‘හිස්බුල්ලාට එරෙහිව නඩු පවරන්න’යි නිර්දේශ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ‘හිස්බුල්ලාට එරෙහිව නඩු පවරන්න’යි නිර්දේශ

• ‘මීනගයා’ දුම්රියේ මැදිරි හා එන්ජිම පීළි ගතකිරීමේ මෙහෙයුම තවදුරටත්

• රුපියල් කෝටි 1250 ක් අරලියගහ මන්දිරයේ තැබීම වරදක් නොවේ‍ – නීතීපති

• ශ්‍රීලනිප ඉතිහාසයට සෝමාරාමලා දෙන්නෙක් බර වැඩියි (විඩියෝ)

• පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කරමින් වීඩියෝවක් මුදා හැරි මවුලවීට ඇප

• ඇමති සජිත්ට දැන් කරන්න බැරි දේ ගැන ඥානසාර හිමි කියති (විඩියෝ)

• පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගමක් කරපු හැටි ! (විඩියෝ)

• වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදාවේ 58 ක් එතෙරදී අල්ලන්න – මානව හිමිකම් කොමිසම රටවල් 47 කින් ඉල්ලයි

• ආගම ලෝකෝත්තර දෙයක්; ඡන්දය ලෞකික දෙයක් – මහින්ද දේශප්‍රිය

• ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (25) තැපෑලට

• ජනාධිපතිවරණ දැන්වීම් තහනම් කලේ යයි මැතිවරණ කොමිසමට නඩු දමයි..

+++++++++++++++++++++++++++++++++++

‘හිස්බුල්ලාට එරෙහිව නඩු පවරන්න’යි නිර්දේශ

(23.10.2019 – 16:10 +0530 – lankadeepa.lk)

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ලියාපදිංචි කිරීමේ දී එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ක‍්‍රියාකර ඇති ආකාරය නීති විරෝධී බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීම සදහා අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සහිත වාර්තාව කථානායකවරයා වෙත භාරදුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

හිස්බුල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස සිටිමින් ඔහු රජය සමග ගිවිසුම් අස්සන් කර ඇතැයි ද 2013 සහ 2016 දී එවකට පැවැති ආණ්ඩු සමග ඔහු ගිවිසුම් අත්සන් කර ඇතැයි ද පැවසූ මාරසිංහ මහතා ඒවා සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබද ආංශික කාරක සභාව නිරීක්ෂණය කළ බව ද කියා සිටියේය.

මේ තත්ත්වය යටතේ ඔහුගේ මන්ත‍්‍රීධුරය අතීතයට බලපාන පරිදි අහෝසි කළ යුතුයැයි එම කාරක සභාව නිර්දේශ කර ඇතැයි ද හෙතෙම සදහන් කළේය.

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය පිළිබදව තම කාරක සභාව මගින් කළ පරික්ෂණයෙන් පසු සකස් කළ සම්පූර්ණ වාර්තාව මේ වනවිට කථානායකවරයාට බාර දී ඇතැයි කී මන්ත‍්‍රීවරයා කථානායකවරයා ඔහුට එරෙහිව නඩු පැවරීමට එය නීතිපතිවරයා වෙත භාරදෙනු ඇතැයි ද පැවසීය.

කිසිදු මන්ත‍්‍රීවරයෙකුට රජය සමග ගිවිසුම් අස්සන් කළ නොහැකි යැයි ද එය නීති විරෝධී යැයි ද පෙන්වා දුන් මාරසිංහ මහතා මන්ත‍්‍රීවරයෙකු එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන මුල්ම අවස්ථාව මෙය විය යුතු යැයි ද කියා සිටියේය.

ආශු මාරසිංහ මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (23)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ෴

***************************************

‘මීනගයා’ දුම්රියේ මැදිරි හා එන්ජිම පීළි ගතකිරීමේ මෙහෙයුම තවදුරටත්

(23.10.2019 – 23:48 +0530 – lankadeepa.lk)

අවුකන ප‍්‍රදේශයේදී ඉකුත් 21 වැනිදා රාත්‍රීයේ පීලි පැනීමට ලක් වූ මීනගයා දුම්රියේ මැදිරි හා එන්ජිම පීළි ගතකිරීමේ මෙහෙයුම තවදුරටත් ක‍්‍රියාත්මකව පවතින අතර අද (23) පස්වරුවේ එම ප‍්‍රදේශයට පැවැති වැසි තත්ත්වය ඊට තරමක් බාධාවක්ව තිබිණ.

අවුකන කලාඔය පාලම මත දි පීලි පැනීමට ලක්ව ඇති දුම්රිය එන්ජිම ද යළි පීලි ගතකිරීම සඳහා මේ වනවිට දුම්රිය කාර්ය මණ්ඩලය වෙහෙසෙමින් සිටිති.

දුම්රිය එන්ජිම පීලි පැන නැවතී ඇති පාලම දක්වා අනතුරින් විනාශව තිබූ දුම්රිය මාර්ගය අලුතින් සැකසීම අද දිනයේ සිදු කෙරිණ.

අද පස්වරුවේ ප‍්‍රදේශයට පතිත වූ වර්ෂාව දුම්රිය එන්ජිම හා ඉතිරිව ඇති මැදිරි දෙක පීලිගත කිරීම සඳහා වූ මෙහෙයුම් කටයුතුවලට බාධා ඇතිවිය.

දුම්රිය එන්ජිම හා අනෙකුත් දුම්රිය මැදිරි දෙක පීලිගත කිරීම අසීරු කටයුත්තක්ව ඇති හෙයින් ඒ සඳහා කොළඹ සිට විශේෂ දුම්රිය දොඹකරයක් ද එම ස්ථානයට ළගා වී තිබේ.

මේ වනවිට ප‍්‍රදේශය වැසි තත්ත්වය තරමක් පහව ගොස් ඇති අතර පීලි පැන ඇති දුම්රිය මැදිරි දෙකක් හා දුම්රිය එන්ජිම පීලිගත කිරීම සඳහා වූ මෙහෙයුම් කටයුතු අද රාත‍්‍රීයේ ද තවදුරටත් ක‍්‍රියාත්මක කිරීමට දුම්රිය කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටිති

මීනගයා දුම්රිය මෙලෙස පීලි පැන අනතුරට පත්වීමත් සමඟ ඊයේ 22 දිනයේ සිට මේ වනතෙක් කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුව තිබේ.

***************************************

රුපියල් කෝටි 1250 ක් අරලියගහ මන්දිරයේ තැබීම වරදක් නොවේ‍ – නීතීපති

(23.10.2019 – 17:43 +0530 – lankadeepa.lk)

පසුගිය ජනාධිපතිවරණ සමයේදී බැංකු කිහිපයකින් රුපියල් කෝටි 1250 කට අධික මුදලක් බැහැර කර අරලියගහ මන්දිරයේ නිලධාරීන් සහ තවත් කිහිපදෙනෙකු භාරයට පත් කිරීමේ සිද්ධිය අපරාධමය වරදක් නොවන බවට නීතිපතිවරයා දුන් උපදෙස් මත කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (23) එම නඩුව අවසන් කළේය.

මෙම සිද්ධියට අදාළව නීතිපති යොමු අංක සී ආර්/2/89/2016 යටතේ ඉකුත් 2016 මැයි මස 16 වැනිදා නීතිපතිවරයා වෙත යවන ලද උපදෙස් ප‍්‍රකාරව ඉකුත් 15 වැනිදා මෙම උපදෙස් ලද බවට පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය අද (23) අධිකරණය වෙත කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා එලෙස නඩුව අවසන් කළේය.

එසේම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි අයවලුන් හය දෙනෙකුගේ විදෙස් ගමන් තහනමද අධිකරණය අද (23) ඉවත් කර ඒ බව ආගමන විගමන පාලකවරයා වෙතද දන්වා යැවීමට කටයුතු කළේය.

ඒ අනුව මෙලෙස විදෙස් ගමන් තහනම ඉවත් කෙරුණේ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානි ගාමිණි සේදර සෙනරත්, සුදත් රෝහණ ලොකුමුදලි, එන්.එම්.එම්.බී. අබේසිංහ, එම්. කේ. ධනුෂ්ක ලක්ෂාන්, කොළඹ හේවගේ තුෂාර සහ වී. කේ. විජේසිංහ යන අයවලුන්ගේය ෴

***************************************

ශ්‍රීලනිප ඉතිහාසයට සෝමාරාමලා දෙන්නෙක් බර වැඩියි

(23.10.2019 – 15:56 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රකා මැතිනිය පක්ෂය නැවත වරක් එක්සත් ජාතික පක්ෂය හා යහන්ගත කිරීමට සූදානම් වන බවත් ශ්‍රීලනිප ඉතිහාසයේ සෝමාරාමලා දෙදෙනකු බර වැඩි බව ඇයට අමතක වී ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව පවත්වන මෙම ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව මේ රටේ අනාගත ඉරණම තීන්දූ කරන ඓතිහාසික සිද්ධියක් වනු ඇතැයිද එම මිත්‍රත්වය, බැදීම රටපුරා ව්‍යාප්ත කිරීම පක්ෂ දෙකේම එකම අරමුණ යැයිද සඳහන් කළේය.

නාවල පාර, රාජගිරියේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පිහිටුවා ඇති ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

***************************************

පාස්කු ප්‍රහාරය සාධාරණීකරණය කරමින් වීඩියෝවක් මුදා හැරි මවුලවීට ඇප

(24.10.2019 – nethnews.lk)

පාස්කු ඉරිදා එල්ලවූ ප‍්‍රහාරය සාධාරණීයකරණය කරමින් අන්තර්ජාලය හරහා වීඩියෝවක් නිකුත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි මුස්ලිම් මවුලවිවරයා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, වව්නියාව මහාධිකරණයේ නියෝගයකට අනුවයි.

එම්. මුනව්ජිත් නමැති සැකකාර මවුලවිවරයා පාස්කු ප‍්‍රහාරයෙන් පසු විදේශ රටක සිට එම ප‍්‍රහාරය සාධාරණීය කරමින් අදාළ වීඩියෝ පටය නිකුත් කර තිබුණා.

ඔහු ඉකුත් මැයි මස 11 වැනිදා යළි මෙරටට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැණුනේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදීයි.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු ඉකුත් 22 වැනිදා වව්නියාව මහාධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇප නියම කර තිබෙනවා.

කෙසේවෙතත් එදින සැකකරු ඇප කොන්දේසි සම්පූර්ණ කර නැහැ. ඊයේ (23) දිනයේදී අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු සැකකරු ඇපමත නිදහස් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය සහ ත‍්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනවා. ඒ සම්බන්ධයෙන් වන නඩුව නොවැම්බර් 28 වැනිදා යළි කැදවීමට නියමිතයි ෴

***************************************

ඇමති සජිත්ට දැන් කරන්න බැරි දේ ගැන ඥානසාර හිමි කියති

(24.10.2019 – colombotoday.com)

පුරාවිද්‍යා විෂයභාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා සිදුකරන කාර්යභාරය පිළිබඳව ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඥානසාර හිමිගෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඥානසාර හිමි සජිත් ප්‍රේමදාස මහතාට දැඩි විවේචනයක් එල්ලකර සිටියා.

පුතානෝ ආවහම කොරානෝ කියලනේ කියන්නේ. සංස්කෘතික ඇමති වශයෙන් දැන් නියෝග දෙන්න බැරි ඇයිදැයි විමසා සිටි ඥානසාර හිමි ධන ඍන මාරුවෙච්ච නායකයෝ බලය ලබා ගත් විට මහ ජාතියට සුළු ජාතීන්ගෙන් ටොකු ඇනුම් කෑමට සිදුව ඇති බව පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දැක්වූ ඥානසාර හිමි :

***************************************

පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගමක් කරපු හැටි !

(23.10.2019 – colombotoday.com)

රණවිරුවන්ට ලබා දිම සදහා සැලසුම්කර ඉදිකළ ගම්මානයක් සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස ව්‍යෘපෘතිය යටතේ මුස්ලිම් ජාතිකයන් පදිංචි කිරීමේ සිදුවීමක් පිළිබදව මහසෝන් බළකායේ නායක අමිත් වීරසිංහ මහතා හෙළිකරයි.

පුල්මුඩේ අරිසිමලේ ඇතුළු විහාරස්ථාන කිහිපයක පැවත්ම සදහා මෙම දායක රණවිරු ගම්මානය ඉදිකිරීමට සැලසුසම් කර ඇති අතර, ඉඩම් ඇති මුස්ලිම් ජාතික පිරිසක් පිට ප්‍රදේශවලින් ගෙනැවිත් එම ගම්මානයේ පදිංචි කර ඇතැයි ඔහු පවසයි.

***************************************

වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදාවේ 58 ක් එතෙරදී අල්ලන්න – මානව හිමිකම් කොමිසම රටවල් 47 කින් ඉල්ලයි

(24.10.2019 – 07:08 +0530 – lankaleadnews.com)

වන්නි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 58 ක් විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමේ සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය රටවල් 47 කින් ඉල්ලා ඇත.

මේ ඉල්ලීමට එරෙහිව ශී‍්‍ර ලංකා රජය මේ දක්වාම කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත.

මෙම නිලධාරීන් අතර මේජර් ජෙනරාල්වරු තිදෙනෙක් ද වෙති. එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා විසින් කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම මත මේ හමුදා නිලධාරීන්ගේ නම් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසුවේ ඉහතකී නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය කිසිදු පරීක්‍ෂණයක් නොපවත්වා මෙම ඉල්ලීම කර ඇති බවයි ෴

***************************************

ආගම ලෝකෝත්තර දෙයක්; ඡන්දය ලෞකික දෙයක් – මහින්ද දේශප්‍රිය

(24.10.2019 – 13:42 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නොවැම්බර් 17 වැනිදා පස්වරුව වනවිට ලබාදිමට හැකි උපරිමයෙන් උත්සාහ දරණ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද දෙරණ BIG FOCUS වැඩසටහනට අද එක්වෙමින් සභාපතිවරයා මේබව සඳහන් කළේය.

මෙහිදි අප මාධ්‍යවේදීයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ, පුජ්‍ය පක්ෂය දේශපාලන කටයුතුවලට මේ දිනවල නුසුදුසු කටයුත්තක් ලෙස හඳුන්වනු ලබන බවයි.

මෙයට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ, පක්ෂයක වේදිකාවකට පැමිණ හෝ ප්‍රවෘත්ති සාකච්ඡාවකදි තම මතය කියා සිටිමේ උන්වහන්සේලාට කිසිදු බාධාවක් නොමැති බවයි.

නමුත් 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත අනුව, ආගමික උත්සවයක් කරන අවස්ථාවක දී යම් අපේක්ෂකයෙකුට ඡන්දය ලබා දෙන්න යැයි පවසන්නේ නම් හෝ දෙන්න එපා කියන්නේ නම් එය දූෂණ කටයුත්තක් වන බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙය අපේක්ෂකයා එම උත්සවයට සහභාගී වෙන්නේ නම් අපේක්ෂකත්වය හෝ ජයග්‍රහණය අහිමි වීමට තරම් වරදක් විය හැකි බවත් පෙන්වා දුන් සභාපතිවරයා, මෙය තමාගේ හෝ වෙනත් අයෙකුගේ පනතක් නොවන බවද පැවසීය.

ඕනෑම ආගමික පුජක උතුමන් කෙනෙකුට වේදිකාවේ නැඟ දේශපාලනය කළ හැකි වු නමුත් ආගම හා දේශපාලනය එකට ගැට ගැසිය නොහැකි බවද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී කියා සිටියේය.

දේශාපාලනය ආගමික ස්ථානවල සිදු කළ නොහැකි බවත්, එයට හේතු වන්නේ ආගම ලෝකෝත්තර දෙයක් බවත් ඡන්දය ලෞකික දෙයක් බවත් මෙය හරියට ‘සුදු වළාකුළුයි – කොත්තමල්ලියි’ වගේ යනුවෙන් මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී පැවසීය.

මෙවර ඡන්දයේ ඇති අභියෝග සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් කියා සිටියේ, ඡන්ද පොළවල ඉඩ මදි බව මුලික ගැටළුවක් බවයි.

එමෙන්ම ලී ඡන්ද පෙට්ටියක ඡන්ද පත්‍රිකා 400 ක් පමණක් දැමිය හැකි බවත් පැවසු ඒ මහතා, 3000 ක් පමණ ඡන්ද දායකයින් ඇති ඡන්ද පොළවල් ඇති බවත් පැවසීය.

අනෙක් ප්‍රශ්නය වන්නේ උදෑසන 7 සිට 4 දක්වා ඡන්දය දමා අවසන් කළ හැකි ද යන්න වන බවත්, සියල්ලටම වඩා ඡන්ද පත්‍රිකා නමලා දිග හැරීමට වේලාවක් ගත වෙන බවත් මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී කියා සිටියේය.

එනිසා 18 වන දා දහවල් වන විට ඡන්ද ප්‍රතිඵල ලබා දෙන බවත් පැවසු ඒ මහතා එය වෙනස් විය හැකි බවත් මෙහිදී කියා සිටියේය ෴

***************************************

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (25) තැපෑලට

(24.10.2019 – 12:18 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැලට භාරදීම හෙට (25) සිදු කිරීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඡන්ද දායකයින් වෙත ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරීම සිදු කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරිම නොවැම්බර් මස 09 වන දිනෙන් අවසන්විමට නියමිතව තිබේ.

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ විශේෂ දිනය ලෙස නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත් කර ඇති අතර නොවැම්බර් මස 09 වන දිනට පෙර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට අදාල තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කිරිමෙන් අනතුරුව ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව පවතියි.

මේ අතර ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන බව වාර්තා වෙයි.

තැපැල් ඡන්ද විමසීම ලබන 31 සහ නොවැම්බර් මස 01 වන දින සිදු කිරිමට නියමිතයි.

මේ අතර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ලබන මස 06 වන දිනට පෙර අවසන් කිරීමට සැලසුම්කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ සංඛ්‍යාවක් මුද්‍රණය කෙරෙන බව ඇය පැවසුවේය ෴

***************************************

ජනාධිපතිවරණ දැන්වීම් තහනම් කලේ යයි මැතිවරණ කොමිසමට නඩු දමයි..

(24.10.2019 – 16:40 +0530 – lankacnews.com)

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

= ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක දැන්වීම් සම්බන්ධව =

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක දැන්වීම් වීදි තිරමත හා සිනමාශාලා තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් ඔබ විසින් නිකුත් කරන ලද නියෝග අභියෝගයට ලක්කරමින් සමාගමක් විසින් ගරු අභියාචනාධිකරණයේ මේ වන විට නඩුවක් පවරා ඇත.

එකී නියෝග නිකුත් කිරීම පිළිබදව ඔබතුමා වෙත අප සංවිධානයේ ස්තුතිය පළ කරන අතර එම නඩුවට ජනාතාව වෙනුවෙන් කරුණු දැක්වීම සදහා අප සංවිධානය එකී නඩුවේ පාර්ශවකරුවෙකුවීම සදහා කටයුතු සූදානම් කරමින් සිටී.

ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිපත්ති දැනගැනීම පමණක් ජනතාව හැටියට අපට වැදගත් වන අතර එම ප්‍රතිපත්ති ජනතාවට දැන ගැනීමේ කාර්යය මේ වන විට විද්‍යුත් හා මුදිත මාධ්‍ය ඉටුකරමින් සිටී. වීදි තිරයක හෝ සිනමාශාලාවක ඉතා කුඩා වේලාවක් දැන්වීමක් ප්‍රදර්ශණය කිරීමෙන් ජනතාවට කිසිදා ජනාධිපති අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති පිළිබදව දැන ගැනීමට නොහැකි බව අප සංවිධානයේ මතයයි. තවද අප මුදල් ගෙවා ප්‍රවේශ පත්‍රයක් රැගෙන සිනමා ශාලාවක් වෙත යන්නේ චිත්‍රපටය නැරඹීමට මිස දැන්වීම් නැරඹීමට නොවන බවද අවධාරණය කරමු.

ජනතාව‌ෙග් තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අප නිබඳව පෙනී සිටි අතර ඉදිරියේදීත් පෙනී සිටින නමුත් අනවශ්‍ය ආකාරයට ජනතාවට හිරහැරයක් වන ආකරයට පෝස්ටර් හෝ කටවුට් ප්‍රදර්ශණය කරන අපේක්ෂකයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *