සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරනවා – ගෝඨා

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරනවා – ගෝඨා (විඩියෝ)

• හකීම්, හදිසියේ මල්වතු විහාරයට (විඩියෝ)

• ලසන්තගේ දියණිය ගෝඨාභයට එරෙහිව ඇමරිකාවේ ගොනුකළ නඩුව ඉවතට (විඩියෝ)

• ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධාන පිහිටුවන අයට නිල් කොඩියක් දාන්න උවමනාවක් තිබ්බේ නෑ – මහින්ද සමරසිංහ (විඩියෝ)

• මද්දකට හසුවී සිට වන අලියෙකුට ප්‍රතිකාර … (විඩියෝ)

• රටේ ආර්ථික වේගය හැමදාම බෝම්බ පත්තුවෙන ඇෆ්ගන්ස්ථානයටත් වඩා පහල ගිහින් – මහින්ද අමරවීර (විඩියෝ)

• මේ විදියට තව අවුරුදු 5 ක් ගියොත් දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට ශ්‍රී ලංකාව පත්වේවි – මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න

• රුපියල් කෝටි 5000 ක බිල් ගෙවන්න සල්ලි නෑ

• වැස්සට මතුවන භයානක දියඇලි

• කොළඹ – මඩකලපුව මීනගයා දුම්රියේ මැදිරි පීලි ගත කරයි

+++++++++++++++++++++++++++++++++++

සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරනවා – ගෝඨා

(23.10.2019 – 08:57 +0530 – sinhala.adaderana.lk)

තමා සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කඩුවෙල පැවති ජනරැළියකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් ඊයේ (22) පස්වරුවේ කඩුවෙල දි පැවැත් වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“අපේ ජයග‍්‍රහණයෙන් පසුව විනයගරුක කි‍්‍රයාශිලි ඵලදායි ආන්ඩුවක් අපි ඇති කරනවා. විනිවිද භාවයක් සහිත කි‍්‍රයාශිලී රජයක් ඔබ බලාපොරොත්තු වෙනවා වගේම අපි ඒ රජය ලබා දෙනවා.

අපේ ජයෙන් පසුව රාජ්‍ය ආයතන වලට පත්කරන්නේ වැඩ කළ හැකි අයයි. ඒ අයට අපි නිසි ඉලක්ක ලබාදි ඔවුන්ගේ ප‍්‍රමිතිය බලනවා.

රාජ්‍ය ආයතන ලාබ ලබන ආයතන බවට පත්කල යුතුයි. ඒ ආයතන විදේශීකයින්ට විකුණන්න බැහැ. එදා නාගරික සංවර්ධන අධිකාරිය, පහත්බිම් සංවර්ධන අධිකාරිය රටට විශෘල සේවයක් කරන ආයතන බවට අපි පත්කළා. මේ ආයතන භාණ්ඩාගාරයට බරක් නොවන ලාභ ලබන ආයතන බවට පත්කරනවා.

රට ඉදිරියට යන්නට නම් ආයෝජකයින්ට විශ්වාසයක් ඇති වෙන්න නම් රාජ්‍ය ආරක්ෂාව තහවුරු වෙන්න අවශ්‍යයි. අපි ත‍්‍රස්තවාදය අවසන් කළා වගේම නැවතත් මේ රටේ ත‍්‍රස්තවාදය හිස ඔසවන්නේ නැති වෙන්න ආරක්ෂක සැලැස්මක් යෙදුවා.

ති‍්‍රවිද හමුදා පොලීසිය යොදවලා අපි සුරක්ෂිත රටක් ඇති කළා. විදේශීය බලවේගවලට යට නොවුනු නව ලිබරල්වාදී ආදහස් දරන රාජ්‍ය නොවන ආයතනවලට ගැතිකම් කරන ආන්ඩුවකින් රාජ්‍ය ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ.

අපේකමට ගරු කරන අපේකමට ආදරය කරන අයට විතරයි එය කළ හැක්කේ. අපි අභියෝග ජය ගත්ත කොටසක්.”

***************************************

හකීම්, හදිසියේ මල්වතු විහාරයට

(22.10.2019 – 19:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් අද මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවා.

එහිදී ඔහු තමන්ට එල්ලවී ඇති චෝදනා පිළිබඳව කරුණු දැක්වූ බවයි එම ස්ථානයේ සිටි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ හෙට (23) තමන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි.

***************************************

ලසන්තගේ දියණිය ගෝඨාභයට එරෙහිව ඇමරිකාවේ ගොනුකළ නඩුව ඉවතට

(22.10.2019 – 19:35 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග ගොනු කළ චෝදනාව ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයා නිෂ්ප්‍රභ කළා.

පසුගිය අප්‍රේල් මස 4 වනදා මෙම නඩුව ගොනු කරනු ලැබුවේ ප්‍රධාන චෝදනා 03 ක් යටතේයි. නිතී විරෝධි ඝාතන, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ වධහිංසා පැමිණවීම යන කරුණු ඊට ඇතුළත්.

මෙම නඩුව මගින් අහිම්සා වික්‍රමතුංග චෝදනා කර තිබුණේ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම සහ උපදෙස් මත සිදු වුණු බවටයි.

එම නඩුවට අදාළව ගෝඨාභය රාජපක්ෂට සිතාසි ලබා දුන් බව පැවසෙන ඡායාරූපයක් ද පසුගිය කාලයේ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියට පත්වුණා.

කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් සිදු කිරිමට ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයට බලයක් නොමැති බැවින් එම නඩුව සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෝසමක් මගින් ඉල්ලීමක් කර තිබුණා.

එය සලකා බැලීමෙන් අනතුරුවයි ඊට අදාළ තීන්දුව කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය ලබාදී ඇත්තේ.

ගෝඨාභය රාජපක්ෂ, ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් සෘජු පියවරක් ගත් බවට චෝදනා ඉදිරිපත් කර නොමැති බවත්, චෝදනාවල පදනම වී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු ඉටුකළ භුමිකාව සම්බන්ධයෙන් බවත් එම අධිකරණ තීන්දුවේ සඳහන්.

එමෙන්ම ඔහු 2005 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස බවට එම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු වාර්තාවේ දැක්වෙනවා.

එම නෛතික කරුණු හේතුවෙන් ඉදිරිපත්වී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් ඉදිරියට රැගෙන යාමට අධිකරණ බලයක් නොමැති බැවින් නඩුව නිෂ්ප්‍රභ කරන බවට විනිසුරුවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එමෙන්ම, නඩුවෙන් අහිම්සා වික්‍රමතුංග ඉල්ලා ඇති තහනම් නියෝගය ලබාදීම විත්තිකරුගේ පාර්ශවයෙන් වරදක් ඇති බව නොපෙනෙන නිසා ප්‍රතික්ෂේප කරන බවත්, මෙම චෝදනා සම්බන්ධයෙන් ඇමරිකානු දිස්ත්‍රික් අධිකරණයකදී ගොනු වන ඉදිරි නඩු කටයුතු සදහා මෙම තීන්දුව බල පැවැත්වෙන බවත් එහි සදහන්.

***************************************

ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධාන පිහිටුවන අයට නිල් කොඩියක් දාන්න උවමනාවක් තිබ්බේ නෑ – මහින්ද සමරසිංහ

(23.10.2019 – 10:59 +0530 – sinhala.adaderana.lk)

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකිමේ සංවිධානය’ නමින් බිහිකරගත් සංවිධානයක් හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද කැඩිමේ උත්සහයක නිරතවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසයි.

මතුගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය යනුවෙන් සංවිධානයක් බිහි කර ගනිමින් ඒ තුළින් ජනතා ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතාට නොලැබෙන විදිහේ වැඩ සටහනක් දියත් කර ඇති බවයි.

කළුතර දිස්ත්‍රික්කයේ නායකත්වය දි ඇත්තේ පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල් කොඩියක් හෝ දැමීමට ඉදිරිපත් නොවුන කෙනෙක් යැයි පැවසු මන්ත්‍රීවරයා, එය ප්‍රශ්නයක් බවත් පැවසීය.

පසුගිය වසර 4 හමාර තුළ මෙම මතුගම, පාලින්දනුවර, අඟලවත්ත, දොඩංගොඩ හා වලල්ලාවිට යන ප්‍රදේශවල උත්සවයක් පවතින විට හෝ මැයි දින රැළියක් හෝ තිබෙන විට හෝ සංවත්සර උළෙල තියෙන විට ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින’ යනුවෙන් සංවිධානයක් ආරම්භ කර ගනිමින් ලොක්කන් වෙන්න යන අයට නිල් කොඩියක් දාන්න උවමනාවක් නොතිබුණ බවත් මහින්ද සමරසිංහ මහතා මෙහිදී කියා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

***************************************

මද්දකට හසුවී සිට වන අලියෙකුට ප්‍රතිකාර …

(23.10.2019 – 10:52 +0530 – sinhala.adaderana.lk)

පොලොන්නරුව, වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේදී මද්දකට හසුවී සිට වන අලියෙකු වැලිකන්ද වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

මාදුරඔය රක්ෂිතයේ සැරිසැරූ මෙම වන අලියා සතුන් දඩයම් කිරීම දඩයක්කරුවෙකු විසින් අටවා තිබූ මද්දකට හසුවී ඇති අතර මෙම අලියාගේ ඉදිරි වම් පාදය බරපතළ ලෙස තුවාලවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

වහාම ක්‍රියාත්මක වු ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරින් හා වැලිකන්ද වනජීවි නිලධාරීන් වන අලියා නිර්වින්දනය කර ප්‍රතිකාර කිරීමට කටයුතු කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 15-20 ත් අතර වු උස අඩි 7 ක් වු වන අලියෙකු බව වනජීවි නිලධාරීන් පවසයි.

***************************************

රටේ ආර්ථික වේගය හැමදාම බෝම්බ පත්තුවෙන ඇෆ්ගන්ස්ථානයටත් වඩා පහල ගිහින් – මහින්ද අමරවීර

(23.10.2019 – 12:25 +0530 – sinhala.adaderana.lk)

ආසියාවේ අඩුම ආර්ථික වර්ධනය පෙන්නුම් කරන රට බවට අද වන විට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ හම්බන්තොට පැවති වැඩසටහනකට එක්වෙමින්.

මෙහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ ලබන වසර වන විට ණය හා පොළිය ගෙවීමට පවා රටේ ආදායම නොමැති වන බවයි.

එවැනි තත්ත්වයක් තුළ තවත් දීමනා ලබා දිය නොහැකි බවත් ලබන වසර වන විට ණය ගෙවන්න ණය ගන්න සිදුවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එක් පුද්ගලයෙක් පන්ලක්ෂ අසු එක් දහස් හාරසිය තිස් නමයක ණය කාරයෙක් වී ඇතැයි පැවසු ඒ මහතා දරුවන් පවා ණයට යට වී ඇතැයි කියා සිටියේය.

එමෙන්ම රටේ ආර්ථික වර්ධන වේගය ඇෆ්ගනිස්ථානයට වඩා පහල ගොස් ඇතැයි පැවසු මහින්ද අමරවීර මහතා, ආසියාවේ අඩුම ආර්ථික වේගය ඇති රට බවට පත් ව ඇතැයි ද පැවසීය.

මෙයට හේතුව සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය විය හැකි බවත් පැවසු ඒ මහතා, එය කළමනාකරණය කළ යුතු බවත් ආර්ථික සංවර්ධනය වැඩි වෙන කටයුතුවලට නොව සුබසාධනය වෙනුවෙන් මුදල් වෙන් කළ බවත් කියා සිටියේය.

එවැනි තත්ත්වයක් තුළින් රටේ ආර්ථිකයක් ගොඩනඟා ගත නොහැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

මේ විදියට තව අවුරුදු 5 ක් ගියොත් දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට ශ්‍රී ලංකාව පත්වේවි – මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න

(23.10.2019 – biz.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මත පැටවී තිබෙන අධික බදු බර හේතුවෙන් 2019 දෙවන කාර්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට ආයෝජන සියයට 8 කින් හා පරිභෝජනය සියයට 25 කින් පහත වැටී ඇතැයි මෙරට ප්‍රමුඛතම ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා පවසයි. ඊයේ (22) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී මහාචාර්යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය කරුණාරත්න පැවසුවේ, පසුගිය වසර 4 පුරාවට අඛණ්ඩව මෙරට රාජ්‍ය වියදම වැඩි වී ඇති බවත්, මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගය ලබන රට බවට පරිවර්තනය වී ඇති බවත්ය. මෙම ක්‍රමයට තව අවුරුදු 5ක් ගියහොත් දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට ශ්‍රී ලංකාව පත්විය හැකි බව මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේ දී මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ :

“අපි ඇතුළත් වෙමින් සිටින්නේ 2019 හතරවන කාර්තුවට. 2018 දෙවන කාර්තුව සහ 2019 දෙවන කාර්තුවේ සංඛ්‍යාලේඛන සන්සන්දනය කරලා පසුගිය මාසයේ අවසානයේ දී නිකුත් වුණා. මේ සංඛ්‍යාලේඛනයේ පැහැදිලිව තියෙනවා මේ රටේ ආයෝජන 8% කින් පහත වැටිලා තියෙනවා දෙවැනි කාර්තුවේ දී පමණක්. පාරිභෝජනය පහත වැටිලා තියෙනවා 25% කින්. පාරිභෝජනය පහත වැටෙන කොට, ආයෝජනය පහත වැටෙන කොට ආර්ථිකයක් ගෙනියන්නේ කොහොමද? මේකට මූලික හේතුව හැටියට අපි හඳුනාගන්නේ ආර්ථිකයට අධික බදු බරක් පටවලා, බදු මත බදු පනවලා තමයි පසුගිය අවුරුදු 4½ තුළ මේ රටේ ආර්ථිකය මෙහෙයවූයේ.

ඒකට කාරණා දෙකක් තියෙනවා. එකක් අපි දකිනවා සුදුසුකම් සහ පළපුරුද්ද සහති පුද්ගලයන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට මැදිහත් විය යුතුයි කියලා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය මීට වඩා ආර්ථික විද්‍යාව පිළිබඳ උගත් සහ පළපුරුදු තියෙන අය ඒ සඳහා මැදිහත් විය යුතුයි.

දෙවැනි කරුණ තමයි බදු පිළිබඳව කතා කරන විට මේ රජය බලයට පත්වීමට පෙර හඳුන්වා දීලා තිබුණා බදු පරිපාලන තොරතුරු සංවිධානය කරන ක්‍රමයක්. අද තොරතුරු තාක්ෂණය අනුව තමයි බදු අය කිරීම පිළිබඳව බොහෝ රටවල් තීරණ ගන්නේ. සාමාන්‍යයෙන් රටක් දියුණු වෙන කොට අපි සලකලා බැලුවොත්, බදු ක්‍රමයේ හැසිරීම, ඉතා නොදියුණු අවස්ථාවේ දී ඕනෑම රටක බදු වැඩි වෙන්නේ ඉඩම් පදනම් කර ගෙන. ඊට පසු මධ්‍යම අවස්ථාවට එන විට මිනිසුන්ගේ ආදායම පදනම් කර ගෙන බදු අය කරනවා. ඉහළ සංවර්ධිත මට්ටමකට ගියාම තමයි වියදම මත පනවන බදුවලින් රටක් ගෙනියන්නේ.

ලංකාව අපේ පරිණාමනය අනුව, අපිට ආදායම මත පනවන බදු ක්‍රමයකට ලංකාවේ යන්න බැරි වුණා. ඒකට මූලික හේතුව හැටියට මා දකින්නේ බදු තොරතුරු ලංකාවේ ව්‍යූහගත කිරීම, සකස් කිරීම නිසියාකාරව ඉතිහාසයේ සිටම සිදුනොවුණු නිසා. අපේ රටේ තියෙන මූලික වැරැද්දක් තමයි 1948 සිට මේ දක්වා නිවැරදි දුප්පතා හඳුනාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිවැරදි දුප්පතා හඳුනාගන්න බැරි වීම නිසා රටට විශාල වශයෙන් සම්පත් අහිමිව යනවා. ඒ නිසා මේ සඳහා පළපුරුද්ද සහ නිසි ඇගයීමක් තියෙන ආර්ථික විද්‍යාඥයන් එකතු වෙලා මේ ප්‍රතිපත්ති සකස් කළ යුතුව පවතිනවා.

අනෙක් කාරණය තමයි, වියදම මත බදු පැනවූ විට ආර්ථිකයක් හැකිළීම. ආර්ථික විද්‍යාවට අනුව බදු යනු ආර්ථිකයට සිදුවන කාන්දු වීමක්. මේ අවුරුද්දේ පාරිභෝජනය ගිය අවුරුද්දට වඩා 25% කින් පහත වැටිලා තියෙනවා. ලෝක බැංකුව නොබෝදා නිකුත් කළ වාර්තාවක පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා, ඉන්දියාවත් සමඟ සන්සන්දනය කරලා, අපි කොහෙද යන්නේ.

මම පසුගිය අවුරුදු 4 තුළම ඉදිරිපත් වූ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව බොහෝ විවේචනාත්මකව කතා කළේ මොකද, ඒක පටන් ගත්තේ දින 100 වැඩපිළිවෙල කියලා අසාර්ථකම ආර්ථික ප්‍රතිපත්ති ක්‍රමයකින්. රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කළ යුතුව තිබුණා, නමුත් මොනම හේතුවක් නිසාවත්, අපි රජයේ සේවයට වැටුප් වැඩි කරන කොට ඔවුන් පුරුදු කරලා ඵලදායීතාවය වැඩිකරන්න, ක්‍රමවේදයක් යෙදුවේ නැහැ. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ඵලදායීතාවය වැඩිකරන්න පියවර ගැනීමේ අවශ්‍යතාවයක් මේ රටේ තියෙනවා.

ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කරලා මේ රාජ්‍ය ආයතනවලින් ආර්ථිකයට කරන එකතුව වැඩිකිරීමේ හැකියාවත් තිබෙනවා. කොහොම ගියත් අපි මේ රටේ වියදම කළමනාකරණය කරන ක්‍රමවේදයකට අනුව යන්න ඕනේ. විශාල වශයෙන්ම මේ වර්ෂය මැතිවරණ වර්ෂයක් කියලා, මැතිවරණ ඉලක්ක කරගනිමින්, විවිධ ව්‍යාපෘති හරහා රාජ්‍ය වියදම විශාල වශයෙන් වැඩිකරලා තිබෙන බව අපි සැම දෙනාම දන්නවා. පසුගිය අවුරුදු 4 පුරාම අඛණ්ඩව වැඩිවුණු දෙයක් තමයි රාජ්‍ය වියදම. රාජ්‍ය වියදම මේ විදියට වැඩිවන කොට මේ වියදම තියාගෙන ඇයි අපිට, වැට් බදු අඩු කරන්න බැරි කියලා අහනවා.

එකක් තමයි බදු කළමනාකරණයක් කරන්න ඕනේ. මීට කලින් 11% ක වැට් බද්දක් තියාගෙන අධිවේගී මාර්ග හැදුවා, යුද්ධ කෙරුවා. දැන් ඔය මොනවාත් නැතුව 15% ක බද්දක් ගහනවා. ඒ වගේම අපි දන්නවා ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල, එක බැරල් එකක් ඩොලර් 148 ට ගිය වෙලාවේ තමයි අපි පෙට්‍රල් සහ ඩීසල් ඒ මිලට දෙන්න පෙළඹුණේ. වර්තමානයේ දී ලෝක වෙළෙඳපොළේ මෑත කාලයේ දීත් ඉතා අඩු මට්ටමකට පෙට්‍රල් මිල වැටිලා තියෙන්නේ.

මේ කරුණු සලකලා බලන කොට අපිට තේරෙනවා පසුගිය අවුරුදු 4 තුළම එකින් එකට, එකින් එකට පැච් දමමින් තමයි මේ ආර්ථිකය ගෙනිච්චේ. අන්ඩ දම දමා තමයි ආර්ථිකය ගෙනිච්චේ. එක එක වෙලාවට ඉදිරිපත් වූ එකම ප්‍රතිපත්තියක්වත් ආර්ථිකය පිළිබඳ අඛණ්ඩ වර්ධනයකට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති නෙමෙයි, ඒවගේම අසාර්ථක ප්‍රතිපත්ති බවට පත්වුණා. අවසානයේ දී අපිට මොකද වුණේ, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගය ලබන එට බවට පරිවර්තනය වෙලා තිබෙනවා. මේ විදියට තව අවුරුදු 5 ක් ගියොත් දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට පත්වන්නේ ශ්‍රී ලංකාව.

භාණ්ඩ හා සේවා මත පනවන බදු නිසා සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් පහත වැටුණා. සහරාන්ගේ හේතුවන මත පමණක් නොවෙයි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මේ වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 20% කට වඩා අඩුවීමක් සිදුවෙලා තියෙනවා. ඒකට හේතුවක් තමයි රටේ තියෙන භාණ්ඩ හා සේවවල මිල ගණන් වැඩිනම්, ඒ රටට සංචාරකයෝ එන්නේ නැහැ. ඒ නිසා වැට් බද්ද අඩු කිරීම කියන එක ඉතාම වැදගත් කාරණයක්. ඒක කරන්න පුළුවන් ආර්ථික විද්‍යාඥයෝ සංවිධානය වෙලා නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියකට රට මෙහෙයවීමෙන්.”

+++++++++++++++++++++++++++++++++++

රුපියල් කෝටි 5000 ක බිල් ගෙවන්න සල්ලි නෑ

(23.10.2019 – 09:36 +0530 – lankadeepa.lk)

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000 ක පමණ හිඟ බිල්පත් මුදල් අමාත්‍යාංශයේ හිරවී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩිම මුදලක් ඉල්ලා හිඟ බිල්පත් ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය, මහාමාර්ග සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන යන අමාත්‍යාංශවලින් බව ද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි 2,000 ක පමණ මුදලක් ද මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 1350 ක පමණ මුදලක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 1100 ක පමණ මුලක් ද මුදල් අමාත්‍යාංශයෙන් ගෙවිය යුතුව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අමාත්‍යාංශවලින් ඉකුත් කාලයේ දී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සඳහා මුදල් ගෙවීම වෙනුවෙන් මෙම බිල්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව රජයේ අපේක්ෂිත ආදායම් නොලැබීමත්, ණය සීමාවන් ඉක්මවා යාමත් හේතුවෙන් රාජ්‍ය ප්‍රාග්ධන වියදම් සියයට 15 කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ඉකුත් මැයි මාසයේ දී චක්‍රලේඛයක් මගින් උපදෙස් දී තිබිණි.

මීට අමතරව පසුගිය මාසයේදීත් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රාග්ධන වියදම් තවත් සියයට 10 කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛයක් මගින් උපදෙස් දුන්නේය ෴

***************************************

වැස්සට මතුවන භයානක දියඇලි

(22.10.2019 – 11:35 +0530 – lankadeepa.lk)

මේ දිනවල ඇදහැලෙන වැසි සමඟ හපුතලේ – බෙරගල මාර්ගයට හිටිහැටියේ කඩා හැලෙන සැඩ දිය දහරාවන් දියඇලි සේ දිස්වේ.

මෙලෙස කඩා හැලෙන දිය දහරා දැඩි සේ අනාරක්ෂිත වන අතර අධික මීදුම් තත්වය හේතුවෙන් ගල් කඩා වැටීමේ අවදානමක් ද පවතී.

අවදානම් තත්වය සැළකිල්ලට ගෙන විමසිලිමත්ව රිය පදවන ලෙසට හපුතලේ පොලිසිය රියදුරන්ට අවවාදය කරයි.

***************************************

කොළඹ – මඩකලපුව මීනගයා දුම්රියේ මැදිරි පීලි ගත කරයි

(22.10.2019 – 23:53 +0530 – lankadeepa.lk)

කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමෙන් අනතුරට පත් මීනගයා දුම්රියේ මැදිරි රැසක් මේ වනවිට පීලි ගත කර තිබෙන අතර එම කටයුතු අද (22) රාත්‍රියේදීත් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ ද පැවැසීය :

“මහව හා ත‍්‍රිකුණාමලය ධාවනාගාර ෆෝමන්වරුන් හා දුම්රිය මාර්ග හා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන් පිරිසක් එක්ව අනතුරටපත් මැදිරි හා දුම්රිය එන්ජිම පීලිගත කිරීම් ආරම්භ කර තිබෙනවා.

දැනට මැදිරි 6 ක් මෙම ස්ථානයෙන් ඉවත් කරගැනීමට හැකිව තිබෙනවා. තවත් මැදිරි 4 ක් හා දුම්රිය එන්ජිම පීලි ගත කිරීමට ඉතිරිව තිබෙනවා. එම මැදිරි හා එන්ජිම පීලිගත කිරීම සඳහා කොළඹ ධාවනාගාරයේ සිට විශේෂ දොඹකරයක් මෙම ස්ථානයට ගෙන්වා ගැනීමට සිදුව තිබෙනවා. කාලගුණික තත්ත්වයේ බලපෑමක් ඇති නොවුණහොත් හැකි ඉක්මනින් මෙම කටයුතු නිමාකරමින් දුම්රිය ධාවනය නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”

පීලී පැනීමෙන් අනතුරටපත් මිනගයා දුම්රියේ ඉතිරිව තිබූ මැදිරි 4 න් තවත් මැදිරියක් අද (22) රාත‍්‍රිය වන විට එම ස්ථානයෙන් ඉවත් කර තිබෙන අතර මේ වනවිට ඉතිරි මැදිරි තුන හා දුම්රිය එන්ජිම දුම්රිය කාර්ය මණ්ඩලය විසින් පීලිගත කිරීම ආරම්භ කර ඇත.

අනතුරට පත් දුම්රිය එන්ජිම නැවති ඇත්තේ කලාඔය පාලම මතදීය. එන්ජිම පීලිපැනීම හේතුවෙන් අඩි 40 ක් පමණ උසින් වූ දුම්රිය පාලම මත වූ දුම්රිය මාර්ගයටද හානි සිදුව තිබේ.

මේ නිසා අනතුරට පත්ව පාලම මත නැවති ඇති දුම්රිය එන්ජිම කලාඔයට නොවැටී ඉවත් කර ගැනීමට දැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනා ගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පැවැසීය.

කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් කොළඹ මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ. දුම්රිය පීලිපැනීම හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ මීටර් 200 ක පමණ කොටසක් විනාශවී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ 200 කට ආසන්න දුම්රිය මගීන් පිරිසක් එහි ගමන් කර ඇති අතර මෙම දුම්රිය අනතුරින් කිසිදු අයෙකුට තුවාල හෝ වෙනත් හානියක් සිදුව නොතිබීමද විශේෂත්වයකි.

දුම්රිය රියදුරා ඇතුලු කාර්ය මණ්ඩලයේ සැලකිල්ල නිසා දුම්රිය කලා ඔයට නොවැටී බේරාගෙන ඇති අතර, සිදුවීමට තිබූ විශාල හානියක් වැළකී ඇති බවද පොල්වත්තගේ මහතා පැවැසීය.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *