නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නොවැම්බර් මස 03 වැනිදා

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නොවැම්බර් මස 03 වැනිදා

• බෝම්බ අත්හදා බැලීමේදී තුවාල වූ, රිල්වාන් (සහරාන්ගේ මල්ලි) ගේ සුව දුක් බලන්න හකීම් ගිහින්… (විඩියෝ)

• ඇමති හකීම්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට පාර්ශව රැසක් කියයි (විඩියෝ)

• තවත් ආබාධිත සෙබලෙකුට ප්‍රහාරයක් (විඩියෝ)

• 16 ට පෙර විසඳුමක් දෙන්න – ETI තැන්පත්කරුවන් ඉල්ලයි (විඩියෝ)

• යළි රට සංවර්ධනය කළ හැක්කේ තම රජයකට පමණයි – ගෝඨාභය (විඩියෝ)

• සජිත්ගේ රැළියකදී චම්පිකට විරෝධය පෑ තරුණයෙකුට ප්‍රහාරයක් (විඩියෝ)

• ගුරු උපදේශකවරුන් කැඳවා දේශපාලන රැස්වීමක් පැවැත්වීම ගැන පරීක්ෂණයක්

• ගෑස් හිඟයට දින 2 කින් විසඳුම්

• පාස්කු ප්‍රහාරය ගැන – සාක්ෂි ඇත්නම් අධිචෝදනා ගොනු කරන්නැයි තේරීම් කාරක සභා අවසන් වාර්තාවෙන් නිර්දේශ

• වසන්ත සේනානායකගෙන් සජිත්ට ප්‍රශ්න පත්‍රයක් (විඩියෝ)

• කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරයට ආසන්නව සිදුවූ බස් රථ අනතුරකින් අයෙක් මරුට – 42 ක් රෝහලට (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නොවැම්බර් මස 03 වැනිදා

(22.10.2019 – 18:58 +0530 – lankadeepa.lk)

මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදාහැරීම නොවැම්බර් මස 3 වැනිදා සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ගෘහ ඡන්ද කාඩ්පත් සංඛ්‍යාව ලක්ෂ 60 ක් පමණ විය හැකි බවද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.

එබැවින්, එදින අනිවාර්යයෙන්ම නිවෙස්වල රැදී සිටින ලෙසත් සුනඛයින් සිටී නම්, ඔවුන් බැඳ තබන ලෙසත් ඒ මහතා ඉල්ලීමක් කරයි.

මැතිවරණ ඡන්ද කාඩ් බෙදීමේදී තැපැල්කරුවන් සුනඛ සපාකෑම්වලට ගොදුරුවීම විශාල වශයෙන් සිදුවන බවද හෙතෙම පෙන්වා දෙයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාරදීම මැතිවරණ කොමිසම විසින් මෙම මස 25 වැනිදා සිදුකිරිමට නියමිතය ෴

***************************************

බෝම්බ අත්හදා බැලීමේදී තුවාල වූ, රිල්වාන් (සහරාන්ගේ මල්ලි) ගේ සුව දුක් බලන්න හකීම් ගිහින්…

(22.10.2019 – 13:19 +0530 – lankaleadnews.com)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම්ගේ සොයුරාවන රිල්වාන් හෂීම්ගේ සුවදුක් බැලීම සදහා රවූෆ් හකීම් ඇමතිවරයා ගෝස් සිටින ඡායාරූපයක් අනාවරණය වී තිබේ.

මෙම රිල්වාන් ත්‍රස්තවාදියා පාස්කු 21 ප්‍රහාරයෙන් දින තුනකට පසු ආරක්ෂක අංශ සමග කල්මුනේ සයින්දමරුදු හිදී කළ වැටලීමක් අතරතුර බොම්බ පුපුරුවගෙන මිය ගියේ ය.

එම පුද්ගලයා එක් ඇසක් හා අතක් අහිමි අයෙකු වන අතර, මෙසේ ඔහු තුවාල ලබා ඇත්තේ කාත්තන්කුඩියේ පවත්වාගෙන ගිය රහසිගත කදවුරකදී බෝම්බ අත්හදා බැලීමකදී බවට බුද්ධී අංශ අනාවරණය කරගෙන තිබිණි.

රවුෆ් හකීම් ඇමතිවරයා මෙසේ ඔහුගේ සුවදුක් බැලීමට ගොස් ඇත්තේ එම බොම්බ අත්හදා බැලීමේදී සිදුවූ අනතුරෙන් තුවාල වී සිටියදී බවද සැලකේ. බෝම්බ අනතුරෙන් අසාධ්‍ය තත්වයේ සිටි රිල්වාන් හොර රහසේ කාත්තන්කුඩියේ සිට කොළඹට ගෙන්වා කිසිඳු ලේඛනයක සටහනක් පවා නොතබා සූක්ෂම ආකාරයකට රජයේ රෝහලකින් ප්‍රතිකාර කරවීම සම්බන්ධව ක්‍රියාත්මක වූ ප්‍රබල දේශපාලන හස්තය කාගේදැයි මේ අනුව අනාවරණය වේ.

ඇමතිවරයා සමග රිල්වාන්ගේ සුවදුක් බැලීම සදහා මුල්ලිම් කොංග්‍රස් පළාත්සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරුක් ද එක්ව සිටින අයුරු ඡායාරූපයේ දැක්වේ. සහරාන් හෂීම් සමග අතිෂය සමීප ඇසුරක් පැවැත්වූ ෂිබ්ලි ෆාරුක් මන්ත්‍රීවරයා, බෝම්බ පුපුරුවා ගැනීමෙන් තුවාල ලබා සිටි සහරාන්ගේ බිරිද රැගෙන යෑම සදහා බලහත්කාරයෙන් අම්පාර රෝහලට ඇතුළු සිදුවීමක් ද වාර්තා විණි.

රවූෆ් හකීම් ඇමතිවරයා සහරාන් හෂීම් සමග සුහද සාකච්ඡාවක නිරත වී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් දින කිහිපයකට පෙරද අනාවරණය වූ අතර, ඇමතිවරයා පුන පුනා කියා සිටින්නේ තමන් ත්‍රස්තවාදීන් සමග කිසිදු සම්බන්ධයක් නැති බවත් මෙය දේශපාලන මඩ ගැසීමක් බවත්ය.

රිල්වාන් හෂීම්ගේ ඇසක් සහ අත අනතුරට ලක්ව ඇත්තේ බෝම්බ අත්හදාබැලීමකදී බවට බුද්ධි අංශ පවා අනාවරණය කරගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුකළ පරීක්ෂණවලදී වන අතර, රවූෆ් හකීම් ඇමතිවරයා සහ ඔහුගේ සමීප සගයන්, පාස්කු ප්‍රහාරයට පෙරද, සහරාන් කල්ලියේ ත්‍රස්ත ක්‍රියාකාරකම් හොදින්ම දැන සිටි බවට මෙම ඡායාරූප අනුව අනාවරණය වේ.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ඇමති හකීම්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට පාර්ශව රැසක් කියයි

(23.10.2019 – 20:13 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සෘජුවම වගකිව යුතු හෙයින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරනවා.

***************************************

තවත් ආබාධිත සෙබලෙකුට ප්‍රහාරයක්

(23.10.2019 – 20:25 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කළ පහරදීමකින් පො‍ළොන්නරුව – ගිරිතලේ ප්‍රදේශයේ ආබාධිත රණවිරුවෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ආබාධිත හා විශ්‍රාමික රණවිරු සංවිධානය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ රණවිරුවන්ට දිගින් දිගටම සිදුකරන මෙම පහරදීම් රාජ්‍ය දැනුවත් වීමෙන් සිදුකරන ඒවා බවයි.

පොළොන්නරුව ගිරිතලේ නිල් මානෙල් මල්විල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුකර ඇත්තේ ඊයේ පස්වරු 6.30 ට පමණයි.

යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මාර්ගය හරස්කර මෙම ආබාධිත රණවිරුවාට පහරදී පලාගොස් තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ දෙදරු පියෙක් වන එම්. ජී. ඒ. ජයවර්ධන මහතා 42 හැවිරිදි වියේ පසුවන ආබාධිත රණවිරුවෙක්.

පසුව ප්‍රදේශවාසීන් තුවාලකරු දියබෙදුම රෝහලට ඇතුලත් කර ඇති අතර, පසුව පොළොන්නරුව මහ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

මෙම පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා, පොලිස් දිවිපිදු ආබාධිත හා විශ්‍රාමික රණවිරුවෝ සංවිධානය අද පෙරවරුවේ මාතරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

මේ අතර, හිටපු හමුදා සෙබළුන්ගේ බිරින්දෑවරුන්ගේ සහ රණවිරු සෙබළියන්ගේ සංවිධානය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

***************************************

16 ට පෙර විසඳුමක් දෙන්න – ETI තැන්පත්කරුවන් ඉල්ලයි

(23.10.2019 – 22:06 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් එළැඹෙන 16 වැනිදාට පෙර විසඳුමක් ලබා නොදුනහොත් ජනාධිපති අපේකෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දෙන බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා.

එහි සාමාජිකයින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

යළි රට සංවර්ධනය කළ හැක්කේ තම රජයකට පමණයි – ගෝඨාභය

(23.10.2019 – 19:26 +0530 – hirunews.lk/sinhala)

රට තුළ යළි ආරක්ෂාව තහවුරු කර සංවර්ධන කටයුතු සිදුකළ හැක්කේ තම රජයක් යටතේ පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ගම්පොල ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එම ජන හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුලු පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

+++++++++++++++++++++

***************************************

සජිත්ගේ රැළියකදී චම්පිකට විරෝධය පෑ තරුණයෙකුට ප්‍රහාරයක්

(23.10.2019 – 18:50 +0530 – hirunews.lk/sinhala)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගිවූ ජන රැළියකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක, එම රැළිය අමතන අවස්ථාවේ එහි සිටි තරුණයෙකු නැගී සිට යම් ප්‍රකාශයක් කිරීමත් සමඟ පාක්ෂිකයින් ඔහුට පහරදී තිබෙනවා.

මෙය සිදුව ඇත්තේ ඊයේ (22) මාළඹේ නගරයේදි පැවති ජන හමුවකදියි. එහිදී තරුණයෙකු නැගී සිට යම් කිසි ප්‍රකාශයක් සිදුකිරීමත් සමඟ එහි සිටි පාක්ෂිකයින් ඔහුට පහරදී ඇති අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ද හටගත් බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ගුරු උපදේශකවරුන් කැඳවා දේශපාලන රැස්වීමක් පැවැත්වීම ගැන පරීක්ෂණයක්

(23.10.2019 – 19:13 +0530 – sinhala.adaderana.lk)

ගුරු උපදේශකවරුන් අද (23) කොළඹ විහාර මහා දේවී උද්‍යායනයට කැඳවා දේශපාලන රැස්වීමක් සිදුකිරීම පිළිබදව පරීක්ෂණයක් පවත්වන බව මැතිවරණ කොමිසම පවසයි.

කෙසේ වෙතත් රැස්වීම ආරම්භයට පෙර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම රැස්වීමෙන් පිටව ගියේ තම අමාත්‍යංශයේ අනුදැනුමකින් තොරව මෙලෙස ගුරු උපදේශකයින් කැඳවා ඇති බව පවසමින්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ පාසල් වල ගුරු උපදේශකවරුන්ගේ රැස්වීමක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී අද පෙරවරුවේ ආරම්භ වීමට නියමිතව තිබුණි.

රජයේ සේවකයින් සහභාගී කරගෙන දේශපාලන රැස්වීමක් පැවැත්වීම මැතිවරණ නීතියට පටහැනි බව පවසමින් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබූ අතර ඒ පිළිබද සොයා බැලීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද එම ස්ථානයට පැමිණියේය.

රැස්වීම ආරම්භය පෙර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපාන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ස්ථානයට පැමිණියද ඔහු නැවතත් ඉන් පිටව ගියේය.

එම ස්ථානයන් පිටව ගිය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද දෙරණට සදහන් කළේ මෙම රැස්වීම අධ්‍යපාන අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව සංවිධානය කළ එකක් බවයි.

මේ අතර අද දෙරණ කළ විමසීමකදී මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ මෙම රැස්වීමට රාජ්‍ය සේවකයින් නිවාඩු වාර්තා නොකර පැමිණ ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

ඉන් ටික වේලාවකට පසුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ විය ෴

***************************************

ගෑස් හිඟයට දින 2 කින් විසඳුම්

(24.10.2019 – 06:46 +0530 – sinhala.adaderana.lk)

මේ දිනවල වෙළඳපලේ පවතින ගෑස් හිඟය ඉදිරි දින දෙක තුල විසදීමට හැකි වන බව ගෑස් සමාගම් පවසයි.

දිවයිනේ ප්‍රදේශ රැසක මේ වන විට ගෘහස්ත ගෑස් හිගයක් පවතින අතර ජාත්‍යතන්තරයේ ගෑස් නිෂ්පාදනය පහලයාම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි ගෑස් සමාගම් පෙන්වා දෙන්නේ.

පසුගියදා සෞදි අරාබියාවේ ගෑස් සහ ඉන්ධන නිෂ්පාදන මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ජාත්‍යන්තර වෙළදපොලේ ගැස් නිෂ්පාදනය සියයට 35 කින් පමණ අඩුවී ඇත.

එම නිසා මෙරටට ගෑස් ආනයනයේදී යම් ප්‍රමාදයක් සිදුව ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරිම සදහා මේ වන විටත් නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් ඉදිරි දින කෙත තුළ වෙළදපොලේ පවතින ගෘහස්ත ගෑස් හිගයට විසදුම් ලබාදීමට හැකියාව පවතින බවයි ගැස් සමාගම් පෙන්වා දෙන්නේ.

මේ අතර වෙළදපොල තුළ ගෑස් හිගයක් නිර්මාණය කිරිමේ අරමුණින් ගෑස් සගවාගෙන සිටින සහ වැඩි මිලට අලෙවි කරන වෙළදුන් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලිම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ගෑස් හිගයත් සමග මෙම වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි ෴

***************************************

පාස්කු ප්‍රහාරය ගැන – සාක්ෂි ඇත්නම් අධිචෝදනා ගොනු කරන්නැයි තේරීම් කාරක සභා අවසන් වාර්තාවෙන් නිර්දේශ

(23.10.2019 – 19:31 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී ඇතැම් පුද්ගලයින් ප්‍රහාරය වැළැක්වීම සඳහා වන, සිය වගකීම් ඉටු කිරීමට අසමත් වී ඇති බව පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි රැස්කර ගැනීමට හැකිවන අවස්ථාවලදී අධිචෝදනා ගොනුකිරීම සහ නඩු පැවරීම සිදුකළ යුතු බවටයි විශේෂ කාරක සභා වාර්තාව මගින් නිර්දේශ කර ඇත්තේ.

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නයි.

කෙසේ වෙතත් තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරිමට ප්‍රථම ඊට විපක්ෂයෙන් විරෝධතා එල්ල වුණා.

ඔවුන් කියා සිටියේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් සමග අමාත්‍ය රවුෆ් හකීම් සාකච්ජා පවත්වා ඇති බවට චෝදනා එල්ල වී ඇති බැවින් ඔහු සමාජිකත්වය දරන විශේෂ කාරක සභාවේ වාර්තාව පිළිගත නොහැකි බවයි.

පාස්කු ඉරු දින පල්ලි 03 ක සහ හෝටල් 03 ක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 277 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද ඇතුළුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 400 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විශේෂ කාරක සභාව පවසනවා.

මරණයට පත්වූවන් අතර අවම වශයෙන් විදේශිකයින් 40 ක් සහ ළමයින් 45 ක් සිටි බව වාර්තා වූ බවයි කාරක සභා වාර්තාවේ දැක්වෙන්නේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව 24 වතාවක් රැස්වී පුද්ගලයින් 55 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා.

පිටු 242 කින් සමන්විත විශේෂ කාරක සභා වාර්තාවෙන් දක්වා ඇත්තේ බුද්ධි අංශ යාන්ත්‍රණය තුළ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාගේ අති විශේෂ භූමිකාව සලකා බැලීමේදී ඔහුට බරපතල වගකීමක් පැවරී ඇති බව අවධානයට ලක්වූ බවයි.

අප්‍රේල් මස 04 වැනිදා ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු පළමුව ලැබුණු පුද්ගලයා වූ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ඇතිවිය හැකි තර්ජන අවම කිරීමට සහ වැළැක්වීමටත් සියළු පියවර ගත යුතුව තිබූ බව වාර්තාව මගින් සඳහන් කර ඇති අතර, එම සියළු අංශවලින් ඔහු අසාර්ථක වී ඇති බව එහි දක්වා තිබෙනවා.

එසේම ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් පිලිවෙලකට පැවැත්වීම ආරක්ෂක ලේකම්වරයා විසින් වගබලා ගත යුතු බව සඳහන් කරන, විශේෂ කාරක සභාව රැස්වීම් කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මත රැඳී නොසිටිය යුතු බව පවසනවා.

මේ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරුන් වන කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු යන දෙපලම වරදක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ප්‍රකාශ කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ලද බුද්ධි තොරතුරු දේශපාලන නායකත්වය සහ ආරක්ෂක හමුදා දැනුවත් කිරීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අවශ්‍ය පියවර නොගැනීම බරපතල අඩුපාඩුවක් බවයි එහි දැක්වෙන්නේ.

පොලිස්පතිවරයා විසින් සිදුකර ඇති අඩුපාඩු කිහිපයක්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂ කාරක සභාවේ වාර්තාව මගින් සඳහන් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව කාත්තන්කුඩි ප්‍රදේශයේ සිදුවූ පිපිරීම සහ ලැබුණු බුද්ධි තොරතුරු තිබියදීත් නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමට අපොහොසත් වීම, දේශපාලන නායකත්වය දැනුවත් නොකිරීම සහ ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් බිම් මට්ටමේදී ගත යුතු පියවර පිළිබඳව ප්‍රමාණවත් උපදෙස් යටත් නිලධාරීන්ට ලබාදී නොතිබීමද ඒ අතර වනවා.

පොලිස්පතිවරයා විසින් ක්ෂණික සහ ශක්තිමත් පියවර ගෙන බිම් මට්ටමේ සූදානම් වීම් සඳහා පැහැදිලි උපදෙස් ලබාදී තිබුණේ නම් ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එහි තීව්‍රතාවය අවම කර ගැනීමට බොහෝ දෑ කළ හැකිව තිබූ බව විශේෂ කාරක සභාවේ අදහසයි.

ප්‍රධාන වශයෙන් වහා අවධානය යොමුවිය යුතු නිර්දේශ කිහිපයක් විශේෂ කාරක සභාව මගින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒවා අතර, ආරක්ෂක සහ බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ, ආගමික අන්තවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය, වහබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව යන කරුණු දක්නට ලැබීම විශේෂත්වයක්.

+++++++++++++++++++++

***************************************

වසන්ත සේනානායකගෙන් සජිත්ට ප්‍රශ්න පත්‍රයක්

(23.10.2019 – 19:42 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මහ මැතිවරණයකදී සිය අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා කවුරුන්ද යන්න ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස වහාම හෙළි කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.

කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අමාත්‍ය සජිත් ප්‍රේමදාස වෙත ප්‍රශ්න කිහිපයක් ද යොමු කළා.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් ප්‍රශ්න කර ඇත්තේ එළඹෙණ මහ මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහ සිය අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වනවාද?,

රවී කරුණානායක යම් අන්දමකින් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් හෝ පාර්ලිමේන්තුවට නම් කරනු ලැබුවහොත් ඔහු කැබිනට් අමාත්‍ය ධුරයක් දරන්නේද?,

රිෂාඞ් බදියුදීන් සිය රජය තුළ කැබිනට් අමාත්‍ය ධුරයක් හොබවන්නේද?,

රවුෆ් හකීම් අමාත්‍යවරයා සහ පාස්කු ප්‍රහාරකයින් අතර තිබූ සබඳතා පිළිබඳව නවතම මාධ්‍ය තොරතුරු හෙළිදරව් වී තිබෙන අවස්ථාවක සිය ජනාධිපතිවරණ මෙහෙයුම තුළ තවදුරටත් වැදගත් භූමිකාවක් ඔහු ඉටු කරන්නේද? සහ ඉන් පසුවද එය එසේම වන්නේද? යන කරුණුයි.

+++++++++++++++++++++

***************************************

කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරයට ආසන්නව සිදුවූ බස් රථ අනතුරකින් අයෙක් මරුට – 42 ක් රෝහලට

(24.10.2019 – 07:29 +0530 – sinhala.adaderana.lk)

කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරයට ආසන්නයේදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

සිදුවූ අනතුරෙන් බස් රථ දෙකේම රියදුරන් හා මගීන් 42 දෙනෙකු පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල්ගත කිරීමෙන් පසු ලංගම බස් රථයේ රියදුරු මියගොස් ඇත.

ලංගම බස් රථයේ රියදුරු තවත් බස් රථයකට අපරීක්ෂාකරී ලෙස ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව මින්නේරිය පොලිස් රථ වාහන අංශයේ නිලධාරීවරයෙකු පවසා සිටි අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදුවෙයි.

+++++++++++++++++++++

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51 ක් රෝහලේ

(24.10.2019 – nethnews.lk)

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් 51 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මින්නේරිය ප්‍රදේශයේදීයී අනතුර සිදු ව තිබෙනවා.

කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබුණා.

අනතුරින් ලංගම බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාල ලැබූවන් පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *