ගමේ එජාප පාක්ෂිකයන්ටත් පිළිගන්න පුළුවන් අපේක්ෂකයා ගෝඨා – විමල් වීරවංශ

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ගමේ එජාප පාක්ෂිකයන්ටත් පිළිගන්න පුළුවන් අපේක්ෂකයා ගෝඨා – විමල් වීරවංශ (විඩියෝ)

• රටේ ඉන්නේ හිඟන්නෝ කියලා සහන දෙන්න කථා කරනවා – ප්‍රසන්න රණතුංග (විඩියෝ)

• මහින්ද පැරදුනේ ඡන්ද මගඩියක් නිසා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

• සජිත් කතා කරන්නේ මැරිලා ඉපදුනා වගෙයි – ප්‍රසන්න රණතුංග

• කලා විෂය හැදෑරු අයට ගෝඨාභයගෙන් සුබ ආරංචියක් (විඩියෝ)

• රාජ්‍ය ඇමති අමීර් අලි සහරාන් සමඟ ගනුදෙනු කළ බවට හෙළිදරව්වක් (විඩියෝ)

• ISIS නායකයා මිය ගිය බව තහවුරුයි (විඩියෝ)

• ගෝඨාභයගේ රජයෙන් නිදහසට කරුණු කියන්නේ නෑ – අජිත් නිවාඩ් (විඩියෝ)

• ගිලන් රථයක් අඩි 150 ක ප්‍රපාතයකට – දෙදෙනෙකුට බරපතළයි (විඩියෝ)

• කොටි පිබිදීම ගැන විමර්ශන ජනපති අපේක්ෂකයකුට අවාසි වෙතැයි යටපත් ‌​කෙරෙන හැඩ

+++++++++++++++++++++++++++++++++++

ගමේ එජාප පාක්ෂිකයන්ටත් පිළිගන්න පුළුවන් අපේක්ෂකයා ගෝඨා – විමල් වීරවංශ

(28.10.2019 – 08:45 +0530 – sinhala.adaderana.lk)

නවීන තාක්ෂණය මූලික කරගත් ආර්ථික ක්‍රමයකින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හිඟුරක්ගොඩ ගම්උදා ක්‍රීඩාංගණයේ ඊයේ (27) පැවති ජන රැළියකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

සාර්ථක දැක්මක් – වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැළි මාලාවේ තවත් රැළියක් ඊයේ පැවැත්වුණේ හිඟුරක්ගොඩදීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියේ, ගොවියාට පොහොර සහනාධාරය නොමිලේ ලබා දෙන, ගොවියාට නව තාක්ෂණය හඳුන්වා දෙන, ගොවියා ව්‍යවසායකයෙක් බවට පත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගෝඨාභය මහතා සතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ යනු අමාරු අභියෝග බාර ගත් අයෙක් බවත් පැවසු විමල් වීරවංශ මහතා, මහින්ද රාජපක්ෂ මහතා ‘කොටියා’ ඉවර කරන වගකීම ද බාර දෙනු ලැබුවේ ද ගෝඨාභය මහතාට බව පැවසීය.

ඔහු වැඩේ අවසන් කළේ පිටරට සිටිය අය බව බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බව පැවසු වීරවංශ මහතා, එනිසා ගෝඨාභය යනු බාර ගත්තු වැඩ නිසි ලෙස කරන නායකයෙක් බවත් කියා සිටියේය.

ගෝඨාභය මහතා රෑට ගෙවල්වලට එන්න බලා සිටින නායකයෙක් නොවන බවත් පැවසු ඒ මහතා, ගමේ එක්සත් ජාතික පාක්ෂිකයාටත් පිළිගත නිර්පාක්ෂික අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා කියා සිටියේ, ගෝඨාභය මහතා වැඩිම ඡන්දයෙන් දිනවන දිස්ත්‍රික්කය බවට පොළොන්නරුව පත් කර වාර්තාවක් තැබිය යුතු බවයි.

මෙම අවස්ථාවට එක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ, වර්තමානය වන විට ආසියාවේ සියලු රටවල් ඉහළ සංවර්ධන තත්ත්වයක ඇති බවයි.

මෙම ආර්ථිකය දියුණු වී ඇත්තේ තාක්ෂණය හා බුද්ධිය මුල් කර ගෙන බවත් පැවසු ගෝඨාභය මහතා, අපට මෙය ඉතා හොඳ අවස්ථාවක් බවත් පැවසීය.

අපට විශාල කර්මාන්ත පද්ධතියක් නොමැති බවත් පැවසු ගෝඨාභය මහතා, සම්පත් මදි වුවත් අපට ඇති විශාලතම සම්පත වන්නේ බුද්ධිමත් ජනතාවක් සිටීම බවද කියා සිටියේය.

මොවුන් පහසුවෙන් මෙම රැකියා සඳහා පුහුණු කළ හැකි යැයි පැවසු ඒ මහතා, තොරතුරු තාක්ෂණය, ඩිජිටල් හා පරිගණක තාක්ෂණය විද්‍යා අංශයේ දැනුම ඇති අයට පමණක් සිදු කළ හැකි යැයි සිතා සිටින බවත් පැවසීය.

මෙය වැරදි මතයක් බවත් කියාසිටි රාජපක්ෂ මහතා, දිනක් තරුණයෙක් තමාට හමුවු අතර, ඔහු උසස් පෙළ අසමත්ව සිටියත් තාක්ෂණය අතින් බොහෝ ඉදිරියට ගිය අයෙක් බවත් කියා සිටියේය.

ඔහු අද වෙනත් රටවල්වලට උපදේශන පවත්වමින් සිටින අයෙක් බවත්, තාක්ෂණීක හා ඉංග්‍රීසි අධ්‍යාපනය තුළින් එවැනි අභියෝග ජය ගත හැකි බවත් එම තරුණයා තමා සමඟ පැවසු බවත් ගෝඨාභය මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

පැහැදිලි දැක්මක් ඇත්නම් එය කළ හැකි බවත් එය නිවැරදිව ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඇතුළත් කර ඇති බවත් කියා සිටියේය.

***************************************

රටේ ඉන්නේ හිඟන්නෝ කියලා සහන දෙන්න කථා කරනවා – ප්‍රසන්න රණතුංග

(28.10.2019 – 10:16 +0530 – sinhala.adaderana.lk)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතාවගෙන්ම ලද තොරතුරු අනුව සැකසුන එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ ඊයේ(27) මිනුවන්ගොඩ පැවති පොදුජන පෙරමුනේ ආසන සංවිධායක වරුන්ගේ හමුවකින් අනතුරුවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය රටේ ජනතාවගේ තොරතුරු පදනම් කර ගෙන සැකසුවක් බව ද මෙහිදී අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

එය අනිවාර්යයෙන්ම ජනතා සුබ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක වන බවත් කියා සිටි මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂය බලයට එන විට බොරු පොරොන්දු දුන්නත් අපි වගකිව යුතු රජයක් ලෙස ඒ දේ කිරීමට සුදානමක් නොමැති බවත් පැවසීය.

ගෝඨාභය මහතාගේ වැඩසටහන සමඟ ජනතාව දිනෙන් දින අපිත් සමඟ එකතු වෙමින් පවතින බවද කියා සිටි ඒ මහතා, අද වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් එන්නෙත් අපේ ජනරැළිවලට බව ද රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණයට වඩා උතුරු හා නැගෙනහිර ජනතාවගේ ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවෙන බවත් පැවසු ඒ මහතා, දෙමළ සන්ධානය රට බෙදන තැන සිටින බවත් පැවසීය.

මුස්ලිම් කොන්ග්‍රසයේ ඉන්න අය ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැත්වු අය බවත් පැවසු රණතුංග මහතා, එවැනි කිසිවෙකු සමඟ දේශපාලන බලාපොරොත්තු ඇති කර ගන්නේ නැතැයි ද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පොරොන්දු දෙන්නේ 2015 දීපුවා බවත් කියා සිටි මන්ත්‍රීවරයා, එය වැඩපිළිවෙලක් නොවන බවත් රටේ ඉන්නේ හිඟන්නෝ කියලා හිතලා සහන දෙන්න කථා කරන බවත් සඳහන් කළේය.

අද රටේ මිනිස්සු බුද්ධිමත් බවත් ඔවුන් කිසිදා බත් පැකට්ටුවක් වෙනුවෙන් ඡන්දය ලබා නොදෙන බවත් කියා සිටි මන්ත්‍රීවරයා‍, මිනිස්සු සහයෝගය දෙන්නේ රට ගැන සිතා ඒ වෙනුවෙන් බවත් පැවසීය.

***************************************

මහින්ද පැරදුනේ ඡන්ද මගඩියක් නිසා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(27.10.2019 – 22:09 +0530 – sinhala.adaderana.lk)

මහින්ද රාජපක්ෂ මහතා පැරදුනේ පසු ගිය ජනාධිපති වරණයේදී උතුරු නැගෙනහිර පළාත්වල ඡන්ද මගඩියක් සිදුවු නිසා බව වියත් මඟ නිර්මාතෘ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

පසුගිය ජනාධිපති වරණයේදී උතුරු නැගෙනහිර පළාත්වල විශේෂයෙන් සවස් වු පසු ඡන්ද ප්‍රමාණයක් ඉතුරු පැය ඇතුලත වැටිලා තිබු බවත් එනම් එම අවස්ථාවේද් යම් වංචාවක් සිදු වී ඇති බවත් විශ්වාස කරන බවත් උන්වහන්සේ සඳහන් කළේය.

උන්වහන්සේඑසේ මේ බව පැවසුවේ ඊයේ (26) වවුනියාව ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේදී පැවති ජන හමුවකදීය.

මෙම ජාතික වියත් පවුර සංවිධානය විසින් සංවිධානය කොට තිබිණි.

එහි දිවැඩි දුරටත් අදහස් දැක්වූ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි :

“අපේ රටේ ඓතිහාසිකතත්වයන් පිළිබඳවත් ඒවගේම වර්තමානයේ අපිමුහණ දී ඇති තත්වයන් පිළිබඳවත් කරුණුකාරනා ඔබ අසාඇති එදා අවුරුදු තිහක යුද්ධය නිසා අපි බියටහා පීඩාවට පත්ව සිටියා ඒ යුද්ධයේ අමාරුකම් වැඩියන්ම දරාගත්තේ ඔබ ඔබ නිදාගත්තේ කැලෑවල පාසල්වලට දරුවෝ ගියාම සංහාරක ප්‍රහාරයක් එල්ල කරලා දරුවන් මරා දමාවිද කියලා බියෙන් සිටියේ.

බොහො බිරින්දෑවරුන්ගේ පුරුෂයෝ සිටියේ සිවිල් ආරක්ෂක බලකායේ නැතිනම් හමුදාවේ යුද්ධය නිසා අවම මිනිස් අයිවාසිකම්වත් නොමැතිව සිටිය ඔබට මීට වසර දහටකට එපිට ලැබුනා යුද්දය අවසන් කළ පනිවිඩය එදා ලැබුණුවිට ඔබේ හිත්වලට දැණුන හැගීම සිහිපත්කර බලන්න මොන තරම් සැනසිල්ලක් ආවද අපේ රට යුද්ධයෙන් මිදුනද කියලා.

හැබැයි යුදධය අවසන් කරලා ඒ යුද්ධය අවසන් කළ නායකයා සහ එම නායකයාට යුධ හමුදාවේ නායකත්වය දුන් ජනරාල්වරයා අතර සටනක් ඇති කළා.

ඒ අනුව තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ.මහින්ද රාජපක්ෂ මහතා සමග ඒ එක්සත් ජාතික පක්ෂය සමග තවත් පක්ෂ එකතුවෙලා.

මේ පිටුපස ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ජාත්‍යන්තර මැදිහත්වීම් බොහොමයක් තිබුනා. ඒ වන විට අපේ මහින්ද රාජපක්ෂ සමග බිඳවන්නට නොහැකි ජනතා සම්මුතියක් ගොඩනැගිලා තිබුනා.

ජනතා ආකර්ෂණයක් ඔහුට තිබුණා ඒ නිසා 2010 දී එතුමා පරාජයකරන්න බැරිවුනා. එනිසා 2015 වෙන කොට මේ අයගේ කුමන්ත්‍රණය දැඩිලෙස ක්‍රියාත්මක වෙලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයව අරගත්තා. ඒක ඒ මහත්තයගේ වරදකුත් නෙවෙයි.

ඒවෙලාවේ නිමල් සිරිපාල ද සිල්වා හෝ සරත් එන් සිල්වා හෝ වෙනත් කවුරුන් හරි අරගෙන මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යවන්න සැලසුම් කළා .”

***************************************

සජිත් කතා කරන්නේ මැරිලා ඉපදුනා වගෙයි – ප්‍රසන්න රණතුංග

(27.10.2019 – 20:13 +0530 – sinhala.adaderana.lk)

සජිත් ප්‍රේමදාස මහතා නොවැම්බර් 16 වෙනි දා වැරදිමකින් හෝ මෙරට ජනාධිපතිවරයා බවට පත් වුවහොත් රට දෙකඩ වීම වැළැක්වීමට කිසිසේත්ම නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් වත්මන් රජය ක්‍රියාත්මක කළ බෙදුම්වාදී ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට යනු ඇති බව යි.

පසුගිය වසර හතරාමාරක කාලය තුළ රනිල් – සජිත් ආණ්ඩුව මෙරට බෙදුම්වාදය ශක්තිමත් කළ බවත්‚මේ වන විටත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධානයේ යෝජනා 13 ටම ඔවුන් එකඟතාවය පළ කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් රණතුංග මහතා පෙන්වා දුන්නේ ය.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙම අදහස් පළ ‍කළේ පසුගිය දා උඩුගම්පල කාර්යාලයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයේ දීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා :

“අද සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කතා කරන්නේ මැරිලා ඉපදුනා වගෙයි. ඔහු කියන සමහර කථා අහපුවාම අපිට හිතෙනවා ආණ්ඩුව කළේ වෙන කවුරු හරිද කියලා.

අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තරම් ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටිලා. මහින්ද මහත්තයගේ කාලේ වේල් තුනම කාපු අපේ රටේ ජනතාව අද එක වේලක් කාලා යන්තම් පණ ගැට ගහගන්න තත්ත්වයට පත්වෙලා.

සජිත් ප්‍රේමදාස මහතා කියනවා ජනතාව බදු බරින් මිරිකිලාලු. ජීවන වියදම ඉහළ ගිහින්ලු. පුදුම කථාවක් ඒක.සජිත් ප්‍රේමදාස කියන්නේ මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්.

එතකොට මේ ආණ්ඩුව අද මේරට පත් කරලා තියෙන තත්ත්වයට සජිත් ප්‍රේමදාස මහතාත් වග කිව යුතු ය. සජිත් කියන කථා මේ රටේ පොඩි ළමයෙක්වත් කියන්නේ නෑ.

පියාණෝ වගේ සිල්ලර කථාකියලා පුතාණෝ හදන්නේ මේ රටේ ජනතාව රවට්ටන්න. මේ රටේ හිටපු රණසිංහ ප්‍රේමදාස‚ ඒ කියන්නේ සජිත්ගේ පියාණෝ වගේ ජනාධිපතිවරු යුද්ධය වවාගෙන කෑවා.

2005 බලයට පත්වුණු මහින්ද – ගෝඨාභය සුසංයෝගය තමයි දශක 03 ක් පැවති මේ යුද්ධය අවසන් කරලා රට එක්සේසත් කළේ. එදා අපට ලැබුණු නිදහස වසර 10 ක් යන්න කලින් නැවත පාවා දෙන්න සජිත් කැබිනට් ඇමතිවරයෙකු ව සිටින මේ ආණ්ඩුව කටයුතු කළා.

ජාතික ආරක්ෂාව නැත්තට නැති කළා. බුද්ධි අංශ සාමාජිකයෝ හිරේ දැම්මා. රණවිරුවෝ හිරේ දැම්මා. එදා කොටි ත්‍රස්තවාදයට යුද්ධය හරහා ලබා ගන්න බැරි වුණ දේ බන්දේසියක තියලා දෙන්නයි මේ ආණ්ඩුව හදන්නේ.

ඒකයි ටී.එන්.ඒ සංවිධානය ඉදිරිපත් කරපු රට බෙදෙන යෝජනාවලියට සජිත් ප්‍රේමදාසලා හොර රහසේ එකගතාවය පල කරන්නේ. මේ නඩයට අවශ්‍ය කොක්කෙන් හෝ කෙක්කෙන් ජනාධිපති වෙන්නයි.

ඔවුන් ට රටනෙමෙයි වැදගත්. ජනතාව නෙමෙයි වැදගත්. ජනාධිපති සිහිනය කෙසේ හෝ ඉටු කරන්නැ’යි ඔවුන්ට ඕනෑ.ඒ වෙනුවෙන්රට විතරක් නෙමෙයි අම්ම තාත්තව වුණත් පාවා දෙන්න සජිත් සුදානම් බවයි අපිට පේන්නේ.

පාස්කු ප්‍රහාරය පිළිබද තේරී පත් කළ තේරීම් කාරක සභාව හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක්. සහරාන්ලා එක්ක එක පතේ කාපු හකීම් තේරීම් කාරක සභාවේ නියෝජිතයෙක්.

ඒ වගේම නලින්ද ජයතිස්ස ජවිපෙ මන්ත්‍රීවරයාත් මෙහි සාමාජිකයෙක්. ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු මේ වන විටත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවේ ඉන්නවා.

ඔහුගේ දරුවන් දෙදෙනාම මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බව තහවුරු වෙලා තියෙනවා. අපි මුල ඉදලම කිව්වා පාස්කු ප්‍රහාරය පිළිබද සොයාබැලීමට පත් කළ තේරිම් කාරක සභාව හොරාගේ අම්මගෙන් පේන ඇහීමක් බව.

මේ වන විටනිකුත් කරලා තිබෙන වාර්තාවෙනුත් පාස්කු ප්‍රහාරයට වග කිවයුතු සැබෑ පුද්ගලයන් චෝදනා වලින් නිදහස් කර තිබෙනවා. අද අපේ රටට ඕන කරන්නේ විහිලුකාරයෙක් නෙමෙයි.

අපේ රටට ඕන ජාතික ආරක්ෂාවට වග කියන‚ රටේ විනයහදන්න පුළුවන් නායකයෙක්. ජනාධිපති අපේක්ෂකයන් අතර ඒ සදහා එකම සුදුස්සා ගෝඨාභය මහතා පමණයි. ඒ නිසා රටටආදරය කරන සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාජයග්‍රහණය කරවීමට කැප වී කටයුතු කළ යුතුයි.”

***************************************

කලා විෂය හැදෑරු අයට ගෝඨාභයගෙන් සුබ ආරංචියක්

(27.10.2019 – 19:30 +0530 – sinhala.adaderana.lk)

කලා විෂය හැදෑරු තරුණ තරුණියන් පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එක්කර ගනිමින් අමෙරිකානු ඩොලර් බිලියන තුනක ආදායමක් උපයාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පස්සර නගරයේ පැවැති ජනරැලියට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිම සදහා පවත්වනු ලබන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ (26) පස්වරුවේ පස්සර නගරයේදී පැවැත්වුණි.

මේ අතර අද (27) පෙරවරුවේ මාතලේ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරණ රැස්වීම් මාලවට සහභාගී වීම සදහා ගුවන් මගින් මාතලේ සමූපකාර ක්‍රීඩාංගණයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රදේශවාසීන් සමග සුහද පිලිස‍දරක නිරත වුණා.

අනතුරුව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාතලේ එම්.සී. පාර ක්‍රීඩාංගනයේ පැවති ජනරැලියට එක් වුණි.

මේ අතර අද (27) පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පොළොන්නරුව, කඳුරුවෙල ප්‍රදේශයේ පැවති ජනරැලියකටද සහභාගී වුණි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ තවත් ජනරැලියක් පැවැත්වුණේ මැදිරිගිරිය පොදු ක්‍රීඩාංගණයේදීයී.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකිරීම සදහා එක්වුණි.

***************************************

රාජ්‍ය ඇමති අමීර් අලි සහරාන් සමඟ ගනුදෙනු කළ බවට හෙළිදරව්වක්

(27.10.2019 – 19:12 +0530 – sinhala.adaderana.lk)

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සභාපති රාජ්‍ය අමාත්‍ය අමීර් අලී මහතාද සහරාන් හෂීම් සමඟ සබඳතා පවත්වා ඇති බව මහජන සේවා සංවිධානය අද (27) අනාවරණ කළේය.

2015 මහ මැතිවරණ සමයේදී සහරාන් හෂීම් ඉදිරිපත් කළ කොන්දේසි ඇතුළත් ලේඛන අමීර් අලි රාජ්‍ය අමාත්‍යවරයා විසින් භාරගන්නා අවස්ථාවක ඡායාරූපයක්ද මෙහිදී මාධ්‍ය වෙත අනාවරණය කෙරුණි.

මේ අතර සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරා සමග සබඳතා පවත්වා ඇති රවුෆ් හකීම් අමාත්‍යවරයාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

***************************************

ISIS නායකයා මිය ගිය බව තහවුරුයි

(27.10.2019 – 19:01 +0530 – sinhala.adaderana.lk)

අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල් බග්ඩාඩි, අමෙරිකානු ප්‍රහාරයකින් මියගොස් ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත.

IS නායක අබු බකර් අල් බග්ඩාඩි, ඊයේ රාත්‍රියේ අමෙරිකානු විශේෂ මෙහෙයුමක් අතරතුර මියගිය බවට අද විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කළේය.

ඒ සිරියාවේ වයඹදිග ප්‍රෙද්ශයට එල්ල කෙරුණු ප්‍රහාරයකින්.

ඇතැම් වාර්තාවල දැක්වුණේ මෙහෙයුම අතරතුරදී බග්ඩාඩි, මරාගෙන මැරෙන ජැකට්ටුවක් පුපුරවාගනිමින් දිවිනසාගත් බවයි.

විශේෂ බුද්ධි තොරතුරක් මත IS නායකයා සිටින බවට සැක කෙරෙන ස්ථානයක අමෙරිකානු හමුදා විසින් වැටලීමක් සිදුකළ බව පමණක් අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර ඊයේ රාත්‍රියේ සිදුකළ අදාළ මෙහෙයුමේ බවට පැවසෙන වීඩියෝ පටයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉරාකයේ උතුරුදිග සමාරා නගරයේදී 1971 වර්ෂයේ උපත ලද ඊබ්‍රහිම් අවාද් අල්-බද්‍රි මේ වන විට මුළු ලොවම හඳුනන්නේ අබු බකර් අල් බග්ඩාඩි යන නමින්.

2006 වසරේදී ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් හෙවත් “අයි එස් අයි ” ලෙසට සංවිධානය වන බග්ඩාඩි එහි නායකත්වයට පත්වන්නේ 2010 වසරේදී.

ඉරාකය සහ සිරියාව කේන්ද්‍ර කරගනිමින් ඉස්ලාම් අධිරාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිඥා දී ඇති බග්ඩාඩි සිය මතවාදය ලොව රටවල් රැසකම පැතිරවීමට උත්සාහ දරමින් සිටියේය.

2017 එංගලන්තයේ ලන්ඩන් පාලම මත සිදු වූ මිනිස් ඝාතනය,මේ වසරේ මාර්තු මස දී නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් දේව මෙහෙය අතරතුර සිදුවූ මිනිස් ඝාතනය ඇතුළු සිද්ධිවලදී විදෙස් වාර්තා පෙන්වා දුන්නේ IS සංවිධානයේ මතවාදය වෙනුවෙන් අන්තවාදීන් එම ඝාතන සිදු කළ බවයි.

ලොවම කළඹමින් පසුගිය අප්‍රේල් 21 වැනිදා පාස්කු දිනයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය සිදු කළ සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් ද IS සංවිධානයේ මතවාදය වෙනුවෙන් පෙනී සිටි බවට ද තොරතුරු හෙළි වුණි.

මෙරට ඇතැම් පිරිස් IS සංවිධානයේ පුහුණුව ලබා ඇති බවට ද අවස්ථා රැසකදී තොරතුරු අනාවරණ වුණි.

IS නායක අබු බකර් බග්ඩාඩි මියගිය බවට අවස්ථා කිහිපයකදී වාර්තා පළ වුවත් එම වාර්තා අසත්‍ය බවට පත් කරමින් වසර කිහිපයකට පසු අබු බකර් අල් බග්ඩාඩි යළි කරළියට පැමිණියේද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවයි.

ඔහු නිකුත් කළ වීඩියෝව පසුගිය අප්‍රේල් මාසයේ පටිගත කරන ලද්දක් බව කියැවුණු අතර වීඩියෝව අවසානයට අයි එස් නායකයා ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන අදහස් දක්වන හඬපටයක්ද ඇතුළත් කර තිබුණි.

සිරියාවේ බාගුස් හි බලය අහිමිවීමට ප්‍රතිප්‍රහාර වශයෙන් ශ්‍රී ලංකාවට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බවයි එම හඬපටයේ සඳහන් වුණි.

ඒ අනුව ලොවට වඩාත්ම අවශ්‍යකර සිටින ත්‍රස්තවාදී නායකයා හෙවත් ‘world’s most wanted man’ ලෙසයි අබු බකර් අල් බග්ඩාඩි හැඳින්වුණේ.

https://www.youtube.com/watch?v=4jQjLUW-kOY#t=5

***************************************

ගෝඨාභයගේ රජයෙන් නිදහසට කරුණු කියන්නේ නෑ – අජිත් නිවාඩ්

(27.10.2019 – 18:28 +0530 – sinhala.adaderana.lk)

වත්මන් ආණ්ඩුව මෙන් නිදහසට කරුණු කීම නොව මහින්ද සහ ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුවකින් සිදුවන්නේ රට සංවර්ධනය කිරීම බව මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඊයේ (26) පස්වරුවේ ගම්පහ පැවති වියත් මග සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

‘වියත් මග’ සමුළු මාලාවේ තවත් පියවරක් ඊයේ (26) පස්වරුවේ ගම්පහ සාකේත මන්දිරයේදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ හා සහ ගෝඨාභය රාජපක්ෂගේ දැක්ම රටේ ව්‍යාපාරිකයන්ට අත දීම බවයි.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයක් යටතේ නිදහසට කරුණු කීමක් සිදු නොවන බවත් ඒ මහතා පැවසීය.

***************************************

ගිලන් රථයක් අඩි 150 ක ප්‍රපාතයකට – දෙදෙනෙකුට බරපතළයි

(27.10.2019 – 16:29 +0530 – sinhala.adaderana.lk)

අද (27) අලුයම තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය, බංගලාහත ප්‍රදේශයේදී ගිලන් රථයක් අඩි 150 ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇත.

ආගරපතන, ඩයගම ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථය මෙම අනතුරට ලක්ව ඇති අතර අනතුරින් ගිලන් රථයේ රියදුරා හා සහායකයා තුවාල ලබා තිබේ.

ඩයගම රෝහලේ සිට රෝගීන් කීප දෙනෙකු රැගෙන නුවරඑළිය මහ රෝහලට ගොස් එම රෝගීන් භාර දී නැවත ඩයගම දක්වා පැමිණෙමින් සිටියදි ගිලන් රථය මෙම අනතුරට ලක්ව ඇත.

මාර්ගය හරහා මාරු වු ඌරෙකු බේරීමට යාමේදී රියදුරාට රථය පාලන කර ගැනීමට නොහැකිව පාරෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අනතුරින් ගිලන් රථයද දැඩි හානියට ලක්ව ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

***************************************

කොටි පිබිදීම ගැන විමර්ශන ජනපති අපේක්ෂකයකුට අවාසි වෙතැයි යටපත් ‌​කෙරෙන හැඩ

(28.10.2019 – aruna.lk)

රටේ ආරක්ෂාව අස්ථාවර බවට දකුණේ මතයක් පැතිරීම ජනාධිපති අපේක්ෂකයකුට අවාසියක් වන නිසා එල්.ටී.ටී.ඊ.ය. හිස එසවීම පිළිබඳව කෙරෙන විමර්ශන යටපත් කිරීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

මේ නිසා ‘තීබන්’ හෙවත් රොබින්සන් නමැති කොටි ප්‍රබලයා යටතේ ඇති බවට හෙළි වූ කණ්ඩායම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන යටපත් විය හැකි බවද එය ඉදිරියේදී තර්ජනයක් වනු ඇතැයිද ආරක්ෂක අංශ අනතුරු අඟවයි.

යුද හමුදා බුද්ධි අංශ මගින් ඉකුත් 11 දා සේරුනුවරදී තීබන් ගිනි අවියක්ද සමග අල්ලාදීමෙන් පසුව අවි ආයුධ තොගයක් කිලිනොච්චියේ නිවසින් හමුවිය. වැඩිදුර විමර්ශනවලදී යාපනයේ කොණ්ඩාවිල්වලින් කිලෝ පහළොව බැගින් වූ ක්ලේමෝ බෝම්බ දෙකක්ද හමුවිය.

නැගෙනහිර පළාතේදී කරුණා අම්මාන් ඇතුළු දේශපාලන ඉලක්ක ගැනීමට සූදානම් වූ බව කියන තීබන්ගේ හෙළිදරව්ව මත රාමයියා විවේකානන්දන් (දිනේෂ්) නමැති කොටි ප්‍රබලයාද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ත්‍රස්තයන්ගෙන් හෙළි වූ තොරතුරු මත අධිබල ‘සිෆෝ’ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඇතුළු අවි ආයුධ සොයා මෙහෙයුම් අරඹා තිබුණත් ඉහළ බලපෑමකින් අවි ආයුධ සොයන මෙහෙයුම් අඩාළ වී ඇතැයි ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

සිව්වැනි ඊළාම් යුද්ධයෙන් පසුව එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර නායකයන් දෙමළ ඩයස් පෝරාවේ සහායද ඇතිව දසවතාවක් යළි හිසඔසවන්නට ගියද යුද හමුදා බුද්ධි අංශ අවදියෙන් සිටීම නිසා ඒවා අනාවරණය විය. ඉන්දියාවට පැමිණ ඇති ජාත්‍යන්තර නායකයන් තීබන් මෙහෙයවන බව අනාවරණය කරගනිමින් හමුදා බුද්ධි අංශය කළ මෙහෙයුමකින් මෙම කොටි ජාලය හෙළිවූවත් වැඩිදුර විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පමණක් භාරදී තිබිණි.

කලින් අවස්ථා ගණනකදීම එල්.ටී.ටී.ඊ. යළි ​හිසඔසවන බවට සාක්ෂි සාධක සහිතව ලබාදුන් තොරතුරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය යටපත් කළ බව එම ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගෙන කළ විමර්ශන අතරේ හෙළි විය.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා

***************************************

බන්දුලගෙන් සජිත්ට අභියෝගයක්

(28.10.2019 – 19:57 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ.යට මුදල් සහ ආයුධ ලබාදීම සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයා වන ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රට හමුවේ තම අදහස පළ කළ යුතු බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *