මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (විඩියෝ)

• මුඩුබිම් පනත පරදන මහා පාවාදීම සූදානම්.. පණ අදින ආණ්ඩුව සමගින් ඇමරිකාව මිලේනියම් ගිවිසුමට එක්වෙයි.. (විඩියෝ)

• හිරුට එරෙහි මඩ පෝස්ටර් ව්‍යාපාරයට, පාර්ශව රැසකින් විරෝධය (විඩියෝ)

• උස්වැටකෙයියාව ප්‍රදේශයේදී කසල තේ කිලෝ 25,000 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

• යළි ත්‍රස්තවාදයට ඉඩ නොතබන බව ගෝඨාභය කියයි (විඩියෝ)

• තම සාමාජිකයෙකු කළ ප්‍රකාශය ගැන මැතිවරණ කොමිසමේ සභාපති සමාව අයදී (විඩියෝ)

• සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිහින මාලිගාවක් – ලක්ෂ්මන් යාපා (විඩියෝ)

• රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයෙන් හෙළිදරව්වක් (විඩියෝ)

• තැපැල් ඡන්දය ලකුණු කර, ඡායාරූප ගත් 3 දෙනෙකු අත්අඩංගුවට – ගුරුවරුන් දෙදෙනෙකුත් ඒ අතර

• වෛරස් උණක් නිසා රජරට සරසවියේ, මිහින්තලේ පරිශ්‍රය තාවකාලිකව වැසේ

• චන්ද්‍රිකාගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය, අහෝසි කෙරෙන ලකුණු

• බුද්ධිමත්ව කටයුතු කරන්නැයි විපක්ෂ නායක, හිටපු ජනපතිනියට කියයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(01.11.2019 – 15:35 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය අත්සන් කිරීමට සූදානම් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී.ඇක්සා සහ සෝෆා ගිවිසුම්වලට අත්සන් තැබීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා.

නීතිඥ දර්ශන වේරදූවගේ මහතා විසින් ගොනුකළ පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අත්සන් කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවයි.

එමෙන්ම, රටේ ඒකීය භාවයට ද ඉන් තර්ජනයක් ඇතිවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරු එමගින් තමා ඇතුළු රට වැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බැවින් එම ගිවිසුම්වලට එළඹීම වළක්වන ලෙස ඉල්ලා තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

මුඩුබිම් පනත පරදන මහා පාවාදීම සූදානම්.. පණ අදින ආණ්ඩුව සමගින් ඇමරිකාව මිලේනියම් ගිවිසුමට එක්වෙයි..

(02.11.2019 – 12:00 +0530 – lankacnews.com)

‘ස්ටොප් යූඑස්ඒ’ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය ඇමෙරිකාවට මංකොල්ලා කෑමට ඉඩ සලස්වන මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට පසුගිය අඟහරුවාදා ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණා. ජනපතිවරණයට පෙර මේ ගිවිසුම අත්සන් කරන බවට අගමැති පවසනවා. ජනාධිපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් තැබීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපතිතුමා ඊයේ (01) අපට පොරොන්දු වුණා. හැබැයි ඉතින් අගමැති සහ ඇමති මංගල ජනාධිපතිගේත් කනින් රිංගලා මේ ගිවිසුම අත්සන් තබන්න ඉඩ තිබෙනවා.

අගමැතිතුමා නම් අහන්නේ ඩොලර් මිලියන 480 ක් තෑග්ගක් විධියට ලැබෙන නිසා මේ ගිවිසුම අත්සන් කිරීමේ වැරැද්ද මොකද්ද කියලා. ‘තමන්ගේ අම්මාට මිළක් නියම වුණොත් විකුණලා දාන්න ඔබ සූදානම් ද?’ කියලා අපි අගමැතිගෙන් ප්‍රශ්න කරනවා. ‘ඔබේ අම්මාට මිළක් නියම කරන්න ඔබ සූදානම් වුවත් අපේ ලක් අම්මාට මිළක් නියම කරන්න අපි සූදානම් නෑ’ කියලා අපි අගමැතිට කියනවා.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ ව්‍යාපෘති දෙකක් තිබෙනවා. ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය. ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ විරෝධයක් නෑ. ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියටයි අපේ විරෝධය තිබෙන්නේ. මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට තියෙන විරෝධය පෙන්වා දීලා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරිනියට යෝජනා කරනවා ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට ලබාදෙන මුදල්ද ප්‍රවාහන ව්‍යාපෘතියට යොදවලා එය පුලුල්ව සිදු කිරීමට. ඇමෙරිකාව ඒ යෝජනාවට විරුද්ධයි. ඇමෙරිකාවට මේ රටේ ඉඩම් මංකොල්ල කෑමේ යටි අරමුණක් නැති නම් රටේ විරෝධය තිබෙන ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අත් හරින්න අකැමැති ඇයි?

මේ සියවස ආසියාවේ සියවස බවත් ආසියාවේ හරි මැද පිහිටි ලංකාව මේ සියවසේ වැදගත්ම රට බවත් ඇමෙරිකානු යුද විශේෂඥ රොර්බට් කප්ලාන් පවසනවා. ඒ නිසා මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ සැබෑ අරමුණ වන්නේ මේ සියවසේ වැදගත්ම රට බවට පත්වී තිබෙන ශ්‍රී ලංකාව තුල ඇමරිකාව පැළපදියම් කරගැනීමයි. ඒ අනුව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කර ගැනීමට ඇමරිකාව සමත් වුවහොත් ඒ හරහා ශ්‍රී ලංකාව ලෝක බල අරගලයේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙලා මේ රට ලේ විලක් ගිණිගොඩක් බවට පත්වීම කාටවත් වලක්වාගන්න බෑ.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයට එම ආයතනය විසින් යැවූ වාර්තාවේ 6 වන පිටුවේ සඳහන් වෙනවා, මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකාව විසින් නිර්දේශ කරපු ඉඩම් ප්‍රතිසංස්කරණවලට අදාල පනත් කෙටුම්පත් 2 ක ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සකස් කර අවසන්. පනත්කෙටුම්පත් දෙක සම්මත කරගැනීමේ ප්‍රගතිය අනුව තමයි මෙම මුදල් නිදහස් කරන්නේ කියලා. පළමුවන පනත් කෙටුම්පත මීට මාස හතරකට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අප ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළා. පළාත් සභා යළි සක්‍රිය වන තුරු පළාත් සභාවල එකඟතාවය ලබා ගන්නා තුරු ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා. අනික් පනත් කෙටුම්පත කුමක්ද කියන එක අපි දැකලත් නැහැ. දන්නෙත් නැහැ. මෙය ඉතාම රහසේ කරගෙන යන බව ඉතාම පැහැදිළියි.

1840 මුඩු බිම් පනතින් ඉංග්‍රිසි ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ඉඩම් මංකොල්ලා කෑවා. බණ්ඩාරනායක මැතිණියට පින් සිදු වෙන්න ඒ ඉඩම් යළි ජනසතු කර ගන්න පුළුවන් වුණා. එදා 1840 දී ඉංග්‍රිසින් බලහත්කාරයෙන් කරපු දේ 2019 දී ඇමෙරිකානුවන් තමන්ගේ රූකඩ ආණ්ඩුවක් ලවා කැමැත්තෙන්ම කර ගන්නයි යන්නේ.

ඇමරිකාවට අවසාන වශයෙන් කියන්නේ මේ ආණ්ඩුව පණ අදින ආණ්ඩුවක්. මේ ආණ්ඩුව තියෙන්නේ තව දින පහළොවයි. ඒ නිසා පනඅදින මලමිනියක් එක්ක අත්සන් කරන ගිවිසුම් අප වලංගු යැයි සලකන්නේ නැහැ. ‘මලමිනියක් සමග ගිවිසුම් අත්සන් කර එහි වලංගුතාවය රට මත පටවන්නට මෙරට ජනතාව ඉඩ තියන්නේ නෑ’ කියන පණිවිඩය ඇමරිකාවට ලබා දෙනවා.

– අරවින්ද අතුකෝරල

***************************************

හිරුට එරෙහි මඩ පෝස්ටර් ව්‍යාපාරයට, පාර්ශව රැසකින් විරෝධය

(01.11.2019 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ස්වාධීන මාධ්‍යයට බලපෑම් කරමින් හිරු මාධ්‍ය ජාලයට එරෙහිව දියත් කර තිබූ මඩ පෝස්ටර් ව්‍යාපාරය පිළිබඳව පාර්ශව රැසකින් මේ වනවිට විරෝධය පළ වනවා.

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව දියත් කර තිබූ මඩ පෝස්ටර් ව්‍යාපාරයක් පිළිබඳව ඊයේ (31) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක්ද ගොනු කෙරුණා.

කොළඹ නගරය අවට හිරු මාධ්‍ය ජාලයට එරෙහිව ඊයේ මඩ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබුණා.

එම මඩ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් මරදාන ප්‍රදේශයේදී හිරු වාර්තාකරුවන්ගේ කැමරාවට ද හසුව තිබූ අතර, ඔවුන් ත්‍රීරෝද රථවලින් සහ වෑන් රථයකින් එම මඩ පෝස්ටර් ඇලවීමේ ව්‍යාපාරයේ නිරතව සිටියා.

අංක 21-0877 දරන ත්‍රීරෝද රථය ඔවුන් පැමිණි එක් ත්‍රීරෝද රථයක් වන අතර, එහි හිමිකරු වන්නේ එස්.සිවරාජ් නම් පුද්ගලයෙක්.

ඔහුගේ ලිපිනය ලෙස සඳහන් වූයේ 145/127- ඒ, නාගස්වත්ත, කිරුලපන ලෙසයි.

මඩ පෝස්ටර් ඇලවීම සඳහා තවත් ත්‍රීරෝද රථයක් හා වෑන් රථයක් පැමිණ තිබුණා.

එලෙස පැමිණි අංක 253 – 6550 දරන වෑන් රථය ලියාපදිංචි වී ඇත්තේ එන්.අයි.සී. මොරායස් නම් පුද්ගලයාට වන අතර, ඔහුගේ ලිපිනය වන්නේ අංක 228, තිඹිරිගස්යාය පාර, කොළඹ 05 යි.

NC ABE – 2619 යන අංක දරන ත්‍රීරෝද රථයද මඩ පෝස්ටර් ඇලවීම සඳහා පැමිණ තිබූ අතර, එය ඩී.එම්.ආර්. කුමාර සිරිවර්ධන, සමූපකාර පෙදෙස, ට්‍රැක් 04, නව නගරය, මැදිරිගිරිය යන ලිපිනය යටතේ ලියාපදිංචි වී තිබුණා.

මොරටුව ප්‍රදේශයේද හිරු මාධ්‍ය ජාලයට එරෙහිව මඩ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන්ගේ රූපරාමු අප වෙත ලැබී තිබෙන අතර, කොළඹ – කොටා පාර ප්‍රදේශයේදී හිරු මාධ්‍යයට එරෙහිව මඩ පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන්ගේ දර්ශන ආරක්ෂක කැමරාවක සටහන් වී තිබුණා.

මේ අතර, කොට්ටාව ප්‍රදේශයේ ද මෙම මඩ පෝස්ටර් අලවා තිබූ අතර, එම ස්ථානයට පැමිණි තරුණයෙකු එම මඩ පෝස්ටර් ඉරා දමමින් සිටි ආකාරය ද අප කැමරා කාචයේ සටහන් වී තිබුණා.

මෙම මඩ පෝස්ටර් පිළිබඳ හිරු මාධ්‍ය ජාලය ඊයේ (31) පොලිස් මූලස්ථානය වෙත CIB 3-187/43 දරන අංකය යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර, ස්වාධීන මාධ්‍යය වෙත එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් මහා සංඝරත්නය දේශපාලනඥයින් සහ සිවිල් ක්‍රියාකාරීන් අද දිනයේත් පැවති මාධ්‍ය හමුවලදී විරෝධය පළ කළා.

***************************************

උස්වැටකෙයියාව ප්‍රදේශයේදී කසල තේ කිලෝ 25,000 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(01.11.2019 – 14:59 +0530 – hirunews.lk/sinhala)

උස්වැටකෙයියාව ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවකින් කසල තේ කිලෝග්‍රෑම් 25,000 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී මෙම කසල තේ තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම කසල තේ තොගය හෙට (02) දිනයේ අපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ බවට ද තොරතුරු හෙළි වී තිබෙනවා.

%E0%B6%8B%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%9A%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+25%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7

***************************************

යළි ත්‍රස්තවාදයට ඉඩ නොතබන බව ගෝඨාභය කියයි

(01.11.2019 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කිසිදු අවස්ථාවක යළි මෙරට තුළ ත්‍රස්තවාදය ඇති වීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මුස්ලිම් නියෝජිතයින් පිරිසක් සමඟ කොළඹ ඊයේ (31) පැවති වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ තවත් ජන රැළියක් ඊයේ (31) මොරටුව ප්‍රදේශයේදී පැවැත්වුණා.

මුස්ලිම් නියෝජිතයින් සමඟ ඊයේ (31) කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයකදී පැවති වැඩසටහන සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ද එක්වුණා.

***************************************

තම සාමාජිකයෙකු කළ ප්‍රකාශය ගැන මැතිවරණ කොමිසමේ සභාපති සමාව අයදී

(01.11.2019 – 20:10 +0530 – hirunews.lk/sinhala)

මෙවර කිසිදු පක්ෂයකට සියයට 50 ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි බවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්න ජීවන් හූල් මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් සමාව අයදින බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ (31) පැවති ප්‍රවෟත්ති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ එම අදහස මහාචාර්යවරයාගේ පෞද්ගලික අදහසක් පමණක් බවයි.

***************************************

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිහින මාලිගාවක් – ලක්ෂ්මන් යාපා

(01.11.2019 – 20:44 +0530 – hirunews.lk/sinhala)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිහින මාලිගාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ සහභාගීත්වයෙන් කොළඹදී තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා.

***************************************

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයෙන් හෙළිදරව්වක්

(01.11.2019 – 21:10 +0530 – hirunews.lk/sinhala)

ආබාධිත රණවිරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමටනම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලෙසට බ්‍රිතාන්‍යයේ සිට තමන්ට දුරකථන ඇමතුම් ලැබුණු බවට රණවිරු අයිතිවාසිකම් ජාතික බලවේගය අද (01) හෙළිදරව්වක් කළා.

මේ අතර 2016 වසරේ ආබාධිත රණවිරුවන් සිදුකළ උද්ගෝෂණයකට සහය පළ කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුවකට සහභාගිවීම සඳහා අද (01) දස වන වතාවටත් භික්ෂූන්වහන්සේ කොටුව අධිකරණ සංකීර්ණයට වැඩම කර සිටියා.

2016 වසරේ ආබාධිත රණවිරුවන් පැවැත්වූ උද්ඝෝෂනයක් අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී ඊට සහය දුන් බව පවසමින් භික්ෂූන්වහන්සේට 2018 වසරේ ගොනු කළ නඩුවකට සහභාගිවීම සඳහා අද (01) එම භික්ෂූන්වහන්සේ කොටුව මහේසත්‍රාත් අධිකරණයට කැඳවා තිබුණා.

***************************************

තැපැල් ඡන්දය ලකුණු කර, ඡායාරූප ගත් 3 දෙනෙකු අත්අඩංගුවට – ගුරුවරුන් දෙදෙනෙකුත් ඒ අතර

(02.11.2019 – 07:48 +0530 – hirunews.lk/sinhala)

තැපැල් ඡන්ද සලකුණු කර, ඒවා ඡායාරූප ගත කළ ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු තුන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ගම්පොළ, කැකිරාව හා කටුගස්තොට ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ගම්පොළ දී අත්අඩංගුවට ගත් පාසල් මුරකරුට අධිකරණය මගින් ඇප ලබාදී ඇති අතර, කැකිරාවේදී සහ කටුගස්තොට දී අත්අඩංගුවට ගුරුවරුන් දෙදෙනා අද (02) දින අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, ඡන්දය සලකුණු කරන ලද පත්‍රිකාවල ඡායාරූප සමාජ මාධ්‍ය වෙත යොමු කළ සහ ඒවායේදී හුවමාරු කළ පුද්ගලයින් සොයා පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් කියා සිටියේ.

පසුගිය දා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද කියා සිටියේ ඡන්දය සලකුණු කර, සමාජ ජාල වලට මුදා හරින පුද්ගලයින්ට එරෙහිව අවම වශයෙන් වසර 3 ක සිර දඬුවම් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, හෙට (03) දිනයේ විශේෂ දිනයක් ලෙස යොදාගෙන නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට කටයුතු යොදා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා ෴

***************************************

වෛරස් උණක් නිසා රජරට සරසවියේ, මිහින්තලේ පරිශ්‍රය තාවකාලිකව වැසේ

(02.11.2019 – 10:48 +0530 – hirunews.lk/sinhala)

වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

එහි වැඩබලන උප කුලපති මහාචාර්ය ඒ.එම්.ජේ.ඩී. අධිකාරී හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ අනුව අද (02) මධ්‍යහ්න 12 ට පෙර නේවාසිකාගාරවලින් ඉවත්ව යන ලෙස සිසුන්ට දැනුම් දුන් බවයි.

වෛරස් උණ රෝගය හේතුවෙන් මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක ඊයේ (01) ජීවිතක්ෂයට පත්ව ඇති බවට ද තොරතුරු වාර්තා වුණා ෴

***************************************

චන්ද්‍රිකාගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය, අහෝසි කෙරෙන ලකුණු

(02.11.2019 – 12:38 +0530 – hirunews.lk/sinhala)

පක්ෂ තීන්දුවට එරෙහිව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම සඳහා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.

ඊට අදාළ අවසන් තීන්දුවට ලබන අඟහරුවාදා පස්වරුවේ රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එළඹෙන බවයි මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමඟ හිටපු ජනාධිපතිනිය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් එක්සත් ජාතික පෙරමුණ යටතේ සන්ධානගතවීමට අදාළව ඊයේ (01) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබුවා.

හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ තුන් වන අවස්ථාව මෙය බවයි පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළේ.

හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ (01) පැවති ජන හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.

එහිදී ඔහු කියා සිටියේ ජනතා බලයක් නොමැති පිරිස් සමඟ එක්ව හිටපු ජනාධිපතිනිය ගිවිසුම් අත්සන් කර ඇති බවයි.

ඇයගේ මව වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ එක්සත් ජාතික පක්ෂය විසින් බවත් එවන් පක්ෂයක් සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ නොහැකි බව ද මහින්ද අමරවීර මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය අතර පසුගිය දා පිහිටුවා ගත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට නිලධාරී මණ්ඩලය පත් කිරීම ජනාධිපතිවරණයෙන් අනතුරුව සිදුකරන බව එම සන්ධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එම නව සන්ධානයේ සම සභාපතිවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට දෙපාර්ශවය මේ වන විට එකඟතාවකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එසේම නව සන්ධානයේ මහලේකම් ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් නියෝජ්‍ය මහලේකම් ධුරය හා ජාතික සංවිධායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් හිමි වනු ඇති බවට ද වාර්තා වනවා.

+++++++++++++++++++++++++++++++++++

බුද්ධිමත්ව කටයුතු කරන්නැයි විපක්ෂ නායක, හිටපු ජනපතිනියට කියයි

(02.11.2019 – 19:52 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග වර්තමානයේදී මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාතලේ – නාවුල ප්‍රදේශයේ අද සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වෙමින්.

මේ අතර, පක්ෂ තීන්දුවට එරෙහිව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම සඳහා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.

ඊට අදාළ අවසන් තීන්දුවට ලබන අඟහරුවාදා පස්වරුවේ රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එළඹෙන බවයි මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමඟ හිටපු ජනාධිපතිනිය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් එක්සත් ජාතික පෙරමුණ යටතේ සන්ධානගතවීමට අදාළව ඊයේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා චෝදනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කටයුත්තක හිටපු ජනාධිපතිනිය මේ වනවිට නිරතව සිටින බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *