දේශපාලන පක්ෂ 17 ක් එක්ව ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ පිහිටුවීමේ ගිවිසුමට අත්සන් තබයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• දේශපාලන පක්ෂ 17 ක් එක්ව ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ පිහිටුවීමේ ගිවිසුමට අත්සන් තබයි (විඩියෝ)

• දයාන් ජයතිලක ජනාධිපති අපේක්‍ෂකයෙකුට කඩේ යනවා.. තානාපතිකම ගලවනු.. – මැතිවරණ නිරීක්‍ෂකයෝ කියති..

• මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය හමුවක් (විඩියෝ)

• සමෘද්ධි සහතිකපත් සහිත ලිපි ගොනුව මැතිවරණ කොමිසමෙන් හොරකම් කරලා

• රජය අත්සන් කිරිමට සූදානම් වන MCC ගිවිසුම ගැන මහින්දගෙන් නිවේදනයක්

• මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්හිටුවන්න – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ

• ලංකා භූමියෙන් 18% ඇමරිකාවට දෙන MCC ගිවිසුමට කැබිනට් අනුමැතිය දුන්නට ඇමරිකාව ප්‍රීතිය පල කරයි !

• රාජ්‍ය ව්‍යාපාර පුද්ගලික අංශයට විකුණන්න බැරිවෙන්න අපි නීති ගේනවා – ගෝඨාභය රාජපක්ෂ

• ඡන්ද පෙට්ටිය වෙනස් වෙයි (විඩියෝ)

• ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයක් තුළින් දුගීභාවය රටින් තුරන් කරනවා – විපක්ෂ නායක (විඩියෝ)

• සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බවට ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් ප්‍රකාශයක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

දේශපාලන පක්ෂ 17 ක් එක්ව ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ පිහිටුවීමේ ගිවිසුමට අත්සන් තබයි

(31.10.2019 – 10:30 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 17 ක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර සිදු කර තිබේ.

කොළඹ පදනම් ආයතනයේ පැවැත්වෙන මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු එම දේශපාලන පක්ෂවල නායකයින් සහභාගිවී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ 17 ක් මෙම ගිවිසුමට අස්සන් තබා තිබේ.

ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඉදිරි මැතිවරණවලදී මෙම සන්ධානය පුටුව ලකුණ යටතේ තරග වැදීමට නියමිත බවද වාර්තා වෙයි.

Posted by Sri Lanka Podujana Peramuna on Wednesday, October 30, 2019

+++++++++++++++++++++

+++++++++++++++++++++

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් නව සන්ධානයේ නව නායකයන් වෙයි.

***************************************

දයාන් ජයතිලක ජනාධිපති අපේක්‍ෂකයෙකුට කඩේ යනවා.. තානාපතිකම ගලවනු.. – මැතිවරණ නිරීක්‍ෂකයෝ කියති..

(31.10.2019 – 08:02 +0530 – lankacnews.com)

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතාට එරෙහිව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරන්නේ ඔවුන් සඳහන් කරන්නේ දයාන් ජයතිලක මහතා රාජතාන්ත්‍රිකයෙකුට නුසුදුසු ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරයේ යෙදෙන බවය.

ඔහුගේ සමාජ ජාල ගිණුම් මගින් ජනාධිපති අපේක්ෂක ප්‍රවර්ධනය කරන බවද නිවේදනයේ සදහන්ය.

***************************************

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය හමුවක්

(31.10.2019 – 11:57 +0530 – sinhala.adaderana.lk)

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එහි සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ එම මාධ්‍ය හමුව මේ වන විට පැවැත් වෙයි.

🔴LIVE: මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මාධ්‍ය හමුව

Posted by Ada Derana LIVE on Wednesday, October 30, 2019

***************************************

සමෘද්ධි සහතිකපත් සහිත ලිපි ගොනුව මැතිවරණ කොමිසමෙන් හොරකම් කරලා

(31.10.2019 – 10:41 +0530 – lankadeepa.lk)

සමෘද්ධියේ හොරට පත්විම් දීම සඳහා සැකසූ සහතික පත් සහිත ලිපි ගොනුව මැතිවරණ කොමසාරිස් දෙපාර්තුමේන්තු නිලධාරින් අත්අඩංගුවට ගත්ත ද එය මැතිවරණ කොමිසමෙන් සොරකම් කර ඇති බව එස්. බි. දිසානායක මහතා පැවසීය.

එම ලිපි ගොනුවේ හොරට සමෘධිය දීම සඳහා හොරට සැදූ සහතික පත් විශාල ප්‍රමාණයක් ද පරණ දින යොදා පත්වීම් දීම සඳහා සැකසු පත්විම් ලිපි විශාල ප්‍රමාණයක් ද තිබූ බව දිසානායක මහතා කීය.

කිවුල්ළිඳ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී අද (31) පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී දිසානායක මහතා මෙසේ පැවසීය.

සමෘද්ධි කොමසාරිස් ජනරාල් කරන වැඩේ නීතිවිරෝධි බවත් මේ සම්බන්ධව ඔහුට වගකීමට සිදුවන බවත් හෙතෙම කීය.

සමෘද්ධි ව්‍යාපාරය ආසියාවේ තිබෙන ශක්තිමත් ව්‍යාපාරයක් බවත් එය සෑදී ඇත්තේ දුප්පතුන්ගේ ලෙයින් දාඩිය මහන්සියෙන් හම්බකර ජනතාවගේ මුදල් වලින් සැදුම් ලත් සමෘධිය අග්‍රාමාත්‍යවරයා මේ රටේ සිටින ලොකුම ගිනිපොලී කාරයා වන දයා ගමගේ මහතාට බාරදී ඇති බවද ප්‍රකාශ කළේය.

***************************************

රජය අත්සන් කිරිමට සූදානම් වන MCC ගිවිසුම ගැන මහින්දගෙන් නිවේදනයක්

(31.10.2019 – 16:06 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය (MCC) සමග රජය අත්සන් කිරිමට සූදානම් වන ගිවිසුමේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සැකයක් මතුවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ පහත කරුණු සඳහන්ව ඇත :

“ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තින්දුවක් ගෙන ඇත.

මේ ගිවිසුම ජනාධිපතිරණයට පෙර අත්සන් කිරීමට පියවර ගන්නා බවටත් අගමැතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපතිවරණයට තව ඇත්තේ සති දෙකක් වැනි කාලයකි.

තීරණාත්මක මැතිවරණයකට දින ගණනක් තිබියදී විදෙස් රටක් සමග ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුමකට එළඹිය යුතු නැති බව අපි තරයේ ප්‍රකාශ කර සිටිමු.

එවැනි ගිවිසුමක් ලංකාආණ්ඩුව අත්සන් කරනවානම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුවය.

මෙකී ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් දන්නේ නැත.

මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ යුතු බවත් අපි ප්‍රකාශ කර සිටිමු.

මේ යෝජිත ගිවිසුම මහාමාර්ග සංවර්ධනයට හා ඉඩම් ප්‍රතිසංස්කරණයට අදාල එකක් බව කියා සිටියද එයින් හරියටම සිදුවන්නේ කුමක්ද යන්න ආණ්ඩුව ජනතාවට පැහැදිලි කර නැත.

මෙයින් ලංකාවට සෙතක් සැලසෙන්නේ නම්, මේ සම්බන්ධයෙන් මෙතරම් රහස්‍ය බවක් පවත්වාගෙන යන්නේ කුමටද යන්න ගැන අපට සාධාරණ සැකයක් ඇත.

ජනතාවට හොරෙන් හා පාර්ලිමේන්තුවට හොරෙන්මේ කිසිසේත්ම ගිවිසුම් අත්සන් නොකළ යුතු බව අපි ආණ්ඩුවට තරයේ ප්‍රකාශ කර සිටිමු.”

+++++++++++++++++++++

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්හිටුවන්න – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ

(31.10.2019 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තැබිම අත්හිටුවන්නැයි ඉල්ලා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය මැතිවරණ කොමිසම් සභාව වෙත අද (31) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, මෙම ගිවිසුම මගින් මෙරට ඉඩම් අයිතිය විදේශ සමාගම් සතු වන බවත් එමගින් ප්‍රදානය කෙරෙන ඩොලර් මිලියන 480 ක මුදල මැතිවරණ කටයුතු සදහා යොදා ගැනීමට ආණ්ඩුවේ උත්සහයක් පවතින බව පවසමින්.

මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඉදිරිපත් කල අතර, පසුගිය දා ඊට අනුමැතිය හිමිවුණා.

ඒ අනුව මෙම ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් තබන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ෴

+++++++++++++++++++++

ලංකා භූමියෙන් 18% ඇමරිකාවට දෙන MCC ගිවිසුමට කැබිනට් අනුමැතිය දුන්නට ඇමරිකාව ප්‍රීතිය පල කරයි !

(31.10.2019 – colombotoday.com)

මෙරට භූමියෙන් හෙක්ටයාර් ලක්ෂ 12 ක භූමි ප්‍රමාණයක් ‘ඇමරිකන් මිලේනියන් කම්පැක්ට්’ ව්‍යාපෘතියට ලබා දීමට අදාලව ගිවිසුමට අනුමැතිය ලබා දීම සදහා ශ්‍රී ලංකා රජය ගත් තීරණය ඇමරිකානු රජයේ පැසසුමට ලක්වී තිබෙනවා.

අදාළ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන අතර, ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක ආධාර අත්තිකාරමක් ශ්‍රී ලංකා රජයට ලබා දිමට නියමිතය.

අදාල ව්‍යාපෘතියට අනුමැතිය ලබා දි එම ආධාර මුදල ලබා ගැනීමට එකගත්වය පල කිරීම පිළීබදව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සිය ප්‍රසංශාව පලකර තිබේ.

***************************************

රාජ්‍ය ව්‍යාපාර පුද්ගලික අංශයට විකුණන්න බැරිවෙන්න අපි නීති ගේනවා – ගෝඨාභය රාජපක්ෂ

(31.10.2019 – 15:36 +0530 – sinhala.adaderana.lk)

තම පාලනයක් යටතේ වෘත්තිකයින්ගෙන් පිට කිසිදු පුද්ගලයෙකුට රාජ්‍ය ආයතනවල තනතුරු ලබානොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (30) මහරගම පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ (30) පස්වරුවේ මහරගම නගර මධ්‍යයේදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය :

“මම අවුරුදු 20 ක් හමුදාවේ සේවය කරලා, අවුරුදු 10 ක් ආරක්ෂක ලේකම් හැටියට ඉදලා අවුරුදු 30 ක් රාජ්‍ය සේවකයෙකු ලෙස සේවයවක් කරලා තියෙනවා.

මම දන්නවා රාජ්‍ය සේවකයාගේ තියෙන අපහසුකම්.

නගර සංවර්ධන අධිකාරියේ ඉන්න ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, නගර නිර්මාණ ශිල්පීන්, මේ අය තමයි කොළඹ නගරය හැදුවේ. පිටින් ඇවිල්ලා නෙවෙයි.

ඔවුන් කළ රාජකාරිය අපි අගේ කළා. ඔවුන්ට නායකත්වයක් දුන්නා.

අපි ඔවුන්ට දුන්නු ඉලක්ක දේශපාලන ඉලක්ක නෙවෙයි. රට වෙනුවෙන් මව් බිම වෙනුවෙන්.

ඔවුන් ඒක තේරුම් ගත්තා..

ඒ නිසා තමයි ඔවුන් දිවා රෑ වැඩ කරලා කොළඹ නගරයේ ඇති කළේ.

කිසිම හැකියාවක් නැති පුද්ගලයන්, සභාපතිවරු, අධ්‍යක්ෂක මණ්ඩලයට දාන නිසා මේවා අද පාඩු ලබනවා.

අපේ රජයක් යටතේ අපි මේවාට දාන්නේ වෘත්තිකයන් විතරයි, දක්ෂයන් විතරයි. ඒ අයට අපි ඉලක්ක ලබා දෙනවා. ඒ ඉලක්කවලට වැඩ කරන්න අපි ඒ අයට කාලයක් ලබා දෙනවා.

මේවා ලාබ ලබන ආයතන බවට පත් කරනවා.

රාජ්‍ය ව්‍යාපාර පුද්ගලික අංශයට විකුණන්න බැරිවෙන්න අපි නීති ගේනවා.”

***************************************

ඡන්ද පෙට්ටිය වෙනස් වෙයි

(31.10.2019 – 14:58 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කරන ආකාරය සහ ඡන්දය දැමීම සඳහා භාවිතා කරන ඡන්ද පෙට්ටි සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් දැනුවත් කිරීමක් සිදු කර ඇත.

අද (31) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ පැවසීය :

“අපේ තියෙන ඡන්ද පෙට්ටිවලින් ලී සම්ප්‍රදායි ඡන්ද පෙට්ටිය දැමිය හැකි උපරිම ඡන්ද පත්‍රිකා ප්‍රමාණය 415 ක් පමණයි.

එහෙත් ලංකාවේ 400 අඩු ඡන්ද පොළවල් ඇත්තේ 350 ක් පමණයි.

12,600 කට ආසන්න ඡන්ද පොළවල් ප්‍රමාණයකින් 350 ක්. 350 කට වැඩි හැම ඡන්දපොළක් සඳහා ඡන්ද පෙට්ටි 2 ක් ගෙනියන්න වෙනවා.

සහයකයෝ දෙනෙක්, 1200 ට 3 ක්, 1600 ට 4 ක්, 2000 ට 5 ක්, 2400 ට 6 ක් සහ ඊට වැඩි 7 ක්. අපේ 2,800 ඡන්ද පොළවල් තියෙනවා.

ඒක නිසා විදේශ රටවල තියෙන විශේෂිත ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ගැන හොයලා බැලුවාම ඒවයේ අඩුම මුදල රුපිල් 8000 යි 6000 යි අතර වෙනවා.

ඒ ඡන්ද පෙට්ටි 12,000 ගෙනාවනම් ඩොලර් 3,05,000 ක් යනවා.

ලංකාවෙත් ප්‍රසිද්ධ ආයතන 4 කින් ප්ලාස්ටික් පෙට්ටි ගෙනත් පාවිච් කරන්න බැලුවා නමුත් ඒ සඳහත් අඩුම එකකට රුපියල් 2,500 ක් 3,000 ත් අතර අගයක් යනවා.

ඡන්ද 2,000 ක් 4,000 ක් දාන්න පුළුවන් පෙට්ටියක් ගන්න ලංකා මුදලින් රුපියල් 6,000 ක් යනවා. ඒ නිසා විශේෂයෙන් වතුර උරා නොගන්නා ලෙස සැකසු කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කරන්න අපි තීරණය කරා.

යාපනය, වන්නි, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල තමයි වැඩිපුරම 400 යත් 800 යත් අතර ඡන්ද පොළවල් තියෙන්නේ ඒ සඳහා මෙම ඡන්ද පෙට්ටි හාවිතා කරනවා.

මීට පෙර ආනයනය කරල ලද ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි 3,000 ක් තිබුණා එවාත් යවනවා ඒ දිස්ත්‍රීක්කවලට.

ඡන්ද 800 යේ සිට 1600 දක්වා ඇති ඡන්ද මධ්‍යස්ථාන වෙත එක් මධ්‍යම ප්‍රමාණයේ කාඩ්බෝඩ් පෙට්ටියක්ද, ඡන්ද 1600 යේ සිටි ඉහළට ඇති ඡන්ද මධ්‍යස්ථාන සඳහා විශාල ප්‍රමාණය් කාඩ්බෝඩ් පෙට්ටියක් භාවිතා කරනවා.”

***************************************

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයක් තුළින් දුගීභාවය රටින් තුරන් කරනවා – විපක්ෂ නායක

(31.10.2019 – 20:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ තම රජයක් තුළින් දුගීභාවය රටින් තුරන් කිරීමට පියවර ගන්නා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති පාක්ෂික හමුවකදී.

‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නියෝජිත සමුළුව පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

***************************************

සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බවට ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

(31.10.2019 – 20:33 +0530 – hirunews.lk/sinhala)

ආර්ථිකය නගා සිටුවීමට නිවැරදි වැඩපිළිවෙලක් සමඟ සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ ඊයේ (30) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම ජන හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.

***************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *