රට දෙකට බෙදා ඔප්පුව ඇමරිකාවට දීම – රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

(03.11.2019 – divaina.com)

මංගල සමරවීර මුදල් ඇමැතිවරයා විසින් ගෙන ආ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුමට නොබෝදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණ. මෙම ඇමරිකානු සමාගම සමග රනිල් වික‍්‍රමසිංහ සාකච්ඡා අරඹා ඇත්තේ 2001 වර්ෂයේය. වසර 18 ක් තිස්සේ ඇදි ඇදී ආ කුප‍්‍රකට ගිවිසුමට ජනාධිපතිවරණයට සති දෙකක් තිබියදී කඩිමුඩියේ කැබිනට් අනුමැතිය ලබා ගත්තේ මීළඟට පත්වන ජනාධිපතිවරයා ඔවුන්ගේ කෙනෙකු නොවන බව දැනටමත් වැටහී ගොස් ඇති නිසාද?

මෙම ගිවිසුම අඩංගු යෝජනාව ඉදිරිපත් කරන්නේ මංගල සමරවීරය. මංගල සමරවීර යනු ලංකාවේ දේශපාලනික, සමාජීය, ආර්ථික කටයුතු වලට මැදිහත් වීමට මාන බලන ඇමරිකාවේ, ලංකා නියෝජිතයාය. ඇමරිකාව අපේ මිතුරෙක් නොවේ. භයානකම ත‍්‍රස්තවාදය තුරන් කළ හමුදාවට විරුද්ධව සාවද්‍ය යුද අපරාධ චෝදනා ජිනීවා හිදී අපට එල්ල කළේ ඇමරිකාවය. එම චෝදනා අඩංගු 30/1 ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ හෝ අවසරයකින් තොරව සම අනුග‍්‍රාහකත්වය දැක්වූයේ ‘ලංකාවේ ඇමෙරිකානු නියෝජිත’ මංගල සමරවීරය. යුද්ධය දිනූ මහින්ද රාජපක්ෂව ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමට මූලිකව කටයුතු කළේ ද ඇමරිකාවය. ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රිපාල සිරිසේන ජයග‍්‍රහණය කළ විට ‘අපත් මෙම ජයග‍්‍රහණයේ කොටස්කරුවෙක්’ යැයි ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැවසුවේ ඒ නිසාය. ඇමරිකාව ලංකාවේ දේශපේ‍්‍රමී ප‍්‍රගතිශීලී ජනතාවගේ සතුරෙක්ද මිතුරෙක්ද යන්න එයින්ම තේරුම් ගත හැක.

මෙම MCC ගිවිසුම අප මව්බිමට කිසිසේත්ම හිතකර ගිවිසුමක් නොවේ. ඇමරිකාව මෙම ගිවිසුම මගින් මැදිහත් වන්නේ ලංකාවේ දරිද්‍රතාවයට යම් විසඳුමක් ලබා දෙන බැව් පවසමිනි. දුප්පත්කම දුරු කිරීමට නම් ප‍්‍රවාහන පහසුකම් දියුණු කළ යුතු බවත් කර්මාන්ත යන ආදිය නැංවීම සඳහා අවශ්‍ය කරන ඉඩම් ලබා ගැනීමට තිබෙන බාධක දුරු කළ යුතු බවත්, ඇමෙරිකාව වැඩිදුරටත් සඳහන් කරයි. ඒ සඳහා ඔවුන්ගේ දළ සැලැස්ම වනුයේ ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා විදුලි දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සහ එයට සමාන්තරව දෙපැත්තෙන් කිලෝ මීටරයක් පමණ පළල ආර්ථික කොරිඩෝවක් ඇති කිරීමය. නමුත් ලංකාවේ දරිද්‍රතා දර්ශකය 4.1 වන අතර මෙම ආර්ථික කොරිඩෝවට අයත් වන බොහෝ දිස්ත‍්‍රික් වලට වඩා වැඩි දරිද්‍රතාවයක් තිබෙන දිස්ත‍්‍රික් තිබෙන්නේ එම කොරිඩෝවෙන් පිටතය. එසේ නම් මෙය දරිද්‍රතාවයට විසඳුමක් දෙන ව්‍යාපෘතියක් නොව එහි තුළ යටි අරමුණක් තිබෙන බව ඕනෑම කෙනෙකුට වැටහේ.

එම යෝජිත ආර්ථික කොරිඩෝවට (ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා) ඉඩම් හෙක්ටයාර් ලක්ෂ 12 ක් අයත් වේ. අපේ රටේ වර්ගඵලය වර්ග කිලෝ මීටර 65,610 කි. එනම් ඉඩම් හෙක්ටයාර 6,561,000 කි. ඒ අනුව බලන විට මෙම ආර්ථික කොරිඩෝවට රටේ මුළු ඉඩම් ප‍්‍රමාණයෙන් 18.2% ක් අයත් වේ. මේ සඳහා ඇමරිකාව ගෙවන මුදල ඩොලර් මිලියන 480 කි. එය අත්තිකාරම් මුදලක් නම් නිසි ලෙස ගණනය කළහොත් එම භූමි ප‍්‍රමාණයේ පර්චස් එකකට ගෙවන මුදල අත්තිකාරම් මුදල රුපියල් 180.00 කි. එය ලැජ්ජාවට හෝ විලි ලැජ්ජාවට හෝ කරුණක් ද යන්න ඔබම තේරුම් ගත යුතුවේ.

මෙම යෝජිත ආර්ථික කොරිඩෝව තුළ අප රට සතුව ඇති ජාතික සම්පත් රාශියකි. පුරාණ වැව් සහ අමුණු, ඓතිහාසික නටබුන්, වටිනා ඛනිජ සම්පත්, අලි මංකඩවල්, වනෝද්‍යාන, පන්සල්, පාසල්, සරු කුඹුරු යනාදියයි. යෝජිත විදුලි දුම්රිය මාර්ගය අලි මංකඩවල් ආශ‍්‍රිත පෙදෙස් වල පොළොව යටින් තනන බව කියයි. එය අපේ පරිසරයට කොපමණ හිතකරද? මෙම දුම්රිය මාර්ගයේ දෙපැත්තෙන් ඉදිවන වැටෙන් ලංකාව ඉන් පසු උතුරු ලංකාව සහ දකුණු ලංකාව වශයෙන් බෙදී යනු ඇත.

ඇමෙරිකාව මේ මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේ. මෙය ඉන්දියන් සාගරයේ පවතින බල අරගලයේ තවත් එක් පියවරකි. ඔවුන් ලංකාවේ පය ගැසීමට මෙසේ වලිකන්නේ එමගින් චීනයට එරෙහිව ඉන්දියන් සාගරයේ තම ආධිපත්‍ය පතුරා ලීමටය. ඒ සඳහා ඔවුන්ට ත‍්‍රිකුණාමල වරායත් කොළඹ වරායත් අවැසි වේ. ත‍්‍රිකුණාමල වරාය මෝසම් සුළං දෙක තුළම නෞකා සිය ගණනක් වුවද සඟවා තැබිය හැකි, සබ්මැරීන් පවා ඇතුළත් කළ හැකි ස්වභාවික ගැඹුරු වරායකි. ඒ අවට දෙවන ලෝක මහා යුද්ධයේදී ඉදි කළ, අදටත් ප‍්‍රයෝජනයට ගත හැකි, අති විශාල ධාරිතාවයකින් යුත් ඉන්ධන ටැංකි 99 ක් පිහිටා තිබේ. මේ විශාල පහසුකම් වලට අමතරව ඉතා කෙටි වේලාවකින් ත‍්‍රිකුණාමලය සිට කොළඹ දක්වා පැමිණීමට විදුලි දුම්රිය මාර්ගයක් ද ඉදිවේ. එසේනම් මේ සියල්ලම වන්නේ අපේ නොව ඇමරිකාවේ සුබසිද්ධිය සඳහාය.

මේ ආර්ථික කොරිඩෝවට අයත් සියලුම ඉඩම් ඇමෙරිකානු / විදේශීය සමාගම් මිලදී ගැනීම වළක්වාලිය නොහැක. මේ සඳහා ඉතා වංචනික අයුරින් මේ රජය ගෙන ආ ඉඩම් පනත් තුන දේශපේ‍්‍රමී ජනතාවගේ සහ භික්ෂූන් වහන්සේලාගේ උත්සාහයෙන් හකුලා ගැනීමට සිදු වුවත් නැවතත් එය කරළියට ඒමට ඉඩ තිබේ. එකී පනත් වලින් රජයේ ඉඩම්, ඉඩම් බැංකු වලට ද, ඉඩම් බලපත‍්‍ර ලාභීන්ට සින්නක්කර ඔප්පු ද, අක්කර 50 ඉඩම් සමාව ඉවත් කිරීමට ද යෝජිත වී තිබිණ. එවිට එම සියලුම ඉඩම් විදේශිකයන්ට තමන්ට අවශ්‍ය පරිදි ඕනෑම ප‍්‍රමාණයක් මිලදී ගැනීමට හැකිවනු ඇත. එවිට එහි අඩංගු ඉහත සඳහන් ජාතික සම්පත් වලට කුමක් සිදුවේද? පරිසරවේදීන්ට අනුව අපේ ස්වභාවික පරිසර පද්ධතියටම සහ වන ජීවීන්ට ද දැඩි හානියක් සිදු වන අතර, රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා අත්‍යවශ්‍ය වූ කෘෂි ඉඩම් රජයට අහිමිව යෑමෙන් රටට විශාල පාඩුවක් ද සිදුවේ.

මෙම ගිවිසුම් එනම් SOFA සහ MCC ගිවිසුම් ජනතාවගේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අත්සන් නොකරන මෙන් අස්ගිරි මහ නායක හිමි සහ උභය මහා විහාරික අනු නායක හිමිවරුන් ද, මැල්කම් රංජිත් කාදිනල් තුමා ද රජයට උපදෙස් දී තිබුණි. එසේ තිබිය දී කඩිමුඩියේ මෙසේ කැබිනට් අනුමැතිය ලබාදීම එකී ආගමික නායකයන්ට කරන ලද දැඩි අපහාසයක් ලෙස ද දැක්විය හැක.

මෙම ගිවිසුම වසර 200 කට වලංගු වේ. වසර පහකට බලයට පැමිණි රජයකට මෙසේ රටවැසියා සතු ජාතික සම්පත් වසර 200 කට පිට රටකට විකිණිය හැකිද? එය රටේ ව්‍යවස්ථාවටද පටහැනි වේ. අපේ රටේ ව්‍යවස්ථාවේ 3 වන වගන්තියට අනුව ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය සමස්ත ශ‍්‍රී ලංකා ජනතාව සතුවේ. එය අන්සතු කළ නොහැක. එය කරුණු 3 කින් සමන්විත වේ. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වශයෙනි. ජනතාව සතු සියලු විධායක සහ ව්‍යවස්ථාදායක බලය ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාව විසින් පත් කරන ජනාධිපති සහ ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවෙනි. එසේනම් ජනතාවගේ පරමාධිපත්‍යයට අදාළ වන / බලපාන මොනයම් හෝ ගිවිසුමක් ජනාධිපතිට (හෝ ඔහු පත් කරන කැබිනට් මණ්ඩලයට හෝ) පමණක් අනුමත කළ නොහැක. එයට පාර්ලිමේන්තුවේද අනුමැතිය අනිවාර්යයෙන් ලබා ගත යුතු වේ. එසේ නොකිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. එසේ නම් MCC ගිවිසුම කැබිනට් මණ්ඩලයෙන් පමණක් අනුමත කොට ක‍්‍රියාත්මක කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

මෙම ගිවිසුම තමන් කෙසේවත් අනුමත කිරීමට ඉඩ නොදේ යැයි පැවසූ ජනාධිපතිතුමා ඊට පසුව මෙය අනුමත කළේ කෙසේ දැයි අපට ප‍්‍රශ්නයක්ව පවතී. ඔහු මේ සම්බන්ධයෙන් පවත්වාගෙන යන නිශ්ශබ්දතාවයද ගැටලුවකි. ඔහුව මෙම දේශද්‍රෝහී ගිවිසුමට කැමති කරවා ගැනීමට කුමන ආකාරයේ බලපෑමකට ලක් කළා ද යන්න පිළිබඳව ජනතාව තුළ සාධාරණ සැකයක් පවතී.

මංගල සමරවීර ඇමරිකානුවන්ට මෙම ආර්ථික කොරිඩෝව කුණු කොල්ලයට ලබා දෙන්නේ නිකම්ම නොවේ. ඒ සඳහා විශාල බදු සහන රැසක් ද සමඟය. ඔහු ‘අගය එකතු කිරීමේ බදු පනත’ යටතේ MCC විශේෂිත ව්‍යාපෘතිසේ සලකා ආදායම් බදු සහ පුද්ගලික ආදායම් බදු වලින් නිදහස් කිරීමට දේශීය ආදායම් පනත පවා සංශෝධනය කිරීමට යෝජනා කොට තිබේ. තවද වැට් සහ එන්.බී.ටී. බදු සහන ද රේගු බදු සහන ද වාහන සහ ගෘහ උපකරණ බදු සහන ද මෙයට ලබා දෙයි. මෙවන් සහන ලබා දී විදේශිකයන්ට තමන් කැමති කර්මාන්ත කිරීමට ඉඩ දෙන මෙම ඉඩම් සහ සම්පත් මංගල සමරවීරගේ පුද්ගලික බූදලයක්ද?

ACSA ගිවිසුම මේ රජය දැනටමත් අත්සන් කොට තිබේ. එයට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොමැත. එම ගිවිසුමට අනුව ඇමරිකාව ඉරානය සමග යුද්ධයකට එළඹුන හොත් ඇමරිකානුවන්ට අපේ රටේ අවශ්‍ය සහාය දිය යුතුවේ. ඉරානය අපේ තේ මිලදී ගන්නා ප‍්‍රධාන රටකි. එසේනම් එවන් ගිවිසුමකින් අපේ රටේ ආර්ථිකයට කෙතරම් නම් හානියක් සිදුවේද?

ACSA ගිවිසුම අත්සන් කළද SOFA සහ MCC ගිවිසුම අත්සන් කිරීම අතහැරියේ ජනතා විරෝධය නිසාය. දැන් කවුරුත් නොසිතූ ලෙසට MCC ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබිණි. මේ අයුරින් බලන කල ලබන නොවැම්බර් 16 දාට පළමුව SOFA ගිවිසුම ද අනුමත කරනු ඇත. එම ගිවිසුමෙන් ඇමරිකානු හමුදාවට සහ කොන්ත‍්‍රාත් කරුවන්ට ද අවසර පත‍්‍රයකින් පමණක් මේ රටට ඇතුල්විය හැක. වීසා, පාස්පෝට් අවශ්‍ය නැත. ඇමරිකානු සෙබළුන්ට නිල ඇඳුමින් අවි දරා රටේ සැරි සැරිය හැක. ඔවුන් සහ ඇමරිකානු සිවිල් කොන්ත‍්‍රාත්කරුවන් ද අපේ රටේ අපරාධ නීතියට යටත් නොවේ. ඔවුන්ට අදාළ වනුයේ ඇමෙරිකානු නීතියයි. ජපානයේ ඔකිනාවා නුවර කරන්නාක් මෙන් ඇමෙරිකානුවන් අපේ රටේ කාන්තාවන් දූෂණය කළහොත් ඔවුන් කොළඹ ඇමෙරිකන් තානාපති කාර්යාලයට භාර දෙනු මිස අපට හෝ අප පොලිසියට කළ හැකි වෙන යමක් නොවේ.

ACSA ගිවිසුමෙන් රට තුළ ඇමරිකන් හමුදාවන්ට පිවිසිය හැකි අතර SOFA ගිවිසුමින් ඔවුන්ට රාජ්‍ය තාන්ත‍්‍රික මුක්තිය ලැබේ. MCC ගිවිසුමෙන් උදාවන ආර්ථික කොරිඩෝවේ ඇමරිකන් සමාගම් නොයෙක් ආකාරයේ ව්‍යාපෘති වල නියෙළෙනු ඇත. තම ඉඩම් එම විදේශිකයන්ට විකුණන අසරණ ගොවීන් තම ඉඩමේම ඉදිවන කර්මාන්ත අයිති විදේශිකයන්ගේ වහලුන් බවට පත් වනු ඇත.

දැනටමත් හම්බන්තොට වටිනා වරාය චීනයට වසර 198 කට විකුණා දමා ඇත. මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවටත්, ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ඕමානය / ඇමරිකාවටත්, පුල්මුඬේ ඉල්මනයිට් නිධිය සෞදි අරාබියටත්, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ජපානයටත් දුන් විට අපට ඉතිරි වන්නේ කුමක්ද යන්නට වර්තමාන පාලකයන් පිළිතුරු දිය යුතුව ඇත.

අපේ රටේ ස්වභාවික සම්පත් සේම රටේ අභිමානයද දේශද්‍රෝහීන්ගේ මේ කෙරුවාවෙන් වැනසී යනු ඇත. මෙයට ඉඩදී අප බලා නොසිටිමු. මෙම ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීම වැළැක්වීමට අප අපගේ සියලුම ශක්තිය යොදමු. මාතෘ භූමිය පාවා දෙන, රණවිරුවා පාවාදෙන ගිවිසුම් කෙටුම්පත් කළ සහ ඒවා අනුමත කළ සියල්ලන්ටම එරෙහිව ඉදිරියේදී නීති ප‍්‍රකාරව කටයුතු කරන්නෙමු. අනාගතයේ බිහි වන කුමන රජයක් හෝ මෙවන් දේශද්‍රෝහී ගිවිසුම් අනුමත කිරීම තබා සාකච්ඡා කිරීමට හෝ බිය වන අයුරින් එම පුද්ගලයන්ට අධිකරණයෙන් දඬුවම් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

– රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

***************************************

මෙදා ඇඟේ හලාගත් බාල්දිය තුළ තිබුණේ ඉතාම ගඳ ගසන ද්‍රව්‍යයකි

(03.11.2019 – divaina.com – කතුවැකිය)

ඡන්දය කටේ තිබියදී මංගල ඇඟේ හලාගත් බාල්දියේ අසූචි තිබුණු බව හෙළිවන විට පළාතම ගඳ ගහන්නට පටන්ගෙන හමාරය.

ප‍්‍රගතිශීලියකු ලෙස දේශපාලනයට පිවිසි ඔහු මේ වනවිට සිටින්නේ මඩ කලාව නමැති මඩ ගොහොරුව මත තනි කකුළෙන් හිටගෙනය. එසේ සිටින විට කිඳා බැසීම පහසුය. මේ රටේ දේශපාලන සිරිතට අනුව එරෙන එකා තව තවත් වළ තුළටම තල්ලු කෙරෙනු විනා ගොඩ ඒමට අත දීමක් නැත.

මංගල මේ ගහන්නේ ශ‍්‍රී ල.නි.ප. යේ සිට එද්දී ගෙනා මඩය. ඔහු ශ‍්‍රී ල.නි.ප. යේ සිටි කාලයේදී ඉතාම නින්දිත පෝස්ටරයක් මඟින් එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහට මඩ ගැසුවේය. සජිත්ට සහාය දීම පිණිස රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පක්‍ෂය සමග මෙයට දින තුන හතරකට පෙර ගිවිසුම් අත්සන් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එවකට ජනාධිපති ය. ඉරණම කොතරම් හාස්‍යජනකද? 1994 සිටම රනිල් වික‍්‍රමසිංහට බැණ වදිමින් සිටි චන්ද්‍රිකා අද රාජපක්‍ෂලා බලයට ඒම වළක්වනු පිණිස රනිල් වික‍්‍රමසිංහ වෙත යයි. රනිල්ට විරුද්ධව ශ‍්‍රී ල.නි.ප. යේ සිට මඩ පෝස්ටර් ගැසූ මංගල පසු කාලයේදී එ.ජා.ප. යට විත් රනිල් වික‍්‍රමසිංහගේ පය පාමුල දැවටෙමින් සිට අද සජිත් බලයට ගෙන එනු පිණිස වැඩ කරයි.

අද අප කතා කරන්නේ මේ එකක්වත් ගැන නොව හිරු රූපවාහිනියට විරුද්ධව මඩ පෝස්ටර් ගැසීම සඳහා මංගල මිනිසුන් යෙදවූයේ යැයි කියන කතාව සම්බන්ධයෙනි. මඩ පෝස්ටර් සිද්ධිය නිකම් අරින අදහසක් හිරු රූපවාහිනියට නැති බව පෙනේ. මඩ පෝස්ටර්කාරයන් අසවල් දේශපාලනඥයාගේ අය බව හඳුනාගැනීමෙන් පසු හිරු රූපවාහිනියේ ප‍්‍රධානීන් විසින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇත. ඉන් පසු හිරු රූපවාහිනිය විසින් අදාළ පවුකාරයන්ට එරෙහිව භූමිකම්පාවක් වැනි ප‍්‍රහාරයක් එල්ල කරන්නට පටන්ගෙන තිබේ. මඩ පෝස්ටර් ගැසීමට පැමිණි වාහනවල ඡායාරූප, එම වාහනවල අංක සහ ඒවා අලවන ලද්දේ කවරකු විසින් ද යන්න තොරණේ විස්තරය හා සමානව ඡායාරූප සහිතව විකාශනය කිරීමට එම රූපවාහිනිය කටයුතු කර ඇත.

හිඟන පඩංගු වැනි තුප්පහි දේශපාලනඥයන්ගේ නීච නියෝග ක‍්‍රියාත්මක කරන සිවිල් වැසියා නිතරම කුලී හේවායකුගේ තත්ත්වයට පත්වෙයි. (මෙහිදී හිඟන පඩංගු යන වචනය යොදන ලද්දේ යාචකයන් අපහාසයට ලක් කිරීම පිණිස නොවේ. යාචකයන්ගේ පඩංගු ඉතාම අපිරිසිදුය. දේශපාලනඥයන්ගෙන් ඇතමකු ද ඉතා අපිරිසිදුය) අරක්කු කාලකුත් රුපියල් දාහකුත්, බත් වේලකුත් දුන් විට දේශපාලනඥයන් දෙන ඕනෑම වනචර නියෝගයක් පිළිපැදීමට කැමති පාක්‍ෂික ජනයා මේ රටේ දේශපාලන පක්‍ෂ තුළ බහුලය. හිරු රූපවාහිනියට විරුද්ධව පෝස්ටර් ගැසූ අය එම රූපවාහිනිය මඟින් පෙන්වන ලදී. ඒ දෙස බැලීමේදී පෙනී යන්නේ පෝස්ටර් ගැසූ අය කිසිදු දේශපාලන පක්‍ෂයකට අයත් නැති තුට්ටු දෙකේ බේබදු හිඟන්නන් ලෙසය. කෙසේ වුව ද මේ සිද්ධිය ප‍්‍රසිද්ධියට පත් කිරීම මඟින් හිරු රූපවාහිනිය මේ රටේ මාධ්‍ය කර්මාන්තයට විශාල ආදර්ශයක් ලබාදී තිබේ.

මේ රටේ සාමාන්‍ය සිරිත නම් දේශපාලනඥයකු සමග ගැටෙන මාධ්‍යකාරයා එක් තැනකදී ගුටි කා නිහඬ වීමය. චන්ද්‍රිකාගේ කාලයේදී රූකාන්ත සහ චන්ද්‍රලේඛාගේ ගෙට පැන ඔවුන්ගේ හිස කෙස් කපා සිරුරට පැට‍්‍රල් දමා ගිනි තැබීමට තැත් කළ ප‍්‍රභූ ආරක්‍ෂක අපරාධකාරයන් ඉදිරියේදී රටින් පැන ගොස් ඇමෙරිකාවේ හැංගෙන්නට රූකාන්ත – චන්ද්‍රලේඛා පවුලට සිදුවිය. රෝහණ කුමාරට තැබූ වෙඩිල්ලේ අයිතිකාරයා අදටත් නැත. දිවයිනේ පෝද්දල වාර්තාකාරයාව සිට පසු කාලයේදී වෙනත් පුවත්පතකට සම්බන්ධ වූ පෝද්දල ජයන්තගේ කකුල් කැඩූ හාදයා (හෙතෙම දුටුගැමුණු රජුගේ නායකයකු බව ඔහු කියයි) අද දේශපාලන වේදිකාවල නැඟ කරනම් ගසයි.

එබැවින් හිරු රූපවාහිනියට තර්ජනය කළ අයට එරෙහිව මේ රටේ සියලු මාධ්‍ය එක හඬක් නැඟිය යුතුය. එසේම මේ කාරණයට සම්බන්ධ නැත්නම් අප සමග ගහමරා ගන්නට එන්නේ නැතිව යහපත් ජීවිතයක් ගත කිරීමට මංගල හිතට ගත යුතුය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • All SRI Lankan voters that love their country MUST use their vote to remove this treacherous and traitorous UNP government and its corrupt and wretched ranil the bank robber and avamangal butterfly out of office. Gota must pledge that no MMC agreements signed by these mongols will not be honoured as their signatures are illegal according to Election Commissions rules. Anyhow any government that signs off things during a period of an election of the topmost Executive of the country is illegal. If MMC agreement between avamongal butterfly and yankeees were signed all citizens must get out on to the street and demonstrate.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *