දැවැන්ත මඩ ප්‍රචාරයක් දියත් කිරීමට අමාත්‍ය මංගල සූදානමින් – සිංහලේ ජාතික සංවිධානය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• දැවැන්ත මඩ ප්‍රචාරයක් දියත් කිරීමට අමාත්‍ය මංගල සූදානමින් – සිංහලේ ජාතික සංවිධානය (විඩියෝ)

• වෛද්‍ය පාදෙනියගේ වැඩ තහනම් කිරීමට උත්සාහයක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (විඩියෝ)

• ගෝඨාභයට සහය පලකිරීමේ අරමුණින් විදෙස්ගත ශ්‍රමිකයින් පිරිසක් දිවයිනට (විඩියෝ)

• ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තබන බව අගමැති කියයි (විඩියෝ)

• සජිත් ප්‍රේමදාසගේ විදෙස් උපාධිය පහත් මට්ටමේ බොරුවක් – කෙහෙළිය රඹුක්වැල්ල (විඩියෝ)

• තැපැල් ඡන්දය හෙට – හයලක්ෂ පනස් නවදහසක් සූදානම් (විඩියෝ)

• ගෝඨාභයගේ ප්‍රමුඛ කාර්යය ගැන මහින්ද අමරවීර කියයි (විඩියෝ)

• ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රට සංවර්ධනය කරන බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි (විඩියෝ)

• මැතිවරණ කොමිෂන් සභාවෙන් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස්

• හැකිනම් ඇමතිකමෙන් ඉවත් කරන්නැයි වසන්ත සේනානායකගෙන් අභියෝගයක් (විඩියෝ)

• නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට ආරක්ෂක අංශ නිලධාරීන් අපක්ෂපාතීව ක්‍රියා කළ යුතුයි – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

• පන්සලේ රැස්වීමට මැතිවරණ කොමිසමෙන් උපදෙස් – ඥානසාර හිමි කන් ඇරෙන්න දෙසයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

දැවැන්ත මඩ ප්‍රචාරයක් දියත් කිරීමට අමාත්‍ය මංගල සූදානමින් – සිංහලේ ජාතික සංවිධානය

(30.10.2019 – 20:26 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරියේදී දැවැන්ත මඩ ප්‍රචාරයක් දියත් කිරීමට අමාත්‍ය මංගල සමරවීර මහතා සූදානමින් සිටින බව සිංහලේ ජාතික සංවිධානය පවසනවා.

කොළඹ අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියෝජිතයන් මෙම අනාවරණය සිදුකළා.

***************************************

වෛද්‍ය පාදෙනියගේ වැඩ තහනම් කිරීමට උත්සාහයක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

(30.10.2019 – 20:29 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති සම්පාදනයට දායක වුණේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගේ වැඩ තහනම් කිරීමට උත්සාහ දරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි නියෝජිතයින් මෙලෙස චෝදනා කර සිටියේ අද (30) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

ගෝඨාභයට සහය පලකිරීමේ අරමුණින් විදෙස්ගත ශ්‍රමිකයින් පිරිසක් දිවයිනට

(30.10.2019 – 20:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පලකිරීමේ අරමුණින් විදෙස්ගත ශ්‍රමිකයින් පිරිසක් දිවයිනට පැමිණියා.

මේ අතර, ගෝලීය ශ්‍රී ලංකා සංසදය අද (30) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ තමන් ගෝඨාභය රජපක්ෂ මහතාට සහය පළකරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් එංගලන්තයේ – ලන්ඩන් නුවර සිට ඊයේ (29) පස්වරුවේ පැමිණි මෙම විදේශගත ශ්‍රමික පිරිසට හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්.

***************************************

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තබන බව අගමැති කියයි

(30.10.2019 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අර්බුදයට තුඩුදී ඇති මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 480 ක්.

මේ අතර, අදාළ ප්‍රදානය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රසාදය පළ කර තිබෙනවා.

ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබා ගැනීමට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (29) හිමිව තිබෙනවා.

අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය කාලයේ රට තුළ පුළුල් සංවාදයක් පැවති අතර, විපක්ෂය ඇතුළු පාර්ශ්ව රැසක් චෝදනා කළේ අදාළ ගිවිසුම මගින් මෙරට ඉඩම් අයිතිය විදේශ සමාගම් සතු කිරීම සදහා නව පනතක් හඳුන්වාදීමට කටයුතු කරන බවටයි.

එමෙන්ම ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීමට බලය ලබාදෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීමට ද ජනාධිපතිවරයා මීට පෙර කටයුතු කළා.

කෙසේ වෙතත්, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වෙතින් ප්‍රදානය කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 480 ක මුදල ලබාගැනිම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් ඇමරිකාව සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ මෙම මුදල කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම, බස් සේවා නවීකරණය, ඓතිහාසික සිද්ධස්ථාන සංවර්ධනය කිරීම, ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම මෙන්ම ඉඩම් පරිපාලනය යන ව්‍යාපෘති සඳහා යොදාගත හැකි බවයි.

ව්‍යාපෘති යෝජනාවන් අනුව අධීක්ෂණය හා පාලනය කිරීමේ බලය ශ්‍රී ලංකාව සතු බවට ද එම නිවේදනයේ සඳහන්.

මේ අතර, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

මේ අතර, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්වයන් අදත් අදහස් පළ කළා.

+++++++++++++++++++++

අභිමානයක් නැති තණකොළ බුදින කැබිනට් එකේ ඉන්න උදවිය (MCC) ගිවිසුමට අනුමැතිය දුන්නා – පූජ්‍ය මැඳගොඩ අභයතිස්ස හිමි

(31.10.2019 – 00:22 +0530 – lankaleadnews.com)

ඇමෙරිකන් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම MCC – මඟින් ත්‍රිකුණාමලය වරාය අශ්‍රිතව අත්කර 33,000 ක ආයෝජන කලාපයක්, ත්‍රිකුණාමලය සහ කොළඹ වරායට සහ ගුවන්තොටුපළ යාකරමින් අක්කර ලක්ෂ 12 ක් ශ්‍රී ලංකාව ඇමරිකාවේ ‘දාස රාජ්‍යයක්’ බවට පත්කරමින් එම සමාගම් වලට ලබා දීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අභිමානයක් නැති තණකොල බුදින කැබිනට් මණ්ඩලය නියෝජනය කරන උදවිය මෙම ගිවිසුමට අනුමැතිය දීමට ඊයේ (29) දින කටයුතු කළ බව උන්වහන්සේ පවසා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එම ඉඩම් සමාගම් විසින් මිලදී ගැනීම සඳහා රටේ ඉඩම් නීති, කම්කරු නීති, ආයෝජන නීති, විනිමය නීති ආදී වශයෙන් සමස්ථ නීති පද්ධතියක් වෙනස් කිරීමට සැලසුම් සකස්කොට ඇති බවත් එම ගිවිසුම මගින් ඇමරිකානු හමුදාවට අවශ්‍ය සැපයුම් ලබාදිම හෙවත් ඇමරිකානු හමුදාවේ සැපයුම් මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරිමට ආණ්ඩුව කටයුතු කර ඇති බවට උන්වහන්සේ චෝදනා කර සිටියහ.

https://www.facebook.com/LankaLeadNews/videos/425101228180606/

***************************************

සජිත් ප්‍රේමදාසගේ විදෙස් උපාධිය පහත් මට්ටමේ බොරුවක් – කෙහෙළිය රඹුක්වැල්ල

(30.10.2019 – 20:10 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විදෙස් උපාධිය පහත් මට්ටමේ බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අද (30) පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද එක්ව සිටියා.

***************************************

තැපැල් ඡන්දය හෙට – හයලක්ෂ පනස් නවදහසක් සූදානම්

(30.10.2019 – 19:01 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම හෙට (31) ආරම්භ වනවා.

ඒ අනුව හෙට (31) සහ අනිද්දා (01) දිනයේදී සුදුසුකම් ලබා ඇති සියලුම රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මීට අමතරව පොලීසිය, දිස්ත්‍රික් සහ මැතිවරණ ලේකම් කාර්යාලවල සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් හට නොවැම්බර් 4 සහ 5 යන දිනවල සිය සේවා ස්ථානවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයන්ට ලබන 7 වනදා අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ටද තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා වෙන් කර ඇත්තේ නොවැම්බර් 7 වනදායි.

හෙට (31) පැවැත්වීමට නියමිත තැපැල් ඡන්ද විමසීම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර අවසන්. මෙවර තැපෑලෙන් ඡන්දය සළකුණු කිරීමට හයලක්ෂ පනස් නවදහස් පන්සිය පහළොවක රාජ්‍ය නිලධාරීන් පිරිසක් සුදුසුකම් ලබා සිටිනවා.

මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ තැපැල් ඡන්ද සළකුණු කරන අවස්ථාවන් නිරීක්ෂණය සඳහා එක් සහතික කිරීමේ නිලධාරී කාර්යාලයක් වෙත අපේක්ෂකයෙකු වෙනුවෙන් එක් නියෝජිතයෙකු සහ නිරීක්ෂණ සංවිධානයක් වෙනුවෙන් එක් නිරීක්ෂකයෙකු පත් කළ හැකි බවයි.

අදාළ සහතික කිරීමේ නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු කිසිවෙකුටත් නිරීක්ෂණ කටයුතුවල නිරතවිය නොහැකි බවද කොමිසම ප්‍රකාශ කළා.

යම් තැපැල් ඡන්ද සළකුණු කිරීමේ ස්ථානයක ඡන්දය දීමට බාධාවන හෝ බලපෑම් සිදුවන තත්ත්වයක් මතුවුවහොත් එම ස්ථානයේ ඡන්ද විමසීම අවලංගු කිරීමට සිදුවන බවද මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.

මේ අතර ලේක් හවුස් ආයතනයට එරෙහිව සිදුකළ පැමිණිල්ලක් අනුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් අද (30) එහි පැමිණ තිබුණා.

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එම ආයතනයේ මුද්‍රණ යන්ත්‍රවලින් අත්පත්‍රිකා මුද්‍රණය කරන බවටයි පැමිණිල්ල ලැබී ඇත්තේ.

***************************************

ගෝඨාභයගේ ප්‍රමුඛ කාර්යය ගැන මහින්ද අමරවීර කියයි

(30.10.2019 – 18:57 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර ගණුදෙනුවට චෝදනා එල්ලවී සිටින පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාකිරීම ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තම ප්‍රමුඛ කාර්යයක් ලෙස සළකනු ඇති බව, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා.

රාජගිරිය ප්‍රදේශයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

***************************************

ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රට සංවර්ධනය කරන බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි

(30.10.2019 – 18:52 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රට සංවර්ධනය කරා ගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ අද (30) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් හඟුරන්කෙත ප්‍රදේශයේදීද අද (30) තවත් ජන රැළියක් පැවැත්වුණා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එම ජන රැළියට එක්වුණා.

***************************************

මැතිවරණ කොමිෂන් සභාවෙන් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස්

(30.10.2019 – 18:28 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිල වාහන පළාත් පාලන ආයතන සතු වාහන, නිල නිවාස වෙනත් උපකරණ සහ කාර්යමණඩලය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා .

මෙවෙනි වරදක් කළහොත් එය රාජ්‍ය දේපළ අවභාචිතා කිරීමක් ලෙස සලකා ක්‍රියාකරන බවයි කොමිසම පවසන්නේ .

පළාත් පාලන ආයතන සතු කොඩි කණු වේදිකා සැරසිලි යනාදිය ඇතුළු රාජ්‍ය දේපළ කිසියම් අනීතික දේශපාලන ප්‍රවර්ධනය සඳහා යොදාගත නොහැකි නමුත් පක්ෂ, විපක්ෂ බේදයකින් තොරව එම දේපළ නියමිත ගාස්තු යටතේ කුලියට ලබාදිය හැකි බවයි කොමිසම පෙන්වාදෙන්නේ .

දේශපාලන පක්ෂ, අපේක්ෂක රැස්වීම්, ප්‍රචාරක පෝස්ටර්, පා ගමන්, අත්පත්‍රිකා බේදීම් යනාදියට අදාළ නීති උල්ලංගනය කිරීමෙන් වැලකී සිටින ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් මැතිවර්ණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා සිටිනවා. එවැනි පැමිණිලි ලැබි ඒවා සනාථ උවහොත් අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට එරහිව නීති ක්‍රියාත්මක කරන බවද ඒ මහතා දැනුම් දෙනවා .

මේවැනි අකටයුතුකම පිළිබද නීතිය තදින් ක්‍රියත්මක කරණ ලෙසද ඔහු පොලිසියට දැනුම් දෙනවා ෴

***************************************

හැකිනම් ඇමතිකමෙන් ඉවත් කරන්නැයි වසන්ත සේනානායකගෙන් අභියෝගයක්

(30.10.2019 – 15:54 +0530 – hirunews.lk/sinhala)

තමන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බව අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (30) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.

කොම්පඤ්ඤ වීථිය ප්‍රදේශයේ අද (30) පස්වරුවේ පැවති මෙම විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ හැකිනම් තමන් එම ධුරයෙන් ඉවත් කර පෙන්වන ලෙසටයි.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවත්, ඉදිරියේදී ඔහු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන්ද ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ (29) ප්‍රකාශ කළා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (30) මෙම අදහස් පළ කළේ.

***************************************

නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකට ආරක්ෂක අංශ නිලධාරීන් අපක්ෂපාතීව ක්‍රියා කළ යුතුයි – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(30.10.2019 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කිසිදු ආරක්ෂක සාමාජිකයෙකුට හෝ පොලිස් නිලධාරියෙකුට ඡුන්දය ප්‍රකාශ කිරීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරතවීමේ අයිතියක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ සක්‍රිය සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාම ලබා ඇති ආරක්ෂක හමුදා සාමාජිකයින් හා පොලිස් නිලධාරීන් සිය නිල ඇඳුමින් සැරසී සිටින ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශපාලන ප්‍රචාරක කටයුතුවල යෙදීම සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු බවයි.

දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් පක්ෂ හෝ අපේක්ෂකයින් ප්‍රවර්ධන කාර්යයන්වල නිරතවීම දඩුවම් ලැබිය හැකි මෙන්ම දඩුවම් ලැබිය යුතු වරදක් බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට යුද, නාවික හා ගුවන් හමුදා සාමාජිකයින් හා පොලිස් නිලධාරීන් අපක්ෂපාතීව ක්‍රියාකළ යුතු බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ෴

***************************************

පන්සලේ රැස්වීමට මැතිවරණ කොමිසමෙන් උපදෙස් – ඥානසාර හිමි කන් ඇරෙන්න දෙසයි

(29.10.2019 – colombotoday.com)

කෑගල්ල වට්ටාරම රජමහා විහාරයේ, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් පැවතී රැස්වීමකදී කතා කල යුතු ආකාරය පිළිබඳව නිර්දේශ කෑගල්ල සහකාර තේරීම්භාර නිලධාරියා විසින් එම විහාරස්ථානයට ඒවා තිබෙනවා.

රැස්වීමට පැමිණි ඥානසාර හිමිගේ අතට එය පත්වීමෙන් පසුව මැතිවරණ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය උන්වහන්සේගේ දැඩි විවේචනයට ලක්වුණු අතර උපදෙස් පත්‍රිකාව ඉරා දැමුවා.

එම වීඩියෝව :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *