වාහන ඩෑෂ්බෝඩ් වල බුදු පිලිම තහනම්ද..? පොලීසියෙන් නිවේදනයක්..!

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• වාහන ඩෑෂ්බෝඩ් වල බුදු පිලිම තහනම්ද..? පොලීසියෙන් නිවේදනයක්..!

• සහරාන්ගේ සැලසුම වී ඇත්තේ 2020 නිදහස් දිනයේදී ප්‍රහාර එල්ල කිරීමටයි

• සහරාන්ගේ හිතවතුන්ගෙ වාර්තා අපි පිළිගන්නෙ නෑ

• පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන ගැටලුවක් – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (විඩියෝ)

• සජිත් නිසා සුජීවට දේශපාලනයෙන් සමුගන්න වෙයි.. චෝදනා සනාථයි.. අභියෝගය පරාදයි.. (විඩියෝ)

• සජිත්ගේ සුගතදාස සමුළුවට කාලක්වත් සෙනග නෑ.. දිලිප් වෙදආරච්චි ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලයි.. සජිත් මග හරී.. (විඩියෝ)

• මඩකලපු මාර්ගයේ දුම්රිය ධාවනය මහවට පමණයි

• ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස් (විඩියෝ)

• සිරීපාදේ ඝන්ඨාරේ…

• මන්ත්‍රී බන්දුල කැලණිය රජමහා විහාරාධිපති හමුවෙයි (විඩියෝ)

• විපක්ෂ නායකවරයාගෙන් චෝදනාවක් (විඩියෝ)

• ජනාධිපතිවරණය ජනමත විචාරණයක් විය යුතුයි – 113 ත් සූදානම් – නිදහස් පක්ෂ මහ ලේකම් කියයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

වාහන ඩෑෂ්බෝඩ් වල බුදු පිලිම තහනම්ද..? පොලීසියෙන් නිවේදනයක්..!

(22.10.2019 – 16:40 +0530 – lankacnews.com)

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි :

මෝටර් රථයක සවිකර තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දුන් බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල වූ අසත්‍ය පුවතක් සම්බන්ධව.

පසුගිය දිනක පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත වීඩියෝ පටයක් නිකුත් කර තිබූ අතර, එය තුල අන්තර්ගතව තිබුණේ යම් රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් මෝටර් රථයේ ඉදිරියේ ඇති කුඩා බුදු පිළිමයක් ඉවත් කරන ලෙස දැනුම් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියමය මත පොලිස් මූලස්ථානයේ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා විසින් විමර්ශනයක් සිදු කරන ලද අතර, එම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ප්‍රධාන වින්ස්ක්‍රීනය අවහිර වන ලෙස මැද කණ්නාඩියේ පහතට වැටෙන සේ සවි කර තිබූ මල් මාලා ඉවත් කිරිමට අදාල පොලිස් නිලධාරියා විසින් උපදෙස් ලබා දී ඇති බවයි. කිසිම විටක පොලිස් නිලධාරියා බුදු පිළිමය ඉවත් කිරීමට උපදෙස් ලබා දී නැත.

මෙම විමර්ශනයට අදාලව අදාල පුද්ගලයාගේ ප්‍රකාශයට අමතරව තවත් 04 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශ අනුවද පැහැදිලි වන්නේ බුදු පිළිමයක් ඉවත් කිරිමට පොලිස් නිලධාරියා උපදෙස් දී නොමැති බවයි.

වාහනවල ඉදිරි වින්ස්ක්‍රීනය වැසෙන සේ මල් මාලා, කුඩා මල් පෝච්චි එල්ලාගෙන යෑම හා ඩ්‍රෑෂ් බෝඩය මත සවි කිරීම තුලින් ඉදිරි දර්ශන අපැහැදිලි වන අතර එමගින් අනතුරු සිදුවේ. එම වරද සම්බන්ධව රියදුරුට දැනුම් දී ඇත. රියදුරු විසින් වෙනත් ආකාරයට අර්ථ නිරූපනය කරමින් බුදු පිළිමය ගැලවීමට පොලිස් නිලධාරියා උපදෙස් ලබාදුන් බව පවසා වීඩියෝව නිකුත් කර ඇත.

අදාල පුවත මගින් ජාතීන් අතර, ආගම් අතර විසන්වාදය, වෛරය ඇති වන ආකාරයට කටයුතු කර තිබෙන බවට බැලූ බැල්මට පෙනෙන බැවින්, එම පුවත පළ කල පුද්ගලයා සහ චේතනාන්විතව සමාජ මාධ්‍ය ජාලා හරහා එය බෙදා හරින ලද පුද්ගලයින්ට එරෙහිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතික පනතේ 3 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇද්දැයි විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනය මගින් අනාවරණය වන කරුණු අනුව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය.

– police midea

+++++++++++++++++++++

පාඨක අදහස් :
• ප්‍රශ්නෙ මල්මාලා නම් ‘මල්මාලා’ කියල ලියපල්ලා. මොකටද දඩ කොලේ ‘ඉෂ්ට රූප’ කියල ලිව්වෙ?
• දැන් එතකොට සුමන්තිරන්ලාගේ ඉල්ලීම් වලින් ඕය කියන 2007 අංක 56 දරණ පනත උල්ලංඝනය වෙන්නේ නැද්ද?
• ගුරු කන්ද විහාරය ගැන කරන කථා ආදාලම නැද්ද ඔය 2007 අංක 56 දරණ පනතට?

***************************************

සහරාන්ගේ සැලසුම වී ඇත්තේ 2020 නිදහස් දිනයේදී ප්‍රහාර එල්ල කිරීමටයි

(21.10.2019 – colombotoday.com)

පාස්කු දින ප‍්‍රහාරය එල්ල කළ අන්තවාදී ආගමික ත‍්‍රස්ත කල්ලිය එම ප‍්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ 2020 වසරේ ජාතික නිදහස් දින උත්සවයට බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිකර ගෙන ඇත.

ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන කණ්ඩායමක් සහ ආයුධ පුහුණුව ලැබූ කණ්ඩායමක් වශයෙන් කණ්ඩායම් දෙකක් සූදානම් කිරීමටත් නිදහස් දින උත්සවයට ප‍්‍රහාර එල්ල කරන ගමන් විදේශිකයන් රැඳී සිටින සුඛෝපභෝගී හෝටල්වලට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත් හෙළි වී තිබේ.

2020 ට පෙර පාස්කු දින ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ බුදු පිළිම කැඞීම ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කිරීමත්, සමග සහරාන් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළිකර ගැනීම නිසා බව ද පැවසේ. ත‍්‍රස්ත කණ්ඩායමක නායකයා ප‍්‍රථමයෙන් මියයෑම සිදුනොවන නමුත් සහරාන් විසින් නායකත්වය දී කණ්ඩායමේ අනෙක් සාමාජිකයන්ට ආදර්ශයක් පෙන්නුම් කරමින් මියයන බවට පවසා බෝම්බ පුපුරුවා ගෙන ඇතැයි ද හෙළිකර ගෙන ඇත.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවකුට චෝදනා දහයකට වඩා ගොනුකළ හැකි බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ පුවත්පතට පවසා ඇත. එක් අයකුට එපමණ ප‍්‍රමාණයක් චෝදනා ගොනු වන්නේ පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ 800 කට අධික පිරිසකට අදාළව හා බුදු පිළිම කැඩීම, වනාතවිල්ලුව අවි අත්අඩංගුවට ගැනීම, වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර අවි පැහැර ගැනීම, කබීර් හෂීම් ඇමැතිවරයාගේ රියැදුරු නස්මින්ට වෙඩි තැබීම, තහනම් සංවිධානයක සාමාජිකයන් වීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් බව ද හෙතෙම කීය. මෙම චෝදනා ගොනු කිරීම අත්අඩංගුවේ පසුවන බොහෝ පිරිසකට සිදුවනු ඇතැයි ඔහු කීය.

සහරාන් ඇතුළු කල්ලිය ත‍්‍රීමා ඇප් එක භාවිත කරමින් සම්බන්ධතා පැවැත්වීම නිසා ඔවුන් සිටින ස්ථාන පිළිබඳ තොරතුරු සොයා ගැනීම ප‍්‍රමාද වූ බවත්, සහරාන් අයි.එස්.අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පවත්වා නැති බවත් හෙළිකර ගෙන ඇත. සිරියාවේදී අයි.එස්.අයි.එස්. සාමාජිකයන් සමග මියගිය පිරිස අතර සිටි ශ‍්‍රී ලාංකික පුරවැසියකු වූ නිලාම් නමැති පුද්ගලයා සහරාන් ත‍්‍රස්ත කණ්ඩායම සමග සබඳතා පවත්වා නැති බවත් නිලාම් මියයෑමෙන් පසු සහරාන් නිලාම්ගේ පවුලේ අය සමග අන්තර් ජාලය හරහා සබඳතා ගොඩනගාගෙන සිට ඇති බවත් හෙළිකර ගෙන ඇත. සහරාන් දැඩි ආගම් මතවාදියකු බවත්, ඔහු අයි.එස්.අයි.එස්. ක‍්‍රියාකාරකම් අන්තර්ජාලය හරහා ලබාගෙන පුහුණු පංති පවත්වා ගෙන ගොස් ඇති බවත් හෙළි කරගෙන ඇත.

සහරාන් දැඩි ආගම්වාදියකු වුවත් ඔහු මෙහෙයවා ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන නවුෆර් නමැති මවුලවිවරයා බව ද හෙළිකර ගෙන ඇත. බුදු පිළිමවලට හානි කළ ජමාතේ ඉස්ලාම් සංවිධානයත් සහරාන් නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයත් ඒකාබද්ධ වී ඇත්තේ අලුත්ගම හා දිගන සිද්ධිවලින් පසුව බව ද හෙළි වී තිබේ.

මේ වන වන විට පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිටින අතර, මෙහි ආභාෂය ලැබූ තවත් අය ඇතැයි සැකකරන පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

+++++++++++++++++++++++++++++++++++

සහරාන්ගේ හිතවතුන්ගෙ වාර්තා අපි පිළිගන්නෙ නෑ

(22.10.2019 – mawbima.lk)

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයකු වන නිසා මෙම තේරීම් කාරක සභා වාර්තාව පිළිගැනීමට නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.

සහරාන් හෂීම් සමඟ රවුෆ් හකීම් අමාත්‍යවරයා සාකච්ඡා කරන වීඩියෝ පටයක් නිකුත් වී තිබෙන බවත්, සහරාන් සමඟ සාකච්ඡා කළ බව රවුෆ් හකීම් මහතා විසින්ම පිළිගෙන තිබෙන බවත්, පෙන්වා දෙන නිමල් ලන්සා මහතා, ප්‍රශ්න කරනු ලබන්නේ සහරාන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයකු මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සිටීම එහි විනිවිදභාවයට බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවයි.

සහරාන් සමඟ සබඳකම් පවත්වමින් අන්තවාදය පෝෂණය කිරීමට හා ආරක්ෂා කිරීමට ක්‍රියාකළ රවුෆ් හකීම් මහතා මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තුළ ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව තිබෙන බවද නිමල් ලන්සා මහතා පෙන්වා දෙයි.

මීට අමතරව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් දෙදෙනකුගේ පියා වන ව්‍යාපාරික ඊබ්‍රාහිම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයකු වීමද සදාචාර සම්පන්න නොවන බවත්, නිමල් ලන්සා මහතා සඳහන් කළේය.

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ඊට එරෙහිව තමා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන බව නිමල් ලන්සා මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන ගැටලුවක් – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(22.10.2019 – 20:13 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයෙකු ලෙස අමාත්‍ය රාවුෆ් හකීම් මහතා කටයුතු කිරීම හේතුවෙන් එහි සුජාතභාවය සම්බන්ධයෙන් පැහැදිලි ගැටලුවක් පැන නගින බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ කැලණිය මානෙල්වත්ත ශ්‍රි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

යුගයේ අවශ්‍යතාව සහ භික්ෂු සමාජයේ කාර්යභාරය පැහැදිලි කිරිම සඳහා සමස්ත ලංකා ශාසනබල මණ්ඩල සභාපති හිමිවරුන් සහ ලේඛකාධිකාරී හිමිවරුන් සහභාගී වූ මෙම විශේෂ සමුළුව පැවැත්වුණේ කැලණිය මානෙල්වත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීයි.

***************************************

සජිත් නිසා සුජීවට දේශපාලනයෙන් සමුගන්න වෙයි.. චෝදනා සනාථයි.. අභියෝගය පරාදයි..

(23.10.2019 – 06:26 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

“2019 ඔක්තෝම්බර් 17 වෙනි දා මාධ්‍ය හමුවක් පවත්වමින් සුජීව සේනසිංහ මැතිතුමා හරි අපූරු ප්‍රකාශයක් කළා. ඒ තමයි ‘සජිත් මැතිතුමා දූෂණයකට සම්බන්ධ බවට ඔප්පු කරන්න අවශ්‍ය නෑ. තොරතුරක් හමු වුණොත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා.’ යනුවෙන්.

2015 ජනවාරි 15 වන දා සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාරතාවේ අවසන් වෙළුමේ පළමු කාණ්ඩයේ පිටු 186 සිට 203 දක්වා වෙන් කර තිබෙන්නේ සජිත් මැතිතුමාගේ දූෂණ ගැන කතා කරන්නයි. සාක්ෂි සහිතව ඔප්පු කරන්නයි.

‘නීති විරෝධිව සේවකයින් 1117 ක් බඳවා ගැනීමෙන් ද වසර 60 ට වැඩි සේවකයින් තිස්දෙනෙකුට සේවා දිගු ලබා දීමෙන් ද මහජන මුදල් කෝටි 64 ක් අවභාවිතා කර ඇති බැවින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට දූෂණය කියන වරදට නඩු පවරන්න’ කියා මේ වාර්තාවේ සඳහන් වෙනවා. මේ වාර්තාවට අනුව වගකිවයුකු පුද්ගයන් විදිහට අංක එකට සදහන් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතායි. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අතිශයින්ම සමීපයි කියලා එක්සත් ජාතික පක්ෂයේම අය විසින්ම කියන ජනාධිපතිතුමා පත් කළ කොමිසන් සභා වාර්තාවේ තමයි කියන්නේ ‘සජිත් දූෂිතයෙක්; මහජන මුදල් කෝටි හැට හතරක් අව භාවිතා කරපු කෙනෙක්; ඔහුට විරුද්ධව දූෂණයට විරුද්ධව නඩු දැමිය යුතුයි වහාම’ කියලා,

ඔන්න සුජීව ඇමතිතුමනි, ඔබතුමා ඉල්ලුවේ තොරතුරක් පමණක් වුණාට අපි සාක්ෂි සහිතව වාර්තාවක්ම ඉදිරිපත් කලා. දැන් ඉතින් දේශපාලනයෙන් සමු ගන්න කාලය හරි කියලා එතුමාට සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

***************************************

සජිත්ගේ සුගතදාස සමුළුවට කාලක්වත් සෙනග නෑ.. දිලිප් වෙදආරච්චි ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලයි.. සජිත් මග හරී..

(23.10.2019 – 03:32 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ ධීවර සමුළුවකට ඒ මහතා පැමිණිම නවතා දමන ලදී.

5000 ක පිරිසක් පහසුවෙන් අසුන් ගැන්විය හැකි සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩංගණයේ පිරිස් සහභාගීත්වය ඉතා අවම වීම ඊට හේතුවයි.

තම අසාර්ථකත්වය සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බව එම පිරිස අමතමින් එහි සංවිධායකයා වූ රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

https://www.facebook.com/hirunews/videos/2379062499071882/

***************************************

මඩකලපු මාර්ගයේ දුම්රිය ධාවනය මහවට පමණයි

(23.10.2019 – 07:25 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මහව දක්වා සීමා කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට පීලිපැනීමට ලක්වූ දුම්රිය මැදිරි හයෙන් තුනක් පීලිගත කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම සහ අනෙකුත් මැදිරි තුන පීලිගත කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින අතර, හැකි ඉක්මණින් යළි එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

පෙරේදා (21) රාත්‍රියේ කොළඹ කොටුවේ සිට ධාවනය වූ මීනගයා දුම්රිය පීළි පැනීමට ලක්වූයේ අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදීයි.

මේ නිසා ඊයේ (22) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ද අවලංගු කෙරුණා.

***************************************

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස්

(22.10.2019 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.

***************************************

සිරීපාදේ ඝන්ඨාරේ…

(23.10.2019 – FB : Channa Jayasumana)

ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවේ නව ඝන්ඨාරයක් සවි කිරීමේදී එහි තිබූ ඉපැරණි අමිල ඝන්ඨාරය ගෝඨාභය රාජපක්ෂ මහතා ගලවාගෙන ගිය ගිය බවත්, එය පසුව ඇමරිකාවට විකුණා දැමු බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවේ දී ප්‍රකාශ විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු කළ මේ චෝදනාවට සමාජ මාධ්‍ය මගින් සහ පසුව විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලැබිණි.

මේ සම්බන්ධයෙන් මා මුහුණ දුන් අත්දැකීමක් නිසා සිරීපාදේ ඝන්ඨාරේට සිදු වූ දේ හරියටම දැන ගත හැකි විය.

පෙර යොදා ගත් කටයුත්තක් සඳහා සුප්‍රකට සිංහල ව්‍යාපාරිකයකු වන තුසිත විජේසේන මහතා (කැන්ඩි සිටි සෙන්ටර් සහ තවත් ව්‍යාපාර ගණනාවක හිමිකරු) හමුවීමට මම ඔහුගේ කාර්යාලයට ගියෙමි.

අප හමු වූ කටයුත්ත පිලිබඳ කතාබස් කරන අතරේ විජේසේන මහතා ප්‍රකාශ කළේ :

“බලන්න ඩොක්ටර් මුන්ට හෙණ ගහනවනේ, බලන්න දැන් අර සිරීපාදේ ඝන්ඨාරේ ගැන කියන කතාව” යනුවෙනි.

“ඒ ඇයි ?”

“ඔය අලුත් ඝන්ඨාරේ මමනේ පූජා කළේ. මම පේ වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් කරපු පින්කමක්. මට ඕකට මිලියන 100 කට වඩා ගියා.”

“ඇයි එච්චර වියදමක් ගියේ?”

“ඝන්ඨාරේ හැදුවේ මොරටුවේ. ඒක ශ්‍රී පාදස්ථානේ උඩ මළුවට අරන් ගියේ ගුවන් හමුදාවෙන්. හෙලිකොප්ටර් යොදා ගෙන කරපු ඒ වැඩේ විශ්වකර්ම වැඩක්. ඒ හෙලිකොප්ටර්වලට ගිය වියදමත් මම ගෙව්වේ. ඒ ඇරුනම උඩ මලුව සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළා.”

“එතකොට මේක ආණ්ඩුව මුල් වෙලා කරපු වැඩක් නොවේද?”

මොන පිස්සුද ඩොක්ටර්. මේක සම්පුර්ණයෙන් මම කරපු පිංකමක්.

“එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ සම්බන්ධෙ මොකක්ද?”

“මේ වැඩේට ගුවන් හමුදා සහාය ලබා ගන්න එතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස අනුමැතිය දුන්නා. උඩමළුව ප්‍රතිසංස්කරණය කරලා විවෘත කරන උත්සවේ ප්‍රධාන අමුත්තා විධියට සහභාගී වුනේ එතුමා. එදාට මහින්ද සර් එන්න හිටියට එන්න බැරි උනා.”

“එතකොට අර පැරණි ඝන්ඨාරේට උනේ මොකක්ද?”

“හඃ හඃ, උඩ මළුවේ තිබුනු කිසිම වටිනා දෙයක්, පෞරාණික දෙයක් අපි අයින් කළේ නැහැ. පැරණි ඝන්ඨාරේත් ප්‍රමාණයෙන් පොඩි එකක්. ඒක උඩ මලුවේම නැවත සවි කළා. ඕන කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන් ඒ ඝන්ඨාරේ තාම තියෙනවා.”

“ඒක රත්තරන් ද ?”

“රත්තරන්වලින් ඝන්ඨාර හදනවද? සද්දේ එනවද?”

“එහෙනම් කියන්නේ ඒක රත්තරන් ඝන්ඨාරයක්, ගලෝගෙන ගිහින් ඇමරිකාවට විකුණුවා කියලා.”

“ඒකනේ මම කිව්වේ මුන්ට හෙණ ගහන්න ඕන කියලා.”

සමනල කන්දට අධිගෘහිතව වැඩ වසන සමන් දෙවියෝ සෝවාන් ඵල ලැබූ උතුමෙකි. උන්වහන්සේ හෙණ ලබා නොදුන්නද මේ කතා පවසන පිරිසට සුදුසු දඬුවමක් ලබා දෙනු නිසැකය.

– චන්න ජයසුමන

***************************************

මන්ත්‍රී බන්දුල කැලණිය රජමහා විහාරාධිපති හමුවෙයි

(22.10.2019 – 20:07 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයින්ට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට කරුණු පැහැදිලි කළා.

***************************************

විපක්ෂ නායකවරයාගෙන් චෝදනාවක්

(22.10.2019 – 19:57 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති කැමති ආගමක් ඇදහීමේ අයිතිය මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙරට ජනතාවට අහිමි කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මිද්දෙනිය ප්‍රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින්.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාව යටතේ, ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් එක් රැලියක් මිද්දෙණිය සති පොළ භූමියේදි ඊයේ (21) පස්වරුවේ පැවැත්වුණා.

***************************************

ජනාධිපතිවරණය ජනමත විචාරණයක් විය යුතුයි – 113 ත් සූදානම් – නිදහස් පක්ෂ මහ ලේකම් කියයි

(22.10.2019 – 19:44 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය ජනමත විචාරණයක් ද විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.

ඒ, නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදියි. නව ආණ්ඩුවක් පිහිටුවීමේ ජනමත විචාරණයද ජනාධිපතිවරණය විය යුතු බවටයි ඔහු එහිදී යෝජනා කළේ.

එහිදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 දෙනාගේ අවශ්‍යතාව සපුරාගැනීමටද හැකියාව පවතින බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *