ඇමරිකානු ඩොලර් මිලියන 480 ක (MCC) ප්‍රදානය ලබා ගන්න කැබිනට් අනුමැතිය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඇමරිකානු ඩොලර් මිලියන 480 ක (MCC) ප්‍රදානය ලබා ගන්න කැබිනට් අනුමැතිය

• සජිත් කල්ඉකුත් වුණාම වැඩියෙන් සතුටු රනිල්ට – රෝහිත අබේගුණවර්ධන (විඩියෝ)

• රණවිරුවාට විශ්‍රාම වැටුපක් නොදුන් රජය විදෙස්ගත අයට විශ්‍රාම වැටුපක් දෙයි ද? (විඩියෝ)

• ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැයකින් දිගුවෙයි (නොවැම්බර් 16 වැනිදා පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා) (විඩියෝ)

• වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ කළ කැණීමක් ගැන පරික්ෂණ අරඹයි

• සුදුවෑන් සංස්කෘතියේ පියවරු හා බාප්පලා ගැන බන්දුලගෙන් විවරණයක් (විඩියෝ)

• එජාප ප්‍රබලයන් රැසක් ගෝඨාගේ වේදිකාවට එනවා – මහින්දානන්ද අලුත්ගමගේ (විඩියෝ)

• වෙන්නප්පුවෙන් සොයාගත් වධකාගාරය (විඩියෝ)

• රනිල් සජිත් රඟපාන්නේ රයිගමයයි ගම්පොලයයි චරිත දෙක – වෛද්‍ය ගුණදාස අමරසේකර (විඩියෝ)

• සජිත් ජනපති නම්, තමන් අගමැති බව රනිල් කියයි (විඩියෝ)

• සජිත් අන්තවාදය පරාජය කරන අපූරු ක්‍රමය – විමල් වීරවංශ (28-10-2019) (විඩියෝ)

• සජිත් තැපැල් ජන්දය ඉවර වෙනකම් ප්‍රත්පත්ති ප්‍රකාශනය එළියට නොදැමීමට හේතුව විමල් කියයි (28-10-2019) (විඩියෝ)

• රාජ්‍ය සේවකයෙකු ලෙස සේවය කළ, ඔවුන්ගේ ගැටළු හොදින් හදුනන ගෝඨාභය රාජපක්ෂයන් ජනපති කරවමු ! – විමල් වීරවංශ (28-10-2019) (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ඇමරිකානු ඩොලර් මිලියන 480 ක (MCC) ප්‍රදානය ලබා ගන්න කැබිනට් අනුමැතිය

(29.10.2019 – 16:23 +0530 – sinhala.adaderana.lk)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් යෝජනා කළ පරිදි ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Corporation) විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කොළඹ ප්‍රදේශයේ රථවාහන කළමනාකරණය, දිවයින පුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන ව්‍යාපෘති මෙම ප්‍රදානය යටතේ ක්‍රියාත්මක කෙරෙයි.

මෙම ප්‍රදානය උපයෝගී කරගෙන ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අවශ්‍යතා පදනම් කරගනිමින් රටේ ප්‍රදාන රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරන නිලධාරීන් විසින් සකස් කර ඇත.

Millennium Challenge Corporation (MCC) සමඟ මෙම ගිවිසුම අත්සන් කළ පසුව වුවද ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව මෙම ව්‍යාපෘති සංශෝධනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතුව පවතී.

ඇමරිකානු ජනතාවගෙන් මෙම ප්‍රදානය ලබාගන්නා 37 වන රට ශ්‍රී ලංකාව වෙයි.

අද දින (29) අමාත්‍ය මණ්ඩලය විසින් දෙනලද අනුමැතිය අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නුදුරේදී මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර එය 2020 ආරම්භ වීමත් සමඟ ක්‍රියාත්මක කෙරෙයි.

Millennium Challenge Corporation වෙතින් ලැබෙන මෙම ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ප්‍රථම වතාවට සාකච්ඡා ඇරඹුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් 2001 වසරේදීය.

ඒ අනුව, මෙම සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේ සහ MCC නියෝජිතයන් අතර පැවැත් වූ අතර, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මේ පිළිබඳ අවසන් තීන්දුවට එළඹීමට හැකිවිය ෴

+++++++++++++++++++++

30-10-2019

***************************************

සජිත් කල්ඉකුත් වුණාම වැඩියෙන් සතුටු රනිල්ට – රෝහිත අබේගුණවර්ධන

(29.10.2019 – 13:38 +0530 – sinhala.adaderana.lk)

මේ වන විට රටේ ජනතාව විසින් තමාගේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව තීන්දුවක් ගෙන අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ජනාධිපතිවරණයේ දී එක් භාණ්ඩයක් එළියට ඇවිත් ඇති බවත් පැවසු මන්ත්‍රිවරයා, එය නිෂ්පාදනය කර ඇත්තේ 2019.10.07 වන දා බවත් එය කල් ඉකුත් වන්නේ 2019.11.16 වනදා බවත් පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ පිටේ දැන් මෙම නිෂ්පාදිත දිනය ගසා ඇති බවත් පැවසු ඒ මහතා, එහි කල් ඉකුත් වීම 2019.11.16 වන දින මධ්‍යම රාත්‍රීයේ බවත් සඳහන් කළේය.

එදායින් පසුව සජිත් මහතා කල් ඉකුත් වී ඇතැයි පැවසු මන්ත්‍රීවරයා, එයින් වැඩියෙන්ම සතුටු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් කියා සිටියේය.

ඔහුට අවශ්‍ය වී තිබුණේ ද එය බව පැවසු මන්ත්‍රීවරයා, රටේ මිනිස්සු මේ වන විට රටේ ජනතාව තමන්ගේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න තීරණය කර අවසන් බවත් එම දිනය නීතියානූකුල දිනය වෙන තෙක් සියලු දෙනා බලා සිටින බවත් පැවසීය.

මිනිසුන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ඇති බවත් කියා සිටියේය.

තම පක්ෂයට අපේක්ෂකයින් දෙදෙනෙක් සිටින බවත්, ගෝඨාභය හා මහින්ද යන මහත්වරුන් දෙදෙනාටම ජනතාව එකසේ ආදරය කරන බවත් පැවසු මන්ත්‍රිවරයා, මොවුන් දෙපළ දරුණු ත්‍රස්තවාදය පරාජය කළ බවත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අවස්ථාවක එවැනි දෙයක් නොමැති බවත්, කිසිවිටෙකත් සජිත් මහතා සමඟ රනිල් වික්‍රමසිංහ වේදිකාවට ගොඩ නොවෙන බවත් කියා සිටියේය.

***************************************

රණවිරුවාට විශ්‍රාම වැටුපක් නොදුන් රජය විදෙස්ගත අයට විශ්‍රාම වැටුපක් දෙයි ද?

(29.10.2019 – 13:28 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 15,000 ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ නියෝජිත හමුවකට ඊයේ (28) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ ඡන්දය වෙනුවෙන් ඇතැමුන් බොරු පොරොන්දු ලබා දෙන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියලු වතුකම්කරුවන්ට දිනකට රුපියල් 1500 ක් ලබා දෙන බව පැවසු බවත් කියා සිටි ජයසුමන මහතා, වතුකරයේ සිටින අසරණ දෙමළ මිනිසුන් ඒ තුළින් දැඩි රැවටීමකට ලක් කළ බවත් පැවසීය.

නමුත් රුපියල් 1000 ක් කරන බව පැවසු බවත් කියා සිටි ඒ මහතා ප්‍රායෝගිකව කළ හැකි ප්‍රමාණය එය බවත් කියා සිටියේය.

නිසැකයෙන්ම ලබා දිය හැකි ප්‍රමාණය මෙලෙස පැවසිය යුතු බවත් කියා සිටි චන්න ජයසුමන මහතා, විදේශ ගත ශ්‍රී ලාංකීකයන්ට නැවත මව්බිමට පැමිණිමෙන් පසුව විශ්‍රාම වැටුපක් ලබා දෙන බවත්, සජිත් ප්‍රේමදාස මහතා පැවසු බවත් ජයසුමන මහතා පැවසීය.

ඔහුගේ මිතුරන් පිරිසක් මේ ගැන අදහස් දක්වමින් පවසා සිටියේ, යුද්ධය නිමා කළ රණවිරුවාට විශ්‍රාම වැටුපක් ලබා නොදුන් රජය, විදේශ ගත අයට විශ්‍රාම වැටුපක් දෙයිද ? යනුවෙන් බවයි.

එවැනි දෙයක් නොව අපිට අපේ රට ආරක්ෂා කර දෙන ලෙසත් ඔවුන් පැවසු බවත් මෙහිදී චන්න ජයසුමන මහතා අදහස් දක්වමින් පවසා සිටියේය.

***************************************

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැයකින් දිගුවෙයි (නොවැම්බර් 16 වැනිදා පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා)

(29.10.2019 – 16:28 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණයේ ඡන්දය විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරිම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කළ යෝජනාවට දේශපාලන පක්ෂ එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර් 16 වැනිදා පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා පැවැත්වීමට නියමිත අතර ඊට අදාල ගැසට් නිවේදනය අද (29) රාත්‍රියේදී නිකුත් කෙරෙනු ඇති.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පැවැත්වුනේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදීයි.

මෙහිදී ජනාධිපතිවරණයේ ඡන්දය විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරිම සඳහා වූ යෝජනාවක් මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ අතර ඊට සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ එකඟතාව හිමිවිය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරනු ලැබුවේ මැතිවරණ සමයේ ආණ්ඩුව දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණෙන් ජාතික පාසල් වලට සිසුන් ඇතුලත් කරගැනීම සදහා එම පාසල් වල විදුහල්පතිවරුන්ට, අධ්‍යාපන අමාත්‍යංශය විසින් බලපෑම් කරන බව පවසමින්.

කෙසේවෙතත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එල්ල කළ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ජාතික පාසල් වලට දරුවන් ඇතුළත් කිරිමේදී එවැනි දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණක් විෂය භාර අමාත්‍යවරයාට කිසිසේත් නොතිබූ බවයි.

දිවයින පුරා ජාතික පාසල් වල අතරමැදි ශ්‍රේණි සදහා දරුවන් ඇතුළත් කිරිම සදහා ඉකුත් මැයි 31 වන දිනට සියලු ජාතික පාසල් වල පවත්නා සිසු පුරප්පාඩු සංඛ්‍යාව විදුහල්පතිවරුන් වෙතින් ගෙන්වා ගෙන පවත්නා පුරප්පාඩු අනුව සිසුන් බදවා ගැනිමේ ක්‍රමවේදය නිර්ණායක සහිතව ප්‍රථමවරට පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කිරිමට පියවර ගත් බව මෙම නිවේදනයේ සඳහන්.

ඒ අනුව විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත වාර්තා කරන ලද පුරප්පාඩු 44,568 ක් සදහා දිවයින පුරා සියලු සිසුන්ට ජාතික පාසල් වෙත අයදුම් කිරිමේ අවස්ථාව සලසා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එමෙන්ම සෑම වසරක මෙන්ම මෙවරද සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු ලබන රජයේ සේවකයින්ගේ දරුවන් වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද අධ්‍යයන හා අනධ්‍යයන සේවකයින්ගේ දරුවන් අතරමැදි ශ්‍රේණි සදහා ඇතුලත් කිරිම සිදුකෙරෙන බවත්, 38 ඇල ඉරක් 2019 චක්‍රලේඛය අනුව ළමා නිවාස වල සිටින දරුවන්ට ආසන්නතම ජාතික පාසලට ඇතුලත් වීමට අවස්ථාව ලබාදීමට පියවර ගත් බවත් නිවේදනයේ සඳහන්.

ඊයේ (28) දිනයේදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇත්තේ එවැනි ලිපියක් බවත් පාසලකට සිසුවෙකු ඇතුලත් කර ගැනිමෙන් පසු තමා වෙත ඒ බව වාර්තා කරන ලෙස විදුහල්පතිවරයාට දැන්වීමට අමාත්‍යංශයේ ලේකම්වරයාට රාජකාරිමය වශයෙන් බලතල පවතින බවත් මෙහි දැක්වෙයි.

***************************************

වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ කළ කැණීමක් ගැන පරික්ෂණ අරඹයි

(29.10.2019 – 16:28 +0530 – sinhala.adaderana.lk)

වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවස තුළ කිසියම් පිරිසක් සිදුකළ රහසිගත කැණීමක් සම්බන්ධව රජයේ රස පරික්ෂකවරයාගේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් විශේෂ පරික්ෂණයක් අද (29) ආරම්භ කර තිබුණි.

වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත නිවසේ අතුළත පොලවේ කොන්ක්‍රිට් තට්ටුව කිසියම් පිරිසක් දින කිපයකට පෙර කඩා එහි අඩි කිපයක් ගැඹුරට කැණීම් සිදුකර තිබීම සම්බන්ධව වනාතවිල්ලුව පොලීසිය මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව හා රජයේ රස පරීක්ෂකවරයා දැනුවත් කර තිබූ බව වාර්තා වෙයි.

ඒ අනුව අපරාධ පරිකෂණ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර රුෂාන් ප්‍රනාන්දු මහතා 29 දින දහවල් අදාල ස්ථානයට පැමිණ පරික්ෂණ ආරම්භ කර තිබුණි.

මෙයට සමගාමිව අපරාධ පරික්ෂණ දේපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක්ද මෙම පරික්ෂණ සඳහා එක්වි සිටි බව අද දෙරණ වාර්තාකරු පවසයි.

වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙම වසරේ ජනවාරි 16 දින අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කන්ඩායමක් සොයා ගෙන තිබු අතර එහිදි සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් පසුව අවස්ථා කිපයකදී මෙම ඉඩමේ තිබි ගිනි අවි සහ තවත් දෑ අපරාධ පරික්ෂණ දේපාර්තුමේන්තුව සොයා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් අදාල නිවස හා අවට පිළිබඳව රජයේ රස පරික්ෂක වෙනුවෙන් පැමිණි නිලධාරින් ද පරික්ෂණයක් සිදුකර එහි තිබු ඇතැම් සාම්පල ලබා ගැනීම සිදුවන ආකාරය දැකගත හැකි වූ බව අප වාර්තාකරු පවසයි.

මෙම අවස්ථාවට වනාතවිල්ලුව පොලිසියේ නිලධාරින් සමග පුත්තලම මුලස්ථාන පොලීසියේ අපරාධ ස්ථාන නිලධාරින්ද එක්ව තිබුණි ෴

***************************************

සුදුවෑන් සංස්කෘතියේ පියවරු හා බාප්පලා ගැන බන්දුලගෙන් විවරණයක්

(29.10.2019 – 18:24 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත කෘතියක් අද (29) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේදී එළිදැක්විය.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත සුදු වෑන් සංස්කෘතිය හෙවත් ශිෂ්ටත්වයට එරෙහි අශිෂ්ටත්වය කෘතිය අද (29) එළිදැක්වීම සිදුකෙරුණි.

මෙහිදී අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, දේශපාලන වශයෙන් විවිධ අවලාද නැඟීමේ දී දිගින් දිගටම සුදුවෑන් සංස්කෘතියේ නිර්මාපකයා හා එහි පියවරු මෙන්ම බාප්පාවරුන් වශයෙන් ඒ චෝදනා සියල්ල නැවත කරකවා මේ යුගයට එල්ල කරන බවයි.

නමුත් සැබෑ පියවරු හා බාප්පාවරු ගැන මෙම කෘතිය තුළින් අවබෝධයක් ලබා ගත හැකි බවත් පැවසු මන්ත්‍රීවරයා, ඒ තුළින් රටේ අනාගතය පැහැබර කර ගැනීමට යම් පිටුවහලක් ලැබෙන ඇතැයි ද කියා සිටියේය.

මෙම අවස්ථාවට එක්වු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශෙයේ මහාචාර්ය පූජ්‍ය මාගම්මන පඤ්ඤානන්ද හිමියන් පවසා සිටියේ, අපි දන්න ඉතිහාසය තුළ ප්‍රථම වතාවට මෙම සංස්කෘතිය බිහි වීම තුළින් රට තුළ ජන නායකයින් ඝාතනය වු විට ජනතාව අත්පොළසන් නැඟුවේ මෙම සංස්කෘතිය බිහි කළ නායකයන් නිසා බව සියලු දෙනා දන්නා බවයි.

මේ අතර සභාව ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ, මෙම මැතිවරණයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව මිලියන 15.9 ක් බවයි.

එයින් මිලියන 6 ක් මෙම අශිෂ්ඨ යුගය ගැන කිසිදු අවබෝධයක් නොමැති බවත් පැවසු මන්ත්‍රීවරයා, සරලව පැවසුවහොත් ‘ප්‍රේමදාස යුගය’ කුමක් ද යන්න හෝ නොදන්නා බවත් කියා සිටියේය.

දේශාපලන වේදිකාවේ බොරු තුනක් ඇති බවත්, එකක් වන්නේ බොරු, සංඛ්‍යා ලේඛන බොරු හා පට්ටපල් බොරු යනුවෙන් පැවසු අලහප්පෙරුම මහතා, සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාව මුලිමනින්ම තුන්වන වර්ගයේ බොරුවලින් පිරී ඇතැයි ද පැවසීය.

ගෝඨාභය මහතාට අදාළ සුදුවෑන් කථාවත් එම තුන්වන වර්ගයේ බොරුවක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට එක් වු දේශපාලන විචාරක ගෙවිඳු කුමාරතුංග මහතා පවසා සිටියේ, සුදුවෑන් සංස්කෘතිය ගෝඨාභය මහතාගේ පෙළඹීමක් නම් 2010-2015 දක්වා සුදුවෑන් සිදුවීම් වාර්තා වී නැත්තේ ඇයිද යන්නයි.

ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් වන විට අහංකාර හමුදාපතිවරයෙක් ද සිටිය බව සඳහන් කර සිටි ඒ මහතා, දැනුත් ඝාතන සිදුවීම ගැන ප්‍රසිද්ධියේ කියන හමුදාපතිවරයෙක් ඒ කාලයේ සිටි බවත් පැවසීය.

එ.ජා.ප.ය විසින් ලසන්තගේ ඝාතනය සිදුවු විට, රනිල් වික්‍රමසිංහ හා ජෝෂප් මයිකල් දෙන්නාම පාර්ලිමේන්තුවේ කිව්වා මෙම ඝාතනය සරත් ෆොන්සේකා යටතේ ක්‍රියාත්මක වූ බව පැවසු බවත් කියා සිටි කුමාරතුංග මහතා, එම යුගයේ මෙවැනි සිදුවීම් තිබුණේ නම් සරත් ෆොන්සේකාට හමුදාපති තනතුර අහිමිවු පසුවත් ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් ලෙස සිටිය දී එවැනි සිදුවීම් නොමැති නම් පළමු සැකකරු විය යුත්තේ කවුරුන්ද යන්න මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

***************************************

එජාප ප්‍රබලයන් රැසක් ගෝඨාගේ වේදිකාවට එනවා – මහින්දානන්ද අලුත්ගමගේ

(29.10.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි දින කිපය තුළදි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රබලයන් කිපදෙනෙකු ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අද (29) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවති මාධ්‍ය හමුවක දි රෝහිත අබේගුණවර්ධන සහ පියල් නිශාන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ, ළඟදීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රැසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවට ගොඩවන බවයි.

මේ සියලු දෙනා රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වටා එක් වන බවත් කියා සිටි මන්ත්‍රිවරයා, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 57 ක පමණ ප්‍රතිශතයක් ඉදිරියෙන් සිටින බවත් පැවසීය.

මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා සියයට 31 ක පමණ ප්‍රතිශතයක සිටින බවත් එහි වෙනස සියයට 13 ක් බවත් කියා සිටි මන්ත්‍රීවරයා, මෙම ප්‍රමාණයෙන් සියයට 3 ක් හෝ 4 ක් ලබා ගැනීමට ඉදිරි දින කීපයේ වැඩ කරන බවත් සඳහන් කළේය.

පසුගිය දිනවල සරත් ෆොන්සේකා මහතා, ගෝඨාභය මහතාව එල්.ටී.ටී.ඊ බංකරයක් ඉදිරිපිටට ගෙනැවිත් ඝාතනය කළ යුතු බව පැවසු බවත් කියා සිටි මන්ත්‍රීවරයා, මෙවැනි කථා කරනු ලබන්නේ ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අමාත්‍යවරයා බවත් පැවසීය.

මෙම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ගෙන් ද ප්‍රශ්න විමසා සිටියේය.

ප්‍රශ්නය : මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරනවා කියලා රාවයක් යනවා?

දයාසිරි මහතා : විවිධ රාවයන් විවිධ අය යවනවා. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වෙලා තියෙනවා අවසන් මොහොතේ එතුමා ලවා වචනයක් කියවගන්න අසාවක් තියෙනවා.

මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසා සිටියේ, දැන් එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය වැඩි වී ඇති බවත්, සජිත් දිනුවොත් අගමැතිලා කිපදෙනෙක් පත්කරන්න ද යන්නේ යනුවෙන් මෙහිදී විමසා සිටියේය.

මෙම අවස්ථාවට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, එක්සත් ජාතික පක්ෂයේ රැළියකට සම්බන්ධ වු සීලරතන හිමියන්ගේ ප්‍රකාශයක් පෙන්වමින් උන්වහන්සේ ඉතා පැහැදිලි ලෙස ගෝඨාභය මහතා ජයගන්නා බවත් එය වැළැක්වීමට යම් කුමන්ත්‍රණ කරන බවත් පැවසීය.

***************************************

වෙන්නප්පුවෙන් සොයාගත් වධකාගාරය

(29.10.2019 – 19:26 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් කලක් තිස්සේ පවත්වාගෙන ගිය වධකාගාරයක තොරතුරු රැසක් අපට අනාවරණ විය.

මෙම තොරතුරු අනාවරණ වන්නේ වෙන්නප්පුව පොලීසිය පසුගියදා සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුරයි.

වෙන්නප්පුව පොලීසියට දර්ශන හමුවන්නේ ශානුක මදුෂාන් හෙවත් ‘ඕලු මරා’ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකතනය පරික්ෂා කළ අවස්ථාවේදී.

දිගු කලක් තිස්සේ පොලිසියටද හයිය පෙන්වමින් වෙන්නප්පුව සිරිගම්පළ ප්‍රදේශයේ මත් කුඩු ජාවාරමේ නිරතවන ඕලු මරා අත්අඩංගුවට ගැනෙන්නේ වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සිදු කළ විශේෂ මෙහෙයුමකදී.

ඒ හෙරෝයින් ග්‍රෑම් 12 ක් ද සමඟින්.

24 හැවිරිදි මොහු මනුෂ්‍ය ඝාතනයකට ද වරදකරුව සිරගත වූ අයෙකු වන අතර ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමද දිගු කළක් තිස්සේ සිදු කර තිබේ.

ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කරන පොලිසියට දැකගත හැකිවන්නේ ඕලු මරා විසින් සිරිගම්පල නිවසක වදකාරයක් පවත්වාගෙන යමින් තරුණයන් අමානුෂික වද බන්ධනයට ලක් කරන අයුරු කැමරාවේ සනිටුහන් විය.

පහරකෑමට ලක්වූවන් හෙම්බත් වී ඇඳ වැටී ඇති ආකාරයත් ඕලුමරා තම ජංගම දුරකතනයේ මෙලෙස සටහන් කරගෙන තිබේ.

ඕලු මරා නොහොත් ශානුක මදුෂාන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර මොහුගේ කල්ලියේ සෙසු පිරිස සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

එම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබා දෙන ලෙස වෙන්නපුව පොලිසීයේ ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා, මොහුගේ බලපෑම්වලට ලක් වූවන්ගෙන් ඉල්ලීමක් කරයි.

https://www.youtube.com/watch?v=ZuqybiBCOsQ#t=5

***************************************

රනිල් සජිත් රඟපාන්නේ රයිගමයයි ගම්පොලයයි චරිත දෙක – වෛද්‍ය ගුණදාස අමරසේකර

(29.10.2019 – 21:14 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විජාතික බලවේගවල මෙහෙයවීමෙන් රයිගමයා සහ ගම්පලයාගේ චරිත රඟදක්වමින් සිටින බව වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් අද (29) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය අමරසේකර මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් පවසා සිටියේ ඇමෙරිකාව ප්‍රමුඛ විජාතික බලවේග විසින් මෙහෙයවනු ලබන මෙම නාටකයේ සජිත් ප්‍රේමදාස මහතාට තමා ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් මෙන්ම බෞද්ධ නායකයෙකු ලෙස රඟ දක්වන චරිතයත්, තම දෑත් පිරිසිදු බව පවසමින් සජිත් ප්‍රේමදාස නගන චෝදනා ගනන් නොගෙන සිටීමේ චරිතය රනිල් වික්‍රමසිංහ මහතාට රඟ දැක්වීම සදහා ලබා දී ඇති බවයි.

මෙම මාධ්‍යහමුවේදී නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෛද්‍ය නිමල් කරුණාසිරි, සමාජ ක්‍රියාකාරිනී අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීහුද අදහස් පළ කළහ.

+++++++++++++++++++++

***************************************

සජිත් ජනපති නම්, තමන් අගමැති බව රනිල් කියයි

(30.10.2019 – 12:29 +0530 – hirunews.lk/sinhala)

සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අද (30) උදෑසන අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ අතර, රටේ ණය බර තවදුරටත් වැඩි කිරීමට ඉඩ දෙනවා ද නැද්ද යන්න ජනතාව විසින් තීන්දු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) මහරගම පැවති ජන හමුවකට එක්වෙමින්.

මෙහිදී අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියා සිටියේ තම රජයක, වගකිව යුතු තනතුරු සඳහා පිරිසිදු පුද්ගලයින් පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත්, රජයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද උදෑසන අරලියගහ මන්දිරයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවයි.

***************************************

සජිත් අන්තවාදය පරාජය කරන අපූරු ක්‍රමය – විමල් වීරවංශ (28-10-2019)

+++++++++++++++++++++

සජිත් තැපැල් ජන්දය ඉවර වෙනකම් ප්‍රත්පත්ති ප්‍රකාශනය එළියට නොදැමීමට හේතුව විමල් කියයි (28-10-2019)

+++++++++++++++++++++

රාජ්‍ය සේවකයෙකු ලෙස සේවය කළ, ඔවුන්ගේ ගැටළු හොදින් හදුනන ගෝඨාභය රාජපක්ෂයන් ජනපති කරවමු ! – විමල් වීරවංශ (28-10-2019)

***************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *