වෙන්නප්පුවේ මුදා නොගත් කලාපයක මෙතෙක් හෙළි නොවූ ‘ඕලුමරා’ගේ වදකාගාරය මෙන්න…!

රටේ නීතිය පැත්තකට… වෙන්නප්පුවේ මුදා නොගත් කලාපයක මෙතෙක් හෙළි නොවූ ‘ඕලුමරා’ගේ වදකාගාරය මෙන්න…!

(03.11.2019 – divaina.com)

වෙන්නප්පුව සිරිගම්පොල ලුණුවිල ප‍්‍රදේශයේ පිහිටි එක්තරා නිවසක් තුළින් නොනවත්වා ඇසෙන මර ලතෝනියකි. මේ නිවස තුළින් නිරන්තරයෙන් මෙවැනි මරලතෝනි ඇසෙන නිසා එය සිරිගම්පොල වැසියන්ට අරුමයක් නොවීය. මෙවැනි විලාප දීම් ඇසෙද්දී සිරිගම්පොල වැසියන් කරන්නේ තම නිවාසවල දොරගුළුලාගෙන කිසිවක් නෑසුනාක් මෙන් සිටීමය.

“අනේ ශානුක අයියෙ මාව මරන්න එපා. මට වද දෙන්න එපා. මගෙ අතින් වරදක් වුණා නම් සමාවෙන්න.”

නිවස තුළ අඳුරු කාමරයක පාතාල මැරයන් පිරිසකගේ ග‍්‍රහණයට නතුව සිටි අහිංසක තරුණයකු තමන්ට ජීවග‍්‍රහය දෙන්නැයි ඉල්ලමින් වැඳ වැටෙන්නට වුණේය.

මේ අසරණ තරුණයාට ශානුක නොහොත් ‘ඕලූමරා’ නමැති පාතාල මැරයාගෙන් සමාවක් ලැබුණේ නැත.

“උඹ ශානුකටත් බොරු කළා. උඹලා වගේ උන්ට මගෙන් කිසිම සමාවක් නැහැ. උඹ හිතන්නෙ මම බබෙක් කියලද? උඹ මගේ ගෙට හයිකළේ බාල කැමරා. ශානුකට එහෙම දෙයක් කළා නම් උඹ ජීවතුන් අතර ඉඳලා වැඩක් නැහැ.”

ඕලුමරා අහිංසක තරුණයාගේ ගෙල තදින් මිරිකාගෙන කෑ ගැසුවේය. තරුණයා තමාගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට කොතෙක් උත්සාහ කළ ද එය ඵලක් වුණේ නැත.

“වෙන්නප්පුවේ උන්ට උණ ගැනෙන්න උඹට අද වැඩක් දෙනවා. බලාගනින් අද උඹට කරන දේ. ශානුක කියන්නෙ කවුද කියල, උඹට අද බලාගන්න පුළුවන්…”

ශානුක නොහොත් ඕලුමරාගෙන් අහිංසක තරුණයාට ගැලවීමක් නැත. ඕලුමරාගේ දෙපතුල් ලෙවකමින් දන්කුඩ බුදින උගේ බත් බැලයන් ක‍්‍රියාත්මක වූහ. සිදුවන්නට යන්නේ මහපොළොව නුහුලන අපරාධයකි. එය නතර කිරීමට කිසිවකුත් නැත. ඕලුමරාගේ ගෝල බාලයන් තරුණයාගේ දෑත් දෙපා බැඳ බිම පෙරළා දැමූහ. කීපදෙනකු තරුණයාගේ සිරුර මත නැගී ඔහු තදින් ග‍්‍රහණය කර ගත්හ.

එක් පාතාල මැරයකු පරාල ඇණ කිපයක් රැගෙන ආවේය. පරාල ඇණ දුටුවනම තරුණයාගේ විලාපය දෙගුණ තෙගුණ වුණේය. තමන්ට අත්විඳීමට සිදුවන ඉරණම පිළිබඳව තරුණයා ඒ වන විට තේරුම් ගෙන සිටියේය.

“ඕකව හොඳට අල්ල ගනින්න. මූ මට්ටුවෙන්න ඕනෙ මගෙන්. මට කරපු පාහර වැඩේට. මූට ජීවිතේට අමතක නොවන පාඩමක් උගන්වන්න ඕනෙ.”

විලාප නඟමින් බිම වැටී සිටි තරුණයාගේ දණිස් පොල්කටු පසාරු කරගෙන යන ලෙස ඕලූමරා පරාල ඇණ ගැසුවෙය. උහුලාගත නොහැකි වේදනාවෙන් තරුණයා විලාප නැඟුවේය. එහෙත් තරුණයා බේරා ගැනීමට ඉදිරිපත් වීමට තරම් හයියක් ඇති එකකු අහල ගම් හතකවත් සිටියේ නැත.

“උඹ මුළු වෙන්නප්පුවටම කියපං ඕලුමරා පරාල ඇණ ගැහුවා කියලා. අපිට පාර්ට් දාන්න එන ඕනෙම එකෙකුට වෙන්නේ මේ දේ කියලත් කියපිය…”

ශානුක නොහොත් ඕලුමරා ඇතුළු ගෝලබාලයන් විසින් පරාල ඇණ ගසා වධ බන්ධනයන්ට ලක්වු තරුණයා පසුව ඔහුගේ නිවස ආසන්නයට ගෙන ගොස් දැමුවේය.

මේ සිත් පිත් නැති මහා අපරාධය සිදුවන්නේ මීට වසර කීපයකට උඩදීය. ඕලුමරා නමැති පාතාල මැරයාගේ පරාල ඇණ ප‍්‍රහාරවලින් බරපතළ තුවාල ලැබූ තරුණයා රෝහල්ගතව ප‍්‍රතිකාර ගත්තේය.

එහෙත් මේ අපරාධය තමාට කළේ ඕලුමරා සහ උගේ මැරයන් බවට හෙළි නොකිරීමට ඒ අහිංසක තරුණයා වගබලා ගත්තේය. මේ මහපොළොව නුහුලන අපරාධයට ගොදුරු වූ තරුණයා වෙන්නප්පුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. නිවාසවලට ව්‍යාපාරික ස්ථානවලට සී.සී.ටී.වී. කැමරා සවිකර ජීවිකා වෘත්තිය කරගෙන ගිය මේ තරුණයා සැබැවින්ම අහිංසකයෙකි.

ශානුක නොහොත් ඕලුමරා අලුතින් ඉදිකරන මාලිගාවේ සී.සී.ටී.වී. කැමරා සවිකිරීමේ කාර්යය මේ තරුණයා වෙත පැවරී තිබුණේය. තමා දන්නා ආකාරයට තමන්ට ඇති ඉස්තරම්ම කැමරා ඕලුමරාගේ නිවසේ සවි කිරීමට මේ තරුණයා කටයුතු කළේය. එහෙත් තරුණයා සවිකළ කැමරා ගැන ඕලුමරා සෑහීමට පත් වුණේ නැත. තමන්ට මදිපුංචිකමක් කළේ යැයි කියමින් ඕලුමරා මේ අහිංසක තරුණයා රැගෙන ගොස් විවිධ වධ බන්ධනයන්ට ලක් කළේය. ඉන් නොනැවතුණු පාතාල මැරයා තරුණයාගේ දෙපයේ දණිස් පොල්කටු සිදුරු වී යන ලෙස පරාල ඇණ ගැසුවේය.

මේ සිදුවිම් කිසිවක් වෙන්නප්පුව පොලිසියේ පොත්වල සටහන් වී තිබුණේ නැත. ඕලුමරාට ඇති බිය නිසා මේ පාතාල මැරයා ගෙන් පීඩාවන්ට ලක්වන කිසිවකු සාධාරණයක් ඉල්ලාගෙන පොලිසියට ගියේ නැත. ඒ මන්ද යත් පොලිසියෙන් කිසි දිනක තමන්ට සාධාරණයක් නොලැබෙන බව ඒ මිනිස්සු හොඳින් දැන සිටියහ. ඕලුමරා ලබාදුන් රසමසවුලු, පඬුරු පාක්කුඩම් භුක්ති විඳිමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් වෙන්නප්පුව පොලිසියේ එදා අරක්ගෙන සිටියහ. වෙන්නප්පුවේ සිදු වූ මේ මහා අපරාධ නොදැක්කා සේ සිටීමට එහි ඇතැම් උසස් නිලධාරීන් එදා කටයුතු කළේය. ඕලුමරා නමැති තුට්ටු දෙකේ පාතාල මැරයා පෝෂණය වුණේ මේ දහජරා පොලිස් නිලධාරීන් නිසා ය. අහිංසක තරුණයන්ට පරාල ඇණ බස්සවා උන් මරා දැමු යුගයක් ගැන අපට අසන්නට දකින්නට ලැබුණේ පසුගිය 88 – 89 භීෂණ සමයේදී ය.

අරාබිකරයේ වහල්කමට යන අපේ මව්වරුන් ද මේ ආකාරයට පරාල ඇණ ගසා විවිධ වධ බන්ධනයන්ට ලක් කිරීමේ පුවත් අපට විටින්විට අසන්නට ලැබුණේය.

එහෙත් මේ ධර්මද්වීපය තුළ තවමත් මෙවැනි ම්ලේච්ඡ අපරාධ සිදුවන බව හෙළිවුණේ වෙන්නප්පුව සිරිගම්පොල ප‍්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය පාතාල වධකාගාරයක් පොලිසිය වැටලිමෙන් පසුවය.

ශානුක නොහෙත් ‘ඕලුමරා’ නමැති පාතාල මැරයා වෙන්නප්පුව සිරිගම්පොල ලුණුවිල ප‍්‍රදේශයේ නිවසක පාතාල වධකාගාරයක් පවත්වාගෙන ගිය පුවත පසුගිය දිනවල රටේ මහත් ආන්දෝලනයට ලක් වූ ප‍්‍රවෘත්තියක් විය.

ඇතැම් පොලිස් නිලධාරීන් පවා තම දෙපතුළ ළඟ දණ ගස්සවාගෙන සිටි ඕලුමරා නමැති පාතාල මැරයාගේ පාතාල රාජධානියට පසුගිය දිනක නිර්භීත පොලිස් නිලධාරීන් පිරිසක් කඩාවැදුණේය.

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස් පරීක්‍ෂක යසන්ත විජේසේකර, උප පොලිස් පරීක්‍ෂකවරුන් වන නිමන්ත දක්‍ෂිණ, ගිහාන් හසිත ඇතුළු පොලිස් කණ්ඩායමක් ඕලුමරාගේ පාතාල රාජධානිය ආක‍්‍රමණය කර ඒ මැරයා අත්අඩංගුවට ගත්හ. දස වසරකට ආසන්න කාලයක් තිස්සේ මේ පාතාල මැරයා රහසිගතව කරගෙන ගිය මහා අපරාධ රැසක තොරතුරු හෙළිවන්නට පටන් ගත්තේ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඕලුමරා සතුව තිබූ නවීනතම ජංගම දුරකථනය මේ අපරාධ බොහොමයකට සාක්‍ෂි ලබා දුන්නේය. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඕලුමරා නමැති පාතල මැරයා 23 හැවිරිදි වියේ පසු වූ එකෙකි. මේ මැරයා පාතාලයට අතපොත් තබන්නේ මීට වසර දහයකට පමණ උඩදීය. ඒ වන විට මේ මැරයා යන්තමින් වයස අවුරුදු 13 ඉක්මවූ එකකු විය.

ශානුක නොහොත් ඕලුමරා උපන්නේ වෙන්නප්පුව සිරිගම්පොල ප‍්‍රදේශයේ ය. ශානුකගේ පියා ද කාලකණ්ණි ජීවිතයක් ගත කළ කුඩු මුදලාලි කෙනෙකි. ශානුකට වැඩිමහල් සොයුරන් දෙදෙනෙකි. ශානුකට බාල තවත් සොහොයුරෙකි. කුඩා කල සිටම ශානුක මහා අපරාධකාරයකු වීමේ පෙරනිමිති පහළ කළේය. හරිහමන් අධ්‍යාපනයක් ලබාගැනීමට ශානුකට වුවමනාවක් තිබුණේ නැත. තම දරුවන් සමාජයේ යහපත් මිනිසුන් කිරීමට ශානුකගේ පියාට හෝ මවට අවශ්‍යතාවක් තිබුණේ ද නැත. ශානුකගේ අධ්‍යාපනය හතේ පංතියෙන් අවසන් වුණේය.

කුඩා කල සිටම ශානුක හොරකමට පුරුදු වුණේය. පුංචි කාලේ පාසලේ දරුවන්ගේ, ගුරුවරුන්ගේ වටිනා දේ සොරකම් කිරීමට පුරුදු වූ ශානුක කරදඬු උස්වෙද්දි සිරිගම්පොල ගමේ ගෙවල්වලට පැන මුදල්, රන් භාණ්ඩ සොරා ගැනීමට පුරුදු වුණේය. ගමට පැමිණෙන මාළු වෙළෙන්දන්ට මඟ රැක සිට පහර දී මාළු සොරා ගැනීම ශානුක කුඩා කල සිටම කළ අපරාධයකි. ශානුක මාළු සොරකම් කිරීමට පුරුදු වි සිටි නිසා සම වයසේ දරුවෝ ඔහුට මාලු හොරා ලෙස නමක් පටබැන්දෝය.

‘මාලු හොරා’ කී විට ශානුක දැඩි ලෙස කෝපයට පත්වන නිසා ඒ නම කණපිට හරවා ‘හෝලුමරා’ ලෙස කීමට ශානුකගේ මිතුරන් කටයුතු කළේය. ‘හෝලුමරා’ පසු කලෙක ‘ඕලුමරා’ ලෙස කියැවුණේය.

ශානුක නමැති පාතාල මැරයා ඕලුමරා ලෙස පසු කලෙක කූප‍්‍රකට චරිතයක් වුණේ ඒ ආකාරයටය.

වෙන්නප්පුව ප‍්‍රදේශයේ සිදු වු ගෙවල් බිඳුම්, සොරකම් ඇතුළු පුංචි පහේ අපරාධ සම්බන්ධයෙන් ඕලුමරා මුලින්ම අත්අඩංගුවට පත්වන්නේ ඔහු 13 හැවිරිදි වියේ පසුවෙද්දීය.

කලක් පරිවාස භාරයේ සිටි ඕලුමරා නැවත සිරිගම්පොලට එන්නේ ‘අපරාධ විද්‍යාව පිළිබඳව මූලික දැනුම’ ලබාගෙනය.

ඕලුමරාගේ සමීපතම මිතුරා වූයේ ලක්මාල් ය. ලක්මාල් ද ඕලුමරා මෙන් කාලකණ්ණි චරිතයකි. ලක්මාල් හැඳින්වූයේ ‘ලකා’ ලෙසය. ඕලුමරා බොහොමයක් අපරාධ කළේ ‘ලකා’ සමඟය. කුඩා කල සිටම මේ පාපතරයන් කණ්ඩායමට විරුද්ධ තවත් පාර්ශ්වයක් සිරිගම්පල සිටියහ.

මේ දෙපාර්ශ්වය අතර නිතර නිතර ගැටුම් හටගත්තේය. ‘තැඹිලිරුවා’ යනු ලක්මාල්ගේ ප‍්‍රතිවාදියෙකි. මේ දෙපාර්ශ්වය අතර ඇති වූ ගැටුම්වල ප‍්‍රතිඵලයක් ලෙස ලකා ඝාතනය වුණේය.

ලකා ඝාතනය කළේ ‘තැඹිලිරුවා’ ඇතුළු මැරයන් පිරිසක් විසින් ය. ලකා ඝාතනය වන විට ඕලුමරා සිටියේ බන්ධනාගාරගතවය. තම සමීපතම මිතුරා ඝාතනය කිරීම ඇසීමෙන් ඕලුමරා දැඩි ලෙස කෝපයට පත් වුණේය.

“තැඹිලිරුවාව පරලොව යවන කල් මට නින්ද යන්නේ නැහැ. ලකා මට හිටිය හොඳම යාළුවා. ඌ නැතිව මම කොහොමද සිරිගම්පොල ඉන්නේ.”

ඕලුමරා තම සමීපතමයන් සමඟ කීවේය. බන්ධනාගාරයෙන් ඇප මත මුදා හැරීමෙන් පසු ඕලුමරා නැවත සිරිගම්පොල ගමට ආවේය. ඒ වන විට ඕලුමරා යාන්තමට අවුරුදු 14 සම්පූර්ණ වී සිටි දරුවෙකි. තම සමීපතම මිතුරා ඝාතනය කළ උන්ගෙන් පලි ගැනීම ඕලුමරාගේ එකම අභිප‍්‍රාය විය. ඕලුමරා ‘තැඹිලිරුවා’ නමැත්තා සොයමින් සිරිගම්පොල දෙවනත් කළේය. දිනක් සිරිගම්පොල සති පොලේ දී ඕලුමරාට තැඹිලිරුවා මුණගැසුණේය. ඕලුමරාට උන්හිටිතැන් අමතකව ගියේය. දෙනෝදාහක් දෙනා බලා සිටියදී ඕලුමරා තැඹිලිරුවාව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළේය. මේ සිදුවීමෙන් මුළු සිරිගම්පොලම භීතියට පත් වුණේය. ඕලුමරා යනු මහා දාමරිකයකු බව සිරිගම්පොල වැසියන් දැනගත්තේ මේ සිදුවීමෙන් පසුවය. තැඹිලිරුවා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඕලුමරා අත්අඩංගුවට ගන්නා විට ඔහු දාහතර වැනි විය පසුකරමින් සිටි ලාබාල තරුණයෙකි.

මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ ඕලුමරා නමැති ලාබාල තරුණයා පරිවාස භාරයටත්, එතැනින් බන්ධනාගාරයටත් ඇතුළු කෙරිණි.

අනුරාධපුර ප‍්‍රදේශයේ බන්ධනාගාරයකදී ඕලුමරා ‘අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය’ ලබා ගත්තේය. අනුරාධපුරයේ ජනතාව භීතියට පත් කර මුළු උතුරු මැද පළාතටම පිළිලයක් බවට පත්ව සිටි ‘¤ත්‍ ලොක්කා’ නමැති පාතාල මැරයා ඕලුමරාට දැන හඳුනාගන්නට ලැබෙන්නේ මේ බන්ධනාගාරයේදීය. ‘¤ත්‍ ලොක්කා’ දැන හඳුනාගැනීම තම අපරාධ චාරිකාව තවදුරටත් ශක්තිමත් ව කරගෙන යෑමට ඕලුමරාට විශාල පිටිවහලක් වුණේය. ඕලුමරා ‘¤ත්‍ ලොක්කා’ සමග බන්ධනාගාරයේ ගත කළේ සුපිරි ජීවිතයකි. බන්ධනාගාරයේ ඇතැම් දූෂිත නිලධාරීන් මේ පාතාල මැරයන් දෙදෙනාට සියලු සැප සම්පත් ලබා දුන්නේය. ඒ වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කිරීමටත්‍ ලොක්කා කටයුතු කර තිබුණේය.

ඕලුමරා හෙරොයින් ජාවාරමට සම්බන්ධ වන්නේ බන්ධනාගාරගතව සිටියදීය. හෙරොයින් ජාවාරම දියුණු කරගැනීම සඳහා ඕලුමරාටත්‍ ලොක්කා ගෙන් ලැබුණේ නොමඳ සහායකි.

කොළඹ තොටලඟ සේදවත්ත ප‍්‍රදේශවලින් තම ගෝල බාලයන් මාර්ගයෙන් හෙරොයින් ගෙන්වාගත් ඕලුමරා එම හෙරොයින් පැකට් කර බන්ධනාගාරය තුළ පවා අලෙවි කළේය.

බන්ධනාගාරය තුළ තමාට රිසි සේ ජංගම දුරකථන පවා පරිහරණය කළ ඕලුමරා හෙරොයින් ව්‍යාපාරය ද ජයටම කරගෙන ගියේය. බන්ධනාගාරය ඕලුමරාට තම නිවහන මෙන් විය. වසරකට දෙතුන් වතාවක් බන්ධනාගාරගත වීම ඕලුමරාගේ ජීවිතයේ කොටසක් බවට පත්ව තිබුණේය.

ඒ වන විට ඕලුමරා සිරිගම්පොල ග‍්‍රාමයේ පාතාල කල්ලියක් බිහිකරගෙන සිටියේය. මේ පාතාල කල්ලිය බිහිකර ගැනීමට අවශ්‍ය සියලු උපදෙස් ලබා දී තිබුණේ අනුරාධපුරයේ පාතාල කල්ලි නායක ‘¤ත්‍ ලොක්කා’ විසින් ය.

රන් චාමර, ඥාන චාමර, ඉසුරු අරුණ නමින් හැඳින්වූ පාතාල මැරයන් පිරිසක් ඕලුමරාගේ කල්ලියට සම්බන්ධ වී සිටියහ.

වෙන්නප්පුව පොලිසියේ ඇතැම් උසස් නිලධාරීහු ඕලුමරාගේ සමීප මිතුරන් වූහ. මේ උසස් නිලධාරීන් බොහෝ අවස්ථාවලදී සාද පැවැත්වූයේ ඕලුමරා සමඟය. පොලිසියේ ඕනෑ එපාකම් ගැන සොයා බැලුවේ – අත දිගහැර වියදම් කළේ ඕලුමරාය.

ඕලුමරාගේ පාතාල රාජධානියේ සැරිසැරීමටත්‍ ලොක්කා ද නිතර ආවේය. ඒ වන විටත්‍ ලොක්කා රටම හඳුනන මහා අපරාධකාරයකු බවට පත්ව සිටියේය.

ගිනස් වාර්තා තැබූ අනුරාධපුරයේ වසන්ත සොයිසා ඝාතනය කිරීමෙන් පසු ‘¤ත්‍ ලොක්කා’ පාතාලයේ මහා කෙරුමකු බවට පත්ව සිටියේය. නිරායුධ මිනිසකු මරා දමා මහා වීරයකු වූ මේ තුට්ටු දෙකේ මිනීමරුවා ඕලුමරා නමැති මැරයාගේ පාතාල රාජධානිය වෙත ගොස් මත්පැන් සාද පැවැත්වූවේය. ‍ලොක්කා සිරිගම්පොලට පැමිණීම ඕලුමරා සැලකුවේ තමන්ට කරන ගෞරවයක් ලෙසය.

“උඹ නිතර නිතර මෙහෙට එන එක මට ලොකු හයියක්. මුළු වෙන්නප්පුවම දන්නව අපි දෙන්න හොඳ යාළුවෝ කියලා. ඒ නිසා ඒක මගේ වැඩවලටත් ලොකු ශක්තියක්.”

ඕලුමරා තම සමීපතම පාතාල සගයා බවට පත්ව සිටි ‘¤ත්‍ ලොක්කා’ට නිතර කීවේය. ඒ වන විට වෙන්නප්පුව ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ප‍්‍රධානම හෙරොයින් ජාවාරම්කරු බවට පත්ව සිටියේ ඕලුමරාය. ඕලුමරා තම ගෝලබාලයන් යොදවා දෛනිකව රුපියල් ලක්‍ෂ ගණනින් ලාබ ලැබෙන හෙරොයින් ව්‍යාපාරය කරගෙන ගියේ පොලිස් බලවතුන්ගේ ද ආශිර්වාදය ලබමින් ය.

ඒ සමඟම වෙන්නප්පුව ප‍්‍රදේශය පුරා පාතාල බලය ව්‍යාප්ත කිරීමට ද මේ මැරයා කටයුතු කළේය. සිරිගම්පොල පිහිටි තම පියාගේ මහ ගෙදර වධකාගාරයක් බවට පත් කරගත් මේ මැරයා වෙන්නප්පුවේ අහිංසක තරුණයන් එහි ගෙනැවිත් ඔවුන්ට දස වධ දුන්නේය. තමන්ට විරුද්ධ වන තරුණයන්, පොලිසියට ඔත්තු ලබාදෙන උන් ගෙනැවිත් ඔවුන් විවිධ කෲර වධ හිංසාවන්ට ලක්කළ ඕලුමරා ඇතුළු පාතාල මැරයන් පිරිස ඒ සියල්ල ජංගම දුරකථනවලින් වීඩියෝගත කළහ. මේ ආකාරයෙන් රැගෙන එන තරුණයන් විවිධ වධ බන්ධනයන්ට ලක් කළහ. ඇතැම් තරුණයන් වධකාගාරයේ බාල්කවල එල්ලා ඔවුන්ට සිහි නැතිවන තුරු පහර දුන්හ.

ඇතැම් තරුණයන්ගේ දෙපාවලට පරාල ඇන ගැසූහ. අල්පෙනිතිවලින් ඇන සිදුරු කරමින් වධ දුන්හ. දෑත් දෙපා බැඳ දමා පහර දී දුම්වැටිවලින් සිරුරු පිළිස්සීම ඕලුමරා ඇතුළු මැරයන්ගේ ප‍්‍රධාන විනෝදාස්වාදයක් ගෙන දුන් ක‍්‍රියාවක් වූහ.

ඕලුමරා ඇතුළු පාතාල කල්ලියේ මැරයන්ගේ හිංසනයට ලක්වූ කිසිවකුත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත් වුණේ නැත. පොලිසිය සිටියේද ඕලුමරාගේ පැත්තේ බව දැන සිටින වෙන්නප්පුවේ ජනතාව මේ මැරයාට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කිරීමට හෝ ඔත්තු ලබාදීමට උත්සාහ කළේ නැත. පොලිසියට ඔත්තු ලබා දුන්නොත් ඒ මොහොතේ ම ඔත්තුව දුන් පුද්ගලයා පිළිබඳව තොරතුරු ඕලුමරාගේ කන වැකෙන බව සිරිගම්පොල වැසියෝ දැන සිටියහ.

ඕලුමරා ඇතුළු පාතාල කල්ලියෙන් එල්ල වූ මේ හිංසනය, පීඩනය විඳ දරා ගනිමින් සිරිගම්පොල ජනතාව දැඩි භීතියෙන් ජීවත් වූහ.

ඇතැම් අවස්ථාවල තම ප‍්‍රතිවාදීන්ගේ නිවෙස්වලට පැන එම නිවෙස්වල සිටින රූමත් තරුණියන්, කාන්තාවන් දූෂණය කිරීමට පවා ඕලුමරා කටයුතු කර තිබුණේය.

සිරිගම්පොල තම පාතාල රාජධානිය වටා මාර්ග බාධක පවා යෙදවීමට මේ පාතාල මැරයා කටයුතු කළේය. ඕලුමරාට නොදැනෙන්නට කිසිවකුටත් සිරිගම්පොල ග‍්‍රාමයට ඇතුළුවීමට නොහැකි විය. ඕලුමරාගෙන් සිරිගම්පොල වැසියන්ට එල්ලවන තර්ජන ගර්ජන බලපෑම් භීෂණය දිනෙන් දින ඉහළ යමින් තිබුණේය. වෙන්නප්පුව පොලිසියේ ලොක්කන් මාරු වී අලුත් නිලධාරින් පිරිසක් රාජකාරියට එක්වෙද්දී සියල්ල උඩුයටිකුරු වන්නට පටන් ගත්තේය. වෙන්නප්පුව ප‍්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස අලුතින් වැඩ භාරගත් එරික් පෙරේරා පොලිස් දෙපාර්තමේන්තුවේ නමක් දිනාගෙන සිටින දක්‍ෂ නිලධාරියෙකි.

කලක් පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කළ එරික් පෙරේරා නැගෙනහිර පළාතේ කොටි ත‍්‍රස්තයන්ට එරෙහිව නිර්භීතව සටන් කළ නිර්භීත නිලධාරියකු ලෙස ප‍්‍රසිද්ධ වූ චරිතයකි. වෙන්නප්පුව සිරිගම්පොල ප‍්‍රදේශයම බිය ගන්වාගෙන වධකාගාර පවත්වාගෙන යන ඕලුමරා ඇතුළු පාතාල මැරයන් පිළිබඳව තොරතුරු සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා වෙත ලැබෙන්නේ මේ අතරතුරදී ය. ප‍්‍රදේශයේ විහාරාධිපතිවරුන්, කතෝලික පල්ලිවල පුජකවරුන් ඇතුළු නීතිගරුක පුරවැසියන් ගෙන් සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා වෙත තොරතුරු ගලා එන්නට පටන් ගත්තේ මේ නිලධාරියා අසාධාරණයට එරෙහිව සටන් කරන දක්‍ෂ නිර්භීත නිලධාරියකු බව ඒ වන විටත් ප‍්‍රසිද්ධ වී සිටි නිසාය.

ඕලුමරා නමැති පාතාල මැරයා සහ උගේ පාතල කල්ලිය පිළිබඳව එරික් පෙරේරා මහතාගේ අධීක්‍ෂණයෙන් යුත් කණ්ඩායමක් තොරතුරු සොයන්නට පටන් ගත්හ. එතෙක් කාලයක් ඇස්කන් පියාගෙන සිටි පොලිසියේ ඇස් ඇරෙන්නට පටන් ගත්තේ එතැන් සිටය.

වසර ගණනක් තිස්සේ සිරිගම්පොල ජනතාව මොන තරම් භීතියකින් පීඩනයකින් ජීවත් වූයේ ද යන්න හෙළිවන්නට පටන් ගත්තේය. සිරිගම්පොල ග‍්‍රාමය තුළ දීර්ඝ කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වූ පාතාල වධකාගාරය මෙන්ම අහිංසක ජනතාව පීඩනයට ලක් කරගෙන සිටි පාතාල කණ්ඩායම පිළිබඳව එරික් පෙරේරා මහතා සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කළේය.

පුත්තලම දිස්ත‍්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කුමාරපේලි යන මහත්වරුන්ගෙන් මේ කාර්යය සඳහා ලැබුණේ නොමඳ සහායකි.

සිරිගම්පොල ජනතාව භීතියට පත්කරගෙන සිටින පාතාල මැරයන් මට්ටු කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් මෙන්ම අවශ්‍ය තරම් නිලධාරීන් ලබා දීමට නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පියවර ගත්තේය.

“ඕලුමරා ගැන කිසිම කෙනෙක් ඔත්තු දෙන්නේ නැහැ. අපි මුලින්ම කරන්න ඕන ඕලුමරා කුඩු බිස්නස් කරද්දී අල්ල ගන්න එක. ඕලුමරා යන එන තැන් ගැන අපි සෝදිසියෙන් ඉන්න ඕනෙ. සිරිගම්පොල බියවද්දාගෙන සිටින ඕලූමරා ඇතුළු පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි පොලිස් පරීක්‍ෂක යසන්ත විජේසේකර ඇතුළු නිලධාරීන් දැනුවත් කළ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා ඒ සඳහා විශේෂ සැලසුමක් ද සකස් කළේය.

මේ අතරතුර ඕලුමරා හෙරොයින් ජාවාරමේ යෙදෙන අවස්ථා ගැන තොරතුරු රැසක් එරික් පෙරේරා වෙත ලැබී තිබුණේ පෞද්ගලික ඔත්තුකරුවන් කීපදෙනකු මාර්ගයෙන්ය.

“සර්…. ඕලුමරා කුඩු ගේන්නෙ සේදවත්තෙන්. මිනිහ වෙන්නප්පුවෙ බිස්නස් කරන්නෙ බොහොම රහසිගතව. මිනිහ හෙරොයින් අරගෙන යද්දි මිනිහගෙ ගෑනිවයි අවුරුදු එකහමාරක ළමයයි එක්කරගෙන යනවා. එතකොට කව්රුත් මිනිහ ගැන සැක හිතන්නෙ නැහැ….” සිරිගම්පොල ගමේ තරුණයන් කීපදෙනකුම එරික් පෙරේරා මහතාට තොරතුරු ලබා දුන්නේය. ලැබුණු තොරතුරු අනුව ඕලුමරා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කෙරිණි. ඉකුත් 12 වැනිදා පොලිස් පරීක්‍ෂක යසන්ත වීරසේකර, උප පොලිස් පරීක්‍ෂක දක්‍ෂිණ ඇතුළු නිලධාරීන් පිරිසක් සිරිගම්පොල ග‍්‍රාමයට කඩාවැදුණේ ඉතාම රහසිගතවය. ඕලුමරා හෙරොයින් තොගයක් රැගෙන එන බවට තොරතුරු ඒ වන විට පොලිස් නිලධාරීන් වෙත ලැබී තිබුණේය.

පොලිස් නිලධාරීන්ගේ මෙහෙයුම සාර්ථක විය. ඕලුමරා එදින සිය බිරිඳ සහ දරුවා ද සමග ත‍්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියේය. පොලිස් නිලධාරීන් ඕලුමරා ගමන් ගත් ත‍්‍රිරෝද රථය නවතා ප‍්‍රශ්න කරන්නට වූහ.

“දරුවට බෙහෙත් ගන්න යනවා. ඉස්සර නම් පොලිසිය අපේ වාහන චෙක් කළේ නැහැ.” ඕලුමරා පොලිස් නිලධාරීන් ගණනකට නොගෙන කීවේය.

“ඒ ඉස්සර නිලධාරීන්. දැන් ඉන්න පොලිස්කාරයො එක්ක ඒ සෙල්ලං බැහැ. කරුණාකරලා ත‍්‍රීවීල් එකෙන් බිමට බැහැපං….”

පොලිස් නිලධාරීන් ඕලුමරා ත‍්‍රිරෝද රථයෙන් බිමට ඇද දමා පරීක්‍ෂා කළේය. ඒ වන විට ඕලුමරා සතුව හෙරොයින් ග‍්‍රෑම් 100 කට ආසන්න ප‍්‍රමාණයක් තිබුණේය.

හෙරොයින් සමග ඕලුමරා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීහු ඔහු වෙන්නප්පුව පොලිසිය වෙත රැගෙන ගියහ.

එදා ඕලුමරා එනවිට සැලියුට් ගැසූ නිලධාරීන් අද වෙන්නප්පුව පොලිසියේ සිටියේ නැත. ඕලුමරා බෙල්ලෙන් අල්ලාගෙන ගිය පොලිස් නිලධාරීහු ඔහු සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා හමුවට ඉදිරිපත් කළහ. ඒ වන විට ඕලුමරා සතුව නවීන පන්නයේ ජංගම දුරකථනයක් විය. එය පොලිසිය භාරයට ගත් නිලධාරීන් එහි ඇති වීඩියෝ දර්ශන මෙන්ම ඡායාරූප එකින් එක පරීක්‍ෂා කරන්නට වූහ.

ඕලුමරා සිදුකළ අපරාධ බොහොමයකම සාක්‍ෂි ඒ ජංගම දුරකථනයේ සටහන්ව තිබුණේය. අහිංසක තරුණයන් ගෙනැවිත් ඔවුන්ට කෲර වධහිංසා පමුණුවමින් පහර දෙන ආකාරය, ඔවුන් වහලයේ බාල්කලවල ගැටගසා සිටින අයුරු සහිත රුප රාමු මේ ජංගම දුරකථනයේ සටහන්ව තිබුණේය.

අහිංසක තරුණයන් විවිධ වධ බන්ධනයන්ට ලක් කරන ආකාරය අඩංගු දර්ශන දැකීමෙන් පොලිස් නිලධාරීන් පවා අන්දමන්ද වූහ. පාතාල ලෝකයේ ‘ගෝර්ඩ් ෆාදර්’ ලෙස හැඳින්වූ නාවල නිහාල් මේ ආකාරයේ වධකාගාර කීපයක් කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල ඉතාම රහසිගතව පවත්වාගෙන ගොස් තිබුණේය. නාවල නිහාල්ගෙන් පසු මෙවැනි පාතල වධකාගාර ගැන අසන්නට ලැබුණේ මාලිගාවත්ත ප‍්‍රදේශයෙන් ය.

මාලිගාවත්ත පාතාලයේ මහා අපරාධකාරයකුව සිටි ‘හාජි’ නමැති පාතාල මැරයා ද මේ ආකාරයේ ම වධකාගාර පවත්වාගෙන ගියේය. ප‍්‍රතිවිරුද්ධ පාතාල සාමාජිකයන් මෙන්ම තම අණට නියෝගවලට කන් නොදෙන අහිංසක මිනිසුන් ගෙනැවිත් මේ වධකාගාරවල රඳවාගෙන ඔවුන්ට දස වධ දුන් අවස්ථා අසන්නට ලැබුණේය.

මේ පාතාල මැරයන් ඝාතනයට ලක්වීමෙන් පසු කාලයක් තිස්සේ මෙවැනි පාතාල වධකාගාර ගැන අසන්නට ලැබුණේ නැත. එහෙත් වෙන්නප්පුව සිරිගම්පොල ප‍්‍රදේශයේ ජනතාව භීතියට පත්කරගෙන ඕලුමරා නමැති පාතාල මැරයා කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය වධකාගාරය ගැන අසන්නට ලැබෙන්නේ ඒ වැටලීම කළ පොලිස් නිලධාරීන්ට පිං සිදුවන්නටය. ඕලූමරා අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතුණු පොලිස් පරීක්‍ෂක විජේසේකර, උප පොලිස් පරීක්‍ෂක දක්‍ෂිණ ඇතුළු නිලධාරීහු උගේ ගෝලබාලයන් බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළහ.

ඕලූමරාගේ ප‍්‍රධානම ගෝලයකු වූ රන්චාමර ඇතුළු තවත් පාතාල බත්බැලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ. පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ඇතුළු නිලධාරීන් මේ පාතාල මැරයන්ගේ ක‍්‍රියාකාරකම් මර්දනය කිරීමට නිර්භීතව කටයුතු කිරීම පිළිබඳව වෙන්නප්පුවේ ජනතාව සිය ප‍්‍රණාමය පුද කළහ.

– හේමන්ත රන්දුණු

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *