ක ඉදිරියේ දී මෙම නිගමනයේ සාධාරණයක් තිබේ. ගැසට් පත‍්‍රයක සඳහන් දෙයක් නැවත ගැසට් කරන කල්හි මුල් ගැසට්ටුව අහෝසී වී යෑම සිදු වේ. නමුත් මෙලෙස අහෝසි කරන්නට සැරසෙන්නේ භූමිය මත තිබෙන පුරාවස්තුවල අනන්‍යතාවය යි. සැබවින්ම පුරාවස්තු ආඥා පනතේ 34 වන වගන්තිය ප‍්‍රකාරව පුරාවිද්‍යා රක්ෂිත ආක‍්‍රමණය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරලීමට බලතල තිබේ. සැබවින්ම ඒ නීතිය බලාත්මක කරලීමට නීතිපති විමසීම අත්‍යවශ්‍ය නොවේ. ඔහු තමන් යටතේ තිබෙන පුරාවිද්‍යා රක්ෂිතය පිළිබඳ වගකීම දරයි නම් එම ස්ථානයේ තිබෙන පුරාවස්තු කෙරෙහි ශාස්ත‍්‍රීය වශයෙන් නිගමනවලට එළඹී තිබේ නම් පුරාවිද්‍යා නීතිය ක‍්‍රියාත්මක කරලීමට පැකිළෙන්නේ නොවේ. නමුත් වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන් ගේ ඇඟ බේරා ගැනීමට කටයුතු කර ඇති බව පැහැදිලිය. පුරාවස්තු ගැන හෝ ඒවායේ ඓතිහාසික උරුමය ගැන අවබෝධයක් නොමැති නීතිපතිවරයා එවැනි අවසථාවකදී නීති තර්ක මග කටයුතු කරලීම පුදුමයක් නොවේ. බළන්ගොඩ කූරගල පුරාවිද්‍යා රක්ෂිතය තුළ තිබෙන අනවසර ඉදි කිරීම් ඉවත් කරලීමේ දී හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා පුරාවිද්‍යා ආඥා පනතට අමතරව රජයේ සන්තකය ආපසු පවරා ගැනීමේ පනත ද භාවිතා කළ බව පැහැදිලිය. ඒ පුරාවිද්‍යා විෂය ගැන අවබෝධයෙන් සහ නීතිය පිළිබඳ සැබෑ ලෙසටම උපදෙස් ගැනීමෙනි. නමුත් දැන් තත්ත්වය එසේ නොවේ. 1951 වර්ෂයේ ගැසට් කරන ලද පුරාවස්තු සහිත භූමිය මුස්ලිම් අන්තවාදීන් සතු කිරීමට නීතියෙන්ම ඉඩකඩ ලබා දීමක් මෙහි වෙයි. මෙම තීරණය තුළින් මුස්ලිම් සහ සිංහල බෞද්ධයන් අතර නව ගැටුමක් ඇවිලීමට උත්සාහයක් තිබෙනු ඇතැයි ද කල්පනාවට ගත හැකිය. අන්තවාදීන් මෙම ඝට්ටනය තුළින් දේශපාලන වාසි ලබා ගත හැකිය.

– මතුගම සෙනෙවිරුවන්

++++++++++++++++++++++++

අන්තවාදීන්ගේ මුහුදු මහා විහාර ආක්‍රමණය !!!

(26.08.2019 – YouTube – IRAJ)

++++++++++++++++++++++++

හස්ති පූජාව – පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි

(20.10.2019 – YouTube – IRAJ)

+++++++++++++++++++++++++++++++++++++

10-09-2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *