එම්.සී.සී. ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසමට පැමිණිලි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• එම්.සී.සී. ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසමට පැමිණිලි (විඩියෝ)

• මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්හිටුවන්න – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ

• මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට පාර්ශ්ව රැසකින් විරෝධය (විඩියෝ)

• ඇමරිකානු එම්.සී.සී. ගිවිසුමට මහාසංඝරත්නය ඇතුළු පාර්ශව රැසකින් විරෝධය (විඩියෝ)

• ඇමරිකාවේ සහශ්‍ර අභියෝග ආයතනය ලබාදෙන මුදල ගැනීමෙන් ස්වෛරීභාවයට හානිවෙනවා – ශ්‍රී ලංකා නීතීඥ සංගමය

• මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කරන්න එපා – මෛත්‍රීපාල සිරිසේන

• ජන මතය නොවිමසා ගිවිසුම් වලට එළබෙන්න එපා – MCC ගිවිසුම පිළිබඳ කාදිනල්තුමාගෙන් විශේෂ නිවේදනයක්

• අසත්‍ය මඩ පෝස්ටර් හරහා මාධ්‍ය නිදහසට සිදුකරන බලපෑම සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් (විඩියෝ)

• ඡන්දය භාවිතා කිරීමට, විදේශගත වී සිට පැමිණෙන ජනතාවට මැතිවරණ කොමිසමෙන් උපදෙසක් (විඩියෝ)

• ඡන්දෙ දාලා ඡායාරූප ෆේස්බුක් දැම්මොත් අවුරුදු 3 ක් හිරගෙට – මැතිවරණ කොමිසමේ සභාපති (විඩියෝ)

• රාජ්‍ය ආයතනවල මුල්පුටු වෘත්තිකයින්ට – ගෝඨාභය රාජපක්ෂ (විඩියෝ)

• හොරොයින් පැකට්ටුවක් ලඟ තබාගත් පාසල් සිසුවියක් පොලිසියට කොටුවෙයි..

+++++++++++++++++++++++++++++++++++

එම්.සී.සී. ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවන්නැයි ඉල්ලා මැතිවරණ කොමිසමට පැමිණිලි

(31.10.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට පෙර අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවන්නැයි ඉල්ලා භික්ෂූන් වහන්සේ, දේශපාලනඥයින් සහ විවිධ සංවිධාන නියෝජනය කරමින් අද (31) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කළා.

ජාතික විද්වත් භික්ෂු සංසඳය, නව සිංහලේ ජාතික සංවිධානය, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය, බෞද්ධ තොරතුරු කේන්ද්‍රය, දේශ ප්‍රේමී එක්සත් ජාතික පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණ පැමිණිළි භාර දුන්නා.

+++++++++++++++++++++

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්හිටුවන්න – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ

(31.10.2019 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තැබිම අත්හිටුවන්නැයි ඉල්ලා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය මැතිවරණ කොමිසම් සභාව වෙත අද (31) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, මෙම ගිවිසුම මගින් මෙරට ඉඩම් අයිතිය විදේශ සමාගම් සතු වන බවත් එමගින් ප්‍රදානය කෙරෙන ඩොලර් මිලියන 480 ක මුදල මැතිවරණ කටයුතු සදහා යොදා ගැනීමට ආණ්ඩුවේ උත්සහයක් පවතින බව පවසමින්.

මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඉදිරිපත් කල අතර, පසුගිය දා ඊට අනුමැතිය හිමිවුණා.

ඒ අනුව මෙම ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් තබන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට පාර්ශ්ව රැසකින් විරෝධය

(31.10.2019 – 18:54 +0530 – sinhala.adaderana.lk)

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම කඩිමුඩියේ අස්සන් නොකළ යුතු බවත් එයින් හරියටම සිදුවන්නේ කුමක්දැයි ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අතර තවත් පාර්ශ්ව රැසකින් මෙම ගිවිසුමට අද විරෝධය පළ වුණි.

අමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානය ලබාගැනීම සදහා කැබිනට් අනුමැතිය හිමිවූයේ පසුගිය අඟහරුවාදායි.

මෙම ව්‍යාපෘතිය යටතේ, මෙරට දුර්වල ප්‍රවාහන යටිතල පහසුකම් සහ දුර්වල ඉඩම් පරිපාලනය විසදීම, ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ භෞතික මාර්ග ජාල වැඩිදියුණු කිරීම, උග්‍ර රථවාහන අවහිරතා අවම කිරීම, ඉඩම් අයිතිවාසිකම් පිළිබද තොතුරු ලබාගැනීම දියුණු කිරීම සදහා රජයේ දැනට ක්‍රියාත්මක උත්සාහයන් පුළුල් කිරීම, ඉඩම් ක්‍රියාකාරම් තුළින් රජයේ ඉඩම් ඉන්වෙන්ටරියන් සකස් කිරිම, ඉඩම් ඔප්පු වාර්තා ඩිජිටල්කරණය කිරිම යන ව්‍යාපෘතින් සදහා මුදල් ආයෝජනය කරනු ඇති.

මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ යෝජිත ගිවිසුම මහාමාර්ග සංවර්ධනයට හා ඉඩම් ප්‍රතිසංස්කරණයට අදාල එකක් බව කියා සිටියද එයින් හරියටම සිදුවන්නේ කුමක්දැයි ආණ්ඩුව ජනතාවට පැහැදිලි කර නොමැති බවයි.

මෙයින් ලංකාවට සෙතක් සැලසෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් මෙතරම් රහස්‍යබවක් පවත්වාගෙන යන්නේ කුමකටද යන්න ගැන සාධාරණ සැකයක් මතුවන බව විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන්.

එසේම මැතිවරණයට දින ගණනක් තිබියදී විදෙස් රටක් සමග ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුමකට එළඹිය යුතු නැති බවත් , එවැනි ගිවිසුමක් ලංකා ආණ්ඩුව අත්සන් කරන්නේ නම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුව බවත් ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

මේ අතර අද උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සමඟ උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් මිලේනියම් කෝපරේෂන් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුණි.

එසේම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අස්සන් කිරිමට එරෙහිව පාර්ශව රැසක් අද මැතිවරණ කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කළේය.

ඒ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ සංශෝධන මහජනතාව හමුවේ මෙතෙක් නිරාවරණය කර නොමැති බවයි.

එමෙන්ම මෙම ගිවිසුම අස්සන් කිරිමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඇති කළ යුතු බවත්, එතෙක් ගිවිසුම අස්සන් නොකළ යුතු බවත් තම ස්ථාවරය වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ප්‍රදානය සම්බන්ධයෙන් 2018 ඔක්තෝබර් මසදි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සහ මෙරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡා පැවති බවයි.

එම නියෝජිත කණ්ඩායමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු මෙන්ම අදාළ අමාත්‍යාංශවල සහ රජයේ ආයතනවල නිලධාරීන් ඇතුළත්බව එම නිවේදනයේ දැක්වෙයි.

සමස්ත ක්‍රියාවලිය හා අවසාන ගිවිසුම් නීතිපතිගේ මඟ පෙන්වීම යටතේ සහ නීතිමය රාමුවට අනුකූලව සිදු කෙරුණු බවත්, ගිවිසුම් නිසියාකාරව නීතිමය ගැටලු නොමැතිව පවතින්නේ යැයි නීතිපතිගේ මතය වූ බවත් එහි සඳහන්.

සංයුක්ත ගිවිසුම සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු සහ බලාත්මක වීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර බලාත්මක කරනු ලබන අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන බවද මුදල් අමාත්‍යංශය පවසයි.

මේ අතර ජාතික සංවිධාන එකමුතුවේ සමාජිකයින් හා භික්ෂුන් වාහන්සේලා පිරිසක් අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරහිව කි්‍රයාකරන බවට ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

ඉන් අනතුරුව ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් පිරිසක් අද පස්වරුවේ අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන හිමියන් බැහැදක මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමෙන් රටට සිදුවන අහිත කර බැලපැමි පිළිබඳව උන්වාහන්සේ ද දැනුවත් කළේය.

අනතුරුව පිරිස මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ද බැහැදැක මේ පිළිබඳව දැනුවත් කළේය.

මේ අතර එම්.සි.සී. ප්‍රදානයට සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුකිහිපයකදී ද අදහස් පළවුණි.

අද පැවති මාධ්‍ය හමුවක දී ආචාර්ය පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රකාශ කළේ වත්මන් රජය විසින් ශ්‍රී ලංකාව ඇමරිකානු කොලනියක් බවට පත් කිරීමට සූදානමින් සිටින බවයි.

කෙසේ වෙතත් ඒ සඳහා ඉඩ ලබා දිය නොහැකි අතර ඊට විරුද්ධව අධිකරණයට යාමේ සූදානමකින් පසුවන බවත් උන්වහන්සේ පැවසීය

මේ පිළිබඳ අදහස් දැක්වු යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රකාශ කළේ අමෙරිකානු හමුදාවන්ට ක්ෂණිකව කොළඹ සිට තම කඳවුරුවලට යාමට අවශ්‍ය මාර්ග පද්ධතිය, තමන්ගේ උපකරණ ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් සපයන්න කටයුතු මේ වන විට සකසමින් පසුවන බවයි.

එසේම වෛද්‍ය පාදෙණිය මහතාගේ හඬ යටපත් කිරීමට ගත් උත්සාහය තුළ පෙනී යන්නේ මෙම පාවා දීමට එරෙහිව ගොඩ නැඟෙන රටේ බුද්ධිමතුන් බිය ගන්වන ආකාරය බවත් ඒ මහතා පැවසීය.

වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ උප සභාපති වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මෙම ක්‍රියාවලිය නවතා දමනු ඇති බව තමන් බලාපොරෙත්තු වන බවයි.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ප්‍රදානය පිළිබඳ අදහස් දැක්වු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ මෙවන් අදහසකි.

“මිලේනියම් චැලෙන්ජ් පනතට කැබිනට් අනුමැතිය හිමිවෙලා. ඕක ක්‍රියාත්මක වුණු ගමන් ලංකාවේ රජයට අයිති ඉඩම් අක්කර මිලියන ගණනක් ඉඩම් බැංකුවකට යනවා. ඊට පස්සේ ඕනෑම විදේශිකයෙකුට ඇවිල්ලා සල්ලිවලට ගන්න පුළුවන්. මේක අපේ මව්බිම නැති කරන්න ගහපු ගැටයක්. ඒවා කරන්නේ හෙළයෝ නෙවේ පරයෝ.”

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=cp9pUs34eEU

***************************************

ඇමරිකානු එම්.සී.සී. ගිවිසුමට මහාසංඝරත්නය ඇතුළු පාර්ශව රැසකින් විරෝධය

(31.10.2019 – 20:03 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව අත්තනෝමතික ලෙස ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම අනු නාහිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ජාතික සංවිධාන එකමුතවේ නියෝජිතයින් උන්වහන්සේ බැහැදැක මෙම ගිවිසුම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද මහනුවරට පැමිණී අවස්ථාවේදීයි.

පළමුවෙන් එම පිරිස අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැක මෙම ගිවිසුම සම්බන්ධයෙන් දැනුවත් කළා.

අනතුරුව ඔවුන් පැමිණියේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම අනු නාහිමියන් බැහැදැකීමටයි.

මේ අතර, ජනාධිපතිවරණයට සති දෙකක් තිබියදී, ජනතාවට මෙන්ම, පාර්ලිමේන්තුවට ද නිසි තොරතුරු හෙළි නොකර ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ආණ්ඩුව ගිවිසුම් අත්සන් නොකළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ තීරණාත්මක මැතිවරණයකට දින ගණනක් තිබියදී කඩිමුඩියේ මෙවැනි ගිවිසුමකට එළඹිය යුතු නොවන බවයි.

ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේ ජනතාව මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද නොදන්නා අතර, එය අත්සන් කිරීමට පෙර ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කරනවා.

එසේම එය පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කළ යුතු බව ද සදහන් කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, මෙයින් ලංකාවට සෙතක් සැලසෙන්නේ නම් මෙතරම් රහස්‍යභාවයක් පවත්වාගෙන යන්නේ කුමකට දැයි සාධාරණ සැකයක් පවතින බව ද සිය නිවේදනයෙන් කියා සිටියා.

එමෙන්ම, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග හදිසියේ ගිවිසුම් ගත වීම වළක්වන ලෙස පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ඉල්ලීමක් කර තිබෙනවා.

මීට අමතරව, ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තැබිම අත්හිටුවන්නැයි ඉල්ලා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් අද මැතිවරණ කොමිසමට පැමිණිලි කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඇමරිකාවේ සහශ්‍ර අභියෝග ආයතනය ලබාදෙන මුදල ගැනීමෙන් ස්වෛරීභාවයට හානිවෙනවා – ශ්‍රී ලංකා නීතීඥ සංගමය

(31.10.2019 – 18:32 +0530 – lankadeepa.lk)

ඇමෙරිකා එක්සත් ජනපද සහශ්‍ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බැවින් එම ප‍්‍රදානය ලබා ගැනීමට අදාළ වන ගිවිසුම ක‍්‍රියාත්මක නොකරන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

අදාළ ප‍්‍රදාන ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී ඇතැයි මාධ්‍ය මඟින් වාර්තා කර ඇති ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් අද (31) සිය මතය දක්වමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ බව සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“ශ්‍රී ලංකා රජයට ඇමෙරිකා එක්සත් ජනපද සහශ‍්‍ර අභියෝග ආයතනය විසින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480 ක මුදලක් ප‍්‍රදානය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැති ලබා දීමේ පුවත පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුව ඇත.

මෙම ප‍්‍රදානය වෙනුවෙන් දෙරට අතර අත්සන් කෙරුණු ගිවිසුමේ පිටපත නිරීක්ෂණයේදී ශ්‍රී ලංකාවට අහිතකර වගන්ති රාශියක් ඇති බව පෙනී යයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වගකිව යුතු වෘත්තීය සංවිධානයක් හැටියට මෙම ගිවිසුම ගැඹුරින් අධ්‍යනය කර විස්තර වාර්තාවක් සකස් කර ඇති අතර ඒ පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාවත් දැනුම්වත් කරනු ලැබ ඇත.ඒ පිළිබඳව අග‍්‍රාමාත්‍යවරයා විසින් තම සංගමයට සිය ස්තූතිය පළ කරමින් ලිපියක්ද එවා ඇත.

රටක් මෙවැනි ගිවිසුමකට එළැඹීමට ප‍්‍රථම ඒ පිළිබඳ ජනතා අදහස් විමසා ඒ ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සාකච්ඡා සහ මත විමසීම් සිදුවිය යුතු බව අප සංගමයේ විශ්වාසයයි. එහෙත්, පුවත්පත් වාර්තා මඟින් හෙළිදරව් වනුයේ එවැනි කටයුත්තක් සිදු නොවූ බවය.

ජනතාව දැනුම්වත් නොකර මෙවැනි ගිවිසුම් වලට විවිධ රජයන් අත්සන් කිරීම් පිළිබඳ අතීතයේ ඕනෑ තරම් උදාහරණයන් ඇත.

මෙම ගිවිසුමේ සැබෑ ස්වරූපය ජනතාවට දැන ගැනීමට අවස්ථාවක් නොදී මෙවැනි ගිවිසුමක් අස්සන් කිරීම නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි.

එබැවින් කෙටි කාලීන ආර්ථික උවමනාවන් උදෙසා මෙම ගිවිසුම ඉදිරියට පවත්වා ගෙන නොයන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටිමු.

මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ඇති අහිතකර තත්ත්වයන් පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත් කරනු ලැබු විස්තර වාර්තාව අඩංගු දෑ සැකවින් මෙසේය.

මෙම ගිවිසුමේ ප‍්‍රඥප්තියේ ශ්‍රී ලංකා රජය යන්න වෙනුවට මූල්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය නම් කර ඇත.මෙම තත්ත්වය සමස්ත ගිවිසුම ක‍්‍රියාත්මක වීමේදී බලපෑම් ඇති කරයි.

මෙම ගිවිසුමේ 5 වැනි වගන්තිය යටතේ ‘ඕනෑම වෙනත් ගිවිසුමක්’ යන්න සඳහන් වන අතර ඒ පිළිබඳ පැහැදිලි අර්ථ කථනයක් නොමැත. මෙම තත්ත්වය අනාගතයේදී අහිතකර ලෙස බලපානු ඇත.

ගිවිසුමේ 2 වගන්තියේ අදාළ අරමුදලෙහි පොලිය පිළිබඳව නිවැරදි ලෙස අර්ථ දක්වා නොමැත.

3.3 වගන්තිය අනව ශ්‍රී ලංකා රජය ඉදිරියේදී එළැඹෙන වෙනස් ගිවිසුම් වලට මෙම ගිවිසුම සෘජුවම බලපෑම් කරයි.ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සෘජුවම විදේශීය බලපෑම් එල්ලවේ.

ගිවිසුමේ ඇමිණුම් අංක අනුව මෙම ගිවිසුමෙන් මූලිකව ඉඩම් අලෙවි පිළිබඳ කරුණු ගෙන හැර පා ඇත. එය මෙරට ඉඩම් සංවර්ධන පනතට පටහැනිය.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පාර්ලිමේන්තුව සතුවේ. වෙනස් රටක ගිවිසුමක් මඟින් ඊට බලපෑම් කළ නොහැක. මෙම ගිවිසුමෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට බලපෑම් සිදුවේ.

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් බලවත් රටකි. එබැවින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සෘජුවම බලපෑම් සිදුවේ.

එබැවින් මෙම ගිවිසුම මඟින් සෘජුවම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හානි වන බව ශ්‍රී ලංකා නීතීඥ සංමයේ මතය වේ.”

+++++++++++++++++++++

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කරන්න එපා – මෛත්‍රීපාල සිරිසේන

(31.10.2019 – 10:03 +0530 – lankadeepa.lk)

ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයාට අද (31) පස්වරුවේ දුරකතනය මගින් මේ බව දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අකමැත්ත පලකර තිබුණද ගිය අගහරුවාදා (29) පැවැති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය ලැබී තිබේ.

මේ අතර ජනාධිපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පෙරේදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන මහත්වරුන්ද අද පස්වරුවේ හදිසියේම ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මෙම ගිවිසුම අත්සන් කිරීම නවත්වන්නැයි ඉල්ලීමක් කර ඇත.

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් ගැනද ඔවුන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබිණි.

කෝපරේෂන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවද එය ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි තමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් තිදෙනා සමඟ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ගිවිසුමේ ජනාධිපතිවරයාට පෙර කිසිම හේතුවක් මත අත්සන් නොකරන්නැයි ජනාධිපතිවරයා මංගල සමරවීර ඇමැතිවරයාට දැනුම් දී ඇත ෴

+++++++++++++++++++++

ජන මතය නොවිමසා ගිවිසුම් වලට එළබෙන්න එපා – MCC ගිවිසුම පිළිබඳ කාදිනල්තුමාගෙන් විශේෂ නිවේදනයක්

(01.11.2019 – nethnews.lk)

රටේ ඉඩම් සම්බන්ධ බැරෑරුම් වෙනස්කම් ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනමතය නොවිමසා අත්සන් තැබීම භයානක ප‍්‍රතිඵල ගෙන දිය හැකි බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් කාදිනල්තුමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබද යම් තීරණයක් ගන්නේ නම් පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගත් පසු ජනමත විචාරණයකින් ඊට අනුමැතිය ලබාගන්නා ලෙසයි.

ජනාධිපතිවරණයක් සදහා මුළු රටම සූදානම් වන අවස්ථාවකදී මෙවන් දෙයක් කඩිමුඩියේ සිදුකිරීමට යාම කිසිසේත් සුදුසු නොවන බවයි කාදිනල්තුමන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් ඉකුත් මැයි මස 31 වනදා පැවති සාකච්ඡාවකදී අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයද ප‍්‍රකාශ කර සිටියේ මෙවැනි ගිවිසුමකට එළඹෙන්නේ නම් ඒ පිළිබද ජනතාවගේ පොදු මතය විමසිය යුතු බවයි.

එවන් පසුබිමක මෙම ගිවිසුම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා උත්තරීතර පාර්ලිමේන්තුවේ අනුමැතියද මේ දක්වා ලබාගෙන නොමැති බවයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර මෙම ගිවිසුම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද ඊයේ (31) නිවේදනයක් නිකුත් කළා. ඔහුද කියාසිටියේ මේ සම්බන්ධයෙන් ජනමතය විමසා පාර්ලිමේන්තුවේදී විවාද කර ඊට අනුමැතිය ලබාගත යුතු බවයි.

මෙම ගිවිසුමෙන් රටට සිදුවිය හැකි අහිතකර තත්ත්වයන් පිළිබද පූජ්‍ය අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඊයේ (31) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාද දැනුවත් කළා.

එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා සදහන් කළේ එවැනි ගිවිසුමකට එළඹීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා විසින් පොරොන්දුවක් ලබාදුන් බවයි ෴

***************************************

අසත්‍ය මඩ පෝස්ටර් හරහා මාධ්‍ය නිදහසට සිදුකරන බලපෑම සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(31.10.2019 – 16:23 +0530 – hirunews.lk/sinhala)

ස්වාධීන මාධ්‍යයට බලපෑම් කරමින් ‘හිරු මාධ්‍ය ජාලය’ට එරෙහිව දියත් කර තිබූ මඩ පෝස්ටර් ව්‍යාපාරයක් පිළිබඳව අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකළා.

කොළඹ නගරය අවට හිරු මාධ්‍ය ජාලයට එරෙහිව අද මඩ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබුණා.

එම මඩ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් මරදාන ප්‍රදේශයේදී හිරු වාර්තාකරුවන්ගේ කැමරාවටද හසුව තිබූ අතර, ඔවුන් ත්‍රීරෝද රථවලින් සහ වෑන් රථයකින් එම මඩ පෝස්ටර් ඇලවීමේ ව්‍යාපාරයේ නිරතව සිටියා.

අංක 21 – 0877 දරන ත්‍රී රෝද රථය ඔවුන් පැමිණි එක් ත්‍රීරෝද රථයක් වන අතර, එහි හිමිකරු වන්නේ එස්.සිවරාජ් නම් පුද්ගලයෙක්.

ඔහුගේ ලිපිනය ලෙස සඳහන් වූයේ 145/127- ඒ, නාගස්වත්ත, කිරුලපන ලෙසයි.

මඩ පෝස්ටර් ඇලවීම සඳහා තවත් ත්‍රීරෝද රථයක් හා වෑන් රථයක් පැමිණ තිබුණා.

එලෙස පැමිණි අංක 253 – 6550 දරන වෑන් රථය ලියාපදිංචි වී ඇත්තේ එන්.අයි.සී. මොරායස් නම් පුද්ගලයාට වන අතර, ඔහුගේ ලිපිනය වන්නේ අංක 228, තිඹිරිගස්යාය පාර, කොළඹ 05 යි.

NC ABE – 2619 යන අංක දරන ත්‍රීරෝද රථයද මඩ පෝස්ටර් ඇලවීම සඳහා පැමිණ තිබූ අතර, එය ඩී.එම්.ආර්. කුමාර සිරිවර්ධන, සමූපකාර පෙදෙස, ට්‍රැක් 04, නව නගරය, මැදිරිගිරිය යන ලිපිනය යටතේ ලියාපදිංචි වී තිබුණා.

මොරටුව ප්‍රදේශයේද හිරු මාධ්‍ය ජාලයට එරෙහිව මඩ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන්ගේ රූපරාමු අප වෙත ලැබී තිබෙන අතර, කොළඹ – කොටා පාර ප්‍රදේශයේදී හිරු මාධ්‍යයට එරෙහිව මඩ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන්ගේ දර්ශන ආරක්ෂක කැමරාවක සටහන් වී තිබුණා.

මේ අතර, කොට්ටාව ප්‍රදේශයේ ද මෙම මඩ පෝස්ටර් අලවා තිබූ අතර, එම ස්ථානයට පැමිණි තරුණයෙකු එම මඩ පෝස්ටර් ඉරා දමනු ලැබුවා.

මෙම මඩ පෝස්ටර් පිළිබඳ හිරු මාධ්‍ය ජාලය අද පොලිස් මූලස්ථානය වෙත CIB 3-187/43 දරන අංකය යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර, ස්වාධීන මාධ්‍යය වෙත එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් මහා සංඝරත්නය දේශපාලනඥයින් සහ සිවිල් ක්‍රියාකාරීන් අද අදහස් පළ කරමින් විරෝධය පළ කළා.

***************************************

ඡන්දය භාවිතා කිරීමට, විදේශගත වී සිට පැමිණෙන ජනතාවට මැතිවරණ කොමිසමෙන් උපදෙසක්

(31.10.2019 – 14:26 +0530 – hirunews.lk/sinhala)

විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන්, ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේදී ජාතික හැඳුනුම්පතට අමතරව විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආයුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මෙවැනි ඡන්ද හිමියෙකුට විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමට නොහැකි උවහොත් වෙනත් වලංගු අනන්‍යතා ලේඛනයක් ඉදිරිපත් කලද, ඊට අමතරව සිය අනන්‍යතාවට අදාළව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමට අදාළ ආකෘතිය අනුව වූ ප්‍රකාශයක් ද ඉදිරිපත් කිරීම අනිවාර්ය බව කොමිසම දැනුම් දෙනවා.

විදේශගතවී සිටි ඡන්ද හිමියන්ගේ නිල ඡන්ද දැන්වීම්පත් 2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනයේ සඳහන් සාමාන්‍යය පදිංචි ලිපිනය වෙත තැපල්කොට යවා ඇති බව ද මැතිවර්ණ කොමිසම නිවේදනය කළා.

***************************************

ඡන්දෙ දාලා ඡායාරූප ෆේස්බුක් දැම්මොත් අවුරුදු 3 ක් හිරගෙට – මැතිවරණ කොමිසමේ සභාපති

(31.10.2019 – 13:07 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය නිලධාරීන් විසින් තැපැල් ඡන්දය ප්‍රකාශ කර ‘ෆේස්බුක්’ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධි කාර්යක් බවත් එවැනි ක්‍රියා සිදුකරන අය වසර 3 ක සිර දඬුවමකට ලක්විය හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද (31) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

තහනම් කර තිබියදී රජයේ නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම ඉතාමත් කණගාටුදායක බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එලෙස ඡන්දය ප්‍රකාශ කර ‘ෆේස්බුක්’ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරනු ලැබුවේ කවුරුන්ද යන්න සොයා ගනු ලැබුවහොත් අදාළ පුද්ගලයා අවම වශයෙන් වසර 3 ක සිර දඬුවමකට යටත් කරන බව ඒ මහතා පැවසීය.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරනු ලැබුවහොත් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිධාරීවරයාට එරෙහිව ක්‍රියා කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

***************************************

රාජ්‍ය ආයතනවල මුල්පුටු වෘත්තිකයින්ට – ගෝඨාභය රාජපක්ෂ

(31.10.2019 – 18:58 +0530 – sinhala.adaderana.lk)

තම පාලනයක් යටතේ වෘත්තිකයින්ගෙන් පිට කිසිදු පුද්ගලයෙකුට රාජ්‍ය ආයතනවල තනතුරු ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (30) මහරගම පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කරන ජනරැලි මාලාවේ තවත් රැලියක් ඊයේ (30) පස්වරුවේ මහරගම නගර මධ්‍යයේදී පැවැත්වුණි.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තවත් රැලියක් අද (31) පස්වරුවේ පැවැත්වුණේ රාජගිරිය ගුවන් පාලම අසලදීයි.

මේ අතර පුත්තලම අරුවක්කාරු කසළ අංගනය සම්බන්ධයෙන් සිය ගැටලු ඉදිරිපත් කිරීමට එම ප්‍රෙද්ශයේ ආගමික පූජ්‍ය පක්ෂය සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අද ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණි.

ඒ නුගේගොඩ මිරිහානේ පිහිටි ඔහුගේ කාර්යාලයේදීයි.

ඒ අතර සිය මැතිවරණ ව්‍යාපාරය කාබන් නිශ්ක්‍රීය මැතිවරණ ව්‍යාපාරයක් බවට පත්කිරීමේ අරමුණින් තම ජනරැලි වල විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් වායුව හිලවු කිරිමට අවශ්‍ය පමණ පැළ සිටුවීම කෙරෙහි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහභාගිත්වයෙන් එය දිරිගැන්වීමක් වශයෙන් පැළයක් සිටුවීම අද සිදු කෙරුණ්.

***************************************

හොරොයින් පැකට්ටුවක් ලඟ තබාගත් පාසල් සිසුවියක් පොලිසියට කොටුවෙයි..

(01.11.2019 – webgossip.lk)

ගන්දර ප්‍රදේශයේදී 14 හැවිරිදි පාසල් සිසුවියක් පසුගිය 29 වැනිදා හෙ‍රොයින් පැකට්ටුවක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අදාල සිසුවියයේ හැසිරීම පිළිබඳව සැක සිතූ පාසලේ ගුරුවරියක් සිසුවිය වෙනම ස්ථානයකට ගෙන පරීක්ෂා කිරීමේදී ඇය යම් දෙයක් තම මුඛයේ සඟවා ගැනීමට තැත්කර තිබෙනවා.

ඉන්පසුව සිදු කළ පරීක්ෂා කිරීම් වලදී ඇය ළඟ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 60 ක් සොයා ගෙන ඇත. ඉන්පසුව ඇයව පොලිසීයට භාර දීමට පාසල් බළධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම ශිෂ්‍යාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවට වාර්තා වෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *